Wednesday, November 30, 2016
භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දොළොස්වන කොටස)
ලංකාවේ රජය දශක ගණනාවක සිට සෑම වසරකම බදු හා වෙනත් බදු නොවන වෙනත් මාර්ග වලින් උපයන ආදායමට වඩා වියදම් කරයි. මෙසේ ආදායමට වඩා වියදම් කිරීමේදී ඇතිවන අයවැය හිඟය පියවා ගැනීමට ණය ලබා ගන්නට සිදුවේ.
රජයේ ණය අවශ්‍යතාවයෙන් කොටසක් රටෙන් පිටත මුලාශ්‍ර වලින් ලබා ගැනේ. මෙසේ ලබා ගන්නා විදේශ ණය වලින් අයවැය හිඟයෙන් කොටසක් පියවෙන අතර, ඉතිරිය පියවෙන්නේ දේශීය ණය වලිනි. දේශීය ණය ලබාගන්නා ප්‍රධානම ක්‍රමය භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමයි.
වාර්ෂික අයවැය ඇස්තමේන්තු වල ඉදිරිපත් කෙරෙන රජයේ අයවැය හිඟය වසර තුළදී මෙසේ දේශීය හා විදේශීය ප්‍රභව වලින් මූලනය කරගත යුතුය. එහෙත්, මේ ණය ගැනීම වසරේ කවර දිනෙක හෝ කරන්නට නුපුළුවන. රාජ්‍ය අයවැය හිඟය මූලනය කළ යුත්තේ මාස්පතා මෙන්ම දිනපතා රජයේ ආදායම් මෙන්ම වියදම් වෙනස් වන රටාව සමඟ ගලපමිනි.
රජයේ ආදායම් වසරේ සෑම දිනකම සමානව නොලැබේ. ආදායම් ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ බදු හරහා නිසා මේ ආදායම් ලැබෙන්නේ බදු මුදල් ගෙවීමට නියමිත අවසන් දිනයට (deadline) ආසන්නවය. වැට් වැනි වක්‍ර බදු පාරිභෝගිකයින් විසින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා අවස්ථාවේදී ගෙවන නමුත් මේ ආදායම සමාගම් විසින් රජයට ගෙවන්නේ මසකට හෝ දෙසතියකට වරකි. වෙනත් බොහෝ බදුද මෙසේම දෙසතියකට, මසකට හෝ කාර්තුවකට වරක් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කෙරේ. මේ ආදායම් ලැබීම් හැකිතාක් සුමට වන පරිදි පිණිස ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික බදු කාල සටහනක් සදා තිබේ. රටේ ජාතික ආදායම ඇස්තමේන්තු වලින් වෙනස් වන විට මෙසේ එකතු වන බදු මුදල්ද ඇස්තමේන්තුගත මුදලට වඩා වෙනස් වේ. රේගුව විසින් එකතු කරන විදේශ වෙළඳාම මත පනවන බදු වසර පුරා එකතු වන නමුත් ආනයන හා අපනයන සිදුවන රටාව අනුව වෙනස් වේ.
මේ ආකාරයෙන්ම රජයේ වාර්ෂික වියදම්ද වසර පුරා පැතිර පවතී. රජයේ සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සෑම මසකම නිශ්චිත දිනක ගෙවිය යුතුය. රජයට නියමිත දින වැටුප් ගෙවා ගන්නට බැරි වුණොත් එය විශාල ප්‍රශ්නයකි. ඇතැම් විට මේ වියදම් සාමාන්‍ය රටාව අනුව එන දිනයට පෙර වැය කළ යුතුය. අප්‍රේල් මාසය උදාහරණයකි. ප්‍රාග්ධන වියදම් දැරිය යුතු දින සම්බන්ධව තරමක නම්‍යතාවයක් තිබේ. එවැනි වියදම් දින, සති හෝ මාස ගණනක් කල් දමන්නට බැරිම නැත. රජයේ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ලැබෙන ආකාරය ගැන මෙය කියවන ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල සිටින අයට අමුතුවෙන් විස්තර කළ යුතු නැත. කෙසේ වුවද, විශාල ප්‍රාග්ධන ආයෝජන සඳහා බොහෝ විට එක වර විශාල මුදලක් වැය කළ යුතුය.
ලංකාවේ රජයේ දෛනික මුදල් අවශ්‍යතා අතර පසුගිය ණය වාරික හා පොලී ගෙවීම් ඉහළින්ම තිබේ. මේ මුදල් හරියටම නියමිත දිනම ගෙවිය යුතුය. එවැනි ගෙවීමක් වරක් පැහැර හැරියොත් එය ලංකා රජයේ නියමිත වේලාවට ණය ආපසු ගෙවීමේ දිගුකාලීන වාර්තාවට කළු පැල්ලමකි. දශක ගණනක සිට ණයෙන්ම දුවන, තවත් චිරාත් කාලයක් ණයෙන්ම දුවන්නට බලාගෙන සිටින ලංකා රජය එවැනි කළු පැල්ලමක් වැටෙනවාට කිසිසේත්ම කැමති නැත.
දැන් මා විස්තර කළ පරිදි රජයේ වියදම් පැත්තේ ඇති බොහෝ අයිතමයන් හරියටම නිශ්චිත දිනක ස්ථිරවම වැය කළ යුතු ආකාරයේ වියදම්ය. පසුගිය ණය වාරික, පොලී ගෙවීම් හා රාජ්‍ය සේවක වැටුප් ඒ අතර ඉදිරියෙන්ම තිබේ. ගෙවිය යුතු දිනය මෙන්ම ගෙවිය යුතු මුදලද නිශ්චිත මුදලකි. මේ වියදම් වලට සාපේක්ෂව රජයේ ආදායම් සම්බන්ධව ඇත්තේ අවිනිශ්චිතතාවයකි. බදු ආදායම් ප්‍රමාණ මෙන්ම ලැබෙන දිනද දළ වශයෙන් ඇස්තමේන්තු කළ හැකි වුවත්, මේ ඇස්තමේන්තු බොහෝ විට වෙනස් වේ.
මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් මා පෙර විස්තර කළ රජයේ අපේක්ෂිත ආදායම් හා වියදම් ගලපමින් වසර තුළ ආදායම් වියදම් හිඟය උච්ඡාවචනය වන ආකාරය අනුව ණය ගැනීමේ කාල සටහනක් පිළියෙළ කළ යුතුය. මෙය සරල කටයුත්තක් නොවේ.
ඉහත කී ලෙස ණය අවශ්‍යතාවය වෙනස් වන ආකාරය ඇස්තමේන්තු කිරීමෙන් පසුව ණය ගන්නා ආකාරය තීරණය කළ යුතුය. මෙහිදී, විදේශ ණය වලට ප්‍රමුඛතාවයක් ලැබේ. එයට හේතු කිහිපයකි. පළමුව, විදේශ ණය ගැනීම සාපේක්ෂව අමාරුය. දෙවනුව, විදේශ ණය හරියටම අවශ්‍ය දවසටම ගන්නට නුපුළුවන. ඒ නිසා කිසියම් පෙර සූදානමක් අවශ්‍යය. තෙවනුව, විදේශ ණය ගන්නා විට 'සොච්චම් ණය කෑලි' ගැනීම ප්‍රායෝගික නැත. ණය ලබාගැනීම සඳහා ලොකු මහන්සියක් දැරිය යුතු නිසා එකවර ලොකු කුට්ටියක්ම ණය ගත යුතුය. දේශීය ණය වෙළදපොළ වෙත යොමුවන්නේ මෙසේ අපේක්ෂිත විදේශ ණය ලබා ගැනීමෙන් පසුවද ඉතිරි වන හිස්තැන් පුරවා ගැනීමටය.
රජය වසර පුරා කිසියම් දේශීය ණය ප්‍රමාණයක් ගන්නවා යනුවෙන් අදහස් වන්නේ වසර තුළ ටික ටික ණය ගැනීම නිසා වසර අවසානය වන විට එම ණය ප්‍රමාණය එකතු වනවා යන්නම නොවේ. වසර මැද ඇතැම් දිනවල රජයේ ණය ප්‍රමාණය වසර අවසන් වන විට ගණනද ඉක්මවා විශාල ලෙස ඉහළ යයි. රජයේ ආදායම් හා වියදම් රටාව අනුව සමස්තයක් ලෙස වියදම ආදායමට වඩා වැඩි වුවත්, කිසියම් අරමුදල් අතිරික්තයක් තිබෙන දවස්ද තිබේ. එවැනි දිනවල මේ මුදල් නිකරුණේ ළඟ තබා ගෙන නොඉඳ ණය වලින් කොටසක් ගෙවා, දින කිහිපයකින් නැවත අරමුදල් අවශ්‍ය වන විට ආපසු ණය ගැනීමෙන් රජයේ පොලී වියදම් අඩු කරගත හැකිය. ඇත්තටම රජය එසේ කරයි. එමෙන්ම, ලොකු විදේශ ණය මුදලක් (හෝ රාජ්‍ය දේපලක් විකිණීමෙන් වැනි දෙයකින් ලැබෙන ලොකු මුදලක්) එක වර ලැබුණු විට ඒ මුළු මුදලම එක වර වියදම් කරන්නට අවශ්‍ය නොවන නිසා තාවකාලිකව දේශීය ණය වලින් කොටසක් පියවන්නට පුළුවන. එමෙන්ම, ලොකු විදේශ ණයක් ළඟ එන විට දේශීය වෙළදපොලෙන් දිගුකාලීන ණය නොගෙන, කෙටිකාලීන ණයක් ගැන පෙර කී විදේශ ණය අතට ලැබෙන තුරු රෝලක් දාගත හැකිය.
මේ සියල්ල එකතු කළ විට රජයේ දේශීය ණය අවශ්‍යතාවය පිලිබඳ චිත්‍රය සිතේ ඇඳගන්නට බැරිකමක් නැත. යම් අරමුදල් ප්‍රමාණයක් වසර ගණනාවක් වැනි දිගු කාලයකට අවශ්‍ය වන අතර ඇතැම් මුදල් අවශ්‍යතා කෙටිකාලීනය. මෙවැනි දිගුකාලීන ණය අවශ්‍යතා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන්ද, කෙටිකාලීන අවශ්‍යතා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන්ද සපුරා ගත හැකිය. මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එක් එක සතිය තුළ වෙන්දේසි කරන රාජ්‍ය සුරැකුම්පත් වල පරිණත කාලය තීරණය කරන්නේ ඉහත විස්තර කළ පරිදි රජයේ ණය අවශ්‍යතා සමඟ කාල ගැලපුම් කරමිනි.
මුදල් අමාත්‍යංශය හා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එක්ව විසින් වසර මුලදී අදාළ වසර සඳහා ණය වැඩසටහන පිළියෙළ කළත් මෙය ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම පහසු නැත. අපේක්ෂිත ආදායම් බොහෝ විට ඒ අයුරින්ම නොලැබේ. ලැබුණත් අපේක්ෂිත දිනටම නොලැබේ. එමෙන්ම, බොහෝ විට වියදම් ඇස්තමේන්තු ඉක්මවා යයි. ඇතැම් විට අනපේක්ෂිත වියදම් දරන්නට සිදු වේ. යුද්ධය පැවති කාලයේ බොහෝ විට මෙවැනි අනපේක්ෂිත වියදම් ඇති වූයේ යුද්ධයට හා අදාළවය. කොළඹට එල්ටීටීඊ ප්‍රහාර එල්ල වන විට හෝ උතුරේ හමුදා කඳවුරකට දරුණු ප්‍රහාරයක් එල්ල වන විට ආරක්ෂක මණ්ඩලය රැස් වී අළුතින් ආයුධ මිලදී ගැනීමට ක්ෂණිකව තීරණය කරයි. මේ වෙනුවෙන් ක්ෂණිකව වැය කරන්නට අරමුදල් අවශ්‍ය වේ. ඒ අරමුදල් කෙසේ හෝ සෙවිය යුතුය. (මෙවැනි අවස්ථා වලදී පිටතට පෙනෙන පරිදි යුද්ධයට කිසි සම්බන්ධයක් නොමැති බොහෝ පිරිස්ද වක්‍රව යුද්ධයට දායක වී තිබේ.) ඡන්දයක් ලං වන විට ආණ්ඩුවේ ලොකු තැන් ලොකු වියදම් වලට පෙළඹේ. මේවාද වසර මුල හදන ණය වැඩ සටහනේ නැත.
රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළදපොළේ සැපයුමෙහි ප්‍රභවය එක් තැනක් වුවත්, මෙකී නොකී බොහෝ හේතු නිසා භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් සැපයුම (හෙවත් දළ ප්‍රකාශයක් ලෙස රජයේ දේශීය ණය ඉල්ලුම) වසර පුරා බොහෝ සේ උච්ඡාවචනය වේ. මේ අයුරින්ම, මේ භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් සඳහා වන ඉල්ලුමද වසර පුරා වෙනස් වේ. ඒ සඳහා හේතු වන කරුණු මෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම ඇති වන ආකාරය ඉදිරි ලිපියකින් කතා කරමු.
3 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
ඉකෝන්, සමාවෙන්න මාතෘකාවට අදාල නෑ.
ReplyDeleteමට තේරෙන්නෙ නෑ රටක සල්ලි අච්චු ගහන ප්‍රතිපත්තිය.
තියෙන සල්ලි පරන වුනාම ඒව ඉවත් කරල එම ප්‍රමානයම මුද්‍රණය කිරීම ප්‍රශ්නයක් නෑ.
හිටිගමන් අලුතෙන් මුද්‍රනය කරල මුදාහැරියම උද්ධමන ඇති වෙනව කියලත් ලාවට තේරෙනව.
නමුත් රටක් අලුතෙන් මුදල් මුද්‍රණය කර මුදාහරින පැහැදිලි ප්‍රතිපත්තිය සැකසෙන්නෙ කෙසේද කියා විස්තර වසයෙන් දැන ගන්න කැමතියි.
ඉඩ ඇති විටෙක ලියනවානම් තෑන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්.
මෙය වැඩි මහන්සියක් නොවී ඉතා පහසුවෙන් ලියන්න පුළුවන් දෙයක්. ඉදිරියේදී ලියන්නම්!
DeleteYou are welcome!
ReplyDelete