Showing posts with label චක්‍රීය ප්‍රවාහ ආකෘතිය. Show all posts
Showing posts with label චක්‍රීය ප්‍රවාහ ආකෘතිය. Show all posts
Tuesday, June 28, 2016
චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ගැන තව දුරටත්...
වෙළඳපොළ ආර්ථිකයක් විස්තර කෙරෙන ඉතා සරල ආකෘතියක් වන චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ගැන අපි පසුගිය ලිපියෙන් කතා කළෙමු. එම ආකෘතිය අනුව, ගෘහස්ථ ඒකක හා සමාගම් ලෙස එකිනෙකට වෙනස් ඒකක වර්ග දෙකකි. මේ ඒකක වර්ග දෙකෙන් සමාගම් වල කාර්යභාරය සංකල්පීය එකක් වන අතර ගෘහස්ථ ඒකක වල කාර්ය භාරය ඊට වඩා සක්‍රිය එකකි.
සමාගමකට නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය ලැබෙන්නේ ගෘහස්ථ ඒකක වලිනි. එම නිෂ්පාදන සාධක උපයෝගී කරගෙන ලබාගන්නා ලාභයද අවසාන වශයෙන් ගෘහස්ථ ඒකක කරා සම්ප්‍රේෂණය වේ.
නිෂ්පාදන සාධක ඇත්තේ ගෘහස්ථ ඒකක වලය. එහෙත්, නිෂ්පාදනයක් සිදුකර ලාභයක් ලැබිය හැක්කේ සමාගමකට හෝ වෙළඳ ව්‍යාපාරයකටය. මේ බෙදීම සංකල්පීය බෙදීමක් නිසා කිසියම් වෙළඳ ව්‍යාපාරයක් භෞතිකව ක්‍රියාත්මක වන්නේ ගෘහස්ථ ඒකකයක් තුළම වුවද මේ ආකෘතිය වලංගුය.
ගෘහස්ථ ඒකකයක් සතු ශ්‍රමය හා ප්‍රාග්ධනය තරඟකාරී වෙළඳපොළක ආයෝජනය කරද්දී එය කරන්නේ වැඩිම ප්‍රතිලාභ ලැබෙන අයුරිනි. ඒ නිසා, කිසියම් සමාගමකින් ඔබේ ශ්‍රමය හෝ ප්‍රාග්ධනය (හෝ ඔබට අයිති ස්වභාවික සම්පත්) වෙනුවෙන් ගෙවන 'කුලිය' එවැනි වෙනත් සමාගමකින් ගෙවන කුලියට වඩා අඩුනම් ඔබ විසින් ඔබට හිමි නිෂ්පාදන සාධක ඒ 'වෙනත් තැනට' විතැන් කරනු ඇත. මේ නිසා, සමාගමකට හෝ වෙළඳ ව්‍යාපාරයකට එමඟින් 'කුලියට' ලබාගන්නා නිෂ්පාදන සාධක වෙනුවෙන් ගෙවිය යුතු වැඩිම මිල ගෙවන්නට සිදුවේ. ශ්‍රමය හා අදාළව මේ කුලිය යනු වැටුප්, වේතන ආදියයි. ප්‍රාග්ධනය හා අදාළව පොලියයි. අවසාන වශයෙන් සමාගම් විසින් ලබන ලාභ වල ප්‍රතිලාභ භුක්ති විඳින්නේ ගෘහස්ථ ඒකක වල වෙසෙන සැබෑ පුද්ගලයින්මය.
ආරම්භයේදී පුද්ගලයෙකුට ප්‍රාග්ධනය හෝ ඉඩම් වැනි ස්වභාවික සම්පත් හිමි කරගත හැක්කේ දෙමවුපිය උරුමයෙනි. එහෙත්, මේ වාසිය සියල්ලන්ටම එකසේ නොලැබේ. ඒ නිසා, ප්‍රාග්ධනය හා/හෝ ස්වභාවික සම්පත් හිමිකම 'වාසනාවට' ලැබෙන පුද්ගලයෙකුට එසේ නොලැබෙන කෙනෙකුට වඩා වැඩි ආරම්භක වාසියක් තිබේ. ප්‍රාග්ධන හිමිකම් නොමැති අයෙකුට ප්‍රාග්ධනය හිමි කර ගත හැකි වන්නේ තමන් සතු ශ්‍රම සම්පත් සඳහා ලබා ගත හැකි ප්‍රතිලාභ සම්පූර්ණයෙන්ම පරිභෝජනය නොකර කොටසක් ඉතිරි කර ගැනීම මඟිනි.
ශ්‍රම සම්පත භෞතික ශ්‍රමය හා මානව සම්පත් ලෙස වර්ග කළ හැකිය. අද වන විට, මේ දෙකෙන් වඩා වැදගත් වන්නේ මානව සම්පතයි. බොහෝවිට භෞතික ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වලින් මූලික පරිභෝජන අවශ්‍යතා ඉටු කරගැනීමෙන් පසු කොටසක් ඉතිරි කර ගැනීම පහසු නැත.
මානව සම්පත යනු ප්‍රාග්ධන සම්පත මෙන්ම ආයෝජනය කිරීමෙන් වර්ධනය කර ගත යුතු දෙයකි. අද වන විට, ලෝකයේ බොහෝ රටවල සියල්ලන්ටම නොමිලේ මූලික අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ඇති නිසා උරුමයේ වාසනාව නැති අයෙකුට වුවද තමන් සතු මානව සම්පත වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබී තිබේ. මේ නිසා, සුවිශේෂී ව්‍යවසායකත්ව දක්ෂතා නැති, ප්‍රාග්ධනය අහිමි අයෙකුගේ දරුවෙකුට ප්‍රාග්ධනයේ හිමිකරුවෙකු වීමට ඉඩ සැලසීම මඟින් ආදායම් විෂමතා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා නොමිලේ ලබාදෙන අධ්‍යාපනය මඟින් ඉඩකඩ සලසයි.
තරමක් සංකීර්ණ චක්‍රීය ප්‍රවාහ ආකෘතියකට තවත් වැදගත් ඒකක වර්ග දෙකක් ඇතුළත්ය. ඒ රජය හා බැංකු ඒකකයි. ගෘහස්ථ ඒකක සතු ප්‍රාග්ධනය නිෂ්පාදන ඒකක කරා සම්ප්‍රේෂණය කිරීමේදී බැංකු මඟින් අතරමැදි කාර්යයක් සිදු කරයි. මෙසේ ගෘහස්ථ ඒකක හා නිෂ්පාදන ඒකක අතර සිදුවන සෘජු මූල්‍යකරණය වෙනුවට බැංකු හරහා සිදුවන වක්‍ර මූල්‍යකරණය ජනප්‍රිය වී ඇත්තේ ඇයිද යන්න මේ ලිපියෙන් කතා කරන්නේ නැත.
රජය මඟින් කරන්නේ නිෂ්පාදන ඒකක සඳහා ගෘහස්ථ ඒකක වෙත ලැබෙන ප්‍රතිලාභ වලින් කොටසක් ලබාගෙන ගෘහස්ථ ඒකක වෙතම වෙනත් ක්‍රමයකට නැවත බෙදාහැරීමයි. මෙහි අරමුණ සමානාත්මතාවය, නිදහස් වෙළඳපොළ ක්‍රමයේ ඇතැම් අඩුපාඩු මඟ හරවා ගැනීම හෝ රටක ජනතාව එකඟ වන වෙනත් හේතුවක් විය හැකිය. මේ නිසා, කිසියම් ගෘහස්ථ ඒකකයකට අවසාන වශයෙන් සම්ප්‍රේෂණය වන (පරිභෝජනය හා ආයෝජනය සඳහා යොදාගත හැකි) ශුද්ධ ප්‍රතිලාභ ප්‍රමාණය එම ඒකකයෙන් සමාගම් වෙත ලබාදී ඇති නිෂ්පාදන සාධක වෙනුවෙන් ලැබිය යුතු ප්‍රශස්ථ ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි විය හැකිය. (නිෂ්පාදන සාධක මත පනවන බදු වලට අමතරව රජයයන් විසින් බොහෝ විට පරිභෝජනය මතද බදු පනවයි. ලංකාවේ බදු වලින් වැඩි ප්‍රමාණයක් මෙවැනි වක්‍ර බදුය.)
ලංකාවේදී ශ්‍රමය සඳහා ලැබෙන ප්‍රතිලාභ මත පනවන බද්දක් ලෙස උපයන විට ගෙවීමේ බද්ද සඳහන් කළ හැකිය. ඇතැම් ආයෝජන සඳහා ලැබෙන පොලිය මත පනවන රඳවා ගැනීමේ බද්ද හා ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ප්‍රාග්ධන බද්ද ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ මත පනවන බදු ලෙස හැඳින්විය හැකිය. ආදායම් බදු යනු මේ දෙයාකාරයේම ප්‍රතිලාභ මත පොදුවේ පැනවෙන බද්දකි.
අවසාන වශයෙන් මේ ආකෘතියට විදේශ අංශයද එකතු කළ යුතුය.
(Image: )
Labels:
චක්‍රීය ප්‍රවාහ ආකෘතිය,
ප්‍රාග්ධනය,
බදු,
ශ්‍රමය
Wednesday, June 1, 2016
වෙළඳපොළ ආර්ථිකයක් යනු කුමක්ද?
මේ ලිපියෙන් කරන්නේ තරමක් මුලටම ගොස් සරල ආකෘතියක් මඟින් වෙළඳපොළ ආර්ථිකයක් යනු කුමක්දැයි පැහැදිලි කිරීමකි. වෙළඳපොළ ආර්ථිකයක් තුළ නිෂ්පාදනය සිදුවන ආකාරය විස්තර කරන මේ සරල ආකෘතිය චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ලෙස හැඳින්වේ.
චක්‍රීය ප්‍රවාහ ආකෘතිය තුළදී හඳුනාගන්නා මූලික ඒකක වර්ග දෙකකි. ඒ ගෘහස්ථ ඒකක හා ව්‍යාපාර ඒකකයි. ගෘහස්ථ ඒකක පුද්ගලයින්ගෙන් සමන්විත වන අතර මේ පුද්ගලයෝ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරති. එසේ කිරීමෙන් ඔවුහු තෘප්තියට පත්වෙති. මේ තෘප්තිය පෞද්ගලික අත්දැකීමකි. එකම භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කිරීමෙන් විවිධ පුද්ගලයින් විසින් ලබන තෘප්තිය සමාන නැත.
සමාගමක් හෝ ව්‍යාපාර ඒකකයක් යනු පුද්ගලයින්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය තුළින් බිහි කරගත් සංකල්පයකි. සමාගමක් සතු වත්කම්, වගකීම්, ඉලක්ක ආදිය තිබේ. උපතක්, මරණයක් හා ජීවිත කාලයක්ද තිබේ. මේ ජීවිත කාලය මිනිසෙකුගේ සාමාන්‍ය ජීවිත කාලයට වඩා බොහෝ වැඩි විය හැකිය.
සමාගම් සමඟ පුද්ගලයෝ විවිධ අන්තර්ක්‍රියාවන් කරති. සංකල්පීය ලෙස සමාගමක් යනු අථත්‍ය පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි වුවත් එය මනසේ ඇති සංකල්පයක්ම පමණි. මේස, පුටු, පරිගණක, යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි ආදිය මිස සමාගමක් නම් වූ භෞතික දෙයක් නැත. ඒ නිසා සමාගමකට පරිභෝජනය කිරීමට නොහැකිය.
කෙසේවුවද, ගෘහස්ථ ඒකක වලට අයත් පුද්ගලයින්ට සමාගම් සමඟ සංකීර්ණ අන්තර් ක්‍රියාවන්හි යෙදීමට එය බාධාවක් නොවේ. එමෙන්ම, කිසියම් පුද්ගලයෙකු විසින් තනිව මෙහෙයවන ව්‍යාපාරයක් වුවද එම පුද්ගලයාගෙන් බාහිර අථත්‍ය පුද්ගලයෙකු සමඟ කරන අන්තර්ක්‍රියාවක් ලෙස සංකල්පීය ලෙස සිතීමටද පුළුවන.
සමාගමක කාර්යය වනුයේ භාණ්ඩ හා/හෝ සේවා නිෂ්පාදනය කිරීමයි. භාණ්ඩ සේවා වලින් වෙනස් වන්නේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් පසුව පරිභෝජනය කරන තුරු ගබඩා කර තබාගත හැකිවීමත්, සේවාවන් එසේ ගබඩා කර තබාගත නොහැකි වීමත් නිසා පමණි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිෂ්පාදන සාධක ප්‍රාග්ධන සම්පත්, ශ්‍රම සම්පත් හා ස්වභාවික සම්පත් ලෙස වර්ග කළ හැකිය. කිසියම් නිෂ්පාදනයක් සිදුකිරීම සඳහා මේ එක් එක් වර්ගයේ සම්පත් අවශ්‍ය වන අනුපාතය සමාගමක් විසින් උපයෝගී කරගන්නා නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව වෙනස් වේ.
නිෂ්පාදන ඒකක ඇත්තේ ගෘහස්ථ ඒකක සතුවය. සමාගම් වලට නිෂ්පාදන සාධක වෙළඳපොළ හරහා ගෘහස්ථ ඒකක වලින් මේ සාධක සොයා ගැනීමට සිදුවේ. නිෂ්පාදන සාධක වෙළඳපොළ තරඟකාරී වෙළඳපොළකි. එහිදී, සමාගම් වලට හැකි අවම මිලකට ශ්‍රමය, ප්‍රාග්ධනය හා ස්වභාවික සම්පත් ලබා ගැනීමට හැකිවන අතරම ගෘහස්ථ ඒකක වලට හැකි උපරිම මිලට මේ නිෂ්පාදන සාධක විකිණීමට ඉඩකඩ ලැබේ. සමාගම් නිෂ්පාදන සාධක වෙනුවෙන් පිරිවැයක් දරද්දී ගෘහස්ථ ඒකක වලට ශ්‍රමය වෙනුවෙන් වැටුප්ද, ප්‍රාග්ධනය වෙනුවෙන් පොලී හා/හෝ ලාභාංශද, ස්වභාවික සම්පත් වෙනුවෙන් කුලියද මුදල් ලෙස ලැබේ.
සමාගම් විසින් නිපදවන භාණ්ඩ හා සේවාවන් නැවතත් ගෘහස්ථ ඒකක වලටම විකිණේ. මෙය සිදුවන්නේ භාණ්ඩ හා සේවා වෙළදපොල හරහාය. ගෘහස්ථ ඒකක සතු මුදල් මේ වෙනුවෙන් වැය කෙරේ. එය සමාගමේ ආදායමයි. සමාගමේ ආදායම හා වියදම අතර වෙනස එහි ලාභයයි. මේ ලාභ ලාභාංශ ලෙස සම්පූර්ණයෙන් බෙදා නොදුන්නොත් සමාගම තුළ ඉතිරි වේ. එවිට සමාගමේ වටිනාකම ඉහළ යයි. මෙහි වාසියද සමාගමේ කොටස් හිමිකරුවන් වන ගෘහස්ථ ඒකක වලට ලැබේ. කොටස් විකිණීමෙන් මේ වාසිය මුදල් කළ හැකිය.
සාමාන්‍යයෙන් නිෂ්පාදන සාධක වල අගයට වඩා නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවන් වල අගය වැඩිය. මෙසේ එකතු කෙරෙන අගය තීරණය වන්නේ සමාගමක් සතු නිෂ්පාදන තාක්ෂනය අනුවය. එකතු වන අගයේ වාසිය අවසාන වශයෙන් ගෘහස්ථ ඒකක වෙත ලැබේ. එය පරිභෝජනය වැඩි කර ගැනීමට හෝ අනාගත පරිභෝජනය වෙනුවෙන් ආයෝජනය කිරීමට පුළුවන.
මේ ආකෘතිය තුළ ශ්‍රමිකයෙක්, ආයෝජකයෙක්, ස්වභාවික සම්පත් හිමිකරුවෙක් හා පාරිභෝගිකයෙක් ලෙස විවිධ කාර්යයන්හි යෙදෙන්නේ ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින්ය. සමාගමක කාර්යය අවසාන වශයෙන් නිෂ්ක්‍රීය එකකි.
ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින්ට කළ හැකි තවත් කාර්යයක් තිබේ. ඒ ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමයි. මේ සඳහා පවතින මිල ගණන් යටතේ හෝ වැඩි මිලක් ගෙවා නිෂ්පාදන සාධක මිල දී ගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර පවතින මිලගණන් යටතේම හෝ අඩු මිලකට විකුණා තමන්ටද ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් ගැන සිතන්නට සිදුවේ. මෙය පහසු නැත. ව්‍යවසායකයින් දුලබ හා වටිනා පුද්ගලයින් ලෙස සැලකෙන්නේ ඒ නිසාය.
Labels:
චක්‍රීය ප්‍රවාහ ආකෘතිය,
ප්‍රාග්ධනය,
වෙළඳපොළ ආර්ථිකය,
ශ්‍රමය
Subscribe to:
Posts (Atom)

