Showing posts with label ආයෝජන කළඹ. Show all posts
Showing posts with label ආයෝජන කළඹ. Show all posts

Wednesday, February 8, 2017

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

 

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ ගැන කතා කරන්නට පෙර අප විසින් එම සමාගම වැනි මූල්‍ය ආයෝජන මඟින් ලාභ ඉපැයීම අරමුණු කරගත් සමාගමකට ලාභ වැඩි කරගත හැක්කේ කෙසේද යන කරුණ තේරුම් ගත යුතුය. මූල්‍ය ආයෝජන සමාගමක් විසින් ආදායම් උපයන ප්‍රධානම ප්‍රභවය වන්නේ සිය ආයෝජන වෙනුවෙන් ලැබෙන පොලී ආදායමයි.

විවිධ මූල්‍ය ආයෝජන සඳහා ලැබෙන්නේ විවිධ පොලී අනුපාතිකයන්ය. එසේනම්, වැඩි පොලී අනුපාතිකයක් ලැබෙන ආයෝජනයක් මඟහැර අඩු පොලී අනුපාතිකයක් ලැබෙන ආයෝජනයක් කරා කිසියම් ආයතනයක් යොමු වන්නේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ.

ආයෝජනය කිරීමෙන් පොලිය ලෙස ආදායමක් ලැබෙන නමුත් පොලිය මෙන්ම මුල් ආයෝජනයද නැති වී යාමේ අවදානමක්ද එහි තිබේ. බිඳ වැටුණු බැංකු ගැන හෝ සක්විතිලා හා දඬුවම් මුදලාලිලා ගැන මා විසින් අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. ඒ නිසා වැඩි අවදානමක් ඇති ආයෝජන වලට ඇත්තේ අඩු ඉල්ලුමකි. මෙහි ප්‍රතිපලයක් ලෙස, සාමාන්‍ය මූලධර්මයක් ලෙස, ආයෝජනයක ඇති අවදානම හා පොලී අනුපාතික අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයකි. එනම්, වැඩි අවදානමක් ඇති ආයෝජන සඳහා වැඩි පොලියක්ද ලබා ගත හැකි අතර අඩු අවදානමක් සහිත ආයෝජන සඳහා ලැබෙන්නේ අඩු පොලියකි.

-ආයෝජනයක මුල් මුදල ආපසු ලබා ගැනීමට ගත වන කාලය වැඩි වන තරමට අවදානම වැඩිය.
-රාජ්‍ය ණය සුරැකුම්පත් වල කරන ආයෝජන පෞද්ගලික ආයතනයකින් නිකුත් කරන ණය සුරැකුම්පත් වල හෝ ව්‍යාපාර වස්තු (කොටස් වෙළඳපොළ ආයෝජන) වල කරන ආයෝජනකට වඩා අවදානම අඩුය.
-සුරැකුම්පත් නිකුත් කරන්නෙකුගේ ණය බර වැඩි වන තරමට අවදානම වැඩි වේ.

මේ හේතු ඇතුළු කවර හේතුවකින් හෝ ආයෝජනයක අවදානම වැඩි වන විට පොලී අනුපාතිකයද වැඩි වන නිසා වැඩි අවදානමක් ගන්නා අයකුට වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කළ හැකිය. අනෙක් අතට, අවදානමක් නොගෙන වැඩි ප්‍රතිලාභයක් ලබා ගත නොහැකිය. ඒ නිසා, කිසියම් මූල්‍ය ආයෝජන සමාගමකට තමන් විසින් ගන්නට සූදානම් අවදානමේ ප්‍රමාණය ගැන තීරණයකට එළැඹෙන්නට සිදු වේ.

ලංකාවේ විශාලතම මූල්‍ය ආයෝජකයා වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. 2015 වසර අවසන් වන විට එම අරමුදල සතු වූ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1,664.6 ක් විය. මෙය කෙතරම් විශාල මුදලක්ද කියනවානම් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති සමාගම් කොටස් වලින් අඩක් මිල දී ගන්නට මේ අරමුදල් ප්‍රමාණවත් වූ අතර රජයේ මුළු දේශීය ණය ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ විය.

සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වලින් රුපියල් බිලියන 1,487.1ක් ආයෝජනය කර තිබුණේ රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලය. මේ මුදල 2015 අවසානයේදී රජය විසින් නිකුත් කර තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය වූ රුපියල් බිලියන 3,963.4 න් 37.5%ක් විය. මේ ආයෝජන මඟින් අර්ථසාධක අරමුදල ඉපැයූ පොලී ආදායම රුපියල් බිලියන 167.7කි. මෙය එම ආයෝජන මත 11.28% ක ප්‍රතිලාභ අනුපාතිකයකි. 

සේවක අර්ථසාධක අරමුදලට සෑම වසරකදීම වාගේ අළුතින් එකතුවන සාමාජික මුදල් ප්‍රමාණය වසරක් තුළ ආපසු ගෙවිය යුතු ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා වැඩිය. ඒ නිසා, අරමුදලේ වත්කම් කිසියම් ලෙසකින් "හිර වී" තිබුණද, අළුතින් එකතු වන අරමුදල් වලින් පමණක් වුවද ආපසු ගෙවීම් කරන්නට බැරිකමක් නැත. මේ හේතුව නිසා සේවක අර්ථසාධක අරමුදලට "බය නැතිව" දිගුකාලීනව අරමුදල් ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාව තිබේ.

මේ "දිගුකාලය" වසර පහළොවක් පමණ ලෙස අපි සිතමු. කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සතු අරමුදල් වසර පහළොවක් වැනි දිගුකාලයකට ආයෝජනය කිරීම සඳහා ප්‍රධාන විකල්ප දෙකක් තිබේ. පළමු විකල්පය වන්නේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. දෙවන විකල්පය කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීමයි. තෙවන විකල්පය ලෙස සැලකිය හැකි සමාගම් මඟින් නිකුත් කරන බැඳුම්කර සදහා ලංකාවේ පුළුල් වෙළඳපොළක් නැත.

රාජ්‍ය සුරැකුම්පත් වල කරන ආයෝජන වල අවදානම අඩුය. එමෙන්ම ප්‍රතිලාභද අඩුය. කොටස් වෙළඳපොළ ආයෝජන වල අවදානම මෙන්ම ප්‍රතිලාභද වැඩිය. රජය විසින් නිකුත් කරන වසර 15ක පමණ පරිණත කාලයක් ඇති බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් දිගුකාලීනව වත්කම් මත 12%ක පමණ ප්‍රතිලාභයක් ලබා ගත හැකි අතර දිගුකාලීනව කොළඹ කොටස් වෙළදපොළ සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකය 20% පමණ වේ.

කෙසේ වුවද, කෙටිකාලීනව කොටස් වෙළදපොළෙහි ආයෝජනය කිරීමෙන් මුල් ආයෝජනයන්ද කොටසක් අහිමි වීමට ඉඩ තිබේ. පසුගිය 2016 වසරේදී කොටස් වෙළදපොළ ආයෝජන කළ අයෙකුට සාමාන්‍ය වශයෙන් 9.7%ක පාඩුවක්ද, ඊට පෙර 2015 වසරේදී 5.5%ක පාඩුවක්ද සිදුවිය. රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කළ විට කෙටිකාලීනව වුවද මෙසේ මුල් මුදල අහිමි වීමේ අවදානම ඉතා අඩුය.

සේවක අර්ථසාධක අරමුදල වැනි දිගුකාලීනව අරමුදල් හිර කර තැබීම ප්‍රශ්නයක් නොවන ආයතනයක් වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීම සඳහා කළ යුත්තේ සිය ආයෝජන කළඹෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කොටස් වෙළපොළෙහි ආයෝජනය කිරීමය. එසේ කිරීමෙන් කෙටිකාලීනව පාඩු සිදු වුවද, වසර දහයක් හෝ පහළොවක් වැනි දිගුකාලයකදී අනිවාර්යයෙන්ම සැලකිය යුතු වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකිය. එහෙත්, සේවක අර්ථසාධක අරමුදල විසින් කරන්නේ එහි අනිත් පැත්තයි. එනම්, සිය ආයෝජන කළඹෙන් 90-95%ක් පමණම රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. අරමුදල විසින් කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන්නේ මුළු අරමුදල් ප්‍රමාණයෙන් 5%ක් වැනි අඩු ප්‍රතිශතයකි.

සේවක අර්ථසාධක අරමුදලට ඉහත පරිදි ක්‍රියා කරන්නට සාධාරණ හේතු තිබේ. පළමුව, අරමුදලේ ආයෝජන තීරණ ගන්නේ මහ බැංකු නිලධාරීන් විසිනි. සිය ශ්‍රේණිය අනුව නිශ්චිත වැටුප් තලයක සිටින මේ නිලධාරීන්ට අවදානමක් ගෙන අරමුදලේ වත්කම් වෙනුවෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගිණුම් හිමියන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා දුන්නා කියා විශේෂ වාසියක් නොලැබේ. එහෙත්, ආයෝජන කරන පෞද්ගලික සමාගමක සේවකයෙකුට අවදානම ගෙන එසේ ලබා ගන්නා කිසියම් ලාබයක් වෙතොත් එයින් සැලකිය යුතු කොමිස් මුදලක් ලැබේ. ඒ නිසා, පෞද්ගලික ආයෝජන සමාගමක සේවකයෙකු වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් වැඩි අවදානමක් ගන්නට පෙළඹේ.

අනෙක් අතට මෙවැනි අවදානමක් ගෙන පාඩුවක් සිදුවුවහොත්, සේවක අර්ථසාධක අරමුදලේ සේවකයෙකුට පෞද්ගලිකව ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවේ. වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවදානමක් ගෙන ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී හා හෙජින් ගනුදෙනුවේදී පාඩු සිදුකර ගැනීමෙන් පසු අදාළ මහ බැංකු නිලධාරීන්ට මුහුණ දෙන්නට සිදු වූ අපහසුතා උදාහරණයි. ඒ නිලධාරීන්ගේ පැත්තෙන් වඩා සුරක්ෂිත දෙය හැකි තරම් අඩු අවදානමක් ගැනීමයි. ඔවුහු එය කරති. ඒ නිසා, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන්නේ ලබාගත හැකි උපරිම ප්‍රතිලාභයට වඩා සැලකිය යුතු ලෙස අඩු ප්‍රතිලාභයකි.


මෙසේ ක්‍රියා කිරීමට දෙවන හේතුවක් විය හැක්කේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිය ප්‍රධාන කාර්යය විය යුත්තේ සාමාජික ගිණුම් හිමියන්ට ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම බව අමතක කර, රජයට අඩු පොලියට අරමුදල් සොයා ගැනීමට උදවු කිරීම සඳහා යොමුවීම වන්නට පුළුවන. මෙය මේ අයුරින් සිදුවීමට හේතු වන්නේ සේවක අර්ථසාධක අරමුදලෙහි පාරිභෝගිකයින් මෙන්ම "කොටස් හිමියන්" ලෙසද එක්තරා ආකාරයකින් සැලකිය හැකි සාමාජික ගිණුම් හිමියන්ට අරමුදලේ කළමනාකරණය වෙත බලපෑමක් කිරීමට තබා සිය අරමුදල් ස්ව-කැමැත්තෙන් බැහැර ගෙන යාමට හෝ හැකියාවක් නැති වීමයි. යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදලට වෙනත් තරඟකරුවකු සිටියේනම්, සාමාජිකයින් විසින් දිගුකාලීනව වැඩි ප්‍රතිලාභ ලබාදෙන ආයතනයට සිය අරමුදල් රැගෙන යා හැකිව තිබුණි.

Monday, January 30, 2017

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව

අද දිවයින මුල් පුවතෙහි සඳහන් වන්නේ "ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර අක්‍රමිකතාව නිසා සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) රුපියල් කෝටි 1400 කට අධික අතිවිශාල අලාභයක්‌ සිදුව" ඇති බවකි.  ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව, මේ කියන අලාභය ඇත්තටම සිදු වී ඇති අලාභයක්ද එසේ නැත්නම් ලබා ගත හැකිව තිබුණු ලාභයක් නොලැබී යාම නිසා සිදු වූ උපකල්පිත අලාභයක් පමණක්ද යන්න පැහැදිලි නැත.

පුවත අනුව, "අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි ද එම අරමුදල විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සෘජුවම භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගත්තා නම් මේ අති විශාල අලාභය සිදු නොවීමට ඉඩ තිබුණ බව ද බැංකුව විසින් දැනට කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී තිබේ."

මේ කතාව අර්ධ සත්‍යයක් පමණි. ව්‍යාපාරික කටයුතු වල යෙදෙන රාජ්‍ය ආයතන නෛසර්ගිකවම පෞද්ගලික ආයතන වලට වඩා අකාර්යක්ෂම නිසා සේවක අර්ථසාධක අරමුදල වැනි මුල්‍ය වෙළඳපොළෙහි ආයෝජනය කර ලාභ ලැබීම ප්‍රධාන අරමුණ කරගත් ආයතනයක් එම අරමුණම වෙනුවෙන් කටයුතු කරන වෙනත් පෞද්ගලික ආයතනයක් ලබන තරමේ ලාභයක් නොලබන බව ඇත්තකි. ඒ අර්ථයෙන් සේවක අර්ථසාධක අරමුදල විසින් ඔවුන්ගේ පාලනය යටතේ ඇති අරමුදල් වෙනුවෙන් ලබා ගත හැකිව තිබුණු උපරිම ප්‍රතිලාභ ලබාගෙන නොතිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

කෙසේ වුවද, "අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි" කීම සත්‍යයක් විය හැක්කේ මෙවැනි ගනුදෙනුවක් පිටුපස කිසියම් පාරදෘශ්‍ය නොවන සිදුවීමක් සිදුව ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් පමණි.

මෙය පැහැදිලි කිරීම සඳහා මගේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ලිපි මාලාවේ හයවන කොටස සමඟ ඉදිරිපත් කළ පළමු වගුව වෙත යමු. 2015 පෙබරවාරි 27 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා සේවක අර්ථසාධක අරමුදල විසින් ලන්සු තබා ඇත්තේ රුපියල් 100 සිට 104.51 දක්වා පරාසයකය. ද්විතීයික වෙළෙඳපොළේදී සේවක අර්ථසාධක අරමුදලට භාණ්ඩාගාර බැඳුම්කර විකුණා ඇති රටේ කාලයක් තිස්සේ පුවත් මවන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් සෘජුව හෝ වක්‍රව රුපියල් 97.88 සිට 86.77 දක්වා පරාසයක ලන්සු තබා ඇති අතර ඒ අතරින් රුපියල් 90.17 ඉක්මවූ ලන්සු පිළිගැනිණි. පහළොස්වන කොටස සමඟ පළකර ඇති හත්වන වගුවෙන් පෙන්වා ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල විසින් නාමික අගය රුපියල් 100ක් වන භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ගෙවා ඇති බරිත සාමාන්‍ය මිල රුපියල් 102.23කි.

සේවක අර්ථසාධක අරමුදලට ඔවුන් වෙන්දේසියෙන් මිල දී ගත් බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ලාභයක් ලබා ගැනීමටනම් රුපියල් 102.23 ඉක්මවන මිලකට මේ බැඳුම්කර විකිණිය හැකි විය යුතුය. ඔවුන් වෙන්දේසියෙන් හිමිකර ගත් බැඳුම්කර ප්‍රමාණය (නාමික අගය අනුව) රුපියල් බිලියන දෙකක් නිසා ද්වීතියික වෙළඳපොලෙහි රුපියල් 103.23 බැගින් විකිණිය හැකි වූයේනම් රුපියල් මිලියන 20 ක ක්ෂණික ලාභයක්ද, රුපියල් 112.23 බැගින් විකිණිය හැකි වූයේනම් රුපියල් මිලියන 200 ක ක්ෂණික ලාභයක්ද සේවක අර්ථසාධක අරමුදලට ලබාගත හැකිව තිබුණි. එහෙත්, එසේ වැඩි මිලකට විකිණීමේ හැකියාවක් සේවක අර්ථසාධක අරමුදලට නොතිබුණේ එවැනි මිලකට මෙම භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට කිසිවකු සූදානම්ව නොසිටි බැවිනි.

ඇත්තටම ඉහත වෙන්දේසියෙන් පසුව තිස් අවුරුදු බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකිණිය හැකිව තිබුණේ සේවක අර්ථසාධක අරමුදලේ බරිත සාමාන්‍ය පිරිවැය වූ රුපියල් 102.23ට වඩා බොහෝ අඩු මිලකටය. ඒ නිසා, යම් හෙයකින් එම අරමුදලට සිය බැඳුම්කර මුදල් කරන්නට අවශ්‍ය වීනම් එය කළ හැකිව තිබුණේ විශාල අලාභයක් ක්ෂණිකව ලබමිනි. උදාහරණයක් ලෙස ලිපි මාලාවේ දහවන කොටස සමඟ පළකර ඇති පස්වන වගුව ඇසුරින් පැහැදිලි කර ඇති පදනම මත මේ ද්වීතියික වෙළඳපොළ මිල රුපියල් 96.02 ලෙස සැලකුවහොත්, නාමික අගය රුපියල් 100කට රුපියල් 6.21 බැගින් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 124.2ක ක්ෂණික අලාභයක් සිදුවිය හැකිව තිබුණි. මෙය දිවයින පුවතේ සඳහන් රුපියල් කෝටි 1,400ක හෙවත් බිලියන 14ක අලාභයට සාපේක්ෂව සුළු අලාභයකි.

කෙසේවුවද, මේ බිලියන දෙකේ ගණුදෙනුව සේවක අර්ථසාධක අරමුදලේ තවත් එක් ගනුදෙනුවක් පමණි. අපේ සාකච්ඡාවට අදාළ ගණුදෙනු සිදුවී ඇති 2015 අවසානයේ අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1,665ක් විය. මේ වත්කම් වලින් සුළු ප්‍රමාණයක් හැර ඉතිරිය අරමුදලේ ආයෝජන කළඹට අයත් වන අතර එයින්ද 90%ක් පමණම ආයෝජනය කෙරෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලය. ඒ නිසා, දිගින් දිගටම වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලට වඩා අඩු ලන්සු තබමින් බැඳුම්කර මිල දී ගත්තේනම් සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව බිලියන 14ක මට්ටමකට ඉහළ යන්නට බැරිකමක් නැත.

දැන් මෙසේ සේවක අර්ථසාධක අරමුදල පාඩු ලැබුවාය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙයින් අදහස් වන්නේ සේවක අරමුදල විසින් රුපියල් 102.23 බැගින් මිලදී ගත් බැඳුම්කර වල වෙළඳපොළ මිල රුපියල් 96.02 දක්වා පහත වැටීම නිසා (වෙනත් ආයෝජන නොසලකා හැරියොත්) අරමුදලේ ආයෝජන කළඹේ වෙළඳපොළ වටිනාකම ආයෝජනය කළ මුල් මුදලට වඩා අඩුවී තිබීම නිසා සිදුවූ අවාසියයි. කෙසේ වුවද, මේ පාඩුව "පොත් වල ඇති" පාඩුවකි. මේ පාඩුව සැබෑ පාඩුවක් වන්නේ පවතින මිලට මේ බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණුවහොත්ය.

මෙසේ වෙළඳපොළ මිලට විකිණීමත් සමඟ පොතේ ඇති පාඩුව සැබෑ පාඩුවක් බවට පත් වන නිසා, සල්ලි හදිස්සියක් නැත්නම්, ආයෝජකයෙකු බොහෝ විට කරන්නේ අදාළ බැඳුම්කර නොවිකුණා "යන විදිහ" බලා සිටීමයි. සේවක අර්ථසාධක අරමුදලට සාමාන්‍යයෙන් ලොකු සල්ලි හදිස්සි ඇති නොවේ.

කෙසේ වුවද, මෙසේ බලා සිටීමෙන් වැඩක් වෙන්නේ ද්වීතියික වෙළදපොළ මිල රුපියල් 102.23 මට්ටම ඉක්මවා ඉහළ යන්නට ඉඩක් ඇත්නම් පමණි. එසේ බලා සිටිද්දී යම් හෙයකින් මිල තවත් පහත වැටුණොත් සිදුවන්නේ අලාභය තවත් වැඩි වීමයි.

රුපියල් 96.02 සිට රුපියල් 102.23 දක්වා බැඳුම්කරයක මිල ඉහළ යන්නට ඇති ඉඩකඩ එතරම් වැඩි නොවන බව පැහැදිලිය. එහෙත්, මේ මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමට සැලකිය යුතු ඉඩක් තිබේ. ද්වීතියික වෙළඳපොළ මිල තමන් ගෙවූ මිලට වඩා පහත වැටී "ඇනගෙන සිටින" ආයතනයකට අනුගමනය කළ හැකි එක් උපාය මාර්ගයක් වන්නේ තමන් මුලින් බැඳුම්කර මිලදී ගත් මිලට වැඩ අඩුමිලක් වන පවතින ද්වීතියික වෙළදපොල මිලට තවත් බැඳුම්කර මිල දී ගැනීම මඟින් තමන්ගේ ආයෝජන කළඹේ බරිත සාමාන්‍ය පිරිවැය අඩු කර ගැනීමයි.

උදාහරණයක් ලෙස රුපියල් 102.23ක බරිත සාමාන්‍ය මිලකට බිලියන දෙකක බැඳුම්කර මිලදී ගෙන සිටින සේවක අර්ථසාධක අරමුදලට පවතින වෙළඳපොළ මිල වන රුපියල් 96.02 බැගින් තවත් බිලියන දෙකක බැඳුම්කර මිල දී ගැනීමෙන් ආයෝජන කළඹේ බරිත සාමාන්‍ය පිරිවැය රුපියල් 99.12 දක්වා අඩු කර ගැනීමට පුළුවන. මේ මට්ටමට මිල ඉහළ යාමට ඇති ඉඩකඩ රුපියල් 102.23දක්වා මිල ඉහළ යාමට ඇති ඉඩකඩට වඩා වැඩිය. ඒ නිසා එසේ කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදලට වඩා ඉක්මණින් අලාභය පියවා ගැනීමට ඉඩක් සැලසෙන්නට පුළුවන.

වෙන්දේසියෙන් පසුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමෙන් තවත් බැඳුම්කර මිලදී ගැනීම මඟින් සේවක අර්ථසාධක අරමුදල අපේක්ෂා කළේ මෙවැනි දෙයක් විය හැකිය. ඒ නිසා ප්‍රාථමික වෙන්දේසියෙන් බැඳුම්කර මිලදී නොගෙන ද්වීතියික වෙළඳපොළෙන් පසුව මිලදී ගැනීම මහා අමුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මෙසේ වැඩිපුර බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව මිල තවත් අඩු වුවහොත් පාඩුව තවත් ඉහළ යන නිසා මෙවැන්නක් කළ යුත්තේ සැලකිල්ලෙනි.

මේ වෙන්දේසිය පමණක් සැලකුවහොත් වෙන්දේසියෙන් පසුව සේවක අර්ථසාධක අරමුදල විසින් ද්වීතියික වෙළදපොලෙන් බැඳුම්කර මිල දී ගන්නට ඇත්තේ රුපියල් 96ක පමණ මිලකට වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. වැඩිපුර බැඳුම්කර ප්‍රමාණයක් තිබුණේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සතුව නිසාත්, අඩුම මිලකට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගැනීමට උත්සාහ කළ හැකිව තිබුණේ අඩුම පිරිවැයක් ගෙවා බැඳුම්කර හිමි කරගත් ආයතනයෙන් වීමත් නිසා එම සමාගමෙන්ම මිල දී ගැනීමද තේරුම් ගත හැකි දෙයකි.

යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික වෙන්දේසියෙන් සෘජුව බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිල දී ගත්තේනම් එසේ මිල දී ගැනීමට බොහෝ දුරට ඉඩ තිබුණේ රුපියල් 100කට ආසන්න, රුපියල් 96 ඉක්මවන මිලකටය.එසේ වීනම්,අරමුදලේ පාඩුව මීට වඩා වැඩි විය හැකිව තිබුණි. ඒ නිසා ප්‍රාථමික වෙන්දේසියෙන් මිලදී නොගෙන පසුව ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගැනීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් වූයේය යන්න බොහෝ දුරට පදනම් විරහිත කතාවක් විය හැකිය.

කෙසේ වුවද, ලබා ගත හැකිව තිබුණු ලාභය ලබා නොගත්තේය යන අරුතින් සේවක අර්ථසාධක අරමුදල පාඩු ලබා ඇති බව බොරුවක් නොවේ. එහෙත්, ඒ පාඩුව සිදුවී ඇත්තේ තරඟකාරී නොවන අඩු මිලකට ආණ්ඩුවට ණය දීම නිසාය.

Wednesday, November 16, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (නවවන කොටස)

ලංකාවේත්, ඇමරිකාවේත් රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසි ක්‍රියාත්මක වන ආකාරය මම මේ ලිපි මාලාවේ මුලදීම පැහැදිලි කළෙමි. ඇමරිකාවේ වෙන්දේසියට ලන්සු තබන සියල්ලන්ටම රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කෙරෙන්නේ එකම මිලකටය. ඒ මිල වන්නේ අදාළ රාජ්‍ය සුරැකුම්පත් වර්ගය සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන ආන්තික මිලයි.

බොහෝ විට, එම රාජ්‍ය සුරැකුම්පත් වර්ගයේ ද්වීතියික වෙළඳපොළ මිල වන්නේද ආසන්න වශයෙන් ප්‍රාථමික වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම තුලනය කෙරෙන මේ මිලමය. තරඟකාරී වෙළඳපොලක එක සමාන භාණ්ඩයක් වෙනස් මිල ගණන් වලට අලෙවි විය නොහැකිය. ඕනෑම අයෙකුට ප්‍රාථමික වෙළඳපොළ වෙන්දේසියට සහභාගී වීමේ හැකියාව ඇති නිසා ඇමරිකාවේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අනෙකුත් සාමාන්‍ය පුද්ගලයින්ට නොලැබෙන විශේෂ වාසියක් නොලැබේ. ඒ නිසා, එම ආයතන වලට ප්‍රාථමික වෙන්දේසියෙන් සුරැකුම්පත් අඩු මිලට ගෙන ද්වීතියික වෙළදපොළේ වැඩි මිලට විකිණීමේ හැකියාවක් නැත.

ඉහත කී පරිදි ඇමරිකාවේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට ලාබයක් තබාගෙන, ප්‍රාථමික වෙන්දේසියට ඉදිරිපත් වීමේ හිමිකමක් නැති අයට අනෙක් අතට සුරැකුම්පත් විකිණීමේ හැකියාවක් නොමැති නිසා ඔවුන්ට ලාබ උපයන්නට වෙන්නේ වෙනත් ක්‍රම වලිනි. බොහෝ විට මේ 'වෙනත් ක්‍රමය' වන්නේ වෙළෙඳපොළ සාධක වෙනස් වී මිල වැඩි වූ අවස්ථාවක් එළඹෙන තුරු බලා සිට තමන් සතු රාජ්‍ය සුරැකුම්පත් මුදල් කිරීමයි.

ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියෙන් සියළු ගැණුම්කරුවන්ට එකම මිලකට රාජ්‍ය සුරැකුම්පත් නොලැබේ. උදාහරණයක් ලෙස මා මෙම ලිපි මාලාවේ හත්වන කොටස සමඟ පළ කළ වගුව 2 බලන්න. එම ලිපියේ ලියූ පරිදි, 2015 පෙබරවාරි 27 දින පැවති වෙන්දේසියේදී මහ බැංකුව විසින් පෙර දැනුම් දුන් පරිදි හරියටම රුපියල් බිලියනයක බැඳුම්කර නිකුත් කළේනම් සිදුවන්නේ මෙවැන්නකි.

"ඇමරිකානු ක්‍රමයේදී සියළුම ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ ආන්තික මිල වුවත්, ලංකාවේ ක්‍රමයේදී එක් එක් ගැනුම්කරුට තමන් තැබූ ලන්සුවේ මිල ගෙවන්නට සිදු වේ. ඒ අනුව, ලංකා බැංකුවට රුපියල් මිලියන 8ක මුහුණත වටිනාකමැති බැඳුම්කර වෙනුවෙන් රුපියල් 119.33ක ඉහළ මිලක්ද, ඉතිරි රුපියල් මිලියන 500 වෙනුවෙන් රුපියල් 109.39ක තරමක් අඩු මිලක්ද ගෙවන්නට සිදු වේ. ලංකා බැංකුව විසින් රුපියල් මිලියන 508ක බැඳුම්කර වෙනුවෙන් ගෙවන මුළු මුදල රුපියල් මිලියන 556.51ක් වන නිසා ලංකා බැංකුව විසින් ගෙවන බරිත සාමාන්‍ය මිල රුපියල් 109.23ක්ද, බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය 10.23%ක්ද වේ.

ඇකුයිටි සිකියුරිටීස් සමාගම රුපියල් 112.01 බැගින්ද, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් 110.95 බැගින්ද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගනිති. එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල විසින් ආන්තික මිල වන රුපියල් 104.51 ගෙවති."

මෙහි පැහැදිලිව පෙනෙන පරිදි, එක සමාන බැඳුම්කර වෙනුවෙන් එක් එක් ලන්සුකරු ගෙවන්නේ වෙනස් මිල ගණන්ය. මෙය ඇමරිකාවෙන් ලංකාව වෙනස්වන එක් ආකාරයකි. ඇමරිකාවෙන් ලංකාව වෙනස්වන දෙවන ආකාරය වන්නේ ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙළදපොළට ලන්සු තැබීමේ අයිතිය ඇති ආයතන දහසයට එම අයිතිය නොමැති වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ සුරැකුම්පත් අනෙක් අතට විකුණා ලාබයක් ලැබිය හැකි වීමයි. මේ කටයුත්තේදී කිසියම් තරඟකාරිත්වයක් ඇති වන නිසා ද්වීතියික වෙළදපොළේ තිබිය හැක්කේ (ආසන්න වශයෙන්) එක් ස්ථාවර මිලකි. මේ මිල කුමක්ද?

ප්‍රාථමික වෙන්දේසියේ බැඳුම්කර විකිණුනු අවම මිල රුපියල් 104.51 කි. ඒ නිසා ද්වීතියික වෙළඳපොළ මිල ඊට වඩා අඩු විය නොහැකිය. වෙන්දේසියට සහභාගී වී සුරැකුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සියල්ලෝම මීට වඩා ඉහළ මිලක් ඉල්ලා සිටි අයයි. ඒ නිසා, මේ සුරැකුම්පත් විකුණන්නට වෙන්නේ ප්‍රාථමික වෙළඳපොළට සහභාගී වීමේ හැකියාවක් නොතිබුණු පුද්ගලයෙකුට හෝ ආයතනයකටය.

රුපියල් 112.01 බැගින් බැඳුම්කර මිලදී ගත් ඇකුයිටි සිකියුරිටීස් සමාගම සතයක ලාබයක් තබාගෙන රුපියල් 112.02 කට කිසියම් ගැණුම්කරුවෙකුට බැඳුම්කර විකුණන්නට සැරසෙන්නේයැයි සිතමු. එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමට ඒ මිලට වඩා ශත දෙකක් අඩුවෙන් රුපියල් 112.00 කට එම ගැනුම්කරුට බැඳුම්කර විකුණා රුපියල් 7.49ක ලාබයක් ලැබිය හැකිය. ඒ, ඔවුන් ගෙවා ඇති මිල රුපියල් 104.51ක් පමණක් බැවිනි. එවිට, ඇකුයිටි සිකියුරිටීස් සමාගමට කළ හැකි දෙයක් නැත.

ලංකාවේ ප්‍රාථමික වෙන්දේසියෙන් පසුව අඩු මිලට බැඳුම්කර ගත් අය කිසියම් ලාබයක් තබාගෙන මේ බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ තුළ විකුණන බැවින් ද්වීතියික වෙළඳපොළ මිල වැඩි මිලක් දී එම වෙන්දේසියෙන්ම බැඳුම්කර මිලදී ගත් අයට අවාසියක් සිදුවන මට්ටමකට පහත වැටේ. ද්වීතියික වෙළදපොළ මිල බොහෝ විට අදාළ වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල වූ රුපියල් 108.08 මට්ටමට වැටෙන්නට ඉඩ තිබේ. එසේ වීමේදී, ප්‍රාථමික වෙන්දේසියෙන් බැඳුම්කර ලබාගත් ගැනුම්කරුවන්ගෙන් අඩකට ලාභයක් වන අතර අනෙක් අඩට පාඩුවක් සිදු වේ.

ඉහත උදාහරණයේදී, මේ සමතුලිත මිල රුපියල් 108.08 නම් රුපියල් 109.23ක සාමාන්‍ය මිලක් ගෙවූ ලංකා බැංකුවට රුපියල් 1.15ක අලාභයක්ද, ඇකුයිටි සිකියුරිටීස් සමාගමට රුපියල් 3.93ක අලාභයක්ද, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගමට රුපියල් 1.87ක අලාභයක්ද සිදුවෙද්දී, එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් 3.57ක ලාබයක් ලැබේ. මේ අනුව, ප්‍රාථමික වෙන්දේසියෙන් රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීම ලාභ මෙන්ම අලාභද සිදුවිය හැකි සූදුවකි.

වෙළදපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නේ රුපියල් 108.08 මට්ටමේදී නිසා ද්වීතියික වෙළඳපොළ මිල ඒ මට්ටමේ ස්ථාවර වීමට ඉඩ ඇති බව මා කීවත් එය හරියටම එසේම සිදු නොවනු ඇතැයි යමෙකුට කිව හැකිය. කෙසේ වුවද, වෙනත් හේතුවක් නිසා එසේම සිදු වෙයි.

පසුගිය 2015 මාර්තු පමණ දක්වා මහ බැංකුව අනුගමනය කළ ක්‍රමවේදය වූයේ ප්‍රාථමික වෙන්දේසි පැවැත්වෙන දින හැර අනෙකුත් දින වල සෘජු ක්‍රමයට භාණ්ඩාගාර සුරැකුම්පත් අලෙවි කිරීමයි. මෙසේ අලෙවි කළේ අවසන් වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලටය. ඉහත උදාහරණයේ මේ මිල රුපියල් 108.08 කි. දැන් මහා බැංකුවෙන් රුපියල් 108.08 බැගින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමේ හැකියාව ඕනෑම ප්‍රාථමික ගැනුම්කරුවෙකුට තිබෙන නිසා, වෙනත් අයෙකුගෙන් ඊට වඩා වැඩි මිලකට මිල දී ගන්නට කිසිම උවමනාවක් නැත. ඒ නිසා, ප්‍රාථමික වෙළදපොලෙන් ඊට වඩා වැඩි මිලකට බැඳුම්කර මිලදී ගත් සියල්ලන්ටම පාඩු විඳින්නට සිදුවේ. රුපියල් 108.08 යනු වෙන්දේසියෙන් අලෙවි වූ බැඳුම්කර පරාසයේ මධ්‍යන්‍යය නිසා බැඳුම්කර වලින් හරි අඩක මිල මෙසේ පහත වැටේ.

ඉහත පැහැදිලි කළ පරිදි, ලංකාවේ ප්‍රාථමික වෙන්දේසියෙන් සුරැකුම්පත් මිලදී ගැනීම අවදානම් සහගත සූදුවකි. මේ සූදුව දිනන්නටනම් වෙන්දේසියේ ආන්තික මිල නිවැරදිව අනුමාන කළ යුතුය. එය හරියටම කළ හැකිනම් විශාල ලාභයක් ලැබිය හැකිය. කිසියම් අයුරකින් මහ බැංකුවෙන් ඒ ගැන ඉඟියක් ලැබේනම් ගොඩේ ගොඩය.

"ආවොත් අත තමයි!"

දැන් මෙතැනදී ලාබයක් ලබන ප්‍රාථමික ගනුදෙනුකරුවෙක් හෝ බැංකුවක් ඒ ලාබය ලබාගන්නේ වෙනත් ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුගේ හෝ බැංකුවක වියදමිනි. රජයට මෙයින් කිසිදු විශේෂ වාසියක් හෝ අවාසියක් සිදු නොවේ.

වැඩි ලාබයක් වෙනුවෙන් මේ අවදානම ගන්නට අකැමති, සුළු ආන්තික ලාබයක් තබාගෙන වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට බැඳුම්කර විකුණා සෑහීමකට පත්වෙන වෙනත් ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුට හෝ බැංකුවකට ප්‍රාථමික වෙන්දේසියට ලන්සු තබා මේ අවදානම ගන්නවාට වඩා වෙන්දේසිය අවසන් වීමෙන් පසු සෘජු ක්‍රමයට බැඳුම්කර මිලදී ගැනීම සුරක්ෂිත තීරණයකි.

ඉහත කරුණ නිසා බොහෝ ප්‍රාථමික ගනුදෙනුකරුවන් හා බැංකු වෙන්දේසියට ඉදිරිපත් කරන්නේ රුපියල් මිලියන සීයේ අවම ලන්සුව පමණි. එය කරන්නේ එම අවම ලන්සුව අනිවාර්යයයෙන්ම තැබිය යුතු නිසාය. ගනුදෙනුකරුවෙක් හෝ බැංකුවක් ඊට වඩා වැඩියෙන් ලන්සු තබන්නේ ඉතා සැලකිල්ලෙනි. එවැනි ලන්සු පිටුපස බොහෝ විට වෙනත් හේතුවක් තිබේ.

මෙහිදී මා 'වෙනත් හේතු' කීවද ඒවා නරක අභිලාෂ බව එයින් අදහස් නොවේ. උදාහරණයක් ලෙස සෑම වාණිජ බැංකුවකම සුරැකුම්පත් කළඹ (securities portfolio) ආයෝජන කළඹ (investment portfolio) හා වෙළඳාම් කළඹ (trading portfolio) ලෙස කොටස් දෙකකින් සමන්විතය. මා ඉහත විස්තර කළ තර්කය අදාළ වන්නේ වෙළඳාම් කළඹටය. ප්‍රාථමික ගනුදෙනුකරුවෙකුගේ සුරැකුම්පත් කළඹ බොහෝ විට වෙළඳාම් කළඹකි.


(මතු සම්බන්ධයි)