Showing posts with label ආර්ථික වර්ධනය. Show all posts
Showing posts with label ආර්ථික වර්ධනය. Show all posts

Friday, June 23, 2023

2048දී ලංකාව මොන වගේ වෙයිද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2048 වන විට ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ ඉලක්කයක් වගේ දෙයක් ගැන ටික දවසකට පෙර කියා තිබුණා. මේ ප්‍රකාශය ගැන දෙආකාරයක විවේචන දැකිය හැකි වුනා. සමහර විචේචන චව්චව් වර්ගයේ සෘණාත්මක විවේචන. ඒ අයට අනුව, මේ වැඩේ කීයටවත් වෙන්නේ නැති වැඩක්. ඒ නිසා ඔය සංවර්ධන සිහිනය විහිළු කතාවක්. අනෙක් පැත්තෙන් තවත් සමහර අයට අනුව, ඔය ඉලක්කයට යන්න 2048 වෙනකම් බලා ඉන්න වෙන එක විහිළුවක්. එතෙක් බලා නොඉඳ මේ ඉලක්කයට ඊට කලින් යා යුතුයි. 

සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ලෙස රටවල් බෙදන එක ටිකක් පරණ කතාවක්. ඊටත් කලින් ඌණ සංවර්ධිත රටවල් ලෙස රටවල් නම් කළ කාලයකුත් තිබුණා. සංවර්ධිත රටක් කියන එකට කිට්ටුවෙන්ම යන වර්තමාන අර්ථදැක්වීම විදිහට ලෝක බැංකුවේ ඉහළ ආදායම් රටවල් කියන වර්ග කිරීම සලකන්න පුළුවන්.

ලෝක බැංකුවේ වත්මන් වර්ගීකරණය අනුව ඉහළ ආදායම්ලාභී රටක් සේ සැලකෙන්නේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 13,205 ඉක්මවන රටවල්. මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, 2022දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3,474ක්. එහෙමනම්, ඔය ආදායම 2048 වන විට ඇමරිකන් ඩොලර් 13,205 දක්වා වැඩි කරගන්න බැරි වෙයිද? එතෙක් බලා නොසිට, ඊට කලින්ම ඔය ඉලක්කයට යන්න බැරිද?

ඒක පුද්ගල ආදායම 2048 වන විට ඩොලර් 13,205 දක්වා වැඩි කර ගන්නනම් 2023 සිට වසර 26ක් තිස්සේ 5.27%ක සාමාන්‍ය වේගයකින් ඒක පුද්ගල ආදායම වැඩි විය යුතුයි. ඒ කියන්නේ ඊට කලින් ඔය ඉලක්කයට යන්නම් වර්ධන වේගය මීටත් වඩා වැඩි විය යුතුයි. 

මේ වෙද්දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2033 පමණ වන තුරු ලංකාවේ ශක්‍ය ආර්ථික වර්ධන වේගය සේ සලකා තිබෙන්නේ 3.1% මට්ටම. ඔය කාලය තුළ රටේ ජනගහණයද වර්ධනය වන නිසා, ආර්ථිකය 3.1% වේගයෙන් වර්ධනය වුනත් ඒක පුද්ගල ආදායම එම වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඊට අමතරව, මුල් වසර කිහිපයේදී 3.1% ආර්ථික වර්ධන වේගය එන්නෙත් නැහැ. මේ වසරේදී වෙන්නේ ආර්ථිකය හැකිලෙන එක. ඒ නිසා, 2048ට ගොඩක් කලින් ඔය ඉලක්කයට යා හැක්කේ හාන්සි පුටු සැලසුමක පමණයි. 

එක දිගටම 3.1% වේගයෙන් ආර්ථිකය වර්ධනය වුනොත්, ජනගහණය වෙනස් නොවුනත්, ඩොලර් 13,205 ඉලක්කයට යන්න අවුරුදු 44ක් යනවා. ඒ කියන්නේ වැඩේ වෙන්නේ 2066 අවුරුද්දේ. 

ලෝක බැංකු දත්ත අනුව, 2001-2021 අතර ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.91%ක් පමණ වෙනවා. 2001-2021 අතර ජනගහණ වර්ධන වේගය 0.83%ක්. මේ අනුව, ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය වර්ධනය 4.08%ක්. මේ වේගයෙන් වර්ධනය වුනොත්, ලංකාවට ඉහළ ආදායම් රටක් වෙන්න අවුරුදු 34ක් යනවා. ඒ කියන්නේ ඒ වේගයෙන් ගියත් වැඩේ වෙන්නේ 2056 අවුරුද්දේ. 

මේ අවුරුද්දේ රටේ ආර්ථිකය කොහොමටත් හැකිලෙනවා. තව අවුරුදු හතරක් පහක් යනකම් රටේ ලොකු ආර්ථික වර්ධන වේගයක් ඇති වෙන එකක් නැහැ. නමුත්, ඉදිරි දශක දෙක තුන තුළ ඉන්දියාවේ වේගවත් ආර්ථික වර්ධනයක් ඇති වීමට නියමිතයි. මෙම වර්ධන වේගය 6% මට්ටම ඉක්මවන බව පැහැදිලියි. 8% වගේ මට්ටමක් දක්වා වුනත් යන්න පුළුවන්. එහි වාසිය ලංකාවටත් එනවා. 

අනෙක් පැත්තෙන් 2035 පමණ වන විට ලංකාවේ ජනගහන වර්ධනය නැවතී ඇතැම් විට ජනගහණය අඩු වෙන්න පටන් ගන්න වුනත් ඉඩ තිබෙනවා. එහෙම විය හැක්කේ ඇයි කියා මම මේ ලිපියේ විස්තර කරන්න යන්නේ නැහැ. ඒ නිසා, 2030-2035 පමණ වන තුරු ඒක පුද්ගල ආදායම අඩු වේගයකින් වර්ධනය වුවත්, ඉන්පසුව වඩා වැඩි වේගයකින් වර්ධනය කරගෙන  5.27%ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වා ගන්න ඉඩක් ලැබෙයි කියා හිතන එක ධනාත්මක අදහසක් වුවත් මනෝරාජික සිතුවිල්ලක් නෙමෙයි. 

Thursday, June 15, 2023

පළමු කාර්තුවේදී ආර්ථිකය 11.5%කින් හැකිළේ!


පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2023 පළමු කාර්තුව තුළ ලංකාවේ ආර්ථිකය 11.5%කින් හැකිළී තිබෙනවා. කර්මාන්ත අංශය 23.4%කින් හැකිලී ඇති අතර, සේවා අංශයේද 5.0%ක හැකිලීමක් සිදු වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ පමණක් 0.8%ක සුළු වර්ධනයක් දැකිය හැකියි. 

ආර්ථිකයේ හැකිලීමෙන් 29%කට පමණම දායක වී ඇත්තේ ඉදිකිරීම් අංශයේ කඩා වැටීමයි. ඉදිකිරීම් අංශය 38.3%කින් හැකිලී තිබෙනවා. 

ඉදිකිරීම් වැටෙන්නේ කර්මාන්ත අංශයට වුවත්, එයටම සම්බන්ධ නිවාස හා දේපොළ වෙළඳාම් අයත් වන්නේ සේවා අංශයටයි. එම උප අංශය 18.3%කින් හැකිළී ඇති අතර ආර්ථිකයේ හැකිලීමෙන් තවත් 8%කට පමණ දායක වී තිබෙනවා. මේ අනුව, ඉදිකිරීම් හා නිවාස දේපොළ වෙළඳාම් පහත වැටීම ආර්ථිකයේ හැකිලීමෙන් 37%කට පමණ වග කියනවා.

ආර්ථිකයේ හැකිලීමෙන් තවත් 16%කට හේතු වී තිබෙන්න බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශ වල ලාබ අඩුවීමයි. පතල් හා කැණීම් උප අංශයද 45.7%කින් හැකිලී ඇති අතර එයට හේතු පැහැදිලි නැහැ. එම හැකිලීම සමස්ත හැකිලීමෙන් 9%කට දායක වී තිබෙනවා. වී නිෂ්පාදනයෙහි 42.1%ක කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකි වුවත්, එම අංශයෙන් සමස්ත ආර්ථිකයට ලැබෙන දායකත්වය 0.8%ක් පමණක් නිසා එයින් තත්ත්වයෙහි දැනෙන වෙනසක් සිදු වී නැහැ. 

ලංකාවේ ආර්ථිකය වේගයෙන් දියුණු වූ වසර වලදී ඉදිකිරීම් අංශයෙන් ඒ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලැබුණා. එහෙත්, මෙම අංශය ආනයන මත රඳා පවතින නිසා එම වර්ධනය රටේ විදේශ අංශය අස්ථාවර වීමටද හේතුවක් වුනා. විදේශ අංශය අර්බුදයට ගොස් ආනයන සීමා වෙද්දී ඉදිකිරීම් අංශය විශාල පසුබෑමකට ලක් වීම හිතා ගන්න අමාරු දෙයක් නෙමෙයි. 

රාජ්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වා ගනිමින් ඉදිකිරීම් අංශය එහි අතීත මහිමය කරා නැවත ඔසොවා තැබීමේ හැකියාවක් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් සතුව නැතත්, එම අංශය මේ වන විට වැටී තිබෙන තැනින් ගොඩ එන්නට ඉක්මන් උදවු අවශ්‍ය වී තිබෙනවා. ආර්ථිකය නැවත වර්ධනය කර ගැනීමේදී ඉදිකිරීම් අංශය මග හැර යා නොහැකියි.

උද්ධමනය පාලනය කිරීම ප්‍රමුඛ ඉලක්කයව තිබියදී ආර්ථික වර්ධනය දෙවන තැනට දමන්නට සිදු වීම අනිවාර්ය කරුණක් වුවත්, උද්ධමනය පාලනය වී ඇති පසුබිමක ආර්ථික වර්ධනය නැවතත් ප්‍රමුඛ ඉලක්කයක් බවට පත් විය යුතුව තිබෙනවා. ඒ සඳහා ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කරන්නට සිදු වන අතර එයට ගැලපෙන පරිදි විණිමය අනුපාතයටද නැවත සකස් වන්නට ඉඩ හරින්නට සිදු වෙනවා. 

වසරේ දෙවන කාර්තුව තුළද, මෙපමණකින්ම නොවුවත්, 5-6%කින් පමණ ආර්ථිකය හැකිලී තිබිය යුතුයි. මේ අනුව, වසරේ පළමු මාස 6 තුළ, අපගේ ඇස්තමේන්තු අනුව, ආර්ථිකයේ හැකිලීම 8-9% පමණ විය හැකියි. වසරේ සමස්ත හැකිලීම 3%ක් පමණක් වීමටනම්, වසරේ දෙවන අර්ධය තුළ 2-3%ක පමණ ආර්ථික වර්ධනයක් අත්පත් කරගත යුතුයි. එසේ නොවුවහොත් වසර තුළ සමස්ත හැකිලීම 3% මට්ටම ඉක්මවිය හැකියි. 

Thursday, September 15, 2022

දෙවන කාර්තුවේදී ආර්ථිකය 8.4%කින් හැකිළේ!


ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2022 දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, 2021 දෙවන කාර්තුවට සාපේක්ෂව 2022 දෙවන කාර්තුව තුළ දළ දේශීය නිෂ්පාදිතය 8.8%කින් හැකිලී තිබෙනවා. කෘෂිකාර්මික නිෂ්පාදිතය 8.4%ක් හැකිලෙද්දී, කාර්මික නිෂ්පාදිතය 10.0%කින්ද, සේවා නිෂ්පාදිතය 2.2%කින්ද හැකිළී තිබෙනවා.

මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 8.8%කින් හැකිලෙද්දී නාමික දළ දේශීය නිෂ්පාදිතය 33.3%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙයට හේතුව අදාළ කාලයේදී උද්ධමනය 45.6% මට්ටමේ තිබීමයි. මෙම කාලය තුළ ඩොලරයක මිල 74.5%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ රුපියල් අගය 33.3%කින් ඉහළ යද්දී, එහි ඩොලර් අගය 23.6%කින් අඩු වී තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, 2021දී ඩොලර් බිලියන 84.5ක් වූ ලංකාවේ ආර්ථිකය 2022 දෙවන කාර්තුව වන විට ඩොලර් බිලියන 64.5ක ආර්ථිකයක් බවට පත් වී තිබෙනවා. මෙයට අනුරූපව, 2017-2018 වසර වලදී ඩොලර් 4,000 ඉක්මවා තිබුණු රටේ ඒක පුද්ගල ආදායමද ඩොලර් 2,900 පමණ මට්ටමකට පහත වැටී තිබිය යුතුයි.

කෙසේ වුවත්, වසර අවසාන වෙද්දී මේ තත්ත්වයේ වෙනසක් සිදු වීමට නියමිතයි. වසරේ දෙවන අර්ධය තුළ උද්ධමනය ඉහළ යාමට අනුරූපව ඩොලරයක මිල ඉහළ නොගිය නිසා සැබෑ ආර්ථික වර්ධනයක් සිදු නොවුනත්, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ මෙන්ම ඒක පුද්ගල ආදායමේද රුපියල් අගය ඉහළ යද්දී ඩොලර් අගයද ඊට සමාන්තරව ඉහළ යාමට නියමිතයි. මේ අනුව, වසර අවසාන වෙද්දී රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3,200ක් පමණ විය හැකියි.  

Sunday, November 1, 2020

ඇමරිකන් ආර්ථිකය 33%කින් වර්ධනය වෙයි!


මේ වසරේ තෙවන කාර්තුව තුළ ඇමරිකාවේ ආර්ථිකය 33.1%ක වේගයෙන් වර්ධනය වී තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකන් ආර්ථිකය වර්ධනය වෙන්නේ 2-3% අතර වේගයකින්. ඒ අනුව බැලූ බැල්මටම මෙය ඉතා දැවැන්ත ආර්ථික වර්ධනයක් වුවත්, මෙහිදී සිදු වී තිබෙන්නේ පෙර කාර්තුවේදී සිදුවූ ආර්ථික පසුබෑම ආපසු හැරවීමයි. ආර්ථික අවපාතයකින් පසුව ආර්ථිකය වේගයෙන් වර්ධනය වී සිදු වූ හානිය ආවරණය කර ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. වෙළඳපොළ යාන්ත්‍රනය මනාව ක්‍රියාත්මක වේනම්, ඒ සඳහා රජය මැදිහත් වීම අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි.

කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගත් විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් දෙවන කාර්තුව තුළ ඇමරිකන් ආර්ථිකය 31.4%කින් හැකිළුනා. ඊට පෙර පළමු කාර්තුව තුළදීද 5.0%කින් හැකිළුනා. ඒ නිසා, මේ 33.1% ක වර්ධනයෙන් පසුවත් ඇමරිකන් ආර්ථිකය 2019 වසර අවසානයේදී පැවති මට්ටමට පැමිණ නැහැ. එහෙත්,  2019 අවසානයට සාපේක්ෂව ආර්ථිකයේ ප්‍රමාණය මේ වෙද්දී කුඩා වී තිබෙන්නේ 3.4%කින් පමණයි. ඒ වගේම, ශීත සෘතුවේ කෝවිඩ් දෙවන රැල්ල නැග එන විට නැවතත් ආර්ථික කටයුතු සීමා කරන්නට සිදු විය හැකි නිසා, වසරේ සිවුවන කාර්තුව තුළ මේ අඩුව පිරවෙනු ඇතැයි එතරම් බලාපොරොත්තු තැබිය නොහැකියි. 

අප්‍රේල් මාසයේදී 14.4% මට්ටමට ඉහළ ගිය ඇමරිකාවේ විරැකියා අනුපාතයද මේ වන විට 7.9% මට්ටමට අඩු වී තිබෙනවා.




Tuesday, April 28, 2020

ලංකාවේ ඉහළ මැදි ආදායම් තත්ත්වය ගිලිහේ!


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති 2019 වාර්ෂික වාර්තාව අනුව පෙර වසරේදී ඇමරිකන් ඩොලර් 3,968ක් වූ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමරිකන් ඩොලර් 3,741 දක්වා පහත වැටී තිබෙනවා. රටේ ආර්ථිකය ජනගහණ වර්ධන වේගය ඉක්මවා වර්ධනය වී තිබියදී ඒක පුද්ගල දළ ජාතික ආදායම මෙසේ පහත වැටීමට ප්‍රධානම හේතුව රුපියලේ අවප්‍රමාණය වීමයි.

රුපියල් වලින් බැලූ විට වසර තුළ රුපියල් 644,970 සිට රුපියල් 668,894 දක්වා ඒක පුද්ගල දළ ජාතික ආදායමේ වර්ධනයක් පෙනෙන්නට ඇතත් මේ වෙනසට උද්ධමනය හේතුවෙන් රටේ මිල මට්ටම ඉහළ යාම නිසා සිදු වූ බලපෑමද ඇතුළත්. ලෝක බැංකුව විසින් ආදායම් මට්ටම අනුව රටවල් වර්ග කිරීමේදී නිර්ණායකය ලෙස යොදා ගන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ඇමරිකන් ඩොලර් අගයයි.

නිදහස ලැබූ තැන් සිට අඩු ආදායම් රටක් වූ ලංකාව 1997 සිට පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් ලෙස හඳුනා ගැනුණා. ඉන් දශක දෙකකට වඩා වැඩි කාලයකට පසුව, 2018 වසරේ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම මත පදනම්ව, 2019 වසර මැදදී ලෝක බැංකුව විසින් ලංකාව ඉහළ මැදි ආදායම් තත්ත්වයට උසස් කළා. මේ උසස් වීම බලපාන්නේ 2020 වසරටයි. 2019 වසරේ ඒක පුද්ගල දළ ජාතික ආදායම මත 2021 වසරේදී ලංකාව නැවතත් පහළ මැදි ආදායම් මට්ටමටම වැටෙන්නට නියමිතයි.

වසර 23කට පසු ලංකාව විසින් අමාරුවෙන් ලබාගත් තත්ත්වය එක් වසරක් ඇතුළත ගිලිහී යාම කණගාටුවට කරුණක්. ආපසු ඉහළ මැදි ආදායම් තත්ත්වයට යන්නනම් ජාතික ආදායමේ සැලකිය යුතු වැඩිවීමක් සිදු විය යුතුයි. මහ බැංකුවේ පුරෝකථන අනුව 2020 ආර්ථික වර්ධනය 1.5% දක්වා අඩු වීමට නියමිතයි.

Monday, March 16, 2020

මහ බැංකුවේ හදිසි රැස්වීමක්!

අද (මාර්තු 16) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්වුණා. එහිදී  මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පාදක අංක 25 කිනුත්, වාණිජ බැංකු සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 1%කිනුත් පහත හෙලනු ලැබුවා. මේ හදිසි තීරණ වල අරමුණ කෝවිඩ්-19 හේතුවෙන් ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි හානිය අවම කිරීම බව පැවසෙනවා.

ඊයේ (මාර්තු 15) දින හදිසියේ රැස් වූ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ විවට වෙළඳපොළ කමිටුව විසින්ද මේ ආකාරයෙන්ම මුදල් ප්‍රතිපත්තියේ ලිහිල් කිරීමක් කළා. ඇතැම් විට මහ බැංකුව විසින් ඇමරිකාව කළ දෙය අනුකරණය කළා වෙන්න පුළුවන්.

ඇමරිකාවේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම රටේ ආර්ථිකයට යහපත් ලෙස බලපාන ආකාරය සාමාන්‍යයෙන්නම් පැහැදිලියි. සංසරණයට මුදල් එකතු වූ විට භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් දේශීය නිෂ්පාදිතයේ යම් වැඩි වීමක් සිදු වෙනවා. නමුත්, ඇමරිකාවේ වුවත් මේ අවස්ථාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩාල වී තිබෙන හේතුව සැලකූ විට භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම කෘතීම ලෙස ඉහළ දැමූ පමණින් කෙතෙක් දුරට නිෂ්පාදිතය ඉහළ යයිද කියන එක සැක සහිතයි.

ඉල්ලුම කෘතීම ලෙස ඉහළ දමා නිෂ්පාදිතය ඉහළ දමා ගැනීමේ උත්සාහයක් ලංකාවේ පසුගිය ජනාධිපතිවරණය අවසන් වූ වහාම දැක ගන්නට ලැබුණා. එය කරන්නට උත්සාහ කෙරුණේ විශාල බදු කප්පාදුවක් කිරීම මඟිනුයි. නමුත්, ලංකාවේ තිබුණු ප්‍රශ්නය දේශීය ව්‍යවසාය වල ධාරිතාව තරමට නිෂ්පාදනය කර භාණ්ඩ හා සේවා විකිණිය හැකි ඉල්ලුමක් නොතිබීම නොවූ නිසා මේ බදු කප්පාදුව තුලින් සිදු වුනේ වැඩි වූ ඉල්ලුමට සරිලන සැපයුමේ වැඩි වීමක් සිදු නොවී මිල මට්ටම් ඉහළ යාම පමණයි.

මහ බැංකුවේ හදිසි මුදල් ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් මේ වෙලාවේ ලංකාවේ නිෂ්පාදිතය ඉහළ යා හැකි ආකාරයක් පෙනෙන්නට නැහැ. මිනිස්සුන්ගේ අතට වැඩියෙන් මුදල් එන තරමට ආනයන සඳහා ඉල්ලුම වැඩි වෙන එකයි වෙන්න ඉඩ තියෙන්නේ. රටේ දළ දේශීය  නිෂ්පාදිතයට දැනෙන තල්ලුවක් නොලැබුණත්, මේ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග නිසා ආණ්ඩුවට දේශීය ණය ගැනීමනම් තරමක් පහසු වෙයි.

කෝවිඩ්-19 ප්‍රශ්නය මතු වන විට ලංකාව හිටියේ ගෙවුම් ශේෂ අර්බුදයක් අබිමුවයි. එහිදී පොඩි සැනසිල්ලකට තිබුණේ පහුගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාර නිසා සිදු වූ පසුබෑම මේ අවුරුද්දේදී නැවත යථා තත්ත්වයට පත් වීමේදී ආර්ථික වර්ධනය යම් තරමකින් ඉහළ යාමට තිබුණු ඉඩකඩයි. ඒ බලාපොරොත්තුවට කෝවිඩ්-19 ප්‍රහාරය එල්ල වීමත් සමඟ ලංකාවේ ණය අවදානම එකවර ක්ෂණිකව ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතිය ඇතුළත ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ ඵලදා අනුපාතික වක්‍රයේ ආසන්න හා දුරස්ථ අන්ත දෙකම එකවර ක්ෂණිකව පාදක අංක 120-130 අතර ප්‍රමාණයකිනුත්, මැද කොටස පාදක අංක 100කින් පමණකිනුත් ඉහළ යාම නොසලකා හළ  නොහැකි රතු එළියක්. මේ ඉහළ යාම සිදු වී තිබෙන්නේ ඇමරිකාවේ පොලී අනුපාතික පහත වැටෙමින් තිබෙන තත්ත්වයක් යටතේ වීම තත්ත්වයේ  භයානකකම උලුප්පා පෙන්වනවා.

මේ තත්ත්වය යටතේ විදේශ ව්‍යවහාර මුදලින් අලුත් වාණිජ ණය ලබා ගැනීම විශාල අභියෝගයක් බව මහ බැංකුව විසින් තේරුම් නොගන්න හේතුවක් නැහැ. අලුත් මුදල් ප්‍රතිපත්ති හරහා මුදා හැරෙන අතිරික්ත ද්‍රවශීලතාව රජයට දේශීය ණය ලබා ගන්න උදවුවක් වෙයි. නමුත්, ඉදිරි වසර ඇතුළත ගෙවිය යුතු බිලියන හයක පමණ විදේශ ණය හා වාරික ගෙවන්න වෙන්නේ රුපියල් වලින් නොවන නිසා ප්‍රශ්නයේ දෙවන කොටස එළෙසමයි.



Tuesday, August 14, 2018

ව්‍යාපාර චක්‍ර (පළමු කොටස)

ධනවාදී ආර්ථිකයක් දිගුකාලීනව කිසියම් නියත වේගයකින් (එහි ශක්‍ය වර්ධන වේගයෙන්) වර්ධනය වන අතරතුරේදී වරින් වර, චක්‍රීය ලෙසට මේ රේඛීය වර්ධන පථයෙන් අපගමනය වන බවත්, එසේ අපගමනය වීමෙන් අනතුරුව නැවතත් ස්වභාවිකවම පුරුදු පාරට ආර්ථිකය වැටෙන යාන්ත්‍රණයක් තිබෙන බවත් සියවසකට පමණ පෙර සිටම නිරීක්ෂණ ඇසුරින් දැන සිටි හා ප්‍රවාදගත කළ දෙයක්. මේ චක්‍රීය අපගමනය වීම හඳුන්වන්නේ ව්‍යාපාර චක්‍ර වශයෙනුයි. මෙය පැහැදිලි කෙරෙන රූප සටහනක් පහත තිබෙනවා.


ඉහත රූප සටහනේ නිල් පාට ඊතලයකින් ලකුණු කර තිබෙන ඉහළට යොමු වුණු ප්‍රවණතාවයෙන් පෙන්වන්නේ ආර්ථිකයේ දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගයයි. විභව වර්ධන වේගය කියා කියන්නේ මෙයටයි. 

කෙසේ වුවත්, රූප සටහන දෙස බැලූ විට පැහැදිලි වන පරිදි මේ විභව ආර්ථික වර්ධන වේගයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් වර්ධනය වන අවස්ථා මිස හරියටම ඒ වේගයෙන් වර්ධනය වන අවස්ථා නැති තරම්. ඒ නිසා, කිසියම් මොහොතක රටක "තිබිය යුතු දළ දේශීය නිෂ්පාදිතය", එහෙමත් නැත්නම් විභව දළ දේශීය නිෂ්පාදිතය හා ඇත්තටම තිබෙන දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනසක් තිබෙනවා. මේ වෙනස නැත්නම් පරතරය නිපැයුම් පරතරය ලෙස හඳුන්වන්න පුළුවන්. 

අර්ථදැක්වීම අනුවම විභව දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ සාමාන්‍ය අගයක් නිසා නිපැයුම් පරතරයේ ධන හා සෘණ අපගමනයන් දිගුකාලීනව සමතුලිත විය යුතුයි. ඒ කියන්නේ ධන පැත්තට හෝ සෘණ පැත්තට අපගමනය වීමෙන් පසුව එහි අනිත් පැත්තත් සිදු වී නැවත කලින් පාරටම වැටිය යුතුයි. එහෙම වෙන්නේ නැත්නම්, අප විභව දළ දේශීය නිෂ්පාදිතය ගණනය කළ විදිහ නිවැරදි වෙන්න බැහැ. 

ඒ වගේම ව්‍යාපාර චක්‍රයක එක කොටසකදී ආර්ථිකය සාමාන්‍ය වේගයට වඩා වේගයෙන් වර්ධනය වෙනවා. තවත් කොටසකදී ආර්ථිකය හැකිලෙනවා. එසේ නැත්නම් සාමාන්‍ය වේගයට වඩා අඩු වේගයකින් වර්ධනය වෙනවා. 

වර්ධන වේගය කියන්නේ මේ වගේ ප්‍රස්ථාරයක පෙන්වන රූප සටහනේ බෑවුම. සරල රේඛීය ප්‍රස්ථාරයක බෑවුම නියත බව අප දන්නා දෙයක්. ඒ නිසා, මේ රූප සටහනේ පෙන්වන විභව ආර්ථික වර්ධන වේගය නියතයක්. නමුත්,  උඩ රූප සටහනේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය නිරූපණය කරන ආකාරයේ නිර්-රේඛීය වක්‍රයක බෑවුම නියත නැහැ. එයත් චක්‍රීය ලෙස වෙනස් වෙනවා. A සිට C දක්වා කොටසේදී බෑවුම තිබෙන්නේ පහළටයි. C සිට A දක්වා බෑවුම ඉහළටයි. 

වැඩිමනත් දෙයක් ලෙස, ගණිතය තරමක් ඉහළට හැදෑරූ අය දන්නා පරිදි මේ වගේ වක්‍රයක ශ්‍රිතය අවකලනය කළාම එහි බෑවුමේ ශ්‍රිතය ලැබෙනවා. සයින් වක්‍රයක් අවකලනය කළාම ලැබෙන්නේ කෝසයින් (කොස්) වක්‍රයක්. කෝසයින් වක්‍රයක් කියන්නේ කාල පමාවක් සහිතව පුනරාවර්තනය වන සයින් වක්‍රයක් වගේම එකක්. මේ කොටස බර වැඩිනම් අමතක කරලා දමන්න. කතාව තේරුම් ගන්න මේ කොටස අවශ්‍ය නැහැ.

කොහොම හරි මෙහි වැදගත් කරුණ වන්නේ වක්‍රය සෘණ හෝ ධන වීමත්, වක්‍රයේ බෑවුම සෘණ හෝ ධන වීමත් කියන්නේ දෙකක් බවයි. ඒ අනුව, අපට මේ රූප සටහනේ දැකිය හැකි චක්‍රීය රටාවේ කොටස් හතරක් හඳුනාගත හැකියි.

අදියර 1: A සිට B දක්වා: වක්‍රය ධන බෑවුම (අවකල ශ්‍රිතය) සෘණ 
අදියර 2: B සිට C දක්වා: වක්‍රය සෘණ බෑවුමත් සෘණ
අදියර 3: C සිට D දක්වා: වක්‍රය සෘණ එහෙත් බෑවුම ධන
අදියර 4: D සිට A දක්වා: වක්‍රය සෘණ බෑවුමත් සෘණ

දැන් මෙහි තිබෙන්නේ ගණිතමය පැහැදිලි කිරීමක්. මේ වගේ කතාවක් ඔය හැඩයේ ඕනෑම වක්‍රයක් හා අදාළව කියන්න පුළුවන්. නමුත්, අපිට වැදගත් වෙන්නේ මේ කතාව ආර්ථික වර්ධනයට අදාළ වන ආකාරයයි. මෙහි වක්‍රයේ උසෙන් පෙන්වන්නේ කිසියම් අවස්ථාවක රටේ දළ දේශීය නිෂ්පාදිතය. එහි බෑවුමෙන් පෙන්වන්නේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන වේගය. මේ දෙක එකිනෙකට සම්බන්ධ වුවත් වෙනස් කරුණු දෙකක්. 

අදියර 1: A සිට B දක්වා: ආර්ථිකය පසු බෑමකට ලක් වෙමින් තිබුණත්, නිමැවුම් පරතරය ධන එකක්. ඒ ධන පරතරය අඩු වෙන එකයි වෙමින් තියෙන්නේ. මේ වෙලාවේ සිදුවෙමින් තිබෙන්නේ සිදු විය යුතු නිවැරදි වීමක් නිසා ආර්ථික වර්ධනය අඩු වුණත් කලබල වෙන්න දෙයක් නැහැ. මේ නිවැරදි වීමෙන් දිගුකාලීනව සිදුවන්නේ යහපතක්.

අදියර 2: B සිට C දක්වා: ආර්ථිකය පසු බෑමකට ලක් වෙමින් තිබෙන අතරම, සෘණ නිමැවුම් පරතරයක් වර්ධනය වෙමින් තිබෙනවා. දැන් සිදු වෙමින් තිබෙන්නේ සමතුලිතතාවයෙන් ඈතට ආර්ථිකය ගමන් කිරීමයි. මෙය සැලකිලිමත් විය යුතු කරුණක්.

අදියර 3: C සිට D දක්වා: ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන නමුත් තවමත් තිබෙන්නේ සෘණ නිමැවුම් පරතරයක්. ඒ සෘණ පරතරය අඩු වෙන එකයි වෙමින් තියෙන්නේ. දැන් සිදු වෙමින් තිබෙන්නේ සමතුලිතතාවය දෙසට ආර්ථිකය ගමන් කිරීමයි. හොඳ තත්ත්වයක්.

අදියර 4: D සිට A දක්වා: ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර සමතුලිත මට්ටම ඉක්මවා ධන නිමැවුම් පරතරයක් ගොඩ නැගෙමින් තිබෙනවා. ආර්ථික දර්ශක බොහොමයක් ඉතා හොඳ තත්ත්වයක් පිළිබිඹු කළත් මේ තියෙන තත්ත්වය ස්ථාවර එකක් නෙමෙයි. නිමැවුම් පරතරය ඉහළ ගිය තරමට එය ස්වභාවිකව නිවැරදි වන විට සිදුවිය හැකි හානියත් වැඩියි.

පැහැදිලි කිරීමේ පහසුවට උඩ පළමු රූප සටහනේ සුමට සයින් වක්‍රයක් වගේ එකක් ඇඳල තිබුණත් සැබෑ දත්ත දෙස බැලුවහම ඔය වගේ සුමට වක්‍රයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔය සයින් වක්‍රය වගේ එක මේ සංකල්පය පැහැදිලි කිරීමේ පහසුවට ගොඩක් අය යොදාගන්න එකක් පමණයි. විභාගයකට පිළිතුරු ලිවීමේදී එවැන්නක් යොදා ගැනීම ප්‍රශ්නයක් නොවූවත්, ආර්ථිකය කළමණාකරණය කරන කෙනෙක් එයින් ඔබ්බට ගිහින් මේ වක්‍රයේ හැසිරීම වඩා හොඳින් තේරුම් ගත යුතුයි.

සැබෑ වක්‍රය කරුණු කිහිපයක් නිසාම ඉහත වක්‍රයෙන් වෙනස් වෙනවා. පළමුව, මේ වක්‍රයේ සංඛ්‍යාතය එහෙමත් නැත්නම් වක්‍රයක් සම්පූර්ණ වීමට යන කාලය හරියටම නියතයක් නෙමෙයි. එය විශාල ලෙස අඩු වැඩි වෙනවා. දෙවනුව, ආර්ථිකයක් වර්ධනය වන වේගය වගේ හතරපස් ගුණයක වේගයෙන් එය කඩා වැටෙනවා. ඒ නිසා, දිගුකාලීනව ආර්ථිකයක් A සහ C අතර, එනම් පළමු හා දෙවන අදියර වල සිටිනවා වගේ හතර ගුණයක පමණ කාලයක් C සහ A අතර, එනම් තෙවන හා සිවුවන අදියර වල සිටිනවා. තෙවනුව, මේ වෙනස් වීම් උඩ රූපසටහනේ වගේ සුමටව සිදු නොවන නිසා බොහෝ අවස්ථා වලදී අප සිටින්නේ කුමන අදියරේද කියන එක නිර්ණය කරන්න අපහසුයි. ඒ නිසා, මේ කියපු කතා සියල්ල දන්න අය අතර වුවත් ආර්ථිකයේ පවතින තත්ත්වය පිළිබඳව එකඟ නොවීම් තිබෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 1961-2005 අතර කාලය තුළ විචලනය වූ ආකාරය ඇසුරෙන්, විභව ආර්ථික වර්ධන වේගය 4.5%ක් ලෙස සලකමින් පිළියෙල කර තිබෙන පහත රූප සටහන දිහා බැලුවහම මුලින් විස්තර කිරීම සඳහා යොදාගත් රූප සටහනේත්, සැබෑ දත්ත මත පදනම් වූ රූප සටහනකත් වෙනස දැක ගත හැකියි. ඒ වුණත්, මේ වෙනස නිසා ඉහතින් කී කරුණු කිසිවක් වෙනස් වන්නේ නැහැ.



ධනවාදී ආර්ථිකයක් කවර හෝ හේතුවක් නිසා එහි දිගුකාලීන පථයෙන් ඔබ්බට අපගමනය වුනාම නැවත ස්වභාවිකවම නිවැරදි පථයට ආපසු පැමිණෙන යාන්ත්‍රනය කුමක්ද? මේ වගේ වෙලාවක මුදල් ප්‍රතිපත්ති වලින් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලින් සිදුවන කාර්ය භාරය කුමක්ද? මේ කරුණු අපි දෙවන කොටසකට ඉතිරි කරමු.

Thursday, May 18, 2017

අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම

"යහපාලන ආර්ථික දර්ශණය" නම් වූ ලිපියක් ඊයේ වෙනත් බ්ලොග් අඩවියක (ඉයන්ගේ අඩවිය) පළ වී තිබුණේය. මෙය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඌව පරණගම-යාලගම දී පවත්වා ඇති කතාවක සංක්ෂිප්තයක් බව පෙනේ. පහතින් ඇත්තේ අදාළ ලිපියෙන් උපුටාගත් කොටස් කිහිපයකි. මෙහි නැවත පළ කරන්නේ තෝරාගත් කොටස් කිහිපයක් පමණක් නිසා අවශ්‍ය අයෙකුට අදාළ අඩවියෙන් මුළු ලිපියම කියවීමේ අවස්ථාව තිබේ.

"ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.

ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.

බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා."

"පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා."

"අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා."


ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා විසින් හඳුනාගෙන සිටින බව මේ කතාවෙන් පැහැදිලිය. මේ කරුණට අදාළ විශේෂ සටහනක් මෙවර මහ බැංකු වාර්තාවේ පළ වී තිබුණේය. "අපනයන ප්‍රවර්ධනය සඳහා ජාතික උපාය මාර්ගය" මාතෘකාව යටතේ පළකර තිබුණු එම ලිපියේ මූලික අදහස මෙවැන්නකි.

-ආර්ථිකය වර්ධනය වන විට අපනයනද වර්ධනය විය යුතු බවට පොදු මතයක් තිබුණත් ලංකාවේ එය එසේ වී නැත.
-පසුගිය වසර 16ක කාලය තුළ මේ තත්ත්වය කැපී පෙනේ. 2000-2016 අතර කාලයේදී රටේ දදේනි 10.4%ක සංයුක්ත (compound) වාර්ෂික වර්ධනයක් පෙන්නුවත්, අපනයන වල සංයුක්ත වාර්ෂික වර්ධනය 4%ක් පමණි.
-2005-2012 කාලය අතරතුළ දේශීය ඉල්ලුම වර්ධනය වීම නිසා ආර්ථිකය වර්ධනය වුනත්, බාහිර ඉල්ලුමක් නැති නිසා දේශීය ඉල්ලුම අඩුවීමට සමගාමීව ආර්ථික වර්ධනය බාල වී ඇත.
-ලංකාව කලාපයේ අනෙක් රටවලට වඩා කලින් 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1977දී දදේනි ප්‍රතිශතයක් ලෙස 18.7%ක් වූ අපනයන 1979 වන විට 29.2% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
-1977දී ඇමරිකන් ඩොලර් මිලියන 767ක් වූ අපනයන ආදායම 2000 වන විට ඇමරිකන් ඩොලර් මිලියන 5,522 දක්වා ඉහළ ගියේය. එහෙත්, 2000 සිට අපනයන වර්ධනය සතුටුදායක මට්ටමක නැත.
-මේ වන විට (2016) අපනයන දදේනි ප්‍රතිශතයක් ලෙස 12.7% මට්ටමට පහත වැටී තිබේ. මෙය 1977 දී ආර්ථිකය විවෘත කිරීමට පෙර පැවති මට්ටමටත් වඩා පහත් මට්ටමකි.
-2015දී මැලේසියාවේ අපනයන දදේනි ප්‍රතිශතයක් ලෙස 67.5%ක්ද, තායිලන්තයේ 54.2%ක්ද, වියට්නාමයේ 83.7%ක්ද විය.
-2000-2015 කාලය තුල ලංකාවේ අපනයන 1.9 ගුණයකින් පමණක් වර්ධනය වෙද්දී, වියට්නාමය 11.2 ගුණයකින්ද, බංග්ලාදේශය 5.1 ගුණයකින්ද, දකුණු කොරියාව හා තායිලන්තය 3.1 ගුණයකින්ද වර්ධනය කරගෙන තිබේ.




මේ කරුණු අනුව, අග්‍රාමාත්‍යවරයා විසින්ද හඳුනාගෙන ඇති පරිදි, කලාපීය රටවල් ඔවුන්ගේ අපනයන ආර්ථිකයන් වර්ධනය කරගනිද්දී, මේ සහස්‍රයේ ආරම්භයේ සිට ලංකාවේ අපනයන ආර්ථිකය සීඝ්‍රයෙන් පල්ලම් බැස ඇති බව ඉතාම පැහැදිලිය. මහ බැංකු වාර්තාවේ අදාළ ලිපිය අනුව, මේ වන විට ලංකාව 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් පසුව අපනයන ක්ෂේත්‍රයෙහි ලබාගත් ජයග්‍රහණ සියල්ලම ආපසු හැරවී අවසන්ය.

රනිල් වික්‍රමසිංහට අනුව මෙයට හේතුව යුද්ධය නිසා ඇති වූ ආර්ථික පසුබෑම හා 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් නොකිරීමයි. ඔහුගේ කතාව අනුව, ඔහු මෙය දකින්නේ විදේශ ප්‍රතිපත්තියේ වරදක් ලෙසිනි. ඒ අනුව, "යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට" පත්වීම අපනයන වර්ධනයට හේතු වනු ඇත.

රනිල් වික්‍රමසිංහගේ කතාව අනුව, අපනයන වර්ධනය අවශ්‍ය දෙයක් බව ඔහු හඳුනාගෙන සිටියත් "රටේ ආදායම" වැඩි කරගන්නා තුරු ඔහුට මේ වැඩේ කල් දාන්නට සිදුවී තිබේ. මේ වන විට, වැට් ආදී බදු වැඩිකර ආදායම වැඩි කරගෙන තිබෙන නිසා ඔහුට අපනයන වර්ධනය කිරීම ගැන හිතන්නට ඉඩ ලැබී ඇත.

රනිල් වික්‍රමසිංහ රටේ ආදායම කියා කිවුවත් ඇත්තටම ඔහු මේ කියන්නේ රජයේ ආදායම ගැනය. රජයේ ආදායම හා රටේ ආදායම කියන්නේ එකක් නොව දෙකකි. රජයේ ආදායම කියන්නේ රටේ ආදායමෙන් රජයේ නඩත්තුව සඳහා බදු ලෙස බලහත්කාරයෙන් උදුරා ගන්නා කොටසයි. බදු වැඩි කිරීමෙන් රටේ ආදායම වැඩි නොවනවා පමණක් නොව නිෂ්පාදන අධෛර්යමත් වීමෙන් රටේ ආදායම අඩු වීමට එය හේතුවකි. මෙය අපනයන නිෂ්පාදන වලටද අදාලය. බදු වැඩිවීම හරහා නිෂ්පාදන වියදම් ඉහළයාම යනු අපනයන වර්ධනය තවදුරටත් අඩාල වීමට හේතුවකි.

රනිල් වික්‍රමසිංහ විසින්ම කියන පරිදි මෙන්ම මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි රටේ අපනයන ආර්ථිකය එන්න එන්නම පල්ලම් බැසීමෙන් පෙනෙන්නේ ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අකාර්යක්ෂමතාවයයි. මහ බැංකු වාර්තාවේ විශේෂ ලිපියට පාදක වන 2000-2016 කාලය තුළ යහපාලන ආණ්ඩුවේ අවුරුදු දෙකක්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටි වසර 10ක් මෙන්ම, ඊට පෙර රනිල් හා චන්ද්‍රිකා ආණ්ඩු කළ කාලයද ඇතුළත් බවත් මෙය එක් දේශපාලනික පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ වැරැද්දකට වඩා රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් බවත් මෙහිදී විශේෂයෙන් තේරුම් ගත යුතුය. එමෙන්ම, ලංකාවේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසු මුල් දශක දෙකක පමණ කාලය තුළ තත්ත්වය මෙයට වෙනස් වූ බවද අමතක නොකළ යුතුය.

රටේ ආදායම් වර්ධනය අවදානමේ හෙළමින් රජයේ බදු ආදායම් වැඩි කර ගන්නේ රටේ ආර්ථික වර්ධනය උදෙසා අගය එකතු කිරීමක් කරන බවක් පෙනෙන්නට නැති  අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීම සඳහාය. පරණ ණය ගැන කතා කළත්, සමස්තයක් ලෙස රජයේ ණය අඩුවී නැත. කෙසේවුවද, රජයේ බදු ආදායම් වැඩි කර නොගත්තේනම් සිදු විය හැකිව තිබුණේ රජය අලුතින් ලබාගන්නා ණය ප්‍රමාණය තවත් ඉහළ යාමයි. එයට සාපේක්ෂව බදු වැඩි කර රජයේ ආදායම වැඩි කර ගැනීම සාධනීය දෙයකි.

රජය කුඩා කිරීම දේශපාලනික කරුණකි. රටේ ඉල්ලුම තිබෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය තවත් පුළුල් කිරීමටනම් ආණ්ඩුවට එය නොසලකා කටයුතු කිරීම අසීරුය. ආණ්ඩුවට පිටින් සිටින බොහෝ කණ්ඩායම් උද්ඝෝෂණය කරන්නේ පවතින අවාසිදායක තත්ත්වයන් යටතේ වුවද අමාරුවෙන් ඇදගෙන යන පෞද්ගලික ව්‍යවසායයන් පවා රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ කරන ලෙස ඉල්ලමිනි. එවැන්නක අවසන් ප්‍රතිඵලය වන්නේ බදු බර තවත් ඉහළ යාම හා අදාළ සේවාවන්ගේ ගුණාත්මක භාවය තව දුරටත් පහත වැටීමයි.

ඇතැම් විට රනිල් වික්‍රමසිංහ විසින් ඉඟි කරන්නේ රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමෙන් පසු අපනයන සංවර්ධනය දිරිමත් කිරීම සඳහා සහනාධාර ලබාදීමට රජයට ඉඩක් ලැබෙන බව වන්නට පුළුවන. රජය විසින් සහනාධාර හරහා අපනයන දිරිමත් කිරීම ප්‍රායෝගිකව සිදුවන්නට විශාල ඉඩකඩක් නැතිවා පමණක් නොව එය රජය විසින් මේ අවස්ථාවේදී ගත යුතු ප්‍රශස්තම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයද නොවේ.

එමෙන්ම, "යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව" ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල් සමඟ "යාළු වූ" පමණින් ලංකාවේ අපනයන වර්ධනය වෙන්නේ නැත. මෙයින් කියන්නේ යහපත් විදේශ සම්බන්ධතා පවත්වා ගැනීම නොවැදගත් බව නොවේ. ලංකාව වැනි, කුඩා, දියුණු වෙමින් පවතින, ආර්ථිකයකට විදේශ සම්බන්ධතා නොසලකා හැර ආර්ථික වර්ධනය ගැන හිතන්නට නුපුළුවන. ලංකාවේ කළඹේ තිබෙන්නේ ආදේශක කිසිවක් නොමැති, වෙනත් රටවල් විසින් "පස්සෙන් ඇවිත්" මිලදී ගතයුතු දේවල්නම් විදේශ සම්බන්ධතා ලොකු ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලංකාවට එවැනි අපනයන නිෂ්පාදන නැත. ඒ නිසා, අපේ අපනයන මිලදී ගන්නා රටකට දේශපාලනික හේතු මත අපේ අපනයන ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබේ.

කෙසේ වුවද, එහි අනික් පැත්ත ඒ අයුරින්ම සිදුවන්නේ නැත. කොයි තරම් යහපත් දේශපාලන සම්බන්ධතා පවත්වාගෙන සිටියත් කිසිදු රටක් අපේ අපනයන "පාඩුවට" මිල දී ගන්නේ නැත. ලංකාවේ අපනයන වර්ධනය කර ගැනීමටනම් ලංකාවේ අපනයන නිෂ්පාදන සමාන ගුණාත්මක භාවයක් ඇති වෙනත් රටවල නිෂ්පාදන වලට සාපේක්ෂව මිලෙන් අඩුවිය යුතුය.

රජය මඟින් සහනාධාර ලබාදීම හරහා නිෂ්පාදන පිරිවැය අඩුකර අපනයන මිල ගණන් තරඟකාරී මට්ටමකට පහත හෙළිය හැකි වුවත්, ඒ සහනාධාර පිරිවැය බදු ලෙස නැවත එකතු කර ගැනීමේදී නිෂ්පාදන පිරිවැය නැවතත් ඉහළ යන බැවින් මේ උපාය මාර්ගය  තිරසාර එකක් නොවේ. 


එසේනම් කළ යුත්තේ කුමක්ද? ප්‍රශ්නයේ මුලට ගිය විට විසඳුමද හමුවේ.

ජේ ආර් ජයවර්ධන විසින් 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමට සමගාමීව විණිමය අනුපාතිකද ඉතා විශාල ලෙස අවප්‍රමාණය කෙරුණු බව අප අමතක නොකළ යුතුය. 1978 වසර තුළදී පමණක් ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 8.87 සිට 15.61 දක්වා 76%කින් ඉහළ ගියේය. ඒ සමඟම ලෝක වෙළඳපොළෙහි ලංකාවේ නිෂ්පාදන වල මිලද ඉතා විශාල ලෙස අඩුවී ලංකාවේ අපනයන තරඟකාරිත්වයද විශාල ලෙස ඉහළ ගියේය. ලංකාවේ අපනයන දෙවසරක් තුළ ඉතා විශාල ලෙස වර්ධනය වීමට හේතු වුනේ විදේශ විණිමය අනුපාතිකයෙහි සිදුවුණු මේ නිවැරදි කිරීමයි.

ඉහත විදේශ විණිමය ප්‍රතිපත්තිය 2000 වසරේදී පමණ සිට ඒ අයුරින්ම ක්‍රියාත්මක වුනේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ අපනයන වල මිල අනෙකුත් තරඟකාරී රටවල අපනයන මිලට සාපේක්ෂව විශාල ලෙස ඉහළ යද්දී විදේශ නිෂ්පාදන වල දේශීය මිල නියම මට්ටමට වඩා පහළින් පවත්වා ගැනුණේය. මේ අනුව, පසුගිය වසර පහළොවක පමණ කාලය තුළ සිදුවුණේත්, තවමත් සිදුවන්නේත් ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් වෙනත් රටවල නිෂ්පාදකයින්ට "සහනාධාර" ලැබීමයි.

මේ වාසිය වැඩිපුරම ලබාගත්තේ චීනය හා ඉන්දියාවයි. ඒ තත්ත්වය තවමත් වෙනස් වී නැත. විණිමය ප්‍රතිපත්තියේ වරද නිසා වසරින් වසර ලංකාවේ
අපනයන වර්ධනය පහළ යද්දී ආනයන ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. මේ නිසා ඇති වුනු ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇතැම් ආණ්ඩු විසින් රාජ්‍ය දේපොළ විකුණා දැමීමෙන් පියවා ගැනීමට උත්සාහ ගත් අතර, සියළුම ආණ්ඩු විසින් විශාල ලෙස විදේශ ණය ලබා ගැනීමට යොමු විය. මෙයින් ලැබුණේ තුවාලයක් කසන විට ලැබෙන ආකාරයේ සනීපයක් පමණි. දැන් තුවාලය ඔඩු දුවා තිබේ. අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම කෙසේවෙතත් ලංකාවේ ආර්ථිකය තියෙන මට්ටමින් අල්ලාගෙන සිටීම පවා දැන් පහසු වැඩක් නොවේ.

තුවාලය නිට්ටාවට සනීප කර ගැනීමටනම් විණිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වෙන්නට ඉඩ හැරිය යුතුය. ලංකාවේ අපනයන වර්ධනය කරගැනීමට අවශ්‍යනම් ඒ මඟ මිස වෙනත් මඟක් නැත!

Wednesday, May 3, 2017

ලංකාවේ 2016 ආර්ථික වර්ධන වේගය නිවැරදිද?



පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධියට පත් කළ 2015 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව අනුව එම වසරේ වෙළඳපොළ මිල පදනම මත ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 11,183ක් විය.

අද ජනාධිපතිතුමා වෙත පිළිගන්වා ඇති 2016 වසර සඳහා වන වාර්ෂික වාර්තාව අනුව 2016 වසරේ වෙළඳපොළ මිල පදනම මත ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 11,839කි. මේ සංඛ්‍යා දෙක සැසඳූ විට, පසුගිය වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ නාමික වර්ධනය 5.87%කි.

සැබෑ (මූර්ත) ආර්ථික වර්ධනය දැනගැනීමට නාමික වර්ධනයෙන් දෙවසර තුළ මිල වෙනස්වීම (උද්ධමනය) නිසා සිදුවූ බලපෑම ඉවත් කළ යුතුය. මහ බැංකු වාර්තාව අනුව 2016 දදේනි අවධමනකය 3.6%කි. ඒ අනුව, 2016 මූර්ත දදේනි වර්ධනය 2.2% කට නොවැඩි විය යුතු වුවත් මහ බැංකු වාර්තාවට අනුව ආර්ථික වර්ධනය 4.4%කි. මෙසේ ආර්ථික වර්ධනය දෙගුණ වුණේ කොහොමද?

පසුගිය වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය 4.4%ක් වී තිබෙන්නේ 2016 දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ ඉදිරිපත් කළ 2015 ඇස්තමේන්තුවට වඩා එපමණකින් වර්ධනය වීමෙන් නොවේ. 2015 දළ දේශීය නිෂ්පාදිතය ලෙස 2016 දී ඉදිරිපත් කළ රුපියල් බිලියන 11,183ක ඇස්තමේන්තුව 2017 වන විට රුපියල් බිලියන 10,952 දක්වා 2.1%කින් අඩුවීම නිසාය!

ජාතික ගිණුම් ඇස්තමේන්තු පසුව සංශෝධනය කිරීම අමුතු දෙයක් නොවූවත්, මේ තරම් විශාල වෙනසක් වීම සංඛ්‍යාලේඛණ වල නිරවද්‍යතාවය පිළිබඳ සැක මතු කරවයි.

පසුගිය 2015 දළ දේශීය නිෂ්පාදිතය 2.1%කින් අඩුවන විට එම වසරේ ආර්ථික වර්ධනයද පෙර ඇස්තමේන්තුවට වඩා එපමණකින් අඩුවිය යුතුය. එහෙත්, පුදුම සහගත ලෙස 2015දී පැවති 4.8% ආර්ථික වර්ධනය නොවෙනස්ව එසේම තිබේ. සංඛ්‍යාලේඛණ සංශෝධනය වීමේදී පෙර වාර්තා කළ මූර්ත ආර්ථික වර්ධනය එසේම තිබියදී කලින් වාර්තා කළ 2015 දදේනි අවධමනකය (උද්ධමනය) 2.2% සිට 0.8% දක්වා අඩුවී තිබේ!



(Image: http://www.hirunews.lk/160511/central-bank-annual-report-presented-to-president)

Wednesday, April 19, 2017

බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන්නේ කොහොමද?

මෙය බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන ආකාරය පිළිබඳ ඉතා සරල පැහැදිලි කිරීමකි. 

කිසියම් රටක නිෂ්පාදකයෝ හතර දෙනෙක් සිටිති.

අමල්: කිරි ගොවියෙකි. ප්‍රාග්ධනය ලෙස එළදෙනක් සිටී. එළදෙන ඔහුගේ වත්තේ තණකොළ කයි. අමල්ගේ ප්‍රාග්ධන හා ශ්‍රම වියදම් ගැන සලකා ඔහු කිරි බෝතලයක් රුපියල් සීයකට විකුණයි.

කමල්: මී කිරි නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් මී කිරි හට්ටියක් හදන්නට පුළුවන. මී කිරි හට්ටියක් රුපියල් 110කට අලෙවි කළ හැකිය.

බිමල්: යෝගට් නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් යෝගට් කෝප්පය දෙකක් සැදිය හැකිය. එක් කෝප්පයක් රුපියල් 60කට අලෙවි කළ හැකිය.

චමල්: කල්කිරි නිෂ්පාදනය කරන්නෙකි. ඔහුට අළුත් කිරි බෝතලයකින් කලකිරි බෝතලයක් සැදිය හැකිය. එහෙත්, පාරිභෝගිකයින් අළුත් කිරි වලට තරම් කල් කිරි වලට කැමති නැත. ඒ නිසා ඔහුට කල් කිරි බෝතලයක් විකිණිය හැක්කේ රුපියල් 90කටය.

රජයේ මැදිහත්වීමක් නැත්නම් අමල් කිරි නිපදවනු ඇත. කමල් මීකිරිද, බිමල් යෝගට්ද නිපදවනු ඇත. චමල් කල් කිරි නිපදවීමට යොමු නොවනු ඇත.

-අමල් නිපදවන කිරි බෝතලයකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 100ක දායකත්වයක් ලැබේ.
-කමල් නිපදවන මීකිරි හට්ටියකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 10ක දායකත්වයක් ලැබේ.
-බිමල් නිපදවන යෝගට් කෝප්ප දෙකකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 20ක දායකත්වයක් ලැබේ.
-චමල්ගෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වයක් නැත.

දැන් රජය විසින් කිරි බෝතලයකට රුපියල් 5ක බදු මුදලක් අය කළොත් (ඉල්ලුම වෙනස්වීම නොසලකා) වෙන්නේ කුමක්ද?
-අමල්ට කිරි බෝතලයකින් ලැබෙන්නේ රුපියල් 100කි. ඔහුගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය රුපියල් 5කට සීමා වේ.
-බිමල්ටද කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 15කට සීමා වේ.
-චමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-මී කිරි හා යෝගට් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අඩුවේ.
-එහෙත්, රජයට බදු ලෙස ලැබෙන මුදල් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නිසා සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට බලපෑමක් නැත.

කෙසේ වුවද, මෙය මෙසේ සිදුවීමටනම් රජය විසින් කිරිවලින් ලබාගත් මුදල් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් වැය කළ යුතුය.

උදාහරණයක් ලෙස, රජයට බදු මුදල් වැය කරමින් චමල්ට කිරි මිලදී ගැනීම සඳහා රුපියල් 10ක සහනාධාරයක් ලබා දිය හැකිය. දැන් ඔහුට කිරි බෝතලයක් මිලදී ගැනීමේදී වැය වන්නේ රුපියල් 90ක් පමණක් නිසා ඔහු කල් කිරි නිපදවන නමුත් විකුණුම් මිලද රුපියල් 90ක්ම නිසා ඔහු කිසිදු අගයක් එකතු නොකරයි. අවසාන වශයෙන් මෙහිදී දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙයි. ඒ රජය විසින් බදු ලෙස අයකරගත් මුදල් අකාර්යක්ෂම (අගය එකතු කිරීමක් නොකරන) කර්මාන්තයක් දිරිමත් කිරීම පිණිස වැය කර ඇති බැවිනි.

දැන් රජය මේ බදු මුදල කිරි බෝතලයකට රුපියල් 15 දක්වා වැඩි කළොත් වෙන්නේ කුමක්ද?

-අමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු මී කිරි නිෂ්පාදනය කිරීම නවත්වයි.
-බිමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 5කට සීමා වේ.
-චමල්ට වැඩි මුදලක් සහනාධාර ලෙස ලැබෙන නිසා ඔහු කිසියම් අගය එකතු කිරීමක් කරන බව දැකිය හැකි වනු ඇත. එහෙත්, සහනාධාරය ඉවත් කළ විට අගය එකතු කිරීම සෘණ අගයකි.

බදු වැඩි වීම නිසා කමල් නිෂ්පාදනයෙන් ඉවත් වී ඇත. මෙය හඳුන්වන්නේ බදු නිසා අතුරුදහන්වන නිෂ්පාදිතය (Deadweight Loss of Taxation) ලෙසය. ආණ්ඩුව බදු ලෙස එක් අයෙක්ගෙන් එකතු කර ගන්නා මුදල් අන්තිමේදී වෙනත් අයෙක් වියදම් කරන නිසා එසේ වියදම් කරන කොටස අවසානයේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක්ව පවතී. එහෙත්, මේ 'අතුරුදහන්වන නිෂ්පාදිතය' පාරිභෝගිකයාට හෝ නිෂ්පාදකයාට හෝ රජයට යන කිසිදු පාර්ශ්වයකට නොලැබී නැත්තටම නැති වී යයි, බදු වල ඇති ලොකුම ප්‍රශ්නය මේ  අතුරුදහන්වන නිෂ්පාදිතයයි.

Monday, April 17, 2017

ආර්ථික වර්ධනය, බදු හා සහනාධාර

පසුගිය 2016 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4%ක් විය. මේ ආර්ථික වර්ධනය යනු වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතය හෙවත් එකතු කළ අගය වැඩි වීමයි. මේ එකතු කළ අගය ගණනය කරන්නේ එක් එක් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදිත වල අවසන් වෙළඳපොළ අගයෙන් එහි අමුද්‍රව්‍ය වියදම් අඩු කිරීමෙනි.

කෙසේවුවද රජය විසින් ලබාදෙන සහනාධාර නිසා මේ අමුද්‍රව්‍ය වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් ලැබේනම් මේ වෙනසට හේතුව අගය එකතු වීමක් නොවීමට පුළුවන. ඒ නිසා, නියම ආර්ථික වර්ධනය ගණනය කිරීමටනම් එවැනි සහනාධාර වල වටිනාකම අඩු කළ යුතුය.

අනෙක් අතට, රජය මඟින් අය කරන බදු නිසා අමුද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වී ඇත්නම් සැබෑ එකතු කළ අගය නොපෙනී යන්නට පුළුවන. ඒ නිසා අමුද්‍රව්‍ය සඳහා ගෙවූ බදු මුදල් එකතු කළ අගයට එකතු විය යුතුය.

පසුගිය වසරේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල එකතු කළ අගයට බදු මුදල් එකතු කර, සහනාධාර මුදල් අඩු කර දළ දේශීය නිෂ්පාදිතය ගණනය කර ඇත්තේ පහත සඳහන් පරිදිය.



Friday, April 7, 2017

2016 ආර්ථික වර්ධනය

පසුගිය 2016 වසර සඳහා වන මහ බැංකු වාර්තාව තවමත් නිකුත් වී නැතත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තු මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව, පසුගිය 2016 වසර තුළ ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 4.4%කින් වර්ධනය වී තිබේ.



ලංකාවට නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන් වසර ලෙස සැලකෙන 1977 සිට 5.25%ක පමණ සාමාන්‍ය වර්ධනයක් පෙන්වූ ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය බොහෝ වසර වලදී 5% ඉක්මවන වර්ධනයක් පෙන්වූයේය. ජවිපෙ විසින් ආර්ථික වර්ධනයට තිරිංග දැමූ 1987-89 කාලයේදී හැර, 1977 වසරෙන් පසුව කිසිදු විටෙක ලංකාවේ ආර්ථික වර්ධනය එක දිගට සිවු වසරක් 5% මට්ටමට අඩුවෙන් පැවතුණේ නැත. එහෙත්, පසුගිය 2016 වසරේදී පිටපිටම හතරවන වරටත් ලංකාවේ ආර්ථික වර්ධනය 5% සීමාවට පහළින් නැවතී තිබේ.


පසුගිය වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය මේ මට්ටමට පහත වැටීමට එක් හේතුවක් වී ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික අංශය 4.2%කින් හැකිලීමයි. එයට සාපේක්ෂව, කර්මාන්ත අංශය 6.7%කින්ද, සේවා අංශය 4.2%කින්ද වර්ධනය වී තිබේ. 




කෘෂිකාර්මික අංශය තුළ වී නිෂ්පාදනය 31%කින්ද, අනෙකුත් ධාන්‍ය නිෂ්පාදනය 10.5%කින්ද, තේ නිෂ්පාදනය 11.2%කින්ද, රබර් නිෂ්පාදනය 10.7%කින්ද පහත වැටී තිබේ. කෙසේ වුවද, ලංකාවේ ආර්ථිකයෙන් 7.5%ක් පමණක් වන කෘෂිකාර්මික අංශයෙන් සමස්ත ආර්ථික වර්ධනයට සිදුකෙරෙන බලපෑම එතරම්ම විශාල නැත. ලංකාවේ ආර්ථිකයෙන් 57%ක් වන සේවා අංශයට හා 27.1%ක් වන කර්මාන්ත අංශයට අයත් බොහෝ අනු අංශ කිසියම් ප්‍රමාණයකින් වර්ධනය වී ඇති නිසා කෘෂිකාර්මික අංශයේ හැකිලීම හමුවේ වුවද, සමස්තයක් ලෙස ආර්ථිකය 4.4%කින් වර්ධනය වී තිබේ.

Monday, December 12, 2016

රටකට ඕනෑ කොපමණ මුදලක්?



පසුගිය ලිපියකට ප්‍රතිචාර දැක්වූ එක් පාඨකයෙකු කිසියම් රටක් 'අළුතින් සල්ලි අච්චු ගැසීමේ' ක්‍රියාපටිපාටිය ගැන විස්තර කරන මෙන් ඉල්ලා සිටියේය. මේ ලිපිය එම ඉල්ලීමට ප්‍රතිචාරයකි.

කිසියම් මොහොතක රටක ආර්ථිකය තුළ සංසරණය වන නිශ්චිත මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණයක් තිබේ. මේ අතර ඉරුණු, පොඩි වුණු, අපවිත්‍ර වුණු නෝට්ටුද තිබේ. අතින් අත ගොස් කිසියම් බැංකුවක් හරහා මෙසේ හොඳ තත්ත්වයේ නැති මුදල් නෝට්ටුවක් මහ බැංකුවට පැමිණි විට මහ බැංකුව විසින් එවැනි මුදල් නෝට්ටු විනාශ කර අළුත් මුදල් නෝට්ටු සංසරණයට එක් කරයි. මෙසේ කිරීමෙන් රටේ මුදල් සැපයුම (ආර්ථිකය තුළ සංසරණය වන මුළු මුදල් ප්‍රමාණය) වෙනස් නොවේ. ඒ නිසා, මෙහිදී සිදුවන්නේ අළුතින් සල්ලි අච්චු ගැසීමක් නොවේ. (මෑතකදී වාර්තා වී තිබුණු පුවතකට අනුව මහ බැංකුවේ සේවකයින් පිරිසක් විසින් ආදේශක ලෙස අළුතින් නෝට්ටු නිකුත් කිරීමෙන් පසු මෙසේ විනාශ කළ යුතු අපවිත්‍ර වූ නෝට්ටු විනාශ නොකර තමන් වෙත තබා ගනිමින් වංචාවක් සිදුකර තිබුණේය. එවැනි විටෙකනම් රටේ මුදල් සැපයුම වැඩි වේ.)

අළුතින් මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ කිසියම් අයුරකින් මහ බැංකුව විසින් ආර්ථිකයට පවතින ප්‍රමාණයට අමතරව අළුත් මුදල් නෝට්ටු හෝ කාසි නිකුත් කළ විටය. මෙය සිදුවන්නේ මහ බැංකුව විසින් කිසියම් පිරිවැයක් දරන විටෙකදීය.

මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවන විටත්, මහ බැංකුවට අලුතින් පරිගණකයක් මිලදී ගන්නා විටත්, මහ බැංකුව විසින් පුවත්පත් දැන්වීමක් දමන විටත් වැය කරන්නේ රජයේ වෙනත් ආයතනයක එවැනි පිරිවැයක් දැරෙන විට සිදුවනවාක් මෙන් මහජනතාවගේ බදු මුදල් නොවේ. අළුතින් මුද්‍රණය කළ මුදල්ය. ඒ නිසා මහ බැංකුවේ පිරිවැය වැඩිවන හැමවිටම රටේ මුදල් සැපයුම වැඩි වේ.

මෙහි අනිත් පැත්තද සිදුවේ. මහ බැංකුව විසින් ඔවුන්ගේ වාර්ෂික වාර්තාවේ පිටපතක් හෝ වෙනත් ප්‍රකාශනයක් විකුණන සෑම විටෙකම රටේ සංසරණයට නිකුත් කර ඇති මුදල් වලින් කිසියම් කොටසක් ආපසු මහ බැංකුවට පැමිණ සංසරණයෙන් ඉවත් වන නිසා රටේ මුදල් සැපයුම අඩුවේ.

ඉහත විස්තර කළ පරිදි මහ බැංකුව විසින් උපයන හා වැයකරන සෑම සතයක්ම රටේ මුදල් සැපයුමට බලපෑමක් කළත් රටේ මුදල් සැපයුම ප්‍රධාන වශයෙන්ම විචලනය වන්නේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත්) මිලදී ගැනීම හා විකිණීම කරන විටය. 


රටේ මුදල් සැපයුම වැඩි කරන්නට අවශ්‍ය වූ විට මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී. රටේ මුදල් සැපයුම අඩු කරන්නට අවශ්‍ය වූ විට මහ බැංකුව තමන් සතු භාණ්ඩාගාර බිල්පත් විකුණයි.

මුදල් සැපයුම වැඩි කිරීම උද්ධමනයට හේතු වන බව අප දන්නා දෙයකි. එසේනම්, මහ බැංකුවක් අළුතින් සල්ලි අච්චු ගසා මුදල් සැපයුම වැඩි කරන්නේ ඇයි?

රටේ ආර්ථිකයක් නිසි ලෙස ක්‍රියාත්මක වීමටනම් යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. රටක මහ බැංකුවක් මුදල් සැපයුම වැඩි කරන්නේ මේ මුදල් අවශ්‍යතාවය සැපිරෙන පරිදිය. එසේනම්, මේ ප්‍රමාණය කොපමණද?

මෙය ඇස්තමේන්තු කිරීම සඳහා අපට මුදල් අවශ්‍ය වන්නේ කුමකටද යන්න විමසීමට සිදුවේ. මුදල් අවශ්‍ය වන්නේ ගනුදෙනු සඳහාය. රටකට ගනුදෙනු සඳහා කොපමණ මුදලක් අවශ්‍යද?

රතු කැකුළු කිලෝවක් රුපියල් අසූවනම් කිලෝ දෙකක් මිලදී ගන්නට රුපියල් එකසිය හැටක් අවශ්‍ය වේ. බිත්තරයක් රුපියල් පහළොවනම් බිත්තර පහක් ගන්නට රුපියල් හැත්තෑ පහක් අවශ්‍ය වේ. මේ දෙකම ගන්නට රුපියල් දෙසිය තිස්පහක් අවශ්‍ය වේ. ඉහත අයුරින් රටේ සෑම අයෙකුටම මිල දී ගැනීමට අවශ්‍ය සියළුම දේ සඳහා අවශ්‍ය තර
ම් මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය.

රටේ සියළුම දෙනා විසින් කරන ගනුදෙනු පිලිබඳ සංඛ්‍යාලේඛණ එකතු කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවේ. එහෙත්, මේ ගනුදෙනු ප්‍රමාණය ආසන්න වශයෙන් ඇස්තමේන්තු කරන්නට බැරිකමක් නැත.

රටේ කවුරු හෝ මිල දී ගන්නේ වෙනත් කවුරු හෝ විසින් නිෂ්පාදනය කළ භාණ්ඩයක් හෝ සේවාවකි. ඒ නිසා, රටේ සමස්ත නිෂ්පාදනය ඇස්තමේන්තු කළ හැකිනම් හා එක් එක් භාණ්ඩයේ සාමාන්‍ය මිල දන්නේනම් රටේ සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණය ඇස්තමේන්තු කළ හැකිය. රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ලෙස ඇස්තමේන්තු කරන්නේ කිසියම් කාලයක් තුළ රටක සිදුවන සමස්ත නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකමයි. මෙම අගය රටේ වසරක් තුල සිදුවන ගනුදෙනු ප්‍රමාණයට සමාන ලෙස සැලකිය හැකිය. ඒ නිසා, එම ගනුදෙනු ප්‍රමාණය කිරීමට අවශ්‍ය තරම් මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය.

කෙසේ වුවද, වසරක් වැනි කාලයක් තුල එකම රුපියල් සීය ගනුදෙනු සඳහා කිහිප වරක්ම යෙදවේ. ඒ ගනුදෙනුවක් සිදුවන සෑම විටෙකම මේ රුපියල් සීය වෙනත් අයකුගේ අතට යාමත් ඔහු හෝ ඇය එම මුදල් නෝට්ටුවම නැවතත් ගනුදෙනු සඳහා භාවිතා කිරීමත් සිදුවන බැවිනි. මෙසේ යම්කිසි කාලයක් තුළ මුදල් නෝට්ටුවක් අතින් අත යන වාර ගණන 'මුදල් ප්‍රවේගය' ලෙස හැඳින්වේ. ලංකාවේ මුදල් නෝට්ටුවක් වසරක් තුළ මෙසේ අතින් ඇත මාරු වන වාර ගණන තුන් වරක් පමණ වේ.

දැන් අපට රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය (M) සොයාගත හැකිය. රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතය මුදල් ප්‍රවේගයෙන් බෙදූ විට පිළිතුර ලැබේ.

රටක මුදල්
ප්‍රවේගය සාමාන්‍යයෙන් විශාල ලෙස විචලනය නොවේ. එහෙත්, රටේ සමස්ත නිෂ්පාදනය සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යයි. මෙසේ සමස්ත නිෂ්පාදනය හෙවත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වීම සරලව රටේ ආර්ථික වර්ධනය ලෙස හැඳින්වේ. ආර්ථිකය වර්ධනය වන විට ඒ අනුපාතයෙන්ම රටේ ගනුදෙනු ප්‍රමාණයද ඉහළ යන නිසා එම ගණුදෙනු සුමට ලෙස කිරීමට රටට අවශ්‍ය මුදල් ප්‍රමාණයද ඉහළ යයි. ඒ නිසා රටක ආර්ථික වර්ධනය වන අනුපාතයෙන් මුදල් සැපයුම වැඩි කළ විට මිල මට්ටම ඉහළ නොයයි. එහෙත්, ආර්ථිකය වර්ධනය වන වේගයට වඩා වැඩියෙන් මුදල් සැපයුම වැඩි කළ විට එම වැඩිපුර මුදල් සැපයුමට සරිලන ඉල්ලුමක් නැති නිසා සිදුවන්නේ මිල මට්ටම ඉහළ යාමය.

උදාහරණයක් ලෙස රටේ ආර්ථික වර්ධනය 6%ක් වෙද්දී, මුදල් සැපයුම 10%කින් වර්ධනය වුවහොත්, 4%ක 'වැඩිපුර' මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වන නිසා මිල මට්ටම 4%කින් වැඩි වේ. එනම්, උද්ධමනය 4%ක් වේ. යම් හෙයකින් මුදල් සැපයුම 20%කින් වර්ධනය වුවහොත් උද්ධමනය 14%ක් පමණ වනු ඇත.

මහ බැංකුව වසර මුලදී අදාළ වසර සඳහා මුදල් සැපයුම තීරණය කරද්දී රටේ ආර්ථික වර්ධනය සැලකිල්ලට ගන්නා අතර, එයට අමතරව කිසියම් මට්ටමක 'තිබුණට කමක් නැති' උද්ධමන මට්ටමක් සලකමින් මුදල් සැපයුම වැඩිකළ යුතු ප්‍රමාණය තීරණය කරයි. මා සිතන පරිදි අඩු වශයෙන් අසූව දශකයේ මුල පමණ සිට 2006 වසර පමණ වන තුරු මහ බැංකුව මේ 'තිබුණට කමක් නැති' උද්ධමන මට්ටම 9%-10% පමණ ලෙස සැලකුවේය. ඉන්පසු කාලයේදී මහා බැංකුව මේ මට්ටම 5%-6% මට්ටම දක්වා ගෙන ආවේය.

මහ බැංකුව මෙසේ වසර මුල යම් කිසි මට්ටමකට වඩා මුදල් සැපයුම වැඩි නොකිරීමට තීරණය කළත් බොහෝ වසර වල එම මට්ටමද ඉක්මවා මුදල් සැපයුම වැඩි කරයි. මෙසේ කිරීමට පෙළඹෙන්නේ රජයේ අයවැය හිගය ඇස්තමේන්තුවට වඩා වැඩි වී වැඩිපුර රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කෙරෙන විට පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යන්නට නොදී එම සුරැකුම්පත් ප්‍රමාණය විකුණාගන්නට බැරිවන විට මහ බැංකුවට අළුතින් මුද්‍රණය කළ මුදල් යොදවා රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගන්නට සිදුවන බැවිනි. මෙයට අමතරව, බොහෝ වසර වල ලංකාවේ ආර්ථික වර්ධන වේගය වසර මුලදී බලාපොරොත්තු වන මට්ටමට යන්නේ නැත. මේ කරුණු දෙකේම ප්‍රතිඵලය වන්නේ මුලින් හිතුවාට වඩා වැඩි උද්ධමන මට්ටමක් ඇති වීමයි.

කෙසේ වුවද, තෙල් මිල අඩුවීම වැනි බාහිර සාධක නිසා මුදල් සැපයුම වැඩිවද්දීත් උද්ධමනය අඩු මට්ටමක පැවතෙන්නට පුළුවන.


(Image: http://www.therepublicsquare.com/business/2013/05/inflation-in-sri-lanka-according-to-cal-research-figures/)

Wednesday, May 25, 2016

ප්‍රශ්නය ප්‍රාග්ධන හිඟය නොවේ!


මාතෘකාව වෙනස් වුවද මේ ලිපියද පෙර ලිපි වලට සම්බන්ධය.

ලංකාවට වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ඇති බාධාව ප්‍රාග්ධන හිඟය බව මෙම ලිපිය කියවන ඇතැම් අය සිතනවා විය හැකිය. මෙය නිවැරදි අදහසක් නොවේ. ප්‍රාග්ධනය වැඩි කර ගැනීම මඟින් ආර්ථිකයක් ඉදිරියට තල්ලු කළ හැකි වුවත් ඒ යම් පටු සීමාවක් ඇතුළත පමණි. ප්‍රාග්ධනය නිසා ආර්ථිකයන් වර්ධනය වේනම් වැඩිම ආර්ථික වර්ධනයක් පැවතිය යුත්තේ ඇමරිකාව හා ජපානය වැනි රටවලය. එහෙත්, එය එසේ සිදු නොවන්නේ ප්‍රාග්ධනය විසින් ආර්ථික වර්ධනය සඳහා ලබා දෙන දායකත්වයෙහි ඇති නෛසර්ගික සීමාවන් නිසාය.


මෙය තේරුම් ගැනීම සඳහා අපි ඉතා සරල මූලික ආර්ථික විද්‍යා ආකෘතියකට යමු. මා මෙවැනි තැනකින් පටන් ගන්නේ මේ ලිපි කියවන වැඩි දෙනෙකු ආර්ථික විද්‍යාව විධිමත් ලෙස හදාරා නැති නිසාය.

මේ ආකෘතිය අනුව, ප්‍රධාන නිෂ්පාදන සාධක දෙකකි. ඒ, ශ්‍රමය හා ප්‍රාග්ධනයයි. කිසියම් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා මේ නිෂ්පාදන සාධක දෙකම අවශ්‍ය වේ. එයට අමතරව මේ නිෂ්පාදන සාධක කාර්යක්ෂම ලෙස පරිභෝජනය කළ හැකි (එසේ නැත්නම් අනාගත පරිභෝජනය සඳහා ගබඩා කර හෝ ආයෝජනය කර තබා ගත හැකි) භාණ්ඩ හා සේවාවන් බවට පරිවර්තනය කිරීමට තාක්ෂණයද අවශ්‍ය වේ.

ශ්‍රමය හා ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක දෙකෙන් කවර එකක් වැඩි කළද නිෂ්පාදනය වැඩි වේ. එහෙත්, මේ නිෂ්පාදන සාධක වැඩි කරගෙන යනවිට එසේ වැඩි වන නිෂ්පාදිත ප්‍රමාණය එන්න එන්නම අඩුවේ.

උදාහරණයක් ලෙස ප්‍රාග්ධනය ලෙස එකතු කරන පළමු රුපියල් දහසෙන් කිසියම් නිෂ්පාදනයක (උදාහරණයක් ලෙස බිත්තර) ඒකක සියයක් නිපදවිය හැකිනම්, මෙසේ යොදවන දෙවන රුපියල් දහසෙන් නිපදවිය හැක්කේ ඒකක සියයකට අඩු ගණනකි (උදාහරණයක් ලෙස අසූවක්). තෙවන රුපියල් දහසෙන් නිපදවිය හැක්කේ ඒකක හැට පහක් වැනි දෙවන රුපියල් දහසෙන් නිපදවූ ගණනට වඩා අඩු ඒකක ගණනකි. මෙය මෙසේ දිගටම සිදුවන බැවින් යම් සීමාවක් ඉක්මවූ පසු තවදුරටත් ප්‍රාග්ධනය යෙදවීම වාසිදායක නොවී යයි.

මේ කරුණ අනෙක් නිෂ්පාදන සාධකය වන ශ්‍රමයටද අදාළය. පරිගණක ක්‍රමලේඛණ ලියන සමාගමක් ගැන සිතූ විට මෙය තේරුම් ගත හැකිය. ක්‍රමලේඛකයින් වැඩි නොකර පරිගණක ප්‍රමාණය වැඩි කිරීමෙන් මෙන්ම, පරිගණක නොමැතිව ක්‍රමලේඛකයින් වැඩි කිරීමෙන්ද නිෂ්පාදනය වැඩි කර ගත නොහැකිය. කිසියම් කර්මාන්තයක් හා අදාළව ශ්‍රමය හා ප්‍රාග්ධනය යෙදවිය යුතු ප්‍රශස්ත අනුපාතයක් තිබේ.

දැන් අපි ලෝකයට විවෘත නොවූ ආර්ථිකයක් ඇති මනඃකල්පිත රටකට යමු. මේ රටේ ජනගහණය වර්ධනය වීම හා දැනට සිටින ශ්‍රමිකයන්ගේ මානව සම්පත් (කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගතහැකි දැනුම හා පුහුණුව) වර්ධනය වීම හේතුවෙන් ශ්‍රම සම්පත් ඉහළ යයි. දැනට සිදු කරන නිෂ්පාදනයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කර නැවත ආයෝජනය කිරීම නිසා ප්‍රාග්ධන සම්පත්ද වැඩි වේ.

රටේ ඉතිරිකිරීම් අනුපාතය හා ඒ නිසාම ආයෝජන අනුපාතය මුළු නිෂ්පාදනයෙන් 20% යැයි අපි සිතමු. දැන් මේ රටේ ප්‍රාග්ධන සංචිත වාර්ෂිකව මේ අනුපාතයෙන් වැඩි විය යුතුය. එහෙත්, එය එසේම සිදු නොවේ. ඒ ප්‍රාග්ධනය නිරන්තරයෙන් ක්ෂය වී යන බැවිනි. පෙර කී පරිගණක උදාහරණය ගතහොත් සෑම වසර හතරකට පමණ වරක් පැරණි පරිගණක ඉවත් කර අළුත් ඒවා ගන්නට සිදුවේ. වෙනත් යන්ත්‍ර සූත්‍ර, වාහන ආදියේ කොටස් ගෙවේ. මෙසේ ප්‍රාග්ධන සම්පත් ක්ෂයවීම සිදුවන්නේ පවතින සම්පත් තොගයට අනුපාතිකවය. මේ අනුපාතය අපි 5% ලෙස සලකමු.

වසරක් තුළ යම් රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක්
ඉතිරි කෙරේනම් හා ප්‍රාග්ධන සම්පත් වලින් 5%ක් ක්ෂය වේනම් වසර අවසානය වන විට එම රටේ ප්‍රාග්ධන සම්පත් 15% කින් වැඩි විය යුතුය. මෙසේ වසර ගණනක් ප්‍රාග්ධන සම්පත් වැඩි වී ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය දළ දළ දේශීය නිෂ්පාදිතය මෙන් සිවු ගුණයක් දක්වා වැඩි වුනේයැයි සිතමු. ඒ සමඟම වසරකට ක්ෂයවන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද සිවු ගුණයකින්, එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් දක්වා වැඩි වේ. දැන් සිදුවන්නේ කුමක්ද?

රටේ ඉතිරි කිරීම් (හා ආයෝජන) දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කි. මේ ප්‍රමාණය රටේ ප්‍රාග්ධන සම්පත් තොගයට එකතු වෙද්දී එයට සමාන ප්‍රමාණයක් ක්ෂය වේ. ඒ නිසා ප්‍රාග්ධන සංචිත තවදුරටත් වර්ධනය නොවේ. ඒ නිසා ප්‍රාග්ධන සම්පත් වලින් ආර්ථික වර්ධනයට තව දුරටත් උත්තේජනයන් ලබාගත නොහැකිය.

යම් හෙයකින් රටේ ඉතිරි කිරීම් අනුපාතය එක් වරම 30% දක්වා වැඩි වුනොත් හෝ කිසියම් ස්වභාවික සම්පතක් සොයාගනු ලැබුණොත් ප්‍රාග්ධන සම්පත්ද වැඩි වනු ඇත. ඒ නිසා ආර්ථික වර්ධනයද වැඩි වනු ඇත. එහෙත්, මේ අයුරින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගත හැක්කේ සීමිත කාලයකට පමණි. රටේ ප්‍රාග්ධන සම්පත් වැඩි වන තරමටම එම සම්පත් ක්ෂය වන සීමාවට පැමිණි වහාම මෙසේ ප්‍රාග්ධනය නිසා සිදුවූ ආර්ථික වර්ධනය නවතිනු ඇත.


යම් රටක ප්‍රාග්ධන සම්පත් තොගය වැඩි වන තරමට වාර්ෂිකව එම සම්පත් ක්ෂය වන ප්‍රමාණයද වැඩි වේ. ඒ නිසා ප්‍රාග්ධන සම්පත් වැඩි කිරීමෙන් ලැබෙන්නේ තාවකාලික වාසියක් පමණි. වැඩි වූ සම්පත් ඒ මට්ටමේම පවත්වා ගැනීමට දීර්ඝකාලීනව දිගටම මහන්සි වීමට සිදුවූවත් ඒ හේතුවෙන් ආර්ථික වර්ධනයට ලැබෙන විශේෂ වාසියක් නැත. වෙනත් අයුරකින් කිවහොත් සමස්ත නිෂ්පාදිතයෙන් 40%ක් ඉතිරි කරන රටකට දීර්ඝකාලීනව වර්ධනය විය හැක්කේද සමස්ත නිෂ්පාදිතයෙන් 20%ක් ඉතිරි කරන රටක් වර්ධනය වන වේගයෙන්මය. එහෙත්, අඩුවෙන් ඉතිරි කරන රටේ වැසියෝ වැඩියෙන් පරිභෝජනය කරති. ඒ නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත්ය.

එසේනම්, ඉතිරි කිරීම් අඩු කිරීම ප්‍රශ්නයක් නොවේද? උතුරේ යුදමය තත්ත්වය පැවති වසර 26 තුළද ලංකාවේ ආර්ථික වර්ධනය හොඳ මට්ටමක පැවතීම මඟින් පෙනෙන්නේ මේ කරුණයි. මා ඉදිරිපත් කළ සරල ආකෘතිය තුළ යුදමය වාතාවරණය ලංකාවේ ආර්ථිකයට දෙයාකාරයක බලපෑමක් කළේය. පළමුව, රටේ ඉතිරි කිරීම් වලින් කොටසක් ආයෝජන වෙනුවෙන් නොයොදවා යුද වියදම් වෙනුවෙන් යෙදෙවීමට සිදුවීම හේතුවෙන් ප්‍රාග්ධන තොගයට වාර්ෂිකව සිදුවන එකතු වීම් සීමා විය. දෙවනුව, ප්‍රාග්ධන සම්පත් ක්ෂය වන වේගය වැඩි විය.

මේ කරුණු දෙකේ සමස්ත ප්‍රතිඵලය වූයේ රටේ ප්‍රාග්ධන සම්පත් තොගය ක්‍රමයෙන් ක්ෂය වීම හා ඒ හේතුවෙන් ආර්ථික වර්ධනය සීමා වීමයි. ජයවර්ධන පාලනයේ පළමු වසර හය තුළදී පවත්වාගත් ආර්ථික වර්ධන වේගය ඉන්පසු වසර වලදී පවත්වා ගත නොහැකි විය. කෙසේ වුවද, ප්‍රාග්ධන සම්පත් තොගය මෙසේ ක්‍රමයෙන් පහත වැටීමට සමාන්තරව වාර්ෂිකව ක්ෂය වන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද ක්ෂය වන නිසා වසර කිහිපයකින් පසු තව දුරටත් ප්‍රාග්ධන සම්පත් ක්ෂය නොවේ. ඒ නිසා, යුද්ධය ඇරඹී වසර කිහිපයකයට පසු පැවති යුදමය තත්ත්වය නිසා ප්‍රාග්ධන සම්පත් විනාශය හේතුවෙන් සිදුවූ අවාසියද ක්‍රමයෙන් ක්ෂය වී ගියේය. එම කාලය තුළ ආර්ථික වර්ධනය විශාල ලෙස අඩුවුණේ ජවිපෙ විසින් විශාල සම්පත් හානියක් සිදු කළ 1987-89 කාලයේ සහ එල්ටීටීඊ සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළට පහර දුන් 2001දී පමණි.

මේ අයුරින්ම 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු නැවතත් වාර්ෂිකව ප්‍රාග්ධන සම්පත් එකතු වන ප්‍රමාණය වැඩි වීම නිසා තාවකාලිකව ආර්ථික වර්ධනය වැඩි වුවත්, සෛද්ධාන්තිකව මෙන්ම අනුභාවික දත්ත අනුව පෙනෙන පරිදි එවැනි වාසියක් වැඩි කල් නොපවතී.


දැන් අපට අපේ මුල් ආකෘතියෙන් බැහැර වී විවෘත ආර්ථිකයක් ගැන සිතන්නට පුළුවන. විවෘත ආර්ථිකයක් තුළට දේශීය ඉතිරි කිරීම් වලට අමතරව සෘජු විදේශ ආයෝජන හා විදෙස් ණය ආදී ලෙසද ප්‍රාග්ධනය පැමිණිය හැකිය. මෙසේ පැමිණෙන ප්‍රාග්ධන ප්‍රවාහ නිසාද රටේ ප්‍රාග්ධන සංචිතය ඉහළ යයි. ඒ සමඟම වාර්ෂිකව ක්ෂය වී යන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද ඉහළ යයි. අවසාන අවසාන වශයෙන් ආර්ථිකය පවතින මට්ටමේම තබාගන්නට වුවද සෘජු විදේශ ආයෝජන හා විදෙස් ණය ප්‍රවාහ නිශ්චිත ප්‍රමාණයක් වාර්ෂිකව රට තුළට පැමිණීම අවශ්‍ය වේ. 

ප්‍රාග්ධනය වැඩි කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමටනම් වසරින් වසර මෙසේ රට තුළට පැමිණෙන ප්‍රාග්ධන ප්‍රවාහ වැඩි විය යුතුය. එවැන්නක් ප්‍රායෝගිකව සිදු විය නොහැකිය. ඒ නිසා සෘජු විදෙස් ආයෝජන හෝ විදෙස් ණය මඟින් ලබා ගන්නා ප්‍රාග්ධනය යොදාගෙන ආර්ථික වර්ධන වේගය දිගුකාලීනව වැඩි කර ගැනීමේ හැකියාවක් නැත. කෙසේ වුවද, මා පෙර ලිපියක සඳහන් කළ විසරණය වීම් (spillover effects) නිසා ඇති වන වාසිය ගැන මා මෙහි කතා කර නැත. එමෙන්ම, සම්පත් ක්ෂයවීම තුලනය කිරීමට හා වරින් වර අහඹු ලෙස සිදුවන ස්වභාවික හානි ආදියෙන් පසු සිදුවන ප්‍රාග්ධන සම්පත් හානි ප්‍රතිපූරණය කර ගැනීම සඳහා කිසියම් අවම ඉතුරුම් අනුපාතයක් පවත්වා ගැනීමද අවශ්‍ය වන බැවින් ඉතුරුම් අසීමිත ලෙස අඩු කිරීමේ හැකියාවක්ද රටකට නැත.

(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)
 

(Image: www.dougsguides.com)

Wednesday, April 27, 2016

ආර්ථික වර්ධනය හා පක්ෂ ප්‍රතිපත්ති


ඇමරිකාවේ ආර්ථික වර්ධනය හා බලයේ සිටින ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය පිළිබඳව ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ පළවූ පර්යේෂණ පත්‍රිකාවක් ඇසුරෙන් මම මසකට පෙර සටහනක් පළ කළෙමි. මේ සටහනට ප්‍රතිචාරයක් ලෙස පාඨකයෙකු විමසා සිටියේ ලංකාව හා අදාළවද මෙවැනි විශ්ලේෂණයක් කළ හැකිද යන්නයි. ඇමරිකාවේ මෙන් නිශ්චිත දිනයකට මැතිවරණ නොපැවැත්වෙන හා මැතිවරණ ක්‍රමය කිහිප වරක් සංශෝධනය වුනු ලංකාව හා අදාළව මෙවැන්නක් කිරීම තරමක් සංකීර්ණ කටයුත්තකි. මේ ඒ සඳහා කෙරෙන සරල උත්සාහයකි.

ඇමරිකාවේ මෙන්ම ලංකාවේද ඇත්තේ ද්විපක්ෂ ක්‍රමයකි. නිදහසින් පසු දිගටම ලංකාව පාලනය කලේ එජාප හෝ ශ්‍රීලනිප ඇතුළත් වූ සන්ධානයකි. 1977 වන තුරු ලංකාවේ රාජ්‍ය පාලනය මෙහෙයවුනේ අගමැතිවරයෙකුගේ ප්‍රධානත්වයෙනි. ඒ නිසා ඒ කාලය සැලකිල්ලට ගැනීමේදී සැලකිය යුත්තේ අගමැතිවරයා අයත් වූ දේශපාලන පක්ෂයයි. ඉන්පසුව, විධායක ජනාධිපතිවරයෙකු විසින් රාජ්‍යය මෙහෙයවුනද බොහෝ විට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය පත් වූයේ ජනාධිපතිවරයා අයත් වූ පක්ෂයෙන්මය. පළමු වරට මේ තත්ත්වයේ සුවිශේෂී වෙනසක් සිදුවූයේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් වූ කාල වකවානුවේදීය. කෙසේවුවද, මේ කාලය තුළ රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවූයේ එජාපය බව සැලකීමෙහි වරදක් නැත. ඉන්පසුව, පසුගිය වසරේ රාජ්‍ය පාලනය භාරගත් එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව සම්බන්ධවනම් ඇත්තේ තරමක් අපැහැදිලි තත්ත්වයකි.

පහත රූපසටහනේ ඇත්තේ එජාප හා ශ්‍රීලනිප ප්‍රමුඛ වූ සභාග අතර බලය මාරුවුනු විවිධ කාල වකවානු වල ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයයි. කිසියම් වසරක් තුළ වැඩිම කාලයක් රට පාලනය කළ පක්ෂය එම වසර තුළ රට පාලනය කළ බව සලකා තිබේ. ඒ නිසා 1960 ඩඩ්ලි සේනානායක අගමැතිව සිටි තුන්මස් එජාප ආණ්ඩුව ආණ්ඩු වෙනසක් ලෙස මෙහි නොපෙනේ. එකම පක්ෂයේ පුද්ගලයින් අතර සිදුවූ බල හුවමාරුද වෙන් වශයෙන් සලකා නැත.




රූපසටහන ලෙස බැලූ විට, නිදහසින් පසු සෑහෙන කලක් යනතුරුම එජාප ප්‍රධාන වූ ආණ්ඩු යටතේ ආර්ථික වර්ධනය ශ්‍රීලනිප ප්‍රධාන ආණ්ඩු යටතේ වූ වර්ධනයට සාපේක්ෂව කැපී පෙනේ. පසුගිය දශකය මුල පමණ දක්වා පිළිගැනුණු රටේ ආර්ථිකයට හොඳ එජාප ආණ්ඩු බවට වූ ජනප්‍රිය අදහස සමඟ මෙය ගැලපේ. මේ වෙනසට පදනමක් විය. මුල් කාලයේදී එජාප ආර්ථික ප්‍රතිපත්ති වඩා නිදහස් වූ අතර ශ්‍රීලනිප බොහෝ විට අනුගමනය කළේ ජාතිකවාදී, ආරක්ෂනවාදී ආර්ථික ප්‍රතිපත්තියකි. මුල්කාලීන එජාප රජයයන් යටතේ සිදුවී ඇති සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනය එම පක්ෂය අනුගමනය කළ නිදහස් ආර්ථික ප්‍රතිපත්තීන්හි ප්‍රතිඵලයකි.


කෙසේවුවද, පසුකාලීනව ශ්‍රීලනිප ප්‍රතිපත්තියද නිදහස් වෙළඳපොළ දෙසට යොමුවූවක් ලෙස වෙනස් වීමත් සමඟ පක්ෂ දෙක අතර කලක් තිස්සේ පැවති ආර්ථික ප්‍රතිපත්ති වෙනස මෙන්ම මේ එක් එක් පක්ෂ වල පාලනයන් යටතේ රටේ සාමාන්‍ය ආර්ථික වර්ධනයේ වෙනසද ක්ෂය විය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ 2004-2014 කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය නිදහසින් පසු සියළු කාල වකවානු වල පැවති මට්ටම් ඉක්මවා කැපී පෙනේ.

වත්මන් රජයට මේ සාමාන්‍යය ඉක්මවීමට හැකියාවක් ඇත්දැයි තීරණය කිරීමට ගත වූ වසරක කාලය ප්‍රමාණවත් නැතත් එවැනි ශක්‍යතාවක් මේ වන තුරුනම් ප්‍රදර්ශනය කෙරී නැත. අනෙක් අතට දැන් පවතින්නේ එජාප රජයක්ද යන්නත් පැහැදිලි නැත.


(Image: sltoday.lk)

Tuesday, April 26, 2016

2015 මහ බැංකු වාර්තාව එළි දකී!


පසුගිය 2015 වසර සඳහා වූ මහ බැංකු වාර්ෂික වාර්තාව එළි දක්වා තිබේ. 2015 යනු පැවති රජය මෙන්ම මහ බැංකුවේ අධිපතිවරයාද වෙනස් වීමෙන් පසුව ගෙවුණු පළමු වසරයි.

මේ ලිපියෙන් මහ බැංකු වාර්තාවේ ඇති කරුණු පිළිබඳව පුළුල් විග්‍රහයක් කිරීමට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එහි බොහෝ දෙනෙකු බලා සිටින ප්‍රධානම කරුණු අතරින් ආර්ථික වර්ධනය දෙස පළමුව බැලූ විට පසුගිය වසරේ ලංකාවේ ආර්ථිකය 4.8%කින් වර්ධනය වී තිබේ. මෙය 1977දී ලංකාවට නිදහස් ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පවත්වාගත් සාමාන්‍ය වර්ධන වේගයට වඩා අඩු අගයකි.

මහ බැංකුවේ ප්‍රවෘත්ති නිවේදනය අනුව "රාජ්‍ය අයවැයෙහි වියදම් විශාල ලෙස ඉහළ යාම, ද.දේ.නි.හි ප්‍රතිශතයක් ලෙස 4.4%ක් වූ ඉලක්කගත අයවැය හිඟය 7.4% දක්වා ඉහළ යෑමට" හා "මධ්‍යම රජයේ ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 76.0% දක්වා ඉහළ යෑමට" හේතු වී තිබේ. 2014 අවසාන වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,390.9ක් වූ අතර වසර අවසානය වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,503.2ක් දක්වා 15%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. 2014 අවසානයේදී ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස රජයේ ණය ප්‍රමාණය 70.7% මට්ටමේ පැවතුණි. වෙනත් අයුරකින් කිවහොත් රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වසර මුල වූ රුපියල් 355,799 සිට රුපියල් 405,571 දක්වා ඉහළ ගොස් ඇත.

2015 මුලදී ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය කළමණාකරන වාර්තාවෙන් අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 4.4% දක්වා අඩුකර ගැනීමටද රාජ්‍ය ණය ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස 72% මට්ටමේ පවත්වා ගැනීමටත් සැලසුම් කර තිබුනද රජය මේ ඉලක්ක සපුරාගැනීමට අසමත්ව ඇති බව මහ බැංකු පුවත් නිවේදනය පෙන්වා දෙයි. පොලී ගෙවීමේ වියදම් ඉවත් කර හදන ප්‍රාථමික ගිණුමේ හිඟයද 2014දී පැවති 1.5% සිට 2.9% දක්වා වැඩි වී තිබේ.

එමෙන්ම, වසර තුළ ගෙවුම් තුලනය ඩොලර් මිලියන 1,489කින් "පිරිහීමත් සමඟ රටෙහි දළ නිල සංචිත ප්‍රමාණය 2014 වසරේ තිබූ ඩොලර් බිලියන 8.2හි සිට 2015 වසර අවසානය වන විට ඩොලර් බිලියන 7.3ක් දක්වා" අඩු වී තිබේ.

බැංකු අංශයෙන් රජයට ලබා දෙන ණය මුලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණය ඉක්මවා "රුපියල් බිලියන 326කින් සැලකිය යුතු ලෙස" වැඩි වී ඇති අතර වසර තුල මහ බැංකුව විසින් රටේ ආර්ථිකයට අළුතින් සංචිත මුදල් රුපියල් බිලියන 95.5ක පමණ මුදලක් පොම්ප කර තිබේ. මේ අනුව, රටේ පුළුල් මුදල් සැපයුම පෙර වසරේ පැවති 13.4% වර්ධනය සැලකිය යුතු ලෙස ඉක්මවමින් 17.8%කින් වර්ධනය වී තිබේ.

සමස්තයක් වශයෙන් පසුගිය වසරේ ආර්ථික වර්ධනයන් පිළිබඳව මහ බැංකු වාර්තාවෙන් පෙන්වන චිත්‍රය එතරම් හොඳ නැති බව කිව යුතු නොවේ.

(Image: www.cbsl.lk)

Sunday, January 17, 2016

මැල්තුසියානු උගුලෙන් ගැලවීම


මේ වන විට ලෝක ජනගහණය බිලියන 7.3 ඉක්මවා තිබේ. එහෙත්, මෙයට වසර 217කට පෙර, සිය නිල් පැහැති ලන්දේසි හමුදා නිල ඇඳුම ගලවා ඉංග්‍රීසි හමුදාවේ රතු නිල ඇඳුම ඇඳගෙන ලංකාවේ අවසන් ඉංග්‍රීසි හමුදා ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළ පියරේ ෆෙදෙරික් ද මියුරන් වෙතින් ලංකාවේ පළමු සිවිල් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ ෆෙඩ්රික් නෝර්ත් වෙත බලය මාරු වන කාලය වන විටත් සමස්ත ලෝකයේ හෝමෝ සේපියන්ස් ජනගහණය පැවතියේ බිලියනයකට වඩා අඩුවෙනි. එහෙත්, එවකට පැවති ජනගහණය ඒ වන විට ඉතිහාසයේ වාර්තා වූ විශාලම හෝමෝ සේපියන්ස් ජනගහණයයි.

ජනගහණ වර්ධනය ගැනත්, මානව සංහතියේ අනාගතය ගැනත් විවිධ අදහස් පළවුනු මේ කාලයේදී "ජනගහණ මූලධර්මය පිලිබඳ රචනාවක්" නම් වූ, ජේ. ජොන්සන් නම් වූ පුද්ගලයෙකු විසින් රචිත පොතක් ලන්ඩනයේදී ප්‍රකාශයට පත් විය. ආරූඪ නම් වලින් පොත් පළකිරීම අදාළ කාලයේ සාමාන්‍ය ප්‍රවණතාවක් විය. වැඩි කල් නොයා දැනගන්නට ලැබුණේ මේ ජොන්සන් සැබෑවටම තෝමස් රොබර්ට් මැල්තුස් නම් වූ ඇන්ග්ලිකන් දේවගැතිවරයා බවයි.

මේ කාලය වන විට ජේම්ස් වොට් විසින් වාෂ්ප එන්ජිම නිර්මාණය කරනු ලැබ එය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමද සුළුවෙන් වුවත් සිදුවෙමින් තිබුණේය. වාෂ්ප එන්ජිමේ ජවයෙන් විද්‍යා පුනරුදයට ශක්තිය ලැබෙද්දී මානව සංහතියේ අනාගතය ගැන බොහෝ දෙනා සුබ සිහින දකින්නට පටන් ගෙන තිබුණේය. එහෙත්, මැල්තුස් දුටුවේ මෙවැනි උතෝපියානු සිහිනයක් නොවේ. මිනිසා සදාකාලිකවම සාගින්නෙන්, ලෙඩරෝගවලින් පීඩා විඳිමින් ගතකරන දුක්ඛිත, ප්‍රති-උතෝපියානු අනාගතයකි. කෙසේවුවද, ජනගහණ වර්ධනය පිළිබඳව මුලින්ම මෙවැනි විධිමත් න්‍යායක් ඉදිරිපත් කළේ මැල්තුස් විසිනි.

මැල්තුස්ගේ රචනාවේ ඔහුගේ න්‍යායය ඉතා පැහැදිව සරල බසින් විස්තර කර තිබේ. එය තර්කානුකූලය. ඒ වන විට සිදුකළ හැකිව තිබුණු නිරීක්ෂණ සමඟ සෑහෙන දුරකට සැසඳේ.

මැල්තුස් කතාව පටන් ගන්නේ සියල්ලන්ටම වාගේ එකඟ විය හැකි සරල උපකල්පන දෙකකිනි.

"පළමුව, මිනිසාගේ පැවැත්මට ආහාර අවශ්‍යය. දෙවනුව, විරුද්ධ ලිංගිකයින් අතර ඔවුනොවුන්ට ඇති ආකර්ෂණය අද [1798දී] ඇති මට්ටමින්ම දිගටම පවතිනු ඇත."

ඔහුගේ න්‍යායය අනුව, ඉහත සරල උපකල්පන දෙක නිවැරදිනම්, මනුෂ්‍ය සංහතියට යැපීමට අවශ්‍ය ආහාර ප්‍රමාණය වැඩිවන වේගයට වඩා වේගයෙන් ජනගහණය වර්ධනය වීම නිසා කාලයෙන් කාලයට මිනිස් සංහතියට සම්පත් හිඟයන්ට මුහුණ පෑමට සිදුවේ.

"මිනිසාගේ පැවැත්මට අවශ්‍ය සම්පත් වැඩිපුර ඇති, මිනිසුන්ගේ හැසිරීම් වඩා යහපත්, ඒ නිසාම යුරෝපයේ නූතන රාජ්‍යයන් සියල්ලන්ටම වඩා අඩු වයස් විවාහයන්ට බාධා අඩු, ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහණය වසර විසිපහෙන් විසිපහට දෙගුණ වන බව පෙනෙන්නට තිබේ."

ඉහත නිරීක්ෂණය අනුව, මැල්තුස් විසින් විශේෂ බාධාවක් නොවේනම් ජනගහණය සෑම වසර විසිපහකටම වරක් දෙගුණ වන බව පෙන්වා දෙයි. එහෙත්, මෙසේ ජනගහණය දෙගුණ වන විට ආහාර නිෂ්පාදනය වැඩි කළ හැක්කේ නිශ්චිත ප්‍රමාණයකින් පමණි.

"ලෝක ජනගහණය මිලියන සියයක්යැයි අපි සිතමු. මිනිස් ජනගහණය 1,2,4,8,16,32,64,128,256,512... අනුපාත වලින් වර්ධනය වනු ඇති නමුත් ආහාර නිෂ්පාදනය වැඩි වනු ඇත්තේ 1,2,3,4,5,6,7,8,9,10... අනුපාතයන්ගෙනි. සියවස් දෙකයි කාලකින් ආහාර අවශ්‍යතාවය සහ නිෂ්පාදනය අතර අනුපාතය 512:10 වනු ඇත. සියවස් තුනකින් 4096:13 ලෙස වැඩි වනු ඇත."

ඔහු පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ මෙය සිදුවිය නොහැක්කක් බවයි. එසේනම්, සිදුවිය හැක්කේ ජනගහණය ස්වභාවික සමතුලිතතාවකට පැමිණීමයි. ජනගහණය මේ සමතුලිත මට්ටම ඉක්මවූ විට වසංගත, දුර්භික්ෂ, යුද්ධ ආදිය මඟින් ජනගහණය නැවත අඩු වේ. මිනිසාගේ ජීවන තත්ත්වය දිගින් දිගටම සුඛිත මුදිතව පැවතීමේ හැකියාවක් නැත. ආහාර හිඟයක් නැතිව, සාමකාමීව ගතවන කාලවලදී ජනගහණය වැඩියෙන් වර්ධනය වේ. එවිට, ආහාර සැපයුම ප්‍රමාණවත් නොවීම නිසා එය නිවැරදි වන තුරු දුෂ්කර කාලයක් ගත කරන්නට සිදුවේ. මෙය චක්‍රයකි.

"මෙය සිදුවන්නේ මේ ආකාරයෙනි. ආරම්භයේදී යම් රටක ආහාර සැපයුම ඒ රටේ ජනගහණයට යාන්තමින් ප්‍රමාණවත් වීයැයි සිතමු. ඉහත විස්තර කළ පරිදි, ජනගහණය ආහාර නිෂ්පාදනයට වඩා වේගයෙන් වර්ධනය වනු ඇත. කලින් මිලියන හතක පිරිසක් පරිභෝජනය කළ ආහාර දැන් මිලියන හතහමාරක් හෝ අටක් අතර බෙදිය යුතුය. [මේ කාලයේ එංගලන්තයේ ජනගහණය මිලියන හතක් වූ බව සමකාලීන ඇස්තමේන්තුව වන්නට ඇත. 1801දී එංගලන්තයේ සිදුකළ පළමු සංගණනය අනුව එවිට ජනගහණය මිලියන 8.1ක් විය.] මෙසේ වූ විට, වඩාත්ම පීඩාවට පත්වනු ඇත්තේ දුප්පත් ජනතාවයි. රටේ කම්කරුවන් ගණන අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වන නිසා කම්කරු වැටුප් පහළ යනු ඇති අතර බඩු මිල වැඩි වනු ඇත. මේ නිසා කලින් පැවති ජීවන තත්ත්වය පවත්වා ගැනීමට කම්කරුවන්ට ඉතා විශාල පැය ගණනක් වැඩිපුර වැඩ කිරීමට සිදුවනු ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ පවුලක් නඩත්තු කිරීම පහසු කටයුත්තක් නොවන නිසා විවාහවීම අධෛර්යය වීමෙන් ජනගහණ වර්ධනය ඇණහිටිනු ඇත. මේ අතර, අඩු වැටුපකට වැඩ කිරීමට සූදානම් කම්කරුවන් ඕනෑතරම් සිටින නිසාත් නිෂ්පාදන වැඩි මිලකට විකිණිය හැකි නිසාත් ඉඩම් හිමියන් විසින් වගා කළ හැකි සෑම බිම් අඟලක්ම වගා කිරීම නිසා නිෂ්පාදනය ඉහළ යනු ඇත. එවිට, ආහාර සැපයුම නැවතත් ජනගහණයේ අවශ්‍යතාවය සමඟ සම්පාත වන බැවින් කම්කරුවන්ගේ ජීවිත නැවතත් යහපත් වනු ඇත. එවිට ඔවුන් නැවතත් විවාහ වී දරුවන් හැදීමෙන් නැවතත් ජනගහණය වැඩි වනු ඇත."

මැල්තුස් මේ පොත ලියන කාලය වනතුරු ඇත්තටම සිදුවුණේ මේ කියා ඇති දෙයට තරමක් කිට්ටු දෙයකි. ඒ වන තුරු තාක්ෂණ දියුණුව මඟින් සිදුකර තිබුණේ ජනගහණ වර්ධනයට උදවු කිරීමයි. මෙසේ ජනගහණය වැඩි වුනත් ඒකීය පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස් වුනේ නැත. ජනගහණය වැඩි වන විට වරින්වර කිසියම් අයුරකින් එය සීමා විය. උදාහරණයක් වශයෙන් එකොළොස්වන සියවසේ සිට දහතුන්වන සියවස දක්වා ජනගහණය වර්ධනය වුවත් දහතුන්වන සියවසේදී යුරෝපයේ පැවති දරුණු දුර්භික්ෂය හා මහාමාරිය වසංගතය නිසා ලෝක ජනගහණය විශාල ලෙස අඩුවිය. දහතුන්වන සියවසේ ආරම්භයේදී පැවති ලෝක ජනගහණය නැවත ඒ මට්ටමට පැමිණීමට සියවස් දෙකක් ගතවිය.


කෙසේවුවද, 1800ට පෙර කාලයේදීත් මිනිස් ජනගහණය වර්ධනය විය. එහෙත්, එය සිදු වූයේ සෙමිනි. වසර දසදහසකට පමණ පෙර කෘෂිකාර්මික යුගය ආරම්භවෙද්දී ලෝක ජනගහණය මිලියන 4ක් පමණ වූ අතර වසර හත්දහසකට පෙරද මිලියන පහකට වඩා වැඩි නොවීය. ඉන් පසුව ජනගහණ වර්ධනය තරමක් වේගවත් විය. වසර පන්දහසකට පෙර මිලියන 14 දක්වාත්, වසර තුන්දහසකට පෙර මිලියන 50 දක්වාත් ලෝක ජනගහණය වැඩිවිය. තවත් වසර පන්සියයකින් එය මිලියන 100ක් විය. ක්‍රි.ව. 1800 වන විටද මිලියන 800ක් පමණ වූ ලෝක ජනගහණය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වූයේ පසුගිය සියවස් දෙක තුළය.

ඉංග්‍රීසින් විසින් ලංකාවේ ලන්දේසීන් සතු වූ ප්‍රදේශ අත්පත් කරගන්නා කාලයේ එංගලන්තය තාක්ෂණය අතින් පැරණි චීනය, ග්‍රීසිය හෝ පර්සියාවට වඩා තරමක් ඉදිරියෙන් සිටියේය. එහෙත්, ඒ කාලයේදීත් එංගලන්තයේ සාමාන්‍ය වැසියෙකුගේ ජීවන තත්ත්වය සියවස් තිස් හතකට පෙර බැබිලෝනියාවේ ජීවත් වූ වැසියෙකුගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වුණේ නැත.

මැල්තුස්ගේ උපකල්පනයන් වැරදුනේ පසුගිය දෙසියවස තුළ සිදුවූ තාක්ෂණ දියුණුව සහ වෙනත් ඇතැම් වෙනස්කම් නිසාය.


(Images: http://themisescircle.org/features/from-the-malthusian-trap-to-the-industrial-revolution/)

Wednesday, January 13, 2016

ආර්ථිකය වර්ධනය වන්නේ කොහොමද?

රටක ආර්ථිකයක් ඉදිරියට යන ආකාරය ඉතා සරල ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කළ හැකිය. සරල වුවත්, මෙය ආර්ථික විද්‍යාවේදී බොහෝ විට භාවිතා කරන, ආර්ථික වර්ධනය සිදුවන ආකාරය පැහැදිලි කිරීමට ප්‍රමාණවත් ආකෘතියකි.

යම් කාලයක් තුළ රටක සිදුවන සමස්ත නිෂ්පාදනය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතය මඟිනි. මෙහි නිෂ්පාදනය යන්නට භාණ්ඩ මෙන්ම සේවාවන්ද ඇතුළත්ය. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික සාධක සියල්ල කොටස් තුනක් යටතේ වර්ග කළ හැකිය.

-ශ්‍රමය,
-ප්‍රාග්ධනය, හා
-තාක්ෂණය වශයෙනි.

භූමිය, උපකරණ, යන්ත්‍ර සූත්‍ර ආදී සියල්ල ඇතුළත් වන්නේ ප්‍රාග්ධනය යන්නටය.

ප්‍රාග්ධනය හෝ ශ්‍රමය යන දෙකෙන් ඕනෑම එකක් වැඩියෙන් ඇති විට නිෂ්පාදනය වැඩි වේ. එහෙත්, මෙසේ වැඩි වන ප්‍රමාණය එන්න එන්නම අඩුවේ. ඒ නිසා මේ දෙක අතර සමතුලිතතාවක් තිබීම වැදගත්ය. එවැනි සමතුලිතතාවක් ආරම්භයේදී නොපැවතියද කල්යාමේදී ස්වභාවිකවම එවැනි සමතුලිතතාවක් ඇති වේ.

හේනක් හෝ කුඹුරක් කොටන්නට අත් හතරක් එකතු වූ විට අත් දෙකකින් කෙරෙනවාට වඩා වැඩක් කෙරෙන බව පැහැදිලිය. තවත් දෑතක් එකතු වූ විට නිෂ්පාදනය තවත් වැඩිවේ. වෙනත් නිෂ්පාදනයක් හා අදාළවද මෙය සත්‍යයකි. ශ්‍රමය වැඩි වන විට නිෂ්පාදනය වැඩි වේ. ප්‍රාග්ධනය හා තාක්ෂණය නොවෙනස්ව තිබියදී ශ්‍රමය වැඩියෙන් යෙදවීමෙන් නිෂ්පාදනය වැඩි කළ හැකි වුවත් මෙය කාර්යක්ෂමව සිදුවන්නේ එක් සීමාවක් දක්වා පමණි.

වී වගා කළ හැකි කුඹුරු කෑල්ලක් වගේම කුඹුරක් සකස් කිරීමේදී උපකාරී කරගන්නා උදැල්ලක් වැනි උපකරණයක්ද ප්‍රාග්ධනයේ කොටසකි. තියෙන්නේ පොඩි කුඹුරු කෑල්ලක් සහ එක් උදැල්ලක් පමණක්නම් දෙවැනියෙකුට කුඹුරු කෙටිල්ලට උදවු වීමට සිදුවන්නේ පළමුවෙනියා විවේක ගන්නා වෙලාවට පමණි. එහෙත්, එසේ උදවු වීමෙන්ද නිෂ්පාදනයට යම් දායකත්වයක් දෙන්නට පුළුවන. නමුත්, මේ දායකත්වය පළමුවැන්නාගේ දායකත්වයට වඩා අඩුය.

ශ්‍රමය සහ තාක්ෂණය නොවෙනස්ව තිබියදී ප්‍රාග්ධනය වැඩි කළ විට සිදුවන්නේද මෙයයි. දෙදෙනෙකු වැඩ කරන තැනක උදළු තුනක් ඇත්නම් තෙවන උදැල්ලෙන්ද නිෂ්පාදනයට යම් වාසියක් සැලසේ. පළමු උදළු දෙකෙන් එකක මිට ගැලවුණු විට එය හදා හදා කාලය ගත නොකර තෙවන උදැල්ල ගෙන වැඩේ කරගෙන යන්නට පුළුවන් නිසා නිෂ්පාදනය යම් තරමකින් හෝ වැඩි වේ. එහෙත්, තෙවන උදැල්ල නිසා එකතු වන වැඩිපුර නිෂ්පාදනය දෙවන උදැල්ලෙන් එකතු වූ ප්‍රමාණයට වඩා අඩුය.

පරිගණක මෘදුකාංග වැඩිදියුණු කිරීම වැනි නිෂ්පාදනයක් හා අදාළවද මෙය මෙසේම බලපායි. මෘදුකාංග ඉංජිනේරුවන් මෙන්ම අළුත් පරිගණක එකතු කිරීමෙන් නිෂ්පාදනය වැඩි කළ හැකි වුවත් මේ සාධක දෙක අතර නිසි සමතුලිතතාවක් නැත්නම් නිෂ්පාදනය වැඩිවන්නේ ඉතා කුඩා ප්‍රමාණයකිනි. ඇතැම් රජයේ ආයතන වල ඇතැම් පුරප්පාඩු සඳහා සුදුසුම අය විෂය භාර ඇමති වරයාගේ ගම් පළාතෙන්ම බිහිවීමට හේතුව තවමත් කිසිවෙකු න්‍යායාත්මකව පැහැදිලි කර නැතත් මෙය ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. මෙසේ සුදුසුකම් ඇති බොහෝ දෙනෙකුට එකවර අහම්බයෙන් පත්වීම් ලැබෙන ඇතැම් අවස්ථා වල අළුතින් බඳවාගන්නා අයට පුටු මේසවත් නැත. එවැනි බඳවාගැනීම් වලින් නිෂ්පාදනය ඉහළ නොයන බව කිවයුතු නැත.

වාෂ්ප එන්ජිම සොයාගන්නා කාලය දක්වා දීර්ඝ ඉතිහාසය තුළ ලෝකයේ කොයි කොටසේත් හෝමෝ සේපියන්ස්ලාගේ ජීවන තත්ත්වය තිබුණේ අද තත්ත්වයට සාපේක්ෂව ඉතා පහත් මට්ටමකය. මේ කාලයේ ශ්‍රමය වුණේ අතපයේ ශක්තියයි. මේ මූලික ශ්‍රමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුනත් ශක්තිමත්ම පුද්ගලයෙකුට වුවද නිෂ්පාදන කාර්යයක් සඳහා යෙදවිය හැකිව තිබුණු උපරිම ශක්තිය අද ඇති මූලික මට්ටමේ යන්ත්‍රයකට යෙදවිය හැකි ශ්‍රමයට වඩා අඩුය. එමෙන්ම, ප්‍රාග්ධන සම්පත් හා තාක්ෂණය පැවතියේද මූලික මට්ටමකය.

කාර්මික පුනරුදයට පෙර ඉතිහාසයේත් සාපේක්ෂව ආර්ථික දියුණුවක් ලැබූ රටවල් තිබුණේය. ඒ කාලයේ වැඩිම දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කළේ වැඩිම ජනගහනයක් සිටි, වැඩිම ශ්‍රමයක් යෙදවිය හැකිව තිබුණු රටවල්ය. ඉන්දියාව හා චීනය උදාහරණයි. මෙවැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය ඒ කාලයේ වෙනත් රටවල එම නිෂ්පාදිතයට වඩා වැඩි වුවත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය තව දුරටත් අඩු මට්ටමක පැවති නිසා රටේ සාමාන්‍ය වැසියෙකුගේ ජීවන තත්ත්වය එතරම් ඉහළ ගියේ නැත.

රටක ජනගහනය වැඩිවන විට සමස්ත නිෂ්පාදිතය වැඩි වුවත් එය බෙදිය යුතු කටවල් ගණනද වැඩි වේ. මේ වන විට, මිල දී ගැනීමේ හැකියාව අනුව චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාවේ එම අගයට ආසන්නව සමානය. එහෙත්, චීනයේ ජනගහණය ඇමරිකාවේ ජනගහණය මෙන් සිවු ගුණයකටත් වඩා වැඩි නිසා චීනෙකුගේ සාමාන්‍ය ආදායම ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය ආදායමෙන් හතරෙන් එකකටත් වඩා අඩුය.

ඉතිහාසයේ වැඩි කාලයක් වුනේත් මෙවැන්නකි. වැඩි ජනගහණයක් සිටි රටවල පාලකයාට සහ පාලකයාගේ සමීපතම පිරිසකට තමන්ගේ ජීවන තත්ත්වය හොඳ මට්ටමකින් පවත්වා ගැනීමට මෙන්ම අදාළ කාලයට සාපේක්ෂව දැවැන්ත නිර්මාණ ඉදි කිරීමටත් හැකියාව ලැබුණත් රටේ සාමාන්‍ය වැසියන් ගෙවුවේ අදට සාපේක්ෂව දුක්ඛිත ජීවිතයකි.

ශ්‍රමය වැඩිපුර යෙදවීමෙන් ආර්ථිකයක් දියුණු කිරීමටනම් ජනගහණයද වැඩිවිය යුතුය. එවිට, සමස්ත නිෂ්පාදනය ඉහළ ගියත් එය බෙදාගැනීමට සිටින පිරිසද ඉහළ යන නිසා තනි පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ඉහළ නොයයි.

මේ තත්ත්වය වෙනස් කළේ තාක්ෂණ දියුණුවයි. තාක්ෂණය මඟින් ශ්‍රමය සහ ප්‍රාග්ධනය නොවෙනස්ව තිබියදීම සමස්ත නිෂ්පාදිතය ඉහළ දමා ගැනීමට ඉඩ සලසයි. මෙහිදී, ජනගහණය වැඩිවීමක් අවශ්‍ය නොවන නිසා සමස්ත නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායමද ඉහළ යයි. අදත්, ලෝක ආර්ථිකය ඉදිරියට යන්නේ ප්‍රධාන වශයෙන්ම තාක්ෂණය නිසාය.

(Image: http://hallingblog.com/2010/05/11/source-of-economic-growth/)

Tuesday, January 5, 2016

මහ බැංකුවට කළ හැකි දේ සහ නොකළ හැකි දේ

මහ බැංකුව ගැන බොහෝ දෙනෙක් අසා තිබේ. ඒ අසා ඇති ආකාරයට මහ බැංකුව මහා බලගතු ආයතනයකි. වෙනත් පුද්ගලයින් හෝ ආයතන වලට මෙන් මහ බැංකුවට සල්ලි හොයන්නට මැරීගෙන දඟලන්නට අවශ්‍ය නැත. ඒ මහ බැංකුවට අවශ්‍ය ප්‍රමාණයක් මුදල් නෝට්ටු මුද්‍රණය කරගත හැකි නිසාය. වෙනත් අයටත් ඔය වැඩේ කරන්නට බැරි නැත. එහෙම කරන අයත් සිටී. හැබැයි එහෙම කර අහුවුණොත් සෑහෙන කාලයකට සල්ලි වෙනුවට ගණන් කරන්න වෙන්නේ යකඩ කූරුය.

කොයිතරම් බලගතු ආයතනයක් වුණත් මහ බැංකුවට කළ හැකි දේවල් මෙන්ම නොකළ හැකි දේවල්ද තිබේ.

"නිෂ්පාදිත ධාරිතාවට වඩා ඉල්ලුම වැඩි නම් ඇයි ඉල්ලුම අඩු කරන්න මුදල් සීමා කරන්නෙ? කල යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිර්‍රිම නොවේද?"

කතාව ඇත්තය. කළ හැකිනම් හොඳම දෙය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමයි. ප්‍රශ්නය වන්නේ එය කියන තරම් ලේසි නැති වීමයි.

ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනක් තිබේ. ඒ කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශයි. අළුත්ම වර්ගීකරණය අනුවනම් අංශ වැඩි ගණනක් තිබුණත් අපේ සාකච්ඡාව ගෙනයන්නට මෙය ප්‍රමාණවත්ය.

දැන් අපි කොහේ හෝ තියෙන අර සුරංගගේ ගම වගේ සුන්දර ගමකට යමු. මේ ගමේ ජෝකපාලට පොඩි කුඹුරු කෑල්ලක් තිබේ. අක්කර කාලක්වත් නැත. කුඹුර අස්වැද්දුවා කියා තෙල්, පෝර වල ගාණවත් ආවරණය නොවන නිසා කලක සිට කුඹුර පුරන් වී තිබේ. ජෝකපාලගේ දුව හන්දියේ බියුටි සැලූන් එකක වැඩ කරයි. ජෝකපාලාලගේ වයසේ අය කොණ්ඩ රැවුල් කපන්නට එහි නොගියත් තරුණ වයසේ අය වැඩිපුර යන්නේ එතැනටය. ජෝකපාලගේ මස්සිනා මාතුපාල හන්දියේ වී මෝලේ අර්ධ කාලීන රැකියාවක් කරයි. ඔහුට වී මෝලෙන් කැඳවීමක් ලැබෙන්නේ වැඩ වැඩි වෙලාවට පමණි.

දැන් මෙහි කුඹුරු කෑල්ල දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික අංශයේ කොටසකි. වී මෝල නියෝජනය කරන්නේ කර්මාන්ත අංශයයි. බියුටි සැලූන් එක සේවා අංශයේ කොටසකි. වී මෝලටත්, බියුටි සැලූන් එකටත් වැඩ තියෙන්නේ පාරිභෝගිකයින් එන ප්‍රමාණයටය.  පාරිභෝගිකයින්ගෙන් ප්‍රමාණවත් ඉල්ලුමක් නැත්නම් මේ තැන් වල නිෂ්පාදනය සීමා වේ.

හදිසියේම ආණ්ඩුව මාරු වේ. අළුත් ආණ්ඩුව ඡන්දයට පෙර පොරොන්දු වූ පරිදි අඩු ආදායම් ලාභීන්ට මුදලින් සහනාධාරයක් දෙන්නට පටන් ගනී. එහෙත්, රජයට මේ සඳහා මුදල් නැති නිසා භාණ්ඩාගාර බිල්පත් විකුණයි. මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී. මෙය ප්‍රසාරණාත්මක (ලිහිල්) මුදල් ප්‍රතිපත්තියකි.

පෙර කී ගමේ සිටින වැඩිදෙනෙක් අඩුආදායම්ලාභීන්ය. වේලක් නොකා වේලක් කමින් සිටි මේ අයගේ අතේ දැන් මුදල් ගැවසේ. බියුටි සැලූන් එකට ඉල්ලුම වැඩිවේ. එහි සෙනඟ නැති වෙලාවක් නැත. හාල් වලටත් ඉල්ලුම වැඩිවේ. අතේ සල්ලි ඇති නිසා කවුරුත් කිසි ලෝබකමක් නැතිව සල්ලි වියදම් කරති. හාල් මිල වැඩි වේ. බියුටි සැලූන් එකේ සේවා ගාස්තුත් වැඩි වේ.

අඩුආදායම්ලාභියෙක් නොවූ ජෝකපාලගේ ආදායම වැඩි වී නැත. එහෙත් හාල් මිල වැඩි වී ඇති නිසා ඔහුගේ වියදම වැඩි වී තිබේ. දැන් හාල් වල ගානේ හැටියට කුඹුර කරන එක ලාබය. ඔහු කුඹුර අස්වද්දයි. තවත් අය මෙසේ කරති. රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි වේ. වී කොටාගන්නට මෝලට එන පිරිස වැඩිවේ. ඒ නිසා කර්මාන්ත අංශයේ නිෂ්පාදනයද වැඩිවේ. වැඩිපුර පිරිස් බියුටි සැලූන් එකට එන නිසා සේවා අංශයද දියුණු වේ. රටේ දල දේශීය නිෂ්පාදනය වැඩිවේ.

කෙසේවුවද, මෙහිදී නිෂ්පාදන ධාරිතාවේ වෙනසක් වුනේ නැත. නිෂ්පාදන ධාරිතාව නොවෙනස්ව තිබියදී කලින් පාවිචියට නොගැනුණු ධාරිතාව ප්‍රයෝජනයට ගැනුණු බැවින් නිෂ්පාදනය වැඩිවිය. මෙසේ මුදල් සැපයුම වැඩිකිරීම මඟින් කොයිතරම් දුරකට නිෂ්පාදනය ඉහළ දැමිය හැකිද? අළුතින් කුඹුරු අස්වැද්දිය හැක්කේ කුඹුරු ඉඩම් ඇති ප්‍රමාණයටය. එයද වැඩි කලක් කළ නොහැක. තෙල්, පෝර වලට ඉල්ලුම වැඩි වන විට ඒවායේ මිලද ඉහළ යයි. එවිට කුඹුර කිරීම නැවතත් පාඩු ලබන වැඩක් බවට පත්වේ. කුඹුරු නැවත පුරන් වේ. වී මෝලේ ඉල්ලුමද නැවත අඩුවේ. ජෝකපාලගේ දියණිය ඉල්ලුම වැඩිවූ මුල් කාලයේ උදේ සිට රෑ  වන තුරු වැඩකර පාරිභෝගික ඉල්ලුම සැපිරුවත් කලක් යන විට ඇයට මෙසේ එකදිගට මහන්සි වන එක එපාවේ. සැලූන් එකේ සේවාවන් සඳහා අයකරන මිල වැඩි වන විට ඉල්ලුම නැවත අඩුවේ. අන්තිමේදී නිෂ්පාදනය මුලින් තිබුණු තැනටම වැටේ. භාණ්ඩ හා සේවා වල මිල වැඩිවී ආදායම් වැඩිවූ ප්‍රමාණයටම වියදම්ද වැඩිවීම පමණක් සිදුවේ.

සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වලින් මෙන්ම රාජ්‍යමූල ප්‍රතිපත්ති වලින්ද වෙන්නේ මෙවැනි දෙයකි. රටේ මුදල් ගැවසීම වැඩි කර භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම වැඩි කළ විට මුලදී නිෂ්පාදකයින් දිරිමත් වී සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන මට්ටමට වඩා වැඩි නිෂ්පාදනයක් කරයි. එහෙත්, මෙසේ තමන්ගේ සාමාන්‍ය ධාරිතාවට වඩා වැඩියෙන් කෙනෙකුට (හෝ යන්ත්‍රයකට) තාවකාලිකව වැඩ කළ හැකි වුවත් එය දිගින් දිගටම කළ නොහැක. එක්තරා සීමාවකට පැමිණි විට නිෂ්පාදනය තවදුරටත් වැඩි නොවේ. සාමාන්‍ය ධාරිතාවට වැඩියෙන් දිගටම වැඩකිරීම නිසා ජෝකපාලගේ දුව අසනීප වීමටත්, වී මෝලේ යාන්ත්‍රික දෝෂ ඇති වෙන්නටත් පුළුවන. එවිට නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමටත් වඩා අඩුවී ආර්ථිකය කඩා වැටෙන්නටත් පුළුවන. මේ නිසා දිගින් දිගටම මුදල් සැපයුම තවතවත් වැඩිවුණොත් ඉල්ලුමට ගැලපෙන සැපයුමක් නැති නිසා මිල ඉහළ යාමක් පමණක් සිදුවේ.

දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වන්නේ නිෂ්පාදන ධාරිතාව වැඩිවීමත් සමඟය. එහෙත්, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම මහ බැංකුවට හෝ රජයට සෘජුවම කළ හැකි දෙයක් නොවේ. එය සිදුවන්නේ තාක්ෂණ දියුණුව සමඟය. වැඩි අස්වැන්නක් ලබාදෙන වී වර්ග බිහි කරගත් විට ජෝකපාලගේ කුඹුරු කෑල්ලෙන් වුවත් වියදම් ආවරණය වන වැඩි අස්වැන්නක් ගන්නට පුළුවන. වඩා කාර්යක්ෂම වී මෝලක් ගත් විට කෙටි කලකින් වැඩි වී ප්‍රමාණයක් සහල් කළ හැකිය. අළුත් උපකරණ භාවිතයෙන් ජෝකපාලගේ දුවටත් කෙටි කාලයකින් වැඩි පාරිභෝගික පිරිසකට සේවා සැපයිය හැකිය.

තාක්ෂනය අළුත් කරගැනීමට පර්යේෂණ සිදු කළ යුතුය. මෙය කල් ගතවන, වියදම් අධික, අවදානම් සහිත කටයුත්තකි. ඇමරිකාව වැනි රටක ආර්ථිකයක් ඉදිරියට යන්නේ හැම වසරකම පර්යේෂණ කර, තාක්ෂණය අලුත් කර ගැනීමෙන් ඵලදායිතාව ඉහළ නංවා ගන්නා නිසාය. මෙය අසීරු කාර්යයක් නිසා දියුණු ආර්ථිකයක නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරගත හැක්කේ වසරකට 2% පමණ ප්‍රමාණයකින් පමණි.

කෙසේවුවද, තාක්ෂනය අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනය, ඉන්දියාව හෝ ලංකාව වැනි රටකට පර්යේෂණ සඳහා මුදල් වැය නොකර වෙනත් රටක් විසින් දැනටම සොයාගෙන ඇති තාක්ෂණයන් වෙත මාරුවීමේ හැකියාව ඇති නිසා ඉහළ ආදායම් මට්ටමට ළඟා වනතුරු 8-10% මට්ටමේ ආර්ථික වර්ධනයක් වුවද පවත්වා ගැනීම බැරිදෙයක් නොවේ. සාමාන්‍යයෙන් දියුණු රටවල ඇති තාක්ෂනය නොදියුණු රටවල් කරා පැමිණෙන්නේ බහුජාතික සමාගම් සහ වෙනත් සෘජු විදෙස් ආයෝජන හරහාය. පළමුව එසේ පැමිණෙන තාක්ෂනය පසුව දේශීය ව්‍යවසාය වෙතද කාන්දු වේ.

රජයකට හෝ මහ බැංකුවට රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට සෘජුව මැදිහත් විය නොහැකි වුවත් විදෙස් ආයෝජන හා දේශීය පර්යේෂණ දිරිමත් කිරීම මඟින් ඒ සඳහා වක්‍ර ලෙස දායක විය හැකිය.