Saturday, December 1, 2018

කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රාතිහාර්ය සිදුවන හැටි!

නොවැම්බර් 30න් අවසන් වූ සති 5 තුළ කොටස් වෙළඳපොළෙහි වූ විදේශ ආයෝජන වලින් රුපියල් බිලියන 8.6ක් ඉවත් කරගෙන තිබෙනවා. නමුත් මේ සති පහ ඇතුළත සියළු කොටස් මිල දර්ශකය ඒකක 187.37කින් එනම් 3.21%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය පැහැදිලි කරන්නේ කොහොමද?

පළමුවෙන්ම අපි සියළු කොටස් මිල දර්ශකය කියන්නේ කුමක්ද කියා හදුනාගත යුතුයි. මෙයින් නිරූපණය වන්නේ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් සියල්ලේම වෙළඳපොළ අගයයි. මේ අගය මේ වන විට රුපියල් බිලියන 2,823.9ක්. සියළු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ පහළ යන්නේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය සේ හැඳින්වෙන ඉහත අගය අඩු වැඩි වන විටයි.

සියළු කොටස් මිල දර්ශකයේ අගයේ එක් ඒකකයකින් රුපියල් මිලියන 469.15ක පමණ මුදලක් නිරූපණය වෙනවා. එය ඒකක 187.37කින් ඉහළ යාමෙන් අදහස් වෙන්නේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර තිබෙන සමාගම් කොටස් සියල්ලේ වෙළඳපොළ අගය රුපියල් බිලියන 87.9කින් වැඩි වී ඇති බවයි.

කොළඹ කොටස් වෙළඳපොළේ සමාගම් 297ක් ලැයිස්තුගත කර තිබෙනවා. මේ සමාගම් අතරින් ඇතැම් සමාගම් වල කොටස් වල මුළු වටිනාකම කොටස් වෙළඳපොළේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයට සාපේක්ෂව ගොඩක් වැඩියි. ඒ නිසා, ඒ සමාගමක කොටස් මිලේ සුළු වෙනසක් වුවත් මිල දර්ශකයට ලොකුවට දැනෙනවා. නමුත්, වෙනත් ඇතැම් සමාගම් වල මිල විශාල ලෙස වෙනස් වුවත් එය මිල දර්ශකයට දැනෙන්නේ නැහැ.

උදාහරණයක් විදිහට ලංකා දුම්කොල සමාගමේ කොටස් වල වටිනාකම කොළඹ කොටස් වෙළඳපොළේ කොටස් සියල්ලේ වටිනාකමින් 10%කටත් වඩා වැඩියි. ඒ නිසා දුම්කොල සමාගමේ කොටසක මිල 1% කින් ඉහළ ගියොත් සියළු කොටස් මිල දර්ශකය ඒකක 6 කින් පමණ ඉහළ යනවා. නමුත්, අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ කොටසක් 100%කින් වැඩි වුනත් සියළු කොටස් මිල දර්ශකය ඉහළ යන්නේ ඒකක 0.6 කින් පමණයි.

වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ ගොඩක් තැන් වල වගේම කොළඹ කොටස් වෙළඳපොළේ සමාගම් අතරත් "ලොක්කෝ'" සීමිත පිරිසක් ඉන්නවා. සියළු කොටස් මිල දර්ශකය හසුරවන්නේ ඒ සමාගම් කිහිපයේ කොටස් හිමියන් විසින්. 

සියළු කොටස් මිල දර්ශකයේ වෙනස්වීම් වලින් 33%ක්ම තීරණය වෙන්නේ සමාගම් හයක මිල ගණන් මතයි. 50%කටත් වඩා  තීරණය වෙන්නේ සමාගම් 14ක් මතයි. 67%කටත් වඩා  තීරණය වෙන්නේ සමාගම් 30 ක් මතයි. ඉතිරි සමාගම් 267 හිම බලපෑම 33%කට ආසන්නයි. 

පහත වගුවේ පෙන්වා තිබෙන්නේ කොළඹ කොටස් වෙළඳපොළේ ලොකුම සමාගම් 30 සහ ඒ එක් එක් සමාගම සියළු කොටස් මිල දර්ශකයෙන් කොපමණ ප්‍රතිශතයක් නියෝජනය කරනවද කියන එකයි.



හරි. දැන් එක දෙයක් පැහැදිලි ඇතිනේ. කොළඹ කොටස් වෙළඳපොළේ සමහර සමාගම් වල කොටස් මිලේ පොඩි වෙනසක් වුනත් සියළු කොටස් මිල දර්ශකය සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. නමුත්, වෙනත් ඇතැම් සමාගම් වල මිල කොයි තරම් විචලනය වුනත් සියළු කොටස් මිල දර්ශකයට දැනෙන්නේ නැහැ.

ඒ නිසා දැන් අපි මේ ලොක්කෝ දිහාවට අවධානය යොදවමු. මේ සමාගම් වල මිල ගණන් වෙනස් වෙන්නේ ආර්ථික විද්‍යා මූලධර්ම අනුවමද?

ආර්ථික විද්‍යා මූලධර්ම අනුවනම් කොටස් මිල විචලනය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි. විශාල ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් ගොඩක් ඉන්න විට ඒ එක් අයෙකුට මිල මත බලපෑම් කරන්න බැහැ. නමුත්, කොළඹ කොටස් වෙළඳපොළ කියන්නේ ඔය වගේ තැනක්ද?

කොළඹ කොටස් වෙළඳපොළ ඔය වගේ තැනක් නෙමෙයි. එය කොටස් වෙළඳපොළකට වඩා සූදු පිටියක් බව මම බය නැතුව කියනවා. මෙතැන වැඩිපුරම තියෙන්නේ ගේම්. ඒ නිසා, එහි මිල ගණන් ඉහළ පහළ යන්නේ අදාළ සමාගම් වල ලාභ අපේක්ෂා වෙනස් වන රටාව අනුව පමණක් නෙමෙයි. ගේම් කාරයෝ ටික දෙනෙක් තමන්ගේ වාසියට මේ මිල ගණන් හසුරුවනවා. හොඳ ගේම් කාරයෙක්ට කොළඹ කොටස් වෙළඳපොළ හරහා ලොකු පෝසතෙක් වෙන්න පුළුවන්. එහෙම පෝසත් වූ අය ඉන්නවා.හැබැයි මෙය නීති විරෝධී වැඩක් නොවන බවත් කියන්න ඕනෑ.

කොටස් වෙළඳපොළේ දවසකට ගනුදෙනු කොපමණ වෙනවද? මේ ගණන බොහෝ විට තුන් දාහකට අඩුයි. ඒ කියන්නේ එක සමාගම් කොටසක් හා අදාළව සාමාන්‍යයෙන් දවසකට ගනුදෙනු දහයක්වත් වෙන්නේ නැහැ. ඒ ගනුදෙනු වලිනුත් යම් ප්‍රමාණයක් බොරු ගනුදෙනු. මේ බොරු ගනුදෙනු මොනවාද කියලා මම නිශ්චිත තොරතුරු එක්ක පැහැදිලි කරන්නම්.

ඊයේ දිනයේ කොටස් වෙළඳපොළ ගණුදෙනු 4,127ක් සිදු වී තිබෙනවා.මේ ගණුදෙනු වලින් අවම වශයෙන් 97කදීම හුවමාරු වී තිබෙන්නේ එක් කොටසක් පමණයි. මේ ඇතැම් ගනුදෙනුවක වටිනාකම ශත ගණනක්. කොටස් 2,3 ආදී ගනුදෙනුත් සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. මේ විදිහට සතගාණක නැත්නම් රුපියලක දෙකක ගනුදෙනුවක් කරන්න කවුරු හෝ මහන්සි වෙන්නේ ඇයි? 

මේවා ඔක්කොම බොරු ගනුදෙනු. ඒ කියන්නේ නීත්‍යානුකූල නොවන ගනුදෙනු කියන එක නෙමෙයි. මේක තමයි කොළඹ කොටස් වෙළඳපොළේ සූදුව. 

අපි හිතමු කාට හරි (අපි පෙරේරා කියමු) සම්පත් බැංකුවේ කොටස් වලින් 30%ක් තියෙනවා කියලා. මෙය රුපියල් බිලියන 20ක පමණ ආයෝජනයක්. දැන්  අවශ්‍ය වෙනවා තව කොටස් 21%ක් මිල දී ගෙන සම්පත් බැංකුවේ සභාපති වෙන්න. ඉතිරි කොටස් 21% කුණු කොල්ලෙට ගන්න ඔහු සැලසුම් කරන්නේ මේ විදිහටයි.

සම්පත් බැංකුවේ කොටසක් රුපියල් 240යි. දැන් පෙරේරා කරන්නේ උදේ පාන්දරම තමන්ගේ කොටස් වලින් එකක් රුපියල් 230කට විකුණනවා. රුපියල් 10ක් පාඩුයි. නමුත් ඕක මොකක්ද? ඉන්පසු වරින් වර රුපියල් 225 හා 220 මිල ගණන් වලට නැවතත් එක් කොටස බැගින් විකුණනවා.

මේ ප්‍රවණතාව දෙස බලා සිට සම්පත් කොටස් මිල වැටෙන බව තේරුම් ගන්නා සුළු ආයෝජකයෙක් තමන්ගේ කොටස් 100ක් රුපියල් 220 ගානේ විකුණනවා. පෙරේරා මේ කොටස් 100 මිල දී අරගෙන තවත් කොටසක් රුපියල් 215 ගානේ විකුණනවා. එවිට තවත් අය සම්පත් කොටස් විකුණන්න පෙළඹෙනවා. මේ විදිහට තමන්ට අවශ්‍ය කොටස් ප්‍රමාණය මිල දී ගත්තට පස්සේ පෙරේරා මේ වැඩේම අනිත් පැත්තට කරනවා. එහෙම කරලා මිල ඉහළ දමනවා. ඉන්පසුව හැකිනම් විදේශ ආයෝජකයෙක් හොයාගෙන ගෙඩිය පිටින්ම විකුණලා දමනවා.

උඩ ඡේද දෙකේ තිබෙන්නේ ඇත්තටම සිදු වූ දෙයක් නොවුණත්, ඇත්තටම සිදුවන දෙයට ආසන්නව සමාන දෙයක්. දැන් අපි සැබෑ ගනුදෙනු දෙසම බැලුවොත් ඊයේ දිනයේ ලංකා දුම්කොළ සමාගමේ කොටස් ගනුදෙනු 8ක් සිදු වී තිබෙනවා. ගනුදෙනු වූ කොටස් ගණන 1,751ක්. එක් එක් ගනුදෙනුවේ කොටස් ප්‍රමාණය පහත ආකාරයටයි.

1
100
33
2
14
1
100
1500

මේ ගනුදෙනු 8න් අඩු වශයෙන් 3ක්ම බොරු ගනුදෙනු බව පැහැදිලියි. ඇතැම් විට මුල හතම වුවත් බොරු ගනුදෙනු විය හැකියි. ඒ ගනුදෙනු වල ඉලක්කය අවසන් ගනුදෙනුව වෙන්න පුළුවන්.

මේ අතරින් පළමු ගනුදෙනුව නිසා දුම්කොළ සමාගමේ කොටසක මිල රුපියල් 19.90කින් ඉහළ යනවා. කවුරු හෝ විසින් හිතාමතාම වැඩි මිලකට මේ කොටස මිල දී ගත්තා වෙන්න පුළුවන්. පාඩුව රුපියල් 20ක්වත් නැහැනේ. නමුත්, මේ රුපියල් විස්ස පාඩු කරගෙන කරපු ගනුදෙනුව නිසා කොළඹ කොටස් වෙළඳපොළේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 3,727.7කින් ඉහළ යනවා. සියළු කොටස් මිල දර්ශකය ඒකක 7.9කින් ඉහළ යනවා. 

පහුගිය ඔක්තෝබර් 26 ඉඳලා සියළු කොටස් මිල දර්ශකය ඉහළ ගිහින් තියෙන්නේ ඒකක 187.37 කින්. ඔය වගේ ප්‍රතිඵලයක් ගන්න රුපියල් 20 ගානේ කී පාරක් පාඩු විඳින්න ඕනෑද කියලා ගණන් හදාගන්න.

සියළු කොටස් මිල දර්ශකය හැම වෙලාවෙම ඉහළ පහළ යන්නේ ඔය විදිහට කියා මම කියන්නේ නැහැ. හොර ගනුදෙනු වලින් පමණක්ම කොටස් වෙළඳපොළ පාලනය කරන්න බැහැ. නමුත්, කොළඹ කොටස් වෙළඳපොළ තියෙන්නේ එක කල්ලියක් අතේ නිසා ඔය වගේ වැඩ බොහොම සාමාන්‍යයි.

රුපියල අවප්‍රමාණය වීම පෙනෙද්දී විදේශිකයෝ තමන්ගේ කොටස් හදිසියේ විකුණලා යන කොට හැකි ඉක්මණින් විකුණන්න හදනවා මිසක් මිල ගැන එතරම් තකන්නේ නැහැ, වඩා වැදගත් වන්නේ රුපියල තවත් වැටෙන්න පෙර රුපියල් ඩොලර් කිරීම බව ඔවුන් දන්නවා. ඒ නිසා, විදේශ ආයෝජන ඉවත් වන විට කොටස් මිල ඉහළ යන්න හේතුවක් නැහැ. 

නමුත්, සැලසුම්  සහගත ලෙස ඉහත කී ආකාරයේ හොර ගනුදෙනු කරලා කොටස් වෙළඳපොළ දර්ශක ඉහළ යන බව පෙන්වන එක ඒ තරම් අමාරු නැහැ. අපි හිතමු විදේශිකයෙක් රුපියල් 20ක් අඩුවෙන් කොටස් මිලියන 10ක් විකිණුවා කියලා. දවස ඉවර වෙන්න කලින් රුපියල් 20ක් වැඩියෙන් (පෙර කී ගනුදෙනුව සිදු වෙන්න කලින් මිලට) එක කොටසක් මිල දී ගත්තහම සියළු කොටස් මිල දර්ශකය නැවත තිබුණු තැන. තව රුපියල් 10ක් වැඩියෙන් ගෙවලම ඒ කොටස ගත්තනම් සියළු කොටස් මිල දර්ශකය ඉහළ ගිහින්. ඔන්න ඔහොමයි පත්තරේ විස්තරේ.

ඇතැම් දේශපාලනික වෙනස්කම් වෙද්දී කොළඹ කොටස් වෙළඳපොළ දර්ශක වල හිතාගන්න අමාරු ප්‍රාතිහාර්ය වෙන්නේ අහම්බෙන් නෙමෙයි.