Sunday, September 23, 2018

රටේ ණය හා රජයේ විදේශ ණය

පසුගිය ආණ්ඩුව කාලයේ විශාල ලෙස ණය ගත් නිසා රට ආර්ථික අර්බුදයකට ගිය බව අහල ඇති වෙලා තියෙන කතාවක්. නමුත්, සංඛ්‍යාලේඛණ බැලුවහම පෙනෙන්නේ ඒ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අඩු වී ඇති බවයි. රාජ්‍ය ණය වර්ධනය වීමේ වේගය දිහා බැලුවත් පහුගිය ආණ්ඩුව කාලයේදී පැවතුනු වේගය නිදහසෙන් පසු බලයේ සිටි වෙනත් ආණ්ඩු යටතේ පැවතුණු වේගයන්ට වඩා ලොකු වෙනසක් පෙනෙන්නට නැහැ. 

ඒ වුණත්, පහුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී ලංකාවේ ආර්ථික අර්බුදය වඩා භයානක අදියරකට අවතීර්ණ වූ බව බොරුවක් නෙමෙයි. මෙයට මූලික වශයෙන් හේතු වුණේ විදේශ ණය ගනිමින්, එසේ ලබාගත් විදේශ විණිමය වෙළඳපොළට මුදාහරිමින්, විණිමය අනුපාතිකය අවප්‍රමාණය වෙන්න නොදී තියා ගැනීම හා එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාමයි. 

ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයට පහුගිය ආණ්ඩු කාලයට වඩා ගොඩක් පැරණි ඉතිහාසයක් තිබෙනවා. රාජ්‍ය ණය බර මේ වන විට තිබෙනවාට වඩා බරපතල ප්‍රශ්නයක් වූ කාලවල් තිබුණු බව සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන දෙයක්. නමුත්, රටේ විදේශ අංශය මීට පෙර යුග වලදී කවදාවත් අද තිබෙන භයානක අදියරට පිවිසිලා නැහැ. 2001 වසරේදී විනිමය අනුපාතිකය පාවෙන්න හැරීමෙන් පසුව ටික කලකට වුවත් රටේ ආර්ථිකයේ විදේශ අංශය ප්‍රශ්නයක් නැතිව ඉදිරියට ගියා. මෙය විශාල ප්‍රශ්නයක් බවට පත් වුණේ යුද්ධය අවසන් වුනාටත් පසුව පසුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී විණිමය අනුපාතිකය පහළින් තබාගැනීම රටේ ආර්ථිකය සැලසුම් කිරීමේ ප්‍රමුඛ උපායමාර්ගයක් බවට පත් වීමෙන් අනතුරුවයි. එසේ වීමේ පසුබිම ගැන විස්තර වෙන වෙලාවක ලියන්නම්.

රටේ විදේශ ණය කියන්නේ මධ්‍යම රජයේ විදේශ ණය පමණක් නෙමෙයි. මධ්‍යම රජයේ කොටසක් ලෙස නොසැලකෙන රජයේ සංස්ථා ආදිය විසින් ලබාගන්නා විදේශ ණය වල සිට පෞද්ගලික සමාගමක් හෝ තනි පුද්ගලයෙක් ලබා ගන්නා විදේශ ණය ඇතුළු සියලුම විදේශ ණය රටේ විදේශ ණය වලට ඇතුළත්.

මධ්‍යම රජය විසින් වගකිව යුත්තේ රජයේ ණය වලට පමණක් බව කාට හෝ කිව හැකියි. රජය විසින් ඇප වී තිබෙන රජයේ සංස්ථා වල ණය යම්කිසි ප්‍රමාණයක් හැර ඉතිරි ණය වලට රජය වගකිවයුතු නැති බව ඇත්ත. ඒ නිසා, එවැනි ණය රාජ්‍ය ණය ප්‍රශ්නයේ කොටසක් නෙමෙයි. නමුත්, රටේ කවුරු හෝ ලබාගත් විදේශ ණයක් ඇත්නම් එය ලංකාව මුහුණ දෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නයේ කොටසක්.

උදාහරණයක් විදිහට ශ්‍රී ලන්කන් එයාලයින්ස් විසින් 2014 ජූනි 27 වෙනිදා නිකුත් කරපු ඩොලර් මිලියන 175ක පස් අවුරුදු බැඳුම්කරය ගනිමු. මේ වෙනුවෙන් සමසකට වරක් බැගින් කූපන් පොලියක් (වාර්ෂිකව 5.3%ක් වන) ගෙවිය යුතුයි. ලබන වසරේ කල් පිරීමෙන් පසුව ගත් මුදල ආපසු ගෙවිය යුතුයි.

දැන් මේ මුදල ආපසු ගෙවන එක කරන්නේ  ශ්‍රී ලන්කන් එයාලයින්ස් විසින්නම් මධ්‍යම රජයේ අයවැයට එයින් බරක් නැහැ. එහෙත්, ඔවුන් මේ මුදල් ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිස රුපියල් වලින් නොවන නිසා අතේ ඩොලර් නැත්නම් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත යුතුයි. එහෙම මිල දී ගන්න රට ඇතුළේ කාගේ හෝ අතේ ඩොලර් තිබිය යුතුයි. 

ලංකාව දැන් මුහුණ දී සිටින ප්‍රශ්නය ඩොලර් බිලියන 50 ඉක්මවන විදේශ ණය ගොඩක් තිබුණත් ඒ ණය ගෙවන්න රට ඇතුළේ තිබෙන ඩොලර් ප්‍රමාණය බිලියන 10කට කිට්ටු ප්‍රමාණයක් පමණක් වීමයි. රට ඇතුළට ඩොලර් එන විට ඒ ඩොලර් රටේ ඉතිරි කරගත්තානම් මේ ප්‍රශ්නය නැහැ. නමුත්, විණිමය අනුපාතිකය පහළින් තබා ගැනීම පස්සේ පැන්නීම නිසා අන්තිමට රටේ ඩොලරුත් නැහැ. විණිමය අනුපාතිකය අවශ්‍ය විදිහට තබාගන්න පුළුවන් වෙලත් නැහැ. 

පහුගිය කාලයේ දිගින් දිගටම වෙලා තියෙන්නෙත්, ඉදිරි මාස වල නැවත වෙන්න ඉඩ තියෙන බව පෙනෙන්නෙත් මහදැනමුත්තා කළා වගේ එළුවගේ බෙල්ලත් කපලා පස්සේ ඔළුව එළියට ගන්න මුට්ටිය බිඳින ක්‍රමය. ඉස්සෙල්ලා විණිමය අනුපාතිකය රැකගන්න රටේ විදේශ විණිමය එළියට යන්න අරිනවා. එහෙම කරලත් බැරි වෙනකොට වැඩේ අත ඇරලා නැවත විණිමය අනුපාතිකය වැටෙන්න අරිනවා.

මේ කරුණ හා අදාළව මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්නය මේ ආණ්ඩුව ඇති කළ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් පවතින තත්ත්වය අනුව විණිමය අනුපාතිකය පාලනය කිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. රුපියල වැටෙන්නේ ඉඩ ඇරිය යුතු වුවත්, ඒ නිසා ඇතිවන අතුරු විපාක ගැනත් හිතමිනුයි එය කරන්න වෙලා තියෙන්නේ. 

මුළු ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන පණහම එකවර ගෙවිය යුතු නැති බව කාට හෝ මතක් කර දෙන්න පුළුවන්. ඇත්ත. නමුත්, කවදා හෝ ගෙවන්නේ ඕනැනේ. අනාගතයේදී රටට කොහෙන් හෝ ඩොලර් එන විදිහක් පේන්න තියෙනවානම් ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්. නමුත්, පේන්න තිබෙන්නේ ඉදිරි අවුරුදු වල තව තවත් ඩොලර් එළියට යන්න නියමිත බවයි.

ඩොලර් බිලියන පණහට පොලිය 6%ක් කියා සැලකුවොත් අවුරුද්දකට පොලිය විදිහට පමණක් ඩොලර් බිලියන 3ක් ගෙවන්න වෙනවා. මේ ප්‍රමාණය වුවත් වෙළඳපොළෙන් මිල දී ගන්න එක ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. දැන් සිදුවන ආකාරයට උද්ධමන වෙනසට අමතරව අවුරුද්දකට 10%කින් පමණ රුපියල අවප්‍රමාණය වෙන්න ඇරියොත් වැඩිම වුනොත් රුපියල් බිලියනයක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉතිරි පොලී මුදල හා ණය වාරික ගෙවන්න වෙන්නේ අලුත් ණය අරගෙනයි. ඊට අමතරව ජංගම ගිණුමේ තිබෙන ඩොලර් බිලියන දෙකක විතර හිඟයත් පියවන්න ක්‍රමයක් තියෙන්න ඕනෑ.

මේ යන විදිහට රුපියල අවප්‍රමාණය කරලා වුනත් අවුරුද්දකට රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන දෙක තුනකින් වැඩි වන එක නවත්වන්න බැහැ. අඩුම වශයෙන් විදේශ ණය ප්‍රමාණය ස්ථාවරව තබා ගන්න වුනත් අවුරුදු දෙකතුනක් යනකම් රුපියල අවුරුද්දකට 20%කින් පමණ බැගින් අවප්‍රමාණය වෙන්න අරින්න වෙයි. එය කිරීම දේශපාලනික සිය දිවි නසාගැනීමක් නිසා ආණ්ඩුව එය කරයි කියා හිතන්න බැහැ. 

තව ටික දවසකින් නැවතත් මහ බැංකුව විණිමය අනුපාතිකයට අත ගහලා එය ස්ථාවර කරයි. ආණ්ඩුව තව බිලියන දෙක තුනක් ණය ගනියි. ණය තව වැඩිවෙයි. ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුව වෙනස් වුණොත් අලුතෙන් පත්වන ආණ්ඩුව මේ ආණ්ඩුවට බැණ බැණ ඔය ටිකම කරයි. සමහර විට එහෙම කරල නොනැවතී මේ ආණ්ඩුව වගේ නැතිව "බය නැතුව" තව ණය අරගෙන ඒ මුදල් වෙළඳපොළට දාලා විණිමය අනුපාතිකය ස්ථාවර කරලා ඒ මඟින් රටේ අනාගතය අස්ථාවර කරයි.

පහත වගුවේ තියෙන්නේ 2000 වසරේ ඉඳලා රජයේ හා රටේ විදේශ ණය වැඩි වූ ආකාරය, විදේශ සම්පත් වැඩි වූ ආකාරය හා විදේශ ණය හා විදේශ සම්පත් අතර පරතරය ඉහළ ගිය ආකාරයයි.




Saturday, September 22, 2018

රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?


කිසියම් රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යාමට සාපේක්ෂව සංසරණයට එකතු කරන මුදල් ප්‍රමාණය වැඩි වුනොත් දේශීය ව්‍යවහාර මුදලේ දේශීය අගය පහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකටයි. ලංකාවේ වෙළඳපොළේ ගොඩක් භාණ්ඩ වල මිල දිගින් දිගටම ඉහළ යන්නේ උද්ධමනය නිසයි.

උද්ධමනයට අමතරව වෙනත් සාධක හේතුවෙනුත් භාණ්ඩ මිල ඉහළ යනවා. උදාහරණයක් විදිහට කලින් කලට කාලගුණ ප්‍රශ්න නිසා ලංකාවේ හාල්, පොල් මිල ගණන් ඉහළ යාම පෙන්වා දෙන්න පුළුවන්. මේ විදිහට සැපයුම් සාධක මත මිල ඉහළ ගිය විට, ඒ සාධක වල බලපෑම ඉවත් වූ වහාම නැවතත් මිල අඩු වෙනවා. නමුත්, රටේ මුදල් සැපයුම වැඩිවීම නිසා සිදුවන මිල වැඩිවීම් ඒ  විදිහට ආපසු හැරෙන්නේ නැහැ.

ඔය අලුතින් මුදල් සංසරණයට එකතු කර ලාබයක් ලැබීම, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැසීම, ලංකාව විතරක් කරන වැඩක් නෙමෙයි. ඇමරිකාව ඇතුළු හැම රටක්ම වගේ ඔය වැඩේ කරනවා. ඒ නිසා, ඇමරිකන් ඩොලරය ඇතුළු සෑම මුදල් ඒකකයකම දේශීය අගය කාලයත් එක්ක පහත වැටෙනවා. මතක තියා ගන්න ව්‍යවහාර මුදලක දේශීය අගයයි මේ විදිහට පහත වැටෙන්නේ.

ඇමරිකන් ඩොලරයේ දේශීය අගය කාලයත් එක්ක පහත වැටීම නිසා ඇමරිකාව ඇතුළේ ඩොලරයක් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. පසුගිය ජනවාරි මාසයේ ඩොලර් 100කට මිල දී ගත් බඩු ප්‍රමාණය මිලදී ගන්න අගෝස්තු වෙද්දී ඩොලර් 102.26ක් අවශ්‍යව තිබුණා. ඒ කියන්නේ පොදුවේ ඇමරිකාවේ මිල මට්ටම මේ මාස අටට 2.36%කින් ඉහළ ගියා. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ඇමරිකාවට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වෙලා.

කොහොම වුනත් පසුගිය මාස අටක කාලය තුළ ලංකාවේ සිදු වී තිබෙන්නේ මෙහි අනිත් පැත්තයි. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය දෙසැම්බරයේදී රුපියල් 100කින් මිල දී ගත් භාණ්ඩ හා සේවා මිල දී ගන්න අගෝස්තුවේදී ඕනෑ වුනේ රුපියල් 99.05ක් පමණයි. ඒ කියන්නේ ඔය මාස අටක කාලය තුළ රුපියලේ දේශීය අගය 1%කින් පමණ ඉහළ ගිහින්. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ලංකාවට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙලා.

විණිමය අනුපාතිකය කියන්නේ එක රටක ව්‍යවහාර මුදලක් තවත් රටක ව්‍යවහාර මුදලක් සමඟ වෙළඳපොළේ ගනුදෙනු වන අනුපාතය. මේ අනුපාතයෙන් කිසියම් ව්‍යවහාර මුදල් ඒකකයක බාහිර අගය පිළිබිඹු වෙනවා. පසුගිය මාස අටක කාලය තුළ ඩොලරය ඇමරිකාවට සාපේක්ෂව දුර්වල වෙද්දී රුපියල ලංකාවට සාපේක්ෂව ශක්තිමත් වුනත්, එකිනෙකට සාපේක්ෂව ගත්තහම වෙලා තියෙන්නේ රුපියල දුර්වල වෙලා ඩොලරය ශක්තිමත් වෙන එකයි. ඒ කියන්නේ ඩොලරයේ බාහිර අගය ඉහළ ගිහින්. රුපියලේ බාහිර අගය පහළ ගිහින්.

සාමාන්‍යයෙන් විය යුත්තේ කිසියම් ව්‍යවහාර මුදලක් රට ඇතුළේ ශක්තිමත් වෙන කොට එයට රටින් පිටත තියෙන ඉල්ලුමත් ඉහළ ගිහින් එහි බාහිර අගය ඉහළ යන එකයි. නමුත්, පසුගිය කාලයේ ලංකාවේ සිදු වී තිබෙන්නේ එය නෙමෙයි. එහෙම වුනේ කොහොමද?

ඩොලරයේ දේශීය අගය 2.3%කින් අඩු වී රුපියලේ දේශීය අගය 0.9%කින් ඉහළ යනවා කියන්නේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 3.2%කින් ඉහළ යා යුතු බවයි. එසේ නොවුනොත් ලංකාවේ භාණ්ඩ ඇමරිකාවට සාපේක්ෂව 3.2%කින් මිල අඩු වෙනවා. මේ විදිහට රටවල් දෙකක ව්‍යවහාර මුදල් වල දේශීය අගය අඩු වැඩි වීමට සමානුපාතිකව ඒවායේ බාහිර අගයත් වෙනස් වෙනවානම් ඒ දෙරට අතර ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගැනෙන බව අපට කියන්න පුළුවන්.

නමුත්, මෙය මේ ආකාරයට සිදු නොවුණේ පසුගිය දෙසැම්බරය වන විට පැවති රුපියලේ බාහිර අගය ඒ මට්ටමේ පවත්වාගෙන තිබුණේ වසර ගණනාවක් තිස්සේ ඇති දැවැන්ත විදේශ ණය ප්‍රමාණයක් ගනිමින් ඒ මුදල් උපයෝගී කරගෙන රුපියලේ බාහිර අගය තිබිය යුතු තරමට වඩා ගොඩක් උඩින් තබාගෙන සිටි නිසයි. 2001 වසරේදී ඩොලරයක රුපියල් මිල "නියම මිල" කියා උපකල්පනය කළොත්, ඒ වසරේ සිට රුපියලේ හා ඩොලරයේ දේශීය අගය වෙනස් වීම සැලකූ විට 2017 දෙසැම්බර් වෙද්දී ඩොලරයක මිල රුපියල් 229.92ක් විය යුතුව තිබුණා.

කෙසේ වුවත්, පසුගිය මාස අට තුළ මේ තත්ත්වය රුපියලට වාසිදායක ලෙස ආපසු හැරී ඇති නිසා දැන් මේ ගණන ඩොලරයට රුපියල් 222.66ක්. රුපියල තවමත් තියෙන්නේ ඊට වඩා ගොඩක් පහළින්. ඒ නිසා, තවමත් ලංකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්න වලින් බේරී සිටින්න ඉඩක් නැහැ.

විදේශ ණය ගනිමින් රුපියල වසර ගණනාවක් තිස්සේම තිබිය යුතු මට්ටමට වඩා පහළින් තියා ගැනීම නිසා ලංකාවේ ආනයන අපනයන පරතරය පසුගිය කාලයේදී විශාල ලෙස පුළුල් වුණා. ඩොලරයක මිල රුපියල් 222ක් වුනොත් මේ ආනයන අපනයන පරතරය නැවතත් 2001 මට්ටමට අඩු වෙයි. නමුත්, එය නැති වන එකක් නැහැ. ඒ 2001 අවුරුද්දෙත් ආනයන අපනයන පරතරයක් තිබුනු නිසා.

කොහොම වුනත් 2001 අවුරුද්දේදී ලංකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ අවුරුද්දේ තිබුණු ආනයන අපනයන පරතරය පියවන්න ශ්‍රමික ප්‍රේෂණ සෑහෙන දුරට ප්‍රමාණවත් වූ නිසා, ජංගම ගිණුමේ තිබුණේ ඉතා අඩු හිඟයක්. 2001දීත් ලංකාවේ විදේශ ණය ඉහළ ගියත් ඒ ඉතා සුළුවෙන්. ඊට වඩා වැඩියෙන් විදේශ වත්කම් ඉහළ ගිය නිසා 2001දී රටේ ශුද්ධ විදේශ බැරකම් ඇමරිකන් ඩොලර් බිලියන 6.1 දක්වා අඩු වුණා. එවැනි තැනකට එන්න පුළුවන් වුණේ රුපියල ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීම මඟිනුයි.

අවාසනාවට 2001න් පසුව කතාව එතරම් සුන්දර නැහැ. වැඩි වැඩියෙන් අලුතින් මුදල් සංසරණයට එක් කිරීම නිසා වසරින් වසරම රුපියලේ දේශීය අගය පිරිහෙද්දී එයට සමාන්තරව විදේශ අගය පිරිහෙන්න නොදී කෘතිමව රුපියල ශක්තිමත්ව තබා ගත්තේ විදේශ ණය අරගෙන විණිමය වෙළඳපොළට මුදා හැරීම මඟිනුයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2017 අවසානය වෙද්දී ඩොලර් බිලියන 51.8ක් දක්වා විදේශ ණය ඉහළ ගොස් තිබුණත් විදේශ වත්කම් තිබුණේ ඩොලර් බිලියන 10.4ක් පමණයි. හිඟය ඩොලර් බිලියන 41.4ක්.

දැනට අරගෙන තිබෙන විදේශ ණය ආපසු ගෙවන්නනම් රටේ තිබෙන විදේශ සංචිත සියල්ල වැය කිරීමෙන් පසුව තවත් ඩොලර් බිලියන 41.4ක් හොයන්න වෙනවා. මේ මුදල රටේ වාර්ෂික අපනයන ආදායම මෙන් හතර ගුණයක මුදලක්. පසුගිය වසර දෙක තුන තුළ ඩොලරයට යම් තරමකින් ඉහළ යන්න දුන් නිසා ජංගම ගිණුමේ හිඟය යාන්තමින් අඩු වී ඇතත් තවමත් වසරකට ඩොලර් බිලියන 2ක පමණ හිඟයක් තිබෙන නිසා කලින් කී ඩොලර් බිලියන 41.4ක ශුද්ධ විදේශ බැරකම වසරින් වසර ඉහළ යාමයි වෙමින් තියෙන්නේ. රුපියල පාලනයක් ඇතුව සැලකිය යුතු තරමින් අවප්‍රමාණය වෙන්න ඉඩ නොදී, ඔය ඩොලර් බිලියන 41.4ක මුදලට තවත් ඩොලර් බිලියන ගාණක් එකතු වෙලා එක පාරටම ලොකු මුදලක් ආපසු ගියොත්, ඒ මුදල නැවත ණය ලෙස ලබාගෙන රෝල ගෙනියන එක අපහසු වී හිර වුණොත්, ඩොලරයක රුපියල් මිල කොහේ නතර වෙයිද කියා කියන්න බැහැ.

ආසියානු අර්බුදය වෙලාවේ 1997 අප්‍රේල් සිට 1998 ජනවාරි දක්වා කාලය තුළ ඇමරිකන් ඩොලරයක තායි භාත් මිල 25 සිට 53 දක්වා ඉහළ ගියා. ඉන්දුනීසියන් රුපියා මිල 2,900 ඉඳලා 10,000 මට්ටමට ගියා. ඒ වගේ දෙයක් එක වර වුනොත් එය දරාගන්න අමාරුයි. පාලනයක් ඇතුව ක්‍රමයෙන් රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දිය යුත්තේ ඒ නිසයි.

(Image: https://blog.oureducation.in/impact-rupee-depreciation-indian-economy/)