Showing posts with label තුලනාත්මක වාසිය. Show all posts
Showing posts with label තුලනාත්මක වාසිය. Show all posts

Friday, July 1, 2016

සංක්‍රමණයට දොරටු විවර කළොත්?


ජාත්‍යන්තර වෙළඳාම නිසා එයට සම්බන්ධ වන දෙරටේම වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන ආකාරය අපි පෙර ලිපි වලින් කතා කළෙමු. මේ වාසියේ ප්‍රභවය වන්නේ එක් එක් රටෙහි ඇති නිෂ්පාදන සාධක එම රටට පරිපූර්ණ වාසියක් හෝ තුලනාත්මක වාසියක් ඇති ක්ෂේත්‍ර කරා විතැන් වීම හේතුවෙන් ඇති වන කාර්යක්ෂමතාවයයි. රටක් විදෙස් භාණ්ඩ හා සේවාවන්ට විවෘත වීමෙන් පසු, තවදුරටත් අකාර්යක්ෂම ක්ෂේත්‍රයන්හි රැඳී සිටීනම් මේ වාසි අඩුවිය හැකි අතර එසේ රැඳී සිටින පිරිස් වලට අවාසියක් සිදුවීමටද ඉඩ තිබේ.

අල්ලංකාවට හා ගලවංකාවට නැවත ගියොත්, ජාත්‍යන්තර වෙළඳාමට විවෘත වීමෙන් පසුව එක් එක් රටේ ඒක පුද්ගල පරිභෝජනය දෙගුණ විය හැකි නමුත් ඒ සඳහා ඉහත කී ලෙස වඩා ඵලදායී ක්ෂේත්‍ර කරා සම්පත් විතැන් වීම අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත්, මෙය හිතන තරම්ම පහසුවෙන් සිදු නොවිය හැකිය. කුසලතා පිලිබඳ ගැටළු, සමාජ ආකල්ප ආදිය නිසා ඇතැම් අය තමන්ගේ රැකියාව වෙනස් කිරීමට කැමති නැත. විදෙස් භාණ්ඩ වල බලපෑම නිසා එවැන්නන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්නට පුළුවන.

මෙතෙක් අප කතා කළේ රටවල් අතර භාණ්ඩ හා සේවා සංචරණයට ඇති බාධා ඉවත් වීමේ වාසි පමණි. එසේනම්, අල්ලංකාව හා ගලවංකාව අතර ශ්‍රම හුවමාරුවට ඉඩකඩ විවර කළහොත් කුමක් වෙයිද?

මෙය තීරණය වන්නේ එක් එක් රටේ තුලනාත්මක වාසියෙහි ප්‍රභවය කුමක්ද යන්න මතය. අල්ලංකාවේ වැසියෙකුට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණක් වෙද්දී, ගලවංකාවේ වැසියෙකුට දිනකට මාළු කිලෝ තුනක් නිපදවිය හැකිව ඇත්තේ කෙසේද? එමෙන්ම, අල්ලංකාවේ වැසියෙකුට වැඩිපුර මාළු නිපදවිය හැකිව ඇත්තේ කෙසේද?

මේ වෙනසට හේතුව අදාළ රටේ භූ සැකැස්මට, පිහිටීමට හෝ කා
ගුණයට අදාළ කරුණක්නම් නිෂ්පාදනය සඳහා යොමු වන පුද්ගලයා කවරෙකු වුවද තත්ත්වයෙහි වෙනසක් නොවේ. අනෙක් අතට, මේ වෙනසට හේතුව කර්මාන්තයෙහි නියැලෙන්නන්ගේ කුසලතා වෙනස්කම් වන්නටද පුළුවන.

පළමුව, එක් එක් රටෙහි තුලනාත්මක වාසියට හේතුව අදාළ රටේ භූ සැකැස්මට, පිහිටීමට හෝ කාලගුණයට අදාළ කරුණක්යැයි සිතමු. එසේනම්, අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට සිය කුසලතා ඔප් නංවා ගැනීම මඟින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරගෙන, විදෙස් ආනයන සමඟ තරඟ කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා, නිදහස් වෙළඳාම ඇරඹුණු පසු සිය රැකියාව වෙනස් නොකළහොත් ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ යයි.

එහෙත්, සංක්‍රමණයටද දොරටු විවර වුවහොත් ඔවුන්ට තවත් තෝරාගැනීමක් ඉතිරි වේ. ඒ, රැකියාව වෙනස් නොකර රට වෙනස් කිරීමයි. මේ තත්ත්වය යටතේදී, අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට සිය රැකියාව වෙනස් නොකර රට වෙනස් කිරීමෙන්ද සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය තෙගුණයකින් වැඩි කර ගත හැකිය. අවසානයේදී, පෙර අවස්ථාවේදී මෙන්ම දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වේ. (මේ දෙගුණවීම මේ ලිපියේ උදාහරණයට පමණක් අදාළය. එය කවර හෝ වැඩිවීමක් විය හැකිය.) මේ අවස්ථාවේදී, සංක්‍රමණයට අමතරව  දෙරට අතර අල හා මාළු වෙළඳාමද තව දුරටත් සිදු විය යුතුය.

ගිවිසුම් මඟින් කෘතීම බාධා නැති කළද, භාණ්ඩ හා සේවා වෙළඳාමට ප්‍රවාහන ගාස්තු, කල් තබා ගැනීමේ සීමාවන් වැනි ස්වභාවික බාධා ඇති අයුරින්, සංක්‍රමනයටද ස්වභාවික බාධාවන් තිබේ. තමන්ට හුරුපුරුදු වටපිටාවෙන් බැහැරව ජීවත් වන්නට බොහෝ දෙනෙකු මැලි වන අතරම, වෙනත් රටකින් පැමිණෙන වෙනස් සංස්කෘතියට අයත් පිරිස් සමඟ මුසු වීමටද බොහෝ දෙනෙකු අකමැත්තක් දක්වති. මෙයට අමතරව සංක්‍රමණය හා අදාළ මූලික පිරිවැය දරා ගැනීමටද සංක්‍රමනිකයෙකුට සිදුවේ. ඒ නිසා, කිසියම් පුද්ගලයෙකු වෙනත් රටකට සංක්‍රමණය වීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් ලැබෙන ආර්ථික වාසි ඉහත කී සියළු මුදලින් මැනිය හැකි හා එසේ මැනීම අපහසු වෙනත් පිරිවැය (monetary and emotional costs) ඉක්මවන්නේනම් පමණි.

තුලනාත්මක වාසියට හේතුව කුසලතා වෙනස්කම් පිළිබඳ ප්‍රශ්නයක්නම්?

සංක්‍රමණයට ඉඩකඩ නොමැතිනම් දැන් අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට රැකියා වෙනස් නොකර සිය කුසලතා දියුණු කර ගැනීමේ විකල්පයක්ද තිබේ. එය නිසියාකාරව සිදු වුවහොත්, එක් එක් රටෙහි තුලනාත්මක වාසි නැති නිෂ්පාදනයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයද ඉහළ යාමෙන්, තුලනාත්මක වාසි නැතිව යන නිසා අල හා මාළු හුවමාරු කරගැනීමක්  අවශ්‍ය වන්නේද නැත. කෙසේවුවද, එසේ කුසලතා වර්ධනය කර ගැනීම කෙටිකාලීනව කළ නොහැක්කකි.

මේ දෙවන තත්ත්වය යටතේදී, සංක්‍රමණයට ඉඩ සැලසීම ජාත්‍යන්තර වෙළඳාමට විකල්පයකි. අල්ලංකාවේ අල වවන්නෙකුට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණක් වුවත්, ගලවංකාවේ අල වවන්නෙකුට අල්ලංකාවට පැමිණ අල කිලෝ තුනක් නිපදවිය හැකිය. මේ අයුරින්ම, ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට නිපදවිය හැක්කේ මාළු කිලෝවක් පමණක් වුවත්, අල්ලංකාවේ මාළු අල්ලන්නෙකුට ගලවංකාවට පැමිණ මාළු කිලෝ තුනක් නිපදවිය හැකිය. මෙසේ, ගලවංකාවේ මාළු හා අල්ලංකාවේ අල නිෂ්පාදනය ඉහළ ගිය විට එම භාණ්ඩ අනෙක් රටෙන් ආනයනය කිරීමේ අවශ්‍යතාවය අඩුවී හෝ නැති වී යයි.

කෙසේ වුවද, තවදුරටත් අල වවන අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ තවදුරටත් මාළු අල්ලන ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට දැන් තර්ජන දෙකකි. එක් පසෙකින් අඩු මිලට එන ආනයන වල තරඟයයි. අනෙක් පසින්, තමන්ට වඩා තෙගුණයක් කාර්යක්ෂම විදෙස් ශ්‍රමිකයින්ගේ තරඟයයි. 


මේ බලපෑම් ක්ෂණික හා විශාලනම් එක් වර සිය ජීවන තත්ත්වයෙහි සිදුවන පහත වැටීමට මුහුණ දීම ඔවුන්ට ඉතා අසීරු කරුණක් වනු ඇත. එහෙත්, මේ වෙනස සිදුවන්නේ සාපේක්ෂව හෙමින්නම්, මුලින්ම පැමිණෙන සංක්‍රමණිකයින් සමඟ එක්ව වැඩ කිරීමෙන් ඔවුන්ගේ ඉහළ කාර්යක්ෂමතාවයට හේතු වූ කරුණු හඳුනාගෙන තමන්ගේද කුසලතා වර්ධනය කර ගැනීමට ඔවුන්ට කාලයක් ලැබේ. ඒ අතරම, මෙය මෙසේ සිදුවීමටනම්, සංක්‍රමණිකයින් තමන්ගේ අකාර්යක්ෂමතාවයන්ට තර්ජනයක් බව පෙනෙන්නට තරම් සැලකිය යුතු සංක්‍රමණයක් රට තුළට සිදු වීමද අවශ්‍යය. 

(Image: http://www.fibre2fashion.com/_resources/industry-articles/45/4453/1_files/image001.jpg)

Thursday, June 30, 2016

ජාත්‍යන්තර වෙළඳාමෙන් අවාසි කාටද?

රටවල් දෙකක් අතර ජාත්‍යන්තර වෙළඳාම නිසා සමස්තයක් ලෙස එයට සම්බන්ධ වන දෙරටටම වාසියක් සැලසේ. එහෙත්, ඒ එක් එක් රටේ සියළුම පුද්ගලයින්ට එයින් වාසි සැලසෙන බව එයින් අදහස් නොවේ. ජාත්‍යන්තර වෙළඳාම නිසා ඇතැම් කණ්ඩායම් වල බඩට වදින්නට පුළුවන.

ඉහත තත්ත්වය ජාත්‍යන්තර වෙළඳාමට පමණක්ම අදාළ වන්නක්ද නොවේ. තරඟකාරීත්වයක් නැති තැනක ඇති අකාර්යක්ෂමතාවයන්ගෙන් වාසි ලබන පිරිස් සිටිති. තරඟකාරීත්වය නැවත ප්‍රතිෂ්ඨාපනය වූ විට එවැනි කණ්ඩායම් වලට කලින් ලැබූ අනිසි ලාභ නැති විය හැකිය.

උදාහරණයක් ලෙස ලංකාවේ දුරකථන සේවා සැපයීම සම්බන්ධව ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත පැවති ඒකාධිකාරය ඉවත් කිරීමෙන් පසුව දුරකථන ගාස්තු ඉතා සීඝ්‍රයෙන් පහත වැටී, දුරකථන සේවාවන් රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් 'පරිභෝජනය කළ හැකි' දෙයක් බවට පත් වූ නමුත් ඒ හේතුවෙන් ටෙලිකොම් සමාගමට සිදුවූයේ අවාසියකි.

මේ ගැන තවදුරටත් කතා කිරීම සඳහා මගේ පෙර ලිපියක් වෙත නැවත යමු.


ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1

"ගලවංකාව සහ අල්ලංකාව කියා රටවල් දෙකක් තිබේ. මේ රටවල් දෙක ජනගහණය අතින් සමානය. එක් රටක 100 බැගිනි. රටවල් දෙකේම ජනජීවිතය හා ආහාර පුරුදු සමානය. රටවැසියෝ එක්කෝ ඉබේ වැවී ඇති අල ගලවති. නැත්නම් මාළු අල්ලති. ඉන්පසු අල සහ මාළු යොදා හදන කෑමක් කා ඇල්වතුර බී නිදාගනිති. රටවල් දෙකේම තත්ත්වය මේ කරුණු අනුව සමානය. කෙසේ වුවද, අල සහ මාළු නිෂ්පාදනය කිරීමට වැය කළ යුතු ශ්‍රමය (නිෂ්පාදන සාධක) අතින් රටවල් දෙක සමාන නැත.

පළමුව අපි අල්ලංකාවට යමු. මෙහි වැසියෙකුට දවසක් මහන්සි වී මාළු කිලෝ 3ක් ඇල්ලිය හැකිය. නැත්නම් අල කිලෝවක් ගැලවිය හැකිය. ඕනෑම අල ගලවන්නෙකුට මාළු අල්ලන්නෙකු වීමට හෝ මාළු අල්ලන්නෙකුට අල ගලවන්නෙකු වීමට හැකි නිසා අල්ලංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම අල කිලෝවකි. නැත්නම්, මාළු කිලෝ තුනකි. ඒ අනුව, අල්ලංකාව තුල අල කිලෝවක් මාළු කිලෝ තුනකට හුවමාරු වේ.

අල්ලංකාවේ අල වවන්නෝ අල ග්‍රෑම් 250ක් මාළු ග්‍රෑම් 750කට හුවමාරු කරති. මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 2250ක් අල ග්‍රෑම් 750කට (අල වවන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ අල්ලංකාවේ කවුරුත් අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

ගලවංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. එහි වැසියෙකුට දවසක් මහන්සි වී අල කිලෝ 3ක් ගැලවිය හැකිය. නැත්නම් මාළු කිලෝවක් ඇල්ලිය හැකිය. ගලවංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම මාළු කිලෝවකි. නැත්නම්, අල කිලෝ තුනකි. ඒ අනුව, ගලවංකාව තුල මාළු කිලෝවක් අල කිලෝ තුනකට හුවමාරු වේ.

ගලවංකාවේ මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 250ක් අල ග්‍රෑම් 750කට හුවමාරු කරති. අල වවන්නෝ අල ග්‍රෑම් 2250ක් මාළු ග්‍රෑම් 750කට (මාළු අල්ලන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ ගලවංකාවේ වැසියනුත් අල්ලංකාවේ වැසියන් මෙන්ම අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

මේ රටවල් දෙකෙන් අල්ලංකාවට ගලවංකාවට සාපේක්ෂව මාළු නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. එමෙන්ම, ගලවංකාවට අල්ලංකාවට සාපේක්ෂව අල නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. මෙහිදී පරිපූර්ණ වාසියක් ලෙස හැඳින්වෙන්නේ සමාන නිෂ්පාදන සාධක යොදවා එක් රටකට වෙනත් රටකට වඩා වැඩි නිෂ්පාදනයක් කිරීමට ඇති හැකියාවයි.

තමන්ට පරිපූර්ණ වාසියක් ඇති භාණ්ඩයක් නිපදවා වෙනත් රටකට විකිණීමෙන් ඕනෑම රටකට වාසියක් ලැබේ. උදාහරණයක් වශයෙන් අල්ලංකාවේ සියල්ලෝම මාළු අල්ලද්දී ගලවංකාවේ සියල්ලෝම අල ගලවතැයි සිතමු. දැන් අල්ලංකාවේ මාළු කිලෝ 300ක්ද ගලවංකාවේ අල කිලෝ 300ක්ද නිපදවේ. අල්ලංකාවේ මාළු වලින් කිලෝ 150ක් ගලවංකාවේ අල කිලෝ 150ක් සමඟ හුවමාරු කරයි.

අන්තිමේදී අල්ලංකාවේ වැසියෙකු තමන් අල්ලන මාළු කිලෝ තුනෙන් කිලෝ 1.5ක් ගලවංකාවේ වැසියකුගේ අල කිලෝ 1.5ක් වෙනුවෙන් හුවමාරු කරයි.  අල්ලංකාවේ මෙන්ම ගලවංකාවේ වැසියෝත් අල කිලෝ 1.5ක් සහ මාළු කිලෝ 1.5ක් බැගින් පරිභෝජනය කරති. රටවල් දෙක අතර වෙළඳාම නිසා දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වී තිබේ."


ඉහත උදාහරණයෙන් පෙන්වා දුන් පරිදි ඉතා පැහැදිලිවම දෙරටේම සියළුම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වී තිබේ. කෙසේ වුවද, මේ කතාවේ සැඟවී ඇති කරුණක් තිබේ.

"ඕනෑම අල ගලවන්නෙකුට මාළු අල්ලන්නෙකු වීමට හෝ මාළු අල්ලන්නෙකුට අල ගලවන්නෙකු වීමට හැකි නිසා..."

ඉහත වාසිය ඒ අයුරින්ම ලැබීම සඳහා අල්ලංකාවේ සියළුම අල ගලවන්නන්ට මාළු ඇල්ලීමටත්, ගලවංකාවේ සියළුම මාළු අල්ලන්නට අල ගලවන්නටත් සිදුවේ. එය ඒ අයුරින්ම සිදු නොවුවද සමස්තයක් ලෙස දෙරටට ලැබෙන වාසි තවදුරටත් පවතින නමුත්, අළුත් තත්ත්වයට හැඩ ගැසී වෙනස් විය නොහැකි අයට පාඩුවක් සිදුවන්නට පුළුවන.

මෙය පෙන්වාදීම සඳහා අපි පළමුව අපි අල්ලංකාවට යමු. එහි මාළු අල්ලන්නෙකු දිනකට මාළු කිලෝ තුනක් නිෂ්පාදනය කළේය. ජාත්‍යන්තර වෙළඳාම ඇරඹීමට පෙර අල ග්‍රෑම් 750ක් ලබා ගැනීම සඳහා මේ මාළු වලින් ග්‍රෑම් 2250ක් අවශ්‍ය විය. එහෙත්, දැන් මාළු වලට සාපේක්ෂව අල මිල තුනෙන් එකක් දක්වා අඩු වී ඇති බැවින් අල ග්‍රෑම් 750ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ මාළු ග්‍රෑම් 750ක් පමණි. ඉතා පැහැදිලිවම අල්ලංකාවේ මාළු නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය උසස් වී තිබේ. මේ අයුරින්ම, ගලවංකාවේ අල ගලවන්නන්ගේ ජීවන තත්ත්වයද උසස් වී ඇත.

අල්ලංකාවේ අල ගලවන්නෙකු තව දුරටත් අල ගලවමින් සිටියහොත් වෙන්නේ කුමක්ද?

අල්ලංකාවේ අල ගලවන්නෙකුට දිනකට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණි. ජාත්‍යන්තර වෙළඳාමට බාධා පැවති තත්ත්වය තුළ, මේ අල වලින් ග්‍රෑම් 250ක් මාළු ග්‍රෑම් 750කට හුවමාරු කළ හැකි වුවත් දැන් එය තවදුරටත් කළ නොහැකිය. දැන් අල ග්‍රෑම් 250ක් හුවමාරු වන්නේ මාළු ග්‍රෑම් 250ක් වෙනුවෙන් නිසා අල හා මාළු පරිභෝජනය සමානව තබාගැනීමටනම් පරිභෝජනය අල ග්‍රෑම් 500ක් හා මාළු ග්‍රෑම් 500ක් දක්වා අඩු කරන්නට සිදුවේ. මෙය අල්ලංකාවේ අල ගලවන්නෙකුගේ ජීවන තත්ත්වයෙහි සිදුවන සැලකිය යුතු පහත වැටීමකි. මේ අයුරින්ම, වෙනස් නොවී සිටියහොත්, ගලවංකාවේ මාළු අල්ලන්නෙකුගේ ජීවන තත්ත්වයද පහත වැටෙනු ඇත.

කිසියම් රටකට පරිපුර්ණ වාසියක් හෝ තුලනාත්මක වාසියක් නොමැති භාණ්ඩයක් නිෂ්පාදනයෙහි නියැලීම අකාර්යක්ෂමය. එවැනි කටයුත්තක නියැලෙන්නෙකුට වාසි ලැබිය හැක්කේ තරඟකාරිත්වයට ස්වභාවික හෝ කෘතීම බාධා පවතින වාතාවරණයකදී පමණි. එවැනි බාධා ගැන මම පෙර ලිපියක කතා කළෙමි.

ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...

කිසියම් කෘතීම හෝ ස්වභාවික බාධාකාරී තත්ත්වයකින් වාසි ලබන පිරිස් ඒ බාධාවන් ඉවත් වනවාට විරුද්ධ වීම ඉතා පැහැදිලිය.

Saturday, May 21, 2016

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (තෙවන කොටස)

ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ මූලික ස්වරූපය ගැන අපි පෙර ලිපියෙන් කතා කළෙමු. එක් පසෙකින් දිගින් දිගටම නොපියවී ඉදිරියට යන රාජ්‍ය අයවැය හිඟයයි. අනෙක් පසෙන් ගෙවුම් ශේෂ හිඟයයි. රෝග දෙකටම දිගින් දිගටම ගන්නා විදේශ ණය බෙහෙත් වට්ටෝරුව නිසා ලෙඩා මැරෙන්නේ නැත. එහෙත්, රෝගය දිනෙන් දින උග්‍ර වේ.

රෝගයකට බෙහෙත් සොයන්නට පෙර රෝග නිධාන හඳුනාගත යුතුය. රෝග නිධාන ගැන අවබෝධයක් ලබාගත හැක්කේ රෝග ඉතිහාසය හැදෑරීමෙනි. නිදහසින් පසු රාජ්‍ය ණය වැඩි වූ ආකාරය අපි පෙර කතා කළෙමු. අද ලිපියෙන් සාකච්ඡා කරන්නේ නිදහසින් පසු ආනයන අපනයන පරතරය හෙවත් වෙළඳ හිඟය වෙනස් වූ ආකාරයයි.

ඉංග්‍රීසීන් විසින් රට භාර දී යන විට රාජ්‍ය ණය කන්දක් හෝ රාජ්‍ය අයවැය පරතරයක් නොතිබුණා සේම, වෙළඳ හිඟයක්ද නොතිබුණේය. ඇත්තටම තිබුණේ සැලකිය යුතු අතිරික්තයකි. එවකට රටේ අපනයන ආදායම ආනයන වියදමට වඩා වැඩි වූ අතර වසරකට ආසන්න කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් වන තරමේ විදෙස් සංචිත තොගයක් ලංකාව සතු විය. පහත රූප සටහනෙන් පෙනෙන්නේ 1956-1980 කාලය තු
මේ යහපත් ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් පිරිහුණු ආකාරයයි.



යුරෝපීයයන් විසින් යටත් කරගන්නා විට ලංකාවේ ආර්ථිකය බොහෝ දුරට සංවෘත ආර්ථිකයක් විය. ඉංග්‍රීසීන් විසින් මේ සංවෘත ආර්ථිකය ලෝකයට විවෘත වූ, ආනයන-අපනයන මත පදනම් වූ ආර්ථිකයක් බවට පරිවර්තනය කළේය. 

ජාත්‍යන්තර වෙළඳාම ඉතාම අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත් වෙළඳාමෙහි යෙදෙන සියළු පාර්ශ්වයන්ට වාසි ගෙනදේ. එහෙත්, රටක් සමස්තයක් ලෙස වාසි ලබද්දී ඒ රටේ ඇතැම් කණ්ඩායම් වලට අවාසි සිදු විය හැකිය. එමෙන්ම, මේ වාසි වෙළඳාමෙහි පාර්ශ්වකරුවන් අතර හැමවිටම සම ලෙස නොබෙදෙන්නට පුළුවන. එමෙන්ම, ආර්ථික නොවන වෙනත් අවාසි තිබිය හැකිය. කෙසේ වුවද, ආර්ථික වශයෙන්නම් හැම විටම සිදුවන්නේ වාසියකි. මේ ගැන වැඩිපුර හැදෑරීමට අවශ්‍යනම් පහත ලිපි කියවන්න. 


ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...

ඔබ විසින් ඔබ සතු සම්පත් කිසියම් නිෂ්පාදන කාර්යයක් සඳහා යොදා ගන්නා විට එය කරන්නේ වඩාත්ම කාර්යක්ෂම අයුරිනි. අමරා දේවිය බත්, කැඳ සහ කැවුම් පිසින්නට සහල් වෙන් කළ අයුරිනි. ඔබේ වත්තේ දිය සීරාව ඇති කොටසේ කුඹුරක් අස්වද්දනු හෝ කන්කුන් සිටවනු මිස අන්නාසි සිටවන්නේ නැත. අන්නාසි සිටවන්නේ වත්තේ වියලි, උස් තැනකය.

ඉංග්‍රීසි අධිරාජ්‍යයට අයත් භුමි ප්‍රදේශ තුළ නිෂ්පාදන කාර්යයන් සිදුවුණේද ඉහතාකාරයෙනි. ලංකාවේ දේශගුණය යටතේ වැඩි නිෂ්පාදනයක් කළ හැකි තේ හා රබර් ඔවුහු මෙහි වැවූහ. ලංකාවට අවශ්‍ය වූ, වෙනත් රටවල වඩා අඩු වියදමකින් නිෂ්පාදනය කළ හැකි වූ, සහල් ආනයනය කෙරුණේය. වඩා ලාභ ශ්‍රමය ඉන්දියාවෙන් ගෙන එනු ලැබිණි. ඉංග්‍රීසීන්ගේ මේ ස්ථානගත කිරීම් වල පාරිසරික අවාසි හා දේශපාලනික නොගැලපීම් තිබෙන්නට පුළුවන. එහෙත්, මේ වෙනස්කම් නිසා රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි විය.

නිදහස ලැබූ ලංකාවට රටේ නිෂ්පාදන තරඟකාරී එහෙත් ඉතා ලාභදායී මිලකට ජාත්‍යන්තර වෙළඳපොළෙහි අළෙවි කළ හැකි විය. ඒ, එවකට ලංකාවේ නිපදවා අපනයනය කළ තේ හා රබර් වැනි නිෂ්පාදන හා අදාළව ලංකාවට පරිපූර්ණ වාසිදායක තත්ත්වයක් පැවති බැවිනි. එවැනි වාසියක් නොතිබුණු සහල් වැනි දේ රටේ නිපදවීමට යන වියදමට වඩා අඩුවෙන් ආනයනය කළ හැකි විය. ඒ නිසා, අපනයන ආදායම ආනයන වියදම පියවා ගැනීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් විය.

කෙසේ වුවද, නිදහසින් පසු, විශේෂයෙන්ම 1956න් පසු ලංකාව ආරක්ෂණවාදී ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා යොමු විය. විදෙස් අයිතිය තිබූ සමාගම් ජනසතු කිරීමේ ලේබලය යටතේ රජය සතු කෙරුණේය. රටට පරිපූර්ණ වාසියක් හෝ තුලනාත්මක වාසියක් නැති නිෂ්පාදනද ඇතුළුව රටේ අවශ්‍යතා රට තුළින්ම සපුරාගැනීම ඉලක්ක කරගත් ක්‍රමවේදයක් වෙත ආර්ථික ප්‍රත්පත්තිය විතැන් විය.


ලංකාවට තුලනාත්මක වාසියක් නොමැති භාණ්ඩයක් රට තුළ නිපදවන විට එහි පිරිවැය එම භාණ්ඩයේ ආනයනික මිලට වඩා වැඩිය. ඒ නිසා, දේශීය නිෂ්පාදන වලට ආනයනික නිෂ්පාදන සමඟ තරඟ කළ නොහැකිය. ඒ නිසා, එවැනි දේශීය කර්මාන්ත රැක ගැනීමට කෘතීම ලෙස ආනයන සීමා කිරීමට සිදුවේ. කෙසේ වුවද, අවසාන වශයෙන් සිදුවන්නේ රටේ පාරිභෝගිකයින්ට ආනයනික නිෂ්පාදනයකට වඩා තත්ත්වයෙන් අඩු භාණ්ඩයකට වැඩි මිලක් ගෙවන්නට සිදුවීමයි. ආනයන සෘජුව සීමා නොකෙරෙන්නේනම්, ආනයන බදු හරහා හෝ දේශීය නිෂ්පාදන සඳහා මහජන මුදලින් ලබා දෙන සහනාධාර හරහා වක්‍රව සීමා කරන්නට සිදුවේ. ඒ අතරම, තරඟකාරී මිලකට අපනයනය කළ හැකි, තුලනාත්මක වාසියක් ඇති කර්මාන්ත කෙරෙන් සම්පත් විතැන් වීම නිසා රටට ලැබෙන අපනයන ආදායම ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනී. එහෙත්, ඇතැම් භාණ්ඩ කෙසේවත් රට තුළ නිපදවා ගැනීමේ හැකියාවක් නොමැති බැවින් එවැනි භාණ්ඩ, උදාහරණයක් වශයෙන් ඉන්ධන, ආනයනය කිරීම සඳහා විදේශ විණිමය උපයාගන්නට වෙන්නේ අපනයන මඟිනි. 1956 පමණ සිට මෙසේ ක්‍රමයෙන් අපනයන ආදායම දුර්වල වීම නිසා වෙළඳ හිඟය වැඩි වූ අයුරු ඉහත රූප සටහනෙන් පෙනේ. 

මේ අයුරින් වෙළඳ හිඟය ක්‍රමයෙන් වර්ධනය වී, සමඟි පෙරමුණු යුගයේදී එය ගොඩ එන්නට නොහැකි ගෙවුම් ශේෂ අර්බුදයක් බවට පත් විය. මේ අර්බුදය හමුවේ රජයේ ප්‍රතිචාරය වූයේ දැඩි ලෙස ආනයන සීමා කිරීමයි. එසේ ආනයන සීමා කිරීමෙන් 1977දී වෙළඳ හිඟය අතිරික්තයක් බවට පත් කරගත හැකි වුවත්, ඒ වෙනුවෙන් රටේ ජනතාවට මෙන්ම රජයටද ගෙවන්නට සිදුවූ මිල අමුතුවෙන් මතක් කළ යුතු නැතැයි සිතමි.

සමඟි පෙරමුණු රජය බිඳ වැටී ජයවර්ධන පාලනය ඇරඹුනේය. ජේ ආර් ජයවර්ධන විසින් හඳුන්වාදුන් ආර්ථිකය ධනවාදී ආර්ථිකයක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරති. එහෙත්, ඒ ධනවාදය කුමක්දැයි නොදන්නා අයයි. සමඟි පෙරමුණු යුගයේ හා ඊටත් පෙර හඳුන්වා දී තිබුණු සීමාවන් ඉවත් කර ආර්ථිකය පැවති තත්ත්වයට වඩා නිදහස් කළත් ජයවර්ධන රජයද විශාල මධ්‍යගත පාලනයක් තවදුරටත් නඩත්තු කළේය. රාජ්‍ය ආයෝජන වලට විශාල බරක් තැබුණු මධ්‍යගත සැලසුම් බොහොමයක් තවදුරටත් එසේම ක්‍රියාත්මක විය. කෙසේ වුවද, ආනයන සඳහා පැවති සීමාවන් බොහෝ දුරට ඉවත් විය. 


ජේ ආර් ජයවර්ධන විසින් තරඟකාරී වෙළඳපොළකට එක් වරම නිරාවරණය කළ දේශීය නිෂ්පාදකයා ලංකාව නිදහස ලබන විට සිටියාක් වැනි තරඟකාරී නිෂ්පාදකයෙකු නොවේ. අඩු වශයෙන් දශක දෙකක පමණ කාලයක් ආරක්ෂණවාදී බුර්කාවේ සැඟවී සිටි ඇගේ සියුමැලි සම ඉර එළියට ඔරොත්තු දුන්නේ නැත. දෙනෝදාහක් බලා සිටිද්දී බුර්කාව ගලවා වේදිකාවට තල්ලු කෙරුණු මේ ගෑනු ළමයාට සබකෝලය මැඬගෙන රඟපෑමට ධෛර්යය උපදවා ගැනීම විශාල අභියෝගයක් විය. එහෙත්, ඔබ පීනන්නට දැන නොසිටියත්, වතුරට ඇද දමනු ලැබූ විට කෙසේ හෝ පීනිය යුතුය. නැත්නම් දියේ ගිලී මිය යා යුතුය!

ජේ ආර් ජයවර්ධන විසින් කළේ කළ යුතුව තිබුණු, නිවැරදි දෙයයි. නළු නිලියන් පෙර පුහුණුවීම් අවසන් කර, හැඩ වැඩ වී  වේදිකාවට පැමිණෙන තුරු  තිරය විවෘත කරගෙන බලා සිටියානම් එය මේ සම්මජාතියේ සිදු නොවන්නට ඉඩ තිබුණි. බුර්කාව ගලවා ඉර එළියට නිරාවරණය කළ ගැහැණු දරුවාට එක් වරම ඉර එළිය දරා ගැනීම අපහසු වුවද, මෙසේ ක්ෂණිකව නිරාවරණය කළ විට ඉතා ඉක්මණින් අළුත් තත්ත්වයට හැඩ ගැසී තරඟකාරීත්වය නැවත ගොඩ නංවා ගැනීමට හැකි වේ. සමඟි පෙරමුණු යුගයේ භාණ්ඩ හිඟයෙන් හෙම්බත් වී සිටි සමාජය මෙවැනි ක්ෂණික විපර්යාසයකට ලක් කිරීමට ජයවර්ධන රජය විසින් ලබාගෙන තිබුණු විශාල පාර්ලිමේන්තු නියෝජනය උදවු විය. රජයේ ජනප්‍රියත්වය ගිලිහෙන්නට පෙර, ක්ෂණිකව ජේ ආර් ජයවර්ධන විසින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේය. ඒ සඳහා ඔහුට පූර්ව සැලසුමක් විය. ඒ නිසා හිත හිතා ඉන්නට මෙන්ම කාගෙන්වත් අහ අහා ඉන්නටද ඔහුට අවශ්‍ය නොවීය. (කෙසේ වුවද, පසුකාලීනව සිය ජනප්‍රියත්වය ගිලිහීමෙන් පසුවද මේ අයුරින්ම තමන්ට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වග විභාගයකින් තොරව ගෙන එන්නට ගොස් ජයවර්ධන රජය ඇණ ගත්තේය.) 

  •  
(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)

Saturday, March 5, 2016

ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...





පළමු කොටස 

දෙවන කොටස  


පසුගිය ලිපි දෙකෙන් විස්තර කළ පරිදි රටවල් දෙකක් අතර නිදහස් වෙළඳාමකින් දෙරටටම වාසි සැලසේ. එහි පදනම තුලනාත්මක වාසියයි. කිසියම් රටකට කිසිදු භාණ්ඩයක් සම්බන්ධව පරිපූර්ණ වාසියක් නැත්තේ වුවද තුලනාත්මක වාසි අනිවාර්යයෙන්ම තිබේ.

අපි දැන් අපේ පළමු ආකෘතියට ආපසු යමු. එම ආකෘතිය අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල (අල වලට සාපේක්ෂව) මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

මේ අනුව, මාළු කිලෝඑක අල කිලෝ 0.333කට වැඩි හා කිලෝ 3කට අඩු ඕනෑම පදනමකින් රටවල් අතර සාර්ථක වෙළඳාමක් සිදුවිය හැකිය. කෙසේවුවද, විවිධ බාධාවන් නිසා මෙය මේ අයුරින්ම සිදු නොවීමට ඉඩ තිබේ. මේ ඇතැම් බාධා ස්වභාවික බාධාවන්ය. තවත් ඒවා කෘතීම බාධාවන්ය.

මේ අතරින් පළමුවැන්න ප්‍රවාහන වියදමයි. මෙය පැහැදිලි කිරීමට පළමුව මම මුදල් ඒකක දෙකක්ද හඳුන්වා දෙමි. අල්ලංකාවේ මුදල් අලර් වන අතර ගලවංකාවේ මුදල් ගලර් නම් වේ. අල්ලංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම අලර් එකකි. ගලවංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම ගලර් එකකි. නාමික විනිමය අනුපාතිකය අලර් එකකට ගලර් එකකි. 

එක් එක් රටේ මිල ගණන් මෙසේය.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.

ප්‍රවාහන වියදම් නොමැතිනම් අල්ලංකාවෙන් ආනයනය කරන මාළු වල මිල ගලවංකාවේදී ගලර් 0.333ක් වනු ඇත. එමෙන්ම, ගලවංකාවෙන් ආනයනය කරන අල වල මිල අල්ලංකාවේදී අලර් 0.333ක් වනු ඇත.

රටකින් තවත් රටකට භාණ්ඩ ප්‍රවාහනයේදී වියදමක් දැරීමට සිදුවේ. අපනයනය කරන භාණ්ඩයක් වෙනත් රටක විකුණන විට මේ ප්‍රවාහන වියදමද ආවරණය කර ගැනීමට සිදුවේ. ඉහත උදාහරණදී අල හෝ මාළු කිලෝවක් අනිත් රටට ප්‍රවාහනය කිරීමට යන වියදම අලර් (හෝ ගලර්) 0.667කට වඩා වැඩිනම් දෙරට අතර වෙළඳාමක් සිදු නොවේ. ප්‍රවාහන වියදම් ඊට වඩා අඩුනම් වෙළඳාම සිදුවේ.

එමෙන්ම, මේ භාණ්ඩ කල් තබා ගත හැකි, නරක් නොවන භාණ්ඩද විය යුතුය. ප්‍රවාහනය කිරීමට ගතවන කාලය තුළ මාළු නරක් වෙනවානම් එවැනි භාණ්ඩයක් අපනයනය කිරීම අපහසු කරුණකි. යම් හෙයකින් අපනයනය කරන්නේනම් ප්‍රවාහනය කරන කාලය තුළ මාළු නරක් වීමේ අවදානම නිසා වන පාඩුවද විකිණුම් මිලට එකතු කිරීමට හැකි වන තරමේ මිල වෙනසක් පැවතිය යුතුය.

මෙවැනි ස්වභාවික බාධා නිසා යම් රටක නිපදවන සෑම භාණ්ඩයක්ම අපයනය කිරීමක් සිදු නොවේ.  කෙසේවුවද, තාක්ෂණයේ දියුණුව සමඟ ප්‍රවාහනයට ගතවන කාලය අඩුවීම හා ප්‍රවාහන වියදම් අඩුවීමත්, කල්තබා ගතහැකි ක්‍රම සහ ඇසුරුම් ක්‍රම දියුණු වීමත් සිදුවන විට මේ ස්වභාවික බාධා වල බලපෑම අඩුවේ.

මෙවැනි ස්වභාවික බාධක වලට අමතරව ජාත්‍යන්තර වෙළඳාමට කෘතීම බාධකද තිබේ. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත බාධකය ආනයන හා අපනයන බදුය.

ආනයන හා අපනයන බදු පැනවීම මඟින් යම් රටක රජයකට ආදායමක් ලැබිය හැකිය. කෙසේවුවද, එමඟින් සිදුවන්නේ සමස්තයක් ලෙස වැඩි දෙනෙකුට යහපතක් සැලසෙන ගනුදෙනුවක් කෘතීම ලෙස වලක්වනු ලැබීමයි. උදාහරණයක් ලෙස පහත තත්ත්වය සලකමු.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.
නාමික විනිමය අනුපාතිකය: අලර් එකකට ගලර් එකකි. 
ප්‍රවාහන, ඇසුරුම් හා කල්තබාගැනීම සඳහා වන වියදම් සහ ව්‍යවසායකයාගේ ශ්‍රමයේ වටිනාකම: මාළු කිලෝඑකක් සඳහා අලර් 0.167කි. අල කිලෝඑකක් සඳහා ගලර් 0.067කි. 

දැන් අල්ලංකාවේ මාළු නිෂ්පාදකයෙකුට ගලවංකාවට මාළු ප්‍රවාහනය කර එහි පාරිභෝගිකයෙකුට ගලර් 0.500 කට මාළු විකිණිය හැකිය. ඉන්පසු, ඒ මුදලින් අල කිලෝ 1.5ක් මිල දී ගත හැකිය. ඒ අල අල්ලංකාවට ප්‍රවාහනය කර කිලෝව අලර් 0.400 බැගින් විකිණිය හැකිය.

මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතන අල්ලංකාවේ රජයට අල සඳහා ආනයන බද්දක් පැනවිය හැකිය. මෙය අල කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවේ අල කිලෝවක් විකිණෙන්නේ අලර් 0.600කටය. ගලවංකාවේ නිෂ්පාදකයින්ට කිසිදු පාඩුවක් වී නැත. එහෙත්, අල්ලංකාවේ රජය ආදායමක් ලබයි. කලින් දේශීය අල කිලෝ එක අලර් 1.000කට මිලදී ගත් ලංකාවේ පාරිභෝගිකයින්ටද ආනයනික අල කිලෝව අලර් 0.600කට මිල දී ගැනීමට හැකි වීම වාසියකි. කෙසේවුවද, මෙහිදී අල්ලංකාවේ රජය විසින් නැති කර ඇත්තේ තම රටේ පාරිභෝගිකයින්ට ලබා ගත හැකිව තිබුණු වාසියකින් කොටසකි. එසේ එකතු කර ගන්නා බදුමුදල් නැවත රටේ යහපත වෙනුවෙන්ම යොදවනවානම් මේ බද්දට අල්ලංකාවේ ජනතාව විරුද්ධ නොවන්නට පුළුවන.

එමෙන්ම අල්ලංකාවේ රජයට මාළු සඳහා අපනයන බද්දක් පැනවීමටද පුළුවන. මෙය මාළු කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවෙන් අපනයනය කරන මාළු ගලවංකාවේ විකිණෙන්නේ ගලර් 0.700 කටය. මේ මිල ගලවංකාවේ දේශීය මාළු මිල වූ ගලර් 1.000ට වඩා තවදුරටත් අඩු නිසා මේ මිලට එහි මාළු විකිණීම ප්‍රශ්නයක් නොවේ. දැන් අල්ලංකාවේ රජයට අපනයන බදු වලින් ආදායමක් ලැබෙන නමුත් අල්ලංකාවේ කිසිවෙකුට එයින් අවාසියක් සිදුවී නැත. අවාසිය ඇත්තේ ගලවංකාවේ පාරිභෝගිකයින්ටය. වැඩේ නරක නැත!

ප්‍රශ්නය තියෙන්නේ  අල්ලංකාවේ රජය මෙසේ බදු පනවන විට ගලවංකාවේ රජයද එකට එක කිරීමයි. අන්තිමේදී දෙරටේම මාළු හා අල කිලෝවක මිල අලර් (හෝ ගලර්) 1.000ක් වන තුරු, එනම් තවදුරටත් බදු ඉහළ නැංවීමෙන් ලාභයක් නැති වන තුරු, රජයයන් දෙකම බදු ඉහළ නංවනු ඇත. අන්තිමට දෙරටින් එක් රටකටවත් විශේෂ වාසියක් නැත. 

ඉහත ආකාරයෙන් දෙරටක් 'තරඟයට' ආනයන අපනයන බාධක දැමීමෙන් දෙරටේම පාරිභෝගිකයින් ගෙවන මිල අන්තිමේදී වැඩි වේ. මේ වැඩි මිලේ වාසිය යන්නේ ඒ රටවල රජයන්ටය. තමන්ගේ රටේ වැසියන්ට හැකි තරම් අඩුවෙන් අවාසියක් වන පරිදි ආනයන අපනයන බදු පැනවීමට දෙරටම උත්සාහ කළත් අවසානයේ සිදුවන්නේ එක් රටකටවත් එවැනි විශේෂ වාසියක් නැති වී අකාර්යක්ෂමතාවයන් වැඩිවීම පමණි. එහෙත්, මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එය වෙනස් කිරීම පහසු නැත. එක් රටක් ඒක පාර්ශ්වීය ලෙස බදු ඉවත් කළ විට ඒ වාසිය අනිත් රටට ලබා ගැනීමට පුළුවන. එය සිදු නොවන පරිදි, දෙරටම එක් වර මෙවැනි බාධක ඉවත් කිරීම ප්‍රායෝගිකව සිදු වන්නේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟිනි.

Monday, February 29, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -2


පළමු කොටස

පෙර ලිපියෙන් මම ජාත්‍යන්තර වෙළඳාමට අදාළ 'පරිපූර්ණ වාසිය' නම් වූ සංකල්පය හඳුන්වා දුන්නෙමි. ඒ සඳහා මා උදාහරණයට ගත්තේ ප්‍රමාණයෙන් සමාන ආර්ථිකයන් ඇති රටවල් දෙකකි. මගේ උදාහරණයේදී මා රටවල් දෙකේ ජනගහණය සමාන ලෙස සැලකුවද, එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැත. උදාහරණයක් ලෙස ගලවංකාවේ ජනගහණය 100ක් නොවී 1000ක් වීනම් සහ එක් පුද්ගලයෙකුගේ නිෂ්පාදන හැකියාව අල ග්‍රෑම් 300ක් හා මාළු ග්රෑම් 100ක් වූයේනම් ලැබෙන්නේද එකම ප්‍රතිඵලයයි. මෙහිදී අදාළ වන්නේ ආර්ථිකයේ ප්‍රමාණයයි. කෙසේ වුවද, ප්‍රමාණයෙන් වෙනස් ආර්ථිකයන් දෙකක් අතර සිදුවන වෙළඳාම මගේ පළමු ආකෘතිය මඟින් තේරුම් ගැනීමට නොහැකි විය හැකිය.

ප්‍රමාණයේ වෙනස ගැන කතා කිරීමට පෙර මේ උදාහරණයේදී දෙරටටම වාසි ලැබුණේ කෙසේද යන කරුණ සාකච්ඡා කළ යුතුය. යම් රටක ආර්ථිකයක් හුදෙකලාව ඇති විට එහි විවිධ භාණ්ඩ හා සේවාවන්හි සාපේක්ෂ මිල මට්ටම් සකස් වන්නේ රට තුළ එක් එක් භාණ්ඩය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා නිෂ්පාදන සාධක වල ඵලදායීතාව අනුවය. ඒ අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

රටවල් දෙකටම වාසියක් ලැබීමට හේතු වූයේ මේ වෙනසයි. මාළු කිලෝඑක අල කිලෝ 0.333 කට වැඩි ඕනෑම මිලක් අල්ලංකාවට වාසිදායකය. මාළු කිලෝඑක අල කිලෝ 3 කට වඩා අඩු ඕනෑම මිලක් ගලවංකාවට වාසිදායකය. මේ පරාසය තුළ ඕනෑම මිලකට රටවල් දෙක අතර ගණුදෙණුවක් සිදුවීමේ ඉඩකඩක් පවතී. මගේ උදාහරණයේදී එය සිදුවුනේ මාළු කිලෝඑකකට අල කිලෝඑකක් යන පදනමිනි. එහිදී, දෙරටේම ජාතික ආදායම් දෙගුණ විය. වෙනත් අයුරකින් කිවහොත් දෙරටටම සමාන වාසියක් ලැබුණේය.

රටවල් දෙකක් අතර සිදුවන ගණුදෙණුවලදී ඉහත උදාහරණයේ මෙන් හැම විටම දෙරටටම සම වාසි සිදුනොවේ. උදාහරණයක් වශයෙන් හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 0.333-1.00 අතර (0.5 හෝ 0.75 වැනි) අනුපාතයකින්නම් ගලවංකාවට වැඩි වාසි ලැබේ. එමෙන්ම, හුවමාරුව සිදු වුනේ මාළු කිලෝඑකට අල කිලෝ 1.00-3.00 අතර (1.5 හෝ 2.5 වැනි) අනුපාතයකින්නම් අල්ලංකාවට වැඩි වාසි ලැබේ. එය තීරණය වන්නේ දෙපාර්ශ්වය අතර සිදුවන හෙට්ටු කිරීම් මතය. කෙසේ වුවද, කවර තත්ත්වයක් යටතේ වුවද ස්වේච්ඡාවෙන් කරන ගනුදෙණුවකින් එහි එක් පාර්ශ්වයකටවත් අවාසියක් සිදු නොවේ. සිදු විය හැක්කේ ලැබෙන වාසියේ අඩු වැඩි වීමකි.

සාමාන්‍යයෙන් ඕනෑම රටකට තවත් රටකට සාපේක්ෂව පරිපූර්ණ වාසියක් ඇති නිෂ්පාදන යම් ප්‍රමාණයක් තිබේ. ජාත්‍යන්තර වෙළඳාම වාසිදායක වන්නේ එවැනි පරිපූර්ණ වාසි ඇති විට පමණක්ද? එමෙන්ම, රටවල් දෙකේ ආර්ථික ප්‍රමාණයෙන් අසමාන වූ විට සිදු වන්නේ කුමක්ද?

යම් රටකට කිසිදු නිෂ්පාදනයක් හා අදාළව පරිපූර්ණ වාසියක් නැතත් 'තුලනාත්මක වාසියක්' ඇති නිසා එවැනි තත්ත්වයක් යටතේ වුවද ජාත්‍යන්තර වෙළඳාමෙන් සිදුවන්නේ වාසියකි. දැන් අපි මේ 'තුලනාත්මක වාසිය' නම් වූ සංකල්පය ගැන කතා කරමු.

මේ දෙවන ආකෘතියේද අල්ලංකාව පළමු ආකෘතියේ අල්ලංකාවට සමානය. ජනගහණය 100කි. එයින් 25 දෙනෙකු මාළු අල්ලද්දී 75 දෙනෙකු අල ගලවති. අල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් (පෙර මෙන්ම) මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 1 බැගින් කිලෝ 75 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3 බැගින් කිලෝ 75 කි.

අල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 3කට හුවමාරු වේ.

මේ දෙවන ආකෘතියේ අල්ලංකාව වෙළඳාම් කරන්නේ හොල්ලංකාව නම් වූ වඩා විශාල ආර්ථිකයක් ඇති රටක් සමඟය. එහිද ජනගහණය 100කි. එහෙත්, හොල්ලංකාවේ වැසියෙකු අල මෙන්ම මාළු නිෂ්පාදනය අතින්ද අල්ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. හොල්ලංකාවේ 50 දෙනෙකු මාළු අල්ලද්දී 50 දෙනෙකු අල ගලවති. හොල්ලංකාවේ නිෂ්පාදන හැකියාවන් මෙසේය.

අල- එක් අයෙකු කිලෝ 2.25 බැගින් කිලෝ 112.5 කි.
මාළු- එක් අයෙකු කිලෝ 3.5 බැගින් කිලෝ 175 කි.

හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට (3.5/2.25) හුවමාරු වේ.

මේ රටවල් දෙක අතරින් අල වලින් මෙන්ම මාළු වලින්ද පරිපූර්ණ වාසිය ඇත්තේ හොල්ලංකාවටය. එසේනම්, හොල්ලංකාව සමඟ ගණුදෙනු කිරීමෙන් අල්ලංකාවට වාසියක් ලබා ගත නොහැකිද?

පරිපූර්ණ වාසියක් නැතත් අල්ලංකාවට තුලනාත්මක වාසියක් ලබා ගැනීමට බාධාවක් නැත.

අල්ලංකාවේ අල කිලෝ 1ක් හුවමාරුවන්නේ මාළු කිලෝ 3කටය. හොල්ලංකාවේ අල කිලෝ 1ක් මාළු කිලෝ 1.556 කට හුවමාරු වේ. මාළු කිලෝ 3ක් දී අල්ලංකාවෙන් අල කිලෝවක් ගන්නවාට වඩා මාළු කිලෝ 1.556 කට හොල්ලංකාවෙන් අල කිලෝවක් ගැනීම අල්ලංකාවට වාසිදායකය. එමෙන්ම, අල කිලෝවකට හොල්ලංකාවෙන්  මාළු කිලෝ 1.556ක් ගන්නවාට වඩා අල්ලංකාවෙන් මාළු කිලෝ 3ක් ගැනීම හොල්ලංකාවට වාසිදායකය. ඒ නිසා, අල කිලෝවකට මාළු කිලෝ 1.556-3.00 අතර, දෙරට එකඟවන ඕනෑම අනුපාතයකට හුවමාරුවක් කිරීම දෙරටටම වාසිදායකය. මෙසේ එකඟවන අනුපාතය අපි අල කිලෝවකට මාළු කිලෝ 2.333 වැනි අතරමැදි ගණනක් ලෙස සලකමු.

දැන් අල වලට පරිපූර්ණ මෙන්ම තුලනාත්මක වාසියක්ද ඇති හොල්ලංකාව අල ගලවයි. මාළු වලට පරිපූර්ණ වාසියක් නැතත්, තුලනාත්මක වාසියක් ඇති අල්ලංකාව මාළු අල්ලයි.

අල්ලංකාව මාළු කිලෝ 300ක් (3.0x 100)නිපදවයි.
හොල්ලංකාව අල කිලෝ 350ක් (3.5x 100) නිපදවයි.

අල්ලංකාව හොල්ලංකාවට මාළු කිලෝ 210ක් අපනයනය කර අල කිලෝ 90ක් (210/2.333 = 90) ආනයනය කරයි.

දැන් අල්ලංකාවේ පරිභෝජනය මාළු කිලෝ 90ක් (300 - 210) සහ අල කිලෝ 90 කි. වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 75ක් සහ අල කිලෝ 75 ක් විය. මේ අනුව, අල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

හොල්ලංකාවේ සිදුවන්නේ කුමක්ද? එහි පරිභෝජනය මාළු කිලෝ 210ක් සහ අල කිලෝ 135 කි (225-90). වෙළඳාම ඇරඹීමට පෙර පරිභෝජනය මාළු කිලෝ 175ක් සහ අල කිලෝ 112.5 ක් විය. මේ අනුව, හොල්ලංකාවේ වැසියෙකුගේ අල පරිභෝජනය මෙන්ම මාළු පරිභෝජනයද 20%කින් බැගින් වැඩි වී තිබේ.

මේ උදාහරණයේදී රටවල් දෙකේම අල හා මාළු පරිභෝජනය එකම ප්‍රතිශතයකින් වැඩි වුවද එය හැම විටම එසේ සිදු නොවේ. හුවමාරු අනුපාතය වෙනස් වන විට දෙරටේ වාසි අවාසි වෙනස් වෙයි. එහෙත්, සමස්තයක් වශයෙන් දෙරටටම හැම විටම සිදුවන්නේ වාසියකි.

(Image: www.yourarticlelibrary.com)

Saturday, February 27, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1


රටවල් දෙකක් අතර ඇති කර ගන්නා වෙළද ගිවිසුමකින් ඒ එක් එක් රටේ විවිධ අංශ වලට සිදුවන බලපෑම හැදෑරීම සංකීර්ණ, කාලය ගත වන වැඩකි. එට්කා ගිවිසුමට පක්ෂ වීමට, විරුද්ධ වීමට හෝ මධ්‍යස්ථව අදහස් දැක්වීමට සදාචාරාත්මක වගකීමක් ඇති ආර්ථික විද්‍යාඥයින් ඕනෑ තරම් සිටින පසුබිමක, විනෝදාංශයක් වශයෙන් කරන කටයුත්තක් වෙනුවෙන් එවැනි ලොකු කාලයක් යෙදවීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් මට නැත. එහෙත්, එට්කා ගිවිසුම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාම විෂයයෙහි උනන්දුවක් ඇති වී ඇති මේ වෙලාවේ, ඒ හා අදාළ මූලික විෂය කරුණු කිහිපයක් කතා කිරීමනම් එතරම් මහන්සියක් විය යුතු කටයුත්තක් නොවේ.

රටවල් දෙකක් අතර වෙළඳාම නිදහස් කිරීම හොඳද නරකද යන්න සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙකු සාකච්ඡා කරන මාතෘකාවක් නොවේ. එය තරමක හෝ ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයෙකුට "කුකුළාගේ කරමල රතුද නැත්නම් සුදුද?" ආකාරයේ, පිළිතුර පිළිබඳ අවිනිශ්චිතතාව අඩු, ප්‍රශ්නයකි. ආර්ථික විද්‍යාඥයෙකු මෙවැනි කරුණක් අරභයා විමසන ප්‍රශ්න වන්නේ "කුකුළාගේ කරමල සුදුවීමට ඇති ඉඩකඩ මොනවාද?" හෝ "කුකුළාගේ කරමල සුදුවුනේ ඇයි?" වැනි ප්‍රශ්නයි.

ජාත්‍යන්තර වෙළඳාම හා අදාළ මූලික සංකල්ප දෙකක් වන්නේ 'පරිපූර්ණ වාසිය (absolute  advantage)' සහ 'තුලනාත්මක වාසිය (comparative advantage)' යන තත්ත්වයන්ය. මේ ලිපියේ අරමුණ මේ සංකල්ප දෙකෙන් පළමුවැන්න පැහැදිලි කිරීමයි. 


දැන් අපි අපේ පළමු සරල ආකෘතියට යමු.

ගලවංකාව සහ අල්ලංකාව කියා රටවල් දෙකක් තිබේ. මේ රටවල් දෙක ජනගහණය අතින් සමානය. එක් රටක 100 බැගිනි. රටවල් දෙකේම ජනජීවිතය හා ආහාර පුරුදු සමානය. රටවැසියෝ එක්කෝ ඉබේ වැවී ඇති අල ගලවති. නැත්නම් මාළු අල්ලති. ඉන්පසු අල සහ මාළු යොදා හදන කෑමක් කා ඇල්වතුර බී නිදාගනිති. රටවල් දෙකේම තත්ත්වය මේ කරුණු අනුව සමානය. කෙසේ වුවද, අල සහ මාළු නිෂ්පාදනය කිරීමට වැය කළ යුතු ශ්‍රමය (නිෂ්පාදන සාධක) අතින් රටවල් දෙක සමාන නැත.

පළමුව අපි අල්ලංකාවට යමු. මෙහි වැසියෙකුට දවසක් මහන්සි වී මාළු කිලෝ 3ක් ඇල්ලිය හැකිය. නැත්නම් අල කිලෝවක් ගැලවිය හැකිය. ඕනෑම අල ගලවන්නෙකුට මාළු අල්ලන්නෙකු වීමට හෝ මාළු අල්ලන්නෙකුට අල ගලවන්නෙකු වීමට හැකි නිසා අල්ලංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම අල කිලෝවකි. නැත්නම්, මාළු කිලෝ තුනකි. ඒ අනුව,
අල්ලංකාව තුල අල කිලෝවක් මාළු කිලෝ තුනකට හුවමාරු වේ. 

අල්ලංකාවේ අල වවන්නෝ අල ග්‍රෑම් 250ක් මාළු ග්‍රෑම් 750කට හුවමාරු කරති. මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 2250ක් අල ග්‍රෑම් 750කට (අල වවන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ අල්ලංකාවේ කවුරුත් අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

ගලවංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. එහි වැසියෙකුට දවසක් මහන්සි වී අල කිලෝ 3ක් ගැලවිය හැකිය. නැත්නම් මාළු කිලෝවක් ඇල්ලිය හැකිය. ගලවංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම මාළු කිලෝවකි. නැත්නම්, අල කිලෝ තුනකි.
ඒ අනුව, ගලවංකාව තුල මාළු කිලෝවක් අල කිලෝ තුනකට හුවමාරු වේ.

ගලවංකාවේ මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 250ක් අල ග්‍රෑම් 750කට හුවමාරු කරති. අල වවන්නෝ අල ග්‍රෑම් 2250ක් මාළු ග්‍රෑම් 750කට (මාළු අල්ලන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ ගලවංකාවේ වැසියනුත් අල්ලංකාවේ වැසියන් මෙන්ම අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

මේ රටවල් දෙකෙන් අල්ලංකාවට ගලවංකාවට සාපේක්ෂව මාළු නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. එමෙන්ම, ගලවංකාවට අල්ලංකාවට සාපේක්ෂව අල නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. මෙහිදී පරිපූර්ණ වාසියක් ලෙස හැඳින්වෙන්නේ සමාන නිෂ්පාදන සාධක යොදවා එක් රටකට වෙනත් රටකට වඩා වැඩි නිෂ්පාදනයක් කිරීමට ඇති හැකියාවයි.


තමන්ට පරිපූර්ණ වාසියක් ඇති භාණ්ඩයක් නිපදවා වෙනත් රටකට විකිණීමෙන් ඕනෑම රටකට වාසියක් ලැබේ. උදාහරණයක් වශයෙන් අල්ලංකාවේ සියල්ලෝම මාළු අල්ලද්දී ගලවංකාවේ සියල්ලෝම අල ගලවතැයි සිතමු. දැන් අල්ලංකාවේ මාළු කිලෝ 300ක්ද ගලවංකාවේ අල කිලෝ 300ක්ද නිපදවේ. අල්ලංකාවේ මාළු වලින් කිලෝ 150ක් ගලවංකාවේ අල කිලෝ 150ක් සමඟ හුවමාරු කරයි.

අන්තිමේදී අල්ලංකාවේ වැසියෙකු තමන් අල්ලන මාළු කිලෝ තුනෙන් කිලෝ 1.5ක් ගලවංකාවේ වැසියකුගේ අල කිලෝ 1.5ක් වෙනුවෙන් හුවමාරු කරයි.  අල්ලංකාවේ මෙන්ම ගලවංකාවේ වැසියෝත් අල කිලෝ 1.5ක් සහ මාළු කිලෝ 1.5ක් බැගින් පරිභෝජනය කරති. රටවල් දෙක අතර වෙළඳාම නිසා දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වී තිබේ. මෙහිදී, කිසිවෙකුට අවාසියක් වී නැත.

දෙවන සංකල්පය වන තුලනාත්මක වාසිය පිළිබඳව ඊළඟ ලිපියෙන් කතා කරමු.


(Image: lexleader.net)