Showing posts with label උද්ධමනය. Show all posts
Showing posts with label උද්ධමනය. Show all posts

Sunday, July 28, 2024

සංචිත මුදල් සැපයුම සහ පාරිභෝගික මිල දර්ශකය

 


මේ හා පළ කරන රේඛා ප්‍රස්ථාරයෙහි පෙන්වා තිබෙන්නේ 2019 වසර මුල සිට 2024 මැද දක්වා කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම (රුපියල් මිලියන වලින්) සහ පාරිභෝගික මිල දර්ශකය (2021=100) වෙනස් වූ ආකාරය. නිල් පාට ඉර සංචිත මුදල් සැපයුම. තැඹිලි පාට ඉර පාරිභෝගික මිල දර්ශකය.

සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ  සංචිත මුදල් සැපයුම වැඩි වීමයි. උද්ධමනය ලෙස සලකන්නේ වසරක කාලයක් තුළ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් ඇති ප්‍රතිශතයයි. 

සල්ලි අච්චු ගහද්දී උද්ධමනය වැඩි වන බව දැන් ගොඩක් අය දන්නා සාමාන්‍ය කරුණක්. මේ විචල්‍යයින් දෙක අතර සම්බන්ධය ඒ තරම්ම සරල නැතත්, ඉහත ප්‍රස්ථාරය දෙස බැලූ විට එම සම්බන්ධය පහසුවෙන් නිරීක්ෂණය කිරීම අසීරු කරුණක් නෙමෙයි. 

මේ වන විට සංචිත මුදල් සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යනු ලබන අතර සාමාන්‍ය මිල මට්ටමද ස්ථාවරව පවතිනවා. ඒ නිසා, උද්ධමනයක් නැති තරම්.

උද්ධමනය අඩු වී ඇතත් බඩු මිල කලින් මට්ටමට පහත වැටී නැත්තේ ඇයි කියන එකත් මේ ප්‍රස්ථාරය ඇසුරෙන්ම තේරුම් ගන්න පුළුවන්. සංචිත මුදල් සැපයුම තව දුරටත් වේගයෙන් වැඩි වෙන්නේ නැතත් එය කලින් මට්ටමට පහත වැටී නැහැ. 

මෙහි පෙන්වා නැතත්, සංචිත මුදල් සැපයුම මිල මට්ටම කෙරෙහි බලපාන්නේ පුළුල් මුදල් සැපයුම හරහා. පුළුල් මුදල් සැපයුමට රටේ ජනතාවට අයිති ස්ථිර තැන්පතු ආදී බැංකු තැන්පතු සියල්ල ඇතුළත්. මෙම තැන්පතු සඳහා පසුගිය කාලයේදී සැලකිය යුතු පොලියක් ලැබී මුදල් ප්‍රමාණයේ විශාල ගුණනය වීමක් සිදු වී තිබෙනවා. මුදල් සැපයුම කලින් මට්ටමට පහත වැටෙන්නටනම් එසේ සිදු වූ ප්‍රසාරණය ආපසු හැරිය යුතුයි. ඒ කියන්නේ පසු ගිය අවුරුදු වල ගෙවූ පොලී සියල්ල නැවත අය කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් යනු සිදු වන හෝ සිදු කළ හැකි දෙයක් නෙමෙයි. 

ඉහත හේතුව නිසා මුදල් සැපයුම ඉහළ යාම පාලනය කළ හැකි වුවත් එය පෙර මට්ටමට පහත දමා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ නිසාම, බඩු මිල පෙර මට්ටමට පහත වැටීමද සිදු නොවන දෙයක්. නමුත්, මේ වෙද්දී පොලී අනුපාතික උද්ධමන වේගයට වඩා වැඩි නිසා මිල ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් වත්කම් ඉහළ යමින් තිබෙනවා. ඒ හරහා මිල ඉහළ යාමේ අවාසිය ක්‍රමයෙන් නිශේධනය වෙමින් තිබෙනවා.

මහ බැංකුව විසින් විදේශ සංචිත තර කර ගැනීමට විදේශ විණිමය මිල දී ගැනීම සඳහා රුපියල් නිකුත් කරද්දී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. මෙය වලක්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් රජයට ලබා දී ඇති ණය රජයෙන් ආපසු ලබා ගන්නට සිදු වෙනවා. එවිට එසේ ආපසු ලැබෙන රුපියල් වලින් විදේශ විණිමය මිල දී ගනිමින් සංචිත මුදල් සැපයුම ස්ථාවරව තියා ගන්න පුළුවන්. මහ බැංකුව විසින් දැන් කරමින් සිටින්නේ එයයි.

මේ වැඩේ මේ විදිහට වෙන්නනම් රජය විසින් මහ බැංකුවට කලින් ගත් ණය ආපසු ගෙවිය යුතුයි. එසේ කරන්නනම් එක්කෝ රජයේ ආදායමෙන් යම් මුදලක් ඉතිරි කර ගන්නට සිදු වෙනවා. එසේ නැත්නම් වෙනත් පාර්ශ්වයකින් එම මුදල ණයට ගන්නට සිදු වෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා රජයේ ආදායමෙන් කොටසක් ඉතිරි කරගෙන ප්‍රාථමික අයවැය අතිරික්තයක් නඩත්තු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වන්නේ ඒ නිසා. 

ඒ වගේම, මහ බැංකුවට නැවත උද්ධමනය ඇති නොකර විදේශ සංචිත තර කර ගත හැකි වන්නේ රජය විසින් මහ බැංකුවෙන් ණයට ගත් මුදල් ආපසු ගෙවන්නේනම් පමණයි. රුපියල ශක්තිමත්ව  තබාගෙන, ඩොලරයක මිල ඉහළ යාම සීමා කර ගන්නටනම් ශක්තිමත් විදේශ සංචිතයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව, ඩොලරයක මිල පහළින් තියෙන්නෙත් ප්‍රාථමික අයවැය අතිරික්තයේ උදවුවෙන්ම බව පැහැදිලි වෙනවා ඇති. එක පැත්තකින් බදු වැඩි වී තිබුණත්, එහි ප්‍රතිඵලයක් විදිහට ඩොලරයක මිල පහළ ගොස් ඒ හරහා බඩු මිල පාලනය වීමෙන් බදු වැඩි වීමේ අවාසියත් යම් තරමකින් හෝ නිශේධනය වෙනවා.

Wednesday, June 21, 2023

අද පොලී අනුපාතික


අපේක්ෂිත පරිදිම, මේ වන විට භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වේගයෙන් පහත වැටෙමින් පවතිනවා. අද පැවති වෙන්දේසියේ මිල ගණන් පහත පරිදියි.

මාස 3 - 23.00%

මාස 6 - 19.49%

මාස 12- 16.99%

මෙහි දැකිය හැකි වැදගත්ම දෙය ඉතා තියුණු ලෙස ඵලදා වක්‍රය පහතට නැඹුරු වී තිබීමයි. එයින් පෙන්නුම් කරන්නේ වේගයෙන් පොලී අනුපාතික පහත වැටීම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවයි.

මාස 3 පොලී අනුපාතිකය 23.00% මට්ටමේ තිබියදී මාස 6 පොලී අනුපාතිකය 19.49% වීමෙන් අදහස් වන්නේ දෙවන මාස 3 තුළ ලබා ගත හැකි ප්‍රතිලාභ අනුපාතිකය 15.98%ක් පමණක් බවයි. එමෙන්ම, මාස 6 පොලී අනුපාතිකය 19.49% මට්ටමේ තිබියදී මාස 12 පොලී අනුපාතිකය 16.99% වීමෙන් අදහස් වන්නේ දෙවන මාස 6 තුළ ලබා ගත හැකි ප්‍රතිලාභ අනුපාතිකය 14.49%ක් පමණක් බවයි.

මේ අතර අද ප්‍රකාශයට පත් කර ඇති ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය 22.1% ලෙස වාර්තා වන අතර ආහාර උද්ධමනය 15.8% දක්වා අඩු වී තිබෙනවා. මෙම ජූනි මාසයේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 12% මට්ටම දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 11% මට්ටම දක්වාත් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කළ හැකි අතර ඉදිරි මාසය වන විට පිළිවෙලින් 8% හා 6% පමණ දක්වා අඩු විය හැකියි. ඒ අනුව, පොලී අනුපාතිකද තව දුරටත් සැලකිය යුතු ලෙස පහත වැටෙන්නට ඉඩ තිබෙනවා.

Saturday, June 3, 2023

උද්ධමනය, මාළු මිල හා එළවළු මිල


උද්ධමනය අඩුවීම මාතෘකාවක් බවට පත් වෙද්දී සමහර අය මාළු මිල, එළවළු මිල වගේ දේවල් ගැන අවධානය යොමු කරවනවා. මෙහි ප්‍රතිචාර දක්වන අයව අපි පැත්තකින් තියමුකෝ. ඇතැම් මාධ්‍ය විසින්ද මේ වැඩේ ලොකුවටම කරනවා.

අපේ එක් පාඨකයෙක් විසින් මැයි 30 සිරස ප්‍රවෘත්ති වල කොටසක් අපේ අවධානයට යොමු කර තිබුණා. 

"තෝරා මාළු 3,800යි. පරාවෝ තියෙනවා 3,000යි. තලපත් 3,400යි." මයික් එක අල්ලද්දී එක් අයෙක් කියනවා.

"උඩරට එළවලු මිල සැසඳීමේදී වැඩිම මිල ඉහළ යාමක් සිදු වී ඇත්තේ කැරට් සඳහායි. එය 64%ක්. ... නෝකෝල් රාබු වැනි මිල ගණන්ද 40%කින් පමණ ඉහළ ගොස් තිබුණා. පහත රට එළවළු සඳහා වැඩිම මිල ඉහළ යාම සිදුව තිබුණේ කරවිල සඳහායි. එය 42%ක්." නිවේදිකාව කියනවා.

"...අපි ආවා භූමියේ යථාර්තය බලන්න." සිරස මාධ්‍යවේදිනියක් පොළේ ගිහින්. 

"...මම ගිය සතියේ එනකොට මුකුණුවැන්න මිටියක් තිබුණා රුපියල් 30ත් 50ත් අතර වගේ මිලකට. අක්කේ දැන් මේ වන විට මුකුණුවැන්න මිටියක් කීයද?"

"සීයයි"

මේ එහි ප්‍රදර්ශනය කරන තවත් මිල ගණන් කිහිපයක්.

අප්‍රේල් 28 පැවති මිල 

කැරට් - 200

බෝංචි - 280

ලීක්ස් - 240


අද (මැයි 30) මිල 

කැරට් - 480

බෝංචි - 600

ලීක්ස් - 480

"එහෙනම් මහ පොළොවේ යතාර්ථය මේකයි. දරාගන්න බැරි තරමේ ආහාර උද්ධමනයක් තවමත් ලංකාවේ දක්නට ලැබෙනවා." නිවුස්ෆස්ට් වෙනුවෙන් ඔමායා කෝවිලගොඩගේ කියනවා. 

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේදී ආහාර උද්ධමනය 21.5% දක්වා අඩු වෙලා තිබෙනවා. මාළු, එළවලු මිල ගණන් ඔය කියන තරම්ම වැඩි වෙලානම්, ආහාර උද්ධමනය 21.5% මට්ටමේ තියෙන්නේ කොහොමද?

පළමු ප්‍රශ්නය නිවුස්ෆස්ට් මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කරන මිල ගණන් මහ පොළොවේ යතාර්ථයද?

පහත තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2023 මැයි මාසයේ අවසාන සතිය තුළ එකතු කරගෙන ඉදිරිපත් කර තිබෙන සාමාන්‍ය (average) මිල ගණන්. 

පරා - 2,786.67

තලපත් - 3,120.67

කැරට් - 404.14

බෝංචි (කොළ)  - 503.20

ලීක්ස් - 451.43

මුකුණුවැන්න - 70

දැන් බැලූ බැල්මටම පේනවා සිරස මාධ්‍යවේදිනිය විසින් පෙන්වන "මහ පොළොවේ" මිල ගණන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මිල ගණන් වලට වඩා තරමක් වැඩි බව. එහෙමනම්, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව බොරු කරලද?

සිරස මාධ්‍යවේදිනිය විසින් පෙන්වන්නේ "මහ පොළොවේ" තිබෙන ඇයට පෙන්වන්න අවශ්‍ය නිශ්චිත තැනක් පමණයි. ඒ තැන ඈ විසින් හිතාමතා තෝරාගන්නා තැනක්. සිරස ප්‍රවෘත්ති ප්‍රකාශයේ මාළු ගැන කතා කරද්දී කතා කරන්නේ තෝරා, පරා, තලපත් වගේ මිල අධික මාළු ගැන විතරයි. රටේ සාමාන්‍ය මිනිස්සු ගොඩක් අය ආහාරයට ගන්න සාපේක්ෂව මිල අඩු සාලයෝ, ලින්නෝ, හුරුල්ලෝ වගේ මාළු ගැන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නැහැ. බොහෝ විට ඒ මාළු වලත් මිල වැඩි වෙලා වුනත්, මෙතැනදී සිරස ප්‍රවෘත්ති සංස්කාරක විසින් හිතාමතාම තෝරා ගන්නේ වැඩි ප්‍රවෘත්ති වටිනාකමක් තිබෙනවායැයි සිතන මිල ගණන් පමණයි. එළවලු ගැන කතා කරද්දී වුනත්, වැඩිම මිල වැඩිවීම් ගැන මිසක් මිල අඩු වීම් හෝ අඩු මිල වැඩිවීම් ගැන කතා කරන්නේ නැහැ. මහ පොළොවෙන් යථාර්තය හොයාගෙන ඉදිරිපත් කරන්නේ ප්‍රවෘත්ති වටිනාකම ගැන පමණක් සලකලා. 

එක පැත්තකින් මේක සිරස විසින් පමණක් හෝ මාධ්‍ය විසින් පොදුවේ කරන දෙයක් පමණක් නෙමෙයි. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දමන හෝ ශෙයා කරන ගොඩක් අය විසින් පෙන්වන්නෙත් තමන්ට පෙන්වන්න අවශ්‍ය දේවල්. (අපට වුනත් මේක අදාළයි). ප්‍රතිචාර දමන අයත් එහෙමයි. ඒකේ වැරැද්දක් නැහැ. තමන්ට කියන්න අවශ්‍ය දේ මිසක් වෙන අයට කියන්න අවශ්‍ය දේ කියන්නේ මොකටද?

ලංකාවේ ගොඩක් අය තවමත් හිතන්නේ තමන්ට අඩු මිලකට එළවලු, මාළු විකුණන එක රජය විසින් කළ යුතු දෙයක් කියලා. එළවලු, මාළු නිපදවන අය හිතන්නේ තමන්ගේ නිෂ්පාදන රජය විසින් වැඩි මිලකට මිල දී ගත යුතුයි කියලා. ඒ කාලයක් තිස්සේ ලංකාවේ අධ්‍යාපනය, මාධ්‍ය, කලාව, දේශපාලනය හරහා මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තිබෙන විදිහ. සමහර අය වෙළඳපොළ ගැන යාන්තමින් හෝ ඉගෙනගන්න උත්සාහ කරන්නේ අවුරුද්දකට කලින් ආර්ථිකය කඩා වැටුණු දවසේ සිටයි. ගොඩක් අය තවමත් ඔය ගොඩේ නැහැ.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මිල ගණන් එකතු කරන්නේ විධිමත් ලෙස, කිසියම් ක්‍රමවේදයකට අනුවයි. රටේ තැනින් තැන එකම භාණ්ඩයක වුනත් මිල ගණන් වෙනස්. කීල්ස් සුපර් මාර්කට් එකේ කැරට් කිලෝ එකක මිලත් දෙල්කඳ පොළේ මිලත් සමාන නැහැ. දෙල්කඳ පොළට ගියත් හැම තැනම මිල ගණන් සමාන නැහැ. සමහර තැන් වල මිල අඩුයි. තව සමහර තැන් වල මිල වැඩියි. ඒ වගේම කැරට් කියන්නේ සමජාතීය භාණ්ඩයක් නෙමෙයි. ප්‍රමාණය ලොකු පොඩි වෙද්දී මිල ගණන් වෙනස් වෙනවා. බෝංචි ගත්තත් එහෙමයි. සුදු, බටර් බෝංචි සහ කොළ පාට බෝංචි එකම මිලට විකිණෙන්නේ නැහැ. මාළු ගත්තත් ඔය වගේ වෙනස්කම් තිබෙනවා. 

මිල ගණන් අඩු වැඩි වෙන විදිහ හරි පිළිවෙලකට බලන්නම් මුලින්ම අදාළ භාණ්ඩය සම්බන්ධ කිසියම් සම්මතයක් හදාගන්න වෙනවා. දේශීය අර්තාපල් හා ආනයනික අර්තාපල් කියන්නේ වර්ග දෙකක්. සුදු බිත්තර හා රතු බිත්තර වෙනස්. ලොකු බිත්තර හා පොඩි බිත්තර එක මිලට විකිණෙන්නේ නැහැ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් එළවළු, මාළු මිල ගණන් එකතු කරන්නේ එකම සම්මතයක් අනුගමනය කරමින්. ඒ වගේම, මිල අඩු තැන් හෝ වැඩි තැන් තෝරා බේරාගෙන මිල ගණන් එකතු කරන්නේ නැහැ. හැමදාම මිල ගණන් එකතු කරන්නේ එකම තැන් වලින්. අද පොළේ මිල බලලා හෙට සුපිරි වෙළඳසැලේ මිල බැලුවොත් බොහෝ විට පෙනෙන්නේ ඒ තැන් දෙකේ මිල ගණන් වෙනස.

ඒ වගේම, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිරස මාධ්‍යවේදිනිය මෙන් එක තැනකින් පමණක් මිල ගණන් එකතු කරගන්නේ නැහැ. තැන් ගණනාවකින් මිල ගණන් අරගෙන සාමාන්‍ය අගය තමයි ඉහත ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා, සිරස මාධ්‍යවේදිනිය පෙන්වන මිල ගණන් මහ පොළොවේ යථාර්තය වෙන්න පුළුවන්. හැබැයි ඒ මහ පොළොවේ ඇය පෙන්වන තැන තිබෙන යථාර්තය. පොදුවේ ගත්තහම තත්ත්වය හරියටම ඊට සමාන නැහැ.

එහෙමනම්, මැයි මාසයේදී එළවලු, මාළු මිල ගණන් වැඩි වෙලා නැද්ද?

පහත තියෙන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2023 අප්‍රේල් මාසයේ අවසාන සතිය තුළ එකතු කරගෙන ඉදිරිපත් කර තිබෙන සාමාන්‍ය මිල ගණන්. 

පරා - 2,332.22

තලපත් - 2,539.38

කැරට් - 257.50

බෝංචි (කොළ)  - 318.33

ලීක්ස් - 346.96

මුකුණුවැන්න - 73

පැහැදිලි ලෙසම අප්‍රේල් මාසයේ එළවලු හා මාළු මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. නමුත්, සිරස කියන තරමට වැඩි වෙලා නැහැ. මෙහි තියෙන්නේ මාධ්‍ය විසින් වගේම දේශපාලනඥයින් විසින් මිනිස්සුන්ගේ ස්වභාවික දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවක්.

මාධ්‍යවේදිනිය විසින් පෙන්වන දැන් මිල ගණන් ඇත්ත මිල ගණන්. ඔය ගැන බොරු කියන්න බැහැනේ. මොකද ඕනෑම කෙනෙකුට අදාළ තැනට ගිහින් පරීක්ෂා කර බලන්න පුළුවන්. එතකොට වැඩේ අතේ මාට්ටු. හැබැයි මාසයකට කලින් මිල ගණන් කියලා ඉදිරිපත් කරන්නේ පට්ට බොරු. මොකද කාටවත් අතීතයට ගිහින් පරීක්ෂා කර බලන්න බැහැනේ. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් බඩු මිල අඩු වෙද්දී වගේම වැඩි වෙද්දීත් එකම ක්‍රමවේදයකට අනුව මිල ගණන් එකතු කරගෙන වාර්තා කර තියන්නේ අවශ්‍ය කෙනෙකුට අතීතයේ පැවති තත්ත්වය මතක් කර ගන්න. ඒ වුනත්, ගොඩක් අය ඒ වැඩේ කරන්නේ නැහැ. දැන් පෙන්වන "භූමියේ යථාර්තය" ඇත්ත නිසා මාසයකට කලින් තත්ත්වය ගැන කියන කතාවත් ඇත්ත කියා නිකම්ම පිළිගන්නවා.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවට අනුව මැයි අවසානයේදී මුකුණුවැන්න මිටියක් රුපියල් 70යි. සිරස මාධ්‍යවේදිනියට අනුව රුපියල් 100යි. මේක වෙන්න පුළුවන්. සාමාන්‍ය මිල රුපියල් 70 වෙද්දී සමහර තැන් වල මිල රුපියල් 100ක් වෙන්න පුළුවන්. හැබැයි සතියකට කලින් මිල රුපියල් 30ක් කියා කියද්දී ඇය කියන්නේ පට්ට බොරුවක්. සමහර විට සමහර තැන් වල රුපියල් 50ට තිබුණා වෙන්න පුළුවන්. 

රත්නපුරේ සමන් දේවාලයේ ගල් පැලයක් තිබෙනවා. ඕක දමලා තිබෙන පෙට්ටියේ වහලේ වැදිලා නැමිලයි තියෙන්නේ. සමහර වයසක අය කියන විදිහට ඒ අය පොඩි කාලයේ ඔය ගල් පැලය ඔයිට වඩා ගොඩක් උසින් අඩුයි. හැබැයි කාටවත් ඒ කතාව විශ්වාස කරනවා හෝ සැක කරනවා මිසක් තහවුරු කරගන්න විදිහක් නැහැ. අවුරුදු විසිපහකට තිහකට කලින් ගත්ත ඡායාරූපයක් එක්ක සංසන්දනය කළොත් ගල් පැලේ වැවිලාද කියලා හරියටම දැනගන්න පුළුවන් වුනත් එහෙම පරීක්ෂාවක් නොකර තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න අය ඉන්නවා. මේකත් ඒ වගේ දෙයක්.

මැයි, ජූනි, ජූලි මාස වල එළවළු, මාළු මිල වැඩි වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ගොඩක් වෙලාවට ජූනි මාසයේදී. මේක උද්ධමනයට සම්බන්ධ දෙයක් නෙමෙයි. අගෝස්තු වගේ වෙද්දී ඔය වැඩි වෙන මිල නැවත අඩු වෙනවා.

අප්‍රේල් වෙද්දී හරාය කාලය ඉවර වෙලා වාරකන් කාලය පටන් ගන්නවා. හරාය කාලෙට මුහුද නිසලයි. මූදූ රස්සාවට ගිහින් ලේසියෙන්ම හොඳ මාළු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ කාලෙට ධීවරයන්ගේ ප්‍රශ්නය අහුවෙන මාළු ටික විකුණගන්න එක. සැපයුම වැඩි වෙද්දී මිල පහළ යනවා. මිල පහළ ගියත් ප්‍රමාණය වැඩි නිසා ධීවරයින්ගේ ආදායම් අඩු වෙන්නේ නැහැ. එහෙම මිල අඩු කරලත් විකුණගන්න බැරි මාළු ජාඩි, කරවල කරනවා. 

වාරකන් කාලෙට එහෙම නැහැ. මූදු යන්න අමාරුයි. ඒ නිසා මාළු සැපයුම අඩුයි. මිල ඉහළ යන එකෙන් ධීවරයින්ට යම් සහනයක් ලැබෙනවා. කාගෙවත් මැදිහත්වීම් නැතත් වෙළඳපොළ ප්‍රශ්න විසඳන්නේ ඔය විදිහට. මාළු කන්න සල්ලි නැති අයට කරවල කන්න පුළුවන්. කෝඩෙ ගහලා ඉන්න ධීවරයන්ට හරාය කාලෙදී වේලපු කරවල විකුණලත් කීයක් හරි හොයා ගන්න පුළුවන්. ජූනි මාසය වාරකන් කාලයේ පීක් එක. හැම අවුරුද්දෙම වගේ ඔය කාලයට මාළු මිල ඉහළ යනවා. මාළු මිලේ වගේම එළවලු මිලේත් මේ වගේ වාරික (seasonal) උච්ඡාවචනයන් සිදු වෙනවා. එළවලු මිල සාමාන්‍යයෙන් වසරකට දෙවරක් පීක් වෙනවා. ජූනි හා දෙසැම්බර් මාස වලදී. ඒ නිසා ජූනි මාසය එළවලු වගේම මාළු මිලත් ඉහළ යන මාසයක්. දෙපැත්තේ මාස දෙකටත් මෙහි බලපෑම තිබෙනවා. 

එළවළු, මාළු මිල ඉහළ යද්දී සිරස වගේ මාධ්‍ය වලට රජමගුල්. නමුත් මිල අඩු වෙද්දී එවැනි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ. එවැනි වටිනාකමක් ලැබෙන්නනම් ගොවියෝ, ධීවරයෝ තමන්ගේ අස්වනු විකුණාගත නොහැකි වී වහ බොන තරමට මිල අඩු වෙන්න ඕනෑ. කවර හෝ විපක්ෂ දේශපාලන පක්ෂ වලටත් එහෙමම තමයි. අනෙක් පැත්තෙන් ආණ්ඩු පක්ෂයට පෙනෙන්නේ මිල අඩුවීම්. 

අන්තර්ජාලයේ හොයද්දී 2021 දෙසැම්බර් 21 සිරස ප්‍රවෘත්ති වල ක්ලිප් එකක් හමු වුනා (https://www.youtube.com/watch?v=KSage9Lpwhk). මාස 18කට කලින්. උද්ධමනය වැඩි වෙන්න කලින්. ආර්ථික අර්බුදය මහ පොළොවට එන්න කලින්. මාධ්‍යවේදියා තරුෂ කුමාරසිංහ. ඒකේ කියන විදිහට කැරට් තොග මිල රුපියල් 450යි. ඒ නිසා විකුණන්න වෙන්නේ රුපියල් 600ට. මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගම් සභාපති ඩී.එන්. සිල්වා මයික් එකට කියන විදිහට "එතකොට 250ක් රුපියල් තුන්සීයක් විතර වෙනවා". ඒ කියන්නේ කිලෝවක් රුපියල් 1,200ක්. රෙකෝඩින් එක කපලා අවශ්‍ය කෑලි පමණක් ප්‍රවෘත්ති වලට පෙන්වන නිසා කැරට්ද කියා හරියටම පැහැදිලි නැහැ. 

දැන් අපි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පැත්තකින්ම තියමු. සිරස "මහ පොළොවේ යථාර්තය" අනුව 2021 දෙසැම්බර් 17 කැරට් කිලෝ එකක් රුපියල් 600ක් පමණ වෙනවා. 2023 අප්‍රේල් 28 වෙද්දී, සිරස ප්‍රවෘත්ති අනුවම, ඔය මිල රුපියල් 200 දක්වා අඩු වෙලා. රටේ උද්ධමනය මේ තරම් ඉහළ යද්දී කැරට් මිල ඔය තරම්ම අඩුවුනානම් ඒක ප්‍රවෘත්තියක් වුනේ නැත්තේ ඇයි? ඒ ගොල්ලෝ පාර කියන්නේ ඔය විදිහට තමයි.

විධිමත්, සම්මත ක්‍රමයකට එකතු කරගෙන ඉදිරිපත් කරන නිල සංඛ්‍යාලේඛණ විශ්වාස කරනවද නැත්නම් පාර කියන මාධ්‍ය වලින් පෙන්වන දේවල් ඒ විදිහටම පිළිගන්නවද කියන එක පෞද්ගලික කාරණාවක්. කොහොම වුනත් ඔය දෙකේ වෙනස තමයි පැහැදිලි කළේ. 

උද්ධමනය කියා කියන්නේ බඩු මිල වැඩි වීම නෙමෙයි. කිසියම් මුදල් ඒකකයක වටිනාකම අඩුවීම. මුදල් ඒකකයක වටිනාකම අඩු වෙන්නේ මුදල් සැපයුම වැඩි වෙද්දී. හැබැයි මුදල් සැපයුම කියන්නේ විචලනය වන දෙයක්. දිනපතා, සතිපතා හෝ මාස්පතා මුදල් සැපයුමේ සිදුවන අඩු වැඩිවීම් බොහොමයක් නැවත ආපසු හැරවෙනවා. මුදල් සැපයුම ප්‍රායෝගිකව පහසුවෙන් ආපසු හැරවිය නොහැකි පරිදි ස්ථිර ලෙස වැඩි වෙලා කියා කියන්න පුළුවන් වෙන්නේ වසරක පමණවත් කාලය තුළ සිදු වී ඇති දේ දෙස බැලීමෙන් පමණයි.

උද්ධමනය මනිද්දී ඇත්තටම කරන්නේ මුදල් ඒකකයක මිල දී ගැනීමේ හැකියාව අඩු වී ඇති ආකාරය මනින එක. වසරකට කලින් රුපියල් 1000කින් මිල දී ගත් බඩු මල්ල මිල දී ගන්න අද කීයක් යනවද? මේක මනින්න යද්දී මතුවන ප්‍රශ්නයක් වන්නේ මුදලේ වටිනාකම අඩු නොවුනත් ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල විචලනය වන එක. මෙහි විස්තර කළ එළවලු හා මාළු උදාහරණ. වාරකන් කාලයට මාළු මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා නෙමෙයි. මුදලේ වටිනාකම අඩු වෙලා නිසා නෙමෙයි. ඒ කාලයට මාළු සැපයුම අඩු නිසා. වාරකන් කාලය ඉවර වෙද්දී වැඩි වූ මිල නැවත අඩු වෙනවා. එළවළු මිලත් එහෙමයි.

උද්ධමනය මනිද්දී මිල මට්ටම සංසන්දනය කරන්නේ පසුගිය වසරේ අදාළ මාසයත් එක්ක. විශේෂ හේතුවක් නැතුව පසුගිය මාසය එක්ක සංසන්දනය කරන්නේ නැහැ. පසුගිය මාසය එක්ක සංසන්දනය කළොත් එයින් පෙනෙන්නේ සැපයුමේ සිදුවන කාලික වෙනස්කම් මිසක් උද්ධමනය නෙමෙයි. අධි-උද්ධමන කාලයකනම් මාස්පතා සිදුවන මිල ඉහළ යාම් දිහා බලන එකේ ප්‍රයෝජනයක් තිබෙනවා. ඒ වගේම, රුපියලේ වටිනාකම රටේ භාණ්ඩ හා සේවා සියල්ල එක්ක පොදුවේ සංසන්දනය කරනවා මිසක් තලපත් මාළු හෝ කැරට් එක්ක පමණක් සංසන්දනය කරන්නේ නැහැ. 

මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය තුළ මාළු වියදම රුපියල් 1,004.60කින්ද, එළවළු වියදම රුපියල් 407.29කින්ද ඉහළ ගොස් තිබෙනවා. අර්තාපල් වැනි වෙනත් ඇතැම් ආහාර වර්ග වල මිලද ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, පළතුරු, කිරිපිටි, බිත්තර වැනි වෙනත් ඇතැම් ආහාර වර්ග වල මිල අඩු වී ඇති නිසා සමස්තයක් ලෙස මාසය තුළ ආහාර පැසෙහි මිල ඉහළ ගොස් තිබෙන්නේ රුපියල් 943.11කින් පමණයි. ආහාර මිල ගණන් මාසය තුළ මෙපමණකින් ඉහළ යද්දී ආහාර නොවන වියදම් රුපියල් 986.16කින්ම අඩු වී ඇති බැවින් සමස්තයක් තුළ මිල මට්ටමෙහි සුළු හෝ අඩුවීමකුයි සිදු වී තිබෙන්නේ. 

පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මාළු වියදම රුපියල් 1,787.81කින් ඉහළ ගොස් ඇති අතර සමස්තයක් ලෙස කොළඹ පවුලක ආහාර වියදම රුපියල් 9,904.00කින් ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 0% නොවී 21.5% මට්ටමේ තිබෙන්නේ ඒ නිසා.

උද්ධමනය නිසා මුදලේ ක්‍රය ශක්තිය විශාල ලෙස අඩුවීමෙන් මාළු හෝ එළවළු මිල ඉහළ යනවානම් එය ප්‍රශ්නයක් තමයි. නමුත්, කාලික කාලගුණ වෙනස්කම් නිසා සැපයුම වෙනස් වීම හේතුවෙන් සිදුවන මිල අඩු වැඩි වීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. හරාය කාලයේදී මාළු සැපයුම වැඩි වෙද්දී මාළු මිල අඩු වෙනවා. ඒ විදිහට මිල අඩු වෙද්දී වෙළඳපොළ විසින් කරන්නේ පාරිභෝගිකයින්ට සංඥාවක් දෙන එක.

"අන්න මාළු ලාබ වෙලා. ගිහින් අරගෙන කාපල්ලා!"

පාරිභෝගිකයෝ මාළු පරිභෝජනය වැඩි කරනවා. ඒ නිසා අල්ලන මාළු ටික විකිණෙනවා. ධීවරයින්ට මාළු විකුණගන්න බැරුව වහබොන්න වෙන්නේ නැහැ. විකුණගන්න බැරි නිසා නිෂ්පාදනය කඩා වැටෙන්නේ නැහැ.

අනෙක් අතට වාරකන් කාලයට මිල වැඩි වෙනවා. ඒ හරහා වෙළඳපොළ විසින් කරන්නේ ධීවරයින්ට සංඥාවක් දෙන එක.

"මුහුද රළුයි තමයි. හැබැයි අවදානම අරගෙන මූදු ගියොත් අවදානමට හරියන ලාබයක් ලැබෙනවා!"

මිල වැඩි නිසා ධීවරයෝ යම් පිරිසක් හරි මූදු යනවා. සැපයුම ටිකක් හරි වැඩි වෙනවා. නිෂ්පාදනය අඩියටම කඩා වැටෙන්නේ නැහැ.

ඔය වැඩේ වෙළදපොල විසින් කරනවා. ඕකට ධීවර ඇමතිවරුන් හෝ අමාත්‍යංශ නිලධාරීන් මහජන බදු මුදලින් නඩත්තු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි නිදහසෙන් පසු ලංකාවේ වෙලා තියෙන්නේ ඕක නෙමෙයි.

ලංකාවේ ධීවර ඇමති කෙනෙක් ඉන්නවා. අමාත්‍යංශයක් තිබෙනවා. මාළු මිල දී ගෙන බෙදා හරින්න හදපු ධීවර සංස්ථාවක් තිබෙනවා. සමාජවාදී මධ්‍යගත සැලසුමකට අනුව හදපු මේ ආයතන තවමත් තියෙනවා. ඒ නිසා, මාළු මිල වැඩි වෙද්දී මිනිස්සු ආණ්ඩුව දිහා බලන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට පුරුදු කරලා තියෙන්නේ වෙළඳපොළට කරන්න බැරි දේවල් ඇමතිට කරන්න පුළුවන් කියලයි. තවමත් ඔය කතාව කියන අය ඉන්නවා.

ලංකාවේ ධීවර ඇමති රස්සාව නොකරපු දේශපාලන පක්ෂයක් නැති තරම්. එජාප, ශ්‍රීලනිප, සමසමාජ, මහජන එක්සත් පෙරමුණු, දෙමළ කොන්ග්‍රස්, වගේම ජනතා විමුක්ති පෙරමුණේ ධීවර ඇමතිලා කාටවත් වාරකන් කාලයට මිල ඉහළ යන එක නවත්තන්න පුළුවන් වෙලා නැහැ. ඇමති කවුරු වුනත්, ධීවර ඇමතිට කාලගුණේ වෙනස් කරන්න බැහැ වගේම වාරකන් කාලෙට මාළු මිල ඉහළ යන එකත් වෙනස් කරන්න බැහැ. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒකට ඉඩ දිය යුතුයි. 

හැබැයි කාලිකව සිදුවන සැපයුම් උච්ඡාවචනයන් නිසා මිල වෙනස්වීම් වෙළඳපොළ විසින්ම නියාමනය කරනවා. ජාඩි, කරවල කියා කියන්නේ මෙය සිදු වන යාන්ත්‍රනය. ලංකාවේ මූදූකරේ මිනිස්සු මාළු ජාඩි කරන්න පටන් ගත්තේ රටේ ධීවර අමාත්‍යංශයක් හැදුනට පස්සේ නෙමෙයි. මේවා වෙළඳපොළ විසින් හදා දුන් ස්වභාවික විසඳුම්. 

ජාඩි, කරවල හදන එකේ නූතන ස්වරූපය ශීතාගාර. ශීතාගාර පහසුකම් වැඩි වන තරමට හරාය කාලෙදී එකතු වන මාළු අතිරික්තය ගබඩා කරගෙන වාරකන් කාලයට වෙළඳපොළට නිකුත් කිරීම මගින් සැපයුමේ සිදුවන උච්ඡාවචනයන් පාලනය කර ඒ හරහා මිලෙහි සිදුවන උච්ඡාවචනයන් පාලනය කරන්න පුළුවන්. එළවලු වලට වුනත් මේ වැඩේ කරන්න පුළුවන්. සංවර්ධිත රටවල ඔය වැඩේ වෙනවා.

දැන් මේ වැඩේ කළ යුත්තේ කවුද? ඒකත් කළ යුත්තේ රජයද? ධීවර සංස්ථාව වගේ ආයතන පිහිටවලා තියෙන්නේනම් මේක රජය විසින් කළ යුතු දෙයක් කියන අදහසින්. ඒ නිසා, අවශ්‍යනම් හිටපු ධීවර ඇමතිවරුන්ට චෝදනා කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් ප්‍රශ්නය සල්ලි කියලා. 

ප්‍රශ්නය සල්ලිනම් එතැනම අවුලක් තිබෙනවා. කරන වැඩේ කාර්යක්ෂමනම් යට කරන සල්ලි හොයාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. කරන වැඩේ අකාර්යක්ෂමනම් ඒ වගේ වැඩකට මහජන මුදල් නාස්ති කරන එකේ තේරුමක් නැහැ. 

වැඩේ ලාබනම්, පෞද්ගලික අංශයට අත ගහන්න බාධාවක් නැත්නම්, කවුරු හෝ කෙනෙක් ඔය ආයෝජනය කරනවා. ඒ හරහා මිල විචලනය ස්වභාවික ලෙස නියාමනය වෙනවා. 

ඒ කියන්නේ වාරකන් කාලයට මිල වැඩි නොවනවා කියන එක නෙමෙයි. වාරකන් කාලයට තව දුරටත් මිල ඉහළ යනවා. නමුත් යම් සීමාවකින් එහාට යන්නේ නැහැ. මේ සීමාව කුමක්ද?

වැඩේ වෙන්නනම් වාරකන් කාලයේ මාළු මිල සහ හරාය කාලයේ මාළු මිල අතර සැලකිය යුතු මිල වෙනසක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ මිල වෙනස ඔය කාලය තුළ ශීතාගාරයක මාළු තියාගෙන එසේ කිරීමේ විචල්‍ය පිරිවැයට අමතරව ස්ථිර පිරිවැය වෙනුවෙන් අවශ්‍ය තරම් මුදලකුත් ගන්නා අවදානම වෙනුවෙන් ප්‍රමාණවත් ලාබයකුත් ලැබිය හැකි තරම් විශාල වෙනසක් විය යුතුයි. ඔය අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවානම් පෞද්ගලික ආයෝජකයෝ වැඩේට අත ගහනවා. ඊට පස්සේ වාරකන් කාලයට වුනත් යම් සීමාවකින් එහාට මාළු මිල වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම, මාළු අස්වැන්න අඩු මාස වලදී ධීවරයාට ලැබෙන මිල ඕනෑවට වඩා අඩු වෙන්නෙත් නැහැ.

ඔය වගේ විශාල ආයෝජන දහ පහළොස් දෙනෙක් එකපාර කරන්නේ නැහැ. මුලින්ම අවදානම අරගෙන අත ගහන්නේ කවුරු හෝ එක්කෙනෙක්. එතකොට ටික කාලයකට ඒකාධිකාරයක් හැදෙනවා. එතකොට ඒ මනුස්සයාව මරාගෙන කාලා හරියන්නේ නැහැ. එක්කෙනෙක් ගන්න ලාබය දිහා බලාගෙන තමයි තවත් කෙනෙක් වැඩේට අත ගහන්නේ. වෙළඳපොළ ප්‍රමාණය, අවශ්‍ය ආයෝජනයේ විශාලත්වය වගේ හේතු නිසා ව්‍යාපාරිකයෝ හතර පස් දෙනෙක් මිසක් පනහක් හැටක්නම් කොහොමටවත් හැදෙන එකක් නැහැ. සහල්/ වී කර්මාන්තයේ වෙලා තියෙන්නෙත් ඔය වගේ දෙයක්.

සහල් ව්‍යාපාරය හා අදාළවනම් අතරමැදියන්ට කරන චෝදනා වල කෙළවරක් නැහැනේ. සහල් ව්‍යාපාරයේ අතරමැදියන් හරහා වෙන්නේ ඔය විදිහට සිදු විය හැකි මිල විචලනයන් සීමා වෙන එක. ඒ මිනිස්සු අවදානමක් අරගෙන ලොකු ආයෝජනයක් කරලා තියෙන්නේ ලාබයක් ගන්න තමයි. නමුත් මාළු මිල තරමට හාල් මිල උච්ඡාවචනය නොවන්නේ මේ අතරමැදියෝ ටික නිසා. ඔවුන් හරියට බදු නොගෙවනවානම් හෝ වෙනත් අනිසි වාසි ගන්නවානම් ඒ ගැන හොයා බලන එක අදාළ නිලධාරීන්ගේ වගකීමක්. ඒක මේකට අදාළ නැහැ. මාළු කර්මාන්තය ඇතුළෙත් ඔය වගේ අතරමැදියෝ කීප දෙනෙක් හිටියානම් ජූනි, ජූලි මාස වල මාළු මිල මේ තරමටම ඉහළ යන්නේ නැහැ. 

කවුරුවත් නොකරන දේකට සල්ලි දමන එකේ ලොකු අවදානමක් තිබෙනවා. කවුරු හෝ ඒ අවදානම ගන්නේ යම් කාලයකට ඒකාධිකාරයක් පවත්වා ගන්න ලැබීමේ වාසිය දිහාත් බලාගෙන. ඒ විදිහට හැදෙන ඒකාධිකාර කිසිසේත්ම නරක නැහැ. දෙවැන්නාට වෙළඳපොළට එන්න පොළඹවන්නේ පළමුවැන්නාගේ ඉහළ ලාබ. ඒ නිසා, ඒකාධිකාරය නැති කරන්නනම් කළ යුත්තේ පුළුවන් තරම් ලාබ ගන්න ඉඩ අරින එක මිසක් ඒකට බාධා කරන එක නෙමෙයි. ඇමරිකාව වගේ රටක් හා අදාළවනම් කතාව වෙනස්. නමුත් ලංකාව වගේ කුඩා ආර්ථිකයක් ඇතුළේ ඇමරිකාවේ දමන විදිගේ සීමා කිරීම් කරන්න ගියොත් අවදානමක් ගන්න කෙනෙකුට කවදාවත් ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ. 

තරඟය වැඩි වෙලා ලාබ නැති වෙන්නේ ලාබ ලබන්න ඉඩ දෙන තරමටයි. හැදෙන්න කලින් ඒකාධිකාර කියලා ලේබල් කරලා රජය විසින් බාධාකිරීම් කරද්දී  ඇත්තටම වෙන්නේ ඒකාධිකාරය බිඳ නොවැටී පවත්වා ගන්න උදවු කිරීමක් පමණයි. මොකද එවැනි බාධා කිරීම් වලට වැඩියෙන් බය වෙන්නේ කර්මාන්තයට අලුතෙන් එන්න ඉන්න අය. 

Wednesday, May 31, 2023

උද්ධමනය 25% මට්ටමට!

සැලකිය යුතු කාලයකට පෙර සිටම අප කීයූ පරිදි කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේදී  25.2% දක්වා පහත වැටී තිබෙනවා. ආහාර උද්ධමනය 21.5% දක්වා පහත වැටී ඇති අතර ආහාර නොවන උද්ධමනය 27.0% දක්වා අඩු වී තිබෙනවා. 

මෙය මහ බැංකුවට අලුත් අධිපතිවරයෙකු පත් කරන්නට සිදු වුනු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පැවති 29.8% අගයටද වඩා අඩු අගයක්. අපගේ ඇස්තමේන්තුව වනුයේ ඉදිරි මාසයේදී මෙම අගය 12% මට්ටම ආසන්නයට පහත වැටී ජූලි මාසයේදී තනි අංකයකට පැමිණෙනු ඇති බවයි. 

මේ වන විට පැහැදිලි ලෙසම පොලී අනුපාතික තිබෙන්නේ උද්ධමනයට වඩා ඉහළිනුයි. එමෙන්ම, ඉල්ලුම් පීඩන පහත යාම හා ඩොලර් ප්‍රවාහ රටට ගලා ඒම හමුවේ ප්‍රධාන වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිලද රුපියල් 300 සීමාවෙන් පහතට වැටී ඇති අතර ගැනුම් මිල රුපියල් 285 වැනි මට්ටමකට පහත වැටී තිබෙනවා. මෙම තත්ත්වයට මහ බැංකුව කෙලෙස ප්‍රතිචාර දක්වනු ඇත්දැයි හෙට බලාගන්න පුළුවන්. 

Monday, May 22, 2023

අප්‍රේල් ජාතික උද්ධමනය 33.6%යි!


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ ලංකාවේ උද්ධමනය 33.6% ලෙස වාර්තා වී තිබෙනවා. මෙය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි සටහන් වූ 35.3%ට වඩා අඩු අගයක් වන අතර මාසයක් තුළ 49.2% සිට 15.6%කින් පහත වැටීමක්.  

ආහාර උද්ධමනය 42.3% සිට 27.1% දක්වා අඩු වී ඇති අතර අනෙකුත් සෑම කාණ්ඩයකම උද්ධමනයෙහි විශාල අඩුවීම් දැකිය හැකියි. උද්ධමනය අඩු වීමට අමතරව දර්ශක අගයෙහිද, එනම් මිල මට්ටමෙහිද, 1%ක අඩු වීමක් පෙන්නුම් කරනවා.

දැනට පවතින ප්‍රවණතාව අනුව, ජූලි මාසයේදී උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙනවා. මැයි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් වීමට නියමිත අතර අපගේ ඇස්තමේන්තුව වනුයේ එම අගය 25% ආසන්න මට්ටමක පවතිනු ඇති බවයි. ජූනි මාසය වෙද්දී මෙම අගය 12% පමණ දක්වා පහත වැටෙනු ඇති බව අපගේ ඇස්තමේන්තුවයි. ඒ අනුව, ඒ වන විට පොලී අනුපාතික වලද විශාල අඩුවීමක් සිදු විය යුතුයි.

පසුගිය සතියේදී ආනයන ඉල්ලුම කෙරෙහි බලපෑ ඇතැම් සීමාවන් ඉවත් කරනු ලැබුවද ඩොලරයක සාමාන්‍ය මිල අද දිනයේ නැවතත් 300 සීමාවෙන් පහළට ලිස්සා ගොස් තිබීමෙන් පෙනෙන්නේ බැංකු පද්ධතිය තුළට සැලකිය යුතු විදේශ විණිමය ප්‍රවාහ ගලා එමින් ඇති බවයි. මෙම තත්ත්වය තුළ උද්ධමනය කෙරෙහි විණිමය අනුපාතයෙන් පීඩනයක් ඇති වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබෙන්නේ වසර අවසානයේදී උද්ධමනය 12%-18% සීමාවේ තිබෙනු ඇති බවයි. එහෙත්, උද්ධමනය ඊට වඩා අඩු වන බව ඉතාම පැහැදිලියි. මෙහි එක් "අහිතකර" ප්‍රතිඵලයක් වන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතයද ඇස්තමේන්තුගත අගයට වඩා අඩුවීම නිසා ණය සේවාකරණ ඉලක්ක තව දුරටත් සීමා වීමයි. 

Saturday, January 1, 2022

නින්දෙන් ඇහැරෙන උද්ධමන බිල්ලා


පසුගිය වසර අවසන්ව ඇත්තේ 12.1%ක උද්ධමනයක් වාර්තා කරමින්. ආහාර උද්ධමනය 22.1% තරම් ඉහළ අගයක්. වසරේ පළමු මාස 9 තුළම උද්ධමන දර්ශකය 4.4%කින් පමණක් ඉහළ යාමත්, අවසන් තෙමස තුළ පමණක් 7.4%කින් ඉහළ යාමත් අවධානය යොමු කළ යුතු කරුණක්. ඒ අනුව, අවසන් තෙමස තුළ පැවති උද්ධමනය සමාන කළ හැක්කේ 32.8%ක වාර්ෂික උද්ධමන අනුපාතයකටයි. මේ සංඛ්‍යාව දෙස බලා 2020 වසර තුළ උද්ධමනයේ දිශානතිය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්.

ඉහළ යන උද්ධමනය මිත්‍යාවන් ගණනාවක් බිඳ දමනවා. පළමුවැන්න, මුදල් සැපයුම ඉහළ දමමින් උද්ධමන රකුසාගෙන්ද බේරී සිටිය හැකි බවට පළ කෙරුණු අදහසයි. හිටපු මහ බැංකු අධිපතිවරයාද මේ න්‍යායේ ප්‍රකාශකයෙක්ව සිටියා. වත්මන් අධිපතිවරයා විසින් ධුරය භාර ගැනීමෙන් පසුව මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු වන බව පිළි ගනිමින් කතා කළත්, අවශ්‍ය අවස්ථාවේ මුදල් සැපයුම අඩු කර ගැනීමේ හැකියාව මහ බැංකුව සතු නිසා මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු නොවන ඇති බව අවධාරණය කළා.

අධිපති කබ්රාල්ට අනුව මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි කිරීම ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සැත් පිහියකින් රෝගියෙකුගේ සිරුර කැපීම වැනි දෙයක්. කපන්න වගේම රෝගියාට හානියක් නොවන සේ අවශ්‍ය අවස්ථාවේ කැපුම මහන්නත් වෛද්‍යවරයාට පුළුවන්. අධිපති ධුරයට කබ්රාල් පත් වීමෙන් පසුව ගත වූ තෙමස තුළ 32.8%ක වාර්ෂික උද්ධමනයකට සමාන අනුපාතයකින් මිල මට්ටම් ඉහළ යාම තුළ පෙනී යන්නේ මහන එක කපන තරම්ම ලේසි නැති බවයි.

උද්ධමනය විසින් බිඳ දමන දෙවන මිථ්‍යාව ඩොලරයේ මිල පාලනය කිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකි බවයි. මෙය සම්පූර්ණ බොරුවක්ම නොවන අර්ධ සත්‍යයක්. ආනයන සීමා කිසිවක් නැත්නම් ඩොලරයේ මිල පාලනය කිරීමෙන් උද්ධමනය පාලනය කළ හැකියි. එහෙත්, ආනයන සීමා ඇති විට ඩොලරයේ මිල පාලනය කළ පමණින් දේශීය වෙළඳපොළෙහි ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය සමතුලිත නොවන නිසා මුදල් සැපයුම ඉහළ මට්ටමක පවතින තුරු භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නොවැලැක්විය හැකියි.

බඩු මිල ඉහළ යාමට හේතුව ඉහළ බදු යන්නද, අඩු වශයෙන් ලංකාවේ සන්දර්භයේදී, මෙවැනිම මිථ්‍යාවක්. බදු වැඩියෙන් අය කරද්දී අයවැය හිඟය පහළ ගොස් සල්ලි අච්චු ගැසීමේ අවශ්‍යතාවය අඩු වන නිසා බදු හේතුවෙන් සෘජු ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ බලපෑම නිශේධනය වෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ බදු වැඩි කර, ඩොලරයද ඉහළ යන්න ඉඩ දී තිබියදීත්  උද්ධමනය මේ අයුරින් ඉහළ නොගොස් බඩු මිල පාලනය වී තිබුණේ උද්ධමනයට මුදල් සැපයුමේ බලපෑම ඔය දෙකෙන්ම සිදුවන බලපෑමට වඩා වැඩි නිසයි.

මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන මැදිකාලීන සාර්ව-ආර්ථික සැලසුම අනුව උද්ධමනය 4-6% අතර පවත්වා ගැනීම රජයේ සැලසුමයි. පසුගිය වසර 12ක කාලය තුළ ලංකාවේ උද්ධමනය මේ සීමාව තුළ හෝ ආසන්නයේ රඳවා ගැනීමට හැකි වී තිබෙන අතර 2009 ජනවාරි මාසයෙන් පසුව උද්ධමනය කිසි විටෙකත් ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් වී නැහැ. ගැලවිල්ලට කවර හේතු ඉදිරිපත් කළ හැකි වුවත්, 12.1%ක උද්ධමනය විසින් පෙන්වා දෙන්නේ පැහැදිලි ලෙසම මහ බැංකුව සිය වගකීම් ඉටු කිරීමට අසමත්ව ඇති බවයි.

මේ තරම් ඉහළ මට්ටමකට ගොස් තිබෙන උද්ධමනය විසින් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකද ප්‍රශ්න කෙරෙනවා. මේ වන විටද වාණිජ බැංකු විසින් 6% පොලියට මහ බැංකුවෙන් අරමුදල් ලබා ගනිමින් සිටින අතර එම අරමුදල් තෙමස් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර 8.16%ක පොලියක් උපයනවා. වාණිජ බැංකු වල ප්‍රමුඛ පාරිභෝගිකයින්ද 9.18%ක පොලියකට ණය ලබා ගනිමින් සිටින අතර මෙය පවතින උද්ධමනයට වඩා 3%කින් පමණ අඩු පොලියක්. මේ තත්ත්වය යටතේ, සාමාන්‍ය පුද්ගලයින්ට උද්ධමනය විශාල ප්‍රශ්නයක් වුවත්, සීමිත පිරිසකට "කල්ල මරේ" තත්ත්වයක් ඇති වී තිබෙනවා. 

Tuesday, August 14, 2018

ව්‍යාපාර චක්‍ර (දෙවන කොටස)


පළමු කොටසින් අපි කතා කළේ ව්‍යාපාර චක්‍රයක දැකිය හැකි අදියර හතර පිළිබඳවයි. මෙයින් අදියර දෙකකදී, රටක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන පථය එහි දිගුකාලීන ගමන් මාර්ගයෙන් ඉවතට අපගමනය වෙනවා. ඉතිරි අදියර දෙකේදී නැවත එම ගමන් මාර්ගය දිශානුභිමුකව ගමන් කරනවා. මේ විදිහට රටක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන පථය කාලයෙන් කාලයට එහි දිගුකාලීන ගමන් මාර්ගයෙන් පිටතට හා ඒ දෙසට විචලනය වන්නේ ඇයි?

මේ ගැන පැහැදිලි කෙරෙන ප්‍රවාද ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රවාද බොහොමයක් එකිනෙකට පටහැනි ඒවා නෙමෙයි. මේ සංසිද්ධිය පසුපස තිබෙන ක්‍රියාවලියේ වෙනස් මාන වෙතට අවධානය හෙළීම පමණයි මේවායේ වෙනස.

නිපැයුම් පරතරය ධන අගයක් ගන්නවා කියන්නේ රටේ සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා කියන එකයි. මේක කොහොමද වෙන්නේ?

මේ දවස් වල ලංකාවේ උසස් පෙල විභාගය පැවැත් වෙනවා. මේ වගේ කඩඉම් විභාගයක් කිට්ටු වෙද්දී බොහෝ සිසු සිසුවියන් අධ්‍යාපන කටයුතු සඳහා දවසේ වැඩි වෙලාවක් යොදවනවා. සමහර විට පැය හත අටක්... දහයක් දොළහක්... නිදා ගන්නේ වෙනදා කාලයට වඩා අඩු කාලයක්. රූපවාහිනිය සමඟ ගත කරන කාලය, ක්‍රීඩා කරන කාලය වගේ දේවල් අඩු කරනවා.

ඉහත තත්ත්වය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. මේ වගේ කට්ටක් කන එක මාසයක් දෙකක් එක දිගට කරන්න පුළුවන් වුනත් හැමදාම කරන්න බැහැ. ඒ නිසා, විභාගය ඉවර වුනු ගමන් ඔය ඔක්කොම කණපිට ගැහෙනවා.

සමහර රැකියා කරන අයට සමහර කාල වලට වැඩ වැඩියි. ගණකාධිකාරීවරයෙක් ගත්තොත් වසරේ අවසන් ගිණුම් හදන කාලයට. අලෙවිකරුවෙක් ගත්තොත් තමන්ගේ අලෙවි ඉලක්ක පරීක්ෂා කෙරෙන කාල පරාසයක අන්තිම කිට්ටුව වෙද්දී. මේ වගේ කාලයකට වැඩි පැය ගණනක් මැරීගෙන වැඩ කරන කෙනෙක් එයින් පස්සේ විවේකයක් ගන්නවා. 

ඉදි කිරීම් වැඩපොළක් වගේ එකක් ගත්තොත් වැඩේ ඉවර කරල බාර දෙන දවස කිට්ටු වෙද්දී තාවකාලික සේවකයින් දමාගෙන, ඉන්න සේවකයින්ට අතිකාල ගෙවමින් රෑ දවල් නැතුව බරටම වැඩ කළත් හැමදාම ඔය විදිහට වැඩ කරන්නේ නැහැ. ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය නිපදවන ඇඟලුම් කම්හලක් ගත්තත්, ඇනවුමක් නැව්ගත කළ යුතු දවස (ෂිප්මන්ට් එකක්) කිට්ටු වෙද්දී තත්ත්වය ඔය වගෙයි.

ඉහත විස්තර කළ පරිදි, පුද්ගලයෙක් හෝ ආයතනයක් තමන්ගේ සාමාන්‍ය ධාරිතාවට වඩා වැඩියෙන් වැඩකරන කාල පරිච්ඡේද තියෙනවා. හැබැයි එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි.

මේ විදිහට තමන්ගේ ධාරිතාව ඉක්මවලා කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් වැඩ කරන්නේ එසේ කිරීමේ වාසියක් තිබෙන වෙලාවට. නිෂ්පාදන ක්‍රියාවලියක නිරතවෙන ආයතනක් ගත්තොත් මේ විදියට වැඩ කරන්නේ පෙළඹෙන්නේ තමන් නිපදවන භාණ්ඩයට හෝ සේවාවට සාමාන්‍ය ඉල්ලුමට වඩා විශාල ඉල්ලුමක් තිබෙන වෙලාවට.

ධාරිතාව ඉක්මවා නිෂ්පාදනය කරන විට පිරිවැය ඉහළ යනවා. මෙයට හේතුව වන්නේ නිෂ්පාදන සාධක වෙනුවෙන් ගෙවිය යුතු මිල වැඩි වීමයි. උදාහරණයක් විදිහට ශ්‍රමය ගත්තොත්, වැඩියෙන් නිපදවන්න වැඩියෙන් ශ්‍රමය අවශ්‍ය වෙනවා. මේ අමතර ශ්‍රමය හොයා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවන ක්‍රමය දැනට ඉන්න සේවකයන්ගෙන් වැඩි වෙලාවක් වැඩ ගැනීම. දෙවන ක්‍රමය අලුත් සේවකයින් බඳවා ගැනීම.

දැනට ඉන්න සේවකයන්ගෙන් වැඩිපුර වැඩ ගැනීමේදී අතිකාල ගෙවීම් ආදී ලෙස වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඒ වගේම, යම් සීමාවකින් පසුව එක දිගටම වැඩ කරද්දී මේ අයගේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය පහළ වැටීමකුත් සිදුවන නිසා භාණ්ඩ හෝ සේවා ඒකකයක් වෙනුවෙන් වැය කළ යුතු ශ්‍රම ඒකක ගණන ඉහළ යනවා. 

අලුත් සේවකයින් බඳවා ගැනීමත් ආකාර දෙකකට සිදු වෙන්න පුළුවන්. එකක් අලුතින්ම නුපුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම. එවැන්නෙකුගේ කාර්යක්ෂමතාවය දැන් සිටින සේවකයෙකුගේ මට්ටමේ නැති නිසා, මේ අයට සාපේක්ෂව අඩු වැටුපක් ගෙවුවා වුනත් භාණ්ඩ හෝ සේවා එක් ඒකකයක් හදන්න වැඩි වියදමක් යන්න පුළුවන්. 

එහෙම නැතුව පුහුණු ශ්‍රමිකයන් බඳවා ගන්නවානම් එය කරන්න වෙන්නේ තරඟකාරී සමාගමක සේවකයින්ට වැඩි වැටුප් ගෙවීමට පොරොන්දු වීම මඟිනුයි. හැබැයි මේ වගේ වෙලාවක වෙනත් සමාගම් විසිනුත් මේ දෙආකාරයටම සේවකයින් බඳවා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා, තමන් සමඟ දැනට ඉන්න සේවකයින් තරඟකාරී සමාගමකට යන එක වළක්වාගන්න ඔවුන්ටත් වැඩි වැටුප් ගෙවන්න සිදු වෙනවා. ඒ වගේම, මේ වගේ වෙලාවක සමාගම් අතර පවතින තරඟය නිසා රැකියා විරහිතව සිටින නුපුහුණු ශ්‍රමිකයෙක් වුවත් හිතන තරම් අඩු වැටුපකට බඳවා ගන්න බැහැ.

නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වැනි දේ ගැන සැලකුවත් තිබෙන්නේ මේ වගේම තත්ත්වයක්. කලින් සැපයුම්කරුවන් ගණනාවකගේ මිල ගණන් හා අමුද්‍රව්‍ය වල තත්ත්වය පරීක්ෂා කර මිල අඩු, තත්ත්වයෙන් ඉහළ සැපයුම්කරුවන්ගේ අමුද්‍රව්‍ය විතරක් මිල දී ගත්තත් දැන් ඒ ප්‍රමාණය මදි නිසා තත්ත්වයෙන් තරමක් බාල, මිලෙන් වැඩි අමුද්‍රව්‍ය වුවත් මිල දී ගන්න වෙනවා. ඒ වගේම, දැනට ඉන්න සැපයුම්කරුවන්ට පහසුවෙන් වෙනත් නිෂ්පාදකයෙකුට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන් නිසා ඔවුන්ටත් වැඩි මිලක් ගෙවන්න සිද්ධ වෙනවා.

සමස්තයක් ලෙස මේ ආකාරයට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා විකුණන්න වෙන්නේ වෙනදාට වඩා වැඩි මිලකටයි. නමුත්, මේ අදියරේදී රටේ භාණ්ඩ හා සේවාවන්ට විශාල ඉල්ලුමක් තිබෙන නිසා ගාණ ටිකක් වැඩි වුනත් විකුණගන්න පුළුවන්.

ධන නිපැයුම් පරතරයක් ඇති වී ගොඩ නැගෙන මුල් කාලයේදී හෙවත් රූප සටහනේ D හා A අතර කොටසින් පෙන්වන හතරවන අදියරේදී ඉහත ආකාරයේ තත්ත්වයක් ඇති වී රටේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යනවා. ඒ කියන්නේ උද්ධමනය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වෙනවා. 

භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී සමාගම් වලට ලාභ පෙනෙන්න ගන්න නිසා ඔවුන් නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් අලුත් සේවකයින් බඳවා ගන්නවා. ඒ නිසා විරැකියා අනුපාතිකය පහළ යනවා. නිෂ්පාදනය වේගයෙන් වැඩිවන නිසා ආර්ථික වර්ධනය වේගවත් වෙනවා.

කලින් විරැකියාවෙන් පෙළුණු අයට අලුතින් රැකියා ලැබී ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යනවා. කලින් සේවය කළ අයගේත් වැටුප් ඉහළ ගොස් වියදම් කිරීමේ හැකියාව වැඩි වෙනවා. සමාගම් වල ආදායම් ඉහළ යාම නිසා කොටස් හිමියන්ගේ ආදායම් වැඩි වී ඔවුනුත් වැඩියෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න පෙළඹෙනවා. පරිභෝජන වියදම් පමණක් නෙමෙයි ආයෝජනය කිරීමුත් වැඩි වෙනවා. මෙහෙම වෙනකොට භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම නැවත වටයකින් ඉහළ යනවා. උද්ධමනය තවත් වැඩි වෙනවා. විරැකියාව තවත් අඩු වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය වී නිපැයුම් පරතරය පුළුල් වෙනවා. 

හැබැයි ඉහත තත්ත්වය දිගටම පවතින්නේ නැහැ. ඒ තත්ත්වය ආපසු හැරවෙන්නේ ඒ ක්‍රියාවලිය තුළමයි.

මුලදී සේවකයින්ගේ ආදායම් ඉහළ ගියත්, මිල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යන නිසා ඔවුන්ට එසේ ලැබෙන මුදලින් මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එවිට, ඔවුන්ට ජීවන තත්ත්වය කලින් මට්ටමේ පවත්වා ගන්න වැඩි වැටුප් අවශ්‍ය වෙනවා. සමාගම් වලට සේවක වැටුප් ක්‍රමයෙන් වැඩි කරන්න වෙද්දී ඔවුන්ගේ ලාබ අඩු වෙන්න පටන් ගන්නවා. මේ විදිහටම අමුද්‍රව්‍ය ආදියට ගෙවන මිල ගණනුත් ඉහළ යන නිසා නිෂ්පාදන වියදම් ඉහළ ගියත්, එයට අනුරූපීව මිල ඉහළ දැමීම තවදුරටත් කළ නොහැකි දෙයක් වෙනවා. එහෙම මිල වැඩි කළොත් වෙන්නේ සේවක වැටුප් තවත් වැඩි කරන්න වෙන එකයි. ඒ නිසා එය හරියන දෙයක් නෙමෙයි. මේ ටික වෙන්නේ වක්‍රයේ A ස්ථානයට පැමිණි විටයි.

තත්ත්වය ඔය වගේ වුනාම සමාගම් වලට වියදම් අඩු කරන්න වෙනවා. මේ වෙලාවට ඇමරිකාව වගේ සෛද්ධාන්තික ධනවාදයකට කිට්ටු ආර්ථික ක්‍රමයක් තියෙන රටක සේවකයින් ඉවත් කරනවා. මුලින්ම ඉවත් කරන්නේ වඩා අකාර්යක්ෂම සේවකයින්වයි. ඉතිරි සේවකයින්ගේත් පාරිතෝෂික දීමනා වැනි වරප්‍රසාද අඩු කෙරෙනවා. ඇතැම් විට වැටුප් පවා අඩු කෙරෙන්න බැරි කමක්ම නැහැ. එහෙම කළා කියලා මේ වගේ වෙලාවක සේවකයින් අස් වෙලා යන්නේ නැහැ. මොකද එහෙම ගිහින් වෙනත් රැකියාවක් හොයා ගැනීම පහසු නැති නිසා.

අන්තිමේදී විරැකියාව ඉහළ ගිහින්, රැකියා කරන අයගේත් ආදායම් අඩුවී රටේ භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. සමාගම් වල ලාභ අඩු වෙන නිසා ඔවුන් අලුත් ආයෝජන ගැන හිතන්නෙත් අඩුවෙන්. ඒ නිසා ආයෝජන භාණ්ඩ වලට තිබෙන ඉල්ලුමත් අඩු වෙනවා. මේ විදිහට රටේ සමස්ත ඉල්ලුමම පහළ වැටෙන්න ගත්තහම භාණ්ඩ හා සේවා විකුණාගැනීම සඳහා නිෂ්පාදකයින්ට මිල පහත දමන්න සිදු වෙනවා. ගොඩක් නිෂ්පාදකයින් මේ විදිහට කරන කොට රටේ උද්ධමනය අඩුවෙන්න පටන් ගන්නවා. නිෂ්පාදනය අඩු වී ආර්ථික වර්ධන වේගය අඩුවෙන්න පටන් ගන්නවා.  විරැකියා අනුපාතය ඉහළ යන්න පටන් ගන්නවා. 

රූප සටහනේ A සහ B කොටසෙන් දැක්වෙන පළමු අදියරේදී සිදුවන මේ සිදුවීම් මාලාව B වලින් පෙන්වන සමතුලිතතාවයට පැමිණීමෙන් පසුව නවතින්නේ නැහැ. මෙයට හේතුව ධනවාදී ආර්ථිකයක් මෙහෙයවන කෙනෙක් නැති වීමයි. ධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක වන්නේ තනි පුද්ගලයින් විශාල පිරිසකගේ ස්වාධීන තීරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි.

සාමාන්‍යයෙන් මිනිස්සු තමන්ට ලබා ගත හැකි එහෙත් අතේ නැති දෙයක් නොලැබෙනවාට වඩා අතේ දැනට තිබෙන දෙයක් නැති වෙනවට බයයි. එය මිනිස් ස්වභාවය. සමාගම් වෙනුවෙන් තීරණ ගන්නෙත් මිනිසුන් නිසා මෙය සමාගම් ක්‍රියාකාරී වන විදිහෙනුත් යම්තාක් දුරට පෙනෙනවා. 

උදාහරණයක් විදිහට පැයක් දණ ගහගෙන හිටියොත් රුපියල් දාහක් දෙනවා කිවුවොත් එසේ කරන්න අකැමැති වන අයගෙන් සෑහෙන දෙනෙක්, පැයක් දණ ගහගෙන හිටියේ නැත්නම් රුපියල් දාහක් ගන්නවා කිවුවොත් වැඩේ කරනවා. චර්යාත්මක ආර්ථික විද්‍යා පර්යේෂණ වලදී නැවත නැවත තහවුරු වී තිබෙන ඉහත හැසිරීම ඉංග්‍රීසින් දහනවවන සියවසේ මුලදී ලංකාවේ ආර්ථිකය වෙනස් කරන කාලයේදීත් අත් දැකපු දෙයක්. වැටුපක් ලබමින් තේ වතු, කෝපි වතු, මාර්ග සංවර්ධන කටයුතු ආදියේ සේවය කරන්න කැමති නොවුණු සිංහලයින් බොහෝ දෙනෙක් ඇඟ බද්ද දැම්මට පස්සේ බදු ගෙවිල්ල වෙනුවට තෝරාගත්තේ නියමිත දින ගණන වැඩ කරන එකයි.

ඔය විදිහටම ලාබ පෙනෙද්දී ක්‍රියාකාරී වෙනවාට වඩා ඉතා ඉක්මණින් අලාභ පෙනෙද්දී මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. මෙයට සමාගම් වෙනුවෙන් තීරණ ගන්න මිනිස්සුත් ඇතුළත්. ඒ නිසා, සමාගමක් රූප සටහනේ C ස්ථානයට වැටුනහම සේවකයින් බඳවා ගන්න තිබෙන උනන්දුවට වඩා A ස්ථානය කිට්ටු වෙද්දී සේවකයින් ඉවත් කරන්න උනන්දුව වැඩියි. ඒ වගේම, භාණ්ඩ හා සේවා වල මිල වැඩි කරන්න කලින් වෙනත් තරඟකාරී සමාගමක් ඉස්සර වෙනකම් බලා ඉන්න ගොඩක් සමාගම් භාණ්ඩ හා සේවා වල මිල අඩු කිරීමේදී බලන්නේ අනෙක් තරඟකාරී සමාගම් වලට වඩා ඉස්සර වෙන්නයි. 

තනි තනි සමාගම් විසින් වෙන වෙනම සේවකයින් ඉවත්කිරීම, මිල අඩු කිරීම වගේ තීරණ අනෙක් අයට වඩා කලින් ගන්න උත්සාහ කිරීම නිසා කෙටි කාලයක් තුළ එක පාරටම විරැකියාව ඉහළ ගිහින්, දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙලා, මිල මට්ටම් අඩු වෙලා ආර්ථිකය A වල ඉඳලා C දක්වාම වැටෙන එක බොහෝ විට සිදු වෙන දෙයක්. C වලට වැටෙනවා කියන්නේ සෘණ නිපැයුම් පරතරයක් ඇති වෙනවා කියන එකයි. හැබැයි ඉතිං ඔය C ස්ථානයට වැටුනට පස්සේ ආර්ථිකය නැවත නියම පථයට එන එකත් ස්වභාවිකවම සිදු වෙනවා.

රූප සටහනේ C ස්ථානයට වැටුනහම විරැකියා අනුපාතය ඉතාම ඉහළයි. පුහුණු ශ්‍රමිකයෝ පවා ඉන්නේ රැකියාවක් නැතුවයි. ඔය වෙලාවට අඩු වැටුපකට කාර්යක්ෂම සේවකයින් බඳවා ගත හැකියි. ඒ වගේම, සැපයුම්කරුවන් ඉන්නේ අමුද්‍රව්‍ය විකුණාගන්න බැරුවයි. ඔවුන් සමඟ හෙට්ටු කර අමුද්‍රව්‍ය අඩු මිලකට ගන්න පුළුවන්. 

රටේ ආර්ථිකය මේ තත්ත්වයට පැමිණියාම අලුත් ව්‍යවසායකයෝ ව්‍යාපාර ආරම්භ කරනවා. දැනට ඉන්න ව්‍යවසායකයින් අලුත් ආයෝජන කරන්න පටන් ගන්නවා. රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය නැවතත් ක්‍රමයෙන් ඉහළ යනවා. සේවක වැටුප් ඉහළ යනවා. ගෘහස්ථ ඒකක වල ආදායම් ඉහළ යද්දී මිල දී ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. එවිට භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම වැඩි වෙලා සමාගම් වලට නැවතත් මිල ඉහළ දමන්න අවස්ථාව ලැබෙනවා. 

කලින් වගේම මේ අවස්ථාවේදීත් C සිට D දක්වා ඇවිත් වැඩේ නවතින්නේ නැහැ. ආර්ථිකය D පහුකරගෙන ගිහින් A දක්වාම වර්ධනය වෙනවා. හැබැයි ඉතිං මේ උඩට යන කොටසේදී සමාගම් හා පුද්ගලයින් තීරණ ගන්නේ බොහොම සීරුමාරුවට හිතා බලලයි. පහළට වැටෙන කොටසේදී වගේ හදිස්සියෙන් නෙමෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් A සිට C දක්වා වැටෙන්න යන කාලය වගේ හතර ගුණයක පමණ කාලයක් යනවා නැවත C සිට A දක්වා එන්න.

දැන් මේ විස්තරය ඔබ සැලකිල්ලෙන් කියෙවුවනම්, පසුගිය අවුරුදු වලදී රටේ ආර්ථික වර්ධනය සිදු වූ රටාව හැර, කිසියම් වෙලාවක රටක නිපැයුම් පරතරය ධනද සෘණද කියා තීරණය කරන්න උදවු වෙන තවත් දේවල් තිබෙන බව පැහැදිලි විය යුතුයි. මෙහි කතා කළ උද්ධමනය හා විරැකියා අනුපාතය ඒ අතරින් ප්‍රධානයි. සාමාන්‍යයෙන් රටක උද්ධමනය ව්‍යාපාර චක්‍රයේ (නිපැයුම් පරතරයේ) දිශාවටත්, විරැකියා අනුපාතය එයින් ප්‍රතිවිරුද්ධ දිශාවටත් විචලනය වෙනවා. ඒ නිසා, නිපැයුම් පරතරය ගැන සැකයක් ඇති විට අපිට උද්ධමනය හා විරැකියා අනුපාතය දෙසත් බලන්න පුළුවන්. ඊට අමතරව මෙවැනි තවත් විචල්‍යයනුත් ගණනාවක් තිබෙනවා.

Friday, May 11, 2018

තෙල් අඩුවන විට ත්‍රිරෝද රථ ගාස්තු අඩු නොවන්නේ ඇයි?


තෙල් මිල වැඩි වන විට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යයි. එහෙත්, තෙල් මිල අඩු වන විට ත්‍රිරෝද රථ ගාස්තු පහළ නොයයි. මේ අයුරින්ම, තිරිඟු පිටි මිල ඉහළ යන විට පාන්, බනිස්, ආප්ප ආදියේ මිල ඉහළ යන නමුත් මෙසේ වැඩි වූ මිල තිරිඟු පිටි මිල නැවත පහළ ගියත් අඩු වන්නේ නැත. එහෙම වෙන්නෙ ඇයි?

කෙටි පිළිතුර වන්නේ මෙයට හේතුව මහ බැංකුව විසින් දිගින් දිගටම අලුතින් මුදල් සංසරණයට එකතු කිරීම බවයි. එහෙත්, එය හරියටම වෙන්නේ කොහොමද? මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි නොකර නිශ්චිතව තබා ගත්තොත් තෙල් මිල අඩු වන විට ත්‍රිරෝද රථ ගාස්තු පහළ යයිද?

පාන්, බනිස්, ආප්ප ආදියේ මිල හෝ ත්‍රිරෝද රථ ගාස්තු තීරණය වන්නේ තනිකරම නිෂ්පාදන පිරිවැය මත පදනම්ව නොවේ. ඉල්ලුම හා සැපයුම මතය. නිෂ්පාදකයින් මෙන්ම පාරිභෝගිකයින්ද විශාල පිරිසකගෙන් සමන්විත, කර්මාන්තයට ඇතුළු වීමට හෝ එයින් පිටවීමට විශාල බාධා නැති, පාන්, බනිස්, ආප්ප ආදිය නිෂ්පාදනය කිරීම මෙන්ම ත්‍රිරෝද රථ සේවා සැපයීමද තරඟකාරී පදනමක සිදු වන්නේයැයි සැලකිය හැකිය.

තරඟකාරී වෙළඳපොළක නිෂ්පාදකයින්ට සාමාන්‍ය ලාභ මිස සුපිරි ලාභ ලැබිය නොහැකිය. ඒ නිසා, නිෂ්පාදකයින්ට ලැබෙන්නේ ඔවුන්ගේ ආවස්ථික පිරිවැයට අනුරූප ආර්ථික ලාභ පමණි. මේ ලාභය සුපිරි ලාභයක් බවට පත් වුවහොත් අලුත් පිරිස් කර්මාන්තයට ඇදී විත්, තරඟය නිසා මිල පහත වැටේ. එවිට සුපිරි ලාභ නැති වී යයි.

ඉන්ධන මිල ඉහළ ගිය විට ත්‍රිරෝද රථ සේවා සපයන්නන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ආර්ථික ලාභය සෘණ අගයක් බවට පත් වේ. එසේ වුවද, මෙහෙයුම් වියදම් ආවරණය වන්නේනම් නිෂ්පාදකයෙකුට කෙටිකාලීනව කර්මාන්තයේ දිගටම රැඳී සිටිය හැකිය.

උදාහරණයක් වශයෙන් කිලෝමීටර හතරක ගමනකට සාමාන්‍ය ගාස්තුව රුපියල් සියයක්යැයි සිතමු. මේ ගමන සඳහා වැය වන ඉන්ධන වල පිරිවැය රුපියල් විස්සකට වඩා වැඩි නොවේ. ඒ අනුව, මේ සේවාව සැපයීමෙන් නිෂ්පාදකයාට රුපියල් අසූවක පමණ මෙහෙයුම් ලාභයක් ලැබිය හැකිය. එහෙත්, සේවාසපයන්නාගේ ශ්‍රමයේ පිරිවැය හා ත්‍රිරෝද රථය වෙනුවෙන් වැය කර ඇති ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැය ඇතුළු අනෙකුත් වියදම් සැලකූ විට මෙහි ආර්ථික ලාභය ශුන්‍යයකි. එය එසේ නොවේනම්, අලුත් සේවා සපයන්නෙකු අඩු මිලට මේ සේවාව නොසපයන්නට හේතුවක් නැත.

හදිසියේම ඉන්ධන මිල 25%කින් ඉහළ ගියහොත් මෙහෙයුම් වියදම රුපියල් පහකින් ඉහළ යයි. එවිට මෙහෙයුම් ලාභය රුපියල් පහක අලාභයක් බවට පත් වේ. එහෙත්, එසේ වුනා කියා සේවා සපයන්නකුට වහාම රැකියාවෙන් ඉවත් විය නොහැකිය. එසේ කළද, වාහනයේ කල්බදු වාරික ආදිය ගෙවිය යුතු නිසා එසේ කිරීමෙන් අලාභය තවත් ඉහළ යන බැවිනි. කෙසේ වුවත්, කල් යාමේදී කිසියම් පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වන නිසා සැපයුම පහත වැටී මිල ඉහළ යයි. එවිට ආර්ථික ලාභ නැවතත් ශුන්‍ය මට්ටමටම පැමිණේ. එය සිදුවන තුරු කර්මාන්තයේ රැඳී සිටීමට කිසියම් හෝ මෙහෙයුම් ලාභයක් තිබීම ප්‍රමාණවත්ය.

ත්‍රිරෝද රථ සේවා ගාස්තු තීරණය වන්නේ එම කර්මාන්තයේ ඉල්ලුම හා සැපයුම මත වුවත්, ඉන්ධන මිල ඉහළ ගොස් නිෂ්පාදන පිරිවැය වැඩි වූ විට සැපයුම පහත වැටී මිල ඉහළ යයි. එවිට පාරිභෝගිකයින්ට ත්‍රිරෝද රථ සේවා ලබා ගැනීම සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වේ. ඉහත උදාහරණයේදී සිදු වූ එකම වෙනස ඉන්ධන මිල වැඩි වීම නිසා සේවා ගාස්තුව රුපියල් 105ක් දක්වා වැඩි වූ විට මෙහෙයුම් ලාභය නැවතත් රුපියල් 80ක් වී ආර්ථික ලාභ ශුන්‍ය වේ.

මෙය මෙසේ සිදු වෙද්දී පාරිභෝගිකයෙකුට තමන් කලින් ලබාගත් භාණ්ඩ හා සේවාවන් ඒ ප්‍රමාණයන්ගෙන්ම ලබා ගැනීමට පෙරට වඩා වැඩි මුදලක් වැය කරන්නට සිදු වේ. ඒ නිසා, රටේ මුදල් ඉල්ලුම ඉහළ යයි. එසේ වැඩි වූ ඉල්ලුමට සරිලන පරිදි මහබැංකුව විසින් අලුතින් මුදල් සංසරණයට එකතු කළහොත් භාණ්ඩ හා සේවා සඳහා කලින් වූ ඉල්ලුම එලෙසම පවතී.

මෙසේ තිබියදී ඉන්ධන මිල පෙර මට්ටමටම නැවත පහත වැටුනොත් සිදුවන්නේ කුමක්ද? එවිට ත්‍රිරෝද රථ සේවා සපයන්නන්ගේ මෙහෙයුම් ලාභය ක්ෂණිකව රුපියල් 85ක් දක්වා ඉහළ යයි. දැන් ආර්ථික ලාභය රුපියල් පහක් බවට පත් වේ. මේ රුපියල් පහ සියලු දිගුකාලීන වියදම් ආවරණය කිරීමෙන් පසු අත ඉතිරි වන සුපිරි ලාභයකි. ත්‍රිරෝද රථ කර්මාන්ත කරුවෝ මේ අමතර බෝනස් ලාබය වෙනත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වියදම් කරති. එවිට, අනෙකුත් භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඒවායේ මිල ඉහළ යයි. සුපිරි ලාභ දකින වෙනත් අය අලුතින් ත්‍රිරෝද රථ කර්මාන්තයට එකතු වන අතර ඔවුන් උපයන ආදායමද අනෙකුත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වියදම් කෙරේ. අවසන් ප්‍රතිඵලය වන්නේ රටේ අනෙකුත් භාණ්ඩ හා සේවා බොහොමයකම මිල අඩු වැඩි වශයෙන් ඉහළ යාමයි.

රටේ සියලුම භාණ්ඩ හා සේවා වල මිල ඉහළ ගොස් ඇති නිසා ත්‍රිරෝද රථ කරුවෙකුට කලින් ලැබූ රුපියල් අසූවක මෙහෙයුම් ලාභය ප්‍රමාණවත් නැත. ඔහුගේ හෝ ඇයගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ශුන්‍ය ආර්ථික ලාභ ලැබීමට දැන් රුපියල් අසූ පහක මෙහෙයුම් ලාභයක් අවශ්‍ය වේ. ඒ නිසා, ඉන්ධන මිල පහත වැටුණත් ත්‍රිරෝද රථ සේවා ගාස්තු පහත නොවැටේ. මේ අයුරින්ම, තිරිඟු පිටි මිල ඉහළ යාම නිසා වැඩි වූ මුදල් ඉල්ලුම සපුරමින් මහ බැංකුව විසින් අලුත් මුදල් සංසරණයට එකතු කළහොත් තිරිඟු පිටි මිල පහළ ගිය විට පාන් බනිස් වල මිල ගණන් නැවත අඩු වන්නේ නැත.

එසේනම්, තෙල් මිල ඉහළ යද්දී මහ බැංකුව විසින් මුදල් සැපයුම නොවෙනස්ව තබා ගත්තොත් සිදු වන්නේ කුමක්ද? ඉන්ධන මිල ඉහළ යාම නිසා මෙහෙයුම් ලාභ අඩු වී ත්‍රිරෝද රථ සපයන්නන් කිහිප දෙනෙකු කර්මාන්තයෙන් බැහැර වේ. ඔවුන් දැන් ආදායම් නූපයන බැවින් රටේ අනෙකුත් භාණ්ඩ හා සේවා සඳහා ඔවුන්ගෙන් වූ ඉල්ලුම අඩු වේ. ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ ගියහොත් ඒ හේතුව නිසා ත්‍රිරෝද රථ සේවා පාරිභෝගිකයින්ට වෙනත් භාණ්ඩ හා සේවා සඳහා වැය කරන්නට අත ඉතිරි වන මුදල් ප්‍රමාණය අඩු වීම නිසා සිදු වන්නේද ඒ දෙයමය. සැපයුම එසේම තිබියදී ඉල්ලුම අඩු වීමෙන් රටේ බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල පහත වැටේ. ඉන්ධන හා ඉන්ධන මත පාදක වන නිෂ්පාදන වල මිල පමණක් ඉහළ යයි. විවිධ භාණ්ඩ හා සේවා වල සාපේක්ෂ මිල වෙනස් වුණත් සමස්තයක් ලෙස රටේ මිල මට්ටම වෙනස් නොවේ. ඒ නිසා උද්ධමනයක් නැත.

ඉන්ධන මිල නැවත පහත ගියහොත් නැවතත් මෙහෙයුම් ලාභ ඉහළ යන නිසා ත්‍රිරෝද රථ කර්මාන්තයට අලුත් පිරිස් ආකර්ශනය වී මිල පහත වැටේ. එවිට පාරිභෝගිකයින් අත ඉතිරි වන මුදල් වෙනත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා වැය කෙරෙන බැවින් ඒවායේ මිල පෙර මට්ටමට ඉහළ යයි. සාපේක්ෂ මිල වෙනස් වුණත් සමස්තයක් ලෙස රටේ මිල මට්ටම වෙනස් නොවේ.

ඉන්ධන වැනි ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගිය විට රටේ මිල මට්ටම සමස්තයක් ලෙස ඉහළ යන්නේ මහ බැංකුව විසින් වැඩි වන මුදල් ඉල්ලුම සපුරමින් අලුතින් මුදල් සංසරණයට එකතු කරන නමුත් ඉන්ධන මිල නැවත පහත වැටුණු විට එසේ එකතු කළ අමතර මුදල් ආපසු එකතු කර නොගන්නා බැවිනි. මෙය අඩු වැඩි වශයෙන් ලෝකයේ හැම මහ බැංකුවක්ම කරන දෙයකි. ඒ නිසා, ඉන්ධන මිල වැඩි වීම නිසා සිදුවන දෙවන වටයේ මිල වැඩිවීම් බොහෝ විට ඉන්ධන මිල පහත වැටුනද නැවත පහත වැටෙන්නේ නැත.

(Image: https://www.indiamart.com/rapmotorsindia/three-wheeler-passenger-auto.html)

Saturday, March 25, 2017

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම ප්‍රමාණවත්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (මාර්තු 25) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25 බැගින්, එනම් 0.25% බැගින් ඉහළ නංවා තිබේ. මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.75% දක්වාත් ඉහළ නංවා තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සියළුම පොලී අනුපාතික කිසියම් ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියන්නේ කුමක්ද?

රටක පොලී අනුපාතික ව්‍යුහය (ඵලදා වක්‍රය) සෘජුව පාලනය කිරීමේ හැකියාවක් සෑම රටකම වාගේ මහ බැංකුවකට තිබේ. ඒ බැඳුම්කර වෙන්දේසි ආදිය හරහා නොවේ. මහ බැංකුව විසින් රජය වෙනුවෙන් බැඳුම්කර නිකුත් කිරීම හා අදාළ පොලී අනුපාතික තීරණය කිරීම ලංකාවේ සුවිශේෂී තත්ත්වයක් මිස සාමාන්‍ය තත්ත්වය නොවේ. එහෙත්, මහ බැංකුවක් ඇති රටක එම මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යොදාගනිමින් රටේ අනෙකුත් පොලී අනුපාතික වක්‍ර ලෙස පාලනය කිරීම සාමාන්‍ය දෙයකි.

රටක ජීවත් වන පුද්ගලයින් මෙන්ම ආයතනද විසින් විවිධ පරිණත කාල සඳහා ණය ලබාගැනීම හා එසේ ණය ලබාදීම සාමාන්‍ය තත්ත්වයකි. ලංකාවේ මූල්‍ය වෙළඳපොළෙහි මෙසේ ණය ලබාදෙන හා ණය ලබා ගන්නා දිගම කාලය වසර තිහක් ලෙස සැලකිය හැකිය. මේ වන විට බොහෝ දෙනා කතා කරන බැඳුම්කර සිදුවීමේදී රජය ණය ලබාගත්තේ වසර තිහක කාලයක් සඳහාය.

අනෙක් පැත්තෙන් ණය ලබා දෙන හා ලබාගන්නා කාලය එක් දිනක් තරම් කෙටි විය හැකිය. ඇතැම් විට දවස තුළ පැය කිහිපයක් සඳහා ණය ලබාගැනීමද සිදුවේ.

පොළේ හෝ පදික වේදිකාවේ වෙළඳාම් කරන බොහෝ අය එය කරන්නේ දවසේ පොලියට ණය ලබාගනිමින් බව ඒ සමාජ ස්ථරය ගැන දන්නා අය නොදැන සිටින්නට විදිහක් නැත. මේ වෙළඳපොළෙහිදී එක් දින ණය වෙනුවෙන් එවැනි වෙළෙන්දෙකු විශාල පොලී අනුපාතිකයක් ගෙවිය යුතුය.

වාණිජ බැංකු හා රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික ගණුදෙනුකරුවන් වැනි මූල්‍ය වෙළඳපොළෙහි දැවැන්ත ආයතන අතරද ඉතා පුළුල් හා සක්‍රිය එක් දින ණය වෙළඳපොළක් තිබේ. ඒක්ෂණ මුදල් වෙළඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති විකුණුම්/ ප්‍රති මිලදී ගැනීම් වෙළඳපොළ ලෙස මේ එක්දින ණය වෙළඳපොළෙහි ප්‍රධාන කොටස් දෙකක් ඇති අතර ලෙස මේ කොටස් දෙකේම සාමාන්‍ය පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පාලනය කිරීම මඟින් සෘජුව පාලනය කළ හැකිය.

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යනු වාණිජ බැංකුවකට තමන් සතුව ඇති අතිරික්ත අරමුදල් එක් දිනකට මහ බැංකුවේ තැන්පත් කිරීමෙන් ලබාගත හැකි පොලී අනුපාතිකයයි. මේ පොලී අනුපාතිකය 'සහතික පොලී අනුපාතිකයක්' බැවින් ඊට වඩා අඩු පොලී අනුපාතිකයකට වෙනත් අයෙකුට ණය දීමට කිසිදු බැංකුවක් නොපෙළඹේ. ඒ නිසා, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යනු එක්දින ණය වෙළඳපොළෙහි සාමාන්‍යයෙන් පැවතිය හැකි අවම පොලී අනුපාතිකයයි.

මේ අයුරින්ම, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනු වාණිජ බැංකුවකට තමන්ට අවශ්‍ය හිඟ අරමුදල් එක් දිනකට මහ බැංකුවෙන් ණයට ලබාගත හැකි පොලී අනුපාතිකයයි. මේ පොලී අනුපාතිකයද 'සහතික පොලී අනුපාතිකයක්' බැවින් ඊට වඩා වැඩි පොලී අනුපාතිකයකට වෙනත් අයෙකුගෙන් ණය ලබාගැනීමට කිසිදු බැංකුවක් නොපෙළඹේ. ඒ නිසා, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනු එක්දින ණය වෙළඳපොළෙහි සාමාන්‍යයෙන් පැවතිය හැකි උපරිම පොලී අනුපාතිකයයි.

වෙළඳපොළෙහි එක්දින ණය ඉල්ලුම හා සැපයුම සමතුලිතව ඇති විටෙක සාමාන්‍ය එක්දින පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර මැද අගයක පවතින අතර ණය දෙන්නන්ට මෙන්ම ණය ගන්නා ආයතන වලටත් මහ බැංකුවේ ප්‍රතිපත්ති අනුපාතික වලට වඩා වෙළඳපොළ පොලී අනුපාතික වාසිදායකය. ඒ නිසා, රටේ මූල්‍ය ආයතන වලට හැම තිස්සේම මහ බැංකුවට දුවන්නට නොවෙනවාක් මෙන්ම පොලී අනුපාතික විශාල ලෙස උච්ඡාවචනය වීමද වැළකේ.

රටේ එක්දින ණය ඉල්ලුම ණය සැපයුමට වඩා වැඩි වූ විට පොලී අනුපාතික ක්‍රමයෙන් ඉහළ යයි. මේ පොලී අනුපාතික මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ මට්ටමට ඉහළ ගිය විට මේ අමතර ඉල්ලුම සැපයෙන්නේ මහ බැංකුවෙනි. මහ බැංකුවෙහි තැන්පත් කරන අරමුදල් ප්‍රමාණයට වඩා මහ බැංකුවෙන් ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ ගිය විට රටේ මුදල් සැපයුම වැඩිවන අතර එය උද්ධමනයට හේතු වේ. මෙය පාලනය කරගත හැක්කේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමෙනි.

පසුගිය පෙබරවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ලංකාවේ උද්ධමනය 8.2% දක්වා ඉහළ ගියේය. මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නේ රටේ ආර්ථිකය පිළිබඳ දර්ශක ගණනාවක් පුළුල් ලෙස විමර්ශනය කරමින් වුවත්, මේ අවස්ථාවේදී පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැංකුව විසින් ගත් තීරණය සඳහා වැඩිම තල්ලුවක් ලබාදෙන්නට ඇතැයි සිතිය හැක්කේ නැඟී එන උද්ධමන පීඩනයයි.

උද්ධමනය 8.2%ක් ලෙස පැවතෙනු යනු අද රුපියල් 100කින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට තවත් වසරකට පසු ඔබට රුපියල් 108.20ක් අවශ්‍ය වන බවයි. ඒ නිසා ඔබේ වසරක තැන්පතුවකට රුපියල් 8.2%කට වඩා අඩු පොලී අනුපාතිකයක් ලැබේනම් සැබැවින්ම ඔබට ලැබෙන දෙයක් නැත. එමෙන්ම යම් හෙයකින් ඔබට 8.2% නොඉක්මවන පොලී අනුපාතිකයකට අද ණය ලබාගත හැකිනම් ඇත්තටම ඔබ ආපසු ගෙවන්නේ ගත් මුදලට වඩා අඩු මුදලකි. ඒ, එම මුදලින් අගය අඩු නොවන භාණ්ඩයක් මිලදී ගෙන (රන් වැනි) වසරකට පසුව විකුණා පොලියත් සමඟ ණය මුදල ආපසු ගෙවීමට ඔබට හැකි වන බැවිනි.

උද්ධමනය ඉහළ යනවිට ඒ හා සමානුපාතිකව නාමික පොලී අනුපාතික ඉහළ නොයයිනම් ණය ඉල්ලුම ඉහළ යන අතර ණය සැපයුම අඩුවෙයි. එවිට, මේ අඩුව පුරවන්නට වෙන්නේ මහ බැංකුවටය. ඒ අළුතින් මුදල් සංසරණයට එකතු කරමිනි. මෙහි ප්‍රතිඵලය වන්නේ උද්ධමනය නැවත වටයකින් තවත් ඉහළ යාමයි. එය වලක්වාගත හැක්කේ මහ බැංකුවේ පොලී අනුපාතික 'අවශ්‍ය මට්ටමට' ඉහළ දැමීමෙනි.

මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමා ඇතත් අවශ්‍ය තරමට පොලී අනුපාතික ඉහළ දමා ඇති බවක් නොපෙනේ. පසුගිය මාසයකට ආසන්න කාලය මුළුල්ලේම ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලී අනුපාතික පැවතියේ  මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වූ 8.5% මට්ටම ආසන්නයේය. බරිත සාමාන්‍ය ප්‍රතිමිලදී ගැනීම් අනුපාතික තිබුණේ ඊටත් තරමක් ඉහළිනි. මෙයින් අදහස් වන්නේ එක්දින ණය වෙළඳපොළෙහි ඉල්ලුම හා සැපයුම සමතුලිත වන පොලී අනුපාතිකය 8.5% ඉක්මවූ බව හා මහ බැංකුව විසින් එම අනුපාතිකය කෘතීම ලෙස පාලනය කරගෙන සිටි බවයි.

මේ අනුව, පසුගිය සති කිහිපය මුළුල්ලේ වාණිජ බැංකු ඇතුළු මූල්‍ය ආයතන විසින් මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම විශාල ලෙස ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සිතිය හැකිය. මේ වන විට තෙමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9.5%පමණ ඉහළ මට්ටමක පැවතීම තුළ මේ තත්ත්වය තේරුම් ගන්නට බැරිකමක් නැත. වාණිජ බැංකුවකට 9.5% පොලී අනුපාතිකයක් ලබමින් තෙමස් භාණ්ඩාගාර බිල්පතක සිය අරමුදල් ආයෝජනය කර, නැවත එම භාණ්ඩාගාර බිල්පත ඇපයට තබමින් මහ බැංකුවෙන් 8.5%ක පොලියකට ණය ලබාගැනීමට හැකිව තිබීම තුළ ඇතිවී තිබුණේ විශාල මූල්‍ය වෙළඳපොළ අක්‍රමිකතාවයකි (anomaly).  මේ තත්ත්වය තවමත් එසේම පවතී.

මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.75% දක්වා ඉහළ නැංවීමෙන් පසුව එක්දින පොලී අනුපාතිකද එම මට්ටමේම පැවතීමෙන් පෙනෙන්නේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ඵලදායී නොවන බවයි. මෙම පහසුකම ලබාගන්නා ආයතන වලට මහ බැංකුවෙන් අඩුපොලියට ලබාගන්නා ණය වැඩි පොලියකට රජයට ලබාදීමේ අවස්ථාව මේ හරහා තවමත් උදාවී තිබේ.

අවශ්‍ය ප්‍රමාණයට පොලී අනුපාතික ඉහළ නොදැමීම පසුගිය රජයේ මුල් කාලයේදීද මහ බැංකුව විසින් සිදුකළ අසාර්ථක පරීක්ෂණයකි. එහි මිල වසර කිහිපයකට පසු ගෙවන්නට සිදු විය. පොලී අනුපාතික අවශ්‍ය තරම් ඉහළ යන්නට ඉඩ නොදීම තුළ රටේ ණය ඉල්ලුම ඉහළ යයි. වාහන ණය පහසුකම් සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇත්තේ ඒ හේතුවෙනි.

පසුගිය කාලයේ සිදුවූවාක් මෙන් 'පරක්කු වැඩිවන්නට පෙර' මහ බැංකුව විසින් සිය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, ඒක්ෂණ වෙළඳපොළ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකයට වඩා ඉහළින් පවතින පරිදි පොලී අනුපාතික ව්‍යුහය නිවැරදි කළ යුතුය.


(Image: http://www.news.lk)

Monday, February 13, 2017

හාල් මිල, ජීවන වියදම හා උද්ධමනය

මේ දවස් වල ලංකාවේ හාල් හොඳටම ගණන්ය. හාල් විතරක් නොව පොල්ද ගණන්ය. වසර කිහිපයකට වරක් ඇති වන වියලි කාලගුණය සමඟ වී හා පොල් නිෂ්පාදනය පහත වැටී, ලංකාවේ නිපදවන හාල් වර්ග වල හා පොල් වල මිල ඉහළ යාම අමුතු දෙයක් නොවේ. ඇතැම් වසර වල මෙහි අනිත් පැත්තද මේ අයුරින්ම සිදු වේ. එහෙත්, හාල් පොල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍යයක් ගණන් යද්දී මෙන් මිල අඩුවන විට ඒ ගැන වැඩිපුර අවධානය යොමු වෙන්නේ නැත.

හාල් හා පොල් කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආහාර වේලේ මූලික කොටස් දෙකකි. වෙන මොනවා නැතත් බොහෝ ලාංකිකයින්ට හාල් හා පොල්නම් නැතුවම බැරිය. ඒ නිසා, මිල වැඩි වුනත් හාල් හා පොල් සඳහා ලංකාවේ තිබෙන ඉල්ලුම එතරම් අඩු වෙන්නේ නැත.

හාල් හා පොල් ගණන් ගිය විට බොහෝ දෙනෙකුගේ ජීවන වියදම වැඩි වේ. බොහෝ දෙනෙකුගේ කියා කීවේ හාල් හා පොල් නොකන අයත් සිටිය හැකි බැවිනි. හාල් හා පොල් මිල ඉහළ යාම නිසා හාල් හා පොල් නොකන අයගේ ජීවන වියදමට බලපෑමක් නොවේ. ජීවන වියදම කියන්නේ එක් එක් පුද්ගලයාට, වඩා නිවැරදිව කිවුවොත් පවුල් ඒකකයකට සාපේක්ෂ දෙයකි. ජීවන වියදම ඉහළ යාම කියා හඳුන්වන්නේ කිසියම් පුද්ගලයෙකුට හෝ පවුල් ඒකකයකට සාමාන්‍යයෙන් අවශ්‍ය වන භාණ්ඩ මල්ලේ මිල ඉහළ යාම නිසා ඇතිවන අපහසුතාවයයි.

උද්ධමනය කියන්නේත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම හා සම්බන්ධ දෙයකි. එහෙත්, උද්ධමනය හා ජීවන වියදම ඉහළ යාම කියන්නේ එකක් නොව දෙකකි. උද්ධමනය කියන්නේ පොදුවේ කිසියම් රටක භාණ්ඩ හා සේවා වල මිලට සාපේක්ෂව එම රටේ මුදල් ඒකකයේ අගය අඩු වීමයි. හැමවිටම වාගේ උද්ධමනයට හේතු වෙන්නේ වැඩියෙන් මුදල් අච්චු ගැසීමයි. මේ මුදල් අච්චු ගැසීම කුමක්ද කියා පෙර පැහැදිලි කර තිබේ. උද්ධමනය රටක් තුළ එකම මුදල් ඒකකය භාවිතා කරන පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පවුලෙන් පවුලට වෙනස් නොවේ. උද්ධමනය වැඩි වීම රටේ සියල්ලන්ටම පොදුවේ බලපායි.

උද්ධමනය මැනීම සඳහා පහසුවට පාරිභෝගික මිල දර්ශක යොදා ගත්තත්, පාරිභෝගික මිල දර්ශකයකින් ඇත්තටම මනින්නේ රටේ යම්කිසි කණ්ඩායමක ජීවන වියදමෙහි සිදුවන වෙනස් වීමයි. රටේ මුදල් සැපයුම වැඩි වීම හැර වෙනත් හේතු නිසාද ඇතැම් භාණ්ඩ වල මිල ඉහළ ගොස් ජීවන වියදම වැඩි වුනත් බොහෝ විට මෙවැනි මිල වැඩිවීම් කෙටිකාලීනය. එහෙත්, උද්ධමනය යනු දිගුකාලීනව සිදුවන ක්‍රියාවලියකි.

අප කවුරුත් දන්නා පරිදි මේ දවස් වල හාල් හා පොල් මිල ඉහළ ගොස් ඇත්තේ නිෂ්පාදනය අඩු වීම නිසා මිස රටේ මුදල් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් නොවේ. මුදල් ප්‍රමාණය වැඩිවීමේ බලපෑම සෑම භාණ්ඩයකට හා සේවාවකටම එකසේ බලපායි. මෙය එවැනි තත්ත්වයක් නොවේ.
(මුදල් සැපයුම වැඩි වීමේ ප්‍රතිඵල පසුව තැපෑලෙන් ලැබෙන්නට පුළුවන.) 

මුදල් සැපයුම සමාන්තරව වැඩි නොවේනම් කිසියම් භාණ්ඩයක හෝ භාණ්ඩ කිහිපයක මිල වැඩි වීම සාමාන්‍යයෙන් උද්ධමනකාරී තත්ත්වයක් ඇති නොකරයි. ඒ වෙනුවට සිදුවන්නේ වෙනත් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමෙන් රටේ සාමාන්‍ය මිල මට්ටම කිසියම් සමතුලිතතාවයකට පැමිණීමයි.

රටේ සාමාන්‍ය පවුලකට ආහාර සඳහා වියදම් කළ හැක්කේ නිශ්චිත මුදලකි. මේ මුදල සමාන්තරව වැඩි නොවේනම්, හාල් හා පොල් මිල ඉහළ ගිය විට එම පවුලට සිය පරිභෝජන මට්ටම පවත්වා ගැනීම අසීරු වේ. එවිට, හාල් හා පොල් පරිභෝජනය අඩු කරන්නට සිදුවේ. එහෙත්, ලංකාවේ බොහෝ දෙනෙකුට මෙය කළ නොහැකි දෙයකි. ඒ නිසා ඔවුන්ට සිදුවන්නේ මෙතෙක් පරිභෝජනය කළ වෙනත් දේවල් වලින් කිසියම් ප්‍රමාණයක් කපා හරින්නටය.

ලංකාවේ හාල් හා පොල් වැඩිපුර ආහාරයට ගන්නා බහුතර ජනතාව දිනපතා මස්, මාළු කන්නේ නැත. ඔවුන්ගේ ආහාර වේලට සාමාන්‍යයෙන් බොහෝ විට එකතු වන්නේ බිත්තරයක් හා එළවළු කිහිපයකි. කෑම සඳහා සාමාන්‍යයෙන් වෙන් කරන මුදලින් වැඩි කොටසක් හාල් හා පොල් වෙනුවෙන්ම පමණක් වියදම් වූ විට ඔවුන්ට වෙනදා මෙන් එළවළු හා බිත්තර වැනි දේ මිල දී ගන්නට ප්‍රමාණවත් මුදලක් අතේ ඉතිරි නොවේ. ඒ නිසා එළවළු හා බිත්තර මිල දී ගන්නට වෙන්නේ වෙනදාට වඩා අඩුවෙනි. හාල් හා පොල් ඇත්නම් සම්බෝලයක් හදාගෙන හෝ බඩ පිරෙන්නට බත් ටිකක් කන්නට පුළුවන.

බොහෝ දෙනෙක් මේ අයුරින් එළවළු හා බිත්තර මිල දී ගැනීම සීමා කරන විට ඒවාට ඇති ඉල්ලුම අඩු වේ. අනෙක් අතට, නියඟය නිසා වී වැවිය නොහැකි ඇතැම් කුඹුරු වල එළවළු වැවීම හේතුවෙන් එළවළු සැපයුම වැඩි වේ. රටේ ඉල්ලුම අඩුවුන බව කිකිළියන් දන්නේ නැති නිසා බිත්තර නිෂ්පාදනයද අඩු වෙන්නේ නැත. දැන් මේ එළවළු හා බිත්තර විකුණා ගන්නට විදිහක් නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ එළවළු හා බිත්තර වල මිල අඩුවීමයි. එවිට, නැවතත් හාල් හා පොල් වලින් බඩ පුරවාගන්නා අඩු හා පහළ මැදි ආදායම් ලබන පවුල් වලට එළවළුවක් බිත්තරයක් සමඟ කෑම කන්නට ඉඩක් ලැබේ.

පහළ හා පහළ මැදි ආදායම් ලබන පවුල් මෙන් හාල් හා පොල් වලට ආහාර වේලේ ලොකු බරක් නොදමන ඉහළ මැදි ආදායම් ලබන පවුල් වලට හාල් හා පොල් මිල ඉහළ යාම දැනෙන්නේ අඩුවෙනි. ඔවුන් අඩු ආදායම් ලබන පවුල් වලට සාපේක්ෂව එළවළු හා මස් මාළු වැඩිපුර ආහාරයට ගනිති. එළවළු හා බිත්තර මිල අඩු වීම නිසා දැන් මේ අයට තමන් පෙර ආහාර සඳහා වියදම් කළ මුදලින් කොටසක් ඉතිරි වේ. එම ඉතිරිය ඔවුහු මස් මාළු ආදිය මිලදී ගැනීමට වැය කරති. ඒ නිසා අඩු ආදායම් ලබන අයගේ මස් මාළු ඉල්ලුම අඩු වුනත්, ඉහළ ආදායම් ලබන අයගේ ඉල්ලුම වැඩි වන නිසා සමස්තයක් ලෙස සිදුවන්නේ ඉල්ලුම වැඩි වීමකි. ඒ නිසා, එළවළු හා බිත්තර වල මෙන් මස් හා මාළු වල මිල අඩු නොවේ. ඇතැම් විට තරමක් මිල වැඩි වේ. විශේෂයෙන්ම මාළු සැලකූ විට අඩු ආදායම් පවුල් වල තේරීම වන මිල අඩු පොඩි මාළු වර්ග වල මිල තරමක් හෝ අඩු වන්නටත්, ඉහළ ආදායම් ලබන අයගේ තේරීම වන මිල අධික ලොකු මාළු වර්ග වල මිල තරමක් වැඩි වන්නටත් ඉඩ ඇති බව අපට පෙනේ.

මේ සියල්ලේ ශුද්ධ ප්‍රතිඵලය ලෙස, සැපයුම් සාධක මත හාල් හා පොල් මිල විශාල ලෙස වැඩි වුවත් උද්ධමනයෙහි සැලකිය යුතු වෙනසක් නොවේ. පහත වගුවේ ඇත්තේ පසුගිය වසරක කාලය තුළ ලංකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් වෙනස් වී ඇති ආකාරයයි.



 (Image: https://nohopenofear.net/2012/03/12/eat-this-it-will-please-and-sustain-you-sri-lanka/)