Showing posts with label සහනාධාර. Show all posts
Showing posts with label සහනාධාර. Show all posts

Wednesday, October 9, 2019

පොහොර සහනාධාරය

වත්පොතේ සංසරණය වන, පොහොර සහනාධාරය හා අදාළ, හිටපු විගණකාධිපතිගේ කතාවක් අහන්න ලැබුණා. මේ වන විට හිටපු විගණකාධිපතිව සැලකිය හැක්කේ දේශපාලනඥයෙකු මිස වෘත්තීයවේදියෙකු හැටියට නෙමෙයි. අනෙක් අතට මේ වෙද්දී හිටපු විගණකාධිපති ඇතුළු වෘත්තීයවේදීන් කණ්ඩායමක්ම දේශපාලනයට අත ගසා තිබෙන නිසා මේ කණ්ඩායම් දෙක අතර වෙනස එතරම් වැදගත් එකකුත් නෙමෙයි. ඒ වගේම, වඩා පුළුල් ලෙස බැලුවොත් දේශපාලනඥයින් කියන්නෙත් වෘත්තීයවේදීන් කණ්ඩායමක්. කොහොම වුනත්, වෘත්තීයවේදීන් විසින් කියන දේවල් වඩා නිවැරදියි කියා හිතන අය ගොඩක් ඉන්න නිසා මේ කතාවේ සඳහන් ඇතැම් කරුණු ගැන පැහැදිලි කිරීමක් කළ යුතුයි.

හිටපු විගණකාධිපති විසින් අවධාරණය කර කියන ආකාරයට ලංකාවේ නිපදවන සහල් ප්‍රමාණයේ මුළු වටිනාකම මේ වෙනුවෙන් ලබා දෙන සහනාධාරයේ වියදමට වඩා වැඩියි. මෙය සැබෑවක්ද කියා ඉතා පහසුවෙන් තහවුරු කර ගත හැකියි. මේ දත්ත සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හා මහ බැංකුවේ ප්‍රකාශන වල තිබෙනවා. පහත වගුව පිළියෙළ කර තිබෙන්නේ එම දත්ත ඇසුරෙනුයි.


ගාමිණි විජේසිංහගේ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව කාට වුවත් බැලූ බැල්මටම නොපෙනෙන්න හේතුවක් නැහැ. පසුගිය 2018 වසර ගත්තොත්, රටේ නිපදවූ සහල් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 203,015 ක්. නමුත්, පොහොර සහනාධාරය ලෙස ලබා දී ඇති මුදල රුපියල් මිලියන 32,000ක් පමණයි. පෙර වසරවල් සලකා බැලුවත්, රටේ හදන හාල් වල වටිනාකමට වඩා වැඩි මුදලක් පොහොර සහනාධාරය ලෙස ලබා දෙනවා කියන එක ගාමිණී විජේසිංහ විසින් හිතාමතාම හෝ කරුණු සොයා නොබලා කියන බොරුවක්. මා කරන්නේ පොහාර සහනාධාරය අනුමත කිරීමක් නෙමෙයි. කරුණු ඇති සැටියෙන් පෙන්වා දීමක් පමණයි.

නිපදවූ සහල් ප්‍රමාණයේ වෙළඳපොළ වටිනාකම දෙස බලා කර්මාන්තයේ ලාබ පිළිබඳව නිගමනය කරන්න බැහැ. ඒ සඳහා, නිෂ්පාදන වියදම් අඩු කළ යුතුයි. සහල් කර්මාන්තයේ එකතු කළ අගය කියා කියන්නේ මෙසේ පිරිවැය ඉවත් කළ විට ඉතිරි වන ලාබයටයි. මේ එකතු කළ අගය පිළිබඳවත් සංඛ්‍යාලේඛන තිබෙනවා. 2018 වසරේදී කර්මාන්තයේ එකතු කළ අගය රුපියල් මිලියන 118,653ක්. ඒ මුදල වුවත්, පොහොර සහනාධාරයේ පිරිවැයට වඩා කිහිප ගුණයක් වැඩියි.

කර්මාන්තයේ සැබෑ ලාබය ගණනය කරන්න ඉහත එකතු කළ අගයෙන් සහනාධාර මුදල අඩු කර ගෙවූ බදු මුදල් එකතු කළ යුතුයි. සහල් නිපදවීමේ කර්මාන්තයේ බදු වියදම් කොපමණද කියා මා දන්නේ නැහැ. නමුත්, කිසියම් හෝ බදු මුදලක් මේ කර්මාන්තයේ නියැලෙන්නන් විසින් රජයට ගෙවා තිබෙන නිසා පොහොර සහනාධාරයේ වියදම මුළුමනින්ම ඉහත එකතු කළ අගයෙන් අඩු කිරීම නිවැරදි නැහැ. එසේ කළත්, සැලකිය යුතු එකතු කළ අගයක් පෙනෙන්නට තිබෙනවා.

පෙනෙන විදිහට ගාමිණි විජේසිංහ පෙනී සිටින්නේ රාජ්‍යමූලික, ආරක්ෂණවාදී ආර්ථිකයක් වෙනුවෙනුයි. ලංකාවේ බොහෝ වෘත්තිකයින් රාජ්‍යමූලික, ආරක්ෂණවාදී ආර්ථිකයකට කැමතියි. එවැනි ක්‍රමයක් යටතේ ඔවුන්ට රටේ අනෙකුත් අයගේ වියදමෙන් වාසි ලබා ගන්න ඉඩ තිබීම මෙයට හේතුවයි. ගාමිණි විජේසිංහ කතා කරන්නේ මේ පිරිසටයි.

ගාමිණි විජේසිංහ විසින් යෝජනා කරන්නේ වෙළඳපොළ යාන්ත්‍රනය අවහිර කර රජය විසින් භාණ්ඩ හා සේවා වල මිල තීරණය කරන ක්‍රමයකුයි. මේ පැරණි සමාජවාදී රටවල තිබුණු අසාර්ථක වූ ක්‍රමය මිස අලුත් එකක් නෙමෙයි. වත්පොත් වීඩියෝව ප්‍රචාරය කෙරෙන්නේ ජාතික ජනතා ව්‍යාපාරයේ ලේබලය සමඟ නිසා මෙය එම ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිපත්තිය කියා සිතිය හැකියි.

ඔහු කියන ආකාරයට වෙළඳපොළ යාන්ත්‍රනය යටතේ මිල තීරණය වීම අවහිර කරමින්, කිසියම් භාණ්ඩයක් රට ඇතුළේ හදන්න යන වියදමේ අනුපාතයක් ලෙස මිල තීරණය වන පරිදි හා මේ මිල සූත්‍රය වෙනස් කළ නොහැකි පරිදි නීති පැනවිය යුතුයි. වියදම ඇස්තමේන්තු කරන්නේ ඔහු විසින් හෝ වෙනත් පිරිසක් විසින්. නිෂ්පාදකයෙකු ලැබිය යුතු ලාබය තීරණය කරන්නේත් මේ කණ්ඩායම විසිනුයි. අනෙක් අයට තියෙන්නේ මේ වැඩේ කරන පිරිස නඩත්තු කරන එකයි.

ගාමිණි විජේසිංහ යෝජනා කරන ආකාරයට ලංකාවේ ඇපල් ගෙඩියක් හදන්න රුපියල් දහදාහක් යනවානම් ඔවුන් කරන්නේ ඇපල් ගෙඩියක මිල රුපියල් විසිදාහක් වන ආකාරයට සූත්‍රයක් හදා එය වෙනස් කළ නොහැකි සේ නීතිගත කරන එකයි. ඊට පස්සේ ඒ මිල ගෙවා කී දෙනෙක් ඇපල් මිල දී ගනීද කියන එක ගැන හිතන්න ඔහු මහන්සි වෙන්නේ නැහැ. මේ ආකාරයේ ආර්ථික ක්‍රමයකට කැමති අය රටේ කොපමණ ඉන්නවාද කියා ජනාධිපතිවරණයෙන් පසුව බලාගන්න පුළුවන් වෙයි.

https://www.facebook.com/apemedia.lk/videos/782026978918062/

Wednesday, April 19, 2017

බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන්නේ කොහොමද?

මෙය බදු නිසා ආර්ථික වර්ධනය අඩාල වන ආකාරය පිළිබඳ ඉතා සරල පැහැදිලි කිරීමකි. 

කිසියම් රටක නිෂ්පාදකයෝ හතර දෙනෙක් සිටිති.

අමල්: කිරි ගොවියෙකි. ප්‍රාග්ධනය ලෙස එළදෙනක් සිටී. එළදෙන ඔහුගේ වත්තේ තණකොළ කයි. අමල්ගේ ප්‍රාග්ධන හා ශ්‍රම වියදම් ගැන සලකා ඔහු කිරි බෝතලයක් රුපියල් සීයකට විකුණයි.

කමල්: මී කිරි නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් මී කිරි හට්ටියක් හදන්නට පුළුවන. මී කිරි හට්ටියක් රුපියල් 110කට අලෙවි කළ හැකිය.

බිමල්: යෝගට් නිෂ්පාදකයෙකි. ඔහුට කිරි බෝතලයකින් යෝගට් කෝප්පය දෙකක් සැදිය හැකිය. එක් කෝප්පයක් රුපියල් 60කට අලෙවි කළ හැකිය.

චමල්: කල්කිරි නිෂ්පාදනය කරන්නෙකි. ඔහුට අළුත් කිරි බෝතලයකින් කලකිරි බෝතලයක් සැදිය හැකිය. එහෙත්, පාරිභෝගිකයින් අළුත් කිරි වලට තරම් කල් කිරි වලට කැමති නැත. ඒ නිසා ඔහුට කල් කිරි බෝතලයක් විකිණිය හැක්කේ රුපියල් 90කටය.

රජයේ මැදිහත්වීමක් නැත්නම් අමල් කිරි නිපදවනු ඇත. කමල් මීකිරිද, බිමල් යෝගට්ද නිපදවනු ඇත. චමල් කල් කිරි නිපදවීමට යොමු නොවනු ඇත.

-අමල් නිපදවන කිරි බෝතලයකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 100ක දායකත්වයක් ලැබේ.
-කමල් නිපදවන මීකිරි හට්ටියකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 10ක දායකත්වයක් ලැබේ.
-බිමල් නිපදවන යෝගට් කෝප්ප දෙකකින් දළ දේශීය නිෂ්පාදිතයට රුපියල් 20ක දායකත්වයක් ලැබේ.
-චමල්ගෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වයක් නැත.

දැන් රජය විසින් කිරි බෝතලයකට රුපියල් 5ක බදු මුදලක් අය කළොත් (ඉල්ලුම වෙනස්වීම නොසලකා) වෙන්නේ කුමක්ද?
-අමල්ට කිරි බෝතලයකින් ලැබෙන්නේ රුපියල් 100කි. ඔහුගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය රුපියල් 5කට සීමා වේ.
-බිමල්ටද කිරි බෝතලයකට රුපියල් 105ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 15කට සීමා වේ.
-චමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-මී කිරි හා යෝගට් වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය අඩුවේ.
-එහෙත්, රජයට බදු ලෙස ලැබෙන මුදල් දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නිසා සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට බලපෑමක් නැත.

කෙසේ වුවද, මෙය මෙසේ සිදුවීමටනම් රජය විසින් කිරිවලින් ලබාගත් මුදල් වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් වැය කළ යුතුය.

උදාහරණයක් ලෙස, රජයට බදු මුදල් වැය කරමින් චමල්ට කිරි මිලදී ගැනීම සඳහා රුපියල් 10ක සහනාධාරයක් ලබා දිය හැකිය. දැන් ඔහුට කිරි බෝතලයක් මිලදී ගැනීමේදී වැය වන්නේ රුපියල් 90ක් පමණක් නිසා ඔහු කල් කිරි නිපදවන නමුත් විකුණුම් මිලද රුපියල් 90ක්ම නිසා ඔහු කිසිදු අගයක් එකතු නොකරයි. අවසාන වශයෙන් මෙහිදී දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙයි. ඒ රජය විසින් බදු ලෙස අයකරගත් මුදල් අකාර්යක්ෂම (අගය එකතු කිරීමක් නොකරන) කර්මාන්තයක් දිරිමත් කිරීම පිණිස වැය කර ඇති බැවිනි.

දැන් රජය මේ බදු මුදල කිරි බෝතලයකට රුපියල් 15 දක්වා වැඩි කළොත් වෙන්නේ කුමක්ද?

-අමල්ගේ තත්ත්වයේ වෙනසක් නැත.
-කමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු මී කිරි නිෂ්පාදනය කිරීම නවත්වයි.
-බිමල්ට කිරි බෝතලයකට රුපියල් 115ක් ගෙවන්නට සිදුවන නිසා ඔහු විසින් එකතු කරන අගය යෝගට් කෝප්ප දෙකකින් රුපියල් 5කට සීමා වේ.
-චමල්ට වැඩි මුදලක් සහනාධාර ලෙස ලැබෙන නිසා ඔහු කිසියම් අගය එකතු කිරීමක් කරන බව දැකිය හැකි වනු ඇත. එහෙත්, සහනාධාරය ඉවත් කළ විට අගය එකතු කිරීම සෘණ අගයකි.

බදු වැඩි වීම නිසා කමල් නිෂ්පාදනයෙන් ඉවත් වී ඇත. මෙය හඳුන්වන්නේ බදු නිසා අතුරුදහන්වන නිෂ්පාදිතය (Deadweight Loss of Taxation) ලෙසය. ආණ්ඩුව බදු ලෙස එක් අයෙක්ගෙන් එකතු කර ගන්නා මුදල් අන්තිමේදී වෙනත් අයෙක් වියදම් කරන නිසා එසේ වියදම් කරන කොටස අවසානයේදී රටේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක්ව පවතී. එහෙත්, මේ 'අතුරුදහන්වන නිෂ්පාදිතය' පාරිභෝගිකයාට හෝ නිෂ්පාදකයාට හෝ රජයට යන කිසිදු පාර්ශ්වයකට නොලැබී නැත්තටම නැති වී යයි, බදු වල ඇති ලොකුම ප්‍රශ්නය මේ  අතුරුදහන්වන නිෂ්පාදිතයයි.

Monday, April 17, 2017

ආර්ථික වර්ධනය, බදු හා සහනාධාර

පසුගිය 2016 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4%ක් විය. මේ ආර්ථික වර්ධනය යනු වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතය හෙවත් එකතු කළ අගය වැඩි වීමයි. මේ එකතු කළ අගය ගණනය කරන්නේ එක් එක් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදිත වල අවසන් වෙළඳපොළ අගයෙන් එහි අමුද්‍රව්‍ය වියදම් අඩු කිරීමෙනි.

කෙසේවුවද රජය විසින් ලබාදෙන සහනාධාර නිසා මේ අමුද්‍රව්‍ය වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් ලැබේනම් මේ වෙනසට හේතුව අගය එකතු වීමක් නොවීමට පුළුවන. ඒ නිසා, නියම ආර්ථික වර්ධනය ගණනය කිරීමටනම් එවැනි සහනාධාර වල වටිනාකම අඩු කළ යුතුය.

අනෙක් අතට, රජය මඟින් අය කරන බදු නිසා අමුද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වී ඇත්නම් සැබෑ එකතු කළ අගය නොපෙනී යන්නට පුළුවන. ඒ නිසා අමුද්‍රව්‍ය සඳහා ගෙවූ බදු මුදල් එකතු කළ අගයට එකතු විය යුතුය.

පසුගිය වසරේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල එකතු කළ අගයට බදු මුදල් එකතු කර, සහනාධාර මුදල් අඩු කර දළ දේශීය නිෂ්පාදිතය ගණනය කර ඇත්තේ පහත සඳහන් පරිදිය.