Showing posts with label ඒකාධිකාර. Show all posts
Showing posts with label ඒකාධිකාර. Show all posts

Friday, November 18, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (එකොළොස්වන කොටස)

මා පෙර ලිපියෙන් (දහවන කොටසින්) පැහැදිලි කළ පරිදි, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියට ලන්සු තැබීම අතුරේ යාමකි. වෙන්දේසියෙන් සුරැකුම්පත් කිසිවක් හිමි නොවුවහොත් ලාභයක් හෝ අලාභයක් සිදු නොවේ. (මෙය පසුගිය කොටසේ විස්තර කළ සාධකය පමණක් සලකමින් කරන ප්‍රකාශයකි. වෙනත් සාධක ගැන අපි පසුව වෙනම කතා කරමු.) එහෙත්, සුරැකුම්පත් හිමිවුවහොත් දිනක් තුල මිලියන ගණනක විශාල ලාභයක් ලැබෙන්නට හෝ එවැනිම අලාභයක් සිදුවන්නට ඉඩ තිබේ.

මේ තත්ත්වයට වෙන්දේසියට ඉදිරිපත්වන ආයතනයක් මුහුණ දෙන්නේ කෙසේද?

මෙහිදී, ලන්සුකරුවන්ට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් තිබේ.

1. ඔවුන්ට අනෙක් තරඟකරුවන්ට සාපේක්ෂව උපාය මාර්ගික වීමෙන් වැඩි ලාභයක් ලැබිය හැකිය. මෙහිදී, වඩාත්ම උපායමාර්ගික වූ ආයතනය ලාභ ලබයි. අනෙකුත් ආයතන වලට පාඩු සිදුවේ. තරඟකරුවන් අතර සිදුවන උපාය මාර්ගික ක්‍රීඩාවේ ප්‍රතිඵලය ලෙස රජයට උපරිම වාසියක් ලැබේ. මෙය පසුගිය ලිපිය සමඟ ඉදිරිපත් කළ වගු වලින් පෙනෙන ආකාරයේ තත්ත්වයකි.

2. ඔවුන්ට එකතු වී කාටලයක් ලෙස ක්‍රියා කළ හැකිය. මෙහිදී, සැපයුම්කරු වන රජයේ (සහ එහි නියෝජිතයා ලෙස කටයුතු කරන මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ) ඒකාධිකාරයට එරෙහිව ඉල්ලුම්කරුවන් විසින් කණ්ඩායමක් ලෙස එකතු වී ප්‍රති-ඒකාධිකාරයක් ගොඩ නඟයි. එවිට ඇති වන්නේ මේ ඒකාධිකාර දෙක අතර ද්වන්ධ සටනකි. මෙවැනි තත්ත්වයක් යටතේ මිල තීරණය වන්නේ වඩා නොඉවසිලිමත් (impatient) වන්නේ කුමන පාර්ශ්වයද යන කරුණ මතයි. බොහෝ විට සල්ලි හදිස්සිය තියෙන්නේ රජයට නිසා රජයට වැඩි පොලියක් ගෙවන්නට සිදුවන්නට ඉඩ තිබේ. එමෙන්ම, ඔවුන්ට ප්‍රාථමික වෙන්දේසියට සහභාගී වීමේ හැකියාවක් නැති තනි පුද්ගලයින් හා අනෙකුත් සමාගම් වෙතද සිය ඒකාධිකාරය පවත්වා ගැනීමෙන් ලාභ ලැබිය හැකිය.

3. වෙන්දේසියට ක්‍රියාශීලී ලෙස සහභාගී නොවී හෝ එය මඟ හැර සිටිය හැකිය.

ඇත්තටම සිදුවන්නේ මේ තුනේම මිශ්‍රණයකි.

මේ තත්ත්වය තේරුම් ගැනීමට අපි මේ කරුණු එකින් එක සලකා බලමු. ඊට පෙර අපි මේ තීරණ ගන්නේ මොන වගේ පුද්ගලයින්ද කියා විමසා බැලිය යුතුය.

ලංකාවේ ප්‍රාථමික ගණුදෙනුකාර සමාගම් පහළොවකි. මේ සමාගම් වලින් අටක් ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි බැංකුවකට සම්බන්ධය. ඉතිරි හත එවැනි සම්බන්ධයක් නැති පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වැනි තනි සමාගම්ය. මෙවැනි තනි ප්‍රාථමික ගණුදෙනුකාර ආයතනයක සාමාන්‍යයෙන් සේවය කරන්නේ ඉතා සුළු සේවක පිරිසකි. එය මේ කර්මාන්තයේ ස්වභාවයයි. ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව වැනි ආයතනයක රට පුරා ඇති ශාඛා වල ඉතා විශාල සේවක පිරිසක් හිටියත්, එම බැංකු වල භාණ්ඩාගාර ඒකකයේ සේවය කරන්නේ සීමිත පිරිසකි. බැංකුවකට එවැනි ඒකක ඇත්තේ එකකි. මෙවැනි භාණ්ඩාගාර ඒකකයක් තනිව ගත් කළ ප්‍රාථමික ගණුදෙනුකාර සමාගමකට සමහර කරුණු අතින් සමානය.

ප්‍රාථමික වෙන්දේසියට ඉදිරිපත් වීමට අමතරව ප්‍රාථමික ගණුදෙනුකාර සමාගම් හා බැංකු වල භාණ්ඩාගාර ඒකක එදිනෙදා බොහෝ විට නිරතව සිටින්නේ ද්වීතියික වෙළදපොළ කටයුතු වලය. මේ ද්වීතියික වෙළදපොළ ගනුදෙනු වලින් විශාල ප්‍රමාණයක් සිදුවන්නේ ඔවුනොවුන් අතරය. මෙසේ කිරීමේදී, මේ සීමිත ආයතන කිහිපයේ සේවය කර
සීමිත පුද්ගලයින් පිරිසට එකිනෙකා හා දුරකථනයෙන් කතා කරන්නට සිදුවේ. ඒ හරහා ඔවුහු පෞද්ගලික දැන හැඳුනුම්කම්ද ගොඩනඟා ගනිති. මේ අනුව, මේ අය එක්තරා සංවෘත සමූහයකි. ඒ සංවෘත සමූහය තුළ තවත් කුඩා කල්ලි ආදියද නැතුවා නොවේ.

සුරැකුම්පත් ගණුදෙනු වල නිරත වන අයට බොහෝ විට ඔවුන් ලබන ලාභ අනුව කොමිස් මුදලක් ලැබේ. එමෙන්ම, එක දිගට පාඩු ලබන ගණුදෙනුකරුවෙකුට (
Dealer) රස්සාව නැති වීමේ ඉඩකඩක්ද තිබේ. මෙසේ රස්සාව නැති වුණොත් ඔවුන්ට නැවත රස්සාවක් හොයාගන්නට වෙන්නේද මේ ආයතන වලින් එකකමය. ලොකු පාඩුවක් ලබා රස්සාව නැති කරගත් විට වෙනත් තැනක රස්සාවට යාමද පහසු නැත. එමෙන්ම, වැඩිපුර ලාභ ලබන අයෙකුට වෙනත් ආයතන වලින් රැකියා පිරිනැමීමද සිදුවිය හැක්කකි. ඇතැම් විට ප්‍රධාන බැංකුවක ප්‍රධාන ගනුදෙනුකරු (Chief Dealer) එයින් ඉවත්ව තමන්ගේම ප්‍රාථමික ගනුදෙනුකාර සමාගමක් පටන්ගන්නට වුවත් ඉඩ තිබේ.

මෙකී නොකී කරුණු ඉදිරිපත් කරමින් ඉකොනොමැට්ටා වටින් ගොඩින් එන්නට හදන්නේ උඩින් ලියූ පළමු ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් මේ ආයතන එකිනෙකා සමඟ තරඟ කිරීමේ ඉඩකඩ එතරම් විශාල නොවන බව කියන්නටයි. අද එක ආයතනයක සේවය කරන අයෙකු හෙට වෙනත් තැනකට යන්නට ඉඩ ඇති නිසාත්, මේ අය බොහෝ විට සමාජ ජීවිතයේදී එකට හමුවන නිසාත් ආයතන අතර තරඟය ඉක්මවා බොහෝ විට මානුෂීය සම්බන්ධතා මතු වෙයි. මේ අනුව, දිගින් දිගටම පාඩු ලබා රස්සාව නැති කරගන්නට යන සගයෙකුට ලාභ පෙන්වීමට උදවු වීමට වෙනත් අයෙකු පාඩු ලබමින් ගණුදෙනුවක් කිරීම වුවත් සිදුවන්නට නොහැකි දෙයක් නොවේ. ඒ වගේම, තමන්ගේ ආයතනයේ අතිරික්ත ද්‍රවශීලතාවයක් (ආයෝජනයකට යෙදවිය හැකි, වෙනත් යමකට හිර වී නැති අරමුදල්) නොමැති විටක දක්නට ලැබෙන ලාභ ලැබීමේ අවස්ථාවක් ගැන වෙනත් ආයතනයක සේවය කරන සගයෙකුට දැනුම් දෙන්නට ඉඩ තිබේ. මෙය වෙනත් බොහෝ වෘත්තීන්ටද පොදු තත්ත්වයකි.

ප්‍රාථමික ගනුදෙනුකරුවෝ බොහෝ විට පොදු වාසි තකා කණ්ඩායමක් ලෙස කටයුතු කරති. එහෙත්, මෙහි ව්‍යතිරේඛ තිබේ. ප්‍රාථමික වෙන්දේසියට ඉදිරිපත් වීමේ හිමිකම ඇති සේවක අර්ථසාධක අරමුදල පාලනය කරන්නෝ මහ බැංකු සේවකයෝය. මා දන්නා තරමින් ඔවුන්ට ඔවුන්ගේ ලාභ මත කොමිස් මුදලක් නොලැබේ. එමෙන්ම, ඔවුන් දිගටම පාඩු ලැබුවද රැකියාව නැති වීමේ අවදානමක් නැත. රාජ්‍ය බැංකු වලද මේ රැකියාව නැතිවීමේ අවදානම නැති තරම්ය. ඔවුන්ටද කොමිස් මුදලක් ලැබෙන්නේදැයි මා දන්නේ නැත. ලැබුණත් එය වෙනත් පෞද්ගලික සමාගම් වල මට්ටමේ නැති බව මගේ අදහසයි. (මේ කරුණු ගැන මා යාවත්කාලීන නැති නිසා හරියටම කිව නොහැක). ඒ නිසා, විශාල ප්‍රාග්ධනයක් හා ආයෝජන හැකියාවක් ඇති රජයට සම්බන්ධ මේ ආයතන අනෙකුත් ආයතන මතුපිටට නොපෙනෙන පරිදි එකතු වී කාටලයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව සීමා කරයි.

ඉහත කරුණු වලට අමතරව මේ ආයතන අතර ඔවුන්ගේ අරමුදල් වල ආවස්ථික පිරිවැයේ වෙනස්කම්ද තිබේ. ප්‍රාථමික වෙළෙන්දෙකුට ලාභ ලැබිය හැක්කේ සුරැකුම්පතක් මිලදී ගත් මිලට වඩා වැඩියෙන් වෙනත් අයෙකුට විකිණීමෙනි. එසේ නැත්නම් තමන් සතුව තබාගෙන කල් පිරුණු විට ලබන පොලී ආදායමෙනි. මොවුන් සතුව ඇත්තේ සීමිත ප්‍රාග්ධනයක් නිසා අරමුදල් සොයා ගැනීමට ඔවුන්ට තනි පුද්ගල හෝ ආයතනික පාරිභෝගිකයින් අවශ්‍ය වේ. මෙවැනි අරමුදල් හිමිකරුවෙකුට තෝරා ගැනීමට ප්‍රාථමික වෙළෙන්දන් ගණනාවක් සිටින නිසා ඔවුන් වෙනුවෙන් සුරැකුම්පත් ගණුදෙනු කිරීමේදී වැඩි කොමිස් මුදලක් තබා ගැනීම පහසු නැත. ඔවුන්ට අරමුදල් ලැබෙන්නේ ද්වීතියික වෙළදපොල මිලට ඉතාම ආසන්නවය. මේ නිසා ප්‍රාථමික වෙළෙන්දෙකුට සිය ලාභ වැඩි කර ගැනීමට විශාල මහන්සියක් දරන්නට සිදුවේ. ඒ නිසා, ඔවුන් පොලී අනුපාතික වල සුළු වෙනසකට පවා ඉතා සංවේදීය.

අනෙක් අතට, සේවක අර්ථසාධක අරමුදලට කිසිදු මහන්සියක් නැතිව නිශ්චිත අරමුදල් ප්‍රමාණයක් එකතුවේ. ලැබෙන පොලිය අඩුවුණා කියා කිසිවෙකුට තමන්ගේ අර්ථසාධක අරමුදල් බැහැර ගෙනයා නොහැක. මේ අරමුදල් හිමිකරුවන්ට මහ බැංකුව විසින් ගෙවන පොලී අනුපාතික භාර ගනු හැර වෙන කළ හැකි දෙයක් නැත. ඒ නිසා, සිය ආයෝජන වෙනුවෙන් ලැබෙන පොලී අනුපාතික වෙනස් වුනා කියා අර්ථසාධක අරමුදල මෙහෙයවන්නන්ට බලපෑමක් නොවේ.

වාණිජ බැංකු වලට ඇත්තේ මේ දෙකේ අතරමැදි තත්ත්වයකි. ඔවුන් අරමුදල් රැස්කරගන්නේ රාජ්‍ය සුරැකුම්පත් ඉල්ලා සිටින පාරිභෝගිකයින්ගෙන්ම නොවේ. බොහෝ විට තැන්පතුකරුවන්ගෙනි. මේ තැන්පතු පොලී විශාල ලෙස අඩු කළහොත් පාරිභෝගිකයින් වෙනත් බැංකුවකට යන්නට ඉඩ තිබේ. එහෙත්, සාමාන්‍යයෙන් බැංකු තමන්ගේ අරමුදල් සඳහා දරන ආවස්ථික පිරිවැය වන බැංකු පොලිය රාජ්‍ය සුරැකුම්පත් වලින් ලැබිය හැකි පොලියට වඩා අඩුය. උදාහරණයක් ලෙස ජංගම ගිණුම් ශේෂ මත පොලියක් ගෙවන්නේම නැත.

ඉහත වෙනස්කම් නිසා සේවක අර්ථ සාධක අරමුදලට සහ බැංකු වලට, විශේෂයෙන්ම රාජ්‍ය බැංකු වලට සුරැකුම්පත් වෙන්දේසියට සහභාගී වී පාඩු විඳීමේ අවදානම ගන්නට එතරම්ම අමාරු නැත. එහෙත්, ප්‍රාථමික ගනුදෙනුකරුවන්ට එය කිරීම වඩා අසීරුය.

තෙවන විකල්පයද ඇතැම් ආයතන විසින් ප්‍රායෝගිකව අනුගමනය කරන එකකි. කෙසේ වුවද, එය කළ හැක්කේ රුපියල් මිලියන සීයේ අවම සීමාවට යටත්වය.

(මතු සම්බන්ධයි)

Wednesday, March 16, 2016

අනේ මගෙන් බඩුගන්න එපා!




"මාළු මාළු මාළෝ...."

ඒ කෑගහන්නේ මාළු පෙට්ටිය බයිසිකලේ බැඳගෙන ගම වටේ යන ප්‍රනාන්දු නොවේ. බයිසිකලේ පස්සේ දුවන මැගි නෝනාය.

"අනේ ප්‍රනාන්දු, පොඩ්ඩක් ඔහොම නැවතියං බං!"


ප්‍රනාන්දු බයිසිකලේ නැවැත්තුවේය.

"මාළු පන්සීයක් දීල පලයං බං."

"පන්සීයක්ම ඕනැද? ඇයි දෙසිය පනහක් මදිද? දෙසිය පණහක් ගන්නවනං රුපියල් සීයකට දෙන්නං!"

"දෙසිය පනහක් මොනව කරන්නද බං. පන්සීයක්ම දීපං. මේං රුපියල් දෙසීයක් තියෙනව"

"පන්සීයක්ම ගන්නවනං රුපියල් තුන්සීයයි! ඔච්චර මාළු කන එක ඇඟටත් හොඳ නෑ බං!! දෙසිය පනහක් ගන්නවනං අඩුවට දෙන්නං."

"කමක් නෑ, තුන්සීයක් දෙන්නං. පන්සීයක්ම කිරපන්. ශෝක් අළුත් මාළු ටික."

"මොන අලුත්ද බං. දවස් දෙකක් පරණයි."

"දවස් දෙකනේ. ඕක මොකක්ද?"

"ඒ වුනාට හොඳට ෆෝමලිනුත් ගහල තියෙන්නේ. ඕව කාල මොන ලෙඩ හැදෙයිද කියල මංනං දන්නෙ නෑ."

"ඒකට කමක් නෑ, බං! කාලනේ මැරෙන්නේ"

"ඔන්න එහෙනං උඹට ඕනෑමනං පන්සීයක් ගනිං"

"යන්නං මල්ලියෙ එහෙනං. ලබන සතියෙත් මේ පැත්තෙ එනවැයි?"

"ඒක කියන්න බෑ. හිතුනොත් එනව."

"අනේ කොහොම හරි වරෙන් බං. ලබන සතියේ දානෙකට මාළු කිලෝ දෙක තුනක් ඕනෑ කල්ල තියෙනවා."

"කිලෝ දෙක තුනක්? උඹට කිලෝ දෙක තුනක් දුන්නහම මං අනිත් අයට මොනවද දෙන්නේ?"

"එහෙම කියන්න එපා බං. දානෙකටනේ!"

"එච්චර ඕනැනම් දෙන්න වෙන්නේ කිලෝ එක දාහ ගානෙවත් තමයි!"

"කමක් නෑ! ඒ ගානට හරි දීපං මොකෝ අපි වෙන කෙනෙක්ගෙන් මාළු ගන්න කියලයැ?"

***

- තමන් නිපදවන භාණ්ඩය විකිණීමට උත්සාහ කරනවා වෙනුවට එය පරිභෝජනය කිරීමේ අවාසි ගැන කියමින් ඉල්ලුම සීමා කිරීමට මහන්සි වන වෙළෙන්දෙක්
- වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිල දී ගන්නා පාරිභෝගිකයින්ට වට්ටමක් දෙනවා වෙනුවට වැඩිපුර අයකරන වෙළෙන්දෙක්

ප්‍රනාන්දු වගේ වෙළෙන්දන් ඇත්තටම ඉන්න පුලුවන්ද? ප්‍රනාන්දුට පිස්සුද?

ලංකා විදුලිබල මණ්ඩලය ඊට වඩා වෙනස්ද?

Tuesday, February 16, 2016

ඔසු සමාගම් වල ඒකාධිකාරය බිඳහෙළිය යුතුද?


මිනිස් ජීවිතයක වටිනාකම අසීමිත නැතත් ඉතා විශාලය. ලිපිටෝර් වැනි රෝගයක් සෑදීමේ ඉඩකඩ අඩුකර ගැනීමට උදවු කරන (එහෙත් ඇතැම් එන්නත් මෙන් ඉතා ඉහල සම්භාවිතාවකින් රෝග නිවාරණය නොකරන) ඔසුවක් භාවිතා කිරීම වාසිදායක වන්නේ එසේ කිරීම නිසා වැඩි වන අපේක්ෂිත ආයු කාලයේ වටිනාකම ඔසුවේ මිලට වඩා වැඩිනම් පමණි. ඔසුවේ මිල ඉතා අධිකනම් සහ එහි ඵලදායීතාව සීමිතනම්, ඔසුව මිලදී ගැනීමට මුදල් වැය කරනවාට වඩා හෘදයාබාධයක් සෑදීමේ අවදානම ගැනීම වඩා වාසිදායකය.

රුධිරයේ LDL කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ලෙස අඩු කරන, හෘදයාබාධ සැදීමේ අවදානම 25-45% පමණ මට්ටමකින් අඩු කරන 'ලිපිටෝර්' නම් ජනප්‍රිය වෙළඳනාමය යටතේ දශක දෙකක පමණ කාලයක් තිස්සේ අලෙවිවන, ඇටෝර්වැස්ටටීන් කැල්සියම් ලොව එතෙක් මෙතෙක් අලෙවි වූ ජනප්‍රියම ඔසුවකි. ෆයිසර් සමාගම පේටන්ට් බලපත්‍රය මඟින් ලැබුණු ඒකාධිකාරය අහෝසි වීමෙන් පසුව ලිපිටෝර් මිල කලින් පැවති මිලෙන් හතරෙන් එකක් පමණ දක්වා පහත වැටී ඇත. වෙනත් විදිහකින් කියනවානම්, ෆයිසර් සමාගම පේටන්ට් බලපත්‍රය මඟින් එම සමාගමට ලැබුණු ඒකාධිකාරය නිසා පසුගිය කාලයේ විශාල ලාභයක් ලබා තිබේ. 

එසේනම්, මේ ලාභය අසාධාරණද?

ලිපිටෝර් මිල මුල සිටම අද පවතින මිලට පැවතියේනම්, තවත් බොහෝ දෙනෙකු මේ ඔසුව භාවිතා කර වැඩි කලක් ජීවත් විය හැකිව තිබිණි. එය වැළකුණේ ෆයිසර් සමාගමට වැඩි ලාභයක් උපයා ගැනීමට අවශ්‍ය වූ නිසාය. කෙසේවුවද, වැඩි මිල ගෙවමින් වුවද බොහෝදෙනෙකු ලිපිටෝර් මිලදී ගනිමින් සිය අපේක්ෂිත ආයුකාලය වැඩිකරගෙන තිබේ. ෆයිසර් සමාගම විසින් ලිපිටෝර් නිෂ්පාදනය කර නොතිබුණානම් අද ජීවත් වන බොහෝ දෙනෙකු මේ වන විට ජීවතුන් අතර නැත.

වැඩි මිල ගෙවා ලිපිටෝර් මිල දී ගත් සැම කෙනෙක්ම එසේ කර ඇත්තේ එමඟින් වැඩිවන තමන්ගේ අපේක්ෂිත ආයුකාලයේ වටිනාකම ගෙවන මිලට වඩා වැඩි නිසාය. ඒ නිසා ලිපිටෝර් මිලදී ගත් සියල්ලන්ටම සිදුවී ඇත්තේ වාසියකි.

ලිපිටෝර් මිලදී නොගත් අය එසේ කර ඇත්තේ එමඟින් වැඩිවන තමන්ගේ අපේක්ෂිත ආයුකාලය ගෙවන මිලට වඩා අඩු නිසාය. ඔවුහු යම් හෙයකින් පැවති වැඩි මිල ගෙවා ලිපිටෝර් මිල දී ගත්තෝනම් වන්නේ අවාසියකි. එහෙත්, ඔවුන් එසේ වැඩි මිල ගෙවා මිලදී ගෙන නොමැති නිසා ඔවුන්ට වාසියක් හෝ අවාසියක් වී නැත. ෆයිසර් සමාගම ලාභයක් ලබා තිබේ. සමස්තයක් වශයෙන් ලිපිටෝර් මිල දී ගත් පාරිභෝගිකයින්ටත්, ෆයිසර් සමාගමටත් වාසියක් වී ඇති අතර ලිපිටෝර් මිල දී නොගත් පාරිභෝගිකයින්ට වාසියක් හෝ අවාසියක් වී නොමැති නිසා සමස්තයක් වශයෙන් සිදුවී ඇත්තේ වාසියකි.

පර්යේෂණ කර ඔසුවක් අළුතින් වෙළඳපොළට ඉදිරිපත් කිරීම ඉතාම වියදම් අධික එමෙන්ම අවදානම් සහගත කටයුත්තකි. විශාල මුදලක් සහ කාලයක් වැයකර නිපදවන බොහෝ බෙහෙත් වර්ග වලින් අවශ්‍ය ප්‍රතිඵලය නොලැබෙන බව අන්තිමේදී පෙනීයයි. සඵලදායී බෙහෙතක් නිපදවීම ඉතා අසීරු කාර්යයකි.

යම් සමාගමක් විසින් පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් සඳහා විශාල පිරිවැයක් දරා සඵලදායී ඔසුවක් කෙසේ හෝ නිපදවා ගැනීමෙන් පසු වෙනත් අයෙකු විසින් එය නිෂ්පාදනය කිරීම සාපේක්ෂව අඩු පිරිවැය කාර්යයකි. මෙසේ එක් සමාගමක් විසින් නිපදවූ ඔසුවක් වෙනත් බොහෝ සමාගම් විසින්ද තරඟකාරී ලෙස නිපදවන විට එහි මිල එහි ආන්තික පිරිවැය දක්වා පහත වැටිය හැකිය. එවිට, ඔසුව වැඩි දියුණු කළ මුල් සමාගමට තමන් මුලින් කළ ආයෝජනය පියවා ගැනීමට නොහැකි වේ.

මෙය වෙනත්, උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්නේනම්, සංගීත තැටියක් එළිදැක්වීම රුපියල් ලක්ෂ ගණනක් වැය වන කරුණකි. බාහිර නිෂ්පාදකයෙකු විසින් ලාබයක් ලැබීමේ අරමුණින් මෙය කරන්නේයැයි සැලකුවහොත් නිෂ්පාදකයා විසින් ගීත රචකයාට, ගායකයාට මෙන්ම සංගීත කණ්ඩායමට මුදල් ගෙවිය යුතුය. දෘශ්‍ය රූප එකතු කිරීම සඳහා නළු නිලියන් ඇතුළු තවත් පිරිසකට මුදල් ගෙවිය යුතුය. කාර්මික ශිල්පීන්ට, සංගීත භාණ්ඩ, චිත්‍රාගාර පහසුකම් ආදියේ පිරිවැයද දැරිය යුතුය. එමෙන්ම, මේ සංගීත තැටිය ජනප්‍රිය නොවුනහොත් මේ වියදම පියවා ගත නොහැකි වීමේ අවදානමද ගත යුතුය.

කෙසේවුවද, මේ සංගීත තැටිය එක රැයින් ජනප්‍රිය වුවහොත්, වෙනත් අයෙකුට එහි අමතර පිටපතක් නිපදවීමට නිපදවීමට යන්නේ ඉතා සුළු මුදලකි. හිස් තැටියක් ගත් විට මුල් තැටිය පහසුවෙන් පිටපත් කර ගත හැකිය. ඒ නිසා, පිටපතක් ඉතා සුළු මුදලකට අලෙවි කළ හැකිය. බොහෝ දෙනෙකු එසේ කරන්නේනම්, මුල් නිෂ්පාදකයාට එය වැඩි මිලකට විකිණිය නොහැක. ඒ නිසා, ඔහු ආයෝජනය කළ මුදල පියවා ගැනීමටද නොහැකි වේ.

ඖෂධ සමාගම් සම්බන්ධවද තත්ත්වය මෙසේය. තමන් විසින් පර්යේෂණ කර ඔසුවක් නිපදනවාට වඩා පැත්තකට වී බලා සිට වෙනත් අයෙකු වැඩි දියුණු කරන, වෙළඳපොළ ඉල්ලුමක් ඇති ඔසුවක් ඒ අයුරින්ම නිපදවීම වඩා වාසිදායක නිසා කිසිවෙකු අළුත් ඔසු නිපදවනු පිණිස පර්යේෂණ කරන්නට නොපෙළඹේ. ඒ නිසා, ආඬි හත් දෙනාගේ කැඳ හැලිය මෙන් අන්තිමේදී අළුත් නිෂ්පාදනයක් බිහි නොවේ. මෙය නිදහස් වෙළඳපොළ ක්‍රමයක් යටතේ ස්වයංක්‍රීයව විසඳුමක් නොලැබෙන ප්‍රශ්නයකි. පේටන්ට් බලපත්‍ර ලබාදීම මඟින් කරන්නේ නිදහස් වෙළඳපොළ ක්‍රමයක ඇති මේ අඩුපාඩුවට විසඳුමක් දීමයි.

අළුත් නිෂ්පාදනයක් පේටන්ට් කළ විට වසර විස්සක් යන තුරු (දැනට ඇති ජාත්‍යන්තර සම්මතය අනුව) එම නිෂ්පාදනය වෙනත් අයෙකුට නිපදවිය නොහැකිය. මේ නිසා තරඟකාරී මිලකට වඩා වැඩි ඒකාධිකාරී මිලක් අය කරමින් වැඩි ලාභයක් උපයා ගැනීමේ අවස්ථාව නිෂ්පාදකයෙකුට තිබේ. මේ වැඩි ලාභය නව නිපැයුමක් වෙනුවෙන් මුදල් යෙදවීමට පර්යේෂකයෙකුව දිරිමත් කරයි. කෙසේවුවද, වසර විස්සකට ඒකාධිකාරයක් පවත්වා ගත හැකි වූ පමණින් ලාභය අනිවාර්ය වන්නේ නැත. මෙවැනි ආයෝජනයක ඇති අවදානම ඉතා විශාලය. සඵලදායී ඔසුවක් නිපදවීම ලොතරැයි දිනුමක් වැන්නකි.

ලිපිටෝර් වලට ලැබුණු වෙළඳපොළ සාර්ථකත්වය නිසා තවත් බොහෝ නව නිපැයුම් දිරි ගැන්වුනේය. මේ ඇතැම් ඒවා සාර්ථක විය. බොහොමයක් ඒවා අසාර්ථක විය.

ලිපිටෝර් මඟින් හෘදයාබාධ සැදීමේ අවදානම අඩුකළත් මේ අවදානම දැනටත් ඉතා විශාලය. බොහෝ රටවල වැඩිම මරණ ගණනකට හේතුව හෘදයාබාධයි. ඒ නිසා වඩා හොඳ ඔසුවකට තවමත් හොඳ වෙළඳපොළ අවස්ථාවක් තිබේ. ලිපිටෝර් මඟින් LDL සැලකිය යුතු ලෙස අඩු කළත් HDL වැඩි කරන්නේ සුළු වශයෙනි. ඒ අනුව, HDL මට්ටම ඉහළ දැමීම මඟින් හෘදයාබාධ අඩු කිරීම අරමුණු කරගත් ඔසුවක් වැඩි දියුණු කිරීමට සමාගම් රැසක්ම මුල පිරුවේය.

ඉලයි-ලිලී සමාගම ඒ අතරින් එක් සමාගමකි. ඉතා විශාල මුදලක් ආයෝජනය කර, කාලයක් පර්යේෂණ කරමින් ඔවුන් නිපදවූ 'එවස්ට්‍රපිබ්' මේ අරමුණ ඔස්සේ සෑහෙන දුරක් ගමන් කළේය. මූලික මට්ටමේ පිරික්සුම් වලදී පෙනී ගියේ එමඟින් HDL කොලෙස්ටරෝල් ප්‍රමාණය දෙගුණයක් පමණ දක්වා වැඩි කළ හැකි බවයි. ඔසුව අනුමත කර ගැනීමේ අසීරු අදියර රැසක්ම එය පසු කළේය.

කෙසේවුවද, ඔසුව සඵලදායී එකක් ලෙස සැලකිය හැක්කේ එමඟින් හෘදයාබාධ වැළඳීමේ සම්භාවිතාව අඩු කළ හැකිනම් පමණි. මෙය පරීක්ෂා කළ හැකි හොඳම ක්‍රමය සසම්භාවී පාලිත පරීක්ෂණයක් සිදු කිරීමයි. මෙහිදී, මේ පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන, හෘදයාබාධ වැළඳීමේ ඉහළ අවදානමක් ඇති හෝ වරක් වැළඳුන විශාල පිරිසක් තෝරාගෙන ඔවුන්ව අහඹු ලෙස කණ්ඩායම් දෙකකට බෙදනු ලැබේ. තමන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන්න ඔවුහු නොදනිති. මෙයින් එක් කණ්ඩායමකට අයත් පිරිසට අදාළ ඔසුව ලබා දෙන අතර අනෙත් කණ්ඩායමට ලබාදෙන්නේ ඒ ඔසුවටම සමාන බොරු ඔසුවකි. තමන් භාවිතා කරන්නේ ඇත්ත ඔසුවද නැත්නම් බොරු ඔසුවද යන්න කිසිවෙකු නොදනිති.


නියමිත කාලයකට පසු කණ්ඩායම් දෙකෙහි හෘදයාබාධ සැදීමේ ප්‍රතිශත වල සැලකිය යුතු වෙනස්කමක් ඇත්නම් ඒ මේ ඔසුව නිසා විය යුතුය. කණ්ඩායම් දෙකට පුද්ගලයින් බෙදන්නේ අහඹු ලෙස නිසා, මේ කණ්ඩායම් ප්‍රමාණවත් ලෙස විශාලනම්, අනෙකුත් සියළු සාධක වල තිබිය හැකි බලපෑම් සමාන විය යුතුය.

ඉලයි-ලිලී සමාගම විසින් රටවල් 37ක රෝගීන් 12,095 ක් යොදාගෙන විශාල මුදලක් වැය කර සිදු කර සසම්භාවී පාලිත පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව පෙනීගිය පරිදි මේ නව ඔසුව මඟින් HDL ප්‍රමාණය 129%කින් ඉහළ නැංවීමටත්, LDL ප්‍රමාණය 36%කින් පහත හෙලීමටත් සමත් විය. එය වැඩි දියුණු කිරීමෙන් බලාපොරොත්තු වූ මූලික කාර්යය මෙසේ ඉතා සාර්ථකව සිදුවුණත් එමඟින් අපේක්ෂා කළ අවසන් කාර්යය ඉටුවී තිබුණේ නැත. 'එවස්ට්‍රපිබ්' මඟින් අවශ්‍ය පරිදි කොලෙස්ටරෝල් පාලනය කළද එමඟින් හෘදයාබාධ අඩුකිරීමක් සිදුවී නැත.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉලයි-ලිලී සමාගමට 'එවස්ට්‍රපිබ්' ව්‍යාපෘතිය අතහැර දැමීමේ දුෂ්කර එහෙත් ගත යුතුම තීරණය ගන්නට විය. සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන හත අටකින්ම පහළ වැටුණේය. මේ ඔසු සමාගම් ඔවුන්ට ලබා ගත හැකි ඉහළ ලාභ වෙනුවෙන් ගන්නා අවදානමයි.

මේ ව්‍යාපෘතිය නිසා ඉලයි-ලිලී සමාගම විශාල අලාභයක් ලැබුවත් එමඟින් හෘදයාබාධ පිළිබඳ අපේ දැනුමට වැදගත් දෙයක් එකතු වී තිබේ. දැන් පෙනී යන පරිදි HDL මට්ටම ඉහළ නැංවීමෙන් හෘදයාබාධ අඩු කළ නොහැක. HDL සහ හෘදයාබාධ අතර ඇති සම්බන්ධතාව නිවැරදිව අවබෝධ කරගැනීම අනාගතයට භාර, ඇතැම් විට තවත් ඩොලර් මිලියන ගණනක් වැය කළ යුතු, කටයුත්තකි.



පේටන්ට් හිමිකම් හේතුවෙන් ඇතැම් සමාගම් වලට ලැබෙන ඒකාධිකාරය නිසා ඔවුන්ට තරඟකාරී වෙළඳපොලක ලබනවාට වඩා වැඩි ලාභයක් ලැබීමට ඉඩ සැලසී තිබේ. මේ වැඩි ලාභය ඔවුන් ලබන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළ ක්‍රමයක් පැවතීම නිසා නොවේ. තරඟකාරී වෙළඳපොළක් ඇති වීම කෘතීම ලෙස වලක්වා ඇති නිසාය. එසේ කිරීමට සිදුවී ඇත්තේ නිදහස් වෙළඳපොළ ක්‍රමයක පවතීයැයි අප විශ්වාස කරන අඩුපාඩුවකට විසඳුමක් වශයෙනි.

මෙයට විකල්ප විසඳුමක් වන්නේ මෙවැනි ඔසු වැඩි දියුණු කිරීම, නිෂ්පාදනය සහ වෙළඳාම රජය මඟින් සිදු කිරීමයි. එසේ කළ පමණින් නිෂ්පාදන පිරිවැය අඩුවීමක් සිදුනොවේ. රජය පෞද්ගලික අංශය තරමටම කාර්යක්ෂමනම් (සාමාන්‍යයෙන් එය එසේ නැත.) නිෂ්පාදන පිරිවැය සමාන වනු ඇත. රජය මඟින් මෙවැනි කටයුත්තක් කිරීමේදී බොහෝ විට අවසන් නිෂ්පාදනය එහි ආන්තික පිරිවැය පමණක් පියවෙන අඩු මිලකට අලෙවි කෙරෙනු ඇති අතර වැඩිදියුණු කිරීම් සඳහා වැයවන මූලික ස්ථිර පිරිවැය මහජන මුදලින් පියවෙනු ඇත. පෞද්ගලික අංශයේ දායකත්වයෙන් දැන් සිදුවන දෙයට සාපේක්ෂව මෙහි ඇති ප්‍රධානම වෙනස වන්නේ ඔසුවක් භාවිතා කරන අය විසින් ගෙවිය යුතු එහි සැබෑ මිලෙන් කොටසක් රජය විසින් එය භාවිතා නොකරන අයගෙන් අය කර ගෙන රජය විසින් දැරූ ඔසුවේ සමස්ත නිෂ්පාදන වියදමේ අඩුව පියවා ගනු ලැබීමයි.

(Image: http://usatoday30.usatoday.com/)