Wednesday, February 15, 2017

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පසුගිය (තුන්වන) කොටසින් අපි රාජ්‍ය සුරැකුම්පත් වල පරිණත කාලය හා ඵලදා අනුපාතිකය අතර සම්බන්ධතාවය පෙන්වන ද්වීතියික වෙළදපොළ ඵලදා වක්‍රය හඳුනා ගත්තෙමු. පරිණත කාලය වැඩි වෙද්දී වැඩි වන අවදානම නිරූපණය කරමින් ඵලදා වක්‍රය සාමාන්‍යයෙන් මඳක් ඉහළට බෑවුම් වෙයි. එයට අමතරව, මේ ඵලදා වක්‍රය ඇසුරෙන් ඉදිරිකාලයේ පොලී අනුපාතිකයේ සිදුවීමට නියමිත වෙනස්කම් වෙළදපොළ අපේක්ෂාවන්ද හඳුනා ගත හැකිය.

ඉදිරි වසර තුළ පොලී අනුපාතික වෙනස් නොවීමට ඉඩ ඇති බව ඵලදා වක්‍රය ඇසුරෙන් හඳුනා ගන්නේ කෙසේද?

වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ඵලදා අනුපාතිකය දැන් 10%ක් බවත්, වසරකට පසුවද ඒ වන විට වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ඵලදා අනුපාතිකය 10% මට්ටමේම පවතිනු ඇති බවත් අපි සිතමු. ඒ අනුව යමෙකු අද රුපියල් මිලියනයක් වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ආයෝජනය කර, වසරකට පසු පොලිය සමඟ ආපසු ලැබෙන රුපියල් මිලියන 1.1 නැවත තවත් වසරකට ආයෝජනය කළ හොත් ඔහුට හෝ ඇයට දෙවසරකට පසු රුපියල් මිලියන 1.21ක් හිමිවේ. මෙසේ නොකර, අද එක් වරම 10%ක වාර්ෂික පොලියක් ලබාදෙන දෙවසරක ආයෝජනයක් කළද ඔහුට හෝ ඇයට දෙවසරකට පසු මේ මුදලම හිමි වේ.

අවසානයේ ලැබෙන මුදල සමාන වුවත් දෙවන තේරීමේදී මුදල් වැඩි කලකට හිර වන නිසා අවදානම වැඩි බැවින් පොලී අනුපාතික සමානනම් බොහෝ දෙනෙකුගේ තේරීම වන්නේ පළමුවැන්නයි. ඒ නිසා, දෙවසරක බැඳුම්කරයක් නිකුත් කරන අයෙකුට පොලී අනුපාතික නොවෙනස්ව පවතිනු ඇති බව පෙනී ගියත් වසරක බැඳුම්කරයකට ගෙවන මුදලට වඩා තරමක් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්නට සිදුවේ. මෙසේ වැඩිපුර ගෙවිය යුතු පොලිය පරිණත කාල අධිභාරය (term premium) ලෙස  හැඳින්වේ. ඉහත උදාහරණයේදී දෙවසරක් සඳහා වන පරිණත කාල අධිභාරය (වසරක පරිණත කාලයට සාපේක්ෂව) 0.5%ක් ලෙස සැලකුවහොත් වසරක බැඳුම්කරයක පොලිය 10% වෙද්දී, දෙවසරක බැඳුම්කරයක පොලී අනුපාතිකය 10.5%ක් වනු ඇත. පරිණත කාලය තවත් වැඩි වෙද්දී පරිණත කාල අධිභාරය තවත් වැඩි වී පොලිය ක්‍රමක්‍රමයෙන් වැඩි වන නිසා අපට මේ අවස්ථාවේදී දැකිය හැකි වන්නේ මඳක් ඉහළට බෑවුම් වුණු ඵලදා වක්‍රයකි. ඒ අනුව මඳක් ඉහළට බෑවුම් වුනු ඵලදා වක්‍රයකින් පෙන්නුම් කරන්නේ පොලී අනුපාතික නොවෙනස්ව පවතින්නට ඇති ඉඩකඩ ගැන වෙළඳපොළ අපේක්ෂාවන්ය.

ලබන වසරේදී වසරක බැඳුම්කරයක පොලිය 9% දක්වා අඩු වන්නට නියමිතනම් සිදු වන්නේ කුමක්ද? දැන් ඔබට වසරක බැඳුම්කරයක ආයෝජනය කර, වසරකට පසු ලැබෙන මුදල් නැවත ආයෝජනය කිරීමෙන් දෙවසරකින් ලබා ගත හැකි මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 1.2කි  (හරියටම මිලියන 1.199කි). දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කර මේ මුදලම ලබා ගැනීමටනම් ආසන්න වශයෙන් 9.5%ක පමණ (හරියටම 9.4989%ක) පොලී අනුපාතිකයක් ලැබිය යුතුය. කෙසේ වුවද, දෙවසරක  ආයෝජනයක් වෙනුවෙන් 0.5%ක පරිණත කාල අධිභාරයක්ද එකතු කළ යුතු නිසා මේ පොලී අනුපාතිකය ආසන්න වශයෙන් 10%ක් වේ.

දැන් මේ අවස්ථාවේදී, වසරක හා දෙවසරක පරිණත කාල සහිත බැඳුම්කර වල පොලිය සමාන නිසා එම පරාසය තුළ ඵලදා වක්‍රය තිරස් හැඩයක් ගනී. මේ අනුව පෙනී යන පරිදි තිරස් හැඩයක් ඇති ඵලදා වක්‍රයකින් පෙන්වන්නේ ඉදිරි කාලයේදී පොලී අනුපාතික අඩු වන්නට ඇති ඉඩකඩයි.

වෙළඳපොළ අපේක්ෂාව වන්නේ ඉදිරියේදී පොලී අනුපාතික ඉහළ යනු ඇති බවනම්, ඵලදා වක්‍රයේ බෑවුම වඩා දැඩි බෑවුමක් වනු ඇත. බෑවුම වැඩි වන තරමට පොලී අනුපාතික ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩිය.

ඵලදා වක්‍රය පහළට බෑවුම් වීම අඩුවෙන් දැකිය හැකි දෙයකි. එසේ පහළට බෑවුම් වී ඇත්නම් එයින් පෙනෙන්නේ පොලී අනුපාතික ඉදිරියේදී ඉතා විශාල ලෙස පහත වැටෙන්නට ඉඩ ඇති බවයි.

හැඩයේ ඉහත වෙනස්කම් පෙන්නුම් කරන අතරම, වෙළදපොළ පොලී අනුපාතික අඩු වැඩි වන විට සාමාන්‍යයෙන් ඵලදා වක්‍රය සමස්තයක් ලෙස ඉහළ පහළ යයි. පසුගිය දෙවසරක පමණ කාලය තුළ ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික සමස්තයක් ලෙස පෙන්වූයේ ඉහළ යාමේ ප්‍රවණතාවයකි. එයට මහ බැංකුව විසින් ගත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම රජයේ දේශීය ණය ගැනීම් වැඩි වීමද හේතු විය.

පහත වගුවෙන් (වගුව 2) හා රූප සටහනෙන් (රූප සටහන 2) පෙන්වන්නේ පසුගිය සතියේ, වසරකට පෙර හා දෙවසරකට පෙර ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රයේ වෙනස් වීමයි.

 


9 comments:

  1. අවුරුදු 30 කට 2015 පෙබරවාරි වල ආයෝජනය කෙරුවත් උපරිම දීලා තියෙන්නේ 9.48 පොලි අනුපාතිකයක්.එතකොට ඒ යුගයේ දේශීය ණය වලට වඩා වැඩියෙන් විදේශ ණය අරන් තිබීම හේතුවෙන්ද ?

    2015ට සාපේක්ෂව 2016 හා 2017 පෙබරවාරි වල පොලි අනුපාත ආසන්න අගයන් වලින් වැඩිවීම ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය ගමන් ගන්නා මාර්ගය පෙන්නුම් කරනවා නේද ?

    ReplyDelete
    Replies
    1. මෙය සංකීර්ණ කරුණු ගොඩක ප්‍රතිඵලයක් නිසා එකවර රජයේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන්ම වුන දෙයක් කියා කියන්න බැහැ. එහෙත්, රජය විදේශ ණය වෙනුවට වැඩියෙන් දේශීය ණය ගැනීමට යොමුවීමත් මේ වැඩි වීමට දායක වී තිබෙනවා. ඇමරිකාවේ ෆෙඩරල් පොලී අනුපාතික වැඩිවීමත් සමඟ ලෝක ප්‍රාග්ධන ගලායම් වල සිදුවුණු වෙනස්කම් හා මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙයට බොහෝ දුරට හේතු වී තිබෙනවා. වැඩි විස්තර ඉදිරි කොටස් වල ලියන්නම්. වැදගත්ම කරුණනම් මෙයට (දෙවසර තුළ සිදුවූ වැඩි වීමට) හේතුව පර්පෙචුවල් සමාගමට 'වැඩි පොලියට' බැඳුම්කර විකිණීම නොවන බවයි. ඔබේ උනන්දුව ගැන ස්තුතියි! එය මා දිරිමත් කරවන්නක්.

      Delete
  2. Can you please cover more in a one letter?

    ReplyDelete
    Replies
    1. Ano, I usually spend the maximum time I can to compose one blog article/ part and then post it immediately. Most of the letters I have saved as drafts for whatever reason are still in my drafts folder. I will add more content to next parts.

      Delete
  3. Have youe ever think to publish your //භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර // article series as a book or a PDF?

    They were very useful articles for us who do not have the knowledge on this field.

    Thanks.

    ReplyDelete
    Replies
    1. I don't plan to make it a book but I may compile a PDF for fee circulation if I can find time to do so after completing the series.

      Delete
  4. ඵලදා වක්‍රයක් පහලට බෑවුම් වීමට හේතු වන්නේ :

    අඩු පරිණත අවධානම් වාරිකයි
    ඉහල ද්‍රවශීල අවධානම් වාරිකයි
    ඉහල උද්ධමන අවධානම් වාරිකයි
    ඉහල ණය අවධානම් වාරිකයි

    මේ 4න් මොකක්ද

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.