Wednesday, January 27, 2016
ලංකාවේ විදේශ ණය මල්ල
රට ඇතුළෙන් එකතු කර ගත්තත්, පිටින් එකතු කරගත්තත් ණය ණයමය. එහෙත්, මේ දෙකේ වෙනස්කම්ද තිබේ. රජයට අළුතින් රුපියල් මුද්‍රණය කර දේශීය ණය පියවිය හැකිය. එහෙත්, විදේශීය ණය ගෙවිය යුත්තේ ඩොලර් වලිනි. ශ්‍රී ලංකා රජයට ඩොලර් මුද්‍රණය කිරීමට නුපුළුවන. ඩොලර් උපයාගත යුතුය.
රුපියල අවප්‍රමාණය වන විට ඩොලරයක් මිලදී ගැනීමට යන රුපියල් ගණන වැඩි වේ. එවිට, අළුතින් ණය නොගත්තත් තියෙන ණය නිකම්ම වැඩි වේ. උදාහරණයක් ලෙස ඩොලරයක මිල 10%කින් වැඩි වුවහොත්, අළුතින් විදේශ ණය නොගත්තත්, දැනට ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 314.0කින් වැඩි වේ. ඒ නිසා බැලූ බැල්මටම පෙනෙන්නේ දේශීය ණය අඩුවෙන් හානිකර බවයි.
රජය දේශීය ණය ලබාගන්නේ මහ බැංකුවෙන්, අනෙකුත් බැංකු වලින්, පෞද්ගලික සමාගම් වලින් සහ පුද්ගලයින්ගෙන්ය. මහ බැංකුවෙන් සහ අනෙකුත් බැංකු වලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 1,864.3කි.
රජයට අමතරව මේ කණ්ඩායම්ද විදේශ වලට ණය වී ඇත. ඒ නිසා රජයේ දේශීය ණයද වැඩි කොටසක් අවසාන වශයෙන් වක්‍ර ලෙස විදේශීය ණයයි. මේ ආකාරයෙන් අපේ ආර්ථිකය රෝලට ණය ආර්ථිකයකි.
පහතින් ඇත්තේ පසුගිය 2015 ජූනි අවසානයේදී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයයි.
රජය - ඩොලර් මිලියන 24,330
මහ බැංකුව - ඩොලර් මිලියන 2,353
අනෙකුත් බැංකු- ඩොලර් මිලියන 8,538
අන්තර් සමාගම් ණය - ඩොලර් මිලියන 2,645
අනෙකුත් අංශ - ඩොලර් මිලියන 5,667 (තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතන විසින් ලබාගෙන ඇති ණය මෙහි ඇතුළත්ය.)
එකතුව- ඩොලර් මිලියන 43,535
මහ බැංකුව සහ අනෙකුත් බැංකු විසින් ලබාගෙන ඇති ඩොලර් ණය ප්‍රමාණය රුපියල් වලට හැරවූ විට බැංකු අංශයෙන් රජය විසින් ලබාගෙන ඇති ණය ප්‍රමාණයට කිට්ටුය. ඉතිරි කොටසද එසේමය.
රජය විසින් කෙළින්ම ලබා ගන්නා ණය වලට අමතරව මහ බැංකුව, රාජ්‍ය බැංකු, තෙල් සංස්ථාව ආදිය හරහාද වක්‍රව විදේශ ණය රැගෙන ඇති ආකාරය මෙයින් බලා ගත හැකිය.
අවසාන වශයෙන් රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 43,535කි. රටේ ජනගහණයෙන් මේ ගණන බෙදූ විට එක් අයෙකුට ඩොලර් 2,096ක් වැටේ.
මේ ණය අළුතින් ගත් ණය නොවේ. ආණ්ඩුව මාරු වීමට පෙර, 2014 අවසානයේදීත්, එක් අයෙකුට ඩොලර් 2,070ක් වෙන්නට ලංකාව පිටරටට ණය වී සිටියේය. ඇතැම් අය ලොකුවට කතා කළ අපේ විදේශ සංචිත මේ ණය වලින් සීයට විස්සක්වත් ගෙවන්නට ප්‍රමාණවත් වුනේ නැත.
පසුගිය කාලයේ විදේශ ණය (ඩොලර් වලින් ගණන් බැලූ විට) විශාල ලෙස වැඩි වුනේ නැත. අළුත් රජය පසුගිය කාලයේ වැඩිපුර ගෙන ඇත්තේ දේශීය ණයයි. එහෙත්, පසුගිය වසර තුළ රුපියල 10%කින් පමණ පිරිහුණේය. ඒ නිසා රුපියල් වලින් ගණන් බැලූ විට අළුත් ණය නැතත්, විදේශ ණය 10%කින් පමණ වැඩි වී තිබිය යුතුය.
(Image: )
6 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
හොඳ ලිපියක්. රුපියල බාල්දු වීම ගැන අසහාය ආර්ථික විද්‍යා ගුරුවරයා 2500 බන්ධුල රට නොමග අරිනවා. පසුගිය රජය රුපියල හිරකරගෙන හිටියේ. ඩොලර් එක හැම රටවලම මුදල් වලට සාපේක්ශව වැඩිවෙලා. උදා ඉස්සර ඔස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 120 යි දැන් 100 යි. ඒ අනුව රුපියල වැඩිවෙලානෙ.
ReplyDeleteපසුගිය රජය 8% පොලියට චීනෙන් ගත්ත ණය පොලී ගෙවීමට අපේ මැද පෙරදිග වහළුන් එවන මුදල් යොදවන්න වෙනවා. ලෝක බැංකුවෙන් හෝ මුල්‍ය අරමුදලෙන් ණය දෙන්නේ 0.5% වගේ අනුපාත වලට. එකම දේ ඒ ණය ගන්න පරිසර සහතික, ශාක්ශ්‍යතා අධ්‍යන සහ රටට වාසිදායක ව්‍යාපෘති වියයුතු නිසා කල් යනවා. චීනය කරන්නේ තමන්ගේ අතිරික්ත මුදල් වැඩිම පොලියට 'පොලියට දීම'. ඒ අයට වෙන තැන්වල අයෝජනය කලා නම් 1% ට වඩා පොලියක් ගන්න බැහැ.
මේ හැම දෙයක්ම එක වර කිවුවහම වැඩි දෙනෙකුට තේරෙන්නේ නෑ, ඉයන්. ඒ නිසා එකින් එක ලියන්න ඕනෑ.
Deleteවටිනා පැහැදිලි කිරීමක් ඉකො,එතකොට මේ අලුත් ආණ්ඩුවෙන් ලොකු ණයක් අරගෙන නැහැනේ තාම.අපේ ණය අධික වීම නිසා විදේශ ණය දෙන ආයතන ඔය ණය දීම සිමා කරන්න ඉඩක් නැතිද?
ReplyDeleteනෑ, මනෝජ්. මේ ලිපියේ මම කතා කළේ විදේශ ණය ගැන පමණයි. ආණ්ඩුව මාරු වී ගත වුණු පසුගිය කාලය තුළ බොහෝ දුරට සිදුවී ඇත්තේ විදේශ ණය වෙනුවට දේශීය ණය ගැනීමයි.
Delete//අපේ ණය අධික වීම නිසා විදේශ ණය දෙන ආයතන ඔය ණය දීම සිමා කරන්න ඉඩක් නැතිද?//
Deleteදැන් ඔය ගොඩක් අය කියනවනේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන කියනවා කියා අධ්‍යාපනයට/ සෞඛ්‍යයට ආදියට යන වියදම්, විශ්‍රාම වැටුප් ආදිය කපන්න කියා. මේ අයට ඕවා කපන්න කියන්න කා එක්කවත් තරහක් නැහැ. ඒත් ණය දෙන්න කලින් ඒ අයට දැනගන්න අවශ්‍යයි ඒ ණය ආපහු ගෙවන විදිහ. ඒ නිසා තමයි ඒ අය කොන්දේසි දමන්නේ ඒ මුදල් තවත් මුදල් ලැබෙන දේ වලට පමණක් ආයෝජනය කළ යුතු බවට. දැන් ඔබේ අසල්වැසියාගේ ආදායම මසකට රුපියල් 5000යි. ඔහු ලක්ෂ 4ක් ණය වෙලයි ඉන්නේ. ණය වාරික සහ පොලිය ගෙවන්නම ඔහුට යනවා රුපියල් 4500ක්. මේ සියළු විස්තර දැනගෙන සිටින ඔබෙන් ඔහු ණයට රුපියල් 1000ක් ඉල්ලනවා. එවිට ඔහුට සිදුවෙනවා මේ ණය ආපසු ගෙවන ආකාරය ගැන ඔබට පැහැදිලි කරන්න. සමහර විට ඔහු කියයි අපේ රූපවාහිනිය විකුණලා මෙය ගෙවන්නම් කියා. ඔබට පේනවා එය කළ විට ඔහුගේ මාසික විදුලි බිල අඩුවීමත්, රූපවාහිනී බැලීමට ගතකළ කාලය බතල වැල් ටිකක් ඉන්දවීමට ගත කළ හැකි බවත්, අතට එකවර මුදලක්ද ලැබෙන බවත්. මේ 'ප්‍රතිසංස්කරණ' වලට එකඟ වී ඔබ ඔහුට ණය දෙනවා. එහෙම නැතුව, කසිප්පු බොන්න සල්ලි දෙන්නේ නැහැ. ඔහු කිවුවොත් ළමයෙක්ට පොත් ගන්න හෝ ළමයෙක්ට බෙහෙත් ගන්න මුදල් අවශ්‍ය බව ඔබ අනුකම්පාවට මුදල් දෙන්න පුළුවන්. එහෙත්, විශාල මුදලක් දෙන ජාත්‍යන්තර ආයතනයක් එහෙම අනුකම්පාව පමණක් මුදල් දෙන්නේ නැහැ.
මෙවැනි තත්ත්වයක සිටින විට ණය ගත හැකි තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අධික පොලියකට ණය ගැනීම. ආපසු ලැබීමේ අවදානම වැඩි වුනත් ඇතැම් අය ලොකු පොලියක් ලැබෙනවනම් ණය දෙනවා. මෑතකදී අප ලබා ගත් වාණිජ ණය එවැනි ණයයි.
Delete