ආන්දෝලනයට ලක්වූ බැඳුම්කර වෙන්දේසියේදී යම් අක්‍රමිකතාවයක් වීනම් එමඟින් රජයට සිදු වූ අලාභය ගණනය කිරීම සඳහා මුලින්ම එදින වෙන්දේසියට ඉදිරිපත් වූ ලන්සු වල ස්වභාවය හැදෑරිය යුතුය. මේ වන විට මාධ්‍ය වෙත ලැබී ඇති සහ අන්තර්ජාලයෙන් බාගත කරගත හැකි කෝප් වාර්තාව ඇතුළු ලේඛණ වල ඇති දත්ත ඇසුරින් ඉකොනොමැට්ටා විසින් කරන ලද ගණනය කිරීම් අනුව පිළියෙළ කෙරුණු මේ ලන්සු පිළිබඳ විස්තර පහත වගුවේ ඉදිරිපත් කර තිබේ. රවුම් කිරීම් නිසා මේ ගණන් සැබෑ ගණන් වලින් ඉතා සුළුවෙන් වෙනස් විය හැකිය.
ඉහත වගුවෙන් පෙනෙන පරිදි 2015 පෙබරවාරි මස 27 දින වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු තිස් අවුරුදු බැඳුම්කර සඳහා එම වෙන්දේසියට ලන්සු තැබීමේ හැකියාව ඇති ප්‍රාථමික ගණුදෙනුකරුවන් 15 දෙනා සහ සේවක අර්ථසාධක අරමුදල විසින් තබා ඇති ලන්සු මුහුණත වටිනාකම රුපියල් 100ක් සඳහා රුපියල් 119.33 සිට රුපියල් 62.62 (ආසන්න ශතයට) දක්වා පරාසයක විහිදේ. එදින ඉදිරිපත් වී ඇති ලන්සු තිස්හයෙන් දහතුනක් අධිමිල ලන්සුද, දෙකක් සමමිල ලන්සුද, ඉතිරි විසිඑක අවමිල ලන්සුද වේ. අදාළ ඵලදා අනුපාතික 9.35% සිට 18% අතර පරාසයක විහිදේ. මේ ඵලදා අනුපාතික ගණනය කර ඇත්තේ රඳවා ගැනීමේ බද්ද ඉවත් කිරීමෙන් පසුවය.
විවිධ ලන්සුකරුවන් තමන් සතු මුදල් වලට අපේක්ෂා කරන පොලිය (ඵලදා අනුපාතික) වෙනස් නිසා ඒ අය ඉදිරිපත් කරන මිල ගණන්ද මෙසේ වෙනස් වීම ස්වභාවිකය. මා මේ ලිපි මාලාවේ තෙවන කොටසින් පැහැදිලි කළ පරිදි අවුරුදු තිහක් වැනි දීර්ඝ කාලයකින් කල් පිරෙන බැඳුම්කරයක මිල පොලී අනුපාතිකයේ සුළු වෙනසකට වුවත් සැලකිය යුතු ලෙස සංවේදී වේ. ඉදිරිපත් වන මිලගණන් මෙවැනි විශාල පරාසයක පැතිරෙන්නේ ඒ නිසාය.
මේ වගුව ඇසුරෙන් මුලින්ම පැහැදිලි කළ යුත්තේ, රජයට (හෝ රජයේ නියෝජිතයා ලෙස කටයුතු කරන මහ බැංකුවට) නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය සහ පොලී අනුපාතිකය යන විචල්‍ය දෙකම එකවර තීරණය කිරීමේ හැකියාවක් නොමැති බවයි. මුලින් දැනුම් දුන් පරිදිම රුපියල් බිලියනයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළේනම් රුපියල් 100ක මුහුණත වටිනාකමක් රුපියල් 119.33-104.51 අතර අධි මිලකට විකිණිය හැකිව තිබිණි. අදාළ ඵලදා අනුපාතික 10.75% නොඉක්මවනු ඇත. එහෙත්, යම් හෙයකින් රුපියල් බිලියන තුනක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්නේනම් ඒ මිලටම නිකුත් කළ නොහැකි වන අතර රුපියල් 100 (සමමිල) දක්වා මිල අඩු කරන්නට සිදුවේ. එවිට ඵලදා අනුපාතික වල උපරිම සීමාව 11.25% දක්වා ඉහළ යයි. කෙසේ වුවද, ලංකාවේදී බැඳුම්කර නිකුත් කරන්නේ ඇමරිකාවේදී මෙන් එකම මිලකට නොවන නිසා රුපියල් 119.33 වැනි අධිමිලක් ලන්සු තැබූවන්ට තමන් ලන්සු තැබූ මුදලම ගෙවන්නට වෙයි.
(මතු සම්බන්ධයි)
//මේ මිල පරාසය තුළම රැඳෙමින් රුපියල් බිලියන 2.608ක් දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළ හැකිව තිබුණි. //
ReplyDeleteමේ කොටස වැරදියි නේද? 1308 සිට 2608 තෙක් ඉහල යනවිට පොලි අනුපාතය 10.75 සිට 11.00 දක්වා ඉහල යනවා නේද? (ඔබගේ වගුවේ දත්ත අනුව)
ඔබ හරි, ඇනෝ. එය අත් වැරදීමක්. එම වාක්‍යය ඉවත් කළා. වැරැද්ද පෙන්වා දීම ගැන ස්තුතියි! ඔබ වැනි උඩින් පල්ලෙන් නැතුව සැලකිල්ලෙන් කියවන අය ටික දෙනෙක් හෝ සිටීම විශාල සතුටක්.
Deleteමම හිතන්නේ වගුවෙත් වැරද්දක් තියෙනවා. බිලියන නෙමෙයි මිලියන විය යුතුයි. (පැවතුන ඉල්ලුම)
Deleteසමුච්චිත ඵලදායි අනුපාතයත් වගුවට ඇතුලත් කලානම් හොඳයි කියල හිතෙනවා.
ඇත්ත නේන්නම්! මිලියන තමයි. ඔන්න ඒකත් හැදුව, ඇනෝ. ආයෙමත් බොහොම ස්තුතියි! සමුච්ච්චිත ඵලදා අනුපාතිකය ගැන ඊළඟ කොටසින් කතා කරනවා, ඇනෝ. එක පාරටම දැම්මහම ගොඩක් අයට බර වැඩි වෙනවනේ.
Delete