Saturday, February 4, 2017

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

දැන් අළුතෙන් නැවත විස්තර කල යුතු නැති, මහ බැංකු බැඳුම්කර සිද්ධියට ඇති මාධ්‍ය වටිනාකම තවමත් අඩු වී නැත. මේ ගැන විග්‍රහ කරන්නට බොහෝ දෙනා ඉදිරිපත් වෙති. මේ ඇතැම් 'විශ්ලේෂණ' 'ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි තරම්' ඉතාම සරලය. සරලව විග්‍රහ කළ හැකි දෙයක් මහා ලොකු සංකීර්ණ දෙයක් ලෙස විස්තර කරන්නට යාම විකාරයකි. එහෙත්, ඇත්තටම සංකීර්ණ දෙයක් ඕනෑවට වඩා සරල කළ විට කියැවෙන්නේ අවශ්‍ය දෙය නොව වෙනත් දෙයකි.

බැඳුම්කර හා අදාළ ඇතැම් මූලික සිද්ධාන්තද පැහැදිලි කරමින් මේ සිද්ධිය ගැන ඉකොනොමැට්ටා විසින් ලිපි විස්සක් ලියා පළ කළත් ඒ ලිපි විස්සෙන්ම සමස්තයක් ලෙස සාකච්ඡා කර ඇත්තේ මේ සිද්ධියට අදාළ සම්පූර්ණ ක්‍රියාදාමයෙන් සුළු කොටසක් පමණි. එම ලිපි මාලාවෙන් මා පෙන්වා දුන්නේ අදාළ සිද්ධිය නිසා රජයට වූ පාඩුව ගැන ඇති ඇස්තමේන්තු බොහොමයක්, විගණකාධිපති වරයාගේ ඇස්තමේන්තුවද ඇතුළුව, නිවැරදි නොවන බවයි. එමෙන්ම මේ ඇස්තමේන්තු අධිතක්සේරු වන්නට ඇති ඉඩකඩ ඉතා වැඩි බවයි. කෙසේ වුවද, එම ලිපි මාලාව අවසානයේදී රජයට කිසිදු පාඩුවක් සිදු නොවූයේය යන නිගමනයට මා එළඹුණේ නැත. ඒ අතරම, රජයට වූ පාඩුව ලෙස නිශ්චිත ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේද නැත.

බොහෝ දෙනෙකු මේ ලිපි කියවීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ රජයට සිදු වූ පාඩුව ලෙස ඔවුන් සිතා සිටි මුදල තහවුරු කරන ඇස්තමේන්තුවකි. තවත් කොටසක් මේ පිලිබඳ චෝදනා වලින් එම චෝදනා ලැබූවන් නිදහස් කරමින් ලබා දෙන නිගමනයක් අපේක්ෂා කළා විය හැකිය. ලිපි මාලාව ලියාගෙන යද්දී මේ දෙපිරිසේම උනන්දුව ක්‍රමයෙන් අඩුව යන බව පෙනුණේය. කෙසේ වුවද, අවසන් නිගමනයක් වෙනුවට මේ විෂය පිළිබඳව දැනුම වැඩි කර ගැනීමේ අරමුණින් මා සමඟ රැඳී සිටි සුළු පිරිසක්ද වූහ. ලිපි මාලාව ඒ මට්ටමට හෝ ඇදගෙන යන්නට දිරිය සැපයූවේ එම සුළු පිරිසයි.

මගේ පාඨකයින් කිසිවකු නිගමන වලට එළඹීමේදී මා සමඟ එකඟ විය යුතුයැයි මා සිතන්නේ නැත. මා හෝ වෙනත් අයෙකු විසින් "අලෙවි කරන" හෝ "බලෙන් තල්ලු කරන" නිගමන සමඟ විමසුමකින් තොරව එකඟ වීම යහපත් දෙයක් නොවේ. එහෙත්, නිගමන වලට එළඹීමේදී තමන් නොදන්නා කරුණු හා පුහුණුවක් ලබා නැති තාක්ෂනික කරුණු ගැන වැඩි යමක් දැනගැනීම වඩා හොඳ නිගමනයකට එළඹීමට උදවුවකි. මගේ ලිපි වලින් ටික දෙනෙකුට හෝ ඒ සඳහා උදවුවක් ලැබී ඇති බව පෙනෙන්නට තිබීම දිරිගන්වන සුළු කරුණකි.

විගණකාධිපති වාර්තාව අනුව 2015 පෙබරවාරි 27 වෙන්දේසියෙන් රජයට වූ අලාභය රුපියල් මිලියන 889.4 කි. ඉන් පසුව, 2016 මාර්තු 29 වෙනි දිනද මෙවැනිම සිදු වීමක් නැවත සිදුවීම නිසා සිදුවූ අලාභය රුපියල් මිලියන 784.9කි. අධිතක්සේරු ලෙස මා සලකන මේ ඇස්තමේන්තු අනුව අදාළ වෙන්දේසි වලින් රජයට සිදු වී ඇති මුළු අලාභය රුපියල් මිලියන 1,674.3 කි. ඒ අතර, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් 2015 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ලබා ඇති ලාභය එමෙන් තුන් ගුණයක්ද ඉක්මවන අතර රුපියල් මිලියන 5,124.2කි. එම සමාගම විසින් පෙර වසරේ ලබා ඇති ලාභයද රුපියල් මිලියන 959.6කි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම මෙවැනි ඉහළ ලාබයක් ලැබුවේ කොහොමද?

ඇතැම් අය සරල ලෙස පැහැදිලි කර තිබුණු පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභයක් ලැබුවේ 12.5%ක ගිණි පොලියට ආණ්ඩුවට ණය දීමෙනි. ආණ්ඩුවට 12.5% ක වාර්ෂික පොලියකට ණය දී රුපියල් බිලියන 5 ක ඉක්මවන ලාභයක් ලබන්නට එසේ ණයට දෙන මුදල රුපියල් බිලියන 40 ඉක්මවන මුදලක් විය යුතුය. ආණ්ඩුවට ණයට සල්ලි දී එපමණ පොලී ආදායමක් උපයන්නට තරම් තමන්ගේම ප්‍රාග්ධනයක් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සතු නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත. වෙනත් අයෙකුගෙන් ලබාගත් මුදල් ආණ්ඩුවට ණයට දෙන්නට එම සමාගමට හැකි වුවත්, එවිට එසේ මුදල් ලබාදෙන අයට නැවත පොලී මුදලක් ගෙවිය යුතු බැවින් රජයෙන් ලබාගන්නා පොලී ආදායම සම්පූර්ණයෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාබයක් වන්නේ නැත. ඒ නිසා, මේ පළමු පැහැදිලි කිරීම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නොවේ.

ඇතැම් අය විසින් කර තිබුණු, වඩා හොඳ පැහැදිලි කිරීමක් වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් රුපියල් 90 බැගින් මිලදී ගත් බැඳුම්කර (රුපියල් 120 කට ආසන්න?) ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදලට විකිණීමෙන් මේ ලාබය ලබා ගත් බවයි. සේවක අර්ථසාධක අරමුදලට කොපමණ බැඳුම්කර ප්‍රමාණයක් විකුණුවේද, ඒ කවර මිලකටද යන්න මා නොදන්නා නමුත් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ වලින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ අඩුවට ගත් බැඳුම්කර කල් පිරීමට පෙර වැඩි මිලකට ද්වීතියික වෙළඳපොළේ විකිණීම මඟින් බව ඇත්තකි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ රුපියල් මිලියන 5,124.2ක ලාබයෙන් ශුද්ධ පොලී ආදායම වන්නේ රුපියල් මිලියන 353.6ක් පමණි. එම සමාගමේ පරිපාලන හා ප්‍රචාරණ වියදම් ලෙස රුපියල් මිලියන 197.0 ක් වසර තුළ වියදම් කර ඇති නිසා වෙනත් ආකාරයකින් ආදායමක් නොලැබුවේනම් එම සමාගමේ ශුද්ධ ලාභය වන්නේ රුපියල් මිලියන 156.6ක් පමණි. මූල්‍ය වසර ආරම්භයේදී පැවති ප්‍රාග්ධන ආයෝජනය වූ රුපියල් මිලියන 1,065.9 සැලකූ විට මෙහි ඇත්තේ 14.7%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පමණි. එය හොඳ ප්‍රතිලාභ අනුපාතිකයක් වුවත් කිසිසේත්ම අසාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකයක් නොවේ.

කෙසේවුවද, මේ පොලී ආදායම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ මුළු ලාභයෙන් සුළු කොටසක් පමණි. පොලී ආදායමට අමතරව ප්‍රාග්ධන ලාභ ලෙස එම සමාගම විසින් මූල්‍ය වසර තුළ තවත් රුපියල් මිලියන 5,377.7ක ලාභයක් උපයා ඇත. ප්‍රාග්ධන ලාභ ලෙස හඳුන්වන්නේ බැඳුම්කරයක් කල් පිරීමට පෙර එය මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට ද්වීතියික වෙළඳපොළේ විකිණීම මඟින් ලබන ලාබයි.

මෙය විශාල හා අසාමාන්‍ය ලාභයකි. සිදු කළ ආයෝජනය මෙන් 500% ඉක්මවන ප්‍රතිලාභ අනුපාතිකයකි.

තරඟකාරී වෙළඳපොල ආර්ථිකයක ලාභ උපයන්නෙකු විසින් කරන්නේ වරදක් හෝ නරක දෙයක් නොවේ. එමෙන්ම, එක් අයෙකු වැඩි ලාබයක් ඉපැයීම යනු වෙනත් අයෙකුට පාඩුවක් සිදු වීමද නොවේ.  තරඟකාරී වෙළඳපොල ආර්ථිකයකයම් සමාගමක හෝ පුද්ගලයෙකුගේ ලාභය යනු ඔහු හෝ එම සමාගම විසින් ආර්ථිකයට අළුතින් එකතු කරන දෙයකි. ඒ නිසා, යමෙකුට වසරක් තුල එක් රුපියලක් රුපියල් හයක් බවට පත් කරන්නට හැකිනම් ඔහු හෝ ඇය සුවිශේෂී පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයින් සිටීනම් ඔවුන් ජාතික සම්පත් ලෙස සැලකීමේ වරදක් නැත.

කෙසේවුවද, ඉහත තර්කය අදාළ වන්නේ තරඟකාරී තත්ත්වයන් තුළ අනෙක් කිසිවෙකුට නොමැති විශේෂ වාසි කිසිවක් නොලබමින්, තමන්ගේ කිසියම් සුවිශේෂී දක්ෂතාවයක් උපයෝගී කරගෙන එවැනි ලාබයක් ලබා පෙන්වා ඇත්තේනම් පමණි. එවැන්නෙකු විසින් "එකතු කළ දෙය" බොහෝ විට පෙනෙන්නට තිබේ. බිල් ගේට්ස්, මාක් සකබර්ග් හෝ ස්ටීව් ජොබ්ස් විසින් එසේ එකතු කළ දේවල් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිව, අනෙක් අයට නැති විශේෂ වරප්‍රසාද ලබමින් යම් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් ලාබ ලබන විට සිදුවන්නේනම් අළුත් ධනයක් නිර්මාණය වීම නොව වෙනත් අයෙකුගේ දෙයක් අහිමි වීමයි.

ඒ නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ විශ්ලේෂණය කිරීම සඳහා අප විසින් සලකා බැලිය යුතු එක් පදනමක් වන්නේ ඔවුන් විසින් උපයා ඇති විශාල ප්‍රාග්ධන ලාබ ලබා ඇත්තේ කෙසේද යන්නයි. අඩු මිලට ගන්නා දෙයක් වැඩි මිලට විකුණා ලාබයක් ලැබීම ඕනෑම ව්‍යාපාරයක් විසින් කරන, කිසිදු වැරැද්දක් නැති කටයුත්තක් වුවත් මෙසේ මිල දී ගැනීම හා විකිණීම පිලිබඳ තීරණ ගන්නා විට අනෙක් අයට නොලැබෙන විශේෂ "රහසිගත" හෝ "අභ්‍යන්තර" තොරතුරක් එක් අයෙකුට පමණක් ලැබේනම් හා ඒ හේතුවෙන් විශාල ලාභයක් ලැබිය හැකිනම් එහි පැහැදිලි ප්‍රශ්නයක් තිබේ.

මෙහි එවැන්නක් වීමට පැවති ඉඩකඩ මොනවාද? මෙවැනි වාසිදායක හා රුපියල් බිලියන ගණන් වටිනා තොරතුරු මොනවාද?

අපි ඒ ගැන ඉදිරියේදී විමසමු.

7 comments:

  1. ඉකො.. මම ඔබගෙ ලිපි කිවමිනුයි සිටියෙ.. වැදගත්ම කරුන දැනුවත්් කිරීමයි.. මම දැනුම උපයමින් සිටියත් වචනයක්වත් නොකියා සිටීම නිසා සීමිත ප්‍රමානයක් කියවන්නෙ යැයි යන දුක්මුසු වචනය ඔබගෙන් පිටවීම ෞද්ගලිකව මට ඉමහත් අපහසුවක්... කලින් කී ඇති සේම ඔබ වැනි කිහිප දෙනෙකුගෙ ලිපි මා නොවරදවා කියවමි..මෙම පැහැදිලි කිරිම් ඉතා සිත්ගන්නා සුලුයි.. මට නම් කියවීම ඉතා ප්‍රියයි.. දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ස්තුතියි, දේශා! ඔබ වැනිම උනන්දුවෙන් කියවන සැලකිය යුතු පිරිසක් ඉන්න බවත් මම දන්නවා. ඒ වගේම කියවන ඔළුගෙඩි ගණනට වඩා වැදගත් වන්නේ කියවන්නේ මොන වගේ පිරිස්ද කියන එක බවත් මම අමතක කරන්නේ නැහැ. බ්ලොග් දෙකක් ලෙස පවත්වාගෙන යන්නෙත් ඒ නිසයි. මෙය ලියන්නේ ආර්ථික විද්‍යාව ගැන උනන්දුවක් පැහැදිලිවම ඇති අය වෙනුවෙන්. මෙහි ලියන කරුණු තාක්ෂණිකව මෙන්ම කරුණු මත නිවැරදි බව සහතික කිරීමට මම වැඩි උත්සාහයක් දරනවා. එය තරමක් වැඩි කාලයක් වැයවන දෙයක්. අනෙත් බ්ලොග් එක පවත්වාගෙන යන්නේ එවැනි උනන්දුවක් නැති අය තුළ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින්. කවුරුත් පිළිගන්නා දේ වලට අමතරව එහි මා හිතන දේවලුත් ලියනවා.

      කියවන ප්‍රමාණය ගැන මේ සංසන්දනය මම කරන්නේ වෙනත් අය සමඟ නෙමෙයි. මගේම වෙනත් ලිපි පමණක් නොව මේ ලිපි මාලාවේ මුල් ලිපි කියවූ ප්‍රමාණයට සාපේක්ෂව දිගටම කියවූ පිරිස ඉතාම සීමිතයි. එක දෙයක් ගැන දිගටම කතා කරන විට එපා වෙන එක සාමාන්‍ය දෙයක්. කොහොම වුණත් මේ කරුණ ගැන පසුව හෝ කියවන කෙනෙකුට වැදගත් නිසාත්, මෙහි මා කතා කරන බොහෝ දේවල් මූලික සිද්ධියට පමණක් සීමා නොවූ විෂය කරුණු නිසාත් දිගටම මේ ගැන ලියන එක නාස්තියක් කියා මම හිතන්නේ නැහැ.

      Delete
  2. සංකීර්ණ දෙයක් ඕනෑවට වඩා සරල කළ විට කියැවෙන්නේ අවශ්‍ය දෙය නොව වෙනත් දෙයකි ++++++++

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය හා අදාළ ක්‍රියාදාමය ගැන වාක්‍ය දෙක තුනකින් සරල පැහැදිලි කිරීමක් කිරීම කළ නොහැකි දෙයක් කියන්න පුළුවන් තරම්.

      Delete
  3. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම යම් විදියකින් අසීමිත ලාභයක් ලබා තිබුනත් මේ මුදල් රට ඇතුලෙම නේද තියෙන්නේ? අර ග්‍රීක බැදුම්කර වගේ රටින් පිටට මේ මුදල් යාමේ ඉඩක් තියෙනවාද ?

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්, මනෝජ්. මෙවැනි අදහස් මම දැක තිබෙනවා. මේ ගැන මට කියන්න තියෙන්නෙත් මෙය බැලූ බැල්මට නිවැරදි අදහසක් මෙන් ඒත්තු යන, එහෙත් ඕනෑවට වඩා සරල විශේලේෂණයක් බවයි. පර්පෙචුවල් සමාගම විසින් නිසි ලෙස හෝ අනිසි ලෙස සැලකිය යුතු ලාභයක් ලැබුවා. පළමු වටයේදී මේ ලාභය බෙදී යන්නේ එම සමාගම වෙනුවෙන් ප්‍රාග්ධනය යොදවා අවදානමක් ගත් එහි කොටස් හිමිකරුවන් හා ස්ථිර කොන්ත්‍රාත්තු මිලකට හෝ ලාභ බෙදා ගැනීමේ පදනමින් ශ්‍රමය විකිණූ සේවකයින් අතරයි. ඇතැම් අය මේ ගොඩවල් දෙකේම ඉන්න පුළුවන්. මම දන්නා තරමින් මේ අය ශ්‍රී ලාංකිකයින්. කෙසේවුවත්, ඔවුන්ට රුපියල් වලින් ලැබෙන මේ මුදල් රුපියල් වලින් රට තුළ වියදම් කිරීමට මෙන්ම රටින් පිටතට ගෙන යාමට හෝ රටින් පිටත නිපදවන භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම සඳහා වැය කිරීමේ හැකියාව තියෙනවා. එය ඔවුන්ගේ කැමැත්ත පරිදි සිදුවන දෙයක්.

      ග්‍රීක බැඳුම්කර සිද්ධියේදී ආයෝජනය කළේ ලංකාව සතු විදේශ සංචිත. මේ විදේශ සංචිත කොහොමටත් තියෙන්නේ රටින් පිටත. එයින් සැලකිය යුතු ප්‍රමාණයක් වෙනත් රටක රජයක් විසින් නිකුත් කළ බැඳුම්කර වල ආයෝජනය කරලයි තියෙන්නේ. එය පෙර මෙන්ම දැනුත් එහෙමයි. මෙසේ ආයෝජනය කිරීමෙන් පොලී ආදායමක් ලැබෙනවා මෙන්ම මුල් ආයෝජනයත් නැති වීමේ අවදානමකුත් තියෙනවා. පොලී අනුපාතික වැඩි වන තරමට අවදානමත් වැඩියි. මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් මේ සංචිත වලින් කොටසක් ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය කළේ වැඩි පොලී ආදායමක් උපයා ගැනීමේ අරමුණින්. එහිදී ඔවුන් එම ආයෝජනයෙන් අලාභයක් වීමේ අවදානම ගත්තා. අඩුවට මිලදී ගත් බැඳුම්කර වල මිල ඉහළ යනු ඇතැයි ඔවුන් විශ්වාස කළත් එය එසේ සිදුවුණේ නැති නිසා පාඩුවක් සිදුවුණා. විදේශ සංචිත ප්‍රමාණයට එයින් සෘණාත්මක බලපෑමක් ඇති වුණා. නමුත්, වෙනත් ආයෝජන වලින් වැඩි ආදායම් ඉපැයූ නිසා සමස්තයක් ලෙස විදේශ සංචිත වැඩි වුණා. ආයෝජන කරන විට ලාභ පාඩු දෙකම බලාපොරොත්තු විය යුතුයි.

      ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී වගේම හෙජින් ගනුදෙනුවේදීත් ලංකාවට පාඩු සිදුවුණත් ඒ හේතුව නිසාම මේ තීරණ වැරදි තීරණ කියන්න බැහැ. මේ අවස්ථා දෙකේදීම වුනේ යහපත් අරමුණකින් ගණනය කළ අවදානමක් (calculated risk) ගැනීමයි. කොයිතරම් දක්ෂ ශල්‍ය වෛද්‍ය වරයෙකු විසින් කරන සැත්කමකින් වුවත් රෝගියා මියයාමේ ඉඩක් තියෙනවා. මේ අවස්ථා වලදී වංචාවක් සිදුවූ බවට චෝදනා නැඟී තිබෙනු මම දැක නැහැ. මේ සිද්ධි වලදී වැරැද්දක් යම් හෙයකින් සිදුවුනානම් ඒ වෘත්තීය නොසැලකිලිමත් භාවය (professional negligence) කියන එකයි. එවැන්නක් හෝ සිදු වී ඇති බවට පැහැදිලි සාක්ෂියක් නැහැ. එසේ කියන්නට පුළුවන් වන්නේ දිගින් දිගටම මෙවැනි පාඩු වෙනවානම් පමණයි. මේ අවස්ථා දෙකේදීම රට තුලින් මහ බැංකුවට එරෙහිව නැඟුණු විවේචන හා විරෝධතා නිසා අන්තිමට පාඩුව වැඩි වුනු බවයි මගේ අදහස.

      පර්පෙචුවල් ලාභ කියා පටන් ගත්තත් පොදුවේ මේ හැම දෙයක් ගැනම කතා කිරීම තමයි මගේ බලාපොරොත්තුව.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.