Monday, August 22, 2016

නැති සල්ලි වියදම් කරන්නේ කොහොමද?


 
වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරය ගැන අපි පෙර ලිපි දෙකකින් කතා කළෙමු. එහිදී, මම තා සරල ආකෘතියක් වන චක්‍රීය ප්‍රවාහ ආකෘතිය හඳුන්වා දුන්නෙමි. මේ ආකෘතිය අනුව, පුද්ගලයකුට තමන් සතු නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය 'කුලියට දී' ආදායමක් ලබා ගත හැකිය. ඒ අනුව, ව්‍යාපාර අංශයේ කාර්යක්ෂමතාව වෙනස් නොවේනම්, පුද්ගලයෙකුට  සිය ආදායම වැඩි කර ගත හැක්කේ තමන් සතු නිෂ්පාදන සාධක වැඩි කර ගැනීමෙනි.

කෙසේවුවද, ශ්‍රම සාධකය ප්‍රමාණාත්මකව වැඩි කර ගැනීම අපහසුය. මිනිසෙකුට වැය කළ හැකි භෞතික ශ්‍රමය වැඩි කළ හැක්කේ ඉතා සීමිතවය. එවිට ඉතිරි වන්නේ ප්‍රාග්ධනයයි. ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ කෙසේද?

පුද්ගලයෙකුට සිය ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ ලැබෙන ආදායමෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කිරීම මඟිනි. පුද්ගල ඒකක රැසක එකතුවක් ලෙස සැලකිය හැකි රටකටද මේ කරුණ අදාළය. මෙසේ ඉතිරි කළ යුත්තේ පුද්ගලයෙකුගේ හෝ රටක ආදායමෙන් කොපමණ කොටසක්ද?

යමෙකුගේ ආදායමෙන් වැඩි කොටසක් ඉතිරි කිරීම යනු වත්මන් පරිභෝජනය දැඩි ලෙස සීමා කිරීමකි. යමෙකු එසේ කිරීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් අනාගත පරිභෝජනය වැඩි කර ගැනීමේ අරමුණෙනි. කෙසේවුවද, පුද්ගලයෙකු මෙය කරන්නේ සිය වත්මන් පරිභෝජනය හා අනාගත පරිභෝජනය කිසියම් අයුරකින් සමතුලිත වන ලෙසිනි. වැඩිපුර ඉතිරිකර, වැඩිපුර ආයෝජනය කිරීමෙන් අනාගත ආදායම් ඉහළ නංවාගෙන අනාගත පරිභෝජනය වැඩි කර ගත හැකිය. එහෙත්, අද ඉතිරි කළ පමණින්ම අනාගත ආදායම් වැඩි වෙනවාද?

මෙය තීරණය වන්නේ ඉතිරි කරන ප්‍රමාණය අනුවය. පුද්ගලයෙකු හෝ රටක් සතු ප්‍රාග්ධනය සදාකාලිකවම එලෙසම පවතින්නේ නැත. කාලයත් සමඟ ප්‍රාග්ධන සම්පත් ක්ෂය වී යයි. මෙය භෞතික සම්පත් වලට මෙන්ම මානව සම්පත් වලටද පොදුය. ඒ නිසා, එසේ අඩුවන ප්‍රාග්ධන සම්පත් නැවත ප්‍රතිස්ථාපනය නොකළහොත් පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් තත්ත්වයද කාලයත් සමඟ ක්ෂය වෙයි. මෙය වලක්වා ගැනීමටනම් අඩුම වශයෙන් එසේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත ප්‍රතිස්ථාපනය කළ හැකි මට්ටමටවත් ඉතිරි කිරීම් අවශ්‍ය වේ. ආයෝජන වැඩි කිරීමෙන් ආදායම් ඉහළ නංවා ගත හැක්කේ මේ මට්ටම ඉක්මවා ඉතිරි කර ආයෝජනය කිරීමෙනි. එහෙත්, ඒ සඳහා වත්මන් පරිභෝජනය කැප කළ යුතුය.

ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?

පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?

අනෙක් පැත්තෙන් මෙයින් පෙනෙන්නේ අපේ ආනයන අපනයන පරතරයයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.4කි. අප නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා පරිභෝජනය (හෝ ආයෝජනය) කරනවානම් එසේ කිරීමට හැකි වන පරිදි භාණ්ඩ හා සේවා රට තුළට පැමිණිය යුතුය. ආනයන අපනයන අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින්නේ අපේ නිෂ්පාදනය (ආදායම්) හා වියදම් අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින බැවිනි. මේ පරතරය තිබෙන තුරු අපට කොහෙන් හෝ විදේශ විණිමය හොයන්නට සිදුවේ. විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වලින් එයින් කොටසක් පියවේ. ඉතිරිය පියවෙන්නේ දිගින් දිගටම වැඩි වන විදෙස් ණය වලිනි.

ආයෝජන අඩුකිරීම යනු අනාගත ආර්ථික වර්ධනයට රිදවීමකි. පරිභෝජනය අඩු කරන්නට සමාජය සූදානම් නැත. එසේනම්, පවතින තත්ත්වය තුළ, පරිභෝජනය අඩු නොකර ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා රජයන් විසින් දිගින් දිගටම විදෙස් ණය ගැනීමේ වරදක් තිබේද? වෙනත් විදිහකට කියනවානම්, ලංකාවේ රජයන්ට දිගින් දිගටම විදෙස් ණය ගන්නට වී තිබෙන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය මට්ටමට ආයෝජන කිරීමට තරම් දේශීය ඉතිරි කිරීම් නැති නිසාද?

මේ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු. 


(Image: www.financialexpress.com)

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.