Wednesday, February 8, 2017

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

 

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ ගැන කතා කරන්නට පෙර අප විසින් එම සමාගම වැනි මූල්‍ය ආයෝජන මඟින් ලාභ ඉපැයීම අරමුණු කරගත් සමාගමකට ලාභ වැඩි කරගත හැක්කේ කෙසේද යන කරුණ තේරුම් ගත යුතුය. මූල්‍ය ආයෝජන සමාගමක් විසින් ආදායම් උපයන ප්‍රධානම ප්‍රභවය වන්නේ සිය ආයෝජන වෙනුවෙන් ලැබෙන පොලී ආදායමයි.

විවිධ මූල්‍ය ආයෝජන සඳහා ලැබෙන්නේ විවිධ පොලී අනුපාතිකයන්ය. එසේනම්, වැඩි පොලී අනුපාතිකයක් ලැබෙන ආයෝජනයක් මඟහැර අඩු පොලී අනුපාතිකයක් ලැබෙන ආයෝජනයක් කරා කිසියම් ආයතනයක් යොමු වන්නේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ.

ආයෝජනය කිරීමෙන් පොලිය ලෙස ආදායමක් ලැබෙන නමුත් පොලිය මෙන්ම මුල් ආයෝජනයද නැති වී යාමේ අවදානමක්ද එහි තිබේ. බිඳ වැටුණු බැංකු ගැන හෝ සක්විතිලා හා දඬුවම් මුදලාලිලා ගැන මා විසින් අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. ඒ නිසා වැඩි අවදානමක් ඇති ආයෝජන වලට ඇත්තේ අඩු ඉල්ලුමකි. මෙහි ප්‍රතිපලයක් ලෙස, සාමාන්‍ය මූලධර්මයක් ලෙස, ආයෝජනයක ඇති අවදානම හා පොලී අනුපාතික අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයකි. එනම්, වැඩි අවදානමක් ඇති ආයෝජන සඳහා වැඩි පොලියක්ද ලබා ගත හැකි අතර අඩු අවදානමක් සහිත ආයෝජන සඳහා ලැබෙන්නේ අඩු පොලියකි.

-ආයෝජනයක මුල් මුදල ආපසු ලබා ගැනීමට ගත වන කාලය වැඩි වන තරමට අවදානම වැඩිය.
-රාජ්‍ය ණය සුරැකුම්පත් වල කරන ආයෝජන පෞද්ගලික ආයතනයකින් නිකුත් කරන ණය සුරැකුම්පත් වල හෝ ව්‍යාපාර වස්තු (කොටස් වෙළඳපොළ ආයෝජන) වල කරන ආයෝජනකට වඩා අවදානම අඩුය.
-සුරැකුම්පත් නිකුත් කරන්නෙකුගේ ණය බර වැඩි වන තරමට අවදානම වැඩි වේ.

මේ හේතු ඇතුළු කවර හේතුවකින් හෝ ආයෝජනයක අවදානම වැඩි වන විට පොලී අනුපාතිකයද වැඩි වන නිසා වැඩි අවදානමක් ගන්නා අයකුට වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කළ හැකිය. අනෙක් අතට, අවදානමක් නොගෙන වැඩි ප්‍රතිලාභයක් ලබා ගත නොහැකිය. ඒ නිසා, කිසියම් මූල්‍ය ආයෝජන සමාගමකට තමන් විසින් ගන්නට සූදානම් අවදානමේ ප්‍රමාණය ගැන තීරණයකට එළැඹෙන්නට සිදු වේ.

ලංකාවේ විශාලතම මූල්‍ය ආයෝජකයා වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. 2015 වසර අවසන් වන විට එම අරමුදල සතු වූ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1,664.6 ක් විය. මෙය කෙතරම් විශාල මුදලක්ද කියනවානම් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති සමාගම් කොටස් වලින් අඩක් මිල දී ගන්නට මේ අරමුදල් ප්‍රමාණවත් වූ අතර රජයේ මුළු දේශීය ණය ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ විය.

සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වලින් රුපියල් බිලියන 1,487.1ක් ආයෝජනය කර තිබුණේ රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලය. මේ මුදල 2015 අවසානයේදී රජය විසින් නිකුත් කර තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය වූ රුපියල් බිලියන 3,963.4 න් 37.5%ක් විය. මේ ආයෝජන මඟින් අර්ථසාධක අරමුදල ඉපැයූ පොලී ආදායම රුපියල් බිලියන 167.7කි. මෙය එම ආයෝජන මත 11.28% ක ප්‍රතිලාභ අනුපාතිකයකි. 

සේවක අර්ථසාධක අරමුදලට සෑම වසරකදීම වාගේ අළුතින් එකතුවන සාමාජික මුදල් ප්‍රමාණය වසරක් තුළ ආපසු ගෙවිය යුතු ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා වැඩිය. ඒ නිසා, අරමුදලේ වත්කම් කිසියම් ලෙසකින් "හිර වී" තිබුණද, අළුතින් එකතු වන අරමුදල් වලින් පමණක් වුවද ආපසු ගෙවීම් කරන්නට බැරිකමක් නැත. මේ හේතුව නිසා සේවක අර්ථසාධක අරමුදලට "බය නැතිව" දිගුකාලීනව අරමුදල් ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාව තිබේ.

මේ "දිගුකාලය" වසර පහළොවක් පමණ ලෙස අපි සිතමු. කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සතු අරමුදල් වසර පහළොවක් වැනි දිගුකාලයකට ආයෝජනය කිරීම සඳහා ප්‍රධාන විකල්ප දෙකක් තිබේ. පළමු විකල්පය වන්නේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. දෙවන විකල්පය කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීමයි. තෙවන විකල්පය ලෙස සැලකිය හැකි සමාගම් මඟින් නිකුත් කරන බැඳුම්කර සදහා ලංකාවේ පුළුල් වෙළඳපොළක් නැත.

රාජ්‍ය සුරැකුම්පත් වල කරන ආයෝජන වල අවදානම අඩුය. එමෙන්ම ප්‍රතිලාභද අඩුය. කොටස් වෙළඳපොළ ආයෝජන වල අවදානම මෙන්ම ප්‍රතිලාභද වැඩිය. රජය විසින් නිකුත් කරන වසර 15ක පමණ පරිණත කාලයක් ඇති බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් දිගුකාලීනව වත්කම් මත 12%ක පමණ ප්‍රතිලාභයක් ලබා ගත හැකි අතර දිගුකාලීනව කොළඹ කොටස් වෙළදපොළ සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකය 20% පමණ වේ.

කෙසේ වුවද, කෙටිකාලීනව කොටස් වෙළදපොළෙහි ආයෝජනය කිරීමෙන් මුල් ආයෝජනයන්ද කොටසක් අහිමි වීමට ඉඩ තිබේ. පසුගිය 2016 වසරේදී කොටස් වෙළදපොළ ආයෝජන කළ අයෙකුට සාමාන්‍ය වශයෙන් 9.7%ක පාඩුවක්ද, ඊට පෙර 2015 වසරේදී 5.5%ක පාඩුවක්ද සිදුවිය. රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කළ විට කෙටිකාලීනව වුවද මෙසේ මුල් මුදල අහිමි වීමේ අවදානම ඉතා අඩුය.

සේවක අර්ථසාධක අරමුදල වැනි දිගුකාලීනව අරමුදල් හිර කර තැබීම ප්‍රශ්නයක් නොවන ආයතනයක් වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීම සඳහා කළ යුත්තේ සිය ආයෝජන කළඹෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කොටස් වෙළපොළෙහි ආයෝජනය කිරීමය. එසේ කිරීමෙන් කෙටිකාලීනව පාඩු සිදු වුවද, වසර දහයක් හෝ පහළොවක් වැනි දිගුකාලයකදී අනිවාර්යයෙන්ම සැලකිය යුතු වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකිය. එහෙත්, සේවක අර්ථසාධක අරමුදල විසින් කරන්නේ එහි අනිත් පැත්තයි. එනම්, සිය ආයෝජන කළඹෙන් 90-95%ක් පමණම රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. අරමුදල විසින් කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන්නේ මුළු අරමුදල් ප්‍රමාණයෙන් 5%ක් වැනි අඩු ප්‍රතිශතයකි.

සේවක අර්ථසාධක අරමුදලට ඉහත පරිදි ක්‍රියා කරන්නට සාධාරණ හේතු තිබේ. පළමුව, අරමුදලේ ආයෝජන තීරණ ගන්නේ මහ බැංකු නිලධාරීන් විසිනි. සිය ශ්‍රේණිය අනුව නිශ්චිත වැටුප් තලයක සිටින මේ නිලධාරීන්ට අවදානමක් ගෙන අරමුදලේ වත්කම් වෙනුවෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගිණුම් හිමියන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා දුන්නා කියා විශේෂ වාසියක් නොලැබේ. එහෙත්, ආයෝජන කරන පෞද්ගලික සමාගමක සේවකයෙකුට අවදානම ගෙන එසේ ලබා ගන්නා කිසියම් ලාබයක් වෙතොත් එයින් සැලකිය යුතු කොමිස් මුදලක් ලැබේ. ඒ නිසා, පෞද්ගලික ආයෝජන සමාගමක සේවකයෙකු වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් වැඩි අවදානමක් ගන්නට පෙළඹේ.

අනෙක් අතට මෙවැනි අවදානමක් ගෙන පාඩුවක් සිදුවුවහොත්, සේවක අර්ථසාධක අරමුදලේ සේවකයෙකුට පෞද්ගලිකව ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවේ. වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවදානමක් ගෙන ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී හා හෙජින් ගනුදෙනුවේදී පාඩු සිදුකර ගැනීමෙන් පසු අදාළ මහ බැංකු නිලධාරීන්ට මුහුණ දෙන්නට සිදු වූ අපහසුතා උදාහරණයි. ඒ නිලධාරීන්ගේ පැත්තෙන් වඩා සුරක්ෂිත දෙය හැකි තරම් අඩු අවදානමක් ගැනීමයි. ඔවුහු එය කරති. ඒ නිසා, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන්නේ ලබාගත හැකි උපරිම ප්‍රතිලාභයට වඩා සැලකිය යුතු ලෙස අඩු ප්‍රතිලාභයකි.


මෙසේ ක්‍රියා කිරීමට දෙවන හේතුවක් විය හැක්කේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිය ප්‍රධාන කාර්යය විය යුත්තේ සාමාජික ගිණුම් හිමියන්ට ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම බව අමතක කර, රජයට අඩු පොලියට අරමුදල් සොයා ගැනීමට උදවු කිරීම සඳහා යොමුවීම වන්නට පුළුවන. මෙය මේ අයුරින් සිදුවීමට හේතු වන්නේ සේවක අර්ථසාධක අරමුදලෙහි පාරිභෝගිකයින් මෙන්ම "කොටස් හිමියන්" ලෙසද එක්තරා ආකාරයකින් සැලකිය හැකි සාමාජික ගිණුම් හිමියන්ට අරමුදලේ කළමනාකරණය වෙත බලපෑමක් කිරීමට තබා සිය අරමුදල් ස්ව-කැමැත්තෙන් බැහැර ගෙන යාමට හෝ හැකියාවක් නැති වීමයි. යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදලට වෙනත් තරඟකරුවකු සිටියේනම්, සාමාජිකයින් විසින් දිගුකාලීනව වැඩි ප්‍රතිලාභ ලබාදෙන ආයතනයට සිය අරමුදල් රැගෙන යා හැකිව තිබුණි.

9 comments:

  1. මේ ගැන මට අහන්න තිබ්බ ප්‍රශ්නයට පොස්ට් එක අවසානයේ ඉකනෝ විසින්ම පැහැදිලි උත්තරයක් සපයලා තියෙනවා.මට අහන්න අවශ්‍ය වුනේ මේ තරම් විශාල අරමුදලක් තිබිලාත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට එහි ප්‍රතිලාභ ලැබීම අඩු නොවේද යන්නයි.

    ReplyDelete
    Replies
    1. සේවක අර්ථසාධක අරමුදලට රැවුලත් කැඳත් බේරාගෙන කළ හැකි දෙයක් පහළ කමෙන්ටුවට පිළිතුරක් ලෙස මම දැම්මා.

      //ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට වෙනසක් කිරීමට අවශ්‍යනම් ආරම්භයක් ලෙස රැවුලත් කැඳත් බේරාගෙන කළ හැකි දෙයක් වන්නේ යම්කිසි අවම සීමාවක් ඉක්මවූ අරමුදල් ප්‍රමාණයක් ඇති සාමාජිකයින්ට තමන්ගේ අරමුදල් ආයෝජනය කළ යුතු ආකාරය ගැන සීමිත තේරීමක් ලබා දීමයි. එවිට එහි වගකීමෙන් නිලධාරීන්ට ගැලවිය හැකි අතරම අවදානම ගන්නට කැමති අයට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඉඩ සැලසිය හැකියි. ඒ වගේම කොටස් වෙළඳපොළත් දියුණු වෙනවා.//

      Delete
    2. කදිම යෝජනාවක්.
      ++++

      Delete
  2. පුදුම කරුමක්කාර රටක් මේක...

    ReplyDelete
    Replies
    1. තමන්ට තිබෙන සහ අහිමි වී ඇති අවස්ථා ගැන මිනිසුන් දැනුවත් වන තරමට මේ දේවල් වෙනස් වෙන එක ඉක්මන් වෙයි කියා මම හිතනවා.

      Delete
  3. usa වල තත්වය කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ප්‍රශ්නය පැහැදිලි මදි. ඇමරිකාවේ ආයෝජන අවස්ථා ගැනද?

      Delete
  4. නැහැ. ඇමෙරිකාවේ පෙන්ෂන් ෆන්ඩ් එක පාලනය වෙන්නේ කොහොමද? ආයෝජනය කරන්නනේ මොනවා වලද? පාලනය කරන්නේ කව්ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ඇමරිකාවේ 'පෙන්ෂන් ෆන්ඩ් එක' කියා එවැනි තනි එකක් නැහැ. විශ්‍රාමිකයෙකුට විශ්‍රාම යාමෙන් පසුව ලැබෙන ප්‍රතිලාභ අතර සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ උඩින්ම තිබුණත් එය සේවක අර්ථසාධක අරමුදල මෙන් ආයෝජන වලින් ලැබෙන ලාභ මත ප්‍රතිලාභ තීරණය වන එකක් නොවෙයි. පෞද්ගලික අංශයේ වැඩ කරන සෑම පුද්ගලයෙකුගේම වැටුපෙන් කපාගන්නා සමාජ ආරක්ෂණ බදු මුදල් මේ අරමුදලට යන අතර එම අරමුදල් 100%ක්ම ආයෝජනය කෙරෙන්නේ ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් වලයි. මෙතැනදීත් ආයෝජනය කිරීම ගැන තීරණ ගන්නේ රජය විසින් නිසා තත්ත්වයේ ලංකාවට වඩා වෙනසක් නැහැ. ඇමරිකානු රජයට ණය දෙන ප්‍රධානම පාර්ශ්වකරුවෙක් වන්නේ මේ සමාජ ආරක්ෂණ අරමුදලයි. එම අරමුදල සතු රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය බොහෝ දෙනෙක් කතා කරන චීනය සතු ඇමරිකන් රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය මෙන් 2.5 ගුණයකටත් වඩා වැඩියි. (චීනය සතු ප්‍රමාණය 6%ක් පමණ) කෙසේ වුවත්, සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ හිමි වන්නේ සමීකරණයකට අනුව තමන් වැඩිම ආදායමක් ඉපැයූ වසර තිස් පහේ සාමාන්‍ය අගය අනුව අඩු ආදායම් ඉපැයූ අයට වාසිදායක වන සමීකරණයක් අනුව නිසා ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභ වල සෘජු සම්බන්ධයක් නැහැ.

      සේවක අර්ථසාධක අරමුදලට සමාන කළ හැකි සැබෑ විශ්‍රාම වැටුප් අරමුදල් සම්බන්ධව ඇමරිකාවේ ඒකාධිකාරයක් නැහැ. පෞද්ගලික ආයතන විශාල ගණනාවක් මෙවැනි අරමුදල් නඩත්තු කරන අතර එවැනි එක් එක් ආයතනය විසින්ද අවදානම් තත්ත්වය අනුව වෙනස් වන අරමුදල් ගණනාවක් නඩත්තු කරනවා. බොහෝ විට සීමාවන්ට යටත්ව තමන් ගෙවන ප්‍රමාණය තීරණය කිරීමේ අයිතිය සේවකයින්ට අයිති වන අතර එසේම නිශ්චිත සීමාවක් දක්වා බොහෝ විට ආයතනය මඟින් "මැච් කිරීමක්" කරනවා.

      මේ අරමුදල් ආයෝජනය කළ යුතු ආකාරය තනි පුද්ගල තීරණයක්. ඒ අනුව වැඩි ප්‍රතිලාභ ඇති කොටස් වෙළඳපොළේ සහ අඩු ප්‍රතිලාභ ඇති එහෙත් අවදානම අඩු බැඳුම්කර වල ආයෝජනය කරන ප්‍රමාණ තමන්ට තීරණය කළ හැකියි. ඇමරිකාවේ සමාගම් මඟින් නිකුත් කරන බැඳුම්කර වෙළඳපොළත් ඉතා විශාලයි. මේ සමාගම් බැඳුම්කර සමාගම් කොටස් වලට වඩා අවදානම අඩු අතර රාජ්‍ය බැඳුම්කර වලට වඩා ප්‍රතිලාභ වැඩියි (අවදානමත් ටිකක් වැඩියි). දිගුකාලීනව ඇමරිකාවේ කොටස් වෙළඳපොළ ප්‍රතිලාභ 11-12% මට්ටමේ වන අතර බැඳුම්කර ප්‍රතිලාභ 5% පමණ වෙනවා. උද්ධමනය නිසා වන බලපෑම ඉවත් කළ විට කොටස් ආයෝජන සඳහා දිගුකාලීනව 8%ක පමණ ප්‍රතිලාභයක් ලැබෙන අතර බැඳුම්කර සඳහා ලැබෙන්නේ 2%ක පමණ ප්‍රතිලාභයක් පමණයි. තරුණ කාලයේදී අවදානම ගෙන වැඩිපුර කොටස් ආයෝජන කර හොඳ ප්‍රතිලාභයක් ලබා ගැනීමෙන් පසු කර විශ්‍රාම යාමට ආසන්න වෙද්දී අඩු අවදානමක් සහිත බැඳුම්කර වලට තමන්ගේ ආයෝජන මාරු කිරීම බොහෝ දෙනෙකුගේ උපාය මාර්ගයයි.

      ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට වෙනසක් කිරීමට අවශ්‍යනම් ආරම්භයක් ලෙස රැවුලත් කැඳත් බේරාගෙන කළ හැකි දෙයක් වන්නේ යම්කිසි අවම සීමාවක් ඉක්මවූ අරමුදල් ප්‍රමාණයක් ඇති සාමාජිකයින්ට තමන්ගේ අරමුදල් ආයෝජනය කළ යුතු ආකාරය ගැන සීමිත තේරීමක් ලබා දීමයි. එවිට එහි වගකීමෙන් නිලධාරීන්ට ගැලවිය හැකි අතරම අවදානම ගන්නට කැමති අයට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට ඉඩ සැලසිය හැකියි. ඒ වගේම කොටස් වෙළඳපොළත් දියුණු වෙනවා.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.