Friday, February 17, 2017

පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

 

දැන් අප දන්නා පරිදි, රාජ්‍ය සුරැකුම්පතක දිගුකාලීනව ආයෝජනය කිරීම වැඩි අවදානමක් ගෙන දෙනවා මෙන්ම වැඩි ප්‍රතිලාභද ගෙන දේ. ඒ නිසා, වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරන ආයෝජකයෙකු සිතන්නේ තමන්ට කොපමණ කලක් අරමුදල් හිර කර තැබිය හැකිද යන්නයි. කෙසේ වුවද, දිගු පරිණත කාලයක් ඇති රාජ්‍ය සුරැකුම්පතක් මිල දී ගන්නා ආයෝජකයෙකු තමන් මුලදී අපේක්ෂා කළ ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැම විටම සුරැකුම්පතේ පරිණත කාලය අවසන් වන තුරු සිටිය යුතු නැත.

මෙය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා අපි පසුගිය (සිවුවන) කොටස සමඟ පළ කළ, ඔබේ පහසුව සඳහා මෙහි පහත නැවත පළ කරන, දෙවන වගුවේ අවසන් සිරස් තීරුව වෙත හැරෙමු. 2015 පෙබරවාරි 11න් අවසන් වූ සතිය තුළ පැවති රාජ්‍ය සුරැකුම්පත් ද්වීතියික වෙළදපොල පොලී (ඵලදා) අනුපාතික එහි ඔබට පෙනේ. මේ වගුවේ පෙර සිරස් තීරු වලින් මෙන්ම පහතින් ඇති දෙවන රූප සටහන මඟින්ද පෙන්වා ඇති පරිදි පිළිවෙළින් වසරක හා දෙවසරක කාලයකට පසු සියළුම පරිණත කාල සඳහා වන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 



කෙසේ වුවද, මෙය 2015 පෙබරවාරි 11 දින කිසිවකු නිශ්චිතවම දැන නොසිටි තත්ත්වයකි. තවත් වසරකට පසු පොලී අනුපාතික සමස්තයක් ලෙස ඉහළ යන්නට වැඩි ඉඩකඩක් ඇති බව දැන් අපට පෙනෙන නමුත් එම ඉහළ යාම කොතරම් විය හැකිද යන්න හෝ අඩුම වශයෙන් ස්ථිරවම පොලී අනුපාතික ඉහළ යන බව වුවද අපට අද කියන්නට නුපුළුවන. එය බාහිර සාධක රැසක් මත තීරණය වන්නකි.

අපට දැන් කතා කරන්නට අවශ්‍ය කරුණ පැහැදිලි කර ගැනීම සඳහා 2015 පෙබරවාරි 11 පැවති ඵලදා වක්‍රය වෙනස් නොවී වසර ගණනාවක් එසේම තිබුනේයැයි අපි සිතමු. එසේ වීනම්, 2015 පෙබරවාරි 11 දින 6.29% පොලියකට දෙවසරක බැඳුම්කරයක මුදල් හිර කරන අයෙකු (අජිත් කියා කියමු.) වසරකට පසු මුහුණ දෙන වෙළඳපොළ තත්ත්වය කුමක්ද?

ඵලදා වක්‍රය වෙනස් නොවී තිබුණේනම්, 2016 පෙබරවාරි 10 දින මාස 12ක සුරැකුම්පතක ආයෝජනය කරන්නෙකුට (බිමල් කියා කියමු.) ලැබෙන පොලිය 6.08%කි. නමුත්, වසරකට පෙර මිලදී ගත් තවත් වසරකින් කල් පිරෙන බැඳුම්කරයට අජිත්ට 6.29%ක පොලියක් ලැබේ. (පහසුව සඳහා අප මෙහිදී සලකා බලන්නේ කූපන් ගෙවීම් රහිත බැඳුම්කරයි.)

අජිත් විසින් වසරකට පෙර මිලදී ගත් 2017 පෙබරවාරිහිදී කල් පිරෙන බැඳුම්කරයේත්, 2016 පෙබරවාරි වලදී අළුතින් නිකුත් කරන සුරැකුම්පතකත් ආයෝජකයෙකුට කිසිදු වෙනසක් නොපෙනේ. මේ දෙකේම ඇත්තේ සමාන අවදානමකි. නමුත්, එයින් එකකට 6.08%ක පොලියක්ද, අනෙකට 6.29%ක පොලියක්ද ලැබේ. මෙය විය නොහැක්කකි. ඒ නිසා වැඩි පොලියක් ලැබෙන දෙවැන්නේ වෙළදපොළ වටිනාකම ඉහළ යයි. බිමල් විසින් පළමුවන්න මිලදී ගන්නේ රුපියල් මිලියන 10 කටනම්, දෙවැන්න සඳහා ඊට වඩා ආසන්න වශයෙන් 0.20% ක පමණ මිලක් ගෙවන්නට අකැමැති වන්නේ නැත. ඒ, එසේ කිරීමෙන් වසරකට පසු ඔහු ලබන ප්‍රතිලාභය අඩු නොවන බැවිනි.

වසරකට පෙර දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කළ අජිත්ට මේ වන විට 6.29%ක පොලී ආදායමක් ලැබී ඇති අතර තවත් වසරකින් එවැනිම පොලී ආදායමක් ලැබෙනු ඇත. එහෙත්, ඔහුට එතෙක් කල් බලා නොසිට දැන් ඔහුගේ සුරැකුම්පත බිමල්ට විකුණා ක්ෂණික ප්‍රාග්ධන ලාභයක් ලැබිය හැකිය. මේ ප්‍රාග්ධන ලාභයද සමඟ අජිත් විසින් වසරක් තුළ ලබන ප්‍රතිලාභය 6.49% දක්වා ඉහළ යයි.

අජිත්ට 2015 පෙබරවාරි 11 දින වසරකට වඩා කාලයකට මුදල් හිර කිරීමේ කිසිදු හැකියාවක් නොතිබුණේයැයි සිතමු. එසේනම්, ඔහුට තමන්ගේ මුදල් ආයෝජනය කර ලබාගත හැකිව තිබුණු උපරිම ප්‍රතිලාභ අනුපාතිකය වන්නේ 6.08% කි. එහෙත්, අජිත් අවදානම් ලෝලියෙකු වීනම් ඔහු විසින් එදින වසරකින් පසු විකිණීමේ බලාපොරොත්තුවෙන් දෙවසරක බැඳුම්කරයක් මිල දී ගෙන එය වසරකට පසු විකිණීමෙන් (ඉහත උපකල්පනය පරිදි ඵලදා වක්‍රය නොවෙනස්ව පැවති තත්වයක් යටතේ) 6.08%ට වඩා 0.41%කින් වැඩි 6.49%ක ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීම සිදු විය හැකිව තිබුණි. අජිත්ගේ අතේ වසරකට හිර කරන්නටවත් මුදල් නොතිබුණු තත්ත්වයක් යටතේදී වුවද, ඔහුට වෙනත් අයෙකුගෙන් (චන්දිමාගෙන්) 6.08%ක පොලියට වසරක කාලයක් සඳහා ණයක් ගෙන දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කර වසරකට පසු එය විකුණා 0.41%ක ලාභයක් ප්‍රාග්ධන ඉපැයීමක් ලෙස ලබා ගත හැකිව තිබුණි.

ඇත්තටම කියනවානම්, අජිත් වැනි අවදානම් ලෝලියෙකුට මෙසේ ණයට මුදල් ලබාගෙන පස් වසරක, දස වසරක හෝ තිස් වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කර වුවද මිල දී ගන්නට බැරිකමක් නැත. මේ කාලය වැඩිවන විට ඔහුගේ අවදානම මෙන්ම ලාභාපේක්ෂාවන්ද විශාල ලෙස වැඩි වේ. කෙසේ වුවද, එසේ අතේ මුදල් නැතිව ලබා ගන්නා බැඳුම්කර වසරකට පසු (හෝ ණය ආපසු ගෙවිය යුතු වන විට) අනිවාර්යයෙන්ම විකුණන්නට සිදුවේ.

අජිත් විසින් 2015 පෙබරවාරි 11 දින මිල දී ගත්තේ සය වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක් යයි සිතමු. ඒ සඳහා ඔහුට ලැබෙන වාර්ෂික පොලිය 7.49% කි. වසරකට පසු, 2016 පෙබරවාරි 10 දින, මේ බැඳුම්කරය පස් අවුරුදු බැඳුම්කරයකට සමානය. ඵලදා වක්‍රය නොවෙනස්ව පැවතියේනම්, 2016 පෙබරවාරි 10 දින වන විට පස් අවුරුදු බැඳුම්කරයක පොලී අනුපාතිකය වන්නේ 7.27%ක් පමණි. එවැන්නක් මිල දී ගන්නා අයෙකුට (බිමල්ට) වසර පහකට පසු 42.03%ක (=(1.0727^5-1)*100%) ප්‍රතිලාභ අනුපාතිකයක් හිමි වෙද්දී අජිත්ගේ බැඳුම්කරයේ ඉතිරිව ඇති පස් අවුරුද්ද තුළ ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය 43.50% (=(1.0749^5-1)*100%) කි. ඒ නිසා, අජිත්ට 1.03% පමණ (=1.4350/1.4203) වැඩි මිලකට ඔහු සතු බැඳුම්කරය බිමල්ට විකිණීමට ඉඩක් ලැබෙන අතර වසරක් තුළ අජිත් ලබන ප්‍රතිලාභ අනුපාතිකය 8.52%ක් දක්වා (7.49%+1.03%) ඉහළ යයි. මෙය අජිත් විසින් චන්දිමාට ගෙවිය යුතු පොලිය වන 6.08%ට වඩා 2.44%කින් වැඩිය. මෙහිදීද පෙර මෙන්ම අප සලකා බලා ඇත්තේ කූපන් රහිත බැඳුම්කරයි. කූපන් බැඳුම්කර හා අදාළ ගණනය කිරීම් වඩා සංකීර්ණ වුවත් එහිදී වෙන්නේද මෙවැනිම දෙයකි.

කෙසේ වුවද, දැන් අප දන්නා පරිදි 2016 පෙබරවාරි 10 දින වන විට ඵලදා වක්‍රය වසරකට පෙර පැවති මට්ටමේ තිබුණේ නැත. සියළුම පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මෙසේ පොලී අනුපාතික ඉහළ යාම අජිත් වැනි අවදානම් ලෝලියෙකුට බලපාන්නේ කෙසේද?

අජිත් විසින් 2015 පෙබරවාරි 11 දින සය වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක් 7.47%ක පොලී අනුපාතිකයකට මිල දී ගත්තේය. ඒ සඳහා ඔහු චන්දිමාගෙන් 6.08% පොලියට මුදල් ලබා ගත්තේය. වසරකට පසු, 2016 පෙබරවාරි 10 දින වන විට, පස් අවුරුදු බැඳුම්කර සඳහා වන පොලී අනුපාතිකය 9.95% දක්වා ඉහළ ගියේය. මේ පොලී අනුපාතිකයට ආයෝජනය කර පස් වසරකින් 60.69% ක ප්‍රතිලාභ අනුපාතිකයක් ඉපැයිය හැකි වුවත්, අජිත්ගේ බැඳුම්කරයේ ඉතිරිව ඇති පස් අවුරුද්දට ලැබෙන්නේ 43.50%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පමණි. ඒ නිසා, අජිත්ගේ ආයෝජනයේ වෙළඳපොළ අගය දැන් 10.70% කින් අඩුවී තිබේ. එසේ වුවද, චන්දිමාගෙන් ලබාගත් කෙටිකාලීන ණය ආපසු ගෙවිය යුතු නිසා ඔහුට සිය බැඳුම්කරය විශාල පාඩුවක් විඳිමින් එහි වෙළඳපොළ වටිනාකමට විකුණන්නට සිදු වේ. අජිත් විසින් පළමු අවුරුද්දේ පොලිය ලෙස 7.47%ක් දැනටමත් උපයා ඇති නිසා චන්දිමාගේ ණය හා පොලිය ගෙවූ පසු 1.39%ක ඉතිරියක් වෙතත්, 10.70%ක ප්‍රාග්ධන අලාභය නිසා සමස්තයක් ලෙස 9.31%ක අලාභයකට මුහුණ දෙන්නට සිදුවේ.

සාමාන්‍ය කරුණක් ලෙස යමෙකු දිගුකාලීන සුරැකුම්පතක ආයෝජනය කිරීමෙන් පසු පොලී අනුපාතික ඉහළ ගියහොත් අදාළ ආයෝජනයේ වෙළදපොළ වටිනාකම අඩුවී ප්‍රාග්ධන අලාභයක් සිදුවේ. ආයෝජනයේ පරිණත කාලය වැඩි වන තරමට මෙන්ම පොලී අනුපාතික ඉහළ යන තරමට මේ අලාභයද ඉහළ යයි. මෙසේ වෙළදපොළ වටිනාකම අඩුවී අලාභ ඉහළ යද්දී ඉවසීමක් ඇති හා දිගුකාලයකට හිර කරන්නට අරමුදල් ඇති ආයෝජකයෙකුට නැවත පොලී අනුපාතික පහළ වැටෙන තුරු බලා සිටින්නට හැකි වුණත්, එවැනි දිගුකාලයක් මුදල් හිර කරගෙන සිටීමේ හැකියාවක් නැති අයෙකුට සිය සුරැකුම්පත් පාඩුවට විකුණන්නට සිදුවේ. මුදල් හිරකරගෙන සිටීමේ හැකියාවක් තිබුණත් පොලී අනුපාතික එන්න එන්නම ඉහළ යනු මිස පහත වැටෙන පාටක් නොපෙනේනම් කළ යුතු ඥානාන්විත ක්‍රියාව වන්නේ තියෙන පාඩුව තවත් වැඩි වන්නට පෙර සිය ආයෝජන මුදල් කිරීමයි. ග්‍රීක බැඳුම්කර සිද්ධියේදී මහ බැංකුව විසින් කළේ එවැන්නකි.

මේ අයුරින්ම දිගුකාලීන ආයෝජනයක් කිරීමෙන් පසු පොලී අනුපාතික පහත වැටුණොත් ආයෝජකයෙකුට විශාල ලාභයක් ලබන්නට පුළුවන.

අප පෙර ලිපි මාලාවෙන් කතා කළ 2015 පෙබරවාරි 27 බැඳුම්කර වෙන්දේසියෙන් පසුව පොලී අනුපාතික ඉහළ ගිය බව ජනප්‍රිය කතාවකි. මේ කතාව බොරුවක් නොවේ. එහෙත්, එසේ පොලී අනුපාතික ඉහළ යාම නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාබ වැඩි වූ බව කිසිවකු සිතනවානම් එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් බව දැන් ඔබට පැහැදිලි වෙනවා ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලාභ ලැබිය හැකිව තිබුණේ බැඳුම්කර මිලදී ගැනීමෙන් පසු පොලී අනුපාතික පහළ යන තරමටය.

3 comments:

  1. these are obvious facts if someone take enough time to think putting aside political gibberish but no amount of explanation going to convince the masses I am afraid
    Eagerly waiting for part six hope I can learn something new soon enough.

    ReplyDelete
    Replies
    1. I'm afraid that I may not have anything new in my store for you soon, if you are literate on this matter. I want to proceed slowly so that at least some people who are less familiar with relevant basic concepts, who are my targeted audience, will not miss me. Thank you very much for your interest and patience. I am sorry if my slow phase disappoints you.

      Delete
    2. no worries. I also want to know the story behind the PT profits.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.