පර්පෙචුවල් ලාභ (පළමු කොටස)
පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)
පසුගිය (දෙවන) කොටසෙන් පෙන්වා දුන් එක් මූලික කරුණක් වූයේ කොටස් වෙළඳපොළ ආයෝජන වල අවදානම වැඩි අතර ප්‍රතිලාභද වැඩි බවයි. ඊට සාපේක්ෂව රජය හෝ සමාගමක් විසින් නිකුත් කරන බැඳුම්කර වල අවදානම මෙන්ම ප්‍රතිලාභද අඩුය.
සමාගමක කොටස් මිලදී ගන්නා අයෙකුට තමන් විසින් ආයෝජනය කළ මුල් මුදල ආපසු ලැබෙන බවට කිසිදු සහතිකයක් නොලැබේ. එහිදී සිදුවන්නේ මේ ආයෝජකයා අදාළ සමාගමේ හිමිකරුවෙකු බවට පත් වීමයි. සමාගම ලබන ලාභ මෙන්ම අලාභද එක සේ දරා ගැනීමට කොටස් හිමිකරුවෙකුට සිදුවේ.
කිසියම් සමාගමක් විසින් වැඩිපුර හෝ "අධික" ලාභ උපයනවා කියා ඔබ සිතනවානම් ඔබ විසින් කළ යුත්තේ අදාළ සමාගමේ කොටස් මිල දී ගැනීමයි. ලංකාවේ සමාගම් වලින් කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කර ඇත්තේ සීමිත සමාගම් ගණනක් නිසාත්, ඉතා සුළු මුදලක් අතේ ඇති කෙනෙකුට කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීම පිණිස ප්‍රවේශ වීම සාපේක්ෂව අසීරු කරුණක් නිසාත් මෙය කියන තරම්ම සරල කරුණක් නොවූවත්, වඩා පැතිරුණු හා දියුණු කොටස් වෙළදපොළක් ඇති රටක ඉතා සුළු මුදලක් වුවද කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කර වැඩි ප්‍රතිලාභයක් ලැබීමට සාමාන්‍ය පුද්ගලයෙකුට අවස්ථාව තිබේ.
සමාගම් කොටස් වලින් වෙනස්ව, බැඳුම්කර වල ආයෝජනය කරන්නෙකුට මුල් මුදල මෙන්ම කිසියම් නිශ්චිත ප්‍රතිලාභයක්ද ලැබෙන බවට සහතිකයක් එම බැඳුම්කර නිකුත් කරන රජයෙන් හෝ සමාගමෙන් මුලදීම ලැබේ. ඒ නිසා එහි ඇත්තේ අඩු අවදානමකි. අවදානම අඩු වුවද අවදානමක් නැතුවා නොවේ.
බැඳුම්කර නිකුත් කරන රජය හෝ සමාගම විසින් මෙසේ මුලදී පොරොන්දු වුවත් අවසානයේදී ඒ පොරොන්දුව ඉටු නොකරන්නට ඉඩ තිබේ. බොහෝ විට මෙසේ වන්නේ අදාළ සමාගම හෝ රජය බංකොලොත් වීම හේතුවෙනි.
කොටස් මිල දී ගන්නෙකු කිසියම් සමාගමක අයිතිකරුවෙකු වන නිසා සමාගම බංකොලොත් වුවහොත් එහි පාඩුව අය කර ගන්නට කෙනෙක් නැත. මෙහිදී සිදු වන්නේ තමන් විසින්ම ව්‍යාපාරයක් අරඹා එය බංකොලොත් වූ විට සිදු වන පාඩුවට සමාන තත්ත්වයකි. එහෙත්, බැඳුම්කර මිල දී ගන්නෙකු කරන්නේ කිසියම් සමාගමකට හෝ රජයකට ණය දීමයි. ඒ නිසා, ණය ආපසු නොගෙවුවහොත් නඩු පැවරීමට හැකිය. කෙසේ වුවද, බංකොලොත් සමාගමක නඩු පවරා ලබා ගත හැකි තරමේ වත්කම් නොමැත. බංකොලොත් වූ රජයක තත්ත්වයේද වෙනසක් නැත!
සමාගමක් බංකොලොත් වීමට ඇති ඉඩකඩට වඩා රජයක් බංකොලොත් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු වුවත්, රජයයන් විසින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගත් ණය ආපසු නොගෙවා පැහැර හැරි අවස්ථාද ඕනෑ තරම් තිබේ. ග්‍රීක බැඳුම්කර ආසන්නම උදාහරණයකි. මෙසේ රජයක් හෝ සමාගමක් බංකොලොත් වීම නිසා ණය ආපසු නොගෙවීමේ අවදානම වැඩි වන තරමට ආයෝජකයින් බැඳුම්කර සඳහා අපේක්ෂා කරන පොලී අනුපාතික ඉහළ යයි.
බැඳුම්කරයක් කල් පිරීමට ගත වන කාලය වැඩි වන තරමට එම කාලය තුළ අදාළ බැඳුම්කරය නිකුත් කළ සමාගම හෝ රජය බංකොලොත් වීමට ඇති ඉඩකඩ වැඩිය. මේ හේතුවත්, මෙහි සාකච්ඡා කර නැති වෙනත් හේතු ගණනාවකුත් නිසා සාමාන්‍යයෙන් එකම ආයතනය මඟින් නිකුත් කරන බැඳුම්කර වල කල් පිරීමේ කාලය වැඩි වෙද්දී පොලී අනුපාතිකද ක්‍රමයෙන් වැඩි වේ. ඒ නිසා, වැඩි අවදානමක් ගෙන දිගු කල්පිරීමේ කාලයක් ඇති බැඳුම්කරයක ආයෝජනය කරන්නෙකුට වැඩි ප්‍රතිලාභයක්ද ලැබිය හැකිය. ලංකාවේ නිකුත් කෙරෙන වැඩිම පරිණත කාලයක් ඇති බැඳුම්කර වන්නේ තිස් අවුරුදු බැඳුම්කර නිසා එවැනි දිගුකලක් මුදල් හිර කර අවදානමක් ගන්නට සූදානම් අයෙකුට සිය ආයෝජනය වෙනුවෙන් සැලකිය යුතු ඉහළ පොලී අනුපාතිකයක් හිමිවේ.
පසුගිය සතියේ (2017 පෙබරවාරි 8න් අවසන් වූ) ලංකාවේ රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ද්වීතියික වෙළඳපොළෙහි පැවති සාමාන්‍ය ඵලදා අනුපාතික පහත පළමු වගුවේ පෙන්වා දී තිබේ. දත්ත මහ බැංකුවේ වෙබ් අඩවියෙනි.
ඉහත වගුවේ ඇති තොරතුරු පහත පළමු රූප සටහනේ පරිදි ප්‍රස්තාරගත කළ විට දැකිය හැකි සම්බන්ධතාවය "ඵලදා වක්‍රය" ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් ඵලදා වක්‍රයේ හැඩය මෙහි අග කොටසේ දැකිය හැකි පරිදි මඳ බෑවුමක් සහිතව ඉහළට නැඹුරු වූවකි. එයින් පෙනෙන්නේ පරිණත කාලය වැඩි වෙද්දී පොලී අනුපාතිකද වැඩි වන බවයි.
ආකර්ශනීය පොළීයක් ලැබෙන්නේ කිසියම් කාලයක් මුදල් හිර කර තැබීමේ හැකියවක් ඇත්තෙකුටයි.
ReplyDeleteමට හිතෙනවා මෙහෙම මේක විහිළු අදහසක් වෙන්නත් පුළුවන්.
යම්කිසි දෙමව්පියන් යුවලකට පුළුවන් නම් "භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර" අලුත උපන් දරුවෙකු වෙනුවෙන් මිලදී ගන්න.දරුවා නිසි වයස් එනවිට සැලකිය යුතු ප්‍රතිලාභයක් ඔහුට ලැබෙනු ඇති නේද ? එහෙම තනි පුද්ගලයින්ටමුදල් ආයෝජනය කරන්න කරන්න පුලුවන්ද එවැනි දේ වෙනුවෙන්.මොකද එහෙම කරන්න පුළුවන් නම් දරුවන්ට ළමා ගිණුම් අලුතෙන් විවෘත කරනවාට වඩා මේක එලදායි ආයෝජනයක් වෙන්න ඉඩ තියෙනවා නේද යම් කිසි මුදලක් එකවර යට කරන්න පුළුවන් කම තියෙන කෙනකුට.
මේ වෙලාවේ පොලී අනුපාතික සෑහෙන ඉහළ මට්ටමක තියෙන නිසා දිගුකාලීන ආයෝජනයකට මුදල් යෙදවීම නරක අදහසක් නෙමෙයි.
Deleteවගුවේ තියෙන දත්ත කොහෙන්ද ගත්තේ
ReplyDeletehttp://www.cbsl.gov.lk/pics_n_docs/_cei/_docs/ei/wei_2017.02.09..pdf Page 11 Table 3.3 Column 7.
Delete