Wednesday, June 1, 2016
වෙළඳපොළ ආර්ථිකයක් යනු කුමක්ද?
මේ ලිපියෙන් කරන්නේ තරමක් මුලටම ගොස් සරල ආකෘතියක් මඟින් වෙළඳපොළ ආර්ථිකයක් යනු කුමක්දැයි පැහැදිලි කිරීමකි. වෙළඳපොළ ආර්ථිකයක් තුළ නිෂ්පාදනය සිදුවන ආකාරය විස්තර කරන මේ සරල ආකෘතිය චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ලෙස හැඳින්වේ.
චක්‍රීය ප්‍රවාහ ආකෘතිය තුළදී හඳුනාගන්නා මූලික ඒකක වර්ග දෙකකි. ඒ ගෘහස්ථ ඒකක හා ව්‍යාපාර ඒකකයි. ගෘහස්ථ ඒකක පුද්ගලයින්ගෙන් සමන්විත වන අතර මේ පුද්ගලයෝ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරති. එසේ කිරීමෙන් ඔවුහු තෘප්තියට පත්වෙති. මේ තෘප්තිය පෞද්ගලික අත්දැකීමකි. එකම භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කිරීමෙන් විවිධ පුද්ගලයින් විසින් ලබන තෘප්තිය සමාන නැත.
සමාගමක් හෝ ව්‍යාපාර ඒකකයක් යනු පුද්ගලයින්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය තුළින් බිහි කරගත් සංකල්පයකි. සමාගමක් සතු වත්කම්, වගකීම්, ඉලක්ක ආදිය තිබේ. උපතක්, මරණයක් හා ජීවිත කාලයක්ද තිබේ. මේ ජීවිත කාලය මිනිසෙකුගේ සාමාන්‍ය ජීවිත කාලයට වඩා බොහෝ වැඩි විය හැකිය.
සමාගම් සමඟ පුද්ගලයෝ විවිධ අන්තර්ක්‍රියාවන් කරති. සංකල්පීය ලෙස සමාගමක් යනු අථත්‍ය පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි වුවත් එය මනසේ ඇති සංකල්පයක්ම පමණි. මේස, පුටු, පරිගණක, යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි ආදිය මිස සමාගමක් නම් වූ භෞතික දෙයක් නැත. ඒ නිසා සමාගමකට පරිභෝජනය කිරීමට නොහැකිය.
කෙසේවුවද, ගෘහස්ථ ඒකක වලට අයත් පුද්ගලයින්ට සමාගම් සමඟ සංකීර්ණ අන්තර් ක්‍රියාවන්හි යෙදීමට එය බාධාවක් නොවේ. එමෙන්ම, කිසියම් පුද්ගලයෙකු විසින් තනිව මෙහෙයවන ව්‍යාපාරයක් වුවද එම පුද්ගලයාගෙන් බාහිර අථත්‍ය පුද්ගලයෙකු සමඟ කරන අන්තර්ක්‍රියාවක් ලෙස සංකල්පීය ලෙස සිතීමටද පුළුවන.
සමාගමක කාර්යය වනුයේ භාණ්ඩ හා/හෝ සේවා නිෂ්පාදනය කිරීමයි. භාණ්ඩ සේවා වලින් වෙනස් වන්නේ භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් පසුව පරිභෝජනය කරන තුරු ගබඩා කර තබාගත හැකිවීමත්, සේවාවන් එසේ ගබඩා කර තබාගත නොහැකි වීමත් නිසා පමණි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නිෂ්පාදන සාධක ප්‍රාග්ධන සම්පත්, ශ්‍රම සම්පත් හා ස්වභාවික සම්පත් ලෙස වර්ග කළ හැකිය. කිසියම් නිෂ්පාදනයක් සිදුකිරීම සඳහා මේ එක් එක් වර්ගයේ සම්පත් අවශ්‍ය වන අනුපාතය සමාගමක් විසින් උපයෝගී කරගන්නා නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව වෙනස් වේ.
නිෂ්පාදන ඒකක ඇත්තේ ගෘහස්ථ ඒකක සතුවය. සමාගම් වලට නිෂ්පාදන සාධක වෙළඳපොළ හරහා ගෘහස්ථ ඒකක වලින් මේ සාධක සොයා ගැනීමට සිදුවේ. නිෂ්පාදන සාධක වෙළඳපොළ තරඟකාරී වෙළඳපොළකි. එහිදී, සමාගම් වලට හැකි අවම මිලකට ශ්‍රමය, ප්‍රාග්ධනය හා ස්වභාවික සම්පත් ලබා ගැනීමට හැකිවන අතරම ගෘහස්ථ ඒකක වලට හැකි උපරිම මිලට මේ නිෂ්පාදන සාධක විකිණීමට ඉඩකඩ ලැබේ. සමාගම් නිෂ්පාදන සාධක වෙනුවෙන් පිරිවැයක් දරද්දී ගෘහස්ථ ඒකක වලට ශ්‍රමය වෙනුවෙන් වැටුප්ද, ප්‍රාග්ධනය වෙනුවෙන් පොලී හා/හෝ ලාභාංශද, ස්වභාවික සම්පත් වෙනුවෙන් කුලියද මුදල් ලෙස ලැබේ.
සමාගම් විසින් නිපදවන භාණ්ඩ හා සේවාවන් නැවතත් ගෘහස්ථ ඒකක වලටම විකිණේ. මෙය සිදුවන්නේ භාණ්ඩ හා සේවා වෙළදපොල හරහාය. ගෘහස්ථ ඒකක සතු මුදල් මේ වෙනුවෙන් වැය කෙරේ. එය සමාගමේ ආදායමයි. සමාගමේ ආදායම හා වියදම අතර වෙනස එහි ලාභයයි. මේ ලාභ ලාභාංශ ලෙස සම්පූර්ණයෙන් බෙදා නොදුන්නොත් සමාගම තුළ ඉතිරි වේ. එවිට සමාගමේ වටිනාකම ඉහළ යයි. මෙහි වාසියද සමාගමේ කොටස් හිමිකරුවන් වන ගෘහස්ථ ඒකක වලට ලැබේ. කොටස් විකිණීමෙන් මේ වාසිය මුදල් කළ හැකිය.
සාමාන්‍යයෙන් නිෂ්පාදන සාධක වල අගයට වඩා නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවන් වල අගය වැඩිය. මෙසේ එකතු කෙරෙන අගය තීරණය වන්නේ සමාගමක් සතු නිෂ්පාදන තාක්ෂනය අනුවය. එකතු වන අගයේ වාසිය අවසාන වශයෙන් ගෘහස්ථ ඒකක වෙත ලැබේ. එය පරිභෝජනය වැඩි කර ගැනීමට හෝ අනාගත පරිභෝජනය වෙනුවෙන් ආයෝජනය කිරීමට පුළුවන.
මේ ආකෘතිය තුළ ශ්‍රමිකයෙක්, ආයෝජකයෙක්, ස්වභාවික සම්පත් හිමිකරුවෙක් හා පාරිභෝගිකයෙක් ලෙස විවිධ කාර්යයන්හි යෙදෙන්නේ ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින්ය. සමාගමක කාර්යය අවසාන වශයෙන් නිෂ්ක්‍රීය එකකි.
ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින්ට කළ හැකි තවත් කාර්යයක් තිබේ. ඒ ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමයි. මේ සඳහා පවතින මිල ගණන් යටතේ හෝ වැඩි මිලක් ගෙවා නිෂ්පාදන සාධක මිල දී ගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර පවතින මිලගණන් යටතේම හෝ අඩු මිලකට විකුණා තමන්ටද ලාභයක් ලබා ගත හැකි ක්‍රමයක් ගැන සිතන්නට සිදුවේ. මෙය පහසු නැත. ව්‍යවසායකයින් දුලබ හා වටිනා පුද්ගලයින් ලෙස සැලකෙන්නේ ඒ නිසාය.
4 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
Great Post. It reminded me the lessons about market economy which I learnt during my university life. Thanks for publishing such a remarkable post econo.
ReplyDeleteThanks!
Deleteයම් පුද්ගලයකු දෛනිකව ලබන රු 1000ක ආදායමකින් රු 400ක් ආහාර සදහාද රු 350ක පමණ මුදලක් විවිධ සේවාවන් සදහාද රු 250ක පමණ මුදලතක් ඉතිරිකිරීම හෝ ණය ගෙවීම (ගෙදර සහ වාහන සදහා වන කුලිය) සදහාද වියදම් කරන්නේයැයි සැලකුවහොත් මෙම පුද්ගලයා උපයනලද රු 1000 පමණ මුදලම බොහෝමයක් පුද්ගලයින් (ආහාර, දුරකතන , ප්‍රවාහන, ඉන්ධන,නඩත්තු කටයුතු, සෞඛ්‍ය, අධ්‍යාපන...) අතරට නැවත ගලායෑමක් දෛනිකව සිදුවනවාය. මේ අනුව එක් එක් සමාගම්වල සේවකයින්, වෙළද සැල් හිමියන්, දොස්තරවරුන්, උපකාරක පන්ති පවත්වන්නන් ආදී අප සියල්ලන්ගේම ආදායම ලැබෙන්නේ මෙලෙස එක් එක් පුද්ගලයින් ලෙස අපම වියදම්කරන මුදල් වලින්ය. මෙම මුදල්වලින් බදු මුදල් ලෙස එකතුකර ගන්නා කොටසක් අපව නියාමනය කිරීම සදහා සකස්කරගෙන තිබෙනා සහ ඒ වෙනුවෙන් නීතීරීතී සකස්කරනු ලබන පුද්ගලයින් අතට යනවාය, එවායින් දුෂණයන් හා නාස්තියන් ලෙස වියදම්වනවායැයි කියන මුදල්ද මේ ආකාරයටම චක්‍රියලෙස නැවත නැවතත් එකතු වන්නේ වෙළද පොළටය.
ReplyDeleteලංකාවේ වෙළදපොලේ ඇති ගැටලුවනම් මෙලෙස එකතුවන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් විවිධ සේවාවන් හා භාණ්ඩ ලබාගැනීම සදහා දෛනිකව විදේශයන්ට ගලායෑම නිසා වෙළදපොලේ ඇති මුදල් ප්‍රමාණය අඩුවීමයි, එබැවින් ඒ අඩුව පිරවීමට ලංකාව දිගටම විදේශයන්ගෙන් ආධාර, ණය, විදේශ ප්‍රෙෂණ හා ආයෝජන ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවායැයි ආකාරයේ දෙයක් මට හැගේ. මේවා ආර්ථික විද්‍යාව අනුව නිවරදිදැයි මමනම් දන්නේ නැත.
එබැවින් වංචා හා දුෂණයන් වැලැක්වීම මගින් ආර්ථිකය වර්ධනය කල හැකියැයි පවසන මතවාදයේ ඇත්තක් තිබෙනවාදැයි ගැටලුවක් ඇතිවේ. සැබවින්ම වංචා හා දුෂණයන් වැලැක්වීම මගින් ආර්ථිකයේ වර්ධනයක් සිදුවිය හැක්කේ කොයි ආකාරයටදැයි මේ අනුව මටනම් ගැටලුවක් ඇතිවේ. (වංචා හා දුෂණයන් මගින් උපයා ගන්නා මුදල්ද වෙනත් සේවාවන් (විශාල ගේ දොර,වාහන, මත්පැන් ...) ලබා ගැනීම සදහා වියදම් කරන බැවින් ඒවාද නැවත වෙළදපොළට එකතුවේ)
//එවායින් දුෂණයන් හා නාස්තියන් ලෙස වියදම්වනවායැයි කියන මුදල්ද මේ ආකාරයටම චක්‍රියලෙස නැවත නැවතත් එකතු වන්නේ වෙළද පොළටය. // මෙය ඇතුළු ඔබේ අනෙකුත් නිරීක්ෂණ ඉතාම හොඳයි. එයින් කියන්නේ වංචා හා දූෂණ සිදු නොවූ/නොවන බව හෝ ඒවායින් ආර්ථිකයට නරක බලපෑමක් නැති බව නොවේ. එහෙත්, ආර්ථිකයේ සියළු ප්‍රශ්න වංචා දූෂණ වලට ලඝු කළ හැකියැයි සිතීම විශාල මුලාවකි. මේවා ඡන්ද ලබාගැනීමට හොඳ කතා වුවත් ආර්ථිකය මෙහෙයවීමේදී සලකා බැලිය යුතු තවත් එක් කරුණක් පමණි. ආණ්ඩුව දැන් ඇණගෙන ඉන්නේ ඒ නිසාය. මේ සතිය ගොඩක්ම කාර්යබහුලයි. පසුව විස්තරාත්මක ප්‍රතිචාරයක් දක්වන්නම්.
Delete