Tuesday, June 28, 2016

චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ගැන තව දුරටත්...


වෙළඳපොළ ආර්ථිකයක් විස්තර කෙරෙන ඉතා සරල ආකෘතියක් වන චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ගැන අපි පසුගිය ලිපියෙන් කතා කළෙමු. එම ආකෘතිය අනුව, ගෘහස්ථ ඒකක හා සමාගම් ලෙස එකිනෙකට වෙනස් ඒකක වර්ග දෙකකි. මේ ඒකක වර්ග දෙකෙන් සමාගම් වල කාර්යභාරය සංකල්පීය එකක් වන අතර ගෘහස්ථ ඒකක වල කාර්ය භාරය ඊට වඩා සක්‍රිය එකකි.

සමාගමකට නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය ලැබෙන්නේ ගෘහස්ථ ඒකක වලිනි. එම නිෂ්පාදන සාධක උපයෝගී කරගෙන ලබාගන්නා ලාභයද අවසාන වශයෙන් ගෘහස්ථ ඒකක කරා සම්ප්‍රේෂණය වේ.

නිෂ්පාදන සාධක ඇත්තේ ගෘහස්ථ ඒකක වලය. එහෙත්, නිෂ්පාදනයක් සිදුක
ලාභයක් ලැබිය හැක්කේ සමාගමකට හෝ වෙළඳ ව්‍යාපාරයකටය. මේ බෙදීම සංකල්පීය බෙදීමක් නිසා කිසියම් වෙළඳ ව්‍යාපාරයක් භෞතිකව ක්‍රියාත්මක වන්නේ ගෘහස්ථ ඒකකයක් තුළම වුවද මේ ආකෘතිය වලංගුය.

ගෘහස්ථ ඒකකයක් සතු ශ්‍රමය හා ප්‍රාග්ධනය තරඟකාරී වෙළඳපො
ක ආයෝජනය කරද්දී එය කරන්නේ වැඩිම ප්‍රතිලාභ ලැබෙන අයුරිනි. ඒ නිසා, කිසියම් සමාගමකින් ඔබේ ශ්‍රමය හෝ ප්‍රාග්ධනය (හෝ ඔබට අයිති ස්වභාවික සම්පත්) වෙනුවෙන් ගෙවන 'කුලිය' එවැනි වෙනත් සමාගමකින් ගෙවන කුලියට වඩා අඩුනම් ඔබ විසින් ඔබට හිමි නිෂ්පාදන සාධක ඒ 'වෙනත් තැනට' විතැන් කරනු ඇත. මේ නිසා, සමාගමකට හෝ වෙළඳ ව්‍යාපාරයකට එමඟින් 'කුලියට' ලබාගන්නා නිෂ්පාදන සාධක වෙනුවෙන් ගෙවිය යුතු වැඩිම මිල ගෙවන්නට සිදුවේ. ශ්‍රමය හා අදාළව මේ කුලිය යනු වැටුප්, වේතන ආදියයි. ප්‍රාග්ධනය හා අදාළව පොලියයි. අවසාන වශයෙන් සමාගම් විසින් ලබන ලාභ වල ප්‍රතිලාභ භුක්ති විඳින්නේ ගෘහස්ථ ඒකක වල වෙසෙන සැබෑ පුද්ගලයින්මය.

ආරම්භයේදී පුද්ගලයෙකුට ප්‍රාග්ධනය හෝ ඉඩම් වැනි ස්වභාවික සම්පත් හිමි කරගත හැක්කේ දෙමවුපිය උරුමයෙනි. එහෙත්, මේ වාසිය සියල්ලන්ටම එකසේ නොලැබේ. ඒ නිසා, ප්‍රාග්ධනය හා/හෝ ස්වභාවික සම්පත් හිමිකම 'වාසනාවට' ලැබෙන පුද්ගලයෙකුට එසේ නොලැබෙන කෙනෙකුට වඩා වැඩි ආරම්භක වාසියක් තිබේ. ප්‍රාග්ධන හිමිකම් නොමැති අයෙකුට ප්‍රාග්ධනය හිමි කර ගත හැකි වන්නේ තමන් සතු ශ්‍රම සම්පත් සඳහා ලබා ගත හැකි ප්‍රතිලාභ සම්පූර්ණයෙන්ම පරිභෝජනය නොකර කොටසක් ඉතිරි කර ගැනීම මඟිනි.

ශ්‍රම සම්පත භෞතික ශ්‍රමය හා මානව සම්පත් ලෙස වර්ග කළ හැකිය. අද වන විට, මේ දෙකෙන් වඩා වැදගත් වන්නේ මානව සම්පතයි. බොහෝවිට භෞතික ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වලින් මූලික පරිභෝජන අවශ්‍යතා ඉටු කරගැනීමෙන් පසු කොටසක් ඉතිරි කර ගැනීම පහසු නැත.

මානව සම්පත යනු ප්‍රාග්ධන සම්පත මෙන්ම ආයෝජනය කිරීමෙන් වර්ධනය කර ගත යුතු දෙයකි. අද වන විට, ලෝකයේ බොහෝ රටවල සියල්ලන්ටම නොමිලේ මූලික අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ඇති නිසා උරුමයේ වාසනාව නැති අයෙකුට වුවද තමන් සතු මානව සම්පත වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබී තිබේ. මේ නිසා, සුවිශේෂී ව්‍යවසායකත්ව දක්ෂතා නැති, ප්‍රාග්ධනය අහිමි අයෙකුගේ දරුවෙකුට ප්‍රාග්ධනයේ හිමිකරුවෙකු වීමට ඉඩ සැලසීම මඟින් ආදායම් විෂමතා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා නොමිලේ ලබාදෙන අධ්‍යාපනය මඟින් ඉඩකඩ සලසයි.


තරමක් සංකීර්ණ චක්‍රීය ප්‍රවාහ ආකෘතියකට තවත් වැදගත් ඒකක වර්ග දෙකක් ඇතුළත්ය. ඒ රජය හා බැංකු ඒකකයි. ගෘහස්ථ ඒකක සතු ප්‍රාග්ධනය නිෂ්පාදන ඒකක කරා සම්ප්‍රේෂණය කිරීමේදී බැංකු මඟින් අතරමැදි කාර්යයක් සිදු කරයි. මෙසේ ගෘහස්ථ ඒකක හා නිෂ්පාදන ඒකක අතර සිදුවන සෘජු මූල්‍යකරණය වෙනුවට බැංකු හරහා සිදුවන වක්‍ර මූල්‍යකරණය ජනප්‍රිය වී ඇත්තේ ඇයිද යන්න මේ ලිපියෙන් කතා කරන්නේ නැත.

රජය මඟින් කරන්නේ නිෂ්පාදන ඒකක සඳහා ගෘහස්ථ ඒකක වෙත ලැබෙන ප්‍රතිලාභ වලින් කොටසක් ලබාගෙන ගෘහස්ථ ඒකක වෙතම වෙනත් ක්‍රමයකට නැවත බෙදාහැරීමයි. මෙහි අරමුණ සමානාත්මතාවය, නිදහස් වෙළඳපොළ ක්‍රමයේ ඇතැම් අඩුපාඩු මඟ හරවා ගැනීම හෝ රටක ජනතාව එකඟ වන වෙනත් හේතුවක් විය හැකිය. මේ නිසා, කිසියම් ගෘහස්ථ ඒකකයකට අවසාන වශයෙන් සම්ප්‍රේෂණය වන (පරිභෝජනය හා ආයෝජනය සඳහා යොදාගත හැකි) ශුද්ධ ප්‍රතිලාභ ප්‍රමාණය එම ඒකකයෙන් සමාගම් වෙත ලබාදී ඇති නිෂ්පාදන සාධක වෙනුවෙන් ලැබිය යුතු ප්‍රශස්ථ ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි විය හැකිය. (නිෂ්පාදන සාධක මත පනවන බදු වලට අමතරව රජයයන් විසින් බොහෝ විට පරිභෝජනය මතද බදු පනවයි. ලංකාවේ බදු වලින් වැඩි ප්‍රමාණයක් මෙවැනි වක්‍ර බදුය.)

ලංකාවේදී ශ්‍රමය සඳහා ලැබෙන ප්‍රතිලාභ මත පනවන බද්දක් ලෙස උපයන විට ගෙවීමේ බද්ද සඳහන් කළ හැකිය. ඇතැම් ආයෝජන සඳහා ලැබෙන පොලිය මත පනවන රඳවා ගැනීමේ බද්ද හා ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ප්‍රාග්ධන බද්ද ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ මත පනවන බදු ලෙස හැඳින්විය හැකිය. ආදායම් බදු යනු මේ දෙයාකාරයේම ප්‍රතිලාභ මත පොදුවේ පැනවෙන බද්දකි.  


අවසාන වශයෙන් මේ ආකෘතියට විදේශ අංශයද එකතු කළ යුතුය.

(Image: wp.lps.org)

4 comments:

  1. මාර්ක්ස්වාදී ආර්ථික විද්‍යාවේ “ගෘහස්ථ ඒකක“ කියන කෑල්ල සඳහන් වෙන්නේ නෑ නේද?

    /සුවිශේෂී ව්‍යවසායකත්ව දක්ෂතා නැති, ප්‍රාග්ධනය අහිමි අයෙකුගේ දරුවෙකුට ප්‍රාග්ධනයේ හිමිකරුවෙකු වීමට ඉඩ සැලසීම මඟින් ආදායම් විෂමතා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා නොමිලේ ලබාදෙන අධ්‍යාපනය මඟින් ඉඩකඩ සලසයි./ නවකවදය වෙනුවෙන් සමාජවාදීන් (?) පෙනී සිටින්නේ ඇයි කියා දැන්නම් හොඳටෝම පැහැදිලියි, මේ නොමිළයේ ලබාදෙන අධ්‍යාපනය නිසා කොමියුනිස්ට් යුගයකට යන්න තියනවා කියන ප්‍ර‍සිද්ධ පාර අවහිරවෙනවා නේ, එයාල එහෙ යන්න වෙන පාරවල් දන්නෙ නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මම මාක්ස්වාදී ආර්ථික විද්‍යාව හදාරලානම් නැහැ. මාක්ස්ගේ කාලයේදී නිෂ්පාදන හැකියාවන් තිබුණේ සීමිත පිරිසක් අතේ නිසාත්, ගෘහස්ථ ඒකක වලට ප්‍රායෝගිකව කළ හැකි වුණේ ශ්‍රමය ලබාදීම පමණක් නිසාත් ඒ කාලයේ ආර්ථිකය විස්තර කිරීමට එවැනි ආකෘතියක් ප්‍රමාණවත්.

      Delete
    2. තේරුනා,මාක්ස් කියල තියන එවා යල් පැන ගොහින් කියන්න එක හේතුවක් නේ ද මේ.

      Delete
    3. ආර්ථික විද්‍යාවත් වෙනත් විද්‍යාවන් වගේම නිරන්තරයෙන් දැනුම අළුත් කර ගත යුතු විද්‍යාවක්. ඇතැම් අනුක්ෂේත්‍ර වල වසර දහයක් පැරණි පර්යේෂණ පත්‍රිකාවක් වුවත් යල් පැන ගිය එකක් විය හැකියි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.