Monday, December 12, 2016

රටකට ඕනෑ කොපමණ මුදලක්?



පසුගිය ලිපියකට ප්‍රතිචාර දැක්වූ එක් පාඨකයෙකු කිසියම් රටක් 'අළුතින් සල්ලි අච්චු ගැසීමේ' ක්‍රියාපටිපාටිය ගැන විස්තර කරන මෙන් ඉල්ලා සිටියේය. මේ ලිපිය එම ඉල්ලීමට ප්‍රතිචාරයකි.

කිසියම් මොහොතක රටක ආර්ථිකය තුළ සංසරණය වන නිශ්චිත මුදල් නෝට්ටු හා කාසි ප්‍රමාණයක් තිබේ. මේ අතර ඉරුණු, පොඩි වුණු, අපවිත්‍ර වුණු නෝට්ටුද තිබේ. අතින් අත ගොස් කිසියම් බැංකුවක් හරහා මෙසේ හොඳ තත්ත්වයේ නැති මුදල් නෝට්ටුවක් මහ බැංකුවට පැමිණි විට මහ බැංකුව විසින් එවැනි මුදල් නෝට්ටු විනාශ කර අළුත් මුදල් නෝට්ටු සංසරණයට එක් කරයි. මෙසේ කිරීමෙන් රටේ මුදල් සැපයුම (ආර්ථිකය තුළ සංසරණය වන මුළු මුදල් ප්‍රමාණය) වෙනස් නොවේ. ඒ නිසා, මෙහිදී සිදුවන්නේ අළුතින් සල්ලි අච්චු ගැසීමක් නොවේ. (මෑතකදී වාර්තා වී තිබුණු පුවතකට අනුව මහ බැංකුවේ සේවකයින් පිරිසක් විසින් ආදේශක ලෙස අළුතින් නෝට්ටු නිකුත් කිරීමෙන් පසු මෙසේ විනාශ කළ යුතු අපවිත්‍ර වූ නෝට්ටු විනාශ නොකර තමන් වෙත තබා ගනිමින් වංචාවක් සිදුකර තිබුණේය. එවැනි විටෙකනම් රටේ මුදල් සැපයුම වැඩි වේ.)

අළුතින් මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ කිසියම් අයුරකින් මහ බැංකුව විසින් ආර්ථිකයට පවතින ප්‍රමාණයට අමතරව අළුත් මුදල් නෝට්ටු හෝ කාසි නිකුත් කළ විටය. මෙය සිදුවන්නේ මහ බැංකුව විසින් කිසියම් පිරිවැයක් දරන විටෙකදීය.

මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවන විටත්, මහ බැංකුවට අලුතින් පරිගණකයක් මිලදී ගන්නා විටත්, මහ බැංකුව විසින් පුවත්පත් දැන්වීමක් දමන විටත් වැය කරන්නේ රජයේ වෙනත් ආයතනයක එවැනි පිරිවැයක් දැරෙන විට සිදුවනවාක් මෙන් මහජනතාවගේ බදු මුදල් නොවේ. අළුතින් මුද්‍රණය කළ මුදල්ය. ඒ නිසා මහ බැංකුවේ පිරිවැය වැඩිවන හැමවිටම රටේ මුදල් සැපයුම වැඩි වේ.

මෙහි අනිත් පැත්තද සිදුවේ. මහ බැංකුව විසින් ඔවුන්ගේ වාර්ෂික වාර්තාවේ පිටපතක් හෝ වෙනත් ප්‍රකාශනයක් විකුණන සෑම විටෙකම රටේ සංසරණයට නිකුත් කර ඇති මුදල් වලින් කිසියම් කොටසක් ආපසු මහ බැංකුවට පැමිණ සංසරණයෙන් ඉවත් වන නිසා රටේ මුදල් සැපයුම අඩුවේ.

ඉහත විස්තර කළ පරිදි මහ බැංකුව විසින් උපයන හා වැයකරන සෑම සතයක්ම රටේ මුදල් සැපයුමට බලපෑමක් කළත් රටේ මුදල් සැපයුම ප්‍රධාන වශයෙන්ම විචලනය වන්නේ මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් (භාණ්ඩාගාර බිල්පත්) මිලදී ගැනීම හා විකිණීම කරන විටය. 


රටේ මුදල් සැපයුම වැඩි කරන්නට අවශ්‍ය වූ විට මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී. රටේ මුදල් සැපයුම අඩු කරන්නට අවශ්‍ය වූ විට මහ බැංකුව තමන් සතු භාණ්ඩාගාර බිල්පත් විකුණයි.

මුදල් සැපයුම වැඩි කිරීම උද්ධමනයට හේතු වන බව අප දන්නා දෙයකි. එසේනම්, මහ බැංකුවක් අළුතින් සල්ලි අච්චු ගසා මුදල් සැපයුම වැඩි කරන්නේ ඇයි?

රටේ ආර්ථිකයක් නිසි ලෙස ක්‍රියාත්මක වීමටනම් යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. රටක මහ බැංකුවක් මුදල් සැපයුම වැඩි කරන්නේ මේ මුදල් අවශ්‍යතාවය සැපිරෙන පරිදිය. එසේනම්, මේ ප්‍රමාණය කොපමණද?

මෙය ඇස්තමේන්තු කිරීම සඳහා අපට මුදල් අවශ්‍ය වන්නේ කුමකටද යන්න විමසීමට සිදුවේ. මුදල් අවශ්‍ය වන්නේ ගනුදෙනු සඳහාය. රටකට ගනුදෙනු සඳහා කොපමණ මුදලක් අවශ්‍යද?

රතු කැකුළු කිලෝවක් රුපියල් අසූවනම් කිලෝ දෙකක් මිලදී ගන්නට රුපියල් එකසිය හැටක් අවශ්‍ය වේ. බිත්තරයක් රුපියල් පහළොවනම් බිත්තර පහක් ගන්නට රුපියල් හැත්තෑ පහක් අවශ්‍ය වේ. මේ දෙකම ගන්නට රුපියල් දෙසිය තිස්පහක් අවශ්‍ය වේ. ඉහත අයුරින් රටේ සෑම අයෙකුටම මිල දී ගැනීමට අවශ්‍ය සියළුම දේ සඳහා අවශ්‍ය තර
ම් මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය.

රටේ සියළුම දෙනා විසින් කරන ගනුදෙනු පිලිබඳ සංඛ්‍යාලේඛණ එකතු කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවේ. එහෙත්, මේ ගනුදෙනු ප්‍රමාණය ආසන්න වශයෙන් ඇස්තමේන්තු කරන්නට බැරිකමක් නැත.

රටේ කවුරු හෝ මිල දී ගන්නේ වෙනත් කවුරු හෝ විසින් නිෂ්පාදනය කළ භාණ්ඩයක් හෝ සේවාවකි. ඒ නිසා, රටේ සමස්ත නිෂ්පාදනය ඇස්තමේන්තු කළ හැකිනම් හා එක් එක් භාණ්ඩයේ සාමාන්‍ය මිල දන්නේනම් රටේ සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණය ඇස්තමේන්තු කළ හැකිය. රටක නාමික දළ දේශීය නිෂ්පාදිතය ලෙස ඇස්තමේන්තු කරන්නේ කිසියම් කාලයක් තුළ රටක සිදුවන සමස්ත නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකමයි. මෙම අගය රටේ වසරක් තුල සිදුවන ගනුදෙනු ප්‍රමාණයට සමාන ලෙස සැලකිය හැකිය. ඒ නිසා, එම ගනුදෙනු ප්‍රමාණය කිරීමට අවශ්‍ය තරම් මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය.

කෙසේ වුවද, වසරක් වැනි කාලයක් තුල එකම රුපියල් සීය ගනුදෙනු සඳහා කිහිප වරක්ම යෙදවේ. ඒ ගනුදෙනුවක් සිදුවන සෑම විටෙකම මේ රුපියල් සීය වෙනත් අයකුගේ අතට යාමත් ඔහු හෝ ඇය එම මුදල් නෝට්ටුවම නැවතත් ගනුදෙනු සඳහා භාවිතා කිරීමත් සිදුවන බැවිනි. මෙසේ යම්කිසි කාලයක් තුළ මුදල් නෝට්ටුවක් අතින් අත යන වාර ගණන 'මුදල් ප්‍රවේගය' ලෙස හැඳින්වේ. ලංකාවේ මුදල් නෝට්ටුවක් වසරක් තුළ මෙසේ අතින් ඇත මාරු වන වාර ගණන තුන් වරක් පමණ වේ.

දැන් අපට රටට අවශ්‍ය මුදල් ප්‍රමාණය (M) සොයාගත හැකිය. රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතය මුදල් ප්‍රවේගයෙන් බෙදූ විට පිළිතුර ලැබේ.

රටක මුදල්
ප්‍රවේගය සාමාන්‍යයෙන් විශාල ලෙස විචලනය නොවේ. එහෙත්, රටේ සමස්ත නිෂ්පාදනය සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යයි. මෙසේ සමස්ත නිෂ්පාදනය හෙවත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වීම සරලව රටේ ආර්ථික වර්ධනය ලෙස හැඳින්වේ. ආර්ථිකය වර්ධනය වන විට ඒ අනුපාතයෙන්ම රටේ ගනුදෙනු ප්‍රමාණයද ඉහළ යන නිසා එම ගණුදෙනු සුමට ලෙස කිරීමට රටට අවශ්‍ය මුදල් ප්‍රමාණයද ඉහළ යයි. ඒ නිසා රටක ආර්ථික වර්ධනය වන අනුපාතයෙන් මුදල් සැපයුම වැඩි කළ විට මිල මට්ටම ඉහළ නොයයි. එහෙත්, ආර්ථිකය වර්ධනය වන වේගයට වඩා වැඩියෙන් මුදල් සැපයුම වැඩි කළ විට එම වැඩිපුර මුදල් සැපයුමට සරිලන ඉල්ලුමක් නැති නිසා සිදුවන්නේ මිල මට්ටම ඉහළ යාමය.

උදාහරණයක් ලෙස රටේ ආර්ථික වර්ධනය 6%ක් වෙද්දී, මුදල් සැපයුම 10%කින් වර්ධනය වුවහොත්, 4%ක 'වැඩිපුර' මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වන නිසා මිල මට්ටම 4%කින් වැඩි වේ. එනම්, උද්ධමනය 4%ක් වේ. යම් හෙයකින් මුදල් සැපයුම 20%කින් වර්ධනය වුවහොත් උද්ධමනය 14%ක් පමණ වනු ඇත.

මහ බැංකුව වසර මුලදී අදාළ වසර සඳහා මුදල් සැපයුම තීරණය කරද්දී රටේ ආර්ථික වර්ධනය සැලකිල්ලට ගන්නා අතර, එයට අමතරව කිසියම් මට්ටමක 'තිබුණට කමක් නැති' උද්ධමන මට්ටමක් සලකමින් මුදල් සැපයුම වැඩිකළ යුතු ප්‍රමාණය තීරණය කරයි. මා සිතන පරිදි අඩු වශයෙන් අසූව දශකයේ මුල පමණ සිට 2006 වසර පමණ වන තුරු මහ බැංකුව මේ 'තිබුණට කමක් නැති' උද්ධමන මට්ටම 9%-10% පමණ ලෙස සැලකුවේය. ඉන්පසු කාලයේදී මහා බැංකුව මේ මට්ටම 5%-6% මට්ටම දක්වා ගෙන ආවේය.

මහ බැංකුව මෙසේ වසර මුල යම් කිසි මට්ටමකට වඩා මුදල් සැපයුම වැඩි නොකිරීමට තීරණය කළත් බොහෝ වසර වල එම මට්ටමද ඉක්මවා මුදල් සැපයුම වැඩි කරයි. මෙසේ කිරීමට පෙළඹෙන්නේ රජයේ අයවැය හිගය ඇස්තමේන්තුවට වඩා වැඩි වී වැඩිපුර රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කෙරෙන විට පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යන්නට නොදී එම සුරැකුම්පත් ප්‍රමාණය විකුණාගන්නට බැරිවන විට මහ බැංකුවට අළුතින් මුද්‍රණය කළ මුදල් යොදවා රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගන්නට සිදුවන බැවිනි. මෙයට අමතරව, බොහෝ වසර වල ලංකාවේ ආර්ථික වර්ධන වේගය වසර මුලදී බලාපොරොත්තු වන මට්ටමට යන්නේ නැත. මේ කරුණු දෙකේම ප්‍රතිඵලය වන්නේ මුලින් හිතුවාට වඩා වැඩි උද්ධමන මට්ටමක් ඇති වීමයි.

කෙසේ වුවද, තෙල් මිල අඩුවීම වැනි බාහිර සාධක නිසා මුදල් සැපයුම වැඩිවද්දීත් උද්ධමනය අඩු මට්ටමක පැවතෙන්නට පුළුවන.


(Image: http://www.therepublicsquare.com/business/2013/05/inflation-in-sri-lanka-according-to-cal-research-figures/)

11 comments:

  1. //මහ බැංකුව විසින් ඔවුන්ගේ වාර්ෂික වාර්තාවේ පිටපතක් හෝ වෙනත් ප්‍රකාශනයක් විකුණන සෑම විටෙකම රටේ සංසරණයට නිකුත් කර ඇති මුදල් වලින් කිසියම් කොටසක් ආපසු මහ බැංකුවට පැමිණ සංසරණයෙන් ඉවත් වන නිසා රටේ මුදල් සැපයුම අඩුවේ// මහ බැංකුවට ආදායමක් (ලාබයක්) ලෙස එකතු වෙන මුදල් ආපසු වියදම් කරන්නේ නැද්ද? ඒවාට මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවේ ලාබ අවසාන වශයෙන් යන්නේ මහා භාණ්ඩාගාරයට. රජය මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණා ඒ වෙනුවෙන් පොලිය ගෙවනවා. මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හිමිකම් වැඩි වූ තරමට හා භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වැඩි වූ තරමට මහ බැංකුවේ ලාබ වැඩි වෙනවා. රජයේ වියදම් වැඩි වෙනවා. මහ බැංකුවේ ලාබ වසර අවසානයේ නැවතත් මහා භාණ්ඩාගාරයට යනවා. ඒ නිසා රජය මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකිණූ විට අන්තිමට පොලී අනුපාතික කොපමණද කියන එක වැදගත් වන්නේ නැහැ. තුන් තේරවිල්ලක් වගේ නේද? ඒත් ඕක තමයි ඇත්තටම වෙන්නේ. මේ වියදම අන්තිමට යන්නේ කාගෙන්ද කියන එක තේරෙනව ඇති නේද?

      Delete
    2. ස්තූතියි, මෙය රාජ්‍ය ආයතන සියල්ලමට පොදුයිනේ, වැදගත්වෙන්නේ එම ආයතන ලාභ සොයනවාද පාඩු ලබනවාද කියන එක නොවේ කාර්යක්ෂමද / අකාර්යක්ෂමද කියන කාරනාවයි කියා සිතෙනවා.

      Delete
    3. ඔව්. නමුත්, මතක තබාගත යුතු පැහැදිලි වෙනස්කම් වන්නේ පළමුව රටක මහ බැංකුවක් රජයෙන් ස්වාධීන ආයතනයක් ලෙස සැලකීමයි (ප්‍රායෝගික තත්ත්වය කෙසේ වුවත්). ඇතැම් විට රජයේ හා මහ බැංකුවේ අරමුණු එකිනෙක ගැටෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස කාර්යක්ෂම රජයක් වියදම් අවම කර ගැනීම සඳහා හැම විටම පොලී අනුපාතික අඩුවෙන් තියා ගත යුතු අතර උද්ධමන පීඩන නැඟී එන විට කාර්යක්ෂම මහ බැංකුවක් කළ යුත්තේ එහි අනිත් පැත්තයි. දෙවන වෙනස වන්නේ වැඩිපුර මුදල් අච්චු ගැසීම හැම විටම මහ බැංකුවේ ලාබ වැඩි කිරීම සහ එසේ මුදල් අච්චු ගැසීමට මහ බැංකුවකට ඇති නිදහසයි. ඒ නිසා මහ බැංකුවට අවශ්‍යනම් තමන්ගේ මූලික අරමුණින් බැහැර වී කැමති මට්ටමක ඉහළ ලාබයක් පහසුවෙන් උපයන්න පුළුවන්. ගිණුම් තැබීමේදී ස්වභාවිකවම මහ බැංකුවක ලාබ ගණනය කළත් මහ බැංකුවක ලාබ වලින් එහි කාර්යක්ෂමතාවය අඩු හෝ වැඩි බව පිළිබිඹු වෙන්නේ නැහැ. වැඩි ලාබ වලින් බොහෝ විට පෙන්වන්නේ (මූලික අරමුණු ඉටුකරගැනීම හා අදාළව) අකාර්යක්ෂමතාවය විය හැකියි. ඔබ කියන පරිදිම, ව්‍යාපාර නොකරන රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමත්වය මනින්න වෙන්නෙත් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක සපුරා ගැනීමේ කාර්යක්ෂමතාවය මතයි.

      Delete
  2. මුදල් ප්‍රවේගය සහ ආර්තික සංවර්ධන වේගය අතර සම්බන්ධයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. පොඩි සම්බන්ධයක් තියෙනවා. එහෙත්, සෘජුව හඳුනාගත හැකි පැහැදිලි හෝ ලොකු සම්බන්ධයක් නෙමෙයි. මුදල් ප්‍රවේගය රඳා පවතින්නේ රටේ ගෙවීම් පියවීම් පද්ධතිය කොයි තරම් දියුණුද කියන එක මතයි. රටේ බැංකු ශාඛා ගණන, ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් භාවිතය, අන්තර්ජාල බැංකුකරණය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආදිය වැඩි වන විට මුදල් ප්‍රවේගය වෙනස් වෙනවා. මෙසේ මුල්‍ය යටිතලපහසුකම් වැඩි දියුණු වීම යම් තරමකින් ආර්ථික වර්ධනයට සමගාමීව සිදුවන නිසා වක්‍ර සම්බන්ධයක් තිබුණත් මුදල් අතේ ඇති අයගේ වියදම් කිරීමට ඇති පෙළඹුමේ වෙනස්කම් අනුව වෙන විචලනයන් ඊට වඩා වැඩියි.

      Delete
  3. බංගලිදේශය විදේශ ආධාර ලබා ගැනීම සඳහා සිය ආර්ථික සංවර්ධන වේගය සඟවන බව ආසියානු සංවර්ධන බැංකුවේ සිටි උසස් නිළධාරියෙකු(මහාචාර්යවරයෙක්)බොහො කලකට පෙර පැවති (2002දී) දේශනයකදී කීවා, රටක් එසේ ආර්ථික සංවර්ධන දත්ත සැලසුම් සහගතව විකෘති කරනවානම් එය ඒ රටේ සැබෑ උද්ධමන අනුපාතිකයට බලපානවාද?

    ReplyDelete
    Replies
    1. ඇතැම් අඩු ආදායම් රටවල් මෙවැන්නක් කරනවා. පහළ මැදි ආදායම් කැටගරියට ගිය විට සංවර්ධන ආධාර අඩුවීම හා ගෙවිය යුතු පොලී අනුපාතික වැඩිවීම ආදිය මෙයට හේතුවයි. ලංකාවත් ඒක පුද්ගල ආදායම ඩොලර් 1000ට යාන්තම් අඩු මට්ටමේ ටික කලක් හිටියා. පළමුව, මෙවැන්නක් කළ හැක්කේ ඉතා කෙටිකලක්, එනම් වසර දෙක තුනක් පමණයි. දෙවනුව, මෙවැනි වෙනසක් කළත් එය ප්‍රතිශතයක් ලෙස පොඩි වෙනසක්. උද්ධමනය සහ මුදල් සැපයුම අතර ඇති මා විස්තර කළ සම්බන්ධතාවය දිගුකාලීන හා ආසන්න සම්බන්ධයක් නිසා කෙටිකාලීනව එවැනි පොඩි වෙනසක ප්‍රතිඵලය පෙනෙන්නේ නැහැ.

      Delete
    2. අනිත් එක ආර්ථික වර්ධනය සඟවන රටකට උද්ධමනයත් සැඟවීම පහසු දෙයක්. මිල පාලනයෙන් වෙන්නේත් සැබෑ උද්ධමනය නොපෙනී යාම.

      Delete
  4. තැන්ක්ස් ඉකෝන්.
    සෑහෙන්න තේරුනා. තව වතාවක් කියෙව්වම තේරේයි.
    අර මහ බැන්කුවේ වියදමට සල්ලි අච්චු ගහනව කියන එකත් ඇහැව්වමයි.
    හැබැයි ඒ ඇයි කියන එකනම් තේරුණේ නෑ පැහැදිලිව.
    (මේ ලිපිය ඉල්ලපු ඇනෝ)

    ReplyDelete
    Replies
    1. මහ බැංකුව තමන්ගේ වියදමට කියා (ප්‍රසිද්ධියේ කියා) සල්ලි අච්චු ගහන්නේ නැහැ. ඒත් මහ බැංකුවේ වියදම් රජයේ වෙනත් වියදම් මෙන් ඒකාබද්ධ අරමුදලින් ප්‍රතිපාදනය කෙරෙන්නේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් වෙන්නේ මහ බැංකුව වියදමක් කරන හැම විටෙකම අළුතින් මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට එකතු වීමයි. මහ බැංකුව ආදායමක් උපයන විට මෙහි අනිත් පැත්ත වී මුදල් සැපයුම සංකෝචනය වෙනවා.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.