රෝගයකට බෙහෙත් සොයන්නට පෙර රෝග නිධාන හඳුනාගත යුතුය. රෝග නිධාන ගැන අවබෝධයක් ලබාගත හැක්කේ රෝග ඉතිහාසය හැදෑරීමෙනි. නිදහසින් පසු රාජ්‍ය ණය වැඩි වූ ආකාරය අපි පෙර කතා කළෙමු. අද ලිපියෙන් සාකච්ඡා කරන්නේ නිදහසින් පසු ආනයන අපනයන පරතරය හෙවත් වෙළඳ හිඟය වෙනස් වූ ආකාරයයි.
ඉංග්‍රීසීන් විසින් රට භාර දී යන විට රාජ්‍ය ණය කන්දක් හෝ රාජ්‍ය අයවැය පරතරයක් නොතිබුණා සේම, වෙළඳ හිඟයක්ද නොතිබුණේය. ඇත්තටම තිබුණේ සැලකිය යුතු අතිරික්තයකි. එවකට රටේ අපනයන ආදායම ආනයන වියදමට වඩා වැඩි වූ අතර වසරකට ආසන්න කාලයක ආනයන සඳහා ප්‍රමාණවත් වන තරමේ විදෙස් සංචිත තොගයක් ලංකාව සතු විය. පහත රූප සටහනෙන් පෙනෙන්නේ 1956-1980 කාලය තුළ මේ යහපත් ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් පිරිහුණු ආකාරයයි.
යුරෝපීයයන් විසින් යටත් කරගන්නා විට ලංකාවේ ආර්ථිකය බොහෝ දුරට සංවෘත ආර්ථිකයක් විය. ඉංග්‍රීසීන් විසින් මේ සංවෘත ආර්ථිකය ලෝකයට විවෘත වූ, ආනයන-අපනයන මත පදනම් වූ ආර්ථිකයක් බවට පරිවර්තනය කළේය.
ජාත්‍යන්තර වෙළඳාම ඉතාම අවාසිදායක තත්ත්වයන් යටතේ වුවත් වෙළඳාමෙහි යෙදෙන සියළු පාර්ශ්වයන්ට වාසි ගෙනදේ. එහෙත්, රටක් සමස්තයක් ලෙස වාසි ලබද්දී ඒ රටේ ඇතැම් කණ්ඩායම් වලට අවාසි සිදු විය හැකිය. එමෙන්ම, මේ වාසි වෙළඳාමෙහි පාර්ශ්වකරුවන් අතර හැමවිටම සම ලෙස නොබෙදෙන්නට පුළුවන. එමෙන්ම, ආර්ථික නොවන වෙනත් අවාසි තිබිය හැකිය. කෙසේ වුවද, ආර්ථික වශයෙන්නම් හැම විටම සිදුවන්නේ වාසියකි. මේ ගැන වැඩිපුර හැදෑරීමට අවශ්‍යනම් පහත ලිපි කියවන්න.
ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...
ඔබ විසින් ඔබ සතු සම්පත් කිසියම් නිෂ්පාදන කාර්යයක් සඳහා යොදා ගන්නා විට එය කරන්නේ වඩාත්ම කාර්යක්ෂම අයුරිනි. අමරා දේවිය බත්, කැඳ සහ කැවුම් පිසින්නට සහල් වෙන් කළ අයුරිනි. ඔබේ වත්තේ දිය සීරාව ඇති කොටසේ කුඹුරක් අස්වද්දනු හෝ කන්කුන් සිටවනු මිස අන්නාසි සිටවන්නේ නැත. අන්නාසි සිටවන්නේ වත්තේ වියලි, උස් තැනකය.
ඉංග්‍රීසි අධිරාජ්‍යයට අයත් භුමි ප්‍රදේශ තුළ නිෂ්පාදන කාර්යයන් සිදුවුණේද ඉහතාකාරයෙනි. ලංකාවේ දේශගුණය යටතේ වැඩි නිෂ්පාදනයක් කළ හැකි තේ හා රබර් ඔවුහු මෙහි වැවූහ. ලංකාවට අවශ්‍ය වූ, වෙනත් රටවල වඩා අඩු වියදමකින් නිෂ්පාදනය කළ හැකි වූ, සහල් ආනයනය කෙරුණේය. වඩා ලාභ ශ්‍රමය ඉන්දියාවෙන් ගෙන එනු ලැබිණි. ඉංග්‍රීසීන්ගේ මේ ස්ථානගත කිරීම් වල පාරිසරික අවාසි හා දේශපාලනික නොගැලපීම් තිබෙන්නට පුළුවන. එහෙත්, මේ වෙනස්කම් නිසා රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය විශාල ලෙස වැඩි විය.
නිදහස ලැබූ ලංකාවට රටේ නිෂ්පාදන තරඟකාරී එහෙත් ඉතා ලාභදායී මිලකට ජාත්‍යන්තර වෙළඳපොළෙහි අළෙවි කළ හැකි විය. ඒ, එවකට ලංකාවේ නිපදවා අපනයනය කළ තේ හා රබර් වැනි නිෂ්පාදන හා අදාළව ලංකාවට පරිපූර්ණ වාසිදායක තත්ත්වයක් පැවති බැවිනි. එවැනි වාසියක් නොතිබුණු සහල් වැනි දේ රටේ නිපදවීමට යන වියදමට වඩා අඩුවෙන් ආනයනය කළ හැකි විය. ඒ නිසා, අපනයන ආදායම ආනයන වියදම පියවා ගැනීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් විය.
කෙසේ වුවද, නිදහසින් පසු, විශේෂයෙන්ම 1956න් පසු ලංකාව ආරක්ෂණවාදී ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා යොමු විය. විදෙස් අයිතිය තිබූ සමාගම් ජනසතු කිරීමේ ලේබලය යටතේ රජය සතු කෙරුණේය. රටට පරිපූර්ණ වාසියක් හෝ තුලනාත්මක වාසියක් නැති නිෂ්පාදනද ඇතුළුව රටේ අවශ්‍යතා රට තුළින්ම සපුරාගැනීම ඉලක්ක කරගත් ක්‍රමවේදයක් වෙත ආර්ථික ප්‍රත්පත්තිය විතැන් විය.
ලංකාවට තුලනාත්මක වාසියක් නොමැති භාණ්ඩයක් රට තුළ නිපදවන විට එහි පිරිවැය එම භාණ්ඩයේ ආනයනික මිලට වඩා වැඩිය. ඒ නිසා, දේශීය නිෂ්පාදන වලට ආනයනික නිෂ්පාදන සමඟ තරඟ කළ නොහැකිය. ඒ නිසා, එවැනි දේශීය කර්මාන්ත රැක ගැනීමට කෘතීම ලෙස ආනයන සීමා කිරීමට සිදුවේ. කෙසේ වුවද, අවසාන වශයෙන් සිදුවන්නේ රටේ පාරිභෝගිකයින්ට ආනයනික නිෂ්පාදනයකට වඩා තත්ත්වයෙන් අඩු භාණ්ඩයකට වැඩි මිලක් ගෙවන්නට සිදුවීමයි. ආනයන සෘජුව සීමා නොකෙරෙන්නේනම්, ආනයන බදු හරහා හෝ දේශීය නිෂ්පාදන සඳහා මහජන මුදලින් ලබා දෙන සහනාධාර හරහා වක්‍රව සීමා කරන්නට සිදුවේ. ඒ අතරම, තරඟකාරී මිලකට අපනයනය කළ හැකි, තුලනාත්මක වාසියක් ඇති කර්මාන්ත කෙරෙන් සම්පත් විතැන් වීම නිසා රටට ලැබෙන අපනයන ආදායම ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනී. එහෙත්, ඇතැම් භාණ්ඩ කෙසේවත් රට තුළ නිපදවා ගැනීමේ හැකියාවක් නොමැති බැවින් එවැනි භාණ්ඩ, උදාහරණයක් වශයෙන් ඉන්ධන, ආනයනය කිරීම සඳහා විදේශ විණිමය උපයාගන්නට වෙන්නේ අපනයන මඟිනි. 1956 පමණ සිට මෙසේ ක්‍රමයෙන් අපනයන ආදායම දුර්වල වීම නිසා වෙළඳ හිඟය වැඩි වූ අයුරු ඉහත රූප සටහනෙන් පෙනේ.
මේ අයුරින් වෙළඳ හිඟය ක්‍රමයෙන් වර්ධනය වී, සමඟි පෙරමුණු යුගයේදී එය ගොඩ එන්නට නොහැකි ගෙවුම් ශේෂ අර්බුදයක් බවට පත් විය. මේ අර්බුදය හමුවේ රජයේ ප්‍රතිචාරය වූයේ දැඩි ලෙස ආනයන සීමා කිරීමයි. එසේ ආනයන සීමා කිරීමෙන් 1977දී වෙළඳ හිඟය අතිරික්තයක් බවට පත් කරගත හැකි වුවත්, ඒ වෙනුවෙන් රටේ ජනතාවට මෙන්ම රජයටද ගෙවන්නට සිදුවූ මිල අමුතුවෙන් මතක් කළ යුතු නැතැයි සිතමි.
සමඟි පෙරමුණු රජය බිඳ වැටී ජයවර්ධන පාලනය ඇරඹුනේය. ජේ ආර් ජයවර්ධන විසින් හඳුන්වාදුන් ආර්ථිකය ධනවාදී ආර්ථිකයක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරති. එහෙත්, ඒ ධනවාදය කුමක්දැයි නොදන්නා අයයි. සමඟි පෙරමුණු යුගයේ හා ඊටත් පෙර හඳුන්වා දී තිබුණු සීමාවන් ඉවත් කර ආර්ථිකය පැවති තත්ත්වයට වඩා නිදහස් කළත් ජයවර්ධන රජයද විශාල මධ්‍යගත පාලනයක් තවදුරටත් නඩත්තු කළේය. රාජ්‍ය ආයෝජන වලට විශාල බරක් තැබුණු මධ්‍යගත සැලසුම් බොහොමයක් තවදුරටත් එසේම ක්‍රියාත්මක විය. කෙසේ වුවද, ආනයන සඳහා පැවති සීමාවන් බොහෝ දුරට ඉවත් විය.
ජේ ආර් ජයවර්ධන විසින් තරඟකාරී වෙළඳපොළකට එක් වරම නිරාවරණය කළ දේශීය නිෂ්පාදකයා ලංකාව නිදහස ලබන විට සිටියාක් වැනි තරඟකාරී නිෂ්පාදකයෙකු නොවේ. අඩු වශයෙන් දශක දෙකක පමණ කාලයක් ආරක්ෂණවාදී බුර්කාවේ සැඟවී සිටි ඇගේ සියුමැලි සම ඉර එළියට ඔරොත්තු දුන්නේ නැත. දෙනෝදාහක් බලා සිටිද්දී බුර්කාව ගලවා වේදිකාවට තල්ලු කෙරුණු මේ ගෑනු ළමයාට සබකෝලය මැඬගෙන රඟපෑමට ධෛර්යය උපදවා ගැනීම විශාල අභියෝගයක් විය. එහෙත්, ඔබ පීනන්නට දැන නොසිටියත්, වතුරට ඇද දමනු ලැබූ විට කෙසේ හෝ පීනිය යුතුය. නැත්නම් දියේ ගිලී මිය යා යුතුය!
ජේ ආර් ජයවර්ධන විසින් කළේ කළ යුතුව තිබුණු, නිවැරදි දෙයයි. නළු නිලියන් පෙර පුහුණුවීම් අවසන් කර, හැඩ වැඩ වී වේදිකාවට පැමිණෙන තුරු තිරය විවෘත කරගෙන බලා සිටියානම් එය මේ සම්මජාතියේ සිදු නොවන්නට ඉඩ තිබුණි. බුර්කාව ගලවා ඉර එළියට නිරාවරණය කළ ගැහැණු දරුවාට එක් වරම ඉර එළිය දරා ගැනීම අපහසු වුවද, මෙසේ ක්ෂණිකව නිරාවරණය කළ විට ඉතා ඉක්මණින් අළුත් තත්ත්වයට හැඩ ගැසී තරඟකාරීත්වය නැවත ගොඩ නංවා ගැනීමට හැකි වේ. සමඟි පෙරමුණු යුගයේ භාණ්ඩ හිඟයෙන් හෙම්බත් වී සිටි සමාජය මෙවැනි ක්ෂණික විපර්යාසයකට ලක් කිරීමට ජයවර්ධන රජය විසින් ලබාගෙන තිබුණු විශාල පාර්ලිමේන්තු නියෝජනය උදවු විය. රජයේ ජනප්‍රියත්වය ගිලිහෙන්නට පෙර, ක්ෂණිකව ජේ ආර් ජයවර්ධන විසින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේය. ඒ සඳහා ඔහුට පූර්ව සැලසුමක් විය. ඒ නිසා හිත හිතා ඉන්නට මෙන්ම කාගෙන්වත් අහ අහා ඉන්නටද ඔහුට අවශ්‍ය නොවීය. (කෙසේ වුවද, පසුකාලීනව සිය ජනප්‍රියත්වය ගිලිහීමෙන් පසුවද මේ අයුරින්ම තමන්ට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වග විභාගයකින් තොරව ගෙන එන්නට ගොස් ජයවර්ධන රජය ඇණ ගත්තේය.)
අපිට වැඩිපුර විදේශ විනිමය ගේන්නේ මැදපෙරදිග වැඩ කරන ගෘහ සේවිකාවන් සහ කාර්මික රැකියාවල් කරන අයනේ, ඒ වගේම අපි ලොකු වියදමක් දරලා බිහි කරන බහුතරයක් ප්‍රොෆසෙනල්ස්ලා සංවර්ධිත රටවල බින්න බහින්නම යන නිසා අපි යුනිවර්සිටි වලට කරන වියදම ටිකක් විතර අඩු කරලා වැඩිම මුදලක් රටට වැඩිපුර මුදල් ආපසු එවන ටෙක්නිකල් ජොබ් වලට පුහුණු කරන ආයතන හදන්න දැම්මොත්?
ReplyDeleteමට හිතෙන්නේ අපි පිටරටින් ගේන බාස්මතී වගේ හොඳ හාල් වලට ටැක්ස් ගහන එක නවත්තන්න ඕන, එතකොට සතියට දවසක් වත් බාස්මතී කන ගොවියන්ට දැනට වඩා යමක් පැහැදිලි කරලා දෙන්න අපිට පුළුවන් වේවි.
බාස්මතී 'හොඳ හාල්' වෙලා තියෙන්නෙම බදු මඟින් කෘතීම ලෙස මිල ඉහළින් තබා තියෙන නිසයි. මා ජීවත් වූ රටවල් දෙකකදීම වැඩිපුරම කන්න වුනේ බාස්මතී. ඒ මිල අඩුම බාස්මතී නිසා. දැන්නම් දෙගුණයක් වැඩියෙන් ගෙවා රතු කැකුළු කනවා.
Deleteඔබ උඩින් ඇති කරුණ පෙර පෝස්ට් එකට ප්‍රතිචාරයක් ලෙස මය්යාත් යෝජනා කර තිබුණා. මෙවැනි දේ කෙටිකාලීනව හා මැදිකාලීනව කළ හැකියි. ඒත් දිගුකාලීන උපාය මාර්ගයක් ලෙස ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මත යැපෙන්න ගියොත් එයින් අමාරුවේ වැටෙන්න පුළුවන්. කළ යුත්තේ ජාතික ආර්ථිකය ගොඩනැංවීමයි. එහෙත් එය කළ යුත්තේ ලෝකයට විවෘතවී තරඟකාරිත්වය වර්ධනය කරගනිමින් මිස ආරක්ෂණවාදී වෙමින් නෙමෙයි. ආරක්ෂණවාදී වීම මඟින් අවසාන වශයෙන් වෙන්නේ දේශීය නිෂ්පාදන වල තරඟකාරිත්වය නැතිවී ආර්ථික වර්ධනය ඇනහිටීම පමණයි.
මේ යකා මේ කියන්නෙ මොකක්ද ප්‍රාග්දන ගිනුමක් ඕපන් කලා කියල
ReplyDeletehttps://youtu.be/8s2_YdEp-9A