Friday, December 8, 2017

පොල් හා ඩොලර්


ඊයේ ලංකාවට කතා කළ විට අපේ ගෙදර අය මැසිවිලි නැඟුවේ පොල් ගෙඩිය රුපියල් 120ට ගොස් ඇති බව කියමිනි. අපේ ගෙදර වත්තේ පොල් ගස් සෑහෙන ගණනක් තිබුණත්, පොල් පරිභෝජනයද සැලකිය යුතු ඉහළ මට්ටමක තිබෙන නිසා හමස් වලු කාලයට ඇතැම් විට කඩෙන් පොල් මිල දී ගන්නට සිදුවේ. මෙය වැඩිපුරම සිදුවන්නේ කිසියම් කාලගුණික හේතුවක් නිසා පොල් පලදාව පහළ යන අවුරුදු වලදීය. සාමාන්‍යයෙන් ලංකාවේ පොල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යන්නේද අපේ ගෙදර අයට පොල් කඩෙන් මිල දී ගන්නට අවශ්‍ය වන දවස් වලටමය.

ඉහත සිදු වීම අහම්බයක් නොවේ. ලංකාවේ බොහෝ ගෙවල් වල, නාගරික ගෙවල් වල පවා, අඩු ගානේ පොල් ගහක් හෝ තිබේ. ගෙවල් සෑහෙන ගණනක නිවසේ පරිභෝජනයට ප්‍රමාණවත් පොල් නිෂ්පාදනයක් සාමාන්‍යයෙන් සිදුවන නිසා ඒ ගෙවල් වල අයට සාමාන්‍යයෙන් කඩෙන් පොල් මිල දී ගන්නට අවශ්‍ය වන්නේ නැත. එහෙත්, කිසියම් හේතුවක් නිසා පොල් පලදාව පහළ යන අවස්ථා වලදී මෙවැනි නිවෙස් බොහොමයක පදිංචිකරුවන්ට තමන්ගේ පොල් පරිභෝජන අවශ්‍යතාවයෙන් කොටසක් මිල දී ගන්නට සිදු වේ. 

රටේ බොහෝ දෙනෙක් මෙසේ කරන විට ලංකාවේ වෙළඳපොළේ සමස්ත පොල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යයි. මේ ඉල්ලුම සපුරාලන්නට වෙන්නේ මහා පරිමාණ පොල් නිෂ්පාදකයන්ටය. මහා පරිමාණ කියා කිවුවත් ලංකාවේ ලොකුම පොල් වතු පවා ඒ තරම්ම ලොකු නැත.

කාලගුණය නිසා පොල් පලදාව පහත වැටීම මහා පරිමාණ පොල් නිෂ්පාදකයින්ටද බලපායි. ඒ නිසා, ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළේ පොල් ඉල්ලුම ඉහළ යාමත්, පොල් සැපයුම පහත යාමත් බොහෝ විට සිදුවන්නේ එකවරය. මෙහි ප්‍රතිඵලය වන්නේ වෙළඳපොළේ පොල් මිල ඉල්ලුම් හා සැපයුම් සාධක දෙකම මත විශාල ලෙස ඉහළ යාමයි.

මෙය තරමක් දුරට සුවිශේෂී තත්ත්වයකි. සාමාන්‍යයෙන් පරිභෝජනය පහළ යන විට භාණ්ඩයක් සඳහා වන සමස්ත ඉල්ලුම පහළ යයි. එහෙත්, පොල් සැලකූ විට මිල ඉහළ යාම හා ගෙදර වත්තේ පොල් පලදාව අඩුවීම නිසා ගෘහස්ථ පොල් පරිභෝජනය අඩු වෙද්දී පවා, වෙළඳපොළට විශාල පාරිභෝගික පිරිසක් අලුතින් එකතු වීම හේතුවෙන් සමස්ත වෙළඳපොළ ඉල්ලුම ඉහළ යා හැකිය. මේ අයුරින්ම, පොල් පලදාව ඉහළ යන කාල වලදී බොහෝ නිවැසියන්ට කඩෙන් පොල් මිල දී ගන්නට අවශ්‍ය නොවන නිසා සමස්ත වෙළඳපොළ ඉල්ලුම විශාල ලෙස පහත වැටේ. එහෙත්, එයින් අදහස් වන්නේ රටේ නිවාස ඒකක වල පොල් පරිභෝජනය පහළ ගොස් ඇති බව නොවේ. 



පසුගිය දවස් වල ඇතැම් අය පොල් මිල හා ඇමරිකන් ඩොලරයක මිල සමාන වී ඇති බව පවසමින් වත්පොතේ ප්‍රතිචාර දක්වා තිබෙනු දකින්නට හැකි විය. පොල් හා ඇමරිකන් ඩොලර් යනු මීකිරි හා තක්කාලි සෝස් වැනි එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු දෙකකි. එසේනම්, මෙවැනි සැසඳීමක අරමුණ කුමක්ද?

ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ මේ වන විට තනිකරම වාගේ දේශීය වෙළඳපොළකි. ලංකාවේ ප්‍රධාන අපනයන තේ, රබර් හා පොල් බව අප ඉගෙනගෙන මේ වන විට දශක ගණනාවක් අවසන්ව ඇති අතර පොල් තවදුරටත් ලංකාවේ ප්‍රධානම අපනයන භෝගයක් නොවේ. ලංකාවේ පොල් නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම යොදාගැනෙන්නේ ලංකාව තුළ කෙරෙන පරිභෝජනය සඳහාය. එමෙන්ම, ලංකාවට පොල් ආනයනය කිරීමක් සිදුවන්නේද නැති තරම්ය. ස්ථිරවම නොදන්නා නමුත් වෘක්ෂලතා ආරක්ෂණ පණත (1999 අංක 35) අනුව ලංකාවට පොල් ආනයනය කිරීමට නීතිමය බාධාවන්ද පවතින බව මගේ අදහසයි. සරල ලෙස කියනවානම් ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ බොහෝදුරට සංවෘත වෙළඳපොළකි. පොල් මිල කලින් කලට විශාල ලෙස උච්චාවචනය වීමට හේතු වන්නේ වෙළඳපොළේ මේ සංවෘත ස්වභාවයයි.

කෙසේවුවත්, ලංකාවේ සිල්ලර පොල් වෙළඳපොළ සංවෘත වෙළඳපොළක් වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමට ඇති කෘතීම බාධාවන් නොවේ. එය ස්වභාවික, වඩාත් පැහැදිලිව කියනවානම් සංස්කෘතික හා පාරිසරික, හේතු මත සිදු වී ඇති දෙයකි. ලංකාවේ පාරිභෝගිකයන්ගේ ආහාර රුචිකත්වයේ ඇති සුවිශේෂිතාවයන් නිසා ලංකාවේ සිල්ලර සහල් වෙළඳපොළෙහිද මීට ආසන්න තත්ත්වයක් දැකිය හැකිය.

ලංකාවේ කිසිවෙකුත් රුපියල් මිස ඇමරිකන් ඩොලර් ගෙවා පොල් මිල දී ගන්නේ නැත. පොල් ආනයනය කිරීමක් සිදු නොවන නිසා මෙය වක්‍ර ආකාරයකින් සිදුවන්නේද නැත. එසේනම්, පොල් මිල හා ඇමරිකන් ඩොලරයක මිල සැසඳීමේ අරමුණ කුමක්ද?

ඇමරිකන් ඩොලර් කියන්නේ (ඇමරිකාවේදී කෙසේවුවත්) ලංකාවේදී වටිනාකමේ සංකේතයකි. ඇමරිකන් ඩොලරයක් මිලදී ගැනීමට ලාංකිකයෙකු විසින් ගෙවිය යුතු රුපියල් ගණන දිගින් දිගටම ඉහළ යයි. රුපියල අවප්‍රමාණය වීම ලෙස හැඳින්වෙන මෙයට හේතුව ශ්‍රී ලංකා රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම දිගින් දිගටම අඩු වීමයි.

ශ්‍රී ලංකා රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම මෙන්ම එහි අභ්‍යන්තර (දේශීය) වටිනාකමද දිගින් දිගටම අඩු වේ. මෙය හැඳින්වෙන්නේ උද්ධමනය යනුවෙනි. උද්ධමනය හේතුවෙන් කිසියම් භාණ්ඩයක් මිල දී ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු විසින් ගෙවිය යුතු රුපියල් ගණන "සාමාන්‍ය වශයෙන්" දිගින් දිගටම ඉහළ යයි. එහෙත්, මේ අයුරින් කිසියම් නිශ්චිත භාණ්ඩයක මිල උද්ධමනය නිසා ඉහළ යන අතරම, ඉල්ලුම් සැපයුම් සාධක මත එහි මිල උච්චාවචනය වීමද සිදුවන බැවින් උද්ධමනයේ බලපෑම කෙටිකාලීනව නොපෙනෙන්නටද පුළුවන.

පොල් ගෙඩියක් වැනි නිශ්චිත භාණ්ඩයක මිල උච්චාවචනය වීමට එකම හේතුව උද්ධමනය නොවේ. එහෙත්, කාලයත් සමඟ පොල් ගෙඩියක මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ඇත්නම් හා ඒ ප්‍රවණතාවය වෙනත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමට අනුරූපනම්, එයට හේතුව උද්ධමනයි. එසේත් නැත්නම්, රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම දිගින් දිගටම අඩුවීමයි.

ශ්‍රී ලංකා රුපියල වැනි කිසියම් දේශීය ව්‍යවහාර මුදලක බාහිර (විදේශීය) වටිනාකම හා එහි අභ්‍යන්තර (දේශීය) වටිනාකම වෙනස්වන්නේ එකිනෙකින් වියුක්තව නොවේ. රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම අඩුවීම දිගුකාලීනව එහි බාහිර (විදේශීය) වටිනාකම තුළද පිළිබිඹු විය යුතුය. එහෙත්, විවිධ හේතු නිසා කෙටිකාලීනව එය එසේ සිදු නොවන්නට පුළුවන.

රුපියලේ බාහිර (විදේශීය) වටිනාකම අඩුවීම නිසා ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීමට ගෙවිය යුතු රුපියල් ගණන දිනෙන් දිනම ඉහළ යයි. රුපියලේ අභ්‍යන්තර (දේශීය) වටිනාකම අඩුවීම නිසා පොල් ගෙඩියක් මිල දී ගැනීමට ගෙවිය යුතු රුපියල් ගණනත් දිනෙන් දිනම ඉහළ යයි. මේ දෙකම සමානුපාතික ලෙස සිදු වේනම් පොල් ගෙඩියක ඩොලර් මිල වෙනස් වන්නට හේතුවක් නැත.

යම් හෙයකින් පොල් ගෙඩියක ඩොලර් මිල විශාල ලෙස වෙනස් වී ඇති බව පෙනේනම් එයින් අදහස් වන්නේ එක්කෝ මෙය උද්ධමනයට සම්බන්ධයක් නැති තාවකාලික තත්ත්වයක් බවයි. එසේ නැත්නම්, පවතින විණිමය අනුපාතිකයේ කිසියම් වැරැද්දක් ඇති බවයි. එසේත් නැත්නම්, ලංකාවේ පොල් නිෂ්පාදන කර්මාන්තයේ කිසියම් ආකෘතිමය ප්‍රශ්නයක් ඇති බවයි.

මහා බැංකු දත්ත අනුව, අද (දෙසැම්බර් 08) වන විට ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීමට ගෙවිය යුතු සාමාන්‍ය මිල රුපියල් 155.07කි. ඇතැම් වාර්තා අනුව, ඇතැම් තැන්වල පොල් ගෙඩියක් රුපියල් 150ක් තරම් ඉහළ මිලකට විකිණේ. මෙය ඇමරිකන් ඩොලරයක මිලට ආසන්න අගයකි. කෙසේ වුවද, නිවැරදි සැසඳීමක් කිරීම සඳහා එකම තැනකින් සංසන්දනාත්මක දත්ත ලබාගත යුතුය. පොල් ගෙඩියක සිල්ලර මිල හා අදාළව එවැනි දත්ත ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකිය.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, නොවැම්බර් අවසාන සතියේදී එම දෙපාර්තමේන්තුව විසින් දත්ත එකතු කරන වෙළඳසැල් වල පොල් ගෙඩියක් විකිණුනු සිල්ලර මිලගණන් රුපියල් 65-110 අතර පරාසයේ තිබී ඇති අතර සාමාන්‍ය අගය රුපියල් 86.02කි. මෙය ඇමරිකන් ඩොලරයක රුපියල් මිලෙන් අඩකට වඩා මඳක් වැඩි, ඩොලරයක රුපියල් අගයට බොහෝ අඩු මිලක් වුවත් පසුගිය කාලයේ පොල් ගෙඩියක් විකිණුනු සිල්ලර මිලට වඩා බොහෝ වැඩි මිලකි.

පහත වගුවේ ඇත්තේ පසුගිය වසර 13ක පමණ කාලය තුළ මැයි හා නොවැම්බර් අවසාන සති වලදී සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වූ  සාමාන්‍ය සිල්ලර මිල හා අදාළ මාස අවසානයේදී ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු වූ සාමාන්‍ය මිලයි.



වගුවේ දත්ත පරීක්ෂා කළ විට පැහැදිලිව පෙනෙන්නේ පසුගිය වසර 13ක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරයක මිල ඉහළ යනවාට වඩා ඉතා විශාල අනුපාතිකයකින් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි. ඇමරිකන් ඩොලරයක මිල 55.6%කින් ඉහළ යද්දී, පොල් ගෙඩියක මිල 413.6%කින් ඉහළ ගොස් ඇත! 

වගුවේ දත්ත වලින් පෙනෙන පරිදි, 2007 මැයි මාසයට පෙර ලංකාවේදී ඇමරිකන් ඩොලරයක් මාරු කර පොල් ගෙඩි 6ක් ගන්නට පුළුවන්කම තිබුණත් දැන් එසේ ලැබෙන මුදල පොල් ගෙඩි දෙකක් ගන්නටවත් ප්‍රමාණවත් නැත. මේ අනුව පෙනෙන්නේ පොල් වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයද බාල්දු වී ඇති බවයි.

ශ්‍රී ලංකා රුපියල මෙන්ම ඇමරිකන් ඩොලරයද එන්න එන්නම බාල්දු වේ. ඒ ලංකාවේ මහ බැංකුව මෙන්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවද දිනපතාම වාගේ අලුත් මුදල් සංසරණයට එකතු කරන බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලරයේ දේශීය වටිනාකමද එන්න එන්නම අඩු වේ. එසේ තිබියදී, ශ්‍රී ලංකා රුපියල ඇමරිකන් ඩොලරය හමුවේ එන්න එන්නම බාල්දු වන්නේ ඇමරිකන් ඩොලරය බාල්දු වෙනවාට වඩා වැඩි වේගයකින් රුපියල බාල්දු වන බැවිනි.

අපගේ සංසන්දනය සඳහා යොදාගත් 2005 මැයි සිට 2017 නොවැම්බර් අතර කාලය තුළ ඇමරිකන් ඩොලරයක දේශීය අගය 21.11%කින් අඩු වී තිබේ. එසේ වෙද්දී රුපියලේ දේශීය අගය 60.04%කින් අඩු වී තිබේ. වෙනත් අයුරකින් කියනවානම්, 2005 මැයි මාසයේදී ඇමරිකන් ඩොලරයකින් මිල දී ගත් බඩු මිල දී ගන්නට දැන් ඇමරිකන් ඩොලර් 1.26ක් අවශ්‍ය වන අතර  2005 මැයි මාසයේදී රුපියලකින් මිල දී ගත් බඩු මිල දී ගන්නට දැන් රුපියල් 2.50ක් අවශ්‍ය වේ.

වගුව අනුව 2005 මැයි මාසයේදී පොල් ගෙඩියක මිල රුපියල් 16.75ක් වූ අතර නාමික විණිමය අනුපාතිකය අනුව එය ඇමරිකන් ඩොලර් 0.1676ක පමණ මිලකි. එක් එක් ව්‍යවහාර මුදලේ දේශීය අගය පිරිහීම සැලකූ විට 2017 නොවැම්බර් අවසානයේදී මේ මිල සමාන කළ හැක්කේ රුපියල් 41.92ක මිලකට හා ඇමරිකන් ඩොලර් 0.2124ක මිලකටය. මේ පදනම මත, 2017 නොවැම්බර් වන විට ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 197.32ක් විය යුතුය. එහෙත්, අදාළ කාලය තුළ රුපියලේ අභ්‍යන්තර අගය පිරිහීමට සාපේක්ෂව එහි බාහිර අගය පිරිහී නැති නිසා 2017 නොවැම්බර් අවසානයේදී රුපියල් 155.48ක් ගෙවා ඇමරිකන් ඩොලරයක් මිල දී ගත හැකිව තිබුණේය. මේ අනුව, අදාළ කාලය තුළ රුපියල පිරිහී ඇත්තේ ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන මට්ටමට වඩා 26.9%ක් අඩුවෙනි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද? 

ඇමරිකන් ඩොලරයක් ගෙවා 2005 මැයි මාසයේදී ලංකාවේ නිපදවන භාණ්ඩයක් මිල දී ගත් විදේශිකයෙකු දැන් එම භාණ්ඩයම මිලදී ගැනීම සඳහා ඩොලර් 1.27ක් ගෙවිය යුතුය. අනෙක් අතට, 2005 මැයි මාසයේදී රුපියල් 197.32ක් ගෙවා ආනයනික භාණ්ඩයක් මිලදී ගත් ලාංකිකයෙකුට දැන් එම භාණ්ඩයම රුපියල් 155.48ක් ගෙවා මිල දී ගත හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආනයන ඉහළ යාමත්, අපනයන පහළ යාමත්, අඩු මිලට විකිණෙන ආනයන හමුවේ දේශීය නිෂ්පාදන කර්මාන්ත බිඳ වැටීමත්, වෙළඳ ශේෂ හිඟය ඉහළ යාමත් තේරුම් ගැනීමට අපහසු නැත.

අප විසින් සලකා බැලූ කාලය තුළ පොල් ගෙඩියක රුපියල් මිල 413.6%කින්ද, ඩොලර් මිල 230.1%කින්ද ඉහළ ගොස් තිබේ. එහෙත්, රුපියලේ හා ඩොලරයේ දේශීය වටිනාකම් අඩුවීම සැලකූ විට පොල් මිල ඉහළ යා යුතුව තිබුණේ රුපියල් වලින්නම් 150%කින් හා ඩොලර් වලින්නම් 26%කින් පමණි. ඒ අනුව, රටේ අනෙකුත් භාණ්ඩ හා සේවාවන් වලට සාපේක්ෂවද පොල් මිල සැලකිය යුතු තරමින් ඉහළ ගොස් ඇති බව පැහැදිලිය. උද්ධමනයේ බලපෑම මත පොල් ගෙඩියක මිල රුපියල් 42 ඉක්මවන්නට හේතුවක් නැතත්, වෙළඳපොළේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල එමෙන් දෙගුණයකටත් අධිකය. මෙයට ප්‍රධාන හේතුව සැපයුමේ තාවකාලික පහත වැටීමක් බව පෙනෙන්නට ඇතත්, දත්ත පරීක්ෂා කළ විට පෙනෙන්නේ එය එකම හේතුව විය නොහැකි බවයි. 

සලකා බැලුණු පසුගිය කාලය තුළ ලංකාවේ පහළ ආදායම් ස්ථර වල ආදායම් සැලකිය යුතු තරමින් ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් පොල් සඳහා ඇති වෙළඳපොල ඉල්ලුමද ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතැයි සිතන්නට පුළුවන. එහෙත්, එසේ වැඩිවන ඉල්ලුමට සාපේක්ෂව දේශීය පොල් සැපයුම ඉහළ ගොස් තිබීමට හේතුවක් නොපෙනේ. මෙය ඉදිරි කාලයේදීද දකින්නට ලැබෙනු ඇතැයි සිතිය හැකි ප්‍රවණතාවයකි. ඒ නිසා, වෙනත් භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව පොල් මිල ක්‍රමයෙන් ඉහළ යන්නට ඇති ඉඩකඩ අපට තේරුම් ගත හැකිය. ඒ නිසා, වත්මන් ඉහළ මිල තාවකාලික සැපයුම් කම්පන තත්ත්වයක් වුවත්, එම තත්ත්වය සාමාන්‍ය අතට හැරුණු පසුවද පොල් ගෙඩියක මිල රුපියල් 42කට වඩා අඩු මට්ටමකට නොපැමිණෙන්නට ඉඩ තිබේ.

අනෙක් අතට, ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ හා පසුගිය කාලයේ යම් අඩුවීමක් දකින්නට ලැබුණත් තවමත් දිගින් දිගටම ලබා ගන්නා විදේශ ණය නිසා ඉදිරි කාලයේදීද විණිමය අනුපාතිකය ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගත හැකි තරමට පිරිහේයැයි සිතිය නොහැකිය. එහි ප්‍රතිඵලය වන්නේ පොල් ගෙඩියක ඩොලර් මිල ක්‍රමයෙන් ඉහළ යාමයි. මේ නිසා, මෙවර නැතත් සැපයුම් කම්පනයක් නිසා පොල් මිල ඉහළ යන ඊළඟ අවස්ථාවේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල ඇමරිකන් ඩොලරයක මිල ඉක්මවන්නට ඉඩ තිබේ.

5 comments:

  1. මේක හමස් කාලේ නිසා ජනවාරි මැද හරිය වෙන කොට පොල් ගෙඩි දෙකක් ඩොලර් එකකින් ගන්න පුලුවන් වේවි.
    ඉකෝ හවායි වල ඇති තරං පොල් තියෙනවා නේද?

    ReplyDelete
  2. රුපියල කෘතිමව පාලනය කිරීම ඩොලර්/පොල්/රුපියල් වෙනසට බලපාන විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද? ස්තුතියි.

    ReplyDelete
  3. //ශ්‍රී ලංකා රුපියල වැනි කිසියම් දේශීය ව්‍යවහාර මුදලක බාහිර (විදේශීය) වටිනාකම හා එහි අභ්‍යන්තර (දේශීය) වටිනාකම වෙනස්වන්නේ එකිනෙකින් වියුක්තව නොවේ. //

    මේක යෙන් වලට අදාළ නැද්ද ? සාමාන්‍යයෙන් යෙන් විදේශීයව බාල්දු වුනත් ඉහල ගියත් අභ්‍යන්තර වටිනාකම ලොකුවට දැනෙන්න තරම් වෙනසක් වෙන්නේ නෑ, ඛනිජ තෙල් වැනි මිල සුත්‍ර ක්‍රියාත්මක වෙන දේවල මිල ඇරෙන්න. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද එහෙම වෙන්නේ ඇයිද කියල ?

    ReplyDelete
  4. ඇත්තටම ලංකාවේ පොල් හිඟ බව මා දෙසැම්බරයේ දී අත් දුටුවා. ඒ පැත්තේ හැටියට පොල් ගස් රාශියක් ඇති ඉඩම් කැබැල්ලක ඇති නිවසක ජීවත් වෙන මගේ අම්මාටත් තාත්තාගේ හත් අවුරුද්දේ දානය සඳහා කඩෙන් පොල් මිළට ගන්න වුනා.
    අම්මා නිවසේ ඉවීම වසර කිහිපයකට පෙර නතර කළ නිසා වත්තේ පොල් විකුනන්නේ අසල්වැසි ගැනුම්කරුවන්ටයි.

    අවාරයේ මෙවැනි බඩු මිල ඉහළ ගියාම මං නං ඒවා මිල දී ගැනීම අඩු කරනවා. පොල් කියන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවෙයි නේ!

    ReplyDelete
  5. මේ දවස්වල ලංකාවේ පොල් ගෙඩියක් 75/= සුපර් මාකට් වල. පොලේ ඊට අඩුවටත් පොඩිපොල් තියෙනවා. ලොකු ගෙඩියක් නම් 90ක් විතර වෙනවා.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.