Tuesday, May 10, 2016

වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද?



මා පසුගිය සටහනෙන් ශ්‍රී ලංකාවේ ආදායම් විෂමතාවය ගැන කතා කළේ ඉන් පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාරයක් දක්වමින් පාඨකයෙකු විසින් ආර්ථික වර්ධනය ඇඟට නොදැනෙන්නේ ඇයිදැයි කළ විමසීමට හේතු දැක්වීමක් වශයෙනි. ආදායම් විෂමතාවය ආර්ථික වර්ධනය ඇඟට නොදැනීමට එකම හේතුව නොවුණත් එයද එක් හේතුවකි. රටක දළ ජාතික ආදායම වැඩි වන්නේ සීමිත පිරිසකගේ ආදායම විශාල ලෙස වර්ධනය වීම නිසා පමණක්නම් අඩු ආදායම් ලබන ඉතිරි පිරිසට ආර්ථික වර්ධනය ඇඟට දැනෙන්නේ නැත. කෙසේවුවද, ලංකාවේ පවතින සැලකිය යුතු ආදායම් විෂමතාවය මධ්‍යයේ වුවද ලංකාවේ අඩු ආදායම් ලබන කොටස් වල ජීවන තත්ත්වයද යම් තරමකින් හෝ උසස් වී නැතැයි කිව නොහැකිය.

ඉහත ලිපියට ප්‍රතිචාරයක් ලෙස වැට් බද්ද වැඩි කිරීම ගැන අදහසක් පළ වී තිබේ. මෙය මා ලිපිය ලියද්දී සිත යොමු කළ මානයක් නොවූවත් එම ප්‍රතිචාරය ඔස්සේ සිතුවිලි මෙහෙයවන විට වැට් බද්ද වැඩි කිරීම ගැන කතා කරන්නට වැදගත් කරුණු රැසක් මතක් වේ. මේ කරුණු සාරාංශගත කළහොත් විමසන්නට ඇති ප්‍රධාන කරුණ වන්නේ වැට් වැඩි වීමේ ප්‍රතිඵලය කුමක් වෙයිද යන්නයි.


රජය විසින් කිසියම් බදු අනුපාතිකයක් ඉහළ දමන්නේ රජයේ බදු ආදායම ඉහළ නංවා ගැනීමට බව පැහැදිලි කරුණකි. එහෙත්, බදු අනුපාතික ඉහළ දැමීමෙන් හැම විටම රජයේ බදු ආදායම වැඩි කර ගත නොහැකිය. රජයක් විසින් අපේක්ෂා කරන ප්‍රතිඵලය නොවූවත් බදු වැඩි කිරීම නිසා රජයේ බදු ආදායම අඩු වී ඇති අවස්ථාද තිබේ.

කිසියම් භාණ්ඩයක් මත පනවන බද්දක් වැඩි කළ විට එම භාණ්ඩය නිසා ලැබෙන බදු ආදායමට සිදුවන්නේ කුමක්ද යන්න තීරණය වන්නේ අදාළ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය අනුවය. සරලව කියනවානම් භාණ්ඩයේ මිල 1%කින් වැඩි කළ විට ඒ සඳහා වන ඉල්ලුම අඩුවන්නේ කවර ප්‍රතිශතයකින්ද යන්න මතය.

උදාහරණයක් ලෙස අපි රුපියල් 600ක මිලකට විකිණෙන මත්පැන් බෝතලයක් ගැන සිතමු. මේ රුපියල් 600න් රුපියල් 500ක්ම වෙන්වන්නේ වක්‍ර බදු වෙනුවෙනි (උදාහරණයක් පමණි. එහෙත් සැබෑ තත්ත්වයේද වැඩි වෙනසක් නැත.) ඉතිරි රුපියල් 100 නිෂ්පාදකයාගේ ආදායමයි. එයින් නිෂ්පාදන වියදම අඩු කළ විට ඉතිරිය නිෂ්පාදකයාගේ ලාභයයි. මෙය රුපියල් 20යැයි සිතමු.

රුපියල් 600ක් ගෙවා මත්පැන් බෝතලයක් මිල දී ගන්නා සෑම
පාරිභෝගිකයෙක්ම එහි වටිනාකම රුපියල් 600කට වඩා වැඩියයි සිතන අයෙකි. එසේ නැත්නම් මේ මිල දී ගැනීම නොකර ඉන්නට ඔහුට හෝ ඇයට බාධාවක් නැත. මෙවැනි පාරිභෝගිකයින් මිලියනයක් රටේ සිටීනම් රජයට මත්පැන් වලින් වක්‍ර බදු ලෙස රුපියල් මිලියන 500ක් ලැබේ. නිෂ්පාදකයාට මිලියන 20ක ලාභයක් ලැබෙන අතර එයින් කොටසක්ද ආදායම් බදු ලෙස රජයට හිමි වේ.

දැන් රජය මත්පැන් බෝතලයක් සඳහා වන බද්ද රුපියල් 100කින් වැඩි කළහොත් රජයේ ආදායමෙහි කොපමණ වෙනසක් වෙයිද?


මෙය තීරණය වන්නේ රටේ පාරිභෝගිකයින්  හා මත්පැන් නිෂ්පාදකයින් මේ බදු වැඩි වීමට දක්වන ප්‍රතිචාරය මතය. නිෂ්පාදකයා මේ බද්ද මුළුමනින්ම පාරිභෝගිකයින් මත පැටවූවේයැයි සිතමු. දැන් මත්පැන් බෝතලයක මිල රුපියල් 700කි. පෙර මිලට මත්පැන් මිල දී ගත් පාරිභෝගිකයින් මිලියනයම වැඩි වූ මිල යටතේ තවදුරටත් නීත්‍යානුකූල මත්පැන් වෙළඳපොළ තුළ රැඳී සිටීනම් නිෂ්පාදකයාගේ ලාභයේ වෙනසක් නොවේ. එහෙත්, රජයේ බදු ආදායම මිලියන 100කින් වැඩි වේ.

රජයට ලැබෙන මේ වාසිය ලැබෙන්නේ කොහෙන්ද? මේ අවස්ථාවේදීනම් එය තනිකරම ලැබුණේ
පාරිභෝගිකයින්ගෙනි. රජයට ලැබුණු රුපියල් මිලියන 100යේ වාසිය පාරිභෝගිකයින්ට සිදු වූ අවාසියකි. තාක්ෂණික වචනයක් යොදාගතහොත් පාරිභෝගික අතිරික්තයේ සිදු වන අඩුවීමකි.

එසේනම්, මේ පාරිභෝගික අතිරික්තය යනු කුමක්ද?


ඕනෑම පුද්ගලයෙකු භාණ්ඩයකට ගෙවීමට කැමති උපරිම මිලක් තිබේ. තුෂාර මත්පැන් බෝතලයකට ගෙවන්නට සූදානම් උපරිම මිල රුපියල් 1000ක් නම් රුපියල් 600ක් ගෙවා එය මිලදී ගන්නා විට ඔහුට රුපියල් 400ක පාරිභෝගික අතිරික්තයක් ඉතිරි වේ. මෙය තුෂාරගේ ලාභයකි. මත්පැන් බෝතලයක මිල රුපියල් 700ක් දක්වා ඉහළ ගිය විට ඔහුගේ පාරිභෝගික අතිරික්තය රුපියල් 300 දක්වා අඩුවේ. ඉහත අවස්ථාවේදී රජයේ බදු ආදායම රුපියල් මිලියන 100කින් වැඩි වෙද්දී මත්පැන් පාරිභෝගිකයින්ගේ සමස්ත පාරිභෝගික අතිරික්තය රුපියල් මිලියන 100කින් අඩු වී තිබේ.

කෙසේවුවද, සෑම පරිභෝගිකයෙකුම මත්පැන් බෝතලයක් සඳහා ගෙවීමට සූදානම් උපරිම මිල සමාන නැත. ක්‍රිෂ්ණරාජාගේ මේ මිල රුපියල් 650ක් යැයි සිතමු. මත්පැන් බෝතලයක මිල රුපියල් 600ක්ව තිබියදී ඔහුට රුපියල් 50ක පාරිභෝගික අතිරික්තයක් ලැබුණේය. එහෙත්, දැන් මිල අනුව ඔහුට එවැනි අතිරික්තයක් ලබාගත නොහැකිය. ක්‍රිෂ්ණරාජා ගෙවන්නට කැමති උපරිම මිලට වඩා රුපියල් 50ක් ගෙවා මත්පැන් බෝතලයක් මිලදී ගතහොත් ඔහුට සිදුවන්නේ පාඩුවකි.

මෙය තුෂාරට මෙන් ලැබෙන වාසියේ අඩුවීමක් නොවේ. සෘජුවම පාඩුවකි. ඒ නිසා අළුත් මිලට ක්‍රිෂ්ණරාජා මත්පැන් මිලදී නොගනී. ඔහු මත්පැන් පානයෙන් වැලකීමට හෝ නීත්‍යානුකූල නොවන මත්පැන් පරිභෝජනය ඇරඹීමට තීරණය කරනු ඇත.


බදු වැඩිවීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා භාණ්ඩයක මිල වැඩිවන සෑම විටෙකම එම භාණ්ඩයේ අලෙවිය යම් පමණෙකින් අඩුවේ. පෙර උදාහරණයේ ක්‍රිෂ්ණරාජා වැනි අය තවත් බොහෝ දෙනෙක් රටේ සිටින නිසා මිල රුපියල් 700ක් වූ විට මත්පැන් අලෙවිය පෙර පැවති මිලියනය මට්ටමේම තවදුරටත් නොපවතී.

මිල වැඩි වීමෙන් අනතුරුව මත්පැන් ඉල්ලුම 10%කින් අඩු වූයේයැයි සිතමු. මේ අනුව, දැන් විකිණෙන්නේ මත්පැන් බෝතල් 900,000ක් පමණි. ඒ අනුව, රජයට ලැබෙන බදු ආදායම මිලියන 540කි. මෙහිදී, බදු අනුපාතිකය 20%කින් ඉහළ නැංවුවද, බදු ආදායම වැඩිවී ඇත්තේ මිලියන 40කින් හෙවත් 8%කින් පමණි. මේ අතර, නිෂ්පාදකයාගේ ලාභයද, ඒ නිසාම ඒ මත අයකෙරෙන ආදායම් බදු මුදලද 10%කින් අඩුවී තිබේ.


යම් හෙයකින්, මිල වැඩි වීමෙන් අනතුරුව මත්පැන් ඉල්ලුම 20%කින් අඩු වුවහොත් සිදුවන්නේ කුමක්ද? එවිට, විකිණෙන්නේ මත්පැන් බෝතල් 800,000ක් පමණි. ඒ අනුව, රජයට ලැබෙන බදු ආදායම මිලියන 480කි. මෙහිදී, බදු අනුපාතිකය 20%කින් ඉහළ නැංවුවද, බදු ආදායම මිලියන 20කින් හෙවත් 4%කින් අඩු වී තිබේ. මේ අතර, නිෂ්පාදකයාගේ ලාභයද, ඒ නිසාම ඒ මත අයකෙරෙන ආදායම් බදු මුදලද 20%කින් අඩුවී තිබේ. අවසාන වශයෙන් බදු වැඩි කිරීම නිසා රජයේ බදු ආදායම අඩු වී තිබේ.

බදු අනුපාතික වෙනස් කිරීම සැලකිල්ලෙන් කළ යුතු දෙයකි. කෙටි කාලයක් තුළ විශාල ලෙස බදු අනුපාතික ඉහළ නැංවූ විට රජයේ බදු ආදායම අඩු වීමේ අවදානමක්ද තිබේ. එමෙන්ම, ඇතැම් තත්ත්වයන් යටතේ බදු අනුපාතික අඩු කිරීමෙන්ද රජයේ බදු ආදායම වැඩි කර ගත හැකිය. එසේ වන්නේ, බදු අනුපාතිකය අඩු කළ විට බදු පදනම පුළුල් වන අවස්ථා වලදීය.


කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අයකෙරෙන බදු අනුපාතිකය ඉහළ නැංවූ විට අපේක්ෂිත ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වන්නේ එම භාණ්ඩයේ හෝ සේවාවේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය මතය. හාල්, පොල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල ප්‍රත්‍යස්ථතාවය ඉතා අඩුය. සරලව කියනවානම්, මේ භාණ්ඩ වල මිල වෙනස් වන තරමට ඉල්ලුම වෙනස් නොවේ. අත්‍යවශ්‍ය නොවන, "වැඩිපුර සල්ලි තියෙන විට කරන" දේවල ප්‍රත්‍යස්ථතාවය වැඩිය. ඒ නිසා, බදු අනුපාතිකය වැඩි කිරීමෙන් රජයට ලැබෙන ආදායම වැඩිපුරම ඉහළ නංවා ගත හැක්කේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන බදු අනුපාතික ඉහළ නැංවීමෙනි. කටුක වුවත් මෙය යථාර්තයයි.

කෙසේ වුවද, ඉහත උදාහරණ වලදී මා සැලකුවේ බදු බර මුළුමනින්ම පාරිභෝගිකයා වෙත පටවන අවස්ථාවක් පමණි. එය හැම විටම එසේ නොවේ. බොහෝ අවස්ථා වලදී නිෂ්පාදකයින් විසින් වැඩි වූ බද්දක අවාසිය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයින් මත නොපටවයි. ඒ ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙත ඇති අනුකම්පාවක් නිසා නොවේ. ඔවුන්ගේ ලාභය උපරිමයක් වන්නේ එසේ කිරීමෙන් බැවිනි.

අළුත් බදු සංශෝධන නිසා ජංගම දුරකථන ගාස්තු වැඩි වනු ඇත. කොපමණ ප්‍රතිශතයකින්ද?

සරල ගණනය කිරීමක් කළහොත් පෙනෙන්නේ පෙර නොපැවති 15%ක වැට් බද්දක් එකතුවීම නිසා දුරකථන ගාස්තුවද 15%කින් වැඩි වනු ඇති බවයි. එහෙත්, එය එසේම විය යුතු නැත.

දැනට ජංගම දුරකථන ඇමතුම් සඳහා මසකට රුපියල් 600ක් වැය කරන චන්දිමාට රුපියල් 1.50 බැගින් මිනිත්තු 400ක ඇමතුම් කාලයක් ලැබේයැයි සිතමු. දුරකතන සමාගම විසින් 15%ක වැට් බද්ද පාරිභෝගිකයින් මත පැටවුවහොත් චන්දිමාට මිනිත්තු 400ක් පෙර සේ නිදහසේ මල් කැඩීමට වැඩිපුර රුපියල් 90ක් වැය වනු ඇත. ඇගේ ආදායම වැඩි වී නැති නිසා මේ රුපියල් 90 ඉතිරි කර ගැනීමට ඇයට ඇගේ වෙනත් අවශ්‍යතා වලින් යම් කිසිවක් සීමා කිරීමට සිදුවේ. 


එහෙත්, වැට් වැඩිවීම අනෙක් භාණ්ඩ හා සේවාවන් බොහොමයක මිලටද බලපා ඇති නිසා මෙය කිරීම පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා, චන්දිමා ඇගේ මල් කැඩීමේ කාලය අඩු කර වියදම රුපියල් 600 මට්ටමේම තබා ගැනීමට හෝ ඇතැම් විට මිල වැඩි වූ අනෙකුත් භාණ්ඩ හා සේවාවන් පරිභෝජනය සීමා කිරීම වඩා අපහසුනම් දුරකථන ඇමතුම් වෙනුවෙන් වෙන්කරන මුදල අඩු කිරීමට ඉඩ තිබේ.

බොහොමයක් ජංගම දුරකථන පාරිභෝගිකයන් චන්දිමා මෙන් හැසිරී දුරකථන භාවිතය අඩු කළහොත් දුරකථන සේවා සපයන සමාගමේ ආදායම අඩුවේ. එහෙත්, දුරකථන සේවා සැපයීම විශාල ස්ථිර ප්‍රාග්ධනයක් අවශ්‍ය ආන්තික පිරිවැය ඉතා අඩු කර්මාන්තයක් බැවින් දුරකථන සමාගම් වල වියදම් අඩු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් කිසිවකු ඇමතුම් නොගත්තත් දුරකථන සමාගමේ වියදම් එසේම පවතී. ප්‍රවාහන සේවා වැනි වෙනත් ඇතැම්  සේවාවන්හි තත්ත්වයද මෙසේය. පොල් පැටෙව්වාක් මෙන් සෙනඟ සිටියත්, යාන්තම් මඟීන් දෙතුන් දෙනෙකු සිටියත් බස් රථයක් හෝ දුම්රියක් ධාවනය කරවීමේ පිරිවැයෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවේ.

මේ නිසා, ඉහත තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් දුරකථන සමාගම් විසින් ඇමතුම් විනාඩියකට අය කරන මිල පහත දැමීමට ඉඩ තිබේ. අවසාන වශයෙන් සිදුවනු ඇත්තේ වැඩි වූ බදු අනුපාතිකයේ මිල පාරිභෝගිකයින් සහ නිෂ්පාදකයින් අතර බෙදී යාමයි. මේ සමඟම, සමාගම් වල ලාභද සැලකිය යුතු ලෙස අඩුවන බැවින් රජයට ලැබෙන ආදායම් බදු වලද කිසියම් අඩුවක් සිදු වනු ඇත. එමෙන්ම, පරිභෝජනය මෙන්ම නිෂ්පාදනයද අඩුවීම නිසා ආර්ථික වර්ධනයද තරමකින් හෝ දුර්වල වනු ඇත. අවසාන වශයෙන් රජයට ශුද්ධ ආදායමක් ලැබෙන්නට බොහෝ ඉඩකඩ ඇතත් එම වැඩිවන බදු ආදායම ඒ වෙනුවෙන් සිදු කරගන්නා දේශපාලනික හානියට සාපේක්ෂව හිතන තරම්ම විශාල නොවිය හැකිය.

9 comments:

  1. බැලුවම බදු ගහනවා කියන එකත් මහා එපා කරපු වැඩක් නේ.. වෙලාවට ආර්ථික විජ්ජාව ඉගෙන නොගත්තේ.. හැක්. කරුණු දෙකක් ලෙසටම තේරුම් ගත්තා.. කවුරු එපා කියුවත් 'රවියා' අත්‍යවශ්‍යම භාණ්ඩ වලට කෙලින්නේ ඒවගේ ප්‍රත්‍යස්ථතාවය අඩු නිසා හෙවත් බඩු ෂුවර් නිසා කියන එක හා //එම වැඩිවන බදු ආදායම ඒ වෙනුවෙන් සිදු කරගන්නා දේශපාලනික හානියට සාපේක්ෂව හිතන තරම්ම විශාල// වෙන්නේ නෑ කියන එක.. අගමැති තුමෝ.. රවී පුතා හිටු කියලා දෑකැති ගිලිනවා.. ඔහොම හිටහල්ල රෙනකොට දැනෙයි කට්ටියටම..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දෑකැති ගිලීමක් තමයි කරන්නේ.

      Delete
  2. හොඳ කෑමක් දැක්කහම වගේ කියෙව්ව. ගොඩක් ස්තූතියි. කම්පනා කරල හෙට විතර ප්‍රශ්න අහන්නං.

    ReplyDelete
  3. හැමදාම වගේ හොද පැහැදිලි කිරීමක්.

    ReplyDelete
  4. හොඳ පැහැදලි කිරීමක් ඉකනො,මේ විදියට බදු ගැසීම වැඩි කිරීම තවත් අතකින් රජයේ අදායම් පහත වැටීමටත් හේතු වෙනවා.එහෙමනම් බදු වැඩි කිරීම හෝ අඩු කිරීම ආවට ගියාට කරන්න බැරි වැඩක්.

    ReplyDelete
  5. නොදන්නා දෙයක් හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ස්තුතියි.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.