Monday, February 13, 2017

හාල් මිල, ජීවන වියදම හා උද්ධමනය

මේ දවස් වල ලංකාවේ හාල් හොඳටම ගණන්ය. හාල් විතරක් නොව පොල්ද ගණන්ය. වසර කිහිපයකට වරක් ඇති වන වියලි කාලගුණය සමඟ වී හා පොල් නිෂ්පාදනය පහත වැටී, ලංකාවේ නිපදවන හාල් වර්ග වල හා පොල් වල මිල ඉහළ යාම අමුතු දෙයක් නොවේ. ඇතැම් වසර වල මෙහි අනිත් පැත්තද මේ අයුරින්ම සිදු වේ. එහෙත්, හාල් පොල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍යයක් ගණන් යද්දී මෙන් මිල අඩුවන විට ඒ ගැන වැඩිපුර අවධානය යොමු වෙන්නේ නැත.

හාල් හා පොල් කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආහාර වේලේ මූලික කොටස් දෙකකි. වෙන මොනවා නැතත් බොහෝ ලාංකිකයින්ට හාල් හා පොල්නම් නැතුවම බැරිය. ඒ නිසා, මිල වැඩි වුනත් හාල් හා පොල් සඳහා ලංකාවේ තිබෙන ඉල්ලුම එතරම් අඩු වෙන්නේ නැත.

හාල් හා පොල් ගණන් ගිය විට බොහෝ දෙනෙකුගේ ජීවන වියදම වැඩි වේ. බොහෝ දෙනෙකුගේ කියා කීවේ හාල් හා පොල් නොකන අයත් සිටිය හැකි බැවිනි. හාල් හා පොල් මිල ඉහළ යාම නිසා හාල් හා පොල් නොකන අයගේ ජීවන වියදමට බලපෑමක් නොවේ. ජීවන වියදම කියන්නේ එක් එක් පුද්ගලයාට, වඩා නිවැරදිව කිවුවොත් පවුල් ඒකකයකට සාපේක්ෂ දෙයකි. ජීවන වියදම ඉහළ යාම කියා හඳුන්වන්නේ කිසියම් පුද්ගලයෙකුට හෝ පවුල් ඒකකයකට සාමාන්‍යයෙන් අවශ්‍ය වන භාණ්ඩ මල්ලේ මිල ඉහළ යාම නිසා ඇතිවන අපහසුතාවයයි.

උද්ධමනය කියන්නේත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම හා සම්බන්ධ දෙයකි. එහෙත්, උද්ධමනය හා ජීවන වියදම ඉහළ යාම කියන්නේ එකක් නොව දෙකකි. උද්ධමනය කියන්නේ පොදුවේ කිසියම් රටක භාණ්ඩ හා සේවා වල මිලට සාපේක්ෂව එම රටේ මුදල් ඒකකයේ අගය අඩු වීමයි. හැමවිටම වාගේ උද්ධමනයට හේතු වෙන්නේ වැඩියෙන් මුදල් අච්චු ගැසීමයි. මේ මුදල් අච්චු ගැසීම කුමක්ද කියා පෙර පැහැදිලි කර තිබේ. උද්ධමනය රටක් තුළ එකම මුදල් ඒකකය භාවිතා කරන පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පවුලෙන් පවුලට වෙනස් නොවේ. උද්ධමනය වැඩි වීම රටේ සියල්ලන්ටම පොදුවේ බලපායි.

උද්ධමනය මැනීම සඳහා පහසුවට පාරිභෝගික මිල දර්ශක යොදා ගත්තත්, පාරිභෝගික මිල දර්ශකයකින් ඇත්තටම මනින්නේ රටේ යම්කිසි කණ්ඩායමක ජීවන වියදමෙහි සිදුවන වෙනස් වීමයි. රටේ මුදල් සැපයුම වැඩි වීම හැර වෙනත් හේතු නිසාද ඇතැම් භාණ්ඩ වල මිල ඉහළ ගොස් ජීවන වියදම වැඩි වුනත් බොහෝ විට මෙවැනි මිල වැඩිවීම් කෙටිකාලීනය. එහෙත්, උද්ධමනය යනු දිගුකාලීනව සිදුවන ක්‍රියාවලියකි.

අප කවුරුත් දන්නා පරිදි මේ දවස් වල හාල් හා පොල් මිල ඉහළ ගොස් ඇත්තේ නිෂ්පාදනය අඩු වීම නිසා මිස රටේ මුදල් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් නොවේ. මුදල් ප්‍රමාණය වැඩිවීමේ බලපෑම සෑම භාණ්ඩයකට හා සේවාවකටම එකසේ බලපායි. මෙය එවැනි තත්ත්වයක් නොවේ.
(මුදල් සැපයුම වැඩි වීමේ ප්‍රතිඵල පසුව තැපෑලෙන් ලැබෙන්නට පුළුවන.) 

මුදල් සැපයුම සමාන්තරව වැඩි නොවේනම් කිසියම් භාණ්ඩයක හෝ භාණ්ඩ කිහිපයක මිල වැඩි වීම සාමාන්‍යයෙන් උද්ධමනකාරී තත්ත්වයක් ඇති නොකරයි. ඒ වෙනුවට සිදුවන්නේ වෙනත් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමෙන් රටේ සාමාන්‍ය මිල මට්ටම කිසියම් සමතුලිතතාවයකට පැමිණීමයි.

රටේ සාමාන්‍ය පවුලකට ආහාර සඳහා වියදම් කළ හැක්කේ නිශ්චිත මුදලකි. මේ මුදල සමාන්තරව වැඩි නොවේනම්, හාල් හා පොල් මිල ඉහළ ගිය විට එම පවුලට සිය පරිභෝජන මට්ටම පවත්වා ගැනීම අසීරු වේ. එවිට, හාල් හා පොල් පරිභෝජනය අඩු කරන්නට සිදුවේ. එහෙත්, ලංකාවේ බොහෝ දෙනෙකුට මෙය කළ නොහැකි දෙයකි. ඒ නිසා ඔවුන්ට සිදුවන්නේ මෙතෙක් පරිභෝජනය කළ වෙනත් දේවල් වලින් කිසියම් ප්‍රමාණයක් කපා හරින්නටය.

ලංකාවේ හාල් හා පොල් වැඩිපුර ආහාරයට ගන්නා බහුතර ජනතාව දිනපතා මස්, මාළු කන්නේ නැත. ඔවුන්ගේ ආහාර වේලට සාමාන්‍යයෙන් බොහෝ විට එකතු වන්නේ බිත්තරයක් හා එළවළු කිහිපයකි. කෑම සඳහා සාමාන්‍යයෙන් වෙන් කරන මුදලින් වැඩි කොටසක් හාල් හා පොල් වෙනුවෙන්ම පමණක් වියදම් වූ විට ඔවුන්ට වෙනදා මෙන් එළවළු හා බිත්තර වැනි දේ මිල දී ගන්නට ප්‍රමාණවත් මුදලක් අතේ ඉතිරි නොවේ. ඒ නිසා එළවළු හා බිත්තර මිල දී ගන්නට වෙන්නේ වෙනදාට වඩා අඩුවෙනි. හාල් හා පොල් ඇත්නම් සම්බෝලයක් හදාගෙන හෝ බඩ පිරෙන්නට බත් ටිකක් කන්නට පුළුවන.

බොහෝ දෙනෙක් මේ අයුරින් එළවළු හා බිත්තර මිල දී ගැනීම සීමා කරන විට ඒවාට ඇති ඉල්ලුම අඩු වේ. අනෙක් අතට, නියඟය නිසා වී වැවිය නොහැකි ඇතැම් කුඹුරු වල එළවළු වැවීම හේතුවෙන් එළවළු සැපයුම වැඩි වේ. රටේ ඉල්ලුම අඩුවුන බව කිකිළියන් දන්නේ නැති නිසා බිත්තර නිෂ්පාදනයද අඩු වෙන්නේ නැත. දැන් මේ එළවළු හා බිත්තර විකුණා ගන්නට විදිහක් නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ එළවළු හා බිත්තර වල මිල අඩුවීමයි. එවිට, නැවතත් හාල් හා පොල් වලින් බඩ පුරවාගන්නා අඩු හා පහළ මැදි ආදායම් ලබන පවුල් වලට එළවළුවක් බිත්තරයක් සමඟ කෑම කන්නට ඉඩක් ලැබේ.

පහළ හා පහළ මැදි ආදායම් ලබන පවුල් මෙන් හාල් හා පොල් වලට ආහාර වේලේ ලොකු බරක් නොදමන ඉහළ මැදි ආදායම් ලබන පවුල් වලට හාල් හා පොල් මිල ඉහළ යාම දැනෙන්නේ අඩුවෙනි. ඔවුන් අඩු ආදායම් ලබන පවුල් වලට සාපේක්ෂව එළවළු හා මස් මාළු වැඩිපුර ආහාරයට ගනිති. එළවළු හා බිත්තර මිල අඩු වීම නිසා දැන් මේ අයට තමන් පෙර ආහාර සඳහා වියදම් කළ මුදලින් කොටසක් ඉතිරි වේ. එම ඉතිරිය ඔවුහු මස් මාළු ආදිය මිලදී ගැනීමට වැය කරති. ඒ නිසා අඩු ආදායම් ලබන අයගේ මස් මාළු ඉල්ලුම අඩු වුනත්, ඉහළ ආදායම් ලබන අයගේ ඉල්ලුම වැඩි වන නිසා සමස්තයක් ලෙස සිදුවන්නේ ඉල්ලුම වැඩි වීමකි. ඒ නිසා, එළවළු හා බිත්තර වල මෙන් මස් හා මාළු වල මිල අඩු නොවේ. ඇතැම් විට තරමක් මිල වැඩි වේ. විශේෂයෙන්ම මාළු සැලකූ විට අඩු ආදායම් පවුල් වල තේරීම වන මිල අඩු පොඩි මාළු වර්ග වල මිල තරමක් හෝ අඩු වන්නටත්, ඉහළ ආදායම් ලබන අයගේ තේරීම වන මිල අධික ලොකු මාළු වර්ග වල මිල තරමක් වැඩි වන්නටත් ඉඩ ඇති බව අපට පෙනේ.

මේ සියල්ලේ ශුද්ධ ප්‍රතිඵලය ලෙස, සැපයුම් සාධක මත හාල් හා පොල් මිල විශාල ලෙස වැඩි වුවත් උද්ධමනයෙහි සැලකිය යුතු වෙනසක් නොවේ. පහත වගුවේ ඇත්තේ පසුගිය වසරක කාලය තුළ ලංකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් වෙනස් වී ඇති ආකාරයයි.



 (Image: https://nohopenofear.net/2012/03/12/eat-this-it-will-please-and-sustain-you-sri-lanka/)

7 comments:

  1. // වසර කිහිපයකට වරක් ඇති වන වියලි කාලගුණය සමඟ වී හා පොල් නිෂ්පාදනය පහත වැටී, ලංකාවේ නිපදවන හාල් වර්ග වල හා පොල් වල මිල ඉහළ යාම අමුතු දෙයක් නොවේ. //

    යහපාලන රජය වී වගාව අඩු කරන්න කිය ප්‍රසිද්ද ප්‍රකාශ කලා... කෙසේ හෝ වී වගා කල බිම් අඩුකරනවා කීවා.... පොහොර සහනාදාර නැති කරා

    ඒවා මේ තත්වයට බලපාන්නෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. බලපානවා, දැන් පොහොර සහනාධාරය බැංකුවටම යන නිසා ගොවින්ට කුඹුරු වගා කරන්නට කරදර නොවී සවසට අඩියක් දාගෙන ඉදිතෑකි. හැබැයි ඒක රජයට ලාබයි පොහොර සහනාධාරයට වැය වෙන මුදලින් වැඩි කොටස ලිකර් ටැක්ස් වලින් ආපහු එනවා වගේම ඔය ගොය්යෝ වි වගාකලොත් එවා මිළදීගන්න රජයෙන් වියදම් වන මුදලත් ඉතිරියි.

      ඒ වගේම හාල් වලට වැඩි මුදලක් වැය වෙන නිසා කාර්, ටීවී, ෆෝන් ගන්න මුදල් ඉතිරිකරන්න අපහසුයි, ඒවා ගෙන්නන්න වැයවන විදේශ විනිමය රටේ ඉතිරි වෙනවා, එතකොට ඒ ඉතිරි වූ විදේශ විනිමය ඇමති වරුන්ට වාහන ගෙන්වනවා වගේ පලදායක කටයුතුවලට යොදතෑකි.

      Delete
    2. පැහැදිලිවම රාජ්‍ය ප්‍රතිපත්ති වල බලපෑමක් තියෙනවා. එයට අමතරව විණිමය අනුපාතිකය ඉහළ යාමත් පෝර හා කෘෂි රසායන ආදියේ මිලට බලපා ඇති බව සිතිය හැකියි. එහෙත්, මේ බලපෑම් කොපමණද කියා හරියටම කියන්න තරම් දත්ත තවම නැහැ. මගේ අදහස අනුව දැන් පවතින තත්ත්වයට කාලගුණයේ බලපෑමට සාපේක්ෂව රාජ්‍ය ප්‍රතිපත්ති වල බලපෑම ඉතාම අඩුයි. මෙය පැහැදිලි වන්නේ පොල් මිල දෙස බැලූ විටයි. ලංකාවේ හාල් මිල හා පොල් මිල බොහෝ විට විචලනය වන්නේ එකම රටාවකට. මේ වෙලාවෙත් මේ දෙකේ මිල වෙනස්වීම් බොහෝ දුරට සමානයි. නමුත්, රජයෙන් පොල් නිෂ්පාදනය අධෛර්යමත් කිරීමක් සිදු වුනේ නැහැ.

      කාලගුණයේ බලපෑම සාමාන්‍යයෙන් කෙටිකාලීනයි. රාජ්‍ය ප්‍රතිපත්ති වල බලපෑම බොහෝ දුරට දිගුකාලීනයි. සහනාධාර ඉවත් වීම හා නිෂ්පාදන පිරිවැය වැඩිවීම හමුවේ වුවත් මිල ඉහළ යාමේ නිදහස් ඉඩකඩක් තිබෙනවානම් සැපයුම එතරම් අඩු වෙන්නේ නැහැ. එහෙත්, මිල පාලනය නිසා බොහෝ දෙනෙක් වී ගොවිතැනෙන් ඉවත් වෙන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. කලින් ගත් තීරණ වලට වඩා ඒ තීරණය හානිදායකයි.

      Delete
  2. This is really good post, i have one small question.
    I have noticed SL mid used item price change very frequent, compare to other country. Ex: 2012 i have brought Chocolate for one country, in 2016 same price($ price). but SL kandos chocolate price 110% increased compare to 2012 & 2016. i'm not mistaken only TAX price + inflation can be change.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මේ කාලයේ රටේ සාමාන්‍ය මිල මට්ටම වැඩිවීම 20-30% අතර විය යුතු බවයි මගේ අදහස. ඒ අනුව, කැන්ඩෝස් චොකලට් වැනි එක් භාණ්ඩයක මිල 110%කින් වැඩි වී ඇත්නම් එය හඳුනාගත හැක්කේ එම භාණ්ඩයේ සාපේක්ෂ මිල වැඩි වීමක් ලෙසයි. මෙයට හේතුව කුමක්ද කියා මම හරියටම දන්නේ නැහැ.

      Delete
  3. ලංකාවේ එළවළු මිලේ වඩාත් උච්චාවචනය වන්නේ සැපයුම නේද? එය මුළුමනින්ම පවතින කාලගුණය මත රදා පවතිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇණයා. එළවළු මිලේ උච්ඡාවචනයන්ට වැඩිපුරම හේතු වෙන්නේ කාලගුණයේ වෙනස්වීම් නිසා සැපයුම වෙනස් වීම. බොහෝ දුරට මෙහි තියෙන්නේ වසරේ මාසය අනුව වෙනස් වන, එහෙත් කාලගුණයේ වෙනස්කම් නිසා එහා මෙහා වන රටාවක්. මේ වෙලාවෙත් සැපයුම වැඩි වීමේ සැලකිය යුතු බලපෑමක් ඇති. නමුත්, එයට අමතරව ඉල්ලුමේ විශාල බලපෑමක්ද ඇති බව පේනවා. එය වඩාත් පැහැදිලි වන්නේ සැපයුමට කාලගුණයේ ලොකු බලපෑමක් නැති බිත්තර වල මිලත් සැලකිය යුතු ලෙස පහත වැටී තිබීමෙනුයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.