Sunday, September 23, 2018

රටේ ණය හා රජයේ විදේශ ණය

පසුගිය ආණ්ඩුව කාලයේ විශාල ලෙස ණය ගත් නිසා රට ආර්ථික අර්බුදයකට ගිය බව අහල ඇති වෙලා තියෙන කතාවක්. නමුත්, සංඛ්‍යාලේඛණ බැලුවහම පෙනෙන්නේ ඒ කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අඩු වී ඇති බවයි. රාජ්‍ය ණය වර්ධනය වීමේ වේගය දිහා බැලුවත් පහුගිය ආණ්ඩුව කාලයේදී පැවතුනු වේගය නිදහසෙන් පසු බලයේ සිටි වෙනත් ආණ්ඩු යටතේ පැවතුණු වේගයන්ට වඩා ලොකු වෙනසක් පෙනෙන්නට නැහැ. 

ඒ වුණත්, පහුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී ලංකාවේ ආර්ථික අර්බුදය වඩා භයානක අදියරකට අවතීර්ණ වූ බව බොරුවක් නෙමෙයි. මෙයට මූලික වශයෙන් හේතු වුණේ විදේශ ණය ගනිමින්, එසේ ලබාගත් විදේශ විණිමය වෙළඳපොළට මුදාහරිමින්, විණිමය අනුපාතිකය අවප්‍රමාණය වෙන්න නොදී තියා ගැනීම හා එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ශුද්ධ විදේශ බැරකම් විශාල ලෙස ඉහළ යාමයි. 

ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයට පහුගිය ආණ්ඩු කාලයට වඩා ගොඩක් පැරණි ඉතිහාසයක් තිබෙනවා. රාජ්‍ය ණය බර මේ වන විට තිබෙනවාට වඩා බරපතල ප්‍රශ්නයක් වූ කාලවල් තිබුණු බව සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන දෙයක්. නමුත්, රටේ විදේශ අංශය මීට පෙර යුග වලදී කවදාවත් අද තිබෙන භයානක අදියරට පිවිසිලා නැහැ. 2001 වසරේදී විනිමය අනුපාතිකය පාවෙන්න හැරීමෙන් පසුව ටික කලකට වුවත් රටේ ආර්ථිකයේ විදේශ අංශය ප්‍රශ්නයක් නැතිව ඉදිරියට ගියා. මෙය විශාල ප්‍රශ්නයක් බවට පත් වුණේ යුද්ධය අවසන් වුනාටත් පසුව පසුගිය ආණ්ඩුවේ දෙවන භාගයේදී විණිමය අනුපාතිකය පහළින් තබාගැනීම රටේ ආර්ථිකය සැලසුම් කිරීමේ ප්‍රමුඛ උපායමාර්ගයක් බවට පත් වීමෙන් අනතුරුවයි. එසේ වීමේ පසුබිම ගැන විස්තර වෙන වෙලාවක ලියන්නම්.

රටේ විදේශ ණය කියන්නේ මධ්‍යම රජයේ විදේශ ණය පමණක් නෙමෙයි. මධ්‍යම රජයේ කොටසක් ලෙස නොසැලකෙන රජයේ සංස්ථා ආදිය විසින් ලබාගන්නා විදේශ ණය වල සිට පෞද්ගලික සමාගමක් හෝ තනි පුද්ගලයෙක් ලබා ගන්නා විදේශ ණය ඇතුළු සියලුම විදේශ ණය රටේ විදේශ ණය වලට ඇතුළත්.

මධ්‍යම රජය විසින් වගකිව යුත්තේ රජයේ ණය වලට පමණක් බව කාට හෝ කිව හැකියි. රජය විසින් ඇප වී තිබෙන රජයේ සංස්ථා වල ණය යම්කිසි ප්‍රමාණයක් හැර ඉතිරි ණය වලට රජය වගකිවයුතු නැති බව ඇත්ත. ඒ නිසා, එවැනි ණය රාජ්‍ය ණය ප්‍රශ්නයේ කොටසක් නෙමෙයි. නමුත්, රටේ කවුරු හෝ ලබාගත් විදේශ ණයක් ඇත්නම් එය ලංකාව මුහුණ දෙන ගෙවුම් ශේෂ ප්‍රශ්නයේ කොටසක්.

උදාහරණයක් විදිහට ශ්‍රී ලන්කන් එයාලයින්ස් විසින් 2014 ජූනි 27 වෙනිදා නිකුත් කරපු ඩොලර් මිලියන 175ක පස් අවුරුදු බැඳුම්කරය ගනිමු. මේ වෙනුවෙන් සමසකට වරක් බැගින් කූපන් පොලියක් (වාර්ෂිකව 5.3%ක් වන) ගෙවිය යුතුයි. ලබන වසරේ කල් පිරීමෙන් පසුව ගත් මුදල ආපසු ගෙවිය යුතුයි.

දැන් මේ මුදල ආපසු ගෙවන එක කරන්නේ  ශ්‍රී ලන්කන් එයාලයින්ස් විසින්නම් මධ්‍යම රජයේ අයවැයට එයින් බරක් නැහැ. එහෙත්, ඔවුන් මේ මුදල් ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිස රුපියල් වලින් නොවන නිසා අතේ ඩොලර් නැත්නම් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත යුතුයි. එහෙම මිල දී ගන්න රට ඇතුළේ කාගේ හෝ අතේ ඩොලර් තිබිය යුතුයි. 

ලංකාව දැන් මුහුණ දී සිටින ප්‍රශ්නය ඩොලර් බිලියන 50 ඉක්මවන විදේශ ණය ගොඩක් තිබුණත් ඒ ණය ගෙවන්න රට ඇතුළේ තිබෙන ඩොලර් ප්‍රමාණය බිලියන 10කට කිට්ටු ප්‍රමාණයක් පමණක් වීමයි. රට ඇතුළට ඩොලර් එන විට ඒ ඩොලර් රටේ ඉතිරි කරගත්තානම් මේ ප්‍රශ්නය නැහැ. නමුත්, විණිමය අනුපාතිකය පහළින් තබා ගැනීම පස්සේ පැන්නීම නිසා අන්තිමට රටේ ඩොලරුත් නැහැ. විණිමය අනුපාතිකය අවශ්‍ය විදිහට තබාගන්න පුළුවන් වෙලත් නැහැ. 

පහුගිය කාලයේ දිගින් දිගටම වෙලා තියෙන්නෙත්, ඉදිරි මාස වල නැවත වෙන්න ඉඩ තියෙන බව පෙනෙන්නෙත් මහදැනමුත්තා කළා වගේ එළුවගේ බෙල්ලත් කපලා පස්සේ ඔළුව එළියට ගන්න මුට්ටිය බිඳින ක්‍රමය. ඉස්සෙල්ලා විණිමය අනුපාතිකය රැකගන්න රටේ විදේශ විණිමය එළියට යන්න අරිනවා. එහෙම කරලත් බැරි වෙනකොට වැඩේ අත ඇරලා නැවත විණිමය අනුපාතිකය වැටෙන්න අරිනවා.

මේ කරුණ හා අදාළව මේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තිබෙන ප්‍රශ්නය මේ ආණ්ඩුව ඇති කළ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් පවතින තත්ත්වය අනුව විණිමය අනුපාතිකය පාලනය කිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. රුපියල වැටෙන්නේ ඉඩ ඇරිය යුතු වුවත්, ඒ නිසා ඇතිවන අතුරු විපාක ගැනත් හිතමිනුයි එය කරන්න වෙලා තියෙන්නේ. 

මුළු ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන පණහම එකවර ගෙවිය යුතු නැති බව කාට හෝ මතක් කර දෙන්න පුළුවන්. ඇත්ත. නමුත්, කවදා හෝ ගෙවන්නේ ඕනැනේ. අනාගතයේදී රටට කොහෙන් හෝ ඩොලර් එන විදිහක් පේන්න තියෙනවානම් ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්. නමුත්, පේන්න තිබෙන්නේ ඉදිරි අවුරුදු වල තව තවත් ඩොලර් එළියට යන්න නියමිත බවයි.

ඩොලර් බිලියන පණහට පොලිය 6%ක් කියා සැලකුවොත් අවුරුද්දකට පොලිය විදිහට පමණක් ඩොලර් බිලියන 3ක් ගෙවන්න වෙනවා. මේ ප්‍රමාණය වුවත් වෙළඳපොළෙන් මිල දී ගන්න එක ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. දැන් සිදුවන ආකාරයට උද්ධමන වෙනසට අමතරව අවුරුද්දකට 10%කින් පමණ රුපියල අවප්‍රමාණය වෙන්න ඇරියොත් වැඩිම වුනොත් රුපියල් බිලියනයක් හොයා ගන්න පුළුවන් වෙයි. ඉතිරි පොලී මුදල හා ණය වාරික ගෙවන්න වෙන්නේ අලුත් ණය අරගෙනයි. ඊට අමතරව ජංගම ගිණුමේ තිබෙන ඩොලර් බිලියන දෙකක විතර හිඟයත් පියවන්න ක්‍රමයක් තියෙන්න ඕනෑ.

මේ යන විදිහට රුපියල අවප්‍රමාණය කරලා වුනත් අවුරුද්දකට රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන දෙක තුනකින් වැඩි වන එක නවත්වන්න බැහැ. අඩුම වශයෙන් විදේශ ණය ප්‍රමාණය ස්ථාවරව තබා ගන්න වුනත් අවුරුදු දෙකතුනක් යනකම් රුපියල අවුරුද්දකට 20%කින් පමණ බැගින් අවප්‍රමාණය වෙන්න අරින්න වෙයි. එය කිරීම දේශපාලනික සිය දිවි නසාගැනීමක් නිසා ආණ්ඩුව එය කරයි කියා හිතන්න බැහැ. 

තව ටික දවසකින් නැවතත් මහ බැංකුව විණිමය අනුපාතිකයට අත ගහලා එය ස්ථාවර කරයි. ආණ්ඩුව තව බිලියන දෙක තුනක් ණය ගනියි. ණය තව වැඩිවෙයි. ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුව වෙනස් වුණොත් අලුතෙන් පත්වන ආණ්ඩුව මේ ආණ්ඩුවට බැණ බැණ ඔය ටිකම කරයි. සමහර විට එහෙම කරල නොනැවතී මේ ආණ්ඩුව වගේ නැතිව "බය නැතුව" තව ණය අරගෙන ඒ මුදල් වෙළඳපොළට දාලා විණිමය අනුපාතිකය ස්ථාවර කරලා ඒ මඟින් රටේ අනාගතය අස්ථාවර කරයි.

පහත වගුවේ තියෙන්නේ 2000 වසරේ ඉඳලා රජයේ හා රටේ විදේශ ණය වැඩි වූ ආකාරය, විදේශ සම්පත් වැඩි වූ ආකාරය හා විදේශ ණය හා විදේශ සම්පත් අතර පරතරය ඉහළ ගිය ආකාරයයි.




6 comments:

  1. විදේශ ණය යොදාගෙන ණය සහ පොලී ගෙවිය හැකි ආදායමක් උපදවන්නේ නැති ව්‍යාපෘති වලට යොදා ගැනීමත් බලපෑමක් කලා නේද?

    ReplyDelete
    Replies
    1. එවැන්නක බලපෑම තියෙන්නේ රාජ්‍ය ණය අර්බුදයට. ණය සහ පොලී ගෙවිය හැකි ආදායමක් ලැබුණත් එසේ ලැබෙන්නේ රුපියල් වලින්නම් ණය ගෙවන්න වෙන්නේ ඩොලර් වෙළඳපොළෙන් මිල දී අරගෙනයි. එහෙම කරන්න රට ඇතුළේ ඩොලර් තිබිය යුතුයි. රුපියල් ආදායමක් ලැබෙන්නත් නැත්නම් ප්‍රශ්න දෙකක්ම තියෙනවා.

      Delete
  2. Bond scam එකේ බලපෑමක් නැද්ද මේ අර්බුදයට ?

    ReplyDelete
    Replies
    1. එහි කවර හෝ බලපෑමක් ඇත්නම් එය රටේ එක් අයෙක් අතින් වෙනත් අයෙකු අතට මුදල් සංසරණය වීමක් පමණයි. විදේශ විණිමය වෙළඳපොළට එයින් බලපෑමක් වෙන්න ඉඩක් නැති තරම්.

      Delete
  3. මම කොමස් කරපු කෙනෙක් නෙවෙයි. මට තේරෙන හැටියට කියන්නෙ ඒ නිසා.

    මට තේරෙන හැටියට ඔය ප්‍රශ්න වලට තියන දීර්ඝකාලීන උත්තරේ තමයි රටට ඩොලර් එන ක්‍රම වැඩි කරන්න ඕනි කියන එක. ඒකට මුලින්ම පොඩි පොඩි දේවල් කරන්න ඕනි. උදාහරණයක් හැටියට freelancing කරන අයව දිරි ගන්වනඑක වගේ දේවල්. පොඩි පොඩියට උනත් එයාල සමස්තයක් හැටියට ලොකු මුදලක් ගේන්න පුළුවන්කමක් තියන අය.
    අනිත් කාරණය තමයි ලංකාවේ සමාගම් විදේශ වෙළඳපොළට යොමුවෙන එක. හොඳම උදාහරණය වියට්නාමය. එයාලගෙ සන්නිවේදන සමාගම් අද අප්‍රිකාවේ තියනව. අයිතිය වියට්නාම ආරක්ෂක අමාත්‍යංශයට. එමගින් ඔවුන් වසරකට ඩොලර් බිලියන දෙකතුනක් රට තුලට ගේනවා. ලංකාවේ ඉන්න අය ඇත්තටම වැඩ කාරයො හැබැයි නිසි මගපෙන්වීමක් නෑ. ඒ නිසා දැනුම, ශ්‍රමය අයාලේ යනව. ටෙලිකොම් එකට, ඉංජිනේරු සංස්ථාවට පුළුවන් වෙන රටවල් වලට තමන්ගෙ මෙහෙයුම් දිගුකරන්න.
    අනිත් කාරණය නිෂ්පාදනය කරන විදේශ සමාගම් වලට පහසුකම් සපයල ලංකාවට ආකර්ෂණය කරන එක. රජයට ඒ සමාගම්වල කොටස් තියෙන විදිහට වැඩපිළිවෙලක් යෙදුවනම් හරි. එතකොට බදු හරහා ආදායම් උපයනවට වඩා හොඳින් රජයට ආදායම් ගන්න පුළුවන්. (මල නොතලා රොන් ගැනීමක්)

    හැබැයි වැඩේ තියෙන්නෙ අපේ දේශපාලකයන් ඒ ගැන හිතන්නේ නෑ. මම ලඟදි දැක්ක විදුලි දුම්රිය හදන ප්‍රොජෙක්ට් එකකින් පගාව ඉල්ලපු සීන් එකක්. ඔයවගේ වැඩ නිසා තමයි ඇත්තටම ආයෝජකයෝ රටට එන්නේ නැත්තෙ.

    ReplyDelete
  4. GDP (PPP) , GDP (nominal), Gini ,HDI ඔය index ගැන ලිපියක් ලියන්න පුලුවද?
    https://en.wikipedia.org/wiki/Sri_Lanka
    ලංකාවේ ,
    ------------
    GDP (PPP) 2018 estimate
    • Total
    $298.310 billion[5]
    • Per capita
    $13,847[6]
    GDP (nominal) 2018 estimate
    • Total
    $93.45 billion[7]
    • Per capita
    $4,310[8]
    Gini (2016) 39.8[9]
    medium
    HDI (2017) Increase 0.770[10]
    high · 76th
    ------------

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.