Saturday, April 18, 2020

පීබීට ගණන් වැරදිලාද?


ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ඇති නිවේදනයකට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර විසින් සිය මැයි මස වැටුප හා අනෙකුත් දීමනා සියල්ල ස්වේච්ඡාවෙන් රජයේ වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කර තිබෙන බව ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා. රජයේ හා අනුබද්ධ ආයතන වල සියළු සේවකයින්ගේ මුළු වැටුප් ප්‍රමාණය රුපියල් බිලියන 100කට ආසන්න බව සඳහන් කරන ඔහු මේ සියලුම දෙනා තමන්ගේ වැටුපෙන් අඩක් රජයේ වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කළහොත් රජයට ලැබෙන වාසිය ගැන අපූරු කතාවක් කියනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ මේ වන විටත් තිබෙන ආචාර්ය පී බී ජයසුන්දරගේ ඉංග්‍රීසි බසින් පළ කර ඇති නිවේදනය අනුව සියලු රජයේ සේවකයින් විසින් ඔහු මෙන් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයේ වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කළහොත් රජයේ වියදම් රුපියල් බිලියන 50කින් අඩු වී ආදායම්ද රුපියල් බිලියන 50කින් ඉහළ ගොස් රජයේ අයවැය හිඟය රුපියල් බිලියන 100කින් පහළ යනවා. ආචාර්ය පී බී ජයසුන්දර යනු වසර ගණනාවක්ම ලංකාවේ අයවැය හදන්නට දායක වූ ප්‍රධාන පුද්ගලයෙකු නිසාත්, ප්‍රවෘත්ති නිවේදනය පළ වී තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ නිසාත් මෙය මේ දවස් වල ප්‍රචාරය වන ඇතැම් විහිළු මෙන් තවත් විහිළුවක් ලෙස සලකන්නට බැහැ.

ලංකාවේ බොහෝ දෙනෙක් මේ වගේ දෙයක් කියූ පමණින්ම පිළිගන්නවා වෙන්න පුළුවන්. මේ ආකාරයට එකම රුපියල් බිලියන 50න් රජයේ වියදම් අඩු කරගන්නා අතරම ආදායම්ද වැඩි කරගෙන අයවැය හිඟය දෙගුණයකින් අඩු කර ගත හැකිනම් එය ඊට වඩා පහසුවෙන් කර ගත හැකි වෙනත් ආකාරත් තිබෙනවා. පහත තිබෙන්නේ ඒ සඳහා උපදෙස් මාලාවක්.

1. සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් හා දීමනා 100%කින් වැඩි කරන්න. රජයේ වියදම් රුපියල් බිලියන 100කින් වැඩි වන නමුත් ආදායම් වැඩි නොවන නිසා අයවැය හිඟය රුපියල් බිලියන 100කින් ඉහළ යනු ඇත.

2. මේ වැඩි කළ වැටුප් වහාම කප්පාදු කර එම මුදල්  රජයේ වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කරන්න. ආචාර්ය පී බී ජයසුන්දරගේ තර්කය අනුව රජයේ වියදම් රුපියල් බිලියන 100කින් අඩු වී රජයේ ආදායම්ද රුපියල් බිලියන 100කින් වැඩි වනු ඇති අතර අයවැය හිඟය රුපියල් බිලියන 200කින් අඩු වනු ඇත.

3. ඉහත (1) හා (2) පියවර කැමති වාර ගණනක් එක දිගටම කළ හැකිය. එසේ කරන වාරයක් පාසා අයවැය හිඟය රුපියල් බිලියන 100කින් අඩු වනු ඇත.

මා දන්නා තරමින් පීබී කියන්නේ දක්ෂ හා පළපුරුදු පුද්ගලයෙක්. ඔහු මේ වගේ අත්වැරදි කර ගැනීමෙන් පෙනී යන්නේ රට දැනට මුහුණ පා ඇති තත්ත්වය හමුවේ ඔහු පෙළෙන මානසික ආතතිය විය හැකියි. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ඇති නිවේදනය පහත එළෙසින්ම තිබෙනවා.

Secretary to the President surrenders his salary for May to W and OP Social Security Contribution

Secretary to the President, Mr. P.B. Jayasundara has donated his full salary and allowances for the month of May to Government’s W and OP Social Security Contribution.

The Secretary to the President has informed the President that he is making this contribution voluntarily because the President as the Head of State of this nation needs a stress free budget.

Mr. P.B. Jayasundara said that the monthly wage bill of the Government is about Rs.80 billion. If government corporations, Banks and Universities are added, its closer to Rs. 90 to Rs.100 billion.

The President’s visionary leadership and deep commitment to help the poor and vulnerable people by keeping them healthy and protected in the midst of COVID-19 is far in excellence than any other nation. Mr. Jayasundara further stated that he was inspired by the President’s commitment and leadership to make this decision.

If all public servants do so by half of their salary to their own widows and dependents, the Government revenue will increase by about Rs.50 billion and expenditure will decline by Rs.50 billion, thereby budget deficit by Rs.100 billion in one month, Mr. Jayasundara stated.

2 comments:

  1. තවම මැයි මාසය එළඔී නැතත් ජනාධිපති ලේකම් තුමා නම් ඒ මාසයට වැටුප ලබාගෙන නේ. හැබැයි ඉතින් අනෙතුක් රජයේ සේවකයන්ට නම් ඊළඟ වැටුප නියමිතව මැයි මාසයේ 20 හෝ ඊට පසුවයි, ඒ ඔවුන් අප්‍රේල් වැටුප මාසය ආරම්බයේදීම අළුත් අවුරුදු අත්තිකාරම් ලෙස ලබාගත් නිසයි.

    ReplyDelete
  2. රටේ ආර්ථිකය හැසිරවීමට තරම් නුවනැති පිරිසක් රජය සතුව නැති බවයි මගේ නම් හැගීම

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.