Wednesday, March 1, 2017

ගැසට් එක බොරුවක්ද?

(මෙම ලිපිය මාර්තු 01 දින සංශෝධනය කෙරෙණි. අළුතින් එකතු කළ කොටස් දුඹුරු පැහැයෙන් දක්වා තිබේ.)

අද "බැඳුම්කර නාට්‍යයේ" දෙවන සංවත්සරය සැමරෙන දිනයයි. වසර දෙකක් ගතවී ඇතත්, මේ නාට්‍යය සඳහා වන ප්‍රේක්ෂක ප්‍රතිචාර තවමත් අඩු වී නැති අතර වරින් වර නාට්‍යට එකතුවන අළුත් කොටස් හා අළුත් නළු නිලියන් නිසා කුතුහලය එන්න එන්නම වැඩි වේ.

පසුගිය සති කිහිපය තුළ මේ නාට්‍යයට අළුත් ජවනිකා දෙකක් එකතු විය. එයින් පළමුවැන්න පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ 2016 මාර්තු- සැප්තැම්බර් අතර සමසක කාලය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනයි. අදාළ කාලය තුළ එම සමාගම විසින් වලින් රුපියල් මිලියන 6,815.3 ක ලාභයක් ලබා තිබේ. ඊට පෙර වසර තුළ එම සමාගම විසින් රුපියල් මිලියන 5,124.3 ක ලාභයක් ලබා තිබුණේය. මේ අනුව, මාස 18ක් තුළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ලබා ඇති ලාභය රුපියල් බිලියන 12කට ආසන්නය.

දෙවැනියට, බැඳුම්කර නිකුතු හා අදාළව හිටපු ජනාධිපති හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කෙරුණු 2015 ජනවාරි 01 දාතමැති ගැසට් නිවේදනයක්ද, තමන්ගේ නමින් නිකුත්ව තිබුණු එම ගැසට් නිවේදනය පිළිබඳ වගකීම ප්‍රතික්ෂේප කරමින් මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ මාධ්‍ය නිවේදනයක්ද මේ ලැයිස්තුවට එකතු විය. අදාළ ගැසට් නිවේදනය අනුව, 2015 පෙබරවාරි 27 දින මහ බැංකුව විසින් රුපියල් මිලියන දසදහස් පනස් අටක් වර්ෂයකට සියයට 12.5ක පොලියකට තිස් අවුරුදු කාලයක් සඳහා ලබාගෙන ඇත්තේ 2015 ජනවාරි 01 දින මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් එසේ කරන ලෙසට අදාළ නිලධාරීන්ට නිකුත් කර ඇති ආඥාවක් අනුවය.

මේ ගැසට් කතාව කුමක්ද?

මේ පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් මේ වන තුරුත් කිසිදු ප්‍රධාන හෝ අප්‍රධාන මාධ්‍යයක සිදු කෙරී නොමැති බව පෙනේ. මේ ඒ දැනගන්නට උනන්දුවක් දක්වන අයට "සිදුවී ඇති දෙය ගැන" පැහැදිලි කිරීමකි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපණතේ හතරවන වගන්තිය අනුව රජය විසින් බැඳුම්කර නිකුත් කිරීම මඟින් ණය ලබා ගැනීමට පෙර පහත විධිවිධාන අනුගමනය කළ යුතුය.

"මූල්‍ය විෂය සම්බන්ධ වගකීම දරන අමාත්‍ය වරයා විසින් මෙම ආඥාපණතේ විධිවිධාන ප්‍රකාර ලබා ගැනීමට නියමිත එක් එක් ණය මුදල හා අදාළව පහත කරුණු ඇතුළත් ආඥාවක් නිකුත් කර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කළ යුතුය.
(අ) ලබා ගැනීමට නියමිත ණය මුදල
(ආ) එම ණය ලබා ගන්නා ආකාරය හා ක්‍රමවේදය
(ඇ) ගෙවන පොලී අනුපාතිකය හෝ එම පොලී අනුපාතිකය තීරණය කරන ක්‍රමය
(ඈ) පොලී මුදල් ගෙවීමට නියමිත දින වකවානු
(ඉ, ඊ) මුල් මුදල ආපසු ගෙවීම හා අදාළ දින වකවානු ඇතුළු තවත් කරුණු"

දැන් පෙනෙන්නට ඇති පරිදි කාලයක් තිස්සේම මේ දේවල් නිසි ලෙස සිදුවී නැති අතර මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය (මුදල් ඇමතිද ඇතුළුව) විසින් හොඳින් "නීතිය නවා" තිබේ. එමෙන්ම, මේ තත්ත්වය මේ වන තුරුත් වෙනස් වීද නැත.

නීතිය අනුව පාරදෘශ්‍ය ලෙස සිදුවිය යුතු වුවත්, මහ බැංකුව විසින් වෙන්දේසියකදී ලබාගන්නා අරමුදල් ප්‍රමාණය හිතුමතේට වෙනස් කර ඇති /වෙනස් කරන අතර එම හේතුව නිසාම පොලී අනුපාතිකය තීරණය කරන ක්‍රමයද පාරදෘශ්‍ය නොවන ක්‍රමයකි. මෙසේ කිරීම නීත්‍යානුකූල නොවන නිසා අදාළ නිලධාරීන් විසින් මේ කටයුත්තට නීතිමය ආවරණය ලබාගැනීම සඳහා අනුගමනය කර ඇත්තේ 1984 ප්‍රබන්ධයේ ක්‍රමයි. එනම්, තමන්ගේම ක්‍රමයකට වෙන්දේසි පවත්වා හෝ සෘජු විකිණීම් ලෙස බැඳුම්කර නිකුත්කර මාස ගණනාවකට පසුව ජනවාරි මාසයේදී නිකුත් කළ ලෙසින් ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මේ සියළු තොරතුරු ඔහු විසින්ම මේ අයුරින්ම විස්තර කර තිබේ. එයින් සිදුවී ඇත්තේ නීතිය නැවීමක් බව තවමත් ඔහුට නොතේරෙන බව එයින් පෙනේ.

මේ ආකාරයෙන් 2013 වසරේදී මිල දී ගැනීමට නියමිත බැඳුම්කර පිළිබඳව නිවේදනය එම බැඳුම්කර නිකුත් කර මාස ගණනාවකට විසිඑකකට පමණ පසුව 2014 සැප්තැම්බර් මාසයේදී 2013 ජනවාරි 01 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ ආඥාවක් ලෙස නිකුත් කර තිබේ. මේ අයුරින්ම, 2014 වසරේදී මිල දී ගැනීමට නියමිත බැඳුම්කර පිළිබඳව නිවේදනය 2014 ජනවාරි 29 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරනු ලැබූ ආඥාවක් ලෙස එම 2015 වසරේ සැප්තැම්බරයේදී පමණ නිකුත් කර තිබේ. ඒ වන විටද, මුදල් ඇමති ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ නොව රවී කරුණානායකයි. මහ බැංකුවේ අධිපති වූයේ අර්ජුන් මහේන්ද්‍රන්ය. මෙසේ 2015 අගදී පළවූ 2014 වසර සඳහා වන ගැසට් පත්‍රය වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වී නොමැති බව පෙනේ. මුද්‍රණය කළ දිනය මා අනුමාන කරන්නේ මේ ගැසට් වල පහතින් ඇති අනුක්‍රමික අංක අනුවය.

2014 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව මුදල් අමාත්‍ය ධුරය වෙනස්වූ බැවින්, වසර ගණනක් මේ අයුරින් සිදු කළ පසුදාතම් දැමීමේ  කටයුත්ත අවුල් වී ඇති බව පෙනේ. මෙහිදී, 2015 වසර සඳහා වූ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත්තේ 2015 ජනවාරි මාසයේ සිදුකරන අයුරින් වුවත් ඇත්තටම එය කර ඇත්තේ 2016 නොවැම්බර් මාසයේදී පමණ බව අනුමාන කළ හැකිය. ඇතැම් විට, මහ බැංකුවේ නිලධාරීන් විසින් 2014 හා 2015 වසර වල ජනවාරි මාසයේදී වලදී මේ ආඥාවට මහින්ද රාජපක්ෂගේ අත්සන ගෙන මාස ගණනාවකට පසු සකස් කරන ලද උපලේඛණයක්ද සමඟ නොවැම්බරයේදී රජයේ මුද්‍රණාලයට යැවුවා විය හැකිය.

පෙනී යන කරුණු අනුව, ගැටළු සහගත 2015 වසර පැත්තකින් තිබ්බත්, 2016 ජනවාරි සිට මේ දක්වා නිකුත් කර ඇති බැඳුම්කර හා අදාළ ගැසට් නිවේදන මේ වන තුරුත් ප්‍රකාශයට පත්වී නැත. ඒ නිසා ඒ සුරැකුම්පත් වල නෛතික වලංගු භාවය පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් තිබෙන්නට වුවද කිසියම් ඉඩක් තිබේ. පෙනෙන්නට ඇති පරිදි, මේ තත්ත්වය පසුගිය කාලය මුළුල්ලේම මේ අයුරින් අවිනිශ්චිතව පැවතී ඇත.
මේ ගැසට් නිවේදන පරිශීලනය කර ඇති බොහෝ දෙනෙකුට ගැටළුවක් වී ඇත්තේ පෙර වසරක නිකුත් කර ඇති බැඳුම්කර නැවත නිකුත් කිරීමට ආඥා කර ඇත්තේ ඇයිද යන්නයි. මෙය ඉතා සරල කරුණකි. පෙර නිකුත් කර ඇති කාණ්ඩ වලට අයත් සුරැකුම්පත් තවත් කිසියම් ප්‍රමාණයක් පසුව නිකුත් කිරීම මහ බැංකුව විසින් බොහෝ විට කරන දෙයකි. උදාහරණයක් ලෙස 2015 පෙබරවාරි 27 දින නිකුත් කළ 30 අවුරුදු බැඳුම්කරයක අද වන විට කල්පිරීමට ඉතිරිවී ඇති කාලය අවුරුදු 28කි. මෙහිදී මහ බැංකුව විසින් කරන්නේ අවුරුදු 28ක බැඳුම්කරයක් නිකුත් කිරීම වෙනුවට වසර දෙකක් පැරණි අවුරුදු 30ක බැඳුම්කර අද අළුතින් නිකුත් කිරීමයි. එසේ කළ විට මේ බැඳුම්කර පෙර නිකුත් කර ඇති බැඳුම්කර වලට හරියටම සමාන වන අතර එසේ කිරීමෙන් ලැබෙන වාසිය විස්තර කරන්නට මා මෙහි ඉඩ ගන්නේ නැත.

මේ කරුණ අඩුම වශයෙන් වසර ගණනක් මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරමින් මේ ආඥා නිකුත් කළ මහින්ද රාජපක්ෂට තවමත් නොතේරෙන බව පෙනේ. සිය මාධ්‍ය නිවේදනයේ 2011 සිට නිකුත් කළ බැඳුම්කර ගැන ඔහු කතාකරන්නේ ඒ නිසාය. ඇත්තටම මේ සියල්ල 2015 වසරේදී නිකුත් කළ බැඳුම්කරයි. ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් කරන්නේ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලේඛණ වලට කණ අස්සන ගැහීම පමණක් බව මේ මාධ්‍ය නිවේදනය හරහා ඔහු විසින් තහවුරු කරයි. එහි වාසිය ගන්නේ නිලධාරීන් විසිනි.


එමෙන්ම, මේ හා අදාළව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ බව කියන, මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා පත්තරෙන් දැක ඇති, මාධ්‍ය නිවේදනය සඳහා දායක වූ අයටද මේ කරුණ ගැන අවබෝධයක් තිබී නැති බව පෙනේ.

(Image: http://www.dailymail.co.uk/wires/afp/article-2842108/Sri-Lanka-president-seeks-election-snap-polls.html)

21 comments:

  1. උපක්‍ර‍මශීලීව විධායකයකු ලවා කණ අත්සන ගස්සව ගන්න ප්‍ර‍වණතාවයක් ලබාගැනීම ලංකාවේ කළමණාකරුවෙකු අනිවාර්යයනේම ප්‍ර‍ගුණකළයුතු දෙයක්, යමාමහ පෙළහර පාන්න දන්නවනම් ඒකත් එච්චර කජ්ජක් නෙවෙයි.

    ReplyDelete
  2. සරලව කිව්වොත් මෙහි තේරුම
    1.ණය ගැනීමට පෙර ගැසට් එකක් මගින් කොපමණ ණය ගන්නවාද පොලිය කීයද කියල ප්‍රසිද්ද කල යුතුයි.
    2.නමුත් මහා බැංකුව ගන්න ගාන තීරණය කරන්නේ වෙන්දේසිය දවසේ නිසා (සහ වෙනත් හේතු නිසා) මෙතෙක් එසේ කිරීමට හැකිවී නැහැ. ඒ වෙනුවට ණය ගත්තට පස්සේ ගැසට් එක නිකුත් කරලා තියෙනවා ණය ගත්තු දිනෙකට පෙර දිනයක් දාල.

    නීතියට අනුව ව්‍යකුලතාවයක් තිබුනත් ණය ගන්න ප්‍රමාණය පෙර තීරණය කරන්න බැරි තත්වය තුල කරන පුළුවන් එකම දේ මෙය නේද? මම හිතන්නේ මෙහි තිබෙන්නේ නීතියේ වැරද්දක් කියල

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ඔබ සරලව ලියා ඇති දෙය හරි.
      //ණය ගන්න ප්‍රමාණය පෙර තීරණය කරන්න බැරි තත්වය තුල//
      එහෙම කරන්න බැරිවෙන්න හේතුවක් නැහැ. සමිතියක පොඩි වැඩක් කළත් කලින් බජට් එකක් හදනවා.
      //මම හිතන්නේ මෙහි තිබෙන්නේ නීතියේ වැරද්දක් කියල//
      නීතිය වැරදිනම් එය වෙනස් කරගන්න ඕනෑතරම් අවස්ථා තිබුණනේ, ඇනෝ. එසේ කර නැත්තේ එහි තියෙන්නේ සාමාන්‍යයෙන් විය යුතු දෙය නිසා. පෙර වසර අවසානයේ අය වැය හැදූ පසු ඒ අනුව අවශ්‍ය ප්‍රමාණය ණය ගැනීමට හැකි විය යුතුයි. එසේ කරනවානම් තොරතුරු අසමමිතියක් නැහැ.

      Delete
    2. //පොලිය කීයද කියල ප්‍රසිද්ද කල යුතුයි.// පොලී අනුපාතික තීරණය කරන ක්‍රමය ප්‍රසිද්ධ කිරීම ප්‍රමාණවත්.

      Delete
    3. පැහැදිලියි.
      නමුත් මෙය බැඳුම්කර සිද්දියට සම්බන්ධයක් නැහැ නේද? අනික මේ ගැසට් එක නිකුත් කරලා තියෙන්නෙත් මුදල් මණ්ඩලයෙන් නේද අර්ජුන් ඉවත් උනාට පස්සේ? දැන් මෙච්චරකල් ගිරිය පුප්පගෙන කෑගැහුවේ අර්ජුන් මුදල් මණ්ඩලේ තීරණ වලට බලපෑම් කරලා අයතා ලෙස බැනට වාසි වෙනවිදියට බැඳුම්කර විකුනන කියලනේ. දැන් අර්ජුන් මහේන්ද්‍රන් නැතිවත් ස්වාදීන නැතිළුද?

      Delete
    4. ඔවු, ඇනෝ. මෙය "හත්වන කොටස" ලෙස නොදමා වෙනම දැම්මේ එවැනි සෘජු සම්බන්ධයක් නැති නිසයි. නමුත්, වක්‍ර සම්බන්ධයක් තියෙනවා. ක්‍රමය අවිධිමත් වුනු තරමට, තොරතුරු අසමමිතිය වැඩි වුණු තරමට අවදානම වැඩි වෙනවා. අවදානම වැඩි වුනු තරමට අවදානම් ගැනීමට වැඩි කැමැත්තක් දක්වන පර්පෙචුවල් ට්‍රෙෂරිස් වැනි සමාගම් වලට ලාභ ගැනීමට වැඩි අවස්ථා සැලසෙනවා.

      Delete
    5. දැන් ඔය ගැසට් එක නිකුත් කරලා තියෙන්නේ හිටපු මහා බැංකු අධිපතිද? නැතිනම් රවීගේ අමාත්‍යංශයෙන්ද?

      Delete
    6. මෙය වාර්ෂිකව වසර මුලදී මුදල් ඇමති විසින් නිකුත් කළ යුතු ගැසට් එකක්, ඇනෝ. මුදල් ඇමති වෙනුවෙන් එය පිළියෙළ කරන්නේ මහ බැංකුව විසින්. මුදල් ඇමතිගේ නම මිස මහ බැංකුවේ හෝ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ නම් එහි නැහැ. ඒ නිසා ප්‍රධාන වගකීම තියෙන්නේ මුදල් ඇමතිටයි. මෙය ප්‍රකාශයට පත් කර ඇති දිනය වන 2015 ජනවාරි 01 දින සිටි මුදල් ඇමති මහින්ද රාජපක්ෂ. ඔහුගේ නමිනුයි මෙය නිකුත් වී තියෙන්නේ. එදින හිටි මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්. නමුත් නීතිය අනුව ජනවාරි මුල ප්‍රසිද්ධ කළ යුතු මේ ගැසට් එක ඇත්තටම මුද්‍රණය කර තියෙන්නේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේ. ඒ වන විට හිටපු මුදල් ඇමති රවී කරුණානායක. අධිපති අර්ජුන් මහේන්ද්‍රන්. නමුත්, දිනය දමා ඇත්තේ 2015 ජනවාරි 01 මුද්‍රණය කළ ලෙසට නිසා මෙයට රවී කරුණානායකගේ නම දමන්න විදිහකුත් නැහැ. පෙර අවුරුදු වලත් මේ විදිහටම පහුවෙලා පරණ දිනය දමා ගැසට් එක මුද්‍රණය කර ඇතත් මුදල් ඇමති වෙනස් නොවුණ නිසා එය විශේෂයෙන් පෙනී නැහැ.

      Delete
    7. 2016 නොවැම්බර් වල නිකුත් කළා කියල නේද කියන්නේ අවුරුද්දකුත් මාස 8කට පස්සේ? ඊයේ ප්‍රවෘත්ති සාකච්චාවකදී මාද්යවෙදිනියක් රවිගෙන් එහෙම අහනවා මම දැක්ක. එහෙම බැලුවොත් එතකොට අර්ජුන් නෙමෙයිනේ සභාපති?
      අවුරුද්දටම බලපාන ලෙස එක ගැසට් එකක්ද නිකුත් කරන්න ඕනේ? නැතිනම් ජනවාරි 8 වෙනිදා වෙනකම් ටික පහුගිය රජයට දාල එක ගැසට් එකකුත් ජනවාරි 8න් පස්සේ ටිකට තව ගැසට් එකකුත් නිකුත් කරන්න බැරිද?

      Delete
    8. ඇනෝ, ඔබ මෙය පෙන්වා දීම ගැන ස්තුතියි! ඇත්තටම අවුරුද්දේ වෙනස මට මඟ ඇරී තිබුණු දෙයක්. මම ඒ අනුව ලිපිය සංශෝධනය කළා. මේ අනුව, පෙනෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිව සිටි, රවී කරුණානායක මුදල් ඇමතිව සිටි 2015 සැප්තැම්බර් හෝ ආසන්න මාසයකදී මීට පෙරත් මහින්ද රාජපක්ෂගේ නමින් ගැසට් නිවේදනයක් නිකුත් වී ඇති බවයි. එය 2014 වසර සඳහා නිසා අදාළ බැඳුම්කර නිකුත් කෙරෙන විට කොහොමටත් මුදල් ඇමති ලෙස හිටියේ මහින්ද රාජපක්ෂ. අධිපතිව සිටියේ කබ්රාල්.

      මේ ගැසට් වසරකට එකක් ලෙස නිකුත් කළ යුතුයි කියා මම හිතන්නේ නැහැ. මට තේරෙන විදිහටම්නම් එක් එක් වෙන්දේසිය තියන්න කලින් වෙන වෙනම ගැසට් නිකුත් කිරීමයි කළ යුත්තේ. වෙන්දේසි තියා බැඳුම්කර නිකුත් කිරීමෙන් වසර දෙකකට පමණ පසුව එම වෙන්දේසි නිවේදනය කරමින් ගැසට් නිකුත් කිරීම විහිළුවක්.

      Delete
  3. දැන් ඒ විදියට බැලුවොත් මෙතැන කිසිම නීතිමය සුජාතභාවයක් නැහැනේ. ප්‍රශ්නගත බැඳුම්කර සිදුවීමේදීත් බිලියනයකට ටෙන්ඩර් කැඳවා බිලියන 10ක් ලබාගන්න තීරණය ගන්නේ ඒ මොහොතේදී ටෙන්ඩරය යනකොට.ඊට අමතරව මේ සඳහා වෙන ගැසට් එක එන්නෙත් වෙන්දේසියට පසුව.(කාලයක් පුරාවටම සිදුව තිබෙන්නේ ඒ විදියට කියනවානේ.) දැන් මේ කරණා වලින් පේන්නේ රටේ මුල්‍ය විනය හදන්න ඕන මහා බැංකුවට ඒ මුල්‍ය විනය නැති බවයි.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පහසුවට නීතිය නවා ගැනීමයි කර ඇත්තේ.

      Delete
  4. මොකක්ද මේ ගැසට් හුටපටේ කිය කිය කම්පනා කොර කොර හිටියේ... දැන් ඕක අල්ලගෙන දැපැත්තෙම කට්ටිය ලොරි ටෝක් දෙනකොට බලන්න පුලුවන් උන්ගේ දැනුම මේ ගැන...

    ReplyDelete
    Replies
    1. මුදල් අමාත්‍යාශයේ ලේකම් පත්තෙරෙන් දැක ඇති මුදල් අමාත්‍යාශයේ මාධ්‍ය නිවේදනය අනුව පෙනෙන්නේ එය සකස් කළ අයටත් නිසි අවබෝධයක් නැති බවයි.

      Delete
  5. ඉකොනොමැට්ටා මහත්මයා,

    මෙන්න බැඳුම්කර වංචාවේ විස්තරය මහබැංකුවේ හිටපු නියොජ්‍ය අධිපති විසින් හෙළිකළ අයුරු;

    මෙතනින් බලන්න;

    https://www.youtube.com/watch?v=p6sA4bu8F4E&feature=youtu.be

    මීට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයේ මරා, බැසිල්, නාමල් ඇතුලු හොර රැලයි. යහපාලනයට එල්ල වන්නේ අමූලික බොරු චෝදනායි. මෙම නියෝගය 2015 ජනවාරි 08ට පෙර දී ඇත්තේ හිටපු ජනාධිපති හිජකුදිපාම ජඩ මරා නමැති මහජරා චෞරාධිපති ජඩයායි. ඔබ වත්මන් රජයට පහර දෙන්නේ කුමන පදනමකින් ද? මේ රට කෑවේ රාජපක්ෂ හොර රැලයි. මේ පිළිබඳ විග්‍රහයක් සමග වැඩිදුර විස්තර අඩංගු පෝස්ටුවක් ඔබෙන් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. //ඔබ වත්මන් රජයට පහර දෙන්නේ කුමන පදනමකින් ද? //
      ඇනෝ, මම වත්මන් රජයට පහර දීම හෝ වත්මන් රජය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ලිපි ලියන්නේ නැහැ. බැඳුම්කර ගැන දැනට මම ලිපි විසිඅටකට වඩා ලියා තිබෙනවා. තවත් බොහෝ දේ ලියන්න තිබෙනවා. විජේවර්ධන මහතාගේ කතාවේ ඇති ඇතැම් දේ ගැන තවම කතා කර නැහැ. ලින්ක් එක දැමීම ගැන ස්තුතියි! බැඳුම්කර ගැන පොත් ලියන එකනම් නැගලා යනවා වගේ.

      Delete
    2. ඉකොනොමැට්ටා මහත්මයා,

      ඔබෙන් ඉතාම කාරුණිකව සමාව අයැද සිටින්නෙමි. ඔබට රිදවීමට අදහස් කළා නොවේ. මා මෙම කමෙන්ටුව ටයිප් කළේ මෙම වීඩියෝව බලා ඇතිවූ දැඩි කැළඹීම මත තරමක පීඩනයකිනි.

      ඇත්තටම මේ වීඩියෝවේ කරුණු සත්‍ය නම් ලංකා ආර්ථිකය ඉතා බරපතල තත්වයක පවතී. මීට වගකිවයුතු වන්නේ පසුගිය රජය විසින් කළ දූෂණ ක්‍රියා ලෙස සිතා සිටියෙමි.

      ඔබෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ වත්මන් ශ්‍රී ලංකා ආර්ථික තත්වය පිළිබඳව වඩාත් මැදහත්ව සත්‍ය හෙළිදරව කරන ලෙසයි. ලංකාවේ පුද්ගලික අංශයේ සේවයේ නියුතු අපට රැකියා අහිමිවී අපව පාරට වැටෙයි ද? ආර්ථිකය කඩා වැටෙයිද? කරුණාකර පැහැදිලි කර දෙන්න.

      Delete
    3. ඔබේ කිසිම වරදක් නැහැ, ඇනෝ. මට එවැනි සිත් රිදීමක් වුණේ නැහැ.

      Delete
    4. අනිත් එක වඩා වැදගත් වන්නේ අපිට ගොඩ යා හැක්කේ කොහොමද කියන එකයි. පසුගිය කාලයේ කා අතින් හෝ සිදුවුණු වැරදි දෙස බැලිය යුත්තේ එවැනි දේ නැවත දිගින් දිගටම සිදුවීම වලක්වා ගන්නයි.

      Delete
    5. ඉකොනොමැට්ටා මහත්මයා,

      බොහොම ස්තූතියි. අප කා අතිනුත් වැරදි සිදුවන අතර ඊට සමාව දීම දේව ගතියයි. ඇත්තටම ඉදිරියේ ලංකා ආර්ථිකයේ විය හැකි දේ සහ ඇමරිකාවේ ට්‍රම්ප් ප්‍රතිපත්ති සමග ලෝකය කෙසේ ආර්ථික වශයෙන් හැඩගැසේද යන්නත් ලක් රජය භාරතීයයන් සමග ගිවිසුම්ගත වීමට සැලසුම්ක "එට්කා" ක්‍රියාවලඉය තුලින් ලංකා ආර්ථිකය කෙසේ ගොඩගත හැකිද යන්න ගැනත් හරවත් මෙන්ම විද්වත් කතිකාවහක් ඇතිකල හැකිනම් ඉතා අගෙයි. ඔබගේ අනර්ඝ වැක්සීන් පිළිබඳ පෝස්ටුව මෙන්ම මේ ගැනත් ලියන්න. ඔබට ජය.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.