Sunday, February 19, 2017

පර්පෙචුවල් ලාභ (හයවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)

 

දැන් අපි දන්නා පරිදි රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්නෙකුට ලාභ ලැබිය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න, ආයෝජනය කල් පිරෙන තෙක් සිට පොලී ආදායම ලබා ගැනීමයි. දෙවැන්න, කල් පිරෙන්නට පෙර 'සුදුසු අවස්ථාවේදී' මේ රාජ්‍ය සුරැකුම්පත් වෙනත් අයෙකුට විකුණා ප්‍රාග්ධන ලාභයක් ලැබීමයි.

පළමු ක්‍රමයේ ප්‍රතිලාභ සාපේක්ෂව අඩු අතර අවදානමද සාපේක්ෂව අඩුය. දිගුකාලීනව ආයෝජනය කිරීම කෙටිකාලීන ආයෝජන වලට සාපේක්ෂව අවදානම් සහගත වුවත් මෙසේ ආයෝජනය කරන්නේ තමන්ගේම මුදල් හෝ කෙටි කලකින් ආපසු ගෙවිය යුතු නැති වෙනත් අයෙකුගේ මුදල්නම් වැඩි ප්‍රතිලාභයක් වෙනුවෙන් මේ වැඩි අවදානම ගන්නට බැරිකමක් නැත. එමෙන්ම, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් හා අදාළව මේ 'දිගු කාලය' වන්නේ වසර තිහකි. අවදානම එම කාලය අතරතුර රජය බංකොලොත් වී ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානමයි.

රජය බංකොලොත් වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත වුවත් වසර තිහක් වැනි දිගුකාලයක් ඇතුළත ලංකාව වැනි ණය උගුලක පැටලී සිටින රටක් බංකොලොත් වීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක්කකි. කෙසේ වුවද, මෙවැනි දිගු ආයෝජනයක් කිරීමෙන් වුවද ලබාගත හැකි වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය 13-14% මට්ටම නොඉක්මවයි. පොලී ආදායම් වලින් පමණක් කිසිවකුගේ ආයෝජන වෙනුවෙන් 500%ක් වැනි විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් නැත.

ඉතා වැඩි අවදානම් සහගත ක්‍රමයක් වන දෙවැනි ක්‍රමයෙන් මුල් ආයෝජනය මෙන් 5-6 ගුණයක නොව ඊටත් වඩා වැඩි ප්‍රතිලාභයක් වුවද ලබා ගැනීමට කිසියම් ඉඩක් පවතී. මෙහිදී මා දෙවැනි ක්‍රමය ලෙස හඳුන්වන්නේ සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජන කරන, දිගු කාලයකට අරමුදල් හිරකළ හැකි, අයෙක් අවස්ථාව හඳුනාගෙන ආයෝජනයක් කලින් මුදල් කිරීම නොවේ. ආයෝජන ක්‍රමෝපායයක් ලෙසින්ම තමන් සතුව නැති හෝ තමන්ට දිගුකාලයකට හිරකළ නොහැකි අරමුදල් කෙටිකලකින් ද්වීතියික වෙළඳපොළේ විකුණා අධික ලාභයක් ලැබීමේ අරමුණින්ම දිගුකාලීනව ආයෝජනය කිරීමයි. මෙවැනි අයෙකු බොහෝ විට දිගුකාලීන සුරැකුම්පතක ආයෝජනය කරන්නේ කෙටිකාලීන ණයක් ලෙස ලබාගත් අරමුදල් වන්නට පුළුවන.

මේ දෙවන ක්‍රමයේදී ආයෝජකයා නිරත වන්නේ සූදුවකයැයි කීම නිවැරදිය. පළමු ක්‍රමයේදී, ලැබෙන ආදායම බොහෝ දුරට යටකරන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභයයි. එහි ඇති අවදානම් අධිභාරය විශාල නැත. දෙවන ක්‍රමයේ ලැබෙන ආදායම බොහෝ දුරට අවදානම් අධිභාරයකි. එහිදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභය ලෙස ලැබෙන කොටස සාපේක්ෂව අඩු මුදලකි. මෙසේ ණයට ගත් හෝ 'නැති මුදල්' ආයෝජනය කිරීම සූදුවක් වන්නේ එබැවිනි.

කෙසේවුවද, රජය බංකොලොත් වීමේ ඉඩකඩ අමතක කළහොත් මේ සූදුව 'හොඳ' සූදුවකි.

සාමාන්‍යයෙන් සූදුවක ස්වභාවය වන්නේ එහි දිගින් දිගටම නියැලෙන අයෙකු අනිවාර්යයයෙන්ම පරාජිතයෙකු වීමයි. ඒ, සාමාන්‍ය සූදුවකින් අපේක්ෂා කළ හැකි දිගුකාලීන ප්‍රතිලාභ දිගුකාලීනව සූදුව වෙනුවෙන් වැය කරන මුදලට වඩා නොවැඩි බැවිනි. එහෙත්, මේ සූදුවේදී -රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී හැර- සූදුවෙහි දිගින් දිගටම නිරත වීමෙන් ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව තිබේ.

ඉහත කරුණ මෙසේ පැහැදිලි කළ හැකිය. රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී හැර, රටක පොලී අනුපාතික වසර හත අටකට වරක් පුනරාවර්තනය වන චක්‍රයක ඉහළ පහළ ගියත් දිගුකාලීනව කිසියම් ස්ථාවර මට්ටමක පවතී. ඒ නිසා දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ යාමට හා පහළ යාමට ඇති ඉඩකඩ ආසන්නව සමානය.

අප පෙර ලිපියේ (පස්වන කොටසේ) උදාහරණයකින් පැහැදිලි කළ පරිදි, පොලී අනුපාතික වෙනස් නොවුවහොත් දෙවසරක බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට වසරකට පසු එය විකුණා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකිය. වසරක කාලය තුළ පොලී අනුපාතික පහළ ගියහොත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි අතර, පොලී අනුපාතික ඉහළ ගියද ඒ ඉහළ යාම ඉතා සුළු ඉහළ යාමක් පමණක්නම් එහිදීද වැඩි ලාභයක් ලැබිය හැකිය. පාඩුවක් වන්නේ පොලී අනුපාතික කිසියම් මට්ටමක් ඉක්මවා ඉහළ ගියහොත් පමණි. රජය (හෝ වෙනත් බැඳුම්කර නිකුත් කරන්නෙකු) ආර්ථික වශයෙන් ස්ථාවරනම් මේ ඉඩකඩ 50%ට වඩා අඩු නිසා සූදුවෙන් දිගුකාලීනව ලාභයක් ලබන්නට පුළුවන.

කෙසේ වුවද, රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී, පොලී අනුපාතික එන්න එන්නම වැඩි වනවා මිස අඩු වීමට ඉඩක් නැති නිසා ඉහත පරිදි ලාබයක් ලැබිය නොහැකි අතර විශාල අලාභයක් වුවද සිදුවන්නට පුළුවන. එවැනි විටෙක වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් මේ ආකාරයේ අවදානමක් ගන්නා ආයෝජකයෙකුට සිදුවන්නේ විශාල පාඩුවක් ලබමින් වුවත්, ඊටත් වඩා වැඩි පාඩුවක් විඳින්නට ඇති ඉඩකඩ වලක්වා ගැනීමේ අරමුණින් සිය ආයෝජන ක්ෂණිකව විකුණා දමන්නටය. මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කර ආයෝජන පාඩු ලබමින් විකුණා දැම්මේ මේ පදනමිනි.

දිගුකාලීනව මුදල් හිර කර තැබීමේ හැකියාව ඇති සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයක් අනුගමනය කරන්නේ මේ ක්‍රමවේද දෙකෙන් පළමු ක්‍රමවේදයයි. 2015 වසර තුළදී සේවක අර්ථසාධක අරමුදල විසින් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 144,226ක ආදායමක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 143,055ක්ම (99.2% ක්) උපයා ඇත්තේ පොලී අදායම් වශයෙනි. ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස උපයා ඇත්තේ රුපියල් මිලියන 1,171ක් පමණි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභාලාභ ගිණුම් දෙස බැලූ විට පෙනෙන්නේ තනිකරම මෙහි අනිත් පැත්තයි. එම සමාගම විසින් 2015 වසර තුළදී රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර උපයා ඇති රුපියල් මිලියන 5,574.8ක මුදලින් ශුද්ධ පොලී ආදායම් ලෙස උපයා ඇති රුපියල් මිලියන 353.6ක් (6.34%ක්) පමණි. ඉතිරි ආදායම් උපයා ඇත්තේ ප්‍රාග්ධන ප්‍රතිලාභ වශයෙනි.

එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් කරන්නේ ආයෝජනය කිරීමකට වඩා සූදුවක නිරත වීමක් වැනි දෙයකි. ඔවුන්ගේ රුපියල් මිලියන 353.6ක් වන ශුද්ධ පොලී ආදායමෙහි සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ වඩාත් පැහැදිලි වේ. එම සමාගම වසර තුළ පොලී ආදායම් ලෙස රුපියල් මිලියන 942.8ක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 589.2ක්ම පොලී වියදම් ලෙස ආපසු ගෙවා තිබේ. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් වැඩිපුර ආයෝජනය කර ඇත්තේ වෙනත් අයගෙන් අඩු පොලියකට ණයට ගත් මුදල් බවයි. එසේනම්, ඔවුන්ගේ ව්‍යාපාරික ක්‍රමෝපායය වී ඇත්තේ අඩු පොලියට කෙටිකාලීන ණය ගනිමින්, වැඩි පොලී ලබා දෙන දිගුකාලීන ආයෝජන වල එම අරමුදල් යොදවා, මේ දිගුකාලීන බැඳුම්කර ඉතා ඉක්මණින් නැවත ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ප්‍රාග්ධන ලාභයක් මෙන්ම පොලී ආන්තිකයක්ද ඉපැයීමයි. ඉතා අවදානම් සහගත මේ සූදුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉතා හොඳින් ක්‍රීඩා කර තිබේ.

එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉපැයූ ඉතා විශාල ප්‍රතිලාභ අනුපාතිකය ඔවුන්ගේ සුවිශේෂී අවදානම් කළමණාකරණ කුසලතාවය මත උපයාගත් දෙයක්ද? එසේ නැත්නම්, වාසනාවට ලැබුණු දෙයක්ද? එසේත් නැත්නම්, අවදානම් කළමණාකරණ කුසලතාවය සඳහා ලැබිය හැකි ප්‍රතිලාභ මඟින් හා හුදෙක් වාසනාව මත ලැබිය හැකි ප්‍රතිලාභ වලින් පමණක් පැහැදිලි කළ නොහැකි 'වෙනත්' කොටසක් මෙහි තිබෙනවාද?

මේ ප්‍රශ්න වලට අපට නිශ්චිත පිළිතුරු දිය නොහැකි වුවත්, ප්‍රසිද්ධව ඇති තොරතුරු මත පදනම්ව, සිදුවිය හැකිව තිබුණු දේවල් යම් තරමකට විමර්ශනය කිරීමට බැරිකමක් නැත. අපි එය හෙමින් සැරේ කරමු.

5 comments:

  1. //පොලී ආදායම් ලෙස රුපියල් මිලියන 942.8ක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 589.2ක්ම පොලී වියදම් ලෙස ආපසු ගෙවා තිබේ. //

    දැන් මේ විදියට පර්පෙචුවල් ට්‍රෙෂරිස්ලාට අඩු පොළියට ණයට දීලා තියෙන්නේ ආණ්ඩුවේ සේවක අර්ථසාධක අරමුදල හා ලංකා බැංකුව වගේ ආයතන විසින්නේ,ඔවුන් තොර ගන්න ඇත්තේ අඩු අවදානම් ක්‍රමය වෙන්න ඇති ලාභ උපයන්න.මේ සුදුව අවදානමක් ගෙන සේවක අර්ථසාධක අරමුදල කෙරුවා නම් දැනට වඩා ප්‍රතිලාභ ඔවුන්ගේ සාමාජිකත්වයට ලබන්න තිබුනානේ.

    "පර්පෙචුවල් ට්‍රෙෂරිස්ලා" ලබා ගෙන තිබෙන ලාභයෙන් කුමන කොටසක් වගේද බදු වලට හසු වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බදු ගැන මගේ දැනීම යාවත්කාලීන නැහැ. මම හිතන්නේ ඔවුන් ආයතනික ආදායම් බදු ලෙස 28%ක් ගෙවිය යුතු බවයි.

      Delete
  2. pT එක 2015 මුළු ලාබයම උපයල තියෙන්නේ පෙබරවාරි 27 ගත්තු බැඳුම්කර වලින්ද? ලාබය ලබාගෙන තියෙන ආකාරය ගැන අනලයිස් එකක් දෙන්න පුලුවන්ද 2014ත් සංසන්දනය කරමින්?

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම එක් දවසක ගත් ඒවායින් විය නොහැකියි. මෙහි තියෙන ප්‍රශ්නයත් ඒකමයි.

      Delete
    2. ප්‍රශ්නයක් කිව්වේ? ඉදිරියට මෙය විස්තර කරන්න බලාපොරොත්තු වෙනවනම් මෙතන උත්තර නොදුන්නත් කමක් නැහැ.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.