Monday, June 19, 2023

පසුගිය සතියේ ඩොලරයේ හැසිරීම


පසුගිය සතියේ තරමක් උඩට ගිය ඩොලරයක මිල ඉහළ යාම නවත්වා හෝ පහළ යමින් තිබෙනවා. මේ වගේ අඩුවැඩි වීම් ගැන මම අනාවැකි කියන්න යන්නේ නැහැ. ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ තීරණය වන මිලක් ඔය විදිහට වරින් වර ඉහළ පහළ යන්න පුළුවන්. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. 

ඩොලරයක මිල රුපියල් විස්සකින් තිහකින් ඉහළ යාම රුපියල කඩා වැටීමක් නෙමෙයි. ඒ වගේම ඩොලරයක මිල රුපියල් විස්සකින් තිහකින් පහළ යාම ඩොලරය කඩා වැටීමකුත් නෙමෙයි. ඔය වගේ විචලනයන් පස්සේ ඕනෑවට වඩා පන්නන අයට ටික දවසක් යද්දී හති වැටෙයි. ඊට පස්සේ වෙළඳපොළක ස්වභාවය කියන්නේ මේක තමයි කියලා අවබෝධ වෙයි.

වසර අවසානය වෙද්දී ඩොලරයක මිල කීයක් වෙයිද වගේ ප්‍රශ්න ගොඩක් අයට තිබෙනවා. ලංකාවේ දැනට පවතින තත්ත්වයන් තුළ ඒ ගැන හරියටම කිව හැකි මූලධර්මයක් නැහැ. නිකම් අනුමානයක් පමණක් කරන්න පුළුවන්. එවැනි අනුමානයක් අහම්බෙන් වගේ හරියන්නත් පුළුවන්. මිල විචලනය විය හැකි පරාසය ගැන පමණක් යම් තරමකින් නිවැරදිව අනුමාන කරන්න පුළුවන්.

වසර දහයක් වැනි ඉතා දිගුකාලයක් ගත්තොත්, ලංකාවේ ඉලක්කය උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න එක. ඇමරිකාවේ ඉලක්කය උද්ධමනය 2% මට්ටමේ තියා ගන්න එක. ඒ නිසා, දිගුකාලීනව ඩොලරයක මිල වසරකට 3%කින් පමණ ඉහළ යා යුතුයි. ඒ අතර, කෙටිකාලීන විචලනයන් වෙන්න පුළුවන්. ඉල්ලුම හා සැපයුම තුලනය කරන්න එවැනි විචලනයන් අවශ්‍යයි.

ඔය දිගුකාලීන සමතුලිතතාව ඇති වෙන්නේ මුලින්ම කෙටිකාලීන අවිනිශ්චිතතා අවසන් වෙලා මිල යම් මට්ටමක ස්ථාවර වුනාට පස්සේ. මෙහිදී ස්ථාවර වෙනවා කියන්නේ විචලනයන් නවතිනවා කියන එක නෙමෙයි. විචලනයන් සැලකිය යුතු තරමින් සමමිතික වෙනවා කියන එක. 

දැනටත් විදේශ විණිමය ඉල්ලුම කෙරෙහි බලපාන සීමාවන් සියල්ල ඉවත් වී නැහැ. වාහන ආනයන තහනම හා ප්‍රාග්ධන සංචලන සීමා ඇතුළු සීමාවන් ගණනක් තවමත් ක්‍රියාත්මකයි. ඒ සීමා ඉවත් වෙද්දී ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, ඩොලරයක මිල ඉහළ යාමේ නැඹුරුව පහළ යාමේ නැඹුරුවට වඩා වැඩියි. හැබැයි මහා විශාල වැඩිවීමක් වීමේ ඉඩක්නම් පෙනෙන්න නැහැ.

පසුගිය සතියේ ඩොලරයක මිල ඉහළ යාමට ආනයන සීමා ඉවත් කිරීම බලපෑවා. ඒ බව කලින්ම පෙනෙන්න තිබුණු දෙයක්. මේ ඉල්ලුම සැපිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය බැංකු පද්ධතිය ඇතුළේ තිබුණා කියා මම හිතනවා. එහෙත්, ආනයන සීමා ඉවත් වෙද්දී ඩොලරයක මිල ඉහළ යයි කියා යම් පිරිසක් විශ්වාස කිරීම නිසාම වුවද ඉතා කෙටිකාලීනව යම් තරමකින් මිල ඉහළ යනවා. 

දැන් පැහැදිලිව පෙනෙන පරිදි පසුගිය සතියේ සිදු කළ ආනයන සීමා ඉවත් කිරීම් නිසා ආර්ථිකයට දරා ගත නොහැකි පරිදි ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් නැහැ. මගේ පෞද්ගලික අදහසනම් වඩා සුදුසු වන්නේ ඩොලරයක මිල තවත් ටිකක් ඉහළින් පැවතීම කියන එකයි. 

පසුගිය සතියේ ආනයන සීමා ඉවත් කරන්න පෙර ප්‍රතිපත්ති සම්පාදකයින්ට වගේම වෙළඳපොළ පාර්ශ්වකරුවන්ටත් එහි අවසන් ප්‍රතිඵලය පිළිබඳ යම් සැක සංකා තියෙන්න ඇති. එය එසේ නොවෙන්න හේතුවක් නැහැ. නමුත් මේ වෙද්දී ආනයන සීමා ඉවත් කළත්, එයින් ලොකු බලපෑමක් නොවන බව ඒ බොහෝ දෙනෙක්ට තේරුම් ගිහින් ඇති. ඒ නිසා, මගේ අදහසනම්, වාහන ආනයන සීමා හැර තව තිබෙන මොනවා හෝ සීමාවන් ඇත්නම් ඒ සීමාවන්ද ඉවත් කර දමන්න දැන් කාලය හරි කියන එකයි. එයින් ඩොලරයක මිලේ විශාල වෙනසක් සිදු වෙන එකක් නැහැ. ඊට පස්සේ වාහන ආනයන ගැනත් හිතා බලන්න ඉඩක් ලැබෙනවා. 

ඔය තහනම් සියල්ල ඉවත් කළාට පස්සේ වුනත් ඩොලරයක මිලෙහි විශාල වැඩිවීමක් වනු ඇතැයි මම හිතන්නේ නැහැ. එහෙත්, මෙය අනුමානයක් පමණයි. වෙළඳපොළ හැසිරීම පරීක්ෂා කරමින් සීමා එකින් එක ඉවත් කරන එකයි සුදුසු. හැබැයි ඩොලරයක මිල පහත වැටෙන්න හේතුත් නැහැ. ඒ වගේම, එහෙම ලොකුවට ඩොලරයක මිල පහත වැටෙනවානම් බොහෝ විට එහි සැඟවුණු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.

රටට එන විදේශ විණිමය ටික ආනයන ඇතුළු විණිමය අවශ්‍යතා සඳහා යොදා ගන්න ඉඩ ඇරීමෙන් පසුව මහ බැංකුවේ ඉතිරි සංචිත ඉලක්ක සපුරා ගැනීම සඳහාත් ප්‍රමාණවත් වුනත් ඩොලරයක මිල පහළට තල්ලු කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. පසුගිය මාස දෙක තුන තුළ ඩොලරය පහළට තල්ලු කර තිබෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ලෙස පැමිණි ඩොලර්. 

පසුගිය සතියේ මේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ප්‍රවාහ නැවතී තිබෙනවා. ඇතැම් විට එය තාවකලික තත්ත්වයක් වෙන්න පුළුවන්. මේ විදිහට එන ඩොලර් රටේ කිසිවෙකු විසින් ඉපැයූ ඩොලර් නොවන නිසා යම් අවස්ථාවක පොලියත් එක්කම ආපහු රටින් යනවා. එවිට විණිමය අනුපාතය මත දැනෙන තරමේ පීඩනයක් ඇති වෙන්න පුළුවන්. එයට මුහුණ දීම සඳහා ඒ විදිහට එන ඩොලර් වගේම ඒ ඩොලර් ආපසු ගෙනයාමේදී පොලී ලෙස එකතු කරගෙන යන කොටසත් සංචිත වලට එකතු කරගෙන තබා ගත යුතුයි. 

කොහොම වුනත්, පසුගිය සතියේ උදාහරණයෙන් පෙනෙන්නේ රුපියලේ බාහිර අගය මේ වන විට යම් තරමක කම්පනයකට මුහුණ දිය හැකි තරමට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩ නගාගෙන (resilient) ඇති බවයි. ඒ මේ වන විට ගොඩ නගා ගෙන තිබෙන නිල විදේශ සංචිත වල ශක්තියයි. 

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.