Thursday, May 18, 2023

ඩොලරය 300 සීමාවෙන් පහළට?


මහ බැංකු දත්ත අනුව අද (මැයි 18) ඩොලරයක සාමාන්‍ය ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා (රුපියල් 299.2144). ලංකාවේ විණිමය වෙළඳපොළ කුඩා වෙළඳපොළක්. සුළු හිඟයක් නිසා මිල සැලකිය යුතු ලෙස ඉහළ යනවා වගේම සුළු අතිරික්තයක් නිසා මිල සැලකිය යුතු ලෙස පහළ යන්නත් පුළුවන්. 

මිල පහළ යාමෙන් පෙනෙන්නේ වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගැනීමට වඩා විකිණීමට උනන්දු වන බවයි. මහ බැංකුව විසින් වාණිජ බැංකු වලට අනවශ්‍ය අතිරික්ත ඩොලර් වෙළඳපොළෙන් මිල දී ගන්නවා විය යුතුයි.

බැංකු පද්ධතිය ඇතුළේ කලක සිටම තිබුණේ බැංකුවක් බංකොලොත් කළ හැකි තරමේ ශුද්ධ විදේශ විණිමය හිඟයක්. වත්මන් මහ බැංකු අධිපතිවරයා වැඩ භාරගත් පසුගිය (2022) අප්‍රේල් මාසයේ සිට මෙම (2023) ජනවාරි මාසය තෙක් ක්‍රමයෙන් අඩු වූ මෙම ශුද්ධ විදේශ විණිමය හිඟය පසුගිය පෙබරවාරි මාසයේදී ශුද්ධ විදේශ විණිමය අතිරික්තයක් බවට පත් වුනා. ඒ නිසා, මේ වෙද්දී වාණිජ බැංකු වල විදේශ විණිමය අවදානම මුළුමනින්ම නොවේනම් බොහෝ දුරට පහ වෙලා. 

ඉහත ගණනයේදී ස්වෛරිත්ව බැඳුම්කර වල සහ සංවර්ධන බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන ඩොලර් පිළිබඳව කෙසේ සලකා ඇත්දැයි මා හරියටම දන්නේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දේශීය බැංකු වලද ඩොලර් වත්කම් අහිමි වීමක් සිදු විය හැකියි. එම පාඩුව දරා ගත හැකි එකක් වනු ඇති බව මගේ විශ්වාසයයි.

තමන්ට අනාගතයේදී ඩොලර් අවශ්‍ය වෙන්නේ නැත්නම්, වෙළඳපොළේ ඩොලර් විකුණන්නත් බැරිනම්, වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගන්න පෙළඹෙන්නේ ආයෝජනයක් ලෙස වාසියක් ඇත්නම් පමණයි. නමුත් මේ වෙලාවේ එවැනි වාසියක් නැහැ. රුපියල් ඩොලර් නොකර භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන එක ඊට වඩා වාසියි. ඒ නිසා, වාණිජ බැංකු විසින් ඩොලර් මිල දී ගෙන සංචිත පවත්වා ගන්න උනන්දු වන්නේ නැහැ. 

මහ බැංකුවට අඩු මිලකට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත හැකිනම් වැඩි මිලකට ඩොලර් මිල දී ගත යුතුයි කියා යෝජනා කරන්න බැහැ. පවතින තත්ත්වය තුළ ආනයන සීමාවන් ඉවත් කිරීම සුදුසු වුවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු ඒ සඳහා කල් ගන්නවා වෙන්න පුළුවන්. එය නරක ප්‍රවේශයක් නෙමෙයි. මොන අයුරකින් හෝ වැඩේ ගැස්සුනොත් සිදු වන දේ ගැනත් සිතිය යුතු නිසා හදිස්සි නොවී ඔය මාස කිහිපයත් බලන එක නරක නැහැ. 

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.