Wednesday, March 30, 2016

එකසිය පණහයි! ලාබයි!!


මහ බැංකු දත්ත අනුව අද (මාර්තු 30) වන විට එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල පළමු වරට ශ්‍රී ලංකා රුපියල් 150 මට්ටම ඉක්මවා තිබේ. මේ, ඒ පිළිබඳව කෙරෙන කෙටි විමසුමකි.

ශ්‍රී ලංකාව පාවෙන විණිමය අනුපාතික ක්‍රමය හඳුන්වාදුන්නේ 2001 ජනවාරි මස 23 දිනදීය (මතකයෙන් ලියන දෙයකි). රට මුහුණ දී සිටි ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ ගත් මේ රැඩිකල් තීරණයෙන් ඒ වන විට විදේශ අංශයේ පැවති අසමතුලිතතාව සමනය විය. ඒ වන විට අධිප්‍රමාණය වී පැවති රුපියල පාකළ වහාම එය එහි නියම අගයද ඉක්මවා අවප්‍රමාණය වුවත් දින කිහිපයකින් පසු විණිමය අනුපාතිකය වෙළඳපොළ බලවේග අනුව පැවතිය යුතු මට්ටමට ලඟා වී ස්ථාවර විය. එම වසර අවසානයේදී එක්සත් ජනපද ඩොලරයක (විකිණුම් හා ගැනුම් අනුපාතික අතර) මැදි මිල රුපියල් 93.16ක් විය.

මෙයින් අදහස් වන්නේ ලංකාවේ රුපියල් 93.16ක් වූ භාණ්ඩයක් සඳහා 2001 අවසානයේදී ඇමරිකානුවෙකු ගෙවිය යුතු වූ මිල එක්සත් ජනපද ඩොලර් 1.00ක් බවයි. මෙය '2001 සමතුලිත මිල' ලෙස අපි දැනට සලකමු. මේ මිල යටතේ ඇමරිකානුවන් යම් භාණ්ඩ ප්‍රමාණයක් ලංකාවෙන් ආනයනය කළේය. එමෙන්ම, ඩොලරයකට රුපියල් 93.16 බැගින් වැය කරමින් ශ්‍රී ලාංකිකයෝද කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවෙන් මිලදී ගත්හ. වෙළඳාමට කිසිදු බාධාවක් නොපැවතියත් කිසියම් භාණ්ඩයක ඇමරිකානු හා ශ්‍රී ලාංකික නිෂ්පාදන අතර කිසිදු වෙනසක් නැත්නම් හා එහි මිල ඇමරිකාවේදී ඩොලර් 1.00ක් ලෙසත් ලංකාවේදී රුපියල් 93.16ක් ලෙසත් පවතීනම් එම භාණ්ඩය දෙරට අතර වෙළඳාම් වීමට විශේෂ හේතුවක් නැත. එහෙත්, මිල වෙනසක් ඇත්නම් එවැනි භාණ්ඩයක් එක් රටෙකින් අනෙක් රටට විකිණෙනු ඇත.

2001දී ද.දේ.නි. අවධමනක අනුව ඇමරිකාවේ හා ලංකාවේ උද්ධමන අනුපාතික පිළිවෙලින් 2.3% හා 12.4% විය. මේ අනුව, 2001 අවසාන වන විට ඇමරිකානුවෙකු විසින් වසර මුලදී ඩොලර් 1.00කට මිලදී ගත් භාණ්ඩයක් සඳහා ඩොලර් 1.023ක් ගෙවිය යුතු විය. විණිමය අනුපාතිකය නොවෙනස්ව පැවතියේනම් මේ භාණ්ඩයේ මිල ශ්‍රී ලංකා රුපියල් 95.30ක් වනු ඇත. ඒ අතර රුපියල් 93.16 කට අලෙවි වූ දේශීය භාණ්ඩයක මිල 12.4% කින් වැඩි වී රුපියල් 104.70ක් වනු ඇත. මෙසේ වීනම්, පෙර පැවති මිල සමතුලිතතාවය වෙනස් වීම නිසා ඇමරිකානු භාණ්ඩය ලංකාවේ පාරිභෝගිකයින්ට වඩා ආකර්ශනීය වනු ඇත. එමඟින් ආනයන වැඩි වී අපනයන අඩුවී වෙළඳ හිඟය වර්ධනය වනු ඇත.

කෙසේවුවද, 2001 අවසාන වන විට ඇමරිකන් ඩොලරය රුපියල් 96.73 දක්වා අවප්‍රමාණය විය. ඒ නිසා ඇමරිකාවේදී ඩොලර් 1.023ක මිලකට අලෙවි වූ භාණ්ඩයක මිල රුපියල් වලින් ඇත්තටම 98.95ක් විය. මේ මිල රුපියල් 96.73 තරම්ම ආකර්ශනීය නොවූවත් රුපියල් 104.70ට වඩා ආකර්ශනීය බැවින් ලංකාව තුළ ආනයන තවත් දිරිමත් වන බව සහ අපනයන අධෛර්යමත් වන බව පැහැදිලිය. 2001 පැවති තත්ත්වයට සාපේක්ෂව වෙළඳ ශේෂය මත බලපෑමක් නොවීමටනම් විණිමය අනුපාතිකය රුපියල් 99.59ක් විය යුතුව තිබිණි. ඒ අනුපාතිකය යටතේ, අර ඇමරිකන් භාණ්ඩයේ මිලද රුපියල් 104.70ක් වන නිසා වෙළඳශේෂය මත විශේෂ බලපෑමක් නොවේ. වෙනත් අයුරකින් කිවහොත් 2001 පැවති තත්ත්වයට සාපේක්ෂව ආනයන හෝ අපනයන ප්‍රවර්ධනය වීමක් සිදු නොවේ.

ඉහත විස්තර කළ අයුරින් රටවල් දෙකක් අතර උද්ධමන අනුපාතික අතර වෙනස සමඟ හරියටම සැසඳෙන පරිදි නාමික විණිමය
අනුපාතික වෙනස් වුවහොත් එම රටවල් දෙක අතර වෙළඳශේෂයෙහි අසමතුලිතතාවක් ඇති නොවේ (ආරම්භයේදී එවැනි අසමතුලිතතාවක් නොපැවතියානම්).

ලංකාවේ උද්ධමනය සාමාන්‍යයෙන් ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩිය. ඒ නිසා ලංකාවේ අපනයන භාණ්ඩ වල තරඟකාරිත්වය පවතින මට්ටමේමවත් පවත්වාගත හැක්කේ මේ උද්ධමන වෙනසට අනුකූලව රුපියල අවප්‍රමාණය වන්නට ඉඩ හැරීමෙනි. කෙසේවුවද, ශ්‍රී ලංකා රුපියල පාකර හැරි අවස්ථාවේ සිට මේ දක්වා එය ඒ ආකාරයෙන්ම සිදුවී නැත.


පහත වගුවේ පෙන්වා ඇති පරිදි, අඩු වශයෙන් 2001 පැවති ක්‍රය ශක්ති සාම්‍ය මට්ටම පවත්වා ගැනීමටනම් 2015 අවසානයේදී ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 213.59ක් වුවත් සැබෑ විණිමය අනුපාතිකය වූයේ රුපියල් 144.06කි. මේ අනුව, 2001 මට්ටමට යන්නටත් රුපියල තවත් 48.2%කින් අවප්‍රමාණය  විය යුතුය.



වෙනත් අයුරකින් කියවනවානම් 2001 අවසානයට සාපේක්ෂව, 2014 අවසානයේදී ආනයනික භාණ්ඩ ලංකාව තුලදී 48.2%කින් මිල අඩු වී ඇති අතර ලංකාවේ අපනයන 48.2%කින් තවමත් මිල වැඩිය. මේ වෙනස 2004දී පැවතියේ 4% මට්ටමේය. එය 2005 වන විට 14% දක්වාත්, 2008 වන විට 42% දක්වාත්, 2010 වන විට 62% දක්වාත් වැඩි විය. 2014 අවසානයේදීත් මේ වෙනස 61% මට්ටමේ පැවතියේය.

මෙවැනි තත්ත්වයක් පවතින විට රටේ ආනයන විශාල ලෙස වැඩිවීමත් අපනයන අඩුවීමත් සිදුවිය යුතුය. එය එසේ සිදුවී ඇති බව සංඛ්‍යාලේඛණ පිරික්සන විට පැහැදිලිව පෙනේ. 2001 වසරේදීද රටේ ආනයන හා අපනයන අතර සැලකියයුතු වෙනසක් තිබුණේය. මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 4.82ක් වෙද්දී මුළු ආනයන වියදම ඩොලර් බිලියන 5.97ක් විය. මේ අනුව, වෙළඳ හිඟය අපනයන ආදායමෙන් 23.9%ක් විය. 2011 වන විට මේ පරතරය 92.0% දක්වා වර්ධනය විය. එම වසරේදී ඩොලර් බිලියන 20.3 දක්වා ආනයන පිරිවැය ඉහළ යද්දී අපනයන ආදායම වූයේ ඩොලර් බිලියන 10.6ක් පමණි. පසුගිය 2015 වසර තුළදීද අපනයන ආදායම වූ ඩොලර් බිලියන 10.5ට වඩා 80.3%ක් වැඩියෙන් ඩොලර් බිලියන 18.9ක් අපනයන වෙනුවෙන් වැය කර තිබේ.


ආනයන ආදායම ඉක්මවමින් අපනයන පිරිවැය මෙසේ ඉහළ යන විට රටකට විදේශ විණිමය හිඟයකට මුහුණදීමට සිදුවන බව ඉතා පැහැදිලි කරුණකි. එය යම් තරමකින් වැලකී ඇත්තේ විදෙස් ශ්‍රමිකයින් විසින් එවන ප්‍රේෂණ නිසාය. එහෙත්, වෙළඳහිඟය සම්පූර්ණයෙන් පියවා ගැනීමට මේ ප්‍රේෂණ ප්‍රමාණවත් නැත. ප්‍රමාණවත් තරමින් ප්‍රාග්ධන ගලා ඒමක්ද සිදුනොවන විට සිදුවන්නේ පාත්තරය ගෙන ලෝ වටා පිණ්ඩපාතේ යාමටය. එහෙත්, බොහෝ විට විදෙස් විණිමය සොයාගත හැක්කේ ණය මිස ආධාර ලෙස නොවේ. ඒවා ඉන්පසු පොලියද සමඟ ගෙවීමට තවත් විදෙස් විණිමය අවශ්‍ය වේ. රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමට ඉඩ හැරීම මේ චක්‍රයෙන් ගැලවීම සඳහා ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවුවද අනිවාර්ය අවශ්‍යතාවයකි.

ඉන්දියාව සමඟ පෙර අත්සන් කළ ගිවිසුම් වලින් ලැබුණු වාසිය කුමක්දැයි ඇතැම් අය විමසති. එයට පිළිතුරක්ද මෙහි තිබේ. 2001 වසරට සාපේක්ෂව 2010-2014 කාලයේදී ආනයනික භාණ්ඩ 60%කින් පමණ මිල අඩු විය. ඒ අනුව, 2001දී ලංකාවේ අල කිලෝවක් ඉන්දියානු අල කිලෝවක මිලට සමානවීනම් 2010 වන විට දේශීය අල කිලෝවක මිල 60%කින් මිල ඉහළ ගොස් ඇත. ඒ දේශීය ගොවියාගේ අකාර්යක්ෂමතාවයක් හේතුවෙන් නොවේ. රටේ විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසාය. ඉන්දු-ලංකා වෙළඳාමෙන් ඉන්දියාවට වැඩි වාසියක් අත්කරගත හැකි වීමට මෙයද ප්‍රධාන හේතුවකි.

මේ අයුරින්ම, තේ, රබර් ආදියට ලැබෙන මිලද 60%කින් අඩු වී ඇත. විණිමය අනුපාතිකය ක්‍රය ශක්ති සාම්යය අනුව 2001 මට්ටමේ පැවතියානම් තේ, රබර් මෙන්ම ඇඟලුම් අපනයනකරුවන් රුපියල් වලින් 60%ක් ඉහළ ආදායමක් ලබන නිසා එම අංශ වල ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයද වඩා යහපත් විය හැකිව තිබුණි. එමෙන්ම, මැද පෙරදිග ශ්‍රමිකයින් එවන මුදල් වලටද 60%ක් වැඩි රුපියල් වටිනාකමක් ලැබිය හැකිව තිබුණි.

විණිමය අනුපාතිකය අඩුවීමෙන් වාසි සැලසුනේ කාටද? ඉන්ධන හා වාහන මිලගණන් 'සමතුලිත' මිලට වඩා 60%ක් අඩුවිය. එහෙත්, බදු නිසා මේ වාසිය ලැබුණේ රජයට මිස පාරිභෝගිකයින්ට නොවේ. ආනයනික ආහාර ද්‍රවය හා අදාලවනම් රජයට ලැබුණු බදු ආදායමට අමතරව පාරිභෝගිකයින්ටද වාසියක් ලැබෙන්නට ඇත.

රුපියල වැටීම බොහෝ දෙනා දකින්නේ විශාල ප්‍රශ්නයක් ලෙසය. රුපියල අවප්‍රමාණය වීම පසුපස ඇති, රාජ්‍ය අයවැය හිඟය මූලික වූ, දීර්ඝකාලීන ආකෘතිමය ප්‍රශ්න කණස්සල්ලට කරුණක් වුවත් තවමත් සිදුවන්නේ විණිමය අනුපාතිකයේ අත්‍යාවශ්‍ය නිවැරදිවීමකි.


(Image: bizenglish.adaderana.lk)

10 comments:

  1. මම මුලිං රෑකියාවට යන විට මගේ පඩිය රු 3,500/= ඒ කෙන් සේව්‍යයාගේ සහ සේවකයාගේ යන දෙදනාගේම එකතුව වශයෙන් අර්ඨසාදකයට ගිය මුදල රු875/= . දැන් මේ මුදලේ වටිනාකම පිච්චියට ගොස් ඇත. දැන් මා වැටුප පළමු වැටුප මෙන් තිස් ගුණයක් වී ඇත. එහෙත් අර්ත සාදකය ලැබුණ දිනක එය බැංකුවවේ ස්තිර තැන්පතක් ලෙස දමා පොලියෙන් ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවෙයිද ?

    ReplyDelete
    Replies
    1. මෙය ඔබේ ආදායම්, වියදම් හා ඉතිරි කිරීම් රටා මත තීරණය වන්නක් නිසාත්, ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති බටහිර රටකට හෝ ඉන්දියාව වැනි රටකට සාපේක්ෂව දේශපාලන වෙනස්කම් අනුව විචල්‍ය වන නිසාත් නිශ්චිත පිළිතුරක් දිය නොහැක.

      Delete
  2. ලංකාව වගේ රටක් සංවර්ධනය කරන්න නම් කැපිටල් ෆ්ලෝ එකක් ඕන. මට අනුව ලංකාවෙ ප්‍රශ්නය ප්‍රාග්ධනය හිඟකම . සාපේක්ෂව ස්ථාවර විනිමය අනුපාතිකයක් නැත්නම් සෘජු විදේශ අයෝජන එන්නෙ නැහැ නේද? මෙහෙම ගියාම ඩිරෙක්ට් ඉන්වෙස්මන්ට් එයිද?

    ReplyDelete
  3. ලංකාව වගේ රටක් සංවර්ධනය කරන්න නම් කැපිටල් ෆ්ලෝ එකක් ඕන. මට අනුව ලංකාවෙ ප්‍රශ්නය ප්‍රාග්ධනය හිඟකම . සාපේක්ෂව ස්ථාවර විනිමය අනුපාතිකයක් නැත්නම් සෘජු විදේශ අයෝජන එන්නෙ නැහැ නේද? මෙහෙම ගියාම ඩිරෙක්ට් ඉන්වෙස්මන්ට් එයිද?

    ReplyDelete
    Replies
    1. උදිත: සෘජු විදේශ ආයෝජන ලංකාව වැනි රටක සංවර්ධනයට ඉතාම වැදගත් බව ඇත්ත. විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජන සමඟ ප්‍රාග්ධනයට අමතරව තාක්ෂණය සම්ප්‍රේෂණය වීමත්, සෘජු විදේශ ආයෝජන වෙනත් ප්‍රාග්ධන ප්‍රවාහ වලට සාපේක්ෂව දිගුකාලීන ආයෝජන නිසා ප්‍රාග්ධනය ක්ෂණිකව ඉවත් වීමේ අවදානම නැති වීමත් එයට ප්‍රධාන හේතුයි. වත්මන් ලෝකයේ සෘජු විදේශ ආයෝජන ගලායාම් බොහෝ දුරට සිදුවන්නේ මෙවැනි ආයෝජන වල දිගුකාලීන වාසි මත. එතැනදී ආයෝජකයෙකුට රටක දේශපාලන, සමාජ හා ආර්ථික ස්ථාවරත්වය වැදගත් වෙනවා. ඒ වගේම සංස්කෘතික සාධක පවා සෑහෙන දුරකට බලපානවා. අවිනිශ්චිතතාවන් අඩුවී අනාගත සමාජ, දේශපාලනික හා සාර්ව ආර්ථික තත්ත්වයන් පුරෝකථනය කිරීම පහසු වූ විට සෘජු විදේශ ආයෝජන වැඩි වෙනවා. මේ සඳහා වැදගත් වන්නේ ස්ථාවර විණිමය අනුපාතිකයක් පවත්වා ගැනීම නෙමෙයි. වැදගත් වන්නේ ස්ථාවර විණිමය අනුපාතික ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමයි. මේ දෙක දෙකක්. විණිමය අනුපාතිකය පාකිරීමෙන් පසු ගත වූ පසුගිය වසර පහළොව දෙස බැළුවොත් බොහෝ විට ලංකාවේ විණිමය අනුපාතික ප්‍රතිපත්තිය වී ඇත්තේ 'කෙසේ හෝ' විණිමය අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීම. එහෙත්, ආර්ථිකයේ මූලිකාංග වලට එරෙහිව එසේ කිරීම අපහසු වීම නිසා වසර තුන හතරකට වරක් ගෙවුම් ශේෂ අර්බුදයක් එනවා. එවිට ජා.මූ.අ. පහසුකමක් ලබාගෙන, එක වරම විණිමය අනුපාතිකය විශාල ලෙස අවප්‍රමාණය වෙන්නට හැර ප්‍රශ්නය විසඳගන්නවා. නැත්නම් විදෙස් ණයක් ගන්නවා. ඉන්පසු නැවතත් චක්‍රයේ මුලට යනවා. රටේ විණිමය අනුපාතිකය ආර්ථිකයේ මූලිකාංග සමඟ නොගැලපෙන විට කොයි මොහොතක හෝ එය ක්ෂණිකව නිවැරදි වන බව සෘජු විදේශ ආයෝජන කරන මට්ටමේ පුද්ගලයෙකු හෝ ආයතනයක් දන්නවා. ඒ නිසා අවිනිශ්චිතතාවය වැඩි වන්නේ විණිමය අනුපාතිකය 'කෙසේ හෝ' ස්ථාවරව පවත්වා ගැනීම තුළයි. එය නිසි පථයේ අවප්‍රමාණය වනවානම් එක් වර කම්පන ඇති වන්නේ නැහැ. කෙසේවුවත්, මේ සෘජු විදේශ ආයෝජන පිලිබඳ තත්ත්වයයි. කෙටි හා මැදිකාලීන ප්‍රාග්ධන ගලාඒම හා අදාලවනම් මෙවැනි තාවකාලික වාසියක් තියෙනවා. ඒත් එවැන්නන් යම් ආකාරයක 'සූදු කරුවන්'. ඒ ආකාරයේ ප්‍රාග්ධනය හිටිවනම ආපසු යන විට රටකට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකියි. ඇත්තටම දැන් වෙන්නේත් තරමක් දුරකට එවැන්නක්.

      Delete
  4. කැරකෙනව වගේ. ගෙදර යද්දි කියවන්න ප්‍රින්ට් අවුට් එකක් ගත්ත.

    ReplyDelete
  5. ඉකොන්ගෙ ලිපිවල වටිනාකම වැඩිවෙන්නෙ මෙන්න මේ වගේ ඉකොනොමැට්ටාට වැඩිය මැටි ඕනිම මැට්ටෙකුට තේරෙන විදිහට මේවා ලියන එක

    ReplyDelete
    Replies
    1. තේරෙන්න ලියවිලා තියෙනවනම් ඒ ගැන සතුටුයි.

      Delete
  6. හරි සරලයි, පැහැදිලියි. හැබැයි තෙල බෙදන අාර්ථික ඔස්තාද් කෙනක් කියනව වැරදීලු, හැබැයි ඒයාට ෙමව්වා කියවන්න ෙවලාවකුත් නැතිළු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සරල කරුණක්‌. විශේෂ පුහුණුවක් නැති සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැරි මැජික් කිසිම එකක් නෑ.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.