Friday, May 13, 2016

ලංකාව ණය උගුලක හිර කළේ කවුද?

ලංකාව විශාල ණය උගුලක පැටලී සිටින බව මේ වන විට බොහෝ දෙනෙකු දන්නා සහ පිළිගන්නා කරුණකි. ණය උගුලෙන් ගැලවීමේ උපාය මාර්ග සෙවීමේදී මේ ණය උගුලේ පැටළුණු ආකාරය අවබෝධ කරගැනීම වැදගත් වුවත් එහි වගකීම යම් නිශ්චිත පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මත පැටවීමෙන් ලැබෙන විශේෂ වාසියක් නැත.

ණය මල්ලට සම්මාදම් වූ අය කවුරු වුවත් එයින් ගැලවීමේ ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ප්‍රධාන වශයෙන්ම ඇත්තේ මේ වන විට රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කරන පුද්ගලයින් අතේය. එසේ ගන්නා නිවැරදි ක්‍රියා මාර්ගයකට සහයෝගය දීම රටේ සෑම පුරවැසියෙකුගේම වගකීමකි. එමෙන්ම, රටේ පාලනාධිකාරිය එම සහයෝගය ලබා ගත හැකි පරිදි ක්‍රියාකිරීමද වැදගත්ය. කෙසේවුවද, සිදුවන්නේ එවැන්නක්ද යන්න සැක සහිතය.


ලංකාව නිදහස ලබන විට ඉංග්‍රීසින් විසින් භාර දී ගියේ ලෝකයටම  ගෙවන්නට ඇති ණය ගොඩක් සමඟ හිස් භාණ්ඩාගාරයක් නොවේ. 1950 වන විටද ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් පමණක් වූ අතර එම මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 16.9%ක් පමණි. එතැන් සිට සියළු රජයයන් යටතේ සිදු වුණේ මේ ණය මල්ල පැටවු  ගැසීමයි. 2015 අවසාන වන විට රුපියල් මිලියන 8,503,227ක් දක්වා මේ ණය මල්ල ලොකු වූ ආකාරය පහත වගුවේ පෙන්වා තිබේ.



නිදහසින් පසු කිසිම රජයක් යටතේ ලංකාවේ ණය අඩු වී නැත. එහෙත්, ඇතැම් කාලවලදී වෙනත් කාල වලදීට වඩා අඩුවෙන් ණය ගෙන තිබේ. පහත රූප සටහනේ ඇත්තේ එක් එක් කාල වකවානු තුළ රාජ්‍ය ණය ප්‍රමාණය වර්ධනය වූ සාමාන්‍ය වේගයයි.




නිදහසින් පසු පැවති බොහෝ පාලන කාලයන්හිදී  අඩු වශයෙන් 13-14% පමණ ප්‍රතිශතයකින් වාර්ෂිකව ලංකාවේ ණය ප්‍රමාණය ඉහළ ගියේය. මේ ප්‍රවණතාව ඇරඹුණේ 1950 දශකයේදීමය. 

ඒ කාලයේ ඇරඹුණු සහනාධාර ආර්ථිකයෙන් ගැලවෙන්නට ලංකාවට පහසු වුනේ නැත. කෙසේ වුවද, ණය වැඩි වීමට සමාන්තරව රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වීමේ වේගයේ සිදු වූ වෙනස්කම් නිසා රටේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඇතැම් කාලාන්තර තුළදී ණය ප්‍රමාණය වැඩි වීමත් තවත් කාලාන්තර වලදී අඩු වීමත් සිදු විය.

නිදහසින් පසු ගතවූ මුල් දශක දෙක තුළදීද පෙර වසරට සාපේක්ෂව ලංකාවේ ණය වර්ධනය සිදු වූයේ පසුකාලීනව එය සිදු වූ වේගයට ආසන්න වේගයකිනි. එහෙත්, ඒ කාලයේදී ණය කන්දක් ගොඩ ගැසී නොතිබුණු නිසා මෙය බරපතල ප්‍රශ්නයක් ලෙස පෙනුණේ නැත.

සමඟි පෙරමුණු රජය ඇරඹෙන විට ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණය 62.5%ක් වූ අතර එම පාලන කාලය තුළ ණය ගැනීම සිදුවුනේ අඩුවෙන් නිසා ජයවර්ධන පාලනය ඇරඹෙන විට මේ ප්‍රතිශතය 58.5% දක්වා අඩු විය.

ලංකාව ණය උගුලට පා තැබුවේ නිදහස ලැබූ අළුතම වුවත් ගැලවෙන්නට නොහැකි පරිදි උගුලේ හිර වුනේ ජයවර්ධන පාලන කාලයේදීය. 1977-88 කාලය තුළ වාර්ෂික සාමාන්‍ය ණය වර්ධනය 24% පමණ  වූ අතර එම වසර 12 තුල රටේ ණය මල්ල 13 ගුණයකින් වර්ධනය වී දළ ජාතික නිෂ්පාදිතයද ඉක්මවා ගියේය. රට ණයෙන් දුවනවාට අමතරව ණයෙන් දුවන ගෘහස්ථ ආර්ථික සංස්කෘතියක් ප්‍රවර්ධනය කළේද ජයවර්ධන පාලනයයි. 


මහ බැංකු වාර්තා පරික්ෂා කර අවශ්‍ය කෙනෙකුට තහවුරු කර ගත හැකි මා ඉහත ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛණ වලින් මේ කරුණු පැහැදිලි විය යුතුය. ජයවර්ධන පාලනය අවසන් වන විට රටේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ඉක්මවා තිබුණු අතර 1988/89 කාලයේදී ජවිපෙ විසින් රටේ ආර්ථික වර්ධනය අඩාල කිරීමේ හේතුවෙන් 1989 අවසන් වන විට ලංකාවේ ණය මල්ල රටේ සමස්ත නිෂ්පාදිතයටද වඩා 8.7%කින් වැඩි විය.

ජයවර්ධන යුගයෙන් පසු අද දක්වාම ලංකාව පාලනය කෙරෙන්නේ එදාවේල ක්‍රමයටය. රජයේ ආදායම ණය පොලී හා වාරික සඳහාවත් ප්‍රමාණවත් නැති තත්ත්වයකට පත් වීමෙන් පසු, එක් වර සිදුවිය හැකි විශාල ආර්ථික කඩා වැටීමක් වහා සිදුවීම වලක්වා ගත හැකි එකම ක්‍රමය තව තවත් ණය ගැනීමයි. ජයවර්ධන යුගයෙන් පසු දිගටම සිදු වූයේත්, සිදු වන්නේත් එයයි. ණය නොගෙන සිටියහොත් ආර්ථිකය වහා අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකිය.


කෙසේ වුවද, ණය මල්ල වැඩි වෙද්දී අළුතින් තවත් ණය ගැනීම එන්න එන්නම අමාරු වේ. ණය ආපසු ලැබීමේ අවදානම වැඩි නිසා වැඩි වැඩියෙන් පොලී ගෙවන්නට සිදු වන අතර එයින් ණය බර තවත් වැඩි වේ. ඇතැම් විට අවශ්‍ය ණය අරමුදල් කවර කොන්දේසි යටතේ වුවද සපයා ගැනීම අසීරු වේ. ජයවර්ධන යුගයෙන් පසු රට පාලනය කළ සෑම රජයකටම මේ යථාර්තයට මුහුණ දෙන්නට සිදු විය. ඒ නිසා, ඒ සෑම රජයක්ම රාජ්‍ය අයවැය පරතරය අඩුවෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හඳුනා ගත්තේය. එහෙත්, ඒ සඳහා දැරුණු උත්සාහයන් බොහෝ අවස්ථා වලදී ආර්ථික නොවන දේශපාලනික කරුණු මත ව්‍යවර්ථ විය.

පසුගිය ජනධිපතිවරයාගේ ධුර කාලය තුළද රටේ ණය විශාල ලෙස ඉහළ ගිය නමුත් ඒ කාලයේ වාර්ෂිකව රාජ්‍ය ණය තොගය වර්ධනය වූ 13%ක වේගය නිදහසින් පසු ප්‍රථම අගමැති වරයාගේ ධුර කාලය හැරුණු විට අඩුම වේගයයි. අනෙක් සෑම කාලයකදී රාජ්‍ය ණය වර්ධනය මීට වඩා වේගයෙන් හෝ ආසන්නව මේ වේගයෙන්ම සිදු වී තිබේ. අනෙක් අතට, නිදහසින් පසු රටේ ආර්ථික වර්ධනය වැඩිම වේගයෙන් සිදුවූයේ මේ කාලයේදීය. ඒ නිසා, 2014 වන විට ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 70.7 දක්වා අඩු කර ගැනීමට හැකි විය. ඒ නිසා රාජ්‍ය ණය බරෙහි වගකීම පසුගිය පාලනය මත පැටවීම තේරුමක් නැති දෙයක් වනවාට අමතරව තර්කානුකූලද නැත.

ලංකාවේ ආර්ථිකය මෙහෙයවීම කවරෙකු භාර ගත්තද මේ වන විට පවතින තත්ත්වය අනුව, ඇත්ත වශයෙන්ම ජයවර්ධන යුගයෙන් පසුව දිගටම පවතින තත්ත්වය අනුව, ක්ෂණික කඩා වැටීමක් වලක්වා ගැනීම සඳහා පමණක් වුවද තව තවත් ණය ගැනීමට සිදුවීම ප්‍රායෝගික යථාර්තයකි. එසේ ගනිද්දී, යම් හෙයකින් ආර්ථිකය කඩා වැටුනොත් සිදුවන අවදානමද එන්න එන්නම වැඩි වේ.

කෙසේවුවද, කළ යුත්තේ අළුතින් ණය ගැනීම හැකිතාක් සීමා කිරීම හා තිබෙන සීමිත සම්පත් හැකි උපරිම කාර්යක්ෂමතාවයෙන් ආර්ථික වර්ධනය උදෙසා උපයෝගී කර ගැනීමයි. දැනට පෙනෙන්නේනම් ණය වර්ධනය වීම පැවති වේගයටත් වඩා වැඩියෙන්
සිදුවන බවයි. පසුගිය පාලනය යටතේ ලබාගත් ණය ගැන ප්‍රචාරණය කිරීම වර්තමානයේ වැඩි වේගයකින් සිදුවන දේශීය ණය ගැනීම් ආවරණය කර ගැනීමට ගන්නා උත්සාහයක් බව පෙනේ. මෙය රජයට පාරාවළල්ලක් විය හැකි ආකාරය ගැන පසුව කතා කරමු.

මීළඟ ලිපිය: ආර්ථික අර්බුදය හඳුනාගනිමු! 

26 comments:

  1. පහුගිය කාලේ (2005-2014) ගත්ත නය ඔක්කොම මෙතන ගනනය වෙලා තියනවද කියන එක ප්‍රශ්ණයක්. උදාහරණයක් විදියට දේශීය බැංකුවලින් ගත් නය. අනික තමයි හම්බන්තොට වරාය අදියර 1 සහ දෙක ට චීනයෙන් 6% පොලියට ගත් ඩොලර් මිලියන 1000 ක පමණ නය මුදල. මේ නය වාරිකය සහ පොලිය ගෙවන්නේ රජයෙන් නොවේ. වරාය අධිකාරියෙන්. ඒක මේතන එකව්න්ට් වෙලාතියනවද කියන එක ප්‍රශ්ණයක්

    ReplyDelete
    Replies
    1. මේ ගණන් වලට රජය විසින් දේශීය බැංකු වලින් ගත් ණය ඇතුළත් ඇනෝ. වඩාත් පැහැදිලිව කිවුවොත්, මහ බැංකුවෙන් සහ රාජ්‍ය බැංකු වලින් ගත් ණයත්, අර්ථසාධක අරමුදල ආදියෙන් ගත් ණයත් ඇතුළත්. ඒත් (මම දන්න තරමින්) රාජ්‍ය සංස්ථා, මණ්ඩල ආදිය මඟින් ගත් ණය ඇතුළත් නැහැ. ඒ නිසා මා හිතන පරිදි ඔබ කියන වරාය අධිකාරියෙන් ලබාගත් ඩොලර් මිලියන 1000 ඇතුළත් නැතුව ඇති. මෙය රුපියල් වලින්නම් මිලියන 130,000 පමණ විය යුතුයිනේ. මිලියන 8,503,227 සමඟ සැසඳූ විට මේ මුදල ගොඩක් ලොකු ගණනක් නොවුණත් නොසලකා හරින්න පුළුවන් තරම් පොඩි ගාණකුත් නෙමෙයි. මධ්‍යම රජයේ ගැරන්ටි එකක් සහිතව රාජ්‍ය ආයතනයක් විසින් ණයක් ලබාගත් විට එහි වගකීමත් රටේ ජනතාව වෙත පැටවෙන නිසා එවැනි ණයත් රාජ්‍ය ණය වලම කොටසක් ලෙස සිතිය යුතු බව මගෙත් අදහසයි. 2014 අවසාන වන විට එවැනි ණය රුපියල් මිලියන 440,329ක් තියෙනවා (ඔබ සඳහන් කර ඇති වරාය අධිකාරියේ ණය මෙන් තෙගුණයක් පමණ). ඒ මුදල එකතු කළොත් 2014 අවසානයේ තිබුණු ණය ද.දේ.නි. අනුපාතයක් ලෙස 74.9% පමණ දක්වාත් 2015 අග වන විට 79.4% දක්වාත් ඉහළ යනවා. ඒ විදිහට බැලුවොත් 2015 අවසානයේදී මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 8,885,445ක් (රුපියල් මිලියන 382,218ක් එකතු කර). මෙසේ රාජ්‍ය ආයතන මඟින් රජයේ වගකීම පිට ලබාගත් ණය ඇතැම් විට පෙර වසර වලදීත් තියෙන්න ඇති. සංඛ්‍යාලේඛණ හොයාගන්න නැහැ.

      Delete
    2. පසුගිය රාජ්‍ය සමයේදී රජයේ සංස්ථාපිත ආයතන වන මාර්ග සංවර්ධන අධිකාරිය, විදුලිබල මණ්ඩලය වැනි ආයතන අන්සොලිසිටේටඩ් ප්‍රොපසල් මගින් රාජ්‍ය හා විදේශ එක්සීම් බැංකු හරහා ණය ගත්තා. අධිවේගීමාර්ග වැනි දේ ගොඩ නැගුවේ මේ මුදල් හරහායි...මෙහිදී රජයේ භාණ්ඩාගාරය ඇපකරුවෙකු ලෙස ක්‍රියා කලත් ඇත්ත ණය ගණුදෙනුවෙ මූලිකව සිදුවුනේ අදාල කොන්ත්‍රාත්කරු හා රජයේ ව්‍යස්ථාපිත ආයතනයයි....මුදල් සපයන එක්සීම් බැංකුව හෝ රජයේ බැංකුව හා භාණ්ඩාගරය අතර තිබුනේ කොන්ත්‍රාත්කර්රු හා ව්‍යාස්ථාපිත මණ්ඩලය අතර ඇති කර ගත් එකඟතාවයෙන්....

      ඔබ සදහන් කර ඇති ණය මුදල් වලට මෙවන් ගණුදෙණු වල සිදුවුනු ණය ප්‍රමානයයන් ඇතුලත් ද?


      මගේ දෙවෙන ප්‍රශ්ණය , ලෝක වෙලදපෝලේ තෙල් මිල අඩු වෙවි තියෙන වෙලාවේ ලංකාවේ තෙල් මිල ඉහල මට්ටමක ( රාජපක්ශ සමයේ තිබු තෙල් මිලටම) පවත්වා ගෙන යෑම මගින් මේ ණය බර හැල්ලු කර ගැනීම සදහා උදව්වක් ගන්න හැකියාවක් තිබ්බද?

      Delete
    3. මයියා:
      මෙම ලිපිය තනිකරම පදනම් වන්නේ සති කිහිපයකට පෙර නිකුත් කළ අළුත්ම මහ බැංකු වාර්තාවේ ඇති දත්ත මත පමණයි. වෙනත් ඕනෑම කෙනෙකුට මේ දත්ත ලබාගෙන මා කළ විශ්ලේෂණය කළ හැකියි. ඒ වගේම, ප්‍රසිද්ධියට පත් කර නැති දත්ත, තොරතුරු හෝ සංඛ්‍යාලේඛණ ගැන මට දැන ගැනීමට ක්‍රමයක් නැහැ.

      //රජයේ භාණ්ඩාගාරය ඇපකරුවෙකු ලෙස ක්‍රියා කලත් ඇත්ත ණය ගණුදෙනුවෙ මූලිකව සිදුවුනේ අදාල කොන්ත්‍රාත්කරු හා රජයේ ව්‍යස්ථාපිත ආයතනයයි.//

      ඉහත ගණන් වලට මෙසේ රජයේ ව්‍යස්ථාපිත ආයතනය විසින් ලබා ගත් ණය ඇතුළත් නැහැ. රජයේ භාණ්ඩාගාරය ඇපකරුවෙකු ලෙස ක්‍රියා කර එසේ ලබාගත් ණය ප්‍රමාණය මහ බැංකු සංඛ්‍යාලේඛණ වල වෙනම පේළියක තියෙනවා. මගේ උඩින් ඇති ප්‍රති-ප්‍රතිචාරයේ ඇත්තේ එම ගණන්. කෙසේවුවත්, ඒ ගණන් නිසා ලිපියෙන් මතු කරන මුඛ්‍ය කරුණ වෙනස් වෙන්නේ නැහැ.

      දෙවන කරුණත් වැදගත් කරුණක්. තෙල් සංස්ථාව විසින් වසර ගණනක් ඔවුන්ගේ වාර්ෂික වාර්තා වෙබ් සයිට් එකේ ප්‍රසිද්ධ කළා. එහෙත්, වසර කිහිපයක සිට මෙය නැවතී ඇති නිසා මට නිවැරදි විශ්ලේෂණයක් කරන්න අමාරුයි. මේ දත්ත ලබා ගත හැකි ක්‍රමයක් තියෙනවනම් මම ගොඩක් සතුටුයි.

      අප විසින් තෙල් සංස්ථාව රජයේ මධ්‍යම රජයේ කොටසක් නොවන ලෙස සැලකුවොත් රජයට ආදායමක් ලැබෙන්නේ තෙල් මත පනවන බදු වලින්. බදු ආදායම තීරණය වන්නේ විකිණූ තෙල් ප්‍රමාණය සහ ඒකකයක් මත පනවන බදු ප්‍රමාණය (බදු ආකෘතිය) මත. බදු ආකෘතිය එසේම තිබියදී පිරිවැය අඩුවීම නිසා තෙල් සංස්ථාව මිල අඩු කළානම් ඉල්ලුම වැඩි වී වැඩියෙන් තෙල් විකිණීම නිසා රජයේ බදු ආදායම ඉහළ යනවා. එසේ වුනානම්, මධ්‍යම රජයේ අයවැය හිඟය හා ඒ හේතුවෙන් ණය බර අඩු වෙනවා. ඒ අනුව, තෙල් මිල අඩු නොකිරීම රජයට අවාසියක්. අනෙක් අතට ඉන්ධන වල ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාව එතරම් වැඩි නැති නිසා මිල අඩු නොකර සිටීම නිසා තෙල් සංස්ථාවේ ලාභ ඉහළ යනවා. තෙල් සංස්ථාවේ කොටස් අයිතිය රජය සතු නිසා මේ ලාභ මත ගෙවන ලාභාංශ ලැබෙන්නේ රජයටයි. තෙවනුව, තෙල් මිල අඩු වුනානම් ඒ නිසා රජයට අයත් විදුලි බල මණ්ඩලය, ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතන වල ලාභ වැඩි වෙනවා. ඒ වගේම ඉන්ධන විශාල ලෙස භාවිතා කරන පෞද්ගලික කර්මාන්ත වල නිෂ්පාදනය සහ ලාභ වැඩි වී රජයට ලැබෙන බදු ආදායම් වැඩි වෙනවා. රටේ ආර්ථික වර්ධනයටත් හිතකර ලෙස බලපානවා. අවසාන ප්‍රතිඵලය තීරණය වන්නේ මේ සියල්ලේ සහ මට මඟ ඇරී ඇතැයි මා සිතන තවත් බොහෝ කරුණු වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මතයි. රජය විසින් තෙල් මිල අඩු නොකළේ එසේ කිරීමේ අවසන් ප්‍රතිඵලය රජයට වාසිදායක නිසා වෙන්න ඇති. ඇතැම් විට ගැඹුරු විශ්ලේෂණයක් නොකර ගත් තීරණයක් වෙන්නත් පුළුවන්.

      Delete
    4. ඔබේ දීර්ඝ පිලිතුරට හා කාලයට ස්තූතියි

      Delete
    5. ගත්ත ණය ඔක්කොම ගනනය වෙලා නැත්තන් ඉතින් ගනනය නොවෙච්ච ඒවා ගෙවන්නෙ අහවල් එක‍ටද?

      Delete
  2. නියමයි. ඉකෝ.. නියම රිදම් එකක... එක් කෙනෙක් මේ ළගදි කිව්වා ඉකෝ ගේ පෝස්ට් වලට පස් හය වතාව යනවා කියලා. ඒකේ අරුමයක් නැහැ.. නියම තොරතුරු සංවේදකයෙක්..

    ජය වෙව්ා.. අන්තිමට උඹටත් පොත් ටික පැත්තකට දාලා ඩොලර් වලටම හිත ගියා නේද?? හැක්..

    ReplyDelete
    Replies
    1. දැන් ඔය පස් හය වතාවක් එන එකා ආවොත් තමයි වැඩේ

      Delete
    2. පොත් පැත්තකට දාල නැහැ. ඒත්, ඩොලර් සහ පොත් බැලන්ස් කළ යුතුයි. බොරුනම් ඔය ටෙස්ලාව නැවත හමුවුණු වෙලාවක අහන්න. (ඒ ලිපියේ ආකෘතියට මම කැමතියි. කියෙව්වට කමෙන්ට් එකක් දමන්න ලැබුණේ නැහැ.)

      Delete
    3. අයි වොස් ෆූල්ඩ් බයි දිස් සයිට්.. ෆයිනලි ගොට් ඉට්

      Delete
  3. // නිසා රාජ්‍ය ණය බරෙහි වගකීම පසුගිය පාලනය මත පැටවීම තේරුමක් නැති දෙයක් වනවාට අමතරව තර්කානුකූලද නැත. //

    ජයවේවා!

    ReplyDelete
  4. මචං බොහොයක් කරුනු කාරණා සහිතව කරපු අදහස් දැක්වීමක්.... අගෙයි...... මෙහෙම දෙයක් තේරෙනවා. ලංකාවට බොහෝ අංශ සදහා ජාතික සැලැස්මක් නැහැ. සංවර්ධනය පැත්තෙනුත් එහෙමයි. ආණ්ඩු මාරුවෙනවිට සියල්ල වෙනස් වෙනවා. ඊට පසු පත්වූ ආණ්ඩුව කලින් එකේ වැරැද්ද කිය කිය ඇග බේරාගන්නවා. නමුත් කාටවත් මේක කරන්න බැහැ......... ඇයි අපිට සංවර්ධනය, ආර්ථිකය පැත්තට ජාතික සැලැස්මක් හෝ ආර්ථික කළමණාකරණයට ජනතාවගේ අනුමැතියෙන් හරි දිගුකාලීන දළ ගමන් මාර්ගයක් හදාගන්න බැරි.... කවුරුආවත් ඒක හරියට කළමනාකරණය කරනවා ඇරෙන්නට සීයට සීයක් ඒක වෙනස් කරන්නට බැරි දෙයක්...........

    ReplyDelete
    Replies
    1. මෙය දියුණු රටවල පමණක් නෙමෙයි ඉන්දියාවේ පවා මුල සිටම සිදු වන දෙයක්. ආර්ථිකය අමතක කළත් අධ්‍යාපනය ගැනවත් එහෙම එකක් නැහැනේ. රජය වෙනස් නොවී ඇමති වෙනස් වන විටත් බොහෝ දේ වෙනස් වෙනවා. එසේ නොවීමටනම් පළමු පියවර ලෙස මිනිස්සු තමන්ගේ දේශපාලන පක්ෂය කුමක් වුවත් පවතින රජය කරන හොඳ දෙයට සහයෝගය දෙන්නත්, වැරදි අනුමත නොකරන්නත් පුරුදු වෙන්න ඕනෑ. ඕනෑම රජයක් විසින් ගන්නා හොඳ හෝ නරක තීරණ බොහොමයක ප්‍රතිඵල ඒ රජය පවතින කාලය තුළම ලැබෙන්නේ නැහැ.

      Delete
  5. මේ ආණ්ඩුව මුදල් හුවමාරුව යටතේ ගත්තු ණය දෙයක් සම්පූර්ණයෙන්ම ගෙවල ඉවර කරල තියෙනවා එතකොට ඒ ණය අඩු වෙන්න ඕන නේද? තව මහින්දගේ කාලේ ගත්තු ණය අඩුවෙන් වගේ පේන්නේ ණය ගොඩක් ගත්තේ කෙලින්ම ආයතන වලට උදා: CEB,Petroleum,NSB,DFCC,BOC,Sri Lankan ඒවා මහ බැංකු වාර්ථාවේ නැහැ අනිත් ලොකුම කාරනය මහින්ද හදපු මහා පරිමාණ ව්යාපෘති වලට හරි ආදයමක් නැති නිසා ඒවාගේ ණය වාරික ගෙවන්නත් මුදල් නොමැති වීම

    ReplyDelete
    Replies
    1. ඇනෝ, යම් අවස්ථාවක ණය තොගයට ඒ වන විට ගෙවා අවසන් ණය ඇතුළත් නැහැ. මෙහි ඇත්තේ මධ්‍යම රජයේ ණය පමණයි. 1950 සිට 2015 දක්වා වෙනත් ආයතන වල ණය පිලිබඳ දත්ත ඇති තැනක් මා දන්නේ නැහැ. මුලසිටම ලබාගත් ණය වල ඵලදායීතාව පිළිබඳ ප්‍රශ්න තියෙන නිසා තමයි මේ විදිහට එන්න එන්නම ණය වැඩි වෙන්නේ. ආයෝජන වලින් ණය ගෙවිය හැකි වුණානම් ණය වැඩි වෙන්නේ නැහැ. ආයෝජන නොවන එදිනෙදා පුනරාවර්තන වියදම් වෙනුවෙන් ගන්නා ණය වලින් අනාගතයේදී කිසිම ආදායමක් ජනනය වෙන්නේ නැහැ.

      Delete
  6. ලෝකේ අනෙක් රටවල් වල ණය ලබා ගැනීම් ගැනත් සදහනක් වුනානම් හොදයි කියලත් හිතෙනවා මොකද ඇමරිකාවත් චීනෙට ඩොලර් බිලියන ගානක් ණයයි කියල තියෙනවා දැකල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ ගැන ඉඩ ලැබුණු විටෙක ලියන්නම්.

      Delete
  7. I think JR (1978) and Ranil (2015) both missed wonderful opurtunities to develop the country due to stupid reasons.


    ReplyDelete
  8. නිකන් හිතමු DFCC,NSB,BOC ආයතන වලට අරන තියන නය ට්‍රෙශරි ගෑරන්ටිඩ් නය කියල, (එහෙම වුනානම් අරෙන්න ආන්ඩුවට එම නය වල ලයබිලිටි එකක් නෑහෑ), එත් මෙ බොහොමයක් ආයතන අදික ලාබ ලබන එම නය ගෙවිම ආන්ඩුව මත පතිතවන ආයතන නෙමේ..අනිත් එක කලින් ආන්ඩුවෙන් කරපු ආයොජන වල කෙටි කාලින ලාබ නොලෑබු පලියට එව අසාර්තක අයොජන නෙමෙ. එව අප රටක් ලෙස අපෙ කම්පෙටිටිව්නස් ඉහල දමන අයොජන, අව්ශ්ය්තාව තියෙන්නෙ එව රියලයිස් වෙනතුරු පවත්වාගෙන යාමට අවශ්ය දෙශපාලන විල් එක...උදාහරනයක් ලෙස මාස් 5කින් හම්බන්තොට බන්කරින් බිස්නෙස් එක නෑවෑත්තුව මෙ ආන්ඩුව ආව ගමන් පාඩුයි කියල..ස්‍රිලන්කන් එකෙ පාඩු ලබන දුර සෙවා සදහා ඔඩර් කරපු අලුත් එයාර්බස් ටික මෙටිකටත් විකුනලලු(මිහින් එක ලාබ ලබන ආර්න්චි, සද්දයක් නෑත්තෙ එ හින්ද වෙන්නෙ ඔනේ )..ආන්ඩු දෙකෙ වෙනස තමා, අපි නය අරන් අනාගතය වෙනුවෙන් පදනමක් දෑම්ම එක ආන්ඩුවක්, අනිත් එක ඉටත් වඩා නය ගනිමින් එදා වෙලා සදහා අර පදනම විකුනං කනවා

    ReplyDelete
    Replies
    1. පෙර රජයක් විසින් එතරම් ඵලදායී නොවන ආයෝජනයක් සිදු කර ඇතත් ඒ මුදල් රටේ මුදල් නිසා එවැනි ආයෝජනයකින් ප්‍රතිඵලයක් ලබා ගැනීමට කටයුතු කිරීමයි හොඳම දෙය. අපට අතීතය වෙනස් කළ නොහැකියි. එහෙත් වර්තමානය පාලනය කිරීම මඟින් අනාගතය වෙනස් කළ හැකියි.

      Delete
  9. How did you calculate loan growth rate?

    ReplyDelete
    Replies
    1. Using the geometric growth formula. D2/D1=(1+g)^n and g=((D2/D1)^(1/n)-1)*100%.

      Delete
  10. If i understand correctly in 2015 gov has included rs 1100 billion loans obtained by state institutions as gov debt... which is why it increased.... please check

    ReplyDelete
    Replies
    1. Usually,CBSL or any other agency preparing statistics uses same criteria when publishing a data series to facilitate comparison. If there's a change in that criteria, a footnote is added. The numbers here are only central government debt in 2015, as well as in previous years. If the loans by state institutions under the guarantee of the Treasury is added (the numbers are given in the report separately which are quoted in a reply ahead) the number goes up further.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.