Friday, November 16, 2018

රුපියල් බිලියන සීයක් හිඟ වුනේ කොහොමද?


මුළු රටේම අවධානය දේශපාලන අර්බුදය වෙත යොමු වී තියෙද්දී මහ බැංකුව විසින් තරමක් වෙනස් ආකාරයේ මුදල් ප්‍රතිපත්ති තීරණයක් වෙත යොමු වෙලා තිබෙනවා. තීරණයක් කියා කිවුවත් තීරණ දෙකක්. තවත් පැහැදිලිව කිවුවොත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති තීරණ දෙකක්.

එක පැත්තකින් බැංකු විසින් පවත්වාගත යුතු සංචිත අනුපාතිකය 7.5% සිට 6% දක්වා පහත දමමින් විශාල මුදල් ප්‍රමාණයක් ආර්ථිකය වෙත මුදා හැරලා තිබෙනවා. මෙය මුදල් ප්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස ලිහිල් කිරීමක්. අනෙක් පැත්තෙන් තැන්පතු පොලී අනුපාතික 0.75%කිනුත්, ණය පොලී අනුපාතික 0.5%කිනුත් ඉහළ දමා මුදල් ප්‍රතිපත්තිය දැඩි කරලා තියෙනවා. මහ බැංකුව කියන්නේ මේ තීරණ දෙක එකිනෙක උදාසීන වන බවයි.

මේ වගේ අමුතු මුදල් ප්‍රතිපත්තියක් කරා මහ බැංකුව යොමු වෙලා තියෙන්නේ ඇයි? කියන විදිහට මේ තීරණයට එළැඹිලා තියෙන්නේ දිගින් දිගටම පවතින ද්‍රවශීලතා හිඟයට පිළියමක් ලෙසයි.

මේ කියන ද්‍රවශීලතා හිඟය කුමක්ද? මෙයින් සරලව කියන්නේ රටේ රුපියල් හිඟයක් තිබෙන බවයි. ඒ කියන්නේ රටේ පවතින මුදල් ඉල්ලුම මුදල් සැපයුමට වඩා ගොඩක් වැඩි බවයි. ප්‍රමාණාත්මකව ගත්තොත්, ඊයේ (නොවැම්බර් 16 බ්‍රහස්පතින්දා) වන විට ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 182ක්. 

රටේ මුළු සංචිත මුදල් ප්‍රමාණයම රුපියල් බිලියන 1,030ක්. ඒ කියන්නේ ඒ ප්‍රමාණයෙන් 18%ක අමතර මුදල් ඉල්ලුමක් රටේ තියෙනවා කියන එකයි. මෙය සුළුපටු නැහැ. එහෙම වුනේ කොහොමද?

මේ ද්‍රවශීලතා හිඟය ඇති වුණේ දේශපාලන අර්බුදය පටන් ගැනීමෙන් පසුව නෙමෙයි. ඔක්තෝබර් 25 වන විටත් රුපියල් බිලියන 122ක ද්‍රවශීලතා හිඟයක් තිබුණා. පසුගිය සති තුනට මේ හිඟය රුපියල් බිලියන 60කින් වැඩි වෙලා. ද්‍රවශීලතා හිඟයක් තිබෙන විට වාණිජ බැංකු විසින් කරන්නේ ඔවුන් සතු භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුවට තාවකාලිකව විකුණලා මුදල් ලබා ගන්න එකයි. සාමාන්‍යයෙන් මෙය කරන්නේ දෛනික පදනමකින්. හවසට විකුණන භාණ්ඩාගාර බිල්පත් පසුදා උදේ නැවත මිල දී ගන්නවා. ප්‍රතිවිකුණුම් කියන්නේ මේවාටයි.

මහ බැංකුවක් සාමාන්‍යයෙන් ප්‍රතිවිකුණුම් ගනුදෙනු වලට යන්නේ වාණිජ බැංකුවකට කෙටිකාලීනව, බොහෝ විට දවසකට, මුදල් අපහසුතාවක් ඇති වූ විට තාවකාලිකව ප්‍රශ්නය විසඳාගන්න ඉඩ සැලසීමක් ලෙසයි. ද්‍රවශීලතා හිඟයක් දිගින් දිගටම පවතිනවා කියන්නේ ආර්ථිකයේ දිගටම පවතින අසමතුලිතතාවයක් තිබෙනවා කියන එකයි. 

මෙවැනි අසමතුලිතතාවයක් විසඳිය හැකි ආකාර දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය වන්නේ ඉල්ලුමට ගැලපෙන පරිදි මුදල් සැපයුම වැඩි කිරීමයි. එය පසුකාලීනව උද්ධමනය ඉහළ යාමට හේතු වෙනවා. දෙවන ක්‍රමය වන්නේ මුදල් ඉල්ලුම අඩු වන තරමට පොලී අනුපාතික ඉහළ දැමීමයි. එහි ප්‍රතිඵලය ආර්ථික වර්ධනය අඩාල වීමයි.

මේ වෙලාවේ ලංකාවේ ආර්ථික වර්ධනය සාමාන්‍ය මට්ටමටත් අඩුවෙනුයි සිදු වෙන්නේ. ඒ නිසා, පොලී අනුපාතික තවත් ඉහළ දැමීම කරන්න අමාරුයි. අනික් පැත්තෙන් මුදල් සැපයුම ඉහළ දැමීම උද්ධමනය ඉහළ යන්න හේතු වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් මේ දෙපැත්තම සලකලා අතරමැදි තීරණයකටයි එළැඹිලා තියෙන්නේ. කියන විදිහට මෙය දැඩිත් නැති, ලිහිලුත් නැති උදාසීන මුදල් ප්‍රතිපත්තියක්.

මේ ආකාරයට ද්‍රවශීලතා හිඟයක් ඇති වුනේ කොහොමද? මෙය වෙන්නනම් එක්කෝ රටේ මුදල් සැපයුම අඩු විය යුතුයි. නැත්නම් මුදල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යා යුතුයි. සිංහල අවුරුදු සතිය වගේ කාලයක තාවකාලිකව ඉහළ ගියත් මුදල් ඉල්ලුම එක වර විශාල ලෙස ඉහළ යන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බොහෝ විට හේතු වෙන්නේ මුදල් සැපයුමේ සිදුවන වෙනස්කම්.

මහ බැංකුව විසින් මුදල් සැපයුම අඩු කළොත් ද්‍රවශීලතා හිඟයක් ඇති වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් තමන් සතු භාණ්ඩාගාර බිල්පත් හෝ විදේශ විණිමය විකුණා රුපියල් එකතු කර ගන්නා විට මුදල් සැපයුම අඩු වෙනවා. මෙයින් පළමුවැන්න සිදු වී නැහැ. පසුගිය තෙසතිය තුළ මහ බැංකුව විසින් කරලා තියෙන්නේ රුපියල් බිලියන 16කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමයි. ඒ කියන්නේ ඒ හරහා තවත් රුපියල් බිලියන 16ක් මුදල් වෙළඳපොළට එකතු කරලා. රුපියල් බිලියන 60කින් හිඟය ඉහළ ගිහින් තියෙන්නේ එහෙම තියෙද්දීයි. එහෙමනම් ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 60 කින් නෙමෙයි 76කින්ම වැඩි වෙලා.

ද්‍රවශීලතා හිඟය වැඩි වෙන්න පුළුවන් අනෙක් ආකාරය මහ බැංකුව විසින් හෝ විදේශිකයින් විසින් ඩොලර් (හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලක්) ගෙවා රුපියල් මිල දී ගැනීමයි. පසුගිය සති තුන ඇතුළත විදේශිකයෝ ලංකාවට ඩොලර් විශාල මුදලක් අරගෙන ඇවිත් රුපියල් කළාද? 

ඇත්තටම වෙලා තිබෙන්නේ එහි අනිත් පැත්තයි. පසුගිය සති තුනේ විදේශිකයින් විසින් කොටස් වෙළඳපොළේ තමන් සතු ආයෝජන වගේම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල කර තිබූ ආයෝජනත් විශාල ලෙස මුදල් කර රටින් ගෙනයන එකයි කර තිබෙන්නේ. මේ ප්‍රමාණය රුපියල් බිලියන 23.6ක්. ඒ කියන්නේ එපමණ රුපියල් ප්‍රමාණයක් මුදල් වෙළඳපොළට එකතු වී තිබෙනවා. එහෙමනම් ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 100 කින් පමණ වැඩි වෙලා. ඔය කාලය ඇතුළත ආනයන, ණය ගෙවීම්  ආදිය සඳහා තවත් ඩොලර් මිල දී නොගැනෙන්න හේතුවක් නැහැ. එහෙමනම් මේ ඇස්තමේන්තුව අවම ඇස්තමේන්තුවක්.

පසුගිය සති තුන ඇතුළත ද්‍රවශීලතා හිඟය මේ තරමින් ඉහළ යන්නනම් මහ බැංකුව සංචිත වලින් සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් විකුණා දමා තිබිය යුතුයි. ඒ ප්‍රමාණය හා අදාළ සංඛ්‍යාලේඛණය සොයා ගැනීමේ ක්‍රමයක් නැහැ.

පසුගිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස වලදී මාසයකට ඩොලර් මිලියන 300 පමණ බැගින් මහ බැංකුව විසින් සංචිත විකුණා තිබෙනවා. ඒ කියන්නේ ඒ මාස දෙකේ රුපියල් බිලියන 100ක් පමණ වෙළඳපොළෙන් එකතු කරගෙන තිබෙනවා. පසුගිය සති තුනේ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 100 කින් පමණ වැඩි වෙලා තිබීමෙන් පෙනෙන්නේ පසුගිය සති තුන ඇතුළත ඩොලර් මිලියන 600කට ආසන්න සංචිත ප්‍රමාණයක් මහ බැංකුව විසින් විකුණා දමා ඇති බවයි. 

ඇතැම් විට නොවැම්බර් මුල එක වරම ඩොලරයක මිල පොඩ්ඩක් අඩු වුනේ මහ බැංකු මැදිහත් වීමක් නිසා වෙන්න පුළුවන්. නමුත්, දවස් දෙකකින් පසුව නැවතත් ඩොලරයක මිල ඉහළ යන්න පටන් ගත්තා. එසේ කර තිබියදීත් පසුගිය සති තුන තුළ ඩොලරයක මිල රුපියල් හතරකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. 

ලංකාවේ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ පවත්වා ගත යුතු සංචිත ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් බිලියන 400ක් පමණ. සංචිත අනුපාතය 7.5% සිට 6.0% දක්වා අඩු කළ විට මේ මුදලින් රුපියල් බිලියන 80ක් පමණ නිදහස් වෙනවා. ඉන් පසුවත් තව රුපියල් බිලියන 100ක පමණ ද්‍රවශීලතා හිඟයක් ඉතිරි වෙයි. එය පියවෙනු ඇත්තේ කොයි වෙලාවක හෝ ඩොලර් ණයක් ලැබුණු විටක තමයි. 

8 comments:

  1. IN WHAT WAY THIS LIQUIDITY SHORTAGE AFFECTS THE GENERAL PUBLIC. PLEASE EXPLAIN.

    ReplyDelete
    Replies
    1. No immediate effect if the central bank accommodates the demand on a daily basis. If the process continues, there's an inflationary effect. If the central bank does not fully accommodate the the demand it will be harder for the general public to get a bank loan. Bank interest rates, both for loans and savings, will increase.

      Delete
  2. ඒ කියන්නේ මහබැංකුවේ පොලිසිය, ශ්‍රී ලංකා පොලිසියටත් ඉස්සරින් පරණ පාරට බැහැලා, මේ වාතාවරණයේ මොකා බලයට හිටියත් කරන්නේ ඕකයි, ඊළඟට ගන්න ඩොලර් බිලියනයට නම් වැඩිපුර පොලියක් ගෙවන්න වේවි නේ.

    ReplyDelete
  3. ද්‍රවශීලතා ගැන සුළුවන් පමණ දැනගෙන හිටියට මෙපමණ බරපතල දෙයක් කියලා දැනගෙන හිටියේ නැත.
    USD balance කරන්න හදන ගොන් වැඩ නිසා ගොඩක් අමාරු වෙනවා...ආර්ථිකය මෙහෙයවන්න...

    ReplyDelete
  4. //පසුගිය සති තුනේ විදේශිකයින් විසින් කොටස් වෙළඳපොළේ තමන් සතු ආයෝජන වගේම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල කර තිබූ ආයෝජනත් විශාල ලෙස මුදල් කර රටින් ගෙනයන එකයි කර තිබෙන්නේ//
    පසුගිය දිනවල කොටස් වෙළදපොල වර්දනය උන බවත් එහි දිනකට සිදුවූ වැඩිම ගනුදෙනු අගය වාර්තා කල බවත් සදහන්ව තිබුණා.එයට හේතුව මෙසේ විදේශිකයින් තම ආයෝජන මුදල් කරගෙන යාමද?
    හේතුව එය නම් එයින් අදහස්වන්නේ කොටස් වෙළදපොල වර්දනය සමහර අවස්ථාවල රටේ ආර්ථිකයට හිතකර නොවන හේතු නිසාද සිදුවන බවද?

    ReplyDelete
    Replies
    1. ඉකො, මේක නම් වැදගත් පර්ශ්නයක් මටත් මේක ගැටළුවක්...

      Delete
    2. කරුණාකර මේ සදහා පිළිතුරක් ලබාදිය හැකිද?

      Delete
    3. පටන්ගත් ලිපිය බාගෙට ලියල තියෙන්නේ ජීවන්ත. තවම අවසන් කරන්න ලැබුණේ නැහැ. මේ මාසය ඉවර වුනහම (CSE නොවැම්බර් මාසික වාර්තාව ආවට පස්සේ) පළ කරන්නම්.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.