Thursday, May 25, 2023

ලබන සතියේ මොනවා වෙයිද?


රටේ ආර්ථිකය හා අදාළ වැදගත් ප්‍රතිපත්ති තීරණ කිහිපයක්ම ලබන සතිය තුළ ගැනීමට යම් ඉඩක් තිබෙනවා. හරියටම කියනවානම් ආනයන පාලන සීමාවන් ඉවත් කිරීම හෝ එය කරන ආකාරය දැනුම් දීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීම හා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම යන තුනෙනේ එකක් හෝ වැඩි ගණනක් ඉදිරි සතිය මැද වන විට සිදු විය හැකියි. 

ලබන සතිය වැදගත් ඇයි?

ලබන සතිය තුළ සිදුවන සුවිශේෂී දෙය මැයි මාසය හා අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත් වීමයි. මේ අනුව, උද්ධමනය 25% ආසන්න මට්ටමකට පහත වැටී තිබීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. තවත් මාසයකට පසුව මෙම අගය 12% ආසන්න මට්ටමකට පහත වැටිය හැකි ඇති අතර රටේ ජනතාව හා වෙළඳපොළ කෙරෙහි වැඩිම බලපෑමක් කෙරෙනු ඇත්තේ උද්ධමනය එම මට්ටමට පහත වැටීම බැවින් ඉහත සඳහන් වැදගත් තීරණ ගැනීමට වැඩිම ඉඩක් තිබෙන්නේ තවත් සති පහකට පසුව වුවත්, එම තීරණ වලින් එකක් හෝ කිහිපයක් ඉදිරි සතිය තුළ ගනු ලැබීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි.

පොලී අනුපාතික යම් ඉහළ මට්ටමක තිබුණත් පසුගිය කාලය මුළුල්ලේම පොලී අනුපාතික පැවතුනේ උද්ධමන අගයට වඩා පහළිනුයි. ඒ කියන්නේ මූර්ත පොලී අනුපාතික තිබුණේ සෘණ පැත්තේ. ඉදිරි සතියේදී මෙම තත්ත්වයේ යම් වෙනසක් වෙනවා. ඒ නිසා, මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වල සංකේතාත්මක අඩු කිරීමක් (1%කින් හෝ 0.5%කින්) කිරීමට යම් ඉඩක් තිබෙනවා. 

ඩොලරයක ගැනුම් මිල මේ වන විට පැහැදිලි ලෙසම රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා. පවතින තත්ත්වයන් තුළ මේ සමතුලිතතාව ආපසු හැරවී යාමේ ලොකු ඉඩක් පෙනෙන්න නැහැ. අරමුදල සමඟ ඇති කරගත් එකඟතාව අනුව විණිමය අනුපාතය හා අදාළ සියළු සීමාවන් ක්‍රමිකව එකින් එක ඉවත් කිරීම සඳහා වසරක කාලයක් තිබෙන අතර (මාර්තු සිට) එය කරන ආකාරය ජූනි අවසානයට පෙර දැනුම් දිය යුතුයි. මේ සඳහාද තවත් මාසයක කාලයක් තිබුණත් විණිමය වෙළඳපොළෙහි පවතින ප්‍රවණතා අනුව මේ මාසය අවසානයේදී යම් ලිහිල් කිරීම් ප්‍රකාශයට පත් වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකියි. 

විණිමය වෙළඳපොළ සීමා සියල්ල ඉවත් කිරීමෙන් පසුවද ඩොලරයක මිල ස්ථාවරව තබා ගත හැකි තත්ත්වයක් දැනටමත් ඇති වී තිබුණත්, මෙම සමතුලිතතාවය තනිකරම මෙන් රඳා පවතින්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ලබා ගැනීමට අපේක්ෂිත සහනය මතයි. එම කටයුත්ත අවසන් වන තුරු කිසිවකුට නිදහසේ පැත්තකට හැරී නිදාගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසියක් ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරලියට එන්නට (දැනටමත් පැමිණ තිබීමට) සැලකිය යුතු ඉඩක් තිබෙනවා. මේ කාරණයේදී පසුගිය සතියේ ඩොලර් බිලියන තුනක IMF වැඩසටහනකට ගිය, මේ වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කටයුතු කරමින් සිටින ඝානාව දෙස බැලිය හැකියි. එක් එක් රටේ තත්ත්වය සුවිශේෂී වුවත්, ඝානාවේ තත්ත්වය සෑහෙන තරමකින් ලංකාවේ තත්ත්වයට සමානයි. 

ඝානාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ඉල්ලා සිටින්නේ සාර්ථක ලෙස දේශීය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමෙන් පසුවයි. දෙරට විදේශ ණයහිමියන් බොහෝ දුරට එකම කණ්ඩායමක් නිසා ඝානාව කළ දේ ලංකාවට කළ නොහැක්කේ ඇයි කියා අහන්නට සැලකිය යුතු ඉඩක් තිබෙනවා.

ඝානාව බිල්පත් ප්‍රතිව්‍යුහගත කළේ නැහැ. එහෙත්, බැඳුම්කර වලින් 85%ක්ම ස්වේච්ඡා පදනම මත ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. මෙහිදී මුල් මුදල කප්පාදු කිරීමක් (හෙයාකට්) සිදු වී නැති අතර කල් පිරීමේ කාලය දිගු කිරීම හා කූපන් පොලී සීමා කිරීම මගින් අවශ්‍ය ඉලක්කයට ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් ලබන සතියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළත් ඒ හේතුවෙන් රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික අඩු නොවෙන්න පුළුවන්. ඒ, බැංකු පද්ධතිය තුළ විශාල අතිරික්ත ද්‍රවශීලතාවක් නොමැති නිසා. සාමාන්‍ය අවස්ථාවකදී මෙන් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමට සමාන්තරව බැංකු පද්ධතියට ද්‍රවශීලතාව සැපයීම සඳහා මහ බැංකුවට මේ වෙලාවේ විශාල අවකාශයක් නැහැ. අනෙක් පැත්තෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමටද සුරැකුම්පත් ආයෝජකයින් මුහුණ දෙනවා. 

මෙය එක්තරා ආකාරයක ග්‍රිඩ්ලොක් තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම පවතින තුරු පොලී අනුපාතික අඩු වෙන්නේ නැහැ. පොලී අනුපාතික අඩු වන තුරු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම තිබෙනවා. මේ තත්ත්වය වෙනස් විය හැක්කේ බාහිර වෙනසකින් පමණයි. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළ පමණින්, මේ මොහොතේ පවතින තත්ත්වයන් අනුව, මේ අවශ්‍ය වෙනස සිදු වෙන්නේ නැහැ.

මේ තත්ත්වය වෙනස් විය හැකි එක් ක්‍රමයක් වන්නේ රජයට සැලකිය යුතු විදේශ ණයක් ලැබී දේශීය ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය පහත වැටීමයි. එවැන්නක් සිදු වුවහොත් රජයේ දේශීය ණය සඳහා ඉල්ලුම අඩු වී පොලී අනුපාතික පහත වැටෙනවා. එසේ නැත්නම් රජයට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය නිවේදනය කරන්නට සිදු වෙනවා. ඝානා රජය විසින් ඔවුන්ගේ භාණ්ඩාගාර බැඳුම්කර වලින් 85%ක් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ඉතිරි 15% සඳහා පොලී සහ මුල් මුදල් පිළිවෙලට ගෙවාගෙන යනවා. 

මාර්තු මාසය වන විට පෙර වසරේ මාර්තු මාසයට සාපේක්ෂව පෞද්ගලික අංශයට දෙන ණය 5.1%කින් පහත වැටී තිබුණා. විශේෂයෙන්ම විදේශ බැංකු ඒකක වලින් ලබා දෙන ණය 20.6%කින් අඩු වී තිබුණා. මෙම හැකිලීම් මේ වන විට මීටත් වඩා වැඩි විය යුතුයි. පසුගිය සතියේ ආනයන සඳහා ලබා දෙන ණය පිළිබඳ සීමාවන් ලිහිල් කිරීම නිසා ඉහත තත්ත්වයේ යම් ක්‍රමික වෙනසක් සිදු වීමට නියමිත වුවත් එම වෙනස වැඩි වශයෙන් බලපානු ඇත්තේ විණිමය අනුපාතිකයට මිස පොලී අනුපාතික වලට නෙමෙයි.

මේ වන විට ඉල්ලුම් පීඩන විශාල ලෙස අඩු වී ඇති තත්ත්වය තුළ පුළුල් මුදල් සැපයුම, විශේෂයෙන්ම පෞද්ගලික අංශයට ලබා දෙන ණය, යම් තරමකින් වර්ධනය වෙන්නට ඉඩ හැරීමේ ලොකු වැරැද්දක් නැහැ. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහන්නේත් නැතිව, වෙළඳපොළ ද්‍රවශීලතාව වැඩි කර පොලී අනුපාතික පහළ දමාගත හැකි එක් ක්‍රමයක් වන්නේ සංචිත අනුපාතය අඩු කිරීමයි.

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.