Tuesday, November 8, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

පසුගිය ලිපි වල මා හැම විටම උදාහරණ ලෙස ගත්තේ ආයෝජකයෙකුට ප්‍රතිලාභයක් ලෙස මුල් මුදල හා පොලිය කල්පිරීමේ කාලය අවසානයේදී ලැබෙන, ඒ හැර වෙනත් ප්‍රතිලාභ නැති, රාජ්‍ය සුරැකුම්පත් පමණි. ලංකාවේ මෙන්ම ඇමරිකාවේත් භාණ්ඩාගාර බිල්පත් වැටෙන්නේ මේ කාණ්ඩයටය. ඇතැම් බැඳුම්කරද ස්වභාවයෙන් මේ ආකාරයේ විය හැකිය. මෙවැනි ආකාරයේ සුරැකුම්පතක මිල එහි මුහුණත වටිනාකමට වඩා වැඩි වීමේ ඉඩක් සාමාන්‍යයෙන් නැත (එසේ වන විශේෂ අවස්ථා ඉතා කලාතුරකින් තිබිය හැකිය).

ලංකාවේ මෙන්ම ඇමරිකාවේත් නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර බොහොමයක් අයත් වන්නේ මේ පළමු කාණ්ඩයෙන් තරමක් වෙනස් '
කූපන් බැඳුම්කර' කාණ්ඩයටය. මේ කූපන් බැඳුම්කර මුල් මාදිලියේ සුරැකුම්පත් වලින් වෙනස් වන ප්‍රධාන කරුණ වන්නේ එවැනි බැඳුම්කර කල් පිරෙන තුරු වාර්ෂිකව නිශ්චිත 'පොලී මුදලක්' ප්‍රතිලාභයක් ලෙස ලැබෙන බැවිනි. උදාහරණයක් ලෙස පසුගිය 2015 පෙබරවාරි 27 දින  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය වෙනුවෙන් නිකුත් කළ ආන්දෝලනයට ලක් වූ තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගන්නා අයෙකුට මුහුණත වටිනාකමෙහි සෑම රුපියල් 100ක් වෙනුවෙන්ම රුපියල් 12.50ක් වාර්ෂිකව ලබා ගැනීමේ හැකියාව තිබුණේය. මේ කූපන් ගෙවීම් වසරකට වාරික දෙකක් ලෙස රුපියල් 6.25 බැගින්, කල් පිරෙන තුරු සෑම වසරකම මාර්තු 1 සහ සැප්තැම්බර් 1 දින වල ගෙවන්නට නියමිතව තිබුණේය. කල් පිරෙන දින අවසන් වාරිකය වන රුපියල් 6.25 මුල් මුදලට එකතු වී රුපියල් 106.25ක් අතට ලැබේ.

මේ කූපන් ගෙවීම් යන නමෙන් සිහිපත් කරන්නේද රාජ්‍ය සුරැකුම්පත් වල මුල් යුගයයි. රාජ්‍ය සු
රැකුම්පතක් කඩදාසි සහතිකයක් වූ ඒ කාලයේ ඒ සහතිකයේම පැත්තක ඉරා වෙන්කර ගත හැකි පරිදි කූපන් මුද්‍රණය කර තිබුණු අතර නියමිත දින මෙවැනි කූපනයක් ඉරාගෙන භාණ්ඩාගාරයට ඉදිරිපත් කර අදාළ 'පොලී මුදල' ලබා ගත හැකි විය.

භාණ්ඩාගාර බැඳුම්කරයක 'කූපන් පොලී අනුපාතිකය' ලෙස සරලව හැඳින්වුවත් මේ පොලී අනුපාතිකය බොහෝ විට ආයෝජකයෙකුට ලැබෙන 'සැබෑ' පොලී අනුපාතිකය නොවේ. පැටලීමක් නොවන්නට ඵලදා අනුපාතිකය (yield rate) ලෙස බොහෝ විට හැඳින්වෙන මේ  'සැබෑ' පොලී අනුපාතිකය තීරණය වන්නේ කිසියම් ආයෝජකයෙකු භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගැනීමේදී ගෙවන මුදල මතය.

යම් හෙයකින් කිසියම් ආයෝජකයෙකු භාණ්ඩගාර බැඳුම්කරයක් මිලදී ගැනීමේදී හරියටම එහි මුහණත වටිනාකමම ගෙවූයේනම් එම පුද්ගලයා උපයන සැබෑ පොලී අනුපාතිකය හෙවත් ඵලදා අනුපාතිකය කූපන් පොලී අනුපාතිකයට සමානය. එහෙත්, මේ බැඳුම්කරයම එහි මුහුණත වටිනාකමට වඩා අඩුවෙන් මිලදී ගත්තේනම් එම පුද්ගලයා උපයන සැබෑ පොලී අනුපාතිකය හෙවත් ඵලදා අනුපාතිකය කූපන් පොලී අනුපාතිකයට වඩා වැඩිය.

මෙය උදාහරණයකින් පැහැදිලි කිරීම සඳහා කිසියම් අයෙක් ප්‍රාථමික වෙන්දේසියේදී මුහුණත වටිනාකම රුපියල් 100ක් මිලදී ගත්තේ රුපියල් 90කට යැයි සිතමු. මිලදී ගත් මුදල කවරක් වුවත් කූපන් පොලී ගෙවන්නේ මුහුණත වටිනාකම මත නිසා මේ පුද්ගලයාට වසරකට රුපියල් 12.50ක් පොලිය ලෙස ලැබේ. එය 13.89%ක පමණ (=12.5/90) පොලියකි. එමෙන්ම කල් පිරෙන දින පොලියට අමතරව මුහුණත වටිනාකම වන රුපියල් 100ක් ආපසු ලැබෙන නිසා තමන් ආයෝජනය කළ මුල්මුදල වන රුපියල් 90ට අමතරව තවත් රුපියල් 10ක්ද ලැබෙන නිසා ඵලදා අනුපාතිකය 13.89%ටත් වඩා සුළු වශයෙන් වැඩි වන අතර 13.90% පමණ වේ.

භාණ්ඩාගාර බිල්පතක් වැනි, කූපන් ගෙවීම් වැනි කල් පිරීමට පෙර ලැබෙන ප්‍රතිලාභ කිසිවක් නැති, පළමු කාණ්ඩයේ සුරැකුම්පතක් එහි මුහුණත වටිනාකම ගෙවා මිලදී ගන්නා අයෙකුට කිසිදු පොලී මුදලක් ලබා ගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා එවැනි සුරැකුම්පතක් එහි මුහුණත වටිනාකමට වඩා වැඩි මිලකට මිලදී ගැනීම තේරුමක් නැති වැඩකි. එහෙත්, කූපන් පොලී ගෙවන බැඳුම්කරයක් එහි මුහුණත වටිනාකම ගෙවා මිලදී ගන්නෙකුට එහි කූපන් පොලී අනුපාතිකයට සමාන සැබෑ පොලියක් ලැබෙන නිසා මුහුණත වටිනාකමම ගෙවා එවැන්නක් මිලදී ගැනීම එවැනි අනිවාර්යයෙන් පාඩු ලබන අදහසක් නොවේ.

ඇත්තටම, භාණ්ඩගාර බැඳුම්කරයක් කිසියම් අයෙකු එහි මුහුණත වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවා වුවද මිලදී ගන්නට ඉඩ තිබේ. එවිට ලැබෙන සැබෑ පොලිය කූපන් පොලී අනුපාතිකයට වඩා අඩු වුවත්, එවැන්නෙකු තවදුරටත් කිසියම් පොලී ආදායමක් උපයයි.

උදාහරණයක් ලෙස කිසියම් අයෙකු භාණ්ඩාගාර බිල්පතක රුපියල් 100ක මුහුණත වටිනාකමක් රුපියල් 105ක් ගෙවා මිලදී ගත්තේයැයි සිතමු. දැන් මේ පුද්ගලයාට වාර්ෂිකව ලැබෙන පොලිය වන රුපියල් 12.50 මුල් ආයෝජනයේ අනුපාතිකයක් ලෙස 11.90%ක් පමණ වේ. එමෙන්ම කල් පිරීමේදී මේ පුද්ගලයාට ආපසු ලැබෙන්නේ ආයෝජනය කළ මුදලට වඩා රුපියල් 5ක් අඩුවෙන් නිසා සැබෑ පොලී අනුපාතිකය හෙවත් ඵලදා අනුපාතිකය 11.89%ක් පමණ වේ. මෙය කූපන් පොලී අනුපාතිකය වූ 12.5%ට වඩා අඩු පොලී අනුපාතිකයක් වුවත් නරක එකක් නොවේ. ඒ නිසා, භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකට ඉදිරිපත් කෙරෙන ලන්සු මුහුණත වටිනාකමට වඩා අඩු, සමාන හෝ වැඩි වන්නට පුළුවන. පසුගිය 2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු ආන්දෝලනයට ලක්වූ බැඳුම්කර වෙන්දේසියට රුපියල් 100ක මුහුණත වටිනාකමක් වෙනුවෙන් ලංකා බැංකුව විසින් රුපියල් 119.26 වැනි ඉහළ ලන්සුත්, සෙලාන් බැංකුව විසින් රුපියල් 62.62 වැනි පහළ ලන්සුත්, පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගම විසින් 97.88-91.99 පරාසයේ ලන්සු කිහිපයකුත්, නැට්වෙල්ත් සිකියුරිටීස් සමාගම හා සේවක අර්ථසාධක අරමුදල විසින් මුහුණත වටිනාකමට සමාන ලන්සුත් තබන්නේ ඔවුන් සතුව ඇති තොරතුරු හා ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන්ට සාපේක්ෂව ඔවුන් ඇස්තමේන්තු කරන හොඳම ලන්සු මෙවැනි පුළුල් පරාසයක පැතිරෙන නිසාය.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අතර මෙහි විස්තර කළ වෙනස්කම් තිබුණත් පෙර ලිපි වලින් කතා කළ අනෙකුත් සියළු කරුණු භාණ්ඩාගාර බැඳුම්කර වලටත් අදාළය. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙන්දේසියේ විකිණෙන්නේද භාණ්ඩාගාර බිල්පත් විකිණෙන ආකාරයටම වන අතර ලංකාවේ වෙන්දේසියේදී ජයග්‍රාහකයින් විසින් ගෙවිය යුත්තේ සමතුලිත මිල නොව තමන්ගේ ලන්සු මිලයි. ඒ නිසා, හැකි තරම් අඩු මිලක් ගෙවා වෙන්දේසියෙන් බැඳුම්කර මිලදී ගන්නෝ එහි සැබෑ ජයග්‍රාහකයෝ වෙති. එමෙන්ම, වෙළඳපොළ පොලී අනුපාතික වෙනස්වීම අනුව කල් පිරෙන තුරු නොසිට භාණ්ඩාගාර බිල්පතක් ද්වීතියික වෙළඳපොළෙහි විකුණා විශාල ලාභයක් කෙටි කලකින් ඉපැයීමේ අවස්ථාවද ඇතැම් අයට තිබේ.

මේ කරුණු ගැන වැඩිපුර දේවලුත්, රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික වෙන්දේසියට රඳවාගැනීමේ බද්ද බලපාන ආකාරයත් ඊළඟ ලිපියෙන් කතා කරමු.

7 comments:

  1. අවුරුදු 1ට වඩා වැඩි අවුරුදු 10 වගේ බැඳුම්කරයක දෙන්නේ වැල් පොලියද, සරල පොලියද?
    Yield rate එක හදන සමීකරණය අර පරකුම්ගේ ලිපියේ තියෙන එකද?

    ReplyDelete
    Replies
    1. කූපන් පොලිය මුහුණත වටිනාකම මත ගෙවන සරල පොලියක්. වැල් පොලිය කියන සංකල්පය යෙදෙන්නේ ගෙවන පොලිය අතට නොදී මුල් ආයෝජනයට එකතු වන විට. උදාහරනයක් ලෙස ඔබේ ඉතිරි කිරීමේ ගිනුමක ඇති රුපියල් ලක්ෂයකට 8%ක පොලියක් ලෙස ලැබෙන රුපියල් 8,000 ඔබේ බැංකු ශේෂයට එකතු වනවා මිස ඔබේ අතට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සතු ආයෝජනය වසරකට පසු රුපියල් 108,000 දක්වා වැඩි වනවා. නමුත් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවන කූපන් පොලිය එසේ මුල් ආයෝජනයට එකතු නොකර අතට දෙන නිසා මුල් ආයෝජනය වෙනස් වන්නේ නැහැ.

      මට මතක හැටියට අජිත් පැරකුම්ගේ වියුණුවේ කමෙන්ට් එකක් ලෙස දමා තිබුණු සමීකරණය නිවැරදියි. එය හරියටම මතක නැති නිසා මම නිවැරදි සමීකරණය මෙහි ලියන්නම්.

      P = C/(1+r) + C/(1+r)^2 + C/(1+r)^3+ …..+ C/(1+r)^(n-1) + (C+F)/(1+r)^n

      මෙහි P යනු අද ගෙවන මිලයි. වාර්ෂිකව ලැබෙන කූපන් පොලී මුදල C වන අතර මුහුණත වටිනාකම F ද, කල් පිරීමේ කාලය වසර n ද වෙනවා. ඵලදා අනුපාතිකය වන r සොයාගැනීම සඳහා Trial and error ක්‍රමය භාවිතා කළ යුතුයි.

      Delete
    2. ස්තුතියි. කූපන් එක මුදල් කරනොගෙන හිටියොත් මොකද වෙන්නේ?

      Delete
    3. එසේ මුදල් කර නොගෙන සිටීමේ විකල්පයක් රාජ්‍ය සුරැකුම්පත් ආයෝජකයෙකුට ලැබෙන්නේ නැහැ. ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පතක් මිලදී ගැනීමට බලාපොරොත්තුවන කෙනෙක් සෘජුව හෝ ප්‍රාථමික ගණුදෙනුකරුවෙකු හරහා Treasury Direct ගිණුමක් ආරම්භ කළ යුතුයි. අදාළ දින වලදී කූපන් පොලිය මේ ගිණුමට ස්වයංක්‍රීය ලෙස බැර කෙරෙනවා. ලංකාවේ වෙන්නෙත් එවැනිම දෙයක්. රාජ්‍ය සුරැකුම්පත් හිමි සෑම අයෙකුටම මහ බැංකුව විසින් නඩත්තු කරන LankaSecure මධ්‍යම සුරැකුම් තැන්පතුවේ ගිණුමක් තිබිය යුතුයි. මෙය සෘජුව කළ නොහැකි නිසා එවැන්නෙකුට සුරැකුම්පතක් විකුණන ප්‍රාථමික ගණුදෙනුකරු හෝ වාණිජ බැංකුව විසින් එය කළ යුතුයි. (එය නිසි පරිදි කලට වේලාවට නොකිරීම ලීක් වූ මහ බැංකු වාර්තාව අනුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ඇති චෝදනාවක්) එමෙන්ම මහ බැංකුව විසින් අදාළ දින ප්‍රාථමික ගණුදෙනුකරුගේ හෝ වාණිජ බැංකුවේ (මහ බැංකුවේ පවත්වාගෙන යන) RTGS ගිණුමට ඔවුන්ගේ හා ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ කූපන් පොලී මුදල් බැර කළ පසු එම මුදල් සිය පාරිභෝගිකයින්ගේ බැංකු ගිණුම් වලට බැර කළ යුතුයි. මේ මුදල් නැවත ආයෝජනය කිරීමට අවශ්‍යනම් අළුතින්ම මුල සිට රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගත යුතුයි. එවිට, එදා වෙළඳපොළ පොලී අනුපාතිකය මිස මුල් පොලී අනුපාතිකයම ලැබෙන්නේ නැහැ. ඒ වගේම එය මුල් ආයෝජනයේ කොටසක් නොවන වෙනම ආයෝජනයක්.

      Delete
    4. බොහොම ස්තුතියි. මේ ගැන හෙව්වට හම්බුනේ නැහැ. දැන් පැහැදිලියි

      Delete
  2. මුහුණත වටිනාකමට වඩා අඩුවට විකුනුවම රජයට පාඩුවක් වෙනවා කියන විගනකධිපතිගේ තර්කෙ සහ ඒ ගැන යූඑන්පී එකේ ෆුට්නෝට් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. කාල වේලා පිලිබඳ සහ වෙනත් සීමාවන්ට යටත්ව එතැනට එන්න තමයි මගේ බලාපොරොත්තුව. එය එක් වර කෙටියෙන් කිවුවොත් වැඩි දෙනෙකුට තේරෙන්නේ නැති නිසයි මේ මූලික කරුණු කලින් පැහැදිලි කරන්නේ. දැනට කෙටි පිළිතුරක් ලෙස, ඉතා පැහැදිලිවම විගණකාධිපතිවරයාගේ එම තර්කය වැරදියි. මා දැනටම ලියා ඇති කරුණු අනුව වුවත් එය පැහැදිලි විය යුතුයි. එජාප මන්ත්‍රී කණ්ඩායමේ පාදක සටහන් බොහෝ දුරට තාක්ෂණිකව නිවැරදියි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විශාල ලාභයක් අයුතු ලෙස ලැබීම හා රජයට පාඩුවක් වීම යන කරුණු දෙක එකිනෙකට සම්බන්ධ වුනත් වෙනස් කරුණු දෙකක්. එජාප පාදක සටහන් වල විගණකාධිපතිවරයාගේ ගණනය කිරීම් නිවැරදි නොවන බව පෙන්වා දී තිබුණත්, සැබෑ පාඩුව කුමක්ද යන්න ගැන කිසිදු සඳහනක් නැහැ. එය මේ හා අදාළ සෑම විග්‍රහයකම වාගේ ඇති අඩුවක්.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.