Saturday, February 27, 2016

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1


රටවල් දෙකක් අතර ඇති කර ගන්නා වෙළද ගිවිසුමකින් ඒ එක් එක් රටේ විවිධ අංශ වලට සිදුවන බලපෑම හැදෑරීම සංකීර්ණ, කාලය ගත වන වැඩකි. එට්කා ගිවිසුමට පක්ෂ වීමට, විරුද්ධ වීමට හෝ මධ්‍යස්ථව අදහස් දැක්වීමට සදාචාරාත්මක වගකීමක් ඇති ආර්ථික විද්‍යාඥයින් ඕනෑ තරම් සිටින පසුබිමක, විනෝදාංශයක් වශයෙන් කරන කටයුත්තක් වෙනුවෙන් එවැනි ලොකු කාලයක් යෙදවීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් මට නැත. එහෙත්, එට්කා ගිවිසුම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳාම විෂයයෙහි උනන්දුවක් ඇති වී ඇති මේ වෙලාවේ, ඒ හා අදාළ මූලික විෂය කරුණු කිහිපයක් කතා කිරීමනම් එතරම් මහන්සියක් විය යුතු කටයුත්තක් නොවේ.

රටවල් දෙකක් අතර වෙළඳාම නිදහස් කිරීම හොඳද නරකද යන්න සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙකු සාකච්ඡා කරන මාතෘකාවක් නොවේ. එය තරමක හෝ ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයෙකුට "කුකුළාගේ කරමල රතුද නැත්නම් සුදුද?" ආකාරයේ, පිළිතුර පිළිබඳ අවිනිශ්චිතතාව අඩු, ප්‍රශ්නයකි. ආර්ථික විද්‍යාඥයෙකු මෙවැනි කරුණක් අරභයා විමසන ප්‍රශ්න වන්නේ "කුකුළාගේ කරමල සුදුවීමට ඇති ඉඩකඩ මොනවාද?" හෝ "කුකුළාගේ කරමල සුදුවුනේ ඇයි?" වැනි ප්‍රශ්නයි.

ජාත්‍යන්තර වෙළඳාම හා අදාළ මූලික සංකල්ප දෙකක් වන්නේ 'පරිපූර්ණ වාසිය (absolute  advantage)' සහ 'තුලනාත්මක වාසිය (comparative advantage)' යන තත්ත්වයන්ය. මේ ලිපියේ අරමුණ මේ සංකල්ප දෙකෙන් පළමුවැන්න පැහැදිලි කිරීමයි. 


දැන් අපි අපේ පළමු සරල ආකෘතියට යමු.

ගලවංකාව සහ අල්ලංකාව කියා රටවල් දෙකක් තිබේ. මේ රටවල් දෙක ජනගහණය අතින් සමානය. එක් රටක 100 බැගිනි. රටවල් දෙකේම ජනජීවිතය හා ආහාර පුරුදු සමානය. රටවැසියෝ එක්කෝ ඉබේ වැවී ඇති අල ගලවති. නැත්නම් මාළු අල්ලති. ඉන්පසු අල සහ මාළු යොදා හදන කෑමක් කා ඇල්වතුර බී නිදාගනිති. රටවල් දෙකේම තත්ත්වය මේ කරුණු අනුව සමානය. කෙසේ වුවද, අල සහ මාළු නිෂ්පාදනය කිරීමට වැය කළ යුතු ශ්‍රමය (නිෂ්පාදන සාධක) අතින් රටවල් දෙක සමාන නැත.

පළමුව අපි අල්ලංකාවට යමු. මෙහි වැසියෙකුට දවසක් මහන්සි වී මාළු කිලෝ 3ක් ඇල්ලිය හැකිය. නැත්නම් අල කිලෝවක් ගැලවිය හැකිය. ඕනෑම අල ගලවන්නෙකුට මාළු අල්ලන්නෙකු වීමට හෝ මාළු අල්ලන්නෙකුට අල ගලවන්නෙකු වීමට හැකි නිසා අල්ලංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම අල කිලෝවකි. නැත්නම්, මාළු කිලෝ තුනකි. ඒ අනුව,
අල්ලංකාව තුල අල කිලෝවක් මාළු කිලෝ තුනකට හුවමාරු වේ. 

අල්ලංකාවේ අල වවන්නෝ අල ග්‍රෑම් 250ක් මාළු ග්‍රෑම් 750කට හුවමාරු කරති. මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 2250ක් අල ග්‍රෑම් 750කට (අල වවන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ අල්ලංකාවේ කවුරුත් අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

ගලවංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. එහි වැසියෙකුට දවසක් මහන්සි වී අල කිලෝ 3ක් ගැලවිය හැකිය. නැත්නම් මාළු කිලෝවක් ඇල්ලිය හැකිය. ගලවංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම මාළු කිලෝවකි. නැත්නම්, අල කිලෝ තුනකි.
ඒ අනුව, ගලවංකාව තුල මාළු කිලෝවක් අල කිලෝ තුනකට හුවමාරු වේ.

ගලවංකාවේ මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 250ක් අල ග්‍රෑම් 750කට හුවමාරු කරති. අල වවන්නෝ අල ග්‍රෑම් 2250ක් මාළු ග්‍රෑම් 750කට (මාළු අල්ලන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ ගලවංකාවේ වැසියනුත් අල්ලංකාවේ වැසියන් මෙන්ම අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

මේ රටවල් දෙකෙන් අල්ලංකාවට ගලවංකාවට සාපේක්ෂව මාළු නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. එමෙන්ම, ගලවංකාවට අල්ලංකාවට සාපේක්ෂව අල නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. මෙහිදී පරිපූර්ණ වාසියක් ලෙස හැඳින්වෙන්නේ සමාන නිෂ්පාදන සාධක යොදවා එක් රටකට වෙනත් රටකට වඩා වැඩි නිෂ්පාදනයක් කිරීමට ඇති හැකියාවයි.


තමන්ට පරිපූර්ණ වාසියක් ඇති භාණ්ඩයක් නිපදවා වෙනත් රටකට විකිණීමෙන් ඕනෑම රටකට වාසියක් ලැබේ. උදාහරණයක් වශයෙන් අල්ලංකාවේ සියල්ලෝම මාළු අල්ලද්දී ගලවංකාවේ සියල්ලෝම අල ගලවතැයි සිතමු. දැන් අල්ලංකාවේ මාළු කිලෝ 300ක්ද ගලවංකාවේ අල කිලෝ 300ක්ද නිපදවේ. අල්ලංකාවේ මාළු වලින් කිලෝ 150ක් ගලවංකාවේ අල කිලෝ 150ක් සමඟ හුවමාරු කරයි.

අන්තිමේදී අල්ලංකාවේ වැසියෙකු තමන් අල්ලන මාළු කිලෝ තුනෙන් කිලෝ 1.5ක් ගලවංකාවේ වැසියකුගේ අල කිලෝ 1.5ක් වෙනුවෙන් හුවමාරු කරයි.  අල්ලංකාවේ මෙන්ම ගලවංකාවේ වැසියෝත් අල කිලෝ 1.5ක් සහ මාළු කිලෝ 1.5ක් බැගින් පරිභෝජනය කරති. රටවල් දෙක අතර වෙළඳාම නිසා දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වී තිබේ. මෙහිදී, කිසිවෙකුට අවාසියක් වී නැත.

දෙවන සංකල්පය වන තුලනාත්මක වාසිය පිළිබඳව ඊළඟ ලිපියෙන් කතා කරමු.


(Image: lexleader.net)

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.