Monday, May 23, 2016

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (සිවුවන කොටස)


ලංකාවේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන කරන කතිකාවකදී ජයවර්ධන රජයේ ආර්ථික ප්‍රතිපත්ති මඟ හැර යා නොහැකිය. එක් අතෙකින්, නිදහසින් පසු ආර්ථික ප්‍රතිපත්තියේ දැනෙන වෙනසක් කළේ ජයවර්ධන රජයයි. අනෙක් අතින්, එතැන් සිට අද දක්වා ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් මේ ආර්ථික ආකෘතියෙන් බැහැර වී නැත. සිදු වී ඇත්තේ සුළු අපගමනයන් පමණි.

ජයවර්ධන රජය විසින් ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේය යන්න ජනප්‍රිය අදහසකි. ඇත්තටම ඉතිහාසය පුරා ලංකාවේ තිබුණේ විවෘත ආර්ථිකයකි. මේ විවෘත ආර්ථිකය සංවෘත ආර්ථිකයක් බවට පත් කිරීමට නිදහසින් පසු ලංකාව පාලනය කළ ඇතැම් පාලකයින් කටයුතු කර තිබුණේය. එමෙන්ම, ජේආර් ජයවර්ධනට රාජ්‍ය බලය ලැබෙන විට රටේ ජනතාවට හොඳ දෙය ඒ ජනතාවට වඩා හොඳින් දන්නේයැයි සිතා සිටි ටික දෙනෙකු විසින් මධ්‍යගත ලෙස සැලසුම් කිරීම කරාද රට යොමු වෙමින් පැවතුණේය.

ජේආර් ජයවර්ධන විසින් ආනයන හා අපනයන සීමාවන් බොහෝ දුරට ඉවත් කරමින් හා ප්‍රාග්ධන ගලායෑම් සඳහා පැවති සීමාවන්ද තරමක් දුරට ඉවත් කරමින් ආර්ථිකය ලෝකයට විවෘත කළේය. මේ කටයුත්ත ඉතා කෙටි කලක් තුළ කිරීම නිසා දේශීය නිෂ්පාදන වලට වඩා කාර්යක්ෂම ලෙස නිපදවුණු විදෙස් නිපැයුම් සමඟ තරඟ කිරීමට පහසු වන පරිදි විණිමය අනුපාතිකයද අවප්‍රමාණය කෙරුණි.

අපේක්ෂිත පරිදිම ආනයන සඳහා දේශීය වෙළඳපොල විවෘත කෙරුණු වහාම, විශේෂයෙන්ම මුල් අවුරුදු දෙක තුන තුළ, ආනයනික භාණ්ඩ වලින් වෙළඳසැල් පිරුණේය. වෙළඳ ශේෂය තව දුරටත් පුළුල් වුණේය. එහෙත්, මෙයට හේතුව වූයේ වෙළඳපොළ විවෘත කිරීම නොවේ. පෙර දශක කිහිපය තුල ආරක්ෂණවාදී ප්‍රතිපත්ති සම්පාදකයින් විසින්  දේශීය නිෂ්පාදකයින්ගේ තරඟකාරී නිෂ්පාදන හැකියාවන් බිඳ දමනු ලැබ තිබීමයි.

රට තුළට ආනයන ගලා එද්දී අකාර්යක්ෂම කර්මාන්ත බිඳ වැටුණු අතර එම කර්මාන්ත සඳහා යොදාගැනුණු නිෂ්පාදන සාධක, විශේෂයන්ම ශ්‍රම සම්පත්, වඩා කාර්යක්ෂම කර්මාන්ත වෙත විතැන් විය. 1982 පමණ සිට 1998 පමණ දක්වා කාලය තුළ දේශීය නිපැයුම් වල තරඟකාරීත්වය යලි වර්ධනය වීමට සමාන්තරව වෙළඳ හිඟය ක්‍රමයෙන් අඩු වන්නට විය. කෙසේවුවද, මේ කාලය තුළද වෙළඳ ශේෂය දිගටම පැවතුණේ හිඟයක් වශයෙනි.

පෙර ලිපියකින් පෙන්වා දුන් පරිදි ලංකාව ගොඩ යන්නට අමාරු පරිදි ණය උගුලක පැටළුනේද ජයවර්ධන යුගයේදීය. මෙයට හේතුව ජයවර්ධන රජයේ නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්තිය බව සිතන අය සිටින්නට පුළුවන. එහෙත්, ඇත්තටම ලංකාව මෙසේ ණය උගුලක පැටලීමට හේතුව ජයවර්ධන රජයේ විවෘත නොවූ, මධ්‍යගත ආර්ථික ප්‍රතිපත්තීන්ය.

ජයවර්ධන පාලනය බොහෝ භාණ්ඩ හා සේවාවන් විවෘත වෙළඳපොළ තරඟයට (නැවතත්) නිරාවරණය කළ බව ඇත්තකි. එහෙත්, ඒ අතරම එම පාලනය පෙර රජයයන් විසින් අනුගමනය කළ මධ්‍යගත සැලසුම් සහිත රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකයද තවදුරටත් පවත්වා ගත්තේය. වඩා නිවැරදිව කියනවානම්, ජයවර්ධන පාලන කාලය තුල රාජ්‍යය තව දුරටත් විශාල විය. පෞද්ගලීකරණය කිරීම් ඇරඹුණේ එජාප පාලනය යටතේ වුවත් ජයවර්ධන යුගයෙන් පසුවය. සමඟි පෙරමුණු පාලනය මෙන්ම ජයවර්ධන පාලනයද සිතුවේ රටේ සියල්ලන්ටම හොඳ දේ දන්නේ තමන් ඇතුළු කණ්ඩායමක් බවයි.

අද දක්වාත්, රාජ්‍ය බලය වරින් වර මාරු වුණත්, මේ මධ්‍යගත ආකෘතිය සැලකිය යුතු ලෙස වෙනස් වී නැත. එක් අතකින් එය එසේ වන්නේ එය රටේ ජනතාවගේ ඉල්ලීම බැවිනි. තමන්ට හොඳ දෙය තමන්ගේ නියෝජිතයින් තමන්ට වඩා හොඳින් දන්නේයැයි සිතන ජනතාවක් සිටින තාක් මේ තත්ත්වය වෙනස් නොවනු ඇත. මෙසේ යම් නියෝජිත පිරිසක් කෙරෙහි විශ්වාසය තබා එම විශ්වාසය බිඳුණු පසු ලංකාවේ ජනතාව මෙතෙක් කර ඇත්තේ එම නියෝජිත පිරිස මාරු කිරීමයි.

සමඟි පෙරමුණු රජය රටේ පොදු ජනතාවගේ මුදලින් මහවැලි ව්‍යාපෘතිය වසර තිහක් තුළ නිම කිරීමට සැලසුම් කළේය. ඔවුන් සිතා සිටි පරිදි රටේ ජනතාවට එයින් යහපතක් සැලසිය හැකිව තිබුණි. ජයවර්ධන රජයේ සැලසුම්කරුවන් සිතුවේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සමඟි පෙරමුණු සැලසුම්කරුවන්ට වඩා හොඳින් ඔවුන් දන්නා බවයි. ඒ අනුව, වසර හයක කාලයකට සීමා වූ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ආදේශ විය. 


මේ තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ජයවර්ධන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ වෙළඳපොළ සංකල්පය හෝ ධනවාදය නොවේ. සෝවියට් දේශයේ පස් අවුරුදු සැලසුම් ආකාරයේ, සීමිත පිරිසක් විසින් ආර්ථිකය මධ්‍යගත ලෙස සැලසුම් කිරීමකි. රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ එවැනි සැලසුම් ක්‍රියාත්මක වන විට දූෂණයට හා නාස්තියට ඉඩකඩ විවර වීම වැළැක්වීම අසීරු කරුණකි. 

මේ ව්‍යාපෘති හරහා රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ වී සිටි පිරිසකට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබුණේය. මෙහිදී මා මතු කරන කරුණ මේ ව්‍යාපෘති නොකළ යුතුව තිබුණු ව්‍යාපෘති බව නොවේ. කවර ආකාරයේ හෝ ඒකාධිකාරයන් විසින් නාස්තියට හා දූෂණයට ඉඩ සලස්වන බවයි.

එහෙත්, බොහෝ දෙනෙකු විසින් තවමත් කරන්නේ නාස්තියට හා දූෂණයට එරෙහිව කෑගසන අතරම රාජ්‍යය තවතවත් විශාල කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි. මේ නාස්ති හා දූෂණ වැළැක්වීමට කොමිෂන් සභා සහ කොමසාරිස්වරුන් පත් කරමින් රාජ්‍යය තවදුරටත් අකාර්යක්ෂම කළ හැකිය. අන්තිමේදී අල්ලස් කොමසාරිස්වරුත් අල්ලස් ගනිති. ඒ අයව අල්ලන්නට තවත් අය අවශ්‍ය වේ.

ජයවර්ධන යුගයේ ආනයන වියදම් වැඩි වීමට මහවැලි ව්‍යාපෘතිය ආදී මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් සිදුකළ ප්‍රාග්ධන ආයෝජනද හේතු විය. මහවැලි ව්‍යාපෘතියේ ශුද්ධ ප්‍රතිලාභ ගණනය කිරීමේදී මේ හේතුවෙන් වෙළඳ ශේෂයට සිදුවූ බලපෑම සහ රාජ්‍ය ණය ඉහළ යාම නිසා සිදුවූ අවාසියද සැලකිල්ලට ගත යුතුය.

කෙසේ වුවද, මේ අයුරින් ජයවර්ධන රජය විසින් රාජ්‍ය ආයෝජන වලට බර තබන අතර සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීම සඳහාද සැලකිය යුතු බරක් තැබුවේය. ජයවර්ධන රජයේ මේ සෘජු විදේශ ආයෝජන ඇද ගැනීමේ උත්සාහය ගැන තවදුරටත් කතා කළ යුත්තේ එදා මෙදාතුර ලංකාවේ සියළු රජයයන් සිය ආර්ථික ප්‍රතිපත්ති තුළ සෘජු විදේශ ආයෝජන වලට විශාල බරක් තැබූ බැවිනි. පවතින රජය උත්සාහ කරන්නේද සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීමටය.

නිදහසින් පසු හැත්තෑ හත දක්වා කාලය තුළ සමස්තයක් වශයෙන් සිදු වූයේ රට තුළ පැවති ප්‍රාග්ධනය රටින් පිටතට ඇදී යාමයි. මෙය පහත රූප සටහන දෙස බැලූ විට පැහැදිලි විය යුතුය. පෙර රජයන්හි පෞද්ගලික දේපල රජය සතු කිරීමේ ප්‍රතිපත්තිය මෙයට හේතුවිය.



තීරණාත්මක ලෙස ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට ජයවර්ධන පාලනය සමත්වූ බව 1979 පමණ සිට සෘජු විදෙස් ආයෝජන ලංකාවට ගලා ඒම ඇරඹීමෙන් පෙනීයයි. එතැන් සිට අද දක්වාම සෑම වසරකදීම ලංකාවට යම් සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් පැමිණේ.

කෙසේ වුවද, ප්‍රාග්ධන ප්‍රභවයක් ලෙස හෝ වෙළඳ හිඟය ආවරණය කර ගත හැකි මෙවලමක් ලෙස සෘජු විදෙස් ආයෝජන කිසි විටෙකත් විශාල කාර්ය භාරයක් ඉටුකළේ නැත. සෘජු විදෙස් ආයෝජන ලෙස පැමිණි ප්‍රාග්ධන ප්‍රවාහ සංඛ්‍යාත්මකව ආනයන වියදමෙන් 5% ඉක්මවූයේ 1997 වසරේදී පමණි. (එම වසරේ මේ වැඩි වීම සිදු වුණේ එන්ටීටී සමාගම විසින් ටෙලිකොම්හි කළ විශාල ආයෝජනය  නිසායැයි සිතමි.) මෑත වසර වලදී වසරක් තුළ විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ හරහා ලැබුණු අරමුදල් සෘජු විදෙස් ආයෝජන වලින් ලැබුණු මුදල මෙන් දහ ගුණයකටත් වඩා වැඩිය.


සෘජු විදෙස් ආයෝජන රටට ලැබෙන්නේ රට තුළ ඇති සමාගම් වල අයිතියද විදේශිකයන්ට හිමි කර දෙමිනි. ඒ නිසා, මේ සමාගම් ලාභ ලබන විට එම ලාභයන්හි හිමිකරුවන් වන්නේද ඔවුන්ය. වෙනත් විදිහකින් කිවහොත්, රට තුළට සෘජු විදෙස් ආයෝජන නිසා ගලා එන ප්‍රාග්ධනය හේතුවෙන් අළුතෙන් නිර්මාණය වන සම්පත් වලින් සැලකිය යුතු කොටසක් නැවතත් රටින් පිටතට ප්‍රාග්ධනය ලෙස ගලා යයි. මෙසේ එකතුවන අගය රටේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වන නමුත් ගෘහස්ථ ඒකක වෙත සම්ප්‍රේෂණය නොවේ. ඒ නිසා එවැනි ආයෝජන හරහා සිදුවන ආර්ථික වර්ධනය රටවැසියන්ගේ 'ඇඟට නොදැනෙන්නට' පුළුවන.

මා මෙහිදී කියන්නේ සෘජු විදෙස් ආයෝජන නොවැදගත් බව නොවේ. ප්‍රාග්ධන ප්‍රභවයක් ලෙස සෘජු විදෙස් ආයෝජන මත වැඩිපුර විශ්වාසය තැබීම නුවණට හුරු නැති බවයි. සෘජු විදෙස් ආයෝජන නිසා රටකට ලබා ගත හැකි වෙනත් ප්‍රතිලාභ රැසක් තිබේ.

මේ වන විට ලෝකයේ බොහෝ ආර්ථිකයන් වර්ධනය වන්නේ ප්‍රාග්ධනය හේතුවෙන් නොවේ. ප්‍රාග්ධනය හේතුවෙන් ආර්ථිකයක් එක දිගට වර්ධනය වීමටනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය ගලා ආ යුතුය. එය ප්‍රායෝගිකව සිදුවිය හැක්කක් නොවේ. දිගුකාලීනව ස්ථාවර ලෙස ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගත හැක්කේ ඵලදායීතාව ඉහළ නැංවීම මඟිනි. මෙය කළ හැක්කේ දිගින් දිගටම තාක්ෂනය අළුත් කිරීමෙනි. ඒ සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කළ යුතුය.

කෙසේ වුවද, ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින, තාක්ෂනය අතින් පිටුපසින් සිටින රටකට ඇමරිකාවට හෝ ජපානය වැනි රටකට නැති වාසියක් තිබේ. ඒ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වැඩි වියදමක් නොදරා සංවර්ධිත රටවල් සතු තාක්ෂණය ප්‍රයෝජනයට ගත හැකි වීමයි. අනෙකුත් ප්‍රධාන නිෂ්පාදන සාධක දෙක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය එක් රටකින් තවත් රටකට ගලා යන විට මුල් රටෙහි එම සාධක අඩුවන නමුත් තාක්ෂනය හා අදාලව එවැන්නක් සිදු නොවේ. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටකට තාක්ෂනය ලබා ගැනීම ශ්‍රමය හා ප්‍රාග්ධනය ලබා ගැනීම තරම් අසීරු කටයුත්තක් නොවේ.


කෙසේ වුවද, සංවර්ධිත රටවල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් කරා නවීන තාක්ෂනය පියඹා එන්නේ නැත. ඒ සඳහා තාක්ෂණ ඥානය සම්ප්‍රේෂණය විය හැකි යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. සෘජු විදේශ ආයෝජන සමඟ පහසුවෙන් නවීන තාක්ෂනය සම්ප්‍රේෂණය වේ.

(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)

(Image: flickriver.com)

5 comments:

  1. බොහොම අගේ ඇති ලියවිලි මාලාවක්. ඔබ මා ඉදිරියට ගෙනවිත් තිබෙන්නේ ඉතා ආකර්ශනීය විෂයක්. ඊට බොහොම ස්තුතියි.

    අපි කලින් කතාකළ ද්‍රවශීලන උගුල වගේම G-5 රටවල් 1985 දී එකගවුන ප්ලාසා සම්මුතිය ගැනත් මම කියවා බැලුවා. ප්ලාසා සම්මුතිය එක්සත්ජනපදයේ බලවත්කම නිසා සිදුවුන බවයි පෙනුනේ. නැවත ඩොලරයේ අගය ඉහල දැමිය යුතු බව නේද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ?

    අනිද්දා සිට ජපානයේ මියේ හි ඉසේ-ෂිමා දී පැවැත්වෙන G-7 සමුළුව ගැන ජපන් මාධ්‍ය වැඩි අවදානයක් මේවන විට යොමුකරමින් තිබෙන බවක් පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ජාතිවාදයට කොහෙත් ඉල්ලුමක් තියෙනවා. ජාතිකවාදය කියන්නෙත් ජාතිවාදයේම ස්වරූපයක් තමයි. ඔබ සමුළුව ගැන ලියපුවා කියෙවුවා. විස්තරය හොඳින් සටහන් වී තිබෙනවා.

      Delete
  2. සෘජු ආයෝජනවලඇත්ත තත්වය ඉගෙනගත්තා. බොහෝමත් ස්තූතියි!

    ReplyDelete
  3. //තමන්ට හොඳ දෙය තමන්ගේ නියෝජිතයින් තමන්ට වඩා හොඳින් දන්නේයැයි සිතන ජනතාවක් සිටින තාක් මේ තත්ත්වය වෙනස් නොවනු ඇත. //

    මේ පිරිස ගැන අරුණි ශැපිරෝ එයාගේ බ්ලොග් එකේ ලියල තිබ්බා ඉතාමත් දිග විස්තරයක් - https://arunishapiro.wordpress.com/2014/07/14/%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.