Thursday, September 8, 2016

රේන්හාර්ඩ් සෙල්ටන්


1930 වසරේ ඔක්තෝබර් මස පස්වන දින, එවකට ජර්මනියට අයත් ප්‍රදේශයක් වූ බ්‍රෙස්ලෝහිදී යුදෙවුවෙකු වූ ඇඩොල්ෆ් සෙල්ටන්ට දාව ප්‍රොතෙස්තන්ත ආගම ඇදහූ කැතී ලූතර්ගේ කුසින් දරුවකු බිහි වේ. මේ දරුවා රේන්හාර්ඩ් ජස්ටස් රෙජිනෝල්ඩ් සෙල්ටන් (Reinhard Justus Reginald Selten) ලෙස නම් කෙරේ.

එවකට ඇඩොල්ෆ් සෙල්ටන් සුළු ව්‍යාපාරයක නිරතව සිටියේය. ඒ, පැරණි පොත් හා සඟරා ගොනු කියවන්නට කැමති අයට සතියක කාලයකට කුලියට දීමයි. වසර තුනක පාසැල් අධ්‍යාපනයක් පමණක් ලබා සිටි මේ යුදෙවුවා සිය තරුණ වියේදීම අන්ධ බව උරුම කරගෙන සිටි නමුත් සිය ව්‍යාපාරය සාර්ථක ලෙස කරගෙන යන්නට එය ඔහුට බාධාවක් වුනේ නැත.

කෙසේ වුවද, යුදෙවුවෙකු වූ ඇඩොල්ෆ් සෙල්ටන්ට හිට්ලර්ගේ ජර්මනියේදී මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්නට නොලැබේ. මාධ්‍ය සම්බන්ධ ව්‍යාපාර වල යෙදීම යුදෙවුවන්ට තහනම් කෙරෙන බැවින් ඔහුට සිය ව්‍යාපාරය විකුණා දමන්නට සිදුවේ.

ඇඩොල්ෆ් සෙල්ටන් උපතින් යුදෙවුවෙකු වුවද ඇත්තටම ඔහු කිසිදු ආගමක් නොඇදහූ පුද්ගලයෙකු විය. ඔහු සිය දරුවා වන රේන්හාර්ඩ්ව ඇති දැඩි කරන්නේද අනාගමික පසුබිමකය.

"ඒ මඟින් ඔහු අදහස් කළේ ලොකු වුනාම කැමති ආගමක් තෝරා ගැනීමට (හෝ නොගැනීමට) මට ඉඩ හරින්නයි. ඒත්, ඒ වන විට පැවති දේශපාලන වාතාවරණය අනුව අනාගමිකයෙකු ලෙස සිටීම අවදානම් වැඩක්. මේ නිසා ඔහු තීරණය කළා මාව නමට හෝ බෞතීස්ම කළ යුතුයි කියා."

මේ ඇඩොල්ෆ් සෙල්ටන්ගේ පුත් රේන්හාර්ඩ් සෙල්ටන් සිය ළමා කාලය ගෙවුණු හැටි විස්තර කරන ආකාරයයි.

ඇඩොල්ෆ් සෙල්ටන් ඔහුගේ 'වාසනාවට' 1942දී ස්වභාවික හේතුවකින් මිය යයි. එසේ නොවූවානම් ඔහු බොහෝ විට හිට්ලර්ගේ යුදෙවු සමූලඝාතනයේ (holocaust) ගොදුරක් විය විය හැකිව තිබුණි. 



ඉන්පසුව තමන් මුහුණදුන් අත්දැකීම් රේන්හාර්ඩ් සෙල්ටන් විසින් මෙසේ විස්තර කරයි.


"හිට්ලර්ගේ ඒකාධිපතිත්වය යටතේ බාග-යුදෙවු කොල්ලෙකු සේ ගත කළ ජීවිතය පහසු එකක් වුනේ නැහැ. වයස දාහතරේදී පාසැල් අධ්‍යාපනය අතරමඟ අවසන් කරන්නට සිදුවීමෙන් පසු වැඩිදුර ඉගෙනීම සඳහා කිසිදු ඉඩප්‍රස්තාවක් මට ලැබුණේ නැහැ. නාසි ජර්මනියේ මට කරන්න ඉඩකඩ තිබුණු එකම දෙය නුපුහුණු ශ්‍රමිකයෙකු ලෙස වැඩ කිරීම පමණයි."

"කොහොම වුනත් අපි මේ විදිහට ජීවත් වුනේ මාස හයක් පමණයි. මගේ මවත්, සොහොයුරනුත්, සොහොයුරියත්, මමත් යාන්තම් අන්තිම කෝච්චියෙන් ජර්මනියෙන් පැනගත්තා. එහෙම පැන නොගත් අයට ඉන්පසු රටෙන් පිටවෙන්න අවසරයක් ලැබුණේ නැහැ."

දේශපාලන සරණාගතයෙකු ලෙස බ්‍රෙස්ලෝවෙන් පිට වන රේන්හාර්ඩ් සෙල්ටන්ට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කිහිප වරක්ම පදිංචිය වෙනස් කරමින් තැනින් තැනට යන්නට සිදුවේ. 1946 දක්වා වසර හතරක් ගොවිපොළ සේවකයෙකු ලෙස වැඩ කරන රේන්හාර්ඩ් සෙල්ටන් 1947දී පාසැල් නැවත විවෘත කිරීමෙන් පසු සිය ඉගෙනුම නැවැත්වූ තැනින් යළිත් පටන්ගෙන 1951දී පාසැල් අධ්‍යාපනය නිම කරයි.

පාසැල් අධ්‍යාපනය නිම කරන රේන්හාර්ඩ් සෙල්ටන් ගණිත විෂයයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට තීරණය කරයි. එහෙත්, ආර්ථික විද්‍යාව හා මනෝ විද්‍යාව යන විෂයයන්
ද ඔහුගේ ඇත්තේ දැඩි කැමැත්තකි. මේ නිසා උපාධිය ලබා ගැනීමට අවශ්‍ය පාඨමාලා වලට අමතරව වෙනත් විෂයයන්ද ඔහු හදාරයි. මෙහි ආවස්ථික පිරිවැය වන්නේ රේන්හාර්ඩ් සෙල්ටන්ට උපාධිය ලබා ගැනීමට සාමාන්‍යයෙන් ගතවන කාලයට වඩා වැඩි කාලයක් ගත වීමයි.

අධ්‍යාපන ඉණිමඟේ ඉහළටම නඟින රේන්හාර්ඩ් සෙල්ටන් 1957දී ජොහෑන්-වුල්ෆ්ගැන්ග්-ගොතේ සරසවියෙන් (Johann-Wolfgang-Goethe-University) පශ්චාත් උපාධියක්ද, 1961 දී ෆ්‍රෑන්ක්ෆර්ට් සරසවියෙන් ආචාර්ය උපාධියක්ද ලබා ගනී. ඉන්පසුව, සරසවි කිහිපයකටම සම්බන්ධ වී ශාස්ත්‍රාලීය පර්යේෂණ වල නිරත වන රේන්හාර්ඩ් සෙල්ටන් අවසානයේ නවතින්නේ ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලයේය. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍ර වන්නේ ක්‍රීඩා න්‍යාය (Game Theory) හා පරීක්ෂණාත්මක ආර්ථික විද්‍යාවයි.

සමාජ විද්‍යාවක් ලෙස වර්ධනය වූ ආර්ථික විද්‍යාව රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව වැනි ශුද්ධ විද්‍යාවක් මෙන් විද්‍යාගාර වල කෙරෙන පරීක්ෂණ, නිරීක්ෂන හා නිගමන හරහා ඉදිරියට ගෙන යා හැකි විද්‍යාවක් බව දශක කිහිපයකට පෙර වැඩි දෙනෙකු විශ්වාස නොකරන්නට ඇත. එහෙත්, අද වන විට ලෝකයේ සරසවි බොහොමයක ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තු වල චර්යාත්මක ආර්ථික විද්‍යා (Behavioral Economics) මූලධර්ම තේරුම් ගැනීමට උදවු කරන ආර්ථික විද්‍යා පර්යේෂණාගාර (Experimental Laboratories) ප්‍රමුඛ අංගයක් බවට පත් වී ඇත.

බොහෝ ආර්ථික විද්‍යා ආකෘතීන්හිදී සිදු කෙරෙන උපකල්පනයක් වන්නේ මිනිසුන් තාර්කික තීරණ ගන්නා බවයි. එහෙත්, ඇතැම් මිනිසුන් බොහෝ විටත්, බොහෝ මිනිසුන් ඇතැම් විටත් අතාර්කික තීරණ ගනිති. පර්යේෂණාත්මක ආර්ථික විද්‍යාඥයන් විසින් මෙය නැවත නැවතත් නිරීක්ෂනය කර තහවුරු කර තිබේ. චර්යාත්මක ආර්ථික විද්‍යාඥයෝ ඒ සඳහා පාදක වන කරුණු ඉදිරිපත් කරමින් පවතින ආර්ථික විද්‍යා ආකෘති වඩා සවිබල ගන්වති.

චර්යාත්මක ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම ක්‍රීඩා න්‍යාය දියුණු කිරීමට, ලබාදුන් දායකත්වය වෙනුවෙන් රේන්හාර්ඩ් සෙල්ටන් 1994 වසරේදී ('බියුටිෆුල් මයින්ඩ්' චිත්‍රපට කතාවට මුල් වූ ජෝන් නෑෂ් සහ ජෝන් හාසානි සමඟ හවුලේ) ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයට හිමිකම් ලැබීය. මේ ජර්මානුවෙකු ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් පළමු අවස්ථාවයි.

දෙසතිකට පෙර පසුගිය අගෝස්තු 23 දින රේන්හාර්ඩ් සෙල්ටන් සිය දිවිසැරිය නිමා කළේය.


(Image: www.nobelprize.org)

Wednesday, August 31, 2016

ආණ්ඩුව නැත්නම් ආයෝජන නැද්ද?

ලංකාව විසින් දශක ගණනක් පුරා දිගින් දිගටම ලබා ගත් විදෙස් ණය හේතුවෙන් මේ වන විට ලංකාව ණය උගුලක පැටලී සිටින බව රජය විසින් නිල වශයෙන්ම පිළිගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් පහසුකමේ උදවුවෙන් තාවකාලිකව ගොඩ දාගෙන සිටියත් දිගුකාලීනව ප්‍රශ්නය එසේමය.

ලංකාව ණය උගුලක පැටලුනේ රටේ ආදායම ඉක්මවා වියදම් කළ බැවිනි. එසේ කරන්නට සිදුවුනේ සුබසාධන වියදම් වැඩි නිසා බව කියවෙතත්, ලංකාව මෙන් ලෝකයට ණය නැති අධික සුබසාධන වියදම් සහිත රටවල්ද තිබේ. වෙනස තියෙන්නේ සුබසාධනය වෙනුවෙන් වියදම් කිරීමේ නොව සුබසාධනය හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් ආදායමට වඩා වියදම් කිරීමෙහිය.

ලංකාවට මෙසේ ආදායමට වඩා වියදම් කිරීමට සිදුවී තිබීම සාධාරණීකරනය කෙරෙන එක් තර්කයක් වන්නේ රටේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කරන මට්ටමට ආයෝජන කිරීමට තරම් ප්‍රාග්ධනය රට තුල නැති බවයි. ඒ නිසා ණය ගන්නට සිදුවේ. (නැත්නම් ආයෝජකයින් පස්සේ යන්නට සිදුවේ.)

තර්කයක් ලෙස ඉහත කතාවේ වැරැද්දක් නැත. ණය ගැනීම යනු පුද්ගලයෙකු හෝ රටක් කිසිවිටක නොකළ යුතු මහා නරක දෙයක් නොවේ. ණය ගැනීමේ ප්‍රතිපලය තීරණය වන්නේ එසේ ගත් ණය වියදම් කරන ආකාරය අනුවය. ණය ගත් විට ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය. එහෙත්, ගත් ණය ආයෝජනය කර ලැබෙන ආදායම ණය හා පොලිය ගෙවා තවත් ගණනක් ඉතිරි කර ගැනීමටත් ප්‍රමාණවත්නම් ණය ගැනීමෙන් දිගුකාලීනව සිදුවන්නේ යහපතකි. අළුතින් ණය ගන්නා හැම විටකම ලංකාවේ රජය ණය ලබා දෙන්නන්ට කියන්නේත්, රටේ ජීවත් වන අයට කියන්නේත් එය එසේ වන බවයි.

පහත කොටස මගේ පසුගිය ලිපියෙනි.

"ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?

පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?"


රටවැසියන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගැනීමට ඉඩ දෙන අතරම, ජාතික ඉතිරි කිරීම් ඉක්මවා දිගින් දිගටම ආයෝජන ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ලංකාවට හැකිවී තිබෙන්නේ දිගින් දිගටම විදෙස් ණය ගැනීම මඟිනි. මෙසේ දිගින් දිගටම ආදායම ඉක්මවා විදෙස් ණය ගැනීම හේතුවෙන් විදෙස් ණය මල්ල අවුරුදු පතා ලොකු වේ.

පහත පළමු ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ලංකාවේ ආයෝජන අනුපාතය හා ජාතික ඉතිරිකිරීම් අනුපාතයයි. ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු රටේ ජාතික ආදායමෙන් පරිභෝජන වියදම් ඉවත් කළ විට ඉතිරි වන කොටසයි. බාහිර ප්‍රාග්ධනය රට තුළට නොපැමිණේනම් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉතිරිවන්නේ මේ කොටස පමණි.





ප්‍රස්ථාරයේ පෙනෙන පරිදි ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම රටේ ජාතික ඉතිරිකිරීම් ඉක්මවා ආයෝජන සිදු කර තිබේ. ඒ ණය ගැනීම මඟිනි. එසේනම්, එහි ඇති වරද කුමක්ද?

පළමුව බැලිය යුත්තේ මෙසේ ණය ලබා ගනිමින් ආයෝජන සිදු කිරීමෙන් වැඩක් සිදුවී ඇත්ද යන්නයි. ආයෝජන අනුපාතය හා ජාතික ආදායම වර්ධනය වීම අතර ඇති සම්බන්ධය එක් වසරකට සීමා වූ සරල සම්බන්ධයක් නොවේ. එහෙත්, එක් එක් වසර තුළ මේ විචල්‍යයන් දෙකේ හැසිරීම සරල ලෙස හැදෑරීමෙන් වුවද එසේ 'වැඩක් වී ඇති බව' පැහැදිලිය.




පහත දෙවන ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි යම් වසරක් තුළ ලංකාවේ ආයෝජන අනුපාතය 10%කින් වැඩිවන විට ආර්ථික වර්ධනය 1.5%කින් පමණ වැඩි වී තිබේ. ණය වෙනුවෙන් ගෙවන පොලිය ආදායම් වර්ධනයට වඩා අඩුනම් වැඩේ නරක නැත. එසේනම්, කළ යුත්තේ ණය වී හෝ ආයෝජනය කිරීමද? ලංකාවේ ආණ්ඩු ලෝකයට ණය නොවේනම් රටට ගොඩ යාමට වෙන විදිහක් නැද්ද?

රටක ජාතික ඉතිරිකිරීම් හැදෙන්නේ කොටස් දෙකකිනි. ඒ පෞද්ගලික ඉතිරි කිරීම් හා රාජ්‍ය ඉතිරි කිරීම්ය. පෞද්ගලික ඉතිරිකිරීම් යනු ගෘහස්ථ ඒකක වල පුද්ගලයින් විසින් බදු ගෙවීමෙන් අනතුරුව කරන (ශුද්ධ) ඉතිරි කිරීම් හා සමාගම් මඟින් බදු ගෙවීමෙන් පසුව (ලාභ ලාභාංශ ලෙස බෙදා නොදී) කරන ඉතිරි කිරීම්ය. රාජ්‍ය ඉතිරි කිරීම් යනු රජයේ බදු හා වෙනත් ආදායම් වලින් රජයේ වියදම් පියවූ පසු ඉතිරි වන කොටසයි.

ලංකාවේ රාජ්‍ය ආදායම වියදමට වඩා අඩු නිසා රාජ්‍ය ඉතිරි කිරීම් සෘණ අගයකි. ඒ නිසා ලංකාවේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු පෞද්ගලික ඉතිරිකිරීම් අනුපාතයෙන් අයවැය හිඟය අඩු කළ විට ඉතිරිවන කොටසයි. වෙනත් විදිහකින් කියනවානම් රජයේ අයවැය හිඟය ශුන්‍ය වී රාජ්‍ය ඉතිරි කිරීම්ද ශුන්‍ය වුවහොත් රටේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය පවතින අගයට වඩා බොහෝ වැඩි වනු ඇත.

පහත තෙවන ප්‍රස්ථාරයේ පෙන්වා ඇත්තේ ලංකාවේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය සහ ආයෝජන අනුපාතයයි. එසේනම්, රටට විදෙස් ණය අවශ්‍ය වී තියෙන්නේ රට තුළ ප්‍රාග්ධනය නැති නිසාද? එසේ නැත්නම් පෞද්ගලික අංශයට අකාර්යක්ෂම රජයක් නඩත්තු කිරීමට සිදු වී ඇති නිසාද? 



Monday, August 22, 2016

නැති සල්ලි වියදම් කරන්නේ කොහොමද?


 
වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරය ගැන අපි පෙර ලිපි දෙකකින් කතා කළෙමු. එහිදී, මම තා සරල ආකෘතියක් වන චක්‍රීය ප්‍රවාහ ආකෘතිය හඳුන්වා දුන්නෙමි. මේ ආකෘතිය අනුව, පුද්ගලයකුට තමන් සතු නිෂ්පාදන සාධක වන ශ්‍රමය හා ප්‍රාග්ධනය 'කුලියට දී' ආදායමක් ලබා ගත හැකිය. ඒ අනුව, ව්‍යාපාර අංශයේ කාර්යක්ෂමතාව වෙනස් නොවේනම්, පුද්ගලයෙකුට  සිය ආදායම වැඩි කර ගත හැක්කේ තමන් සතු නිෂ්පාදන සාධක වැඩි කර ගැනීමෙනි.

කෙසේවුවද, ශ්‍රම සාධකය ප්‍රමාණාත්මකව වැඩි කර ගැනීම අපහසුය. මිනිසෙකුට වැය කළ හැකි භෞතික ශ්‍රමය වැඩි කළ හැක්කේ ඉතා සීමිතවය. එවිට ඉතිරි වන්නේ ප්‍රාග්ධනයයි. ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ කෙසේද?

පුද්ගලයෙකුට සිය ප්‍රාග්ධනය ප්‍රමාණාත්මකව වැඩි කරගත හැක්කේ ලැබෙන ආදායමෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කිරීම මඟිනි. පුද්ගල ඒකක රැසක එකතුවක් ලෙස සැලකිය හැකි රටකටද මේ කරුණ අදාළය. මෙසේ ඉතිරි කළ යුත්තේ පුද්ගලයෙකුගේ හෝ රටක ආදායමෙන් කොපමණ කොටසක්ද?

යමෙකුගේ ආදායමෙන් වැඩි කොටසක් ඉතිරි කිරීම යනු වත්මන් පරිභෝජනය දැඩි ලෙස සීමා කිරීමකි. යමෙකු එසේ කිරීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් අනාගත පරිභෝජනය වැඩි කර ගැනීමේ අරමුණෙනි. කෙසේවුවද, පුද්ගලයෙකු මෙය කරන්නේ සිය වත්මන් පරිභෝජනය හා අනාගත පරිභෝජනය කිසියම් අයුරකින් සමතුලිත වන ලෙසිනි. වැඩිපුර ඉතිරිකර, වැඩිපුර ආයෝජනය කිරීමෙන් අනාගත ආදායම් ඉහළ නංවාගෙන අනාගත පරිභෝජනය වැඩි කර ගත හැකිය. එහෙත්, අද ඉතිරි කළ පමණින්ම අනාගත ආදායම් වැඩි වෙනවාද?

මෙය තීරණය වන්නේ ඉතිරි කරන ප්‍රමාණය අනුවය. පුද්ගලයෙකු හෝ රටක් සතු ප්‍රාග්ධනය සදාකාලිකවම එලෙසම පවතින්නේ නැත. කාලයත් සමඟ ප්‍රාග්ධන සම්පත් ක්ෂය වී යයි. මෙය භෞතික සම්පත් වලට මෙන්ම මානව සම්පත් වලටද පොදුය. ඒ නිසා, එසේ අඩුවන ප්‍රාග්ධන සම්පත් නැවත ප්‍රතිස්ථාපනය නොකළහොත් පුද්ගලයෙකුගේ හෝ රටක ආදායම් තත්ත්වයද කාලයත් සමඟ ක්ෂය වෙයි. මෙය වලක්වා ගැනීමටනම් අඩුම වශයෙන් එසේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත ප්‍රතිස්ථාපනය කළ හැකි මට්ටමටවත් ඉතිරි කිරීම් අවශ්‍ය වේ. ආයෝජන වැඩි කිරීමෙන් ආදායම් ඉහළ නංවා ගත හැක්කේ මේ මට්ටම ඉක්මවා ඉතිරි කර ආයෝජනය කිරීමෙනි. එහෙත්, ඒ සඳහා වත්මන් පරිභෝජනය කැප කළ යුතුය.

ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?

පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?

අනෙක් පැත්තෙන් මෙයින් පෙනෙන්නේ අපේ ආනයන අපනයන පරතරයයි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.4කි. අප නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා පරිභෝජනය (හෝ ආයෝජනය) කරනවානම් එසේ කිරීමට හැකි වන පරිදි භාණ්ඩ හා සේවා රට තුළට පැමිණිය යුතුය. ආනයන අපනයන අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින්නේ අපේ නිෂ්පාදනය (ආදායම්) හා වියදම් අතර පරතරය නොවෙනස්ව දිගටම පවතින බැවිනි. මේ පරතරය තිබෙන තුරු අපට කොහෙන් හෝ විදේශ විණිමය හොයන්නට සිදුවේ. විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වලින් එයින් කොටසක් පියවේ. ඉතිරිය පියවෙන්නේ දිගින් දිගටම වැඩි වන විදෙස් ණය වලිනි.

ආයෝජන අඩුකිරීම යනු අනාගත ආර්ථික වර්ධනයට රිදවීමකි. පරිභෝජනය අඩු කරන්නට සමාජය සූදානම් නැත. එසේනම්, පවතින තත්ත්වය තුළ, පරිභෝජනය අඩු නොකර ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා රජයන් විසින් දිගින් දිගටම විදෙස් ණය ගැනීමේ වරදක් තිබේද? වෙනත් විදිහකට කියනවානම්, ලංකාවේ රජයන්ට දිගින් දිගටම විදෙස් ණය ගන්නට වී තිබෙන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය මට්ටමට ආයෝජන කිරීමට තරම් දේශීය ඉතිරි කිරීම් නැති නිසාද?

මේ ගැන අපි ඉදිරි ලිපියකින් කතා කරමු. 


(Image: www.financialexpress.com)

Monday, August 1, 2016

මිල පාලනය නිසා නැඟී එන උද්ධමනය නොපෙනී යයිද?

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින්යැයි පවසමින් රජය අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් මිල පාලනයට ලක් කර තිබේ. මේ මිල පාලනය ගැන කෙටියෙන්ම කියන්නට තියෙන්නේ "ඕක කවදාවත් හරියන්නේ නැති දෙයක් !" යන්නයි. ඉදිරි දෙවසරක පමණ කාලය තුළ මේ මිල පාලනය පවත්වාගෙන යන බවද කියැවී තිබුණේය.

මේ වන විට මිල පාලනයට ලක් කර ඇති භාණ්ඩ සියල්ලේම පාහේ මිල සාමාන්‍යයෙන් තීරණය වන්නේ තරඟකාරී වෙළඳපොළ තත්ත්වයකට ඉතා ආසන්න තත්ත්වයන් යටතේය. ඒ නිසා සාමාන්‍යයෙන් ඒ භාණ්ඩ වල ඉල්ලුම හා සැපයුම මනාව සමතුලිත වන අතර භාණ්ඩ හිඟයක් (හෝ නිෂ්පාදන අතිරික්තයක්) නොපවතී. මිල පාලනය යටතේ සිදුවන්නේ
වෙළඳපොළ මිල මට්ටම නිදහස් වෙළඳපොළෙහි සමතුලිත මිලට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට බල කිරීමයි.

යම් භාණ්ඩයක මිල එහි නියම මිලට වඩා කෘතීම ලෙස පහත හෙලනු ලැබූ විට ඒ සඳහා වන ඉල්ලුම වඩාත් වැඩිවීමත්, සැපයුම වඩාත් අඩුවීමත් හේතුවෙන් ඉල්ලුම හා සැපයුම අසමතුලිත වී භාණ්ඩ හිඟයක් ඇති වේ. මේ තත්ත්වය මේ වන විටද රට තුළ ඇති වී ඇති බව පුවත්පත් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, සුපිරි වෙළඳසැල් වල මෙන්ම සතොස ශාඛා වලද දැනටම මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙමින් පවතී. "පොතේ හැටියට" භාණ්ඩයක මිල අඩු වුවත් ඒ මිලට ගන්නට කඩේ බඩු නැත්නම් සිදුවන්නේ පාරිභෝගික ජනතාවට සහන සැලසීම නොව ඔවුන්ගේ අසහනය තවදුරටත් වර්ධනය වීමයි.

රටේ භාණ්ඩ වල මිල පොදුවේ ඉහළ යන්නේනම් එයින් පෙනෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සමස්ත භාණ්ඩ සැපයුම (නිෂ්පාදනය + ආනයන - අපනයන) අතර පරතරයක් ඇති බවයි. රටේ ඇති භාණ්ඩ තොගයට සාපේක්ෂව මුදල් තොගය වැඩි වූ විට මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිය. උද්ධමනය කියන්නේද මෙයමය. මිල පාලනය උද්ධමනයට විසඳුමක් නොවේ.

උද්ධමනය යනු කිසියම් රටක මුදල් ඒකකයට සාපේක්ෂව එම රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල පොදුවේ ඉහළ යාමයි. එය හරියටම මනින්නටනම් රට තුළ අළෙවි වන සියළුම භාණ්ඩ හා සේවාවන්හි මිල නිරන්තරෙන් නිරීක්ෂණය කළ යුතුය. මෙය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බැවින්, සාමාන්‍යයෙන් උද්ධමනය මනිනු ලබන්නේ රටේ ආර්ථිකය නියෝජනය වන පරිදි තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක මිල වෙනස්වීම නිරීක්ෂණය කිරීම මඟිනි. රට තුළ බහුලව විකිණෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට මේ භාණ්ඩ
පැසෙහි ලොකු බරක් තිබේ.

කිසියම් හෙයකින් උද්ධමනය මැනීම සඳහා නියැදියක් ලෙස උපයෝගී කර ගන්නා භාණ්ඩ හා සේවාවන්හි මිල රටේ අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩිවීමට අනුරූප ලෙස වැඩි නොවේනම්, උද්ධමනය ලෙස මැනෙන අගය සැබෑ උද්ධමනයට වඩා අඩු අගයකි. එමඟින් රටේ සැබෑ උද්ධමනය සැඟවී යා හැකිය.

රජයේ අයවැය පරතරය පියවීම සඳහා මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම හේතුවෙන් රටේ මුදල් සැපයුම වැඩි වී උද්ධමනකාරී තත්ත්වයක් ඇති වන්නට ඉඩ ඇති අවස්ථාවක, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය කිරීම හේතුවෙන් උද්ධමනය ලෙස නිල වශයෙන් මනින අගය අඩුවෙන් පෙනේනම් පාරිභෝගික ජනතාවට සහන ලැබීම කෙසේ වුවත් රජයටනම් සැලසෙන්නේ වාසියකි.

Sunday, July 31, 2016

වැට් වැඩි වන විට බඩු මිල වැඩි වන්නේ ඇයි?


වැට් වැනි බදු වැඩි වන විට බඩු මිල ඉහළ යාම බොහෝ දෙනෙකුට පෙනෙන පරිදි සරල කරුණකි. එහි මහා ලොකු නොතේරෙන දෙයක් බැලූ බැල්මට පෙනෙන්නට නැත. එහෙත්, ඇත්තටම මෙය පෙනෙන තරම්ම සරල දෙයක් නොවේ.

මා පෙර ලිපියකින් පැහැදිලි කර පරිදි කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අළුතින් බද්දක් පැනවූ විට හෝ පවතින බද්දක් වැඩි කළ විට, ඒ බද්දේ බර බොහෝ විට සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා මත නොපැටවී, පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යයි. මෙසේ බෙදී යන අනුපාතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා වන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය ප්‍රධාන කරුණු කිහිපයක් මතය. ඒ අනුව, සෛද්ධාන්තිකව අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල බදු ඉහළ දැමීමෙන් පසුවද නොවෙනස්ව පැවතිය හැකිය.

උදාහරණයක් ලෙස කිසියම් වෛද්‍යවරයෙකු විසින් සපයන සේවාවක් සඳහා එම වෛද්‍යවරයාගේ පාරිභෝගිකයින් විසින් දැනට අය කරන මිල වන රුපියල් දහස ගෙවන්නට කැමති වුවත් ඊට වඩා සතයක්වත් ගෙවන්නට සූදානම් නැත්නම්, එම සේවාව සඳහා අය කරන මිල මත පැනවෙන බද්දක බරෙන් කොටසක් සිය පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමේ හැකියාවක් අදාළ වෛද්‍යවරයාට නැත. ඒ නිසා එවැනි වෛද්‍යවරයෙකුට අදාළ බද්දේ බර සම්පූර්ණයෙන්ම දරාගැනීමට සිදුවේ.

රටේ සියළුම (හෝ බොහොමයක්) භාණ්ඩ හා සේවා මත හදිසියේම වැට් වැනි බද්දක් පැනවූ විට හෝ එවැනි බද්දක් වැඩි කළ විට සිදු වන්නේ කුමක්ද?

උදාහරණයක් ලෙස හදිසියේම රටේ සියළු භාණ්ඩ හා සේවා මත 10%ක වැට් බද්දක් පැනවූයේයැයි සිතමු. මේ බද්ද භාණ්ඩ හා සේවාවන්හි මිලට සෘජුවම එකතු වී රටේ බඩු මිල 10%කින් ඉහළ යාමේ හැකියාවක් පවතීද?

මෙය තේරුම් ගැනීමේ පහසුව සඳහා එය එසේ වීයැයි අපි මොහොතකට සිතමු. දැන් කිසියම් පුද්ගලයෙකු විසින් පෙර මිල දී ගත් භාණ්ඩ හා සේවාවන් ඒ අයුරින්ම මිලදී ගැනීම සඳහා ඔහුට හෝ ඇයට 10%ක් වැඩිපුර ගෙවන්නට සිදුවේ. මේ පුද්ගලයාගේ ආදායම නිශ්චිතනම් සහ පෙර එය මුළුමනින්ම වියදම් කළේනම්, මෙසේ වැඩි වූ පිරිවැය හමුවේ මුල් පරිභෝජන මට්ටම පවත්වා ගත හැක්කේ ණය වීමෙන් පමණි.

රටක එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් ගණනාවකට මේ අයුරින් වෙනකෙකුට ණය වී සිය පරිභෝජන මට්ටම පවත්වා ගත හැකිය. එහෙත්, කෙනෙකු රුපියලක් ණයට ගන්නා හැම විටකම රුපියලක් ණයට දෙන්නට අයෙක්ද සිටිය යුතුය. මෙසේ ණය දීම නිසා අත ඇති මුදල් සීමා වන නිසා ඒ පුද්ගලයාට සිය පරිභෝජනය අඩු කිරීමට සිදු වේ. මේ අනුව, රටේ සෑම භාණ්ඩයක හා සේවාවකම මිල එක් වර ඉහළ ගියහොත්, පුද්ගල ආදායම් වෙනස් නොවන පසු බිමක, භාණ්ඩ හා සේවා සඳහා වන සමස්ත ඉල්ලුම අනුපාතිකව අඩු විය යුතුය.

මෙසේ ක්ෂණිකව භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම අඩු වූ විට රටක භාණ්ඩ හා සේවා අතිරික්තයක් ඇති වේ. එවිට, නිෂ්පාදකයෝ මිල අඩු කිරීම මඟින් අළුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, වැඩි වූ බද්දේ බර හේතුවෙන් රටේ භාණ්ඩ හා සේවාවන්හි සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු නොවේ. ඒ අනුව, වැට් වැඩි වූ රටේ බඩු මිල අනුපාතිකව වැඩි වේනම්, රටේ සමස්ත ඉල්ලුම නොවෙනස්ව පවත්වා ගත හැකි තරමේ ආදායම් වැඩි වීමක්ද සිදු විය යුතුය.

එය එසේ සිදු වනවාද?

මෙය තීරණය වන්නේ වැඩි කළ වැට් මුදල් හරහා රජය විසින් එකතු කර ගන්නා ආදායම වියදම් කරන ආකාරය අනුවය. උදාහරණයක් ලෙස, ඒ මුදලින් පැරණි විදෙස් ණයක් පියවේනම් රට තුළ එවැනි ආදායම් වැඩි වීමක් නොවේ. එහෙත්, එම මුදලින් රටේ (මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය සේවකයින් වැනි) කිසියම් පිරිසකගේ වැටුප් වැඩි කෙරේනම් හෝ රාජ්‍ය සේවකයින් අළුතින් බඳවා ගැනේනම්, එම පිරිසගේ ආදායම් වැඩි වී මිල දී ගැනීමේ හැකියාව වැඩි වන නිසා සමස්ත ඉල්ලුම ඉහළ ගොස් බඩු මිලද වැඩි වේ. එවිට අවසාන වශයෙන් සිදු වන්නේ මේ පිරිසගේ වැඩි වූ පරිභෝජනය වෙනුවෙන් රටේ ඉතිරි කොටසට සිය පරිභෝජනය අඩු කරන්නට සිදු වීමයි.

වැට් වැඩි කළ විට බඩු මිල ඉහළ යාමට හේතු වන්නේ එම වැඩි කිරීමම නොවේ. රජය විසින් එසේ එකතු කර ගන්නා මුදල් නැවත කිසියම් පිරිසක් වෙත සම්ප්‍රේෂණය වී, ඔවුන්ගේ ආදායම් වැඩි වී රටේ සමස්ත ඉල්ලුමද ඉහළ යාමයි. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ වැට් වැඩි කිරීමට එරෙහි වන පිරිස්ම, රජයේ වියදම් වැඩි කරවන ඉල්ලීම්ද දිගින් දිගටම කිරීමයි.

රජය බදු පනවන්නේ සිය වියදම් ආවරණය කර ගැනීමටය. බදු මඟින් මේ වියදම් ආවරණය කර ගැනීම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි. එමඟින් බඩු මිල ඉහළ යා හැකිය.

රජයේ වියදම් එසේම පවතිද්දී ඉහළ දැමූ බද්දක් නැවත පහත හෙළූ විට හෝ ඉවත් කළ විට කුමක් සිදු වේද? මෙය දේශපාලනික වශයෙන් ජනප්‍රිය කටයුත්තක් විය හැකිය. එහෙත්, බද්ද අහෝසි කළ පමණින් එය පැනවීමට මුල් වූ රජයේ ආදායම් වියදම් පරතරය වෙනස් නොවේ. ප්‍රායෝගිකව මේ අඩුව පිරවෙන්නේ එතරම් පාරදෘශ්‍ය ක්‍රමයක් නොවන 'සල්ලි අච්චු ගැසීමෙනි'.

සල්ලි අච්චු ගැසීම හෙවත් මහ බැංකුවට රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවි කිරීම සිදු කර ලැබෙන ආදායම වියදම් කළ විට සිදු වන්නේද රටේ කිසියම් සීමිත පිරිසකගේ ආදායම් වැඩි වී, සමස්ත ඉල්ලුම ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමයි. ඒ නිසා, වැට් බද්ද අඩු හෝ අහෝසි කළ විට සිදු වේයැයි පෙනෙන භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වීම මායාවක් පමණි.


(Image: www.hirunews.lk)

Thursday, July 28, 2016

මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමයි!

අද (ජූලි 28) සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් (0.5% බැගින්) පිළිවෙලින්, 7% සහ 8.5% දක්වා ඉහළ නංවා තිබේ. මේ මඟින් අදහස් කරන්නේ රටේ ණය ඉල්ලුම අඩු කර, භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩු කිරීම මඟින් ඉදිරියේදී ඇති විය හැකි උද්ධමන තර්ජනයට මුහුණ දීමට සූදානම් වීමටය.

නැඟී එන උද්ධමන තර්ජනය මහ බැංකුව විසින් නිවැරදිව හඳුනා ගෙන ඒ සඳහා ගත හැකි ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගයක් ගෙන තිබේ. කෙසේ වුවද, උද්ධමනය තර්ජනයක් බවට පත් වීමට හේතු වූ ප්‍රධාන සාධක වල දිශානතියනම් වෙනස් වන අයුරක් නොපෙනේ.

සැලකිය යුතු ලෙස බදු ඉහළ නැංවීමෙන් පසුවත්, රජයේ ආදායම් හා වියදම් පරතරය දිනෙන් දින ඉහළ යනු මිස අඩු වන බවක් නොපෙනේ. මේ අඩුව පිරවෙන්නේ දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම මඟින් ලබා ගන්නා ණය වලිනි. එහෙත්, මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණිය හැක්කේ ඒවා සඳහා රට තුළ (හෝ රටින් පිටත) ඉල්ලුමක් ඇත්නම් පමණි. එසේ නොමැති විට, 'කාටවත් ඕනෑ නැති' මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මිල දී ගන්නට වෙන්නේ රටේ මහ බැංකුවටය. මහ බැංකුවට අළුතින් මුදල් මුද්‍රණය කිරීමේ හැකියාව ඇති නිසා රටේ සල්ලි නැතත් මහ බැංකුවේ සල්ලි නැති වෙන්නේ නැත.

පසුගිය 2015 අවසානයේ සිට 2016 මාර්තු අවසානය දක්වා ගත වූ තෙමස තුළ පමණක් රජය විසින් මහ බැංකුවෙන් ලබාගෙන ඇති ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 229.9 සිට රුපියල් බිලියන 406.6 දක්වා රුපියල් බිලියන 176.7 කින් (එනම් 77%කින්) වැඩි වී තිබේ. මෙය ඉතා විශාල වැඩි වීමක් බව නොකිවමනාය. එතැන් සිට ගත වී ඇති සිවුමස තුළ මෙසේ අළුතින් මුද්‍රණය කර රජය හරහා සංසරණයට එකතු වී ඇති මුදල් ප්‍රමාණය තවත් වැඩි වී තිබිය හැකිය.

මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණා රජයට තාවකාලිකව ගොඩ යන්නට පුළුවන. එහෙත්, එහි ප්‍රති විපාකය වන්නේ ගොනු පසු පස එන ගැල මෙන් වසරකට හෝ දෙකකට පසුව නැඟ එන උද්ධමනයයි. රටේ නිෂ්පාදනය වැඩි නොවන පසුබිමක, රජය විසින් මහ බැංකුවෙන් ලබා ගන්නා අළුත් මුදල් වියදම් කරන්නට පටන් ගත් විට රටේ ඇති නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයට ඇති ඉල්ලුම වැඩි වී මිල ඉහළ යයි. මෙයින් පීඩාවට පත් වන්නේ රජයට මෙන් මහ බැංකුවේ මුද්‍රණ යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නොමැති, දුක් මහන්සියෙන් වැඩ කර මුදලක් උපයාගත යුතු රටේ සාමාන්‍ය ජනතාවයි.

උද්ධමනයට මූලික හේතුව රටේ සමස්ත නිෂ්පාදනයට වඩා සමස්ත ඉල්ලුම වැඩි වීම නිසා, නිෂ්පාදනය වැඩි කළ නොහැකි පසුබිමක උද්ධමනය පාලනය කළ හැක්කේ ඉල්ලුම අඩු කිරීමෙනි. රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය අඩු කිරීමෙන් සමස්ත ඉල්ලුම අඩු කළ හැකිය. පොලී අනුපාතික ඉහළ දැමූ විට රටේ ජනතාවගේ (සහ සමාගම් වල) ණය ඉල්ලුම අඩු වේ. එවිට, ඔවුන් අත වියදම් කිරීමට ඇති මුදල් සීමා වන නිසා භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමද අඩු වේ. එමෙන්ම, තැන්පතු පොලී වැඩි වන විට සාමාන්‍ය ජනතාවගේ බැංකු තැන්පතු වැඩි වන නිසා එයින් සිදුවන්නේද වියදම් කරන මුදල් ප්‍රමාණය අඩු වීමයි.

කෙසේ වුවද, පොලී අනුපාතික ඉහළ දැමූ පමණින් රජයේ වියදම් අඩු වන්නේ නැත. ඒ නිසා භාණ්ඩ හා සේවා සඳහා වන රජයේ ඉල්ලුම අඩු වන්නේද නැත. එක් අතකින්, පොලිය ඉහළ දැමූ විට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණා ගැනීම පහසු වෙයි. අනෙක් අතින්, තැන්පතු ලෙස බැංකු කරා ඇදෙන මුදල් වලින් සැලකිය යුතු කොටසක් බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන නිසා රජයට දේශීය ණය ලබා ගැනීම පහසු වේ. ඒ නිසා, අවසාන වශයෙන් වෙන්නේ රජයේ වියදම් වෙනුවෙන් රටේ ජනතාවගේ වියදම් සීමා කරන්නට සිදු වීමයි.

රටේ ජනතාවගේ වියදම් අඩු වනු යනු සමාගම් වල ආදායම් අඩු වීමයි. එමෙන්ම, ණය පොලී අනුපාතික ඉහළ ගිය විට රටේ පෞද්ගලික ආයෝජනද අඩු වේ. මෙහි සමස්ත ප්‍රතිපලය වන්නේ ආර්ථික වර්ධනය තවත් සීමා වීමයි. වත්මන් ආර්ථික වර්ධන වේගය ලංකාවේ ආර්ථික වර්ධන
වේගයේ දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩුවෙන් ඇති අවස්ථාවක උද්ධමන තර්ජනයට මුහුණ දීම සඳහා ආර්ථික වර්ධනයට තව දුරටත් බාධා පමුණුවන ක්‍රියා මාර්ගයක් ගැනීමට මහ බැංකුවට සිදු වී තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. මෙයින් පෙනෙන්නේ රටේ වත්මන් ආර්ථික උපාය මාර්ග කෙතරම් දුර්වල හා අවුල් සහගතද යන්නයි. 

මේ සිදුවන්නේ හත් පොළේ ගා ගැනීමක්ද?

(Image: english.readsrilanka.com)

Friday, July 1, 2016

සංක්‍රමණයට දොරටු විවර කළොත්?


ජාත්‍යන්තර වෙළඳාම නිසා එයට සම්බන්ධ වන දෙරටේම වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන ආකාරය අපි පෙර ලිපි වලින් කතා කළෙමු. මේ වාසියේ ප්‍රභවය වන්නේ එක් එක් රටෙහි ඇති නිෂ්පාදන සාධක එම රටට පරිපූර්ණ වාසියක් හෝ තුලනාත්මක වාසියක් ඇති ක්ෂේත්‍ර කරා විතැන් වීම හේතුවෙන් ඇති වන කාර්යක්ෂමතාවයයි. රටක් විදෙස් භාණ්ඩ හා සේවාවන්ට විවෘත වීමෙන් පසු, තවදුරටත් අකාර්යක්ෂම ක්ෂේත්‍රයන්හි රැඳී සිටීනම් මේ වාසි අඩුවිය හැකි අතර එසේ රැඳී සිටින පිරිස් වලට අවාසියක් සිදුවීමටද ඉඩ තිබේ.

අල්ලංකාවට හා ගලවංකාවට නැවත ගියොත්, ජාත්‍යන්තර වෙළඳාමට විවෘත වීමෙන් පසුව එක් එක් රටේ ඒක පුද්ගල පරිභෝජනය දෙගුණ විය හැකි නමුත් ඒ සඳහා ඉහත කී ලෙස වඩා ඵලදායී ක්ෂේත්‍ර කරා සම්පත් විතැන් වීම අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත්, මෙය හිතන තරම්ම පහසුවෙන් සිදු නොවිය හැකිය. කුසලතා පිලිබඳ ගැටළු, සමාජ ආකල්ප ආදිය නිසා ඇතැම් අය තමන්ගේ රැකියාව වෙනස් කිරීමට කැමති නැත. විදෙස් භාණ්ඩ වල බලපෑම නිසා එවැන්නන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්නට පුළුවන.

මෙතෙක් අප කතා කළේ රටවල් අතර භාණ්ඩ හා සේවා සංචරණයට ඇති බාධා ඉවත් වීමේ වාසි පමණි. එසේනම්, අල්ලංකාව හා ගලවංකාව අතර ශ්‍රම හුවමාරුවට ඉඩකඩ විවර කළහොත් කුමක් වෙයිද?

මෙය තීරණය වන්නේ එක් එක් රටේ තුලනාත්මක වාසියෙහි ප්‍රභවය කුමක්ද යන්න මතය. අල්ලංකාවේ වැසියෙකුට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණක් වෙද්දී, ගලවංකාවේ වැසියෙකුට දිනකට මාළු කිලෝ තුනක් නිපදවිය හැකිව ඇත්තේ කෙසේද? එමෙන්ම, අල්ලංකාවේ වැසියෙකුට වැඩිපුර මාළු නිපදවිය හැකිව ඇත්තේ කෙසේද?

මේ වෙනසට හේතුව අදාළ රටේ භූ සැකැස්මට, පිහිටීමට හෝ කා
ගුණයට අදාළ කරුණක්නම් නිෂ්පාදනය සඳහා යොමු වන පුද්ගලයා කවරෙකු වුවද තත්ත්වයෙහි වෙනසක් නොවේ. අනෙක් අතට, මේ වෙනසට හේතුව කර්මාන්තයෙහි නියැලෙන්නන්ගේ කුසලතා වෙනස්කම් වන්නටද පුළුවන.

පළමුව, එක් එක් රටෙහි තුලනාත්මක වාසියට හේතුව අදාළ රටේ භූ සැකැස්මට, පිහිටීමට හෝ කාලගුණයට අදාළ කරුණක්යැයි සිතමු. එසේනම්, අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට සිය කුසලතා ඔප් නංවා ගැනීම මඟින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරගෙන, විදෙස් ආනයන සමඟ තරඟ කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා, නිදහස් වෙළඳාම ඇරඹුණු පසු සිය රැකියාව වෙනස් නොකළහොත් ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ යයි.

එහෙත්, සංක්‍රමණයටද දොරටු විවර වුවහොත් ඔවුන්ට තවත් තෝරාගැනීමක් ඉතිරි වේ. ඒ, රැකියාව වෙනස් නොකර රට වෙනස් කිරීමයි. මේ තත්ත්වය යටතේදී, අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට සිය රැකියාව වෙනස් නොකර රට වෙනස් කිරීමෙන්ද සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය තෙගුණයකින් වැඩි කර ගත හැකිය. අවසානයේදී, පෙර අවස්ථාවේදී මෙන්ම දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වේ. (මේ දෙගුණවීම මේ ලිපියේ උදාහරණයට පමණක් අදාළය. එය කවර හෝ වැඩිවීමක් විය හැකිය.) මේ අවස්ථාවේදී, සංක්‍රමණයට අමතරව  දෙරට අතර අල හා මාළු වෙළඳාමද තව දුරටත් සිදු විය යුතුය.

ගිවිසුම් මඟින් කෘතීම බාධා නැති කළද, භාණ්ඩ හා සේවා වෙළඳාමට ප්‍රවාහන ගාස්තු, කල් තබා ගැනීමේ සීමාවන් වැනි ස්වභාවික බාධා ඇති අයුරින්, සංක්‍රමනයටද ස්වභාවික බාධාවන් තිබේ. තමන්ට හුරුපුරුදු වටපිටාවෙන් බැහැරව ජීවත් වන්නට බොහෝ දෙනෙකු මැලි වන අතරම, වෙනත් රටකින් පැමිණෙන වෙනස් සංස්කෘතියට අයත් පිරිස් සමඟ මුසු වීමටද බොහෝ දෙනෙකු අකමැත්තක් දක්වති. මෙයට අමතරව සංක්‍රමණය හා අදාළ මූලික පිරිවැය දරා ගැනීමටද සංක්‍රමනිකයෙකුට සිදුවේ. ඒ නිසා, කිසියම් පුද්ගලයෙකු වෙනත් රටකට සංක්‍රමණය වීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් ලැබෙන ආර්ථික වාසි ඉහත කී සියළු මුදලින් මැනිය හැකි හා එසේ මැනීම අපහසු වෙනත් පිරිවැය (monetary and emotional costs) ඉක්මවන්නේනම් පමණි.

තුලනාත්මක වාසියට හේතුව කුසලතා වෙනස්කම් පිළිබඳ ප්‍රශ්නයක්නම්?

සංක්‍රමණයට ඉඩකඩ නොමැතිනම් දැන් අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට රැකියා වෙනස් නොකර සිය කුසලතා දියුණු කර ගැනීමේ විකල්පයක්ද තිබේ. එය නිසියාකාරව සිදු වුවහොත්, එක් එක් රටෙහි තුලනාත්මක වාසි නැති නිෂ්පාදනයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයද ඉහළ යාමෙන්, තුලනාත්මක වාසි නැතිව යන නිසා අල හා මාළු හුවමාරු කරගැනීමක්  අවශ්‍ය වන්නේද නැත. කෙසේවුවද, එසේ කුසලතා වර්ධනය කර ගැනීම කෙටිකාලීනව කළ නොහැක්කකි.

මේ දෙවන තත්ත්වය යටතේදී, සංක්‍රමණයට ඉඩ සැලසීම ජාත්‍යන්තර වෙළඳාමට විකල්පයකි. අල්ලංකාවේ අල වවන්නෙකුට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණක් වුවත්, ගලවංකාවේ අල වවන්නෙකුට අල්ලංකාවට පැමිණ අල කිලෝ තුනක් නිපදවිය හැකිය. මේ අයුරින්ම, ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට නිපදවිය හැක්කේ මාළු කිලෝවක් පමණක් වුවත්, අල්ලංකාවේ මාළු අල්ලන්නෙකුට ගලවංකාවට පැමිණ මාළු කිලෝ තුනක් නිපදවිය හැකිය. මෙසේ, ගලවංකාවේ මාළු හා අල්ලංකාවේ අල නිෂ්පාදනය ඉහළ ගිය විට එම භාණ්ඩ අනෙක් රටෙන් ආනයනය කිරීමේ අවශ්‍යතාවය අඩුවී හෝ නැති වී යයි.

කෙසේ වුවද, තවදුරටත් අල වවන අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ තවදුරටත් මාළු අල්ලන ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට දැන් තර්ජන දෙකකි. එක් පසෙකින් අඩු මිලට එන ආනයන වල තරඟයයි. අනෙක් පසින්, තමන්ට වඩා තෙගුණයක් කාර්යක්ෂම විදෙස් ශ්‍රමිකයින්ගේ තරඟයයි. 


මේ බලපෑම් ක්ෂණික හා විශාලනම් එක් වර සිය ජීවන තත්ත්වයෙහි සිදුවන පහත වැටීමට මුහුණ දීම ඔවුන්ට ඉතා අසීරු කරුණක් වනු ඇත. එහෙත්, මේ වෙනස සිදුවන්නේ සාපේක්ෂව හෙමින්නම්, මුලින්ම පැමිණෙන සංක්‍රමණිකයින් සමඟ එක්ව වැඩ කිරීමෙන් ඔවුන්ගේ ඉහළ කාර්යක්ෂමතාවයට හේතු වූ කරුණු හඳුනාගෙන තමන්ගේද කුසලතා වර්ධනය කර ගැනීමට ඔවුන්ට කාලයක් ලැබේ. ඒ අතරම, මෙය මෙසේ සිදුවීමටනම්, සංක්‍රමණිකයින් තමන්ගේ අකාර්යක්ෂමතාවයන්ට තර්ජනයක් බව පෙනෙන්නට තරම් සැලකිය යුතු සංක්‍රමණයක් රට තුළට සිදු වීමද අවශ්‍යය. 

(Image: http://www.fibre2fashion.com/_resources/industry-articles/45/4453/1_files/image001.jpg)