Wednesday, November 2, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පළමු කොටස)

රජයක් ආදායමට වඩා වියදම් කරන විට එම ආදායම් වියදම් පරතරය පියවා ගැනීම සඳහා ණය ගන්නට සිදුවේ. මේ ණය විදේශ ණය හා දේශීය ණය ලෙස වර්ග කළ හැකිය. දේශීය ණය ප්‍රධාන වශයෙන්ම ලබා ගන්නේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මඟිනි.

කල් පිරීමේ කාලය වසරකට වඩා වැඩි රාජ්‍ය සුරැකුම්පතක් භාණ්ඩාගාර බැඳුම්කරයක් ලෙසත්, එම කාලය වසරක් හෝ අඩු කාලයක් වන සුරැකුම්පතක් භාණ්ඩාගාර බිල්පතක් ලෙසත් හැඳින්වේ. සාමාන්‍යයෙන් දින 91, 182 හෝ 364 කින් කල් පිරෙන පරිදි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙන අතර, වසර 2, 3, 5, 10, 15, 20 හෝ 30 වැනි කාලයකින් කල් පිරෙන පරිදි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ. සුරැකුම්පතක කල් පිරීමේ කාලය මෙවැනි රවුම් ගණනක් නොවන්නටද පුළුවන. මෙහිදී කල් පිරීමේ කාලය ලෙස හඳුන්වන්නේ සුරැකුම්පතක් මිලදී ගන්නා අයෙකුට රජය විසින් එහි මුහුණත වටිනාකම ගෙවීමට ගත වන කාලයයි.

මුහුණත වටිනාකම යනු රාජ්‍ය සුරැකුම්පත් මුද්‍රිත සහතිකව පැවති කාලයේ මුදල් නෝට්ටු වල හෝ ස්ථිර තැන්පතු සහතික වල මෙන් එම සුරැකුම් සහතිකපත් වල මුහුණතේ මුද්‍රණය කර තිබුණු මුදලයි. මේ වන විට රාජ්‍ය සුරැකුම්පතක් යනු විද්‍යුත් ලේඛණයක් පමණක් වුවත් මුහුණත වටිනාකම යන යෙදුම තවමත් භාවිතා වේ.

රාජ්‍ය ආදායම් වියදම් පරතරය කාලයත් සමඟ වෙනස්වන රටාව හා ගලපමින්, පොලී වියදම අවම වන පරිදි භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර වැනි රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම සාමාන්‍යයෙන් රටක රාජ්‍ය භාණ්ඩාගාරයේ කටයුත්තකි. කිසියම් ඓතිහාසික හේතුවක් නිසා ලංකාවේ මහා භාණ්ඩාගාරය වෙනුවෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීම හා කළමනාකරණය කිරීම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

වසරකින් කල් පිරෙන, මුහුණත වටිනාකම රුපියල් මිලියන 100ක් වන භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගන්නා අයෙකුට වසරකින් පසු එම බිල්පත කල් පිරෙන දින රුපියල් මිලියනක් ලැබේ. ඒ නිසා, කල් පිරෙන දින එහි වටිනාකම එහි මුහුණත වටිනාකමට හරියටම සමානය.

අනාගතයේ ලැබෙන රුපියල් මිලියන 100ක් වෙනුවෙන් අද රුපියල් මිලියන 100ක් ගෙවන්නට කිසිදු ආයෝජකයෙකු සූදානම් නැත. ඒ නිසා භාණ්ඩාගාර බිල්පතක් කිසි විටෙකත් එහි මුහුණත වටිනාකමට අලෙවි කළ නොහැකිය. එවැන්නක් හැම විටෙකම අලෙවි වන්නේ මුහුණත වටිනාකමට වඩා අඩු මුදලකටය.

වසරකින් ලැබෙන රුපියල් 100ක් සඳහා ඔබ අද ගෙවන්නට සූදානම් මුදල කුමක්ද? මෙයට සෑම දෙනෙකුටම එකඟ විය හැකි නිශ්චිත පිළිතුරක් නැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. අයෙකුට එය රුපියල් 95ක්ද, තවත් අයෙකුට රුපියල් 90ක්ද, තෙවැන්නෙකුට රුපියල් 88ක්ද විය හැකිය. යමෙකු භාණ්ඩාගාර බිල්පතක් මිලදී ගන්නට පෙළඹෙන්නේ ඔහුගේ හෝ ඇයගේ මුදලේ කාල වටිනාකම් සමඟ සැසඳීමෙන් පසු ලාභයක් ලැබේනම් පමණි.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී රජයට වඩාත්ම වාසිදායක වන්නේ මුහුණත වටිනාකමට හැකිතාක් ආසන්න මුදලකට ඒවා අලෙවි කිරීමට හැකි වන තරමටය. මේ විකිණුම් මිල වැඩි වූ තරමට ගෙවිය යුතු පොලිය අඩු වේ. ඇත්තටම මේ පොලිය සෘජුව ගණනය වන්නේ නැත. එය තීරණය වන්නේ භාණ්ඩාගාර බිල්පතක් අලෙවි වන මිල අනුවය.

රුපියල් මිලියන 100ක මුහුණත වටිනාකමක් හා වසරක පරිණත කාලයක් ඇති භාණ්ඩාගාර බිල්පතක් රුපියල් මිලියන 90කට අලෙවි වූයේයැයි සිතමු. මෙහිදී, ඇත්තටම රජයට ලැබෙන මුදල රුපියල් මිලියන 90ක් පමණක් වන අතර, එම මුදල සඳහා වසරකින් පසු රුපියල් මිලියන 10ක් පොලිය ලෙස ගෙවිය යුතුය. ඒ අනුව, පොලී අනුපාතිකය 10/90= 11.11%ක් වේ.

මෙම බිල්පතම රුපියල් මිලියන 91කට විකිණිය හැකි වීනම් රජයට වහාම ලැබෙන මුදල රුපියල් මිලියන 91 දක්වා වැඩිවන අතරම ගෙවිය යුතු පොලියද  රුපියල් මිලියන 9 දක්වා අඩුවේ. එවිට, පොලී අනුපාතිකය 9/91=9.89%ක් පමණි.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම ඒවා වැඩිම මිලකට අලෙවි කිරීම මඟින් අඩුම පොලියක් ගෙවිය හැකි මඟකි. බොහෝ දෙනෙකු ලන්සු තබන විට අනාගත මුදලේ වත්මන් කාල වටිනාකම වැඩි අය ඒ අතර සිටීමේ ඉඩකඩද වැඩිය.

ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියට ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට අමතරව වෙනත් ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකටද සෘජුව සහභාගී විය හැකිය. මෙසේ සහභාගී විය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැනි ක්‍රමය වනුයේ වෙන්දේසියේදී තීරණය වන කවර හෝ මිලකට තමන් මිලදී ගැනීමට සූදානම් භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉදිරිපත් කිරීමයි. මෙය තරඟකාරී නොවන ලන්සුවක් ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් මෙවැනි තරඟකාරී නොවන ලන්සු ඉදිරිපත් වන්නේ 1%ක පමණ ඉතා සීමිත ප්‍රමාණයකි.

දෙවන ක්‍රමය තරඟකාරී ලන්සු ක්‍රමයයි. මෙහිදී, මිලදී ගැනීමට සූදානම් බිල්පත් ප්‍රමාණය මෙන්ම ඒ වෙනුවෙන් අපේක්ෂා කරන පොලිය හෝ ඩොලර් 100ක මුහුණත වටිනාකමක් වෙනුවෙන් ගෙවීමට සූදානම් මිලද ඉදිරිපත් කළ යුතුය. එක් අයෙකුට මෙවැනි තරඟකාරී ලන්සු ඉදිරිපත් කළ හැක්කේ වෙන්දේසියට ඉදිරිපත් කර ඇති බිල්පත් ප්‍රමාණයෙන් 35% නොඉක්මවන ප්‍රමාණයට පමණි. මෙහි අරමුණ එක් අයෙකුට පොලී අනුපාතික පාලනය කිරීමට ඇති හැකියාව අවම කිරීමයි.

දැන් අපි වෙන්දේසියෙන් පසු ඇමරිකාවේ මේ බිල්පත් තරඟකරුවන් අතර වෙන් කරන ආකාරය විමසා බලමු. ලැබුණු ලන්සු (ඩොලර් මිලියන) පහත පරිදියැයි සිතමු.

තරඟකාරී නොවන- 30
99.9% - 970
99.8% - 4,000
99.7% - 5,000
99.6% -  10,000
99.5 - 10,000
99.4% - 10,000
99.3% - 10,000
99.2% - 10,000
99.1% - 10,000
.....

වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඩොලර් මිලියන 60,000ක් යැයි සිතමු. මේ ප්‍රමාණය අලෙවි කළ හැකි උපරිම මිල වනුයේ මුහුණත වටිනාකමින් 99.2%කි. ඊට වඩා මිලකට මුළු බිල්පත් ප්‍රමාණයම විකුණන්නට තරම් ඉල්ලුමක් නැත. ඒ නිසා, එම මිල හෝ වැඩි මිලක් ගෙවන්නට  සූදානම් වූ සියල්ලන්ටම (තරඟකාරී නොවන ලංසුකරුවන්ද ඇතුළුව) තමන් ඉල්ලූ බිල්පත් ප්‍රමාණය මුහුණත වටිනාකමින් 99.2%ක මිලකට නිකුත් කෙරේ.

ලංකාවේ මෙය සිදුවන ආකාරයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තිබේ.

-වෙන්දේසියට සහභාගී විය හැක්කේ ප්‍රාථමික ගණුදෙනුකරුවන්ට, වාණිජ බැංකු වලට හා සේවක අර්ථසාධක අරමුදල වැනි සීමිත ආයතන ගණනකට පමණි.
-එක් අයෙකුට ලන්සු තැබිය හැකි උපරිම සීමාවක් නැත.
-මහ බැංකුව සිය අභිමතය පරිදි වෙන්දේසියට ඉදිරිපත් කළ සුරැකුම්පත් ප්‍රමාණය, එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් හෝ අඩු ප්‍රමාණයක් නිකුත් කිරීමට මෙන්ම ලන්සු ලබා ගැනීමෙන් පසු වෙන්දේසිය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමටද ඉඩ තිබේ.
-සුරැකුම්පත් විකුණන්නේ එක් එක් ආයතනය විසින් ලන්සු තැබූ මිලට මිස සියල්ලන්ටම එකම මිලකට නොවේ.

බැඳුම්කර හා අදාල තාක්ෂනික කරුනුත්, ද්වීතියික වෙළඳපොළ මිල තීරණය වන ආකාරයත් ලංකාවේ ප්‍රාථමික ගැනුම්කරුවන්ගේ භූමිකාව ගැනත් ඉඩ ලැබුණු විටක කතා කරමු.


නැවත දැනුම්දෙන තුරු කමෙන්ට්ස් ඉකොනොමැට්ටාගේ අනුමැතියට යටත් කර ඇති අතර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි තෝරාගත් කමෙන්ට්ස් පමණක් ඉඩක් ලැබුණු විට පල කෙරෙනු ඇත.

(Image: Wikipedia) 

18 comments:

  1. සාරසයෝ මෙන්න වරෝ, ඉකෝන් ඇවිල්ලෝ.

    ReplyDelete
  2. //මේ ප්‍රමාණය අලෙවි කළ හැකි උපරිම මිල වනුයේ මුහුණත වටිනාකමින් 99.2%කි// මේක 99.1% නේද ?

    ReplyDelete
    Replies
    1. 99.1% ගත්තොත් 70000 වෙනවා. එකතු කරලා බලන්න
      මමත් පිලිගන්නවා ඉකොනොගේ මේ කොටස පැහැදිලි මදි.

      Delete
    2. මෙය පැහැදිලි මදි ඇති. දෙවන කොටසේ ඇති උදාහරණය වඩා පැහැදිලියි කියා සිතනවා. ඒත් පැහැදිලි නැත්නම් කියන්න. ඉතිරි වඩා සංකීර්ණ කොටස් වලට යන්න පෙර මට මෙවැනි මූලික කරුණු පැහැදිලි කරන්න වෙනවා. ඒ නිසා මේ මූලික කරුණු අවබෝධ කරගැනීම වැදගත්. පැහැදිලි මදිනම් එහි වැරැද්ද මගේ. මම වඩාත් සරලව පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.

      Delete
  3. පලක් නැතෝ!:

    නැවත දැනුම්දෙන තුරු කමෙන්ට්ස් ඉකොනොමැට්ටාගේ අනුමැතියට යටත් කර ඇති අතර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි තෝරාගත් කමෙන්ට්ස් පමණක් ඉඩක් ලැබුණු විට පල කෙරෙනු ඇත.

    ReplyDelete
  4. කුප්‍රසිද්ධ බැඳුම්කර මගඩියෙන් වංචාවක් වෙලා තියෙන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්නකොට අන්තිමට නතරවුනේ ඉකොනොමැට්ටා ළඟ...

    ඉකොනො ඒක පැහැදිලි කරලාදෙයි කියලා හිතනවා...

    ReplyDelete
  5. කියෙව්වා ටික හරි , මට අහන්න තියෙන්නේ දැන් ඔය බැඳුම් කර එංගලන්තෙත් ඇමෙරිකාවෙත් විකුනනවනේ. ඕව විකුණන කොට පොඩි පොඩි ඔත්තු හුවමාරු වෙනවා ඇතිනේ. අර රාජරත්නම් හෙම අහුවුනේ. ඉතින් එහම් නැතුව ඕව විකුනනන් අමාරුයි නේද?

    ReplyDelete
    Replies
    1. // කියෙව්වා ටික හරි , මට අහන්න තියෙන්නේ දැන් ඔය බැඳුම් කර එංගලන්තෙත් ඇමෙරිකාවෙත් විකුනනවනේ. ඕව විකුණන කොට පොඩි පොඩි ඔත්තු හුවමාරු වෙනවා ඇතිනේ. අර රාජරත්නම් හෙම අහුවුනේ. ඉතින් එහම් නැතුව ඕව විකුනනන් අමාරුයි නේද? //


      හෆොයි අජ්ජෝ!!!

      රාජ් රාජරට්නම් වැරදිකරු වුනේ සමාගම් කීපයක ව්යාපාර වස්තු වලට අදාලව ඉන්සයිඩර් ට්‍රේඩින්ග් හෙවත් පෙර දැනුමක් ඇතිව ව්යාපාර වස්තු මිල දී ගැනීම හා විකිනීම සඳහායි! එම සමාගම් අතර Intel සහ IBM ආයතන ද තියෙනවා....

      ඔය චෝදනාවම (insider trading) සිරි ලන්කාවේ නෝමන් ගුනවර්දන සහ ඔහු ගේ දරුවන් වන ඔටාරා සහ අජිත් ගුනවර්දන ටත් එල්ල වී වැරදිකරුවන් වුනා හිටන්!

      ඔහුට අමෙරිකානු රජයේ බඳුම්කර සම්බන්දව චෝදනා නැත!!!

      Delete
    2. ඉතින් මචං ඒකනේ මෙතනත්. insider trading වගේ පුතාට බැදුම්කර දාන එක කලින් පාස් කරපු එක නේද වුනේ. ඒකම ඔයිට කලිනුත් වුනේ නැත්ද?

      Delete
    3. මම කියන්නේ කළ එක හරි හෝ ඒක බෙර ගණන් හදන්න නෙමේ හොඳද? මේ හොර වැඩේ නිතර වෙනවා කියන්න.

      Delete
  6. අඩුම පොලිය ඇති 99.9% සිට පහලට එකතු කළ විට 99.2% දී ඩොලර් මි 60,000.00 සම්පුර්නවේ

    ReplyDelete
  7. //එක් අයෙකුට මෙවැනි තරඟකාරී ලන්සු ඉදිරිපත් කළ හැක්කේ වෙන්දේසියට ඉදිරිපත් කර ඇති බිල්පත් ප්‍රමාණයෙන් 35% නොඉක්මවන ප්‍රමාණයට පමණි. මෙහි අරමුණ එක් අයෙකුට පොලී අනුපාතික පාලනය කිරීමට ඇති හැකියාව අවම කිරීමයි.//

    මේක ටිකක් තේරුනා මදි

    ReplyDelete
    Replies
    1. දැන් අපි 2015 පෙබරවාරි 27 වෙන්දේසිය දෙස බැලුවොත් වෙන්දේසි කළේ රුපියල් බිලියන 1ක් පමණයි. නමුත්, පර්පෙචුවල් සමාගම විසින් රුපියල් බිලියන 15ක් (ලංකා බැංකුව හරහා තැබු ලංසුද ඇතුළුව) ලංසු තැබුවා. ඇමරිකාවේ ක්‍රමයටනම් එක් ආයතනයකට උපරිම වශයෙන් ලංසු තැබිය හැකි වන්නේ රුපියල් මිලියන 350 දක්වා පමණයි. (ඒ නිසා, වෙන්දේසියේ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය එක් අයෙකුට තීරණය කළ නොහැකියි) එවැනි සීමාවක් තිබුණානම් මෙවැනි අවුලක් වෙන්නේ නැහැ.

      Delete
    2. ස්තූතියි...

      Delete
  8. බැදුම්කර වෙලෙදපොලෙන් ආර්ථිකයට ඇති වාසි මොනවද?

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.