මෙහිදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන ආන්තික මිල වන්නේ මුහුණත අගය රුපියල් 100ක් සඳහා රුපියල් 104.51කි. ඒ මිල ඉල්ලුම හා සැපයුම සමතුලිත කරන මිලයි. ඊට වඩා වැඩි ලන්සු හතරක් ඉදිරිපත් වී ඇති අතර ඒ ලන්සු හතරේ එකතුව රුපියල් මිලියන 658කි. මෙසේ ආන්තික මිලට වඩා වැඩි ලන්සු ඉදිරිපත් කළ ආයතන වලට බැඳුම්කර වෙන්කිරීමෙන් පසු අඩුව රුපියල් මිලියන 342කි.
ආන්තික මිල වන රුපියල් 104.51 ට ලන්සු තුනක් ඉදිරිපත් වී ඇති අතර ඒ ලන්සු තුනේ එකතුව රුපියල් 650කි. මේ ප්‍රමාණය ඉතිරි වී ඇති ඉල්ලුම වන රුපියල් මිලියන 342 ඉක්මවන නිසා කිසියම් ක්‍රමයකට ගැණුම්කරුවන් අතර බැඳුම්කර වෙන්කිරීමක් කළ යුතුය. මෙය කළ හැකි සාධාරණම ක්‍රමය වන්නේ ඉල්ලන ප්‍රමාණයෙන් සමාන අනුපාතයක් එක් එක් ලන්සුකරුට වෙන් කිරීමයි. ඉතිරිව ඇති සැපයුම (රුපියල් මිලියන 342) ආන්තික මිල යටතේ වන ඉල්ලුමෙන් (රුපියල් මිලියන 650) 52.6%ක් නිසා ආසන්නම රුපියල් මිලියනයට රවුම් කර ඉල්ලුමෙන් 52.6%ක් එක් එක් ලන්සුකරුට වෙන් කිරීමෙන් මුලින් දැනුම් දුන් පරිදි හරියටම රුපියල් බිලියනයක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළ හැකිය.
ඇමරිකානු ක්‍රමයේදී සියළුම ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ ආන්තික මිල වුවත්, ලංකාවේ ක්‍රමයේදී එක් එක් ගැනුම්කරුට තමන් තැබූ ලන්සුවේ මිල ගෙවන්නට සිදු වේ. ඒ අනුව, ලංකා බැංකුවට රුපියල් මිලියන 8ක මුහුණත වටිනාකමැති බැඳුම්කර වෙනුවෙන් රුපියල් 119.33ක ඉහළ මිලක්ද, ඉතිරි රුපියල් මිලියන 500 වෙනුවෙන් රුපියල් 109.39ක තරමක් අඩු මිලක්ද ගෙවන්නට සිදු වේ. ලංකා බැංකුව විසින් රුපියල් මිලියන 508ක බැඳුම්කර වෙනුවෙන් ගෙවන මුළු මුදල රුපියල් මිලියන 556.51ක් වන නිසා ලංකා බැංකුව විසින් ගෙවන බරිත සාමාන්‍ය මිල රුපියල් 109.23ක්ද, බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය 10.23%ක්ද වේ.
ඇකුයිටි සිකියුරිටීස් සමාගම රුපියල් 112.01 බැගින්ද, ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් 110.95 බැගින්ද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගනිති. එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල විසින් ආන්තික මිල වන රුපියල් 104.51 ගෙවති.
රුපියල් බිලියනයක (මිලියන 1000ක) මුහුණත වටිනාකමැති භාණ්ඩාගාර බැඳුම්කර විකුණා රජය ලබන මුදල රුපියල් මිලියන 1,080.89ක් වන අතර රජය වෙත ලැබෙන බරිත සාමාන්‍ය මිල රුපියල් 108.09ක්ද, බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය 10.38%ක්ද වේ.
යම් හෙයකින්, කෝප් කමිටුව යෝජනා කරන පරිදි, වෙන්දේසි ක්‍රමයට නොගොස් සෘජු ක්‍රමයට මේ මුදල උපයා ගන්නට මහ බැංකුව උත්සාහ කළේයැයි සිතමු. ඒ අනුව, වෙන්දේසියේදී ලැබිය හැකිව තිබුණු මිල වන රුපියල් 108.09 බැගින් මිල නියම කර භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කළේනම් ඒවා මිල දී ගන්නට ඉදිරිපත් වන්නේ ලංකා බැංකුව, ඇකුයිටි සිකියුරිටීස් සමාගම හා ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම පමණි. විකිණිය හැකි මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් මිලියන 658ක් පමණි. රුපියල් බිලියනයක භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමටනම්, රුපියල් 104.51 නොඉක්මවන මිලක් නියම කරන්නට සිදු වේ. එය වෙන්දේසියෙන් ලැබෙන බරිත සාමාන්‍ය මිල වන රුපියල් 108.09ට වඩා රුපියල් 3.58කින් අඩු මිලකි. වෙනත් අයුරකින් කිවහොත් එසේ රුපියල් බිලියනයක බැඳුම්කර විකිණුවේනම් සිදුවන අලාභය රුපියල් මිලියන 35.8කි.
108.39 කියන්නේ ඵලදා අනුපාතය 11.53% විතර වෙනවා නේද? එහෙනම් ඇයි මේ විගණකාධිපති (ප්‍රමුක විපක්ෂය) 9.48% ට දෙන්න තිබුන කියල කියන්නේ කෙලින්ම දුන්නනම්?
ReplyDeleteමෙය ඊට පෙර වෙන්දේසියේ බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය. ඒ මිලට මේ වෙන්දේසියේදීත් ඕනෑම බැඳුම්කර ප්‍රමාණයක් විකිණිය හැකි බව ඔවුන් උපකල්පනය කරනවා. එය වැරදි උපකල්පනයක්. සාමාන්‍ය පරිදි සමීකරණය යෙදූ විට ඔබට ලැබී ඇති 11.53%න් 10%ක රඳවාගැනීමේ බද්ද (1.15%) ඉවත් කළ විට ඇත්තටම ලැබෙන ඵලදා අනුපාතිකය 10.38%යි. බිලියනයක් පමණක් නිකුත් කළත් මේ වෙන්දේසියේදී 9.48% සිට 10.38% දක්වා ඵලදා අනුපාතිකය ඉහළ යනවා.
Deleteහරි. මට රඳවා ගැනීමේ අනුපාතේ ගණනය කරන්න අමතක උනා. 10.38% තමයි.
Deleteමේ අනුව ගත්තොත් යූඑන්පී එක කියන "9.48% උපකල්පිත අගයක්ය. විගනකාධිපතිගේ ගණන් හැදීම මනංකල්පිතය . "කියන ෆුට්නොට් එක හරිද? වැරදිද?
//මෙය ඊට පෙර වෙන්දේසියේ බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකය.//
Deleteමගේ ඉහත කමෙන්ටුවේ උඩින් ඇති කොටස නිවැරදි විය යුතුය. කෝප් වාර්තාව අනුව, 9.48% යනු ආන්දෝලනාත්මක වෙන්දේසිය පැවැත්වුණු 2015 පෙබරවාරි 27 දිනට පෙර සතියේ තිස් අවුරුදු බැඳුම්කර සඳහා පැවති ද්වීතියික වෙළඳපොළ බරිත සාමාන්‍ය ඵලදා අනුපාතිකයයි.
එජාප පාදක සටහනේ විගණකාධිපතිගේ ගණන් හැදීම උපකල්පිත අගයක් මත පදනම් වන බව කියා ඇතත් එම අගය 9.48% බව කියා ඇති බවක් පෙනෙන්නට නැත. එම පාදක සටහන් නිවැරදිය. මා මෙම කොටසින් හා වඩා පැහැදිලිව ඉදිරි කොටසින් විස්තර කර ඇති පරිදි විගණකාධිපතිවරයාගේ ගණනය කිරීම් පදනම් වන්නේ පිළිවෙලින් රුපියල් 104.51 හා 102.21 යන මිලගණන් වලට බැඳුම්කර සියල්ල සෘජු ක්‍රමයට විකිණිය හැකිව තිබුණේය යන උපකල්පන මතය. මගේ ගණන් හැදීම් අනුව, මෙම මිල ගණන් හා අනුරූප ඵලදා අනුපාතික වන්නේ පිළිවෙලින් 10.75% හා 11%යි. ඔහු විසින් 9.48% අනුපාතිකය ගණනය කිරීම් සඳහා යොදාගෙන ඇති බව නොපෙනේ. විගණකාධිපති වරයා විසින් මෙහිදී යොදාගෙන ඇති රුපියල් 104.51 හා 102.21 යන මිලගණන් අහඹු ගණන් නොවේ. මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මුලින් අපේක්ෂා කළ හා ප්‍රාථමික ගණුදෙනුකරුවන් වෙත දැනුම්දුන් රුපියල් බිලියනය හා ඔවුන්ගේ දෙවන විකල්පය වූ රුපියල් බිලියන 2.6 පමණක් නිකුත් කළේනම් ගෙවන්නට වන ආන්තික මිලයි. ඒ නිසා, විගණකාධිපතිවරයාගේ ක්‍රමවේදය වැරදි වුවත් එයට පදනමක් තිබේ.
Delete//වෙනත් අයුරකින් කිවහොත් එසේ රුපියල් බිලියනයක බැඳුම්කර විකිණුවේනම් සිදුවන අලාභය රුපියල් මිලියන 35.8කි.//
ReplyDeleteමේ අන්තිම වාක්‍යය කෝප් වාර්තාවේ විගනකාධිපතිගේ ගණන් හැදිල්ලේ අනිත් පැත්ත. දෙකම වැරදි නේද? අපි දන්නේ කොහොමද සෘජු ක්‍රමයට දුන්නට පස්සේ වෙන්දේසි ක්‍රමයට ගියානම් කොහොම වෙයිද කියල. නිකන්ම නිකන් උපකල්පන කරන්න විතරයි අපට පුළුවන් වෙන්නේ. බැඳුම්කර විකුන්නට පස්සේ අඩුම ගානේ ලාබයක් හෝ පාඩුවක් ගැන කතා කිරීම විහිළුවක් බවයි මට හිතෙන්නේ. අපිට කතා කරන්න පුළුවන් ගනුදෙනුවේ විනිවිදභාවය විතරයි.
අක්‍රමිකතාවක් වුනා කියන එක අමතක කළොත්, තරඟකාරී තත්ත්වයන් යටතේ ප්‍රාථමික ගණුදෙනුකරුවෙක් හෝ බැංකුවක් වෙන්දේසියට තබන ලන්සු මිල ඔවුන් ගෙවන්න සූදානම් වන උපරිම මිලයි. එහෙමනම්, සෘජු ක්‍රමය යටතේ වැඩි මිලකට විකිණෙන විට ඔවුන් බැඳුම්කර මිලදී ගන්නේ නැහැ. සෘජු ක්‍රමය යටතේ මිලදී ගන්නේ තමන්ගේ මිල එම මිලට වඩා අඩුනම් පමණයි. මේ ප්‍රකාශය පදනම් වෙන්නේ එම උපකල්පනය (වෙන්දේසියේ ලන්සුවලින් නියම වෙළඳපොළ ඉල්ලුම පිළිබිඹු වෙනවා යන) මතයි. ඒ අනුව, සෘජු ක්‍රමය යටතේ සියල්ලන්ම ආන්තික මිල පමණක් ගෙවද්දී, ලංකාවේ පවතින වෙන්දේසි ක්‍රමය යටතේ රජය විසින් එක් එක් ලන්සුකරු ගෙවන්න සූදානම් උපරිම මිලම අය කෙරෙනවා. මෙහිදී ලන්සුතබන්නන්ගේ සම්පුර්ණ පාරිභෝගික අතිරික්තයම රජය විසින් ගනිද්දී, සෘජු ක්‍රමයේදී යම් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒ නිසා, මේ උපකල්පනය යටතේ වෙන්දේසි ක්‍රමය හැමවිටම රජයට වාසියි. ඒ නිසා මෙය විගණකාධිපති වාර්තාවේ අනිත් පැත්ත නෙමෙයි. ප්‍රායෝගිකව මෙය හැමවිටම මෙසේ නොවන බව ඇත්ත. මම තවම එතැනට ආවේ නැහැ. සේවක අර්ථසාධක අරමුදල වැනි රජයේ පාලනයට යටත් ආයතන වලට වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් සෘජු ක්‍රමයට විකුණන්න පුළුවන්.
Deleteඔබ කියන දෙය තේරුණා.
Deleteනමුත් එතනත් උපකල්පනයක් තියෙනවනේ රජය 104.51 ට ස්රුජුකරමය යටතේ විකුනන්න තීරණය කළා කියල. නමුත් ඒ ඉලක්කම පදනම් වෙන්නේ වෙන්දේසියේ ලැබුන මිලගණන් මත. වෙන්දේසිය නොතිබ්බනම් අපට ඒ ගාන ගැන දැනගන්න විදියක් නැහැ.
වාසි අවාසි ගණනය කිරීමක් නිරපේක්ෂ ලෙස කළ නොහැකියි. මෙහිදී මම කරන්නේ වෙන්දේසි ක්‍රමයේ ඇති වාසි (හෝ අවාසි) සෘජු ක්‍රමයට සාපේක්ෂව විමසා බැලීමයි. මගේ තර්කයට මේ ගණන කුමක්ද කියන එක වැදගත් නැහැ. මෙතැනදී රුපියල් 104.51 කියන ගණන අරගෙන තියෙන්නේ උදාහරණයක් ලෙස පමණයි. ඔබ ලන්සු තබන පරාසය තුළ වෙනත් ඕනෑම ගණනක් ගන්න. අපි P කියා කියමු. ලන්සු පරීක්ෂා කිරීමෙන් එම මිලට විකිණිය හැකි උපරිම බැඳුම්කර ගණන දැන ගත හැකියි. මෙය අපි Q කියා කියමු. සෘජු ක්‍රමයට හෝ වෙන්දේසි ක්‍රමයට එම මිලට විකිණිය හැකි බැඳුම්කර ප්‍රමාණය හෙවත් වෙළදපොළ ඉල්ලුම තමයි එයින් පෙන්වන්නේ. සෘජු ක්‍රමය යටතේ මේ මුළු ප්‍රමාණයම විකිණෙන්නේ P මිලට නිසා රජයට ලැබෙන අරමුදල් ප්‍රමාණය PQ. ඒත්, වෙන්දේසියේදී, මේ Q ප්‍රමාණයම විකුණන්නේ P යන මිලට නෙමෙයි. එම මිලට ලන්සු තැබූ අයට ඒ මිලටත් ඊට වඩා වැඩියෙන් ලන්සු තැබූ අයට වැඩි මිලටත් විකුණන නිසා රජයට ලැබෙන අරමුදල් ප්‍රමාණය හැමවිටම PQ වලට වඩා වැඩියි. සෘජු ක්‍රමය යටතේ විකුණන ප්‍රමාණය වෙළදපොල ඉල්ලුමට වඩා අඩුනම් අවාසිය තවත් වැඩියි. හිතාමතාම පාඩු විඳීමේ අරමුණින් බැඳුම්කර මිලදී ගන්නා ආයතන සිටින තත්වයකදී හැර, සෘජු ක්‍රමය යටතේ විකිණිය හැකි බැඳුම්කර ප්‍රමාණය වෙළදපොල ඉල්ලුමට වඩා වැඩි වීමේ කිසිම හැකියාවක් නැහැ. කෙසේවුවත්, මා මෙහිදීත් උපකල්පනයක් කර තිබෙනවා. ඒ තමයි ලන්සුවලින් වෙළඳපොළෙහි ඇති සැබෑ ඉල්ලුම පිළිබිඹු වන බව. එය සිදුවන්නේ තරඟකාරී තත්ත්වයකදී පමණයි, මෙහි කිසියම් අක්‍රමිකතාවක් ඇති වුනානම් එයින් රජයට වූ අවාසිය ගණනය කළ යුත්තේ අසීරු හා සංකීර්ණ කටයුත්තක් වුවත් එදින ලන්සු වලින් පෙන්වූ ඉල්ලුම් වක්‍රය සැබෑ ඉල්ලුම් වක්‍රයෙන් කෙතරම් වෙනස්ද යන්න හැදෑරීමෙනුයි. තරඟකරුවන් අතර 'කොලුෂන්' තත්ත්වයකදී වගේම 'ඉන්සයිඩර් ට්‍රේඩින්' තත්ත්වයකදීත් අපට මේ සැබෑ ඉල්ලුම් වක්‍රය නොපෙනී යන නිසා වෙන්දේසියේ ප්‍රතිඵලය රජයට වාසිදායකම ප්‍රතිඵලය නොවිය හැකියි. මා මෙහිදී 104.51 යන ගණන තෝරා ගත්තේ 'ඉන්සයිඩර් ට්‍රේඩින්' තත්ත්වයක් යටතේදී වුවත් ඉල්ලුම් වක්‍රයේ මුල කොටස, එනම් ඉල්ලුම මුලින් දැනුම් දුන් රුපියල් බිලියනය දක්වා වන කොටස නිවැරදි ලෙස සැලකිය හැකි නිසයි.
Delete