Tuesday, May 24, 2016

ආර්ථික අර්බුදය හඳුනාගනිමු! (පස්වන කොටස)


පෙර කොටසින් සාකච්ඡා කළ පරිදි, වෙනත් මාර්ග වලින් ලැබෙන ප්‍රාග්ධනය හා විදෙස් විණිමය ප්‍රවාහ සමඟ සැසඳූ විට සෘජු විදෙස් ආයෝජන වලින් රට තුළට විශාල ප්‍රාග්ධනයක් හෝ විදේශ විණිමය ප්‍රවාහ ගලාඑන්නේ නැත. කිසියම් ආයෝජකයෙකු ලංකාවේ ආයෝජනය කරන්නේ සිය ප්‍රාග්ධනයට වැඩි ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් මිස ලංකාවට යහපතක් කිරීමේ අරමුණින් නොවේ. ඒ නිසා, එවැනි ආයෝජකයෙකු සිය ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභ නැවත රටින් පිටතට ගෙනයනු ඇත. එසේනම්, සෘජු විදෙස් ආයෝජන ලබාගැනීමේ වැදගත්කම කුමක්ද?

සෘජු විදෙස් ආයෝජන හරහා රටකට වාසි ලැබෙන ප්‍රධාන නාලිකා දෙකක් තිබේ. පළමුව, එමඟින් රටේ සේවා වියුක්තව ඇති හෝ අඩු කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගැනෙන ශ්‍රමයට වටිනාකමක් ලැබේ. දෙවනුව, එමඟින් රට තුළට නවීන තාක්ෂනය පොම්ප කරයි (spillover effect). එහෙත්, හැම විටම මේ දේවල් මේ අයුරින්
සිදුවේද?

සෘජු විදෙස් ආයෝජන වලින් ලැබෙන වාසි තීරණය වන්නේ එම ආයෝජන සිදුවන කර්මාන්තය කුමක්ද යන්න මතය. කර්මාන්තය ශ්‍රමමූලික වූ තරමට හා ලැබෙන තාක්ෂනය අවශෝෂණය කරගත හැකි වූ තරමට මේ වාසි වැඩිය. ජයවර්ධන රජයේ ජනප්‍රිය තෝරාගැනීම වූ ඇඟළුම් කර්මාන්තය මේ කරුණු දෙකම අනුව ඉතා හොඳ තෝරාගැනීමක් විය.

ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා වලට ගිය බොහෝ කාන්තාවන් එවකට වෙනත් රැකියාවක් නොකළ, සාපේක්ෂව අඩු අධ්‍යාපනයක් ලබා තිබූ කණ්ඩායමකි. ඇඟළුම් කර්මාන්තය දියුණු වෙද්දී ඔවුන්ගේ ශ්‍රම සම්පත් ඵලදායී ලෙස ආයෝජනය කෙරුණු අතර ඒ ශ්‍රම සම්පත් වෙනුවෙන් ලැබුණු ප්‍රතිලාභ රට තුළ ඉතිරි විය. එමෙන්ම, ඇඟළුම් තාක්ෂනය ලංකාවට අවශෝෂණය කරගැනීමට අසීරු තාක්ෂණයක් නොවූ බැවින් වැඩි කල් නොයා දේශීය ආයෝජකයින්ටද ඇඟළුම් කම්හල් ඇරඹීමට හැකි විය.

ඉතා කෙටි කාලයකින් එවකට ලංකාවේ සම්ප්‍රදායික අපනයන වූ තේ, රබර්, පොල් සහ කුළුබඩු ආදිය අභිබවමින් ඇඟළුම් නිෂ්පාදන ලංකාවේ ප්‍රධානම අපනයන භාණ්ඩය බවට පත් විය. මේ තත්ත්වය තවමත් එසේම පවතී. පසුගිය 2015 වසර තුළදී ඇඟළුම් නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලංකාව ඩොලර් මිලියන 4,820 ක් ඉපැයූ අතර එය රටේ මුළු අපනයන ආදායමෙන් 45.9% කි.


ඇඟළුම් ක්ෂේත්‍රයේ සිදුවූ සෘජු විදෙස් ආයෝජන වලින් මෙවැනි වාසියක් ලැබුණත් වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක සිදුවන ආයෝජන වලින් එවැනි වාසියක් ලබා ගත නොහැකිය. උදාහරණයක් ලෙස දුරකථන සේවා සපයන සමාගමක් බොහෝ දුරට පදනම් වන්නේ ප්‍රාග්ධනය මතය. ඒ නිසා එවැනි සමාගමකට විශාල පිරිසකට රැකියා සැපයීමට අවශ්‍ය නොවන අතර ඒ නිසා ලාභ වලින් ශ්‍රමය වෙනුවෙන් වෙන්වන ප්‍රතිලාභද විශාල නැත. ඇතැම් විට විදෙස් ශ්‍රමය ප්‍රයෝජනයට ගැනීම නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙසද ලාභ වලින් කොටසක් රටින් පිටතට ආපසු යා හැකිය. එමෙන්ම, මෙවැනි සමාගම් සිය ගණනකට රට තුළ ඉඩක් නැති නිසා තාක්ෂනය රටතුළට ගලා ඒමේ වාසියද විශාල නැත.

වෙනත් උදාහරණයක් ලෙස සංචාරක හෝටලයක් වැනි ආයෝජනයක් සැලකුවහොත් මෙය සැලකිය යුතු ලෙස විශාලනය කළ හැකි (scalable) කර්මාන්තයක් වුවත් එම කර්මාන්තයේ අමුතුවෙන් පිටතින් ලබාගන්නට තරම් විශාල තාක්ෂණ පරතරයක් නැත. ඒ නිසා, සෘජු විදෙස් ආයෝජන හඹා යාමේදී රටට වැඩිම ප්‍රතිලාභ ලැබෙන කර්මාන්ත ක්ෂේත්‍ර තෝරාගැනීම වැදගත්ය. එසේ නොකළහොත් අවසාන වශයෙන් එවැනි කර්මාන්ත වලට ලබා දෙන බදුසහන ආදියෙන් සැලසෙන්නේ අවාසියක් විය හැකිය.

අවාසනාවකට ජයවර්ධන රජය විසින් සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගනිමින් රට තුළ ඇඟළුම් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් පසු ගතවූ දශක හතර තුළ තවමත් ලංකාවට එවැනි වෙනත් වාසිදායක කර්මාන්තයක් සොයා ගැනීමට හැකි වී නැත. 


පසුගිය වසර තුළ සිදුවූ සෘජු විදෙස් ආයෝජන වලින් 55% ක්ම සිදුවී ඇත්තේ දේපල සංවර්ධන, සංචාරක හා විදුලි සංදේශ ක්ෂේත්‍ර වලය. බොහෝදුරට මේ ආයෝජන වලින් සිදුවන අයහපතක් නැතත් එම කර්මාන්ත වල සිදුවන ආයෝජන වලින් රටේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට තාවකාලිකව ලැබෙන සුළු වාසිය හැරුණු විට දිගුකාලීනව ඇති ආර්ථික වාසියක් ඇත්නම් එය එතරම් විශාල විය නොහැකිය.

(Image: ctmil.com)

5 comments:

  1. ඔබේ විවරණයන්ගෙන් බොහෝදේ උගනිමි. ලන්කාව තුල මේ වෙනකොට ලොකු කතිකාවතක් බවට පත්ව ඇති ICTA ගැන විග්‍රහයක් කලහැකිනම් අගයමි.

    ReplyDelete
    Replies
    1. ඉක්ටා ගැන කතා කරන විට බොහෝ දෙනෙකු සිතන්නේ මෙය දේශපාලනික දෙයක් බවයි. ගිවිසුම ඉක්ටාද, සීපාද නැත්නම් වෙනත් එකක්ද යන්නත්, ක්‍රියාත්මක කරන්නේ රනිල්ද, මහින්දද නැත්නම් ජවිපෙ වැනි වෙනත් පක්ෂයක් විසින්ද යන්නත් එතරම් වැදගත් නැත. ලංකාවේ ආර්ථිකයට ඊළඟ අදියරට පා තැබීමට අවශ්‍යනම් හැකි ඉක්මණින් සේවා අංශය තරඟකාරිත්වයට නිරාවරණය කළ යුතුය. ලංකාවට ලෝකයට විවෘත විය හැකි කවුළුව ඇත්තේ ඉන්දියාව හරහා බැවින් ඉන්දියාවට විවෘත වීම ලෝකයට විවෘත වීමට හොඳ ප්‍රවේශයකි. කෙටියෙන් කියනවානම් 'ඉන්දියාව විසින් ලංකාව ගිල ගැනීමට පෙර ලංකාව විසින් ඉන්දියාව ආක්‍රමණය කළ යුතුය'. ලංකාවට මෙය කිරීමේ හැකියාව තවමත් තිබේ. එහෙත්, ඒ තත්ත්වය වැඩි කලක් නොපවතිනු ඇති අතර මේ අවස්ථාවේ ඉක්මන් නොවුණොත් අග්නිදිග ආසියානු කෝච්චිය මිස් කරගත් ලංකාවට ඉන්දියානු කෝච්චියද මිස් වනු ඇත. කෙසේ වුවද, එසේ කිරීමට පෙර හෝ එසේ කරන අතර කළ යුතු වෙනත් 'හෝම් වර්ක්' කිහිපයක් තිබේ. පෙර ගිවිසුම් වලින් ලංකාවට වාසියක් ගැනීමට නොහැකි වුණේ මේ 'හෝම් වර්ක්' හරියට නොකළ නිසාය. මේ දේවල් මට ඉඩ ලැබෙන පරිදි කරුණු සහිතව විස්තර කිරීමට පුළුවන. කෙසේවුවද, පවතින දේශපාලන වාතාවරණය හැත්තෑ හතේ තත්ත්වයට වඩා බොහෝ වෙනස්ය. රටේ බහුතර ජනතාවගේ කැමැත්ත නැතිව ප්‍රතිසංස්කරණ කරන්නට යාමෙන් නැති ප්‍රශ්න ඇති විය හැකිය. ඒ නිසා යන ගමනක් යා යුත්තේ රටේ ජනතාව සමඟය.

      Delete
    2. ඉතාම හොඳ විග්‍රහයක් ඉකොනො. ඔබගේ ලිපිපෙල ආර්ථික විද්‍යාව නොදන්නා අපවැනි නූගතුන්ට විශාල සේවාවක්. කරුණාකර අපට මිස්වූ අග්නිදිග ආසියානු ධූමරථය ගැනත් අප එය මිස් කරගත්තේ කෙසේද යන්නත් දැනට අපට ඉතිරිව පවතින ඉන්දීය විභවය ගැනත් විස්තර කළ හැකිනම් ගොඩක් පින්. දැනුම දීම යනු අන්ධයන්ගේ ඇස් පෑදීම වැනි විශාල පින්කමක්. ඔබට ජය පතමි. ජය ශ්‍රී !

      Delete
  2. I have stolen your above comment to strengthen my last posts point of view.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.