Friday, June 16, 2023

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද?


මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා.

ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල් අමාත්‍යංශය විසින් රජයේ ණය ප්‍රමාණ පිළිබඳ "අලුත්ම" තත්ත්වය ටික දවසකට කලින් වාර්තා කළා. අලුත්ම නොකියා "අලුත්ම" කිවුවේ මේ තියෙන්නෙත් මාර්තු 31 පැවති තත්ත්වය නිසා. මීට කලින් "අලුත්ම" තත්ත්වය වුනේ පෙර වසර අවසානයේදී පැවති තත්ත්වය. 

පහත වගුවේ විස්තරාත්මකව පෙන්වා ඇති පරිදි, පෙර වසර අවසානයේදී ඩොලර් මිලියන 84,703ක් වූ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය මාර්තු අවසානය වෙද්දී ඩොලර් මිලියන 91,561 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 6,858ක වැඩි වීමක්. ඩොලර් බිලියන හතකට ආසන්නයි.

ඒ කියන්නේ රජය විසින් ඔය මාස තුනට අලුතෙන් ඩොලර් බිලියන හතක් පමණ ණය අරගෙනද?

පළමුව, මෙහි තිබෙන්නේ සමස්ත රාජ්‍ය අංශයේ ණය. මධ්‍යම රජයේ ණය වගේම මහ බැංකුවේ සහ රාජ්‍ය සංස්ථා වල ණයත් මෙම ගණනට ඇතුළත්. දෙවනුව, මේ ණය වලට විදේශ ණය මෙන්ම දේශීය ණයද ඇතුළත්. අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශ ණයහිමියන් වෙනුවෙන් නිසා රුපියල් ණයද ඇමරිකන් ඩොලර් වලින් පෙන්වා තිබෙනවා. 

මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය කොටස පමණක් වෙන් කර ගත්තොත් ඩොලර් මිලියන 44,243 සිට ඩොලර් මිලියන 44,203 දක්වා ඩොලර් මිලියන 200ක අඩු වීමක් පෙනෙනවා. ඒ කියන්නේ ඔය කාලය ඇතුළත ලබාගත් යම් විදේශ ණය ප්‍රමාණයක් ඇත්නම් එම මුළු ප්‍රමාණය සහ තවත් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයක් විදේශ ණය ආපසු ගෙවීම සඳහා යොදවා තිබෙනවා. 

මේ විදිහට ආපසු ගෙවා තියෙන්නේ, බොහෝ දුරට, ඔය කාලය තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර. ආපසු ගෙවා තිබෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 208ක්. ඩොලර් ණයට නොගෙන ඩොලර් ණය ගෙවනවා කියන්නේ රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන ඩොලර් වලින් ණය ගෙවනවා කියන එකයි. සුළුවෙන් හෝ ණය ආපසු ගෙවීමට අමතරව ඔය කාලය තුළ විදේශ ණය වෙනුවෙන් පොලී ලෙසද සැලකිය යුතු මුදලක් ගෙවන්න ඇති.

රුපියල් නොවන විදේශ ණය සියල්ල ඇමරිකන් ඩොලර් වලින් ගත් ණය නෙමෙයි. යුරෝ, යෙන්, යුවාන් ආදී වෙනත් මුදල් වලින් ගත් ණය ඔය ගොඩේ තිබෙනවා. විණිමය අනුපාතය වෙනස් වෙද්දී එම ණය වල ඩොලර් අගය වෙනස් වෙනවා. මාස තුන ඇතුළත පොඩි පොඩි අඩුවැඩිවීම් වලට හේතුව මෙයයි. උදාහරණයක් විදිහට මහ බැංකුවේ මුදල් හුවමාරු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 25කින් අඩු වී තිබෙන්නේ යුවානයේ අගය පිරිහීම නිසා මිසක් එම මුදල ආපසු ගෙවූ නිසා නෙමෙයි. ඔය වගේ වෙනස්වීම් දෙපැත්තටම වෙන්න පුළුවන්.

ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 6,858කින් වැඩි වී තියෙන්නේ විදේශ ණය මිලියන 200කින් අඩු වෙද්දී දේශීය ණය වල ඩොලර් අගය රුපියල් මිලියන 7,058කින් ඉහළ ගොස් ඇති නිසා. රුපියල් ණය වල ඩොලර් අගය මාස තුනකදී මිලියන 38,682 සිට මිලියන 45,713 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ වැඩිවීමට ප්‍රධානම හේතුව මාර්තු අවසානයේදී ඩොලරයක මිල විශාල ලෙස පහත වැටීමයි. පෙර වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 363.11ක්. මාර්තු 31 වන විට ඩොලරයක මිල රුපියල් 327.29 දක්වා පහත වැටිලා. ඒ අනුව, පෙර වසර අවසන් වෙද්දී අරගෙන තිබුණු රුපියල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 14,046ක් (=38,682*363.11). එම රුපියල් ණය ප්‍රමාණයේම ඩොලර් අගය මාර්තු අවසාන වෙද්දී ඩොලර් වලින් මිලියන 42,916 දක්වා ඉහළ ගොස් තිබෙනවා (=14,046/327.29). ඒ කියන්නේ ඩොලර් වලින් බැලූ විට මිලියන 4,234ක වැඩි වීමක්. 

ඉහත කොටස ඉවත් කළාට පසුව, ඉතිරි ඩොලර් මිලියන 2,824 රුපියල් ණය වල ඇත්තම වැඩි වීම. එම ප්‍රමාණය රුපියල් වලින් බිලියන 924ක් පමණ. වසරේ පළමු මාස තුන ඇතුළත භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 4,126 සිට රුපියල් බිලියන 4,636 දක්වා රුපියල් බිලියන 510කින් ඉහළ ගොස් තිබෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 8,722 සිට රුපියල් බිලියන 9,131 දක්වා රුපියල් බිලියන 409කින් ඉහළ ගොස් තිබෙනවා. දෙවර්ගයේම වැඩිවීම රුපියල් බිලියන 919ක්. ඉහත ඇස්තමේන්තුවට ආසන්නව සමානයි.

පෙර වසර අවසානයේදී වූ රුපියල් බිලියන 14,046ක ණය ප්‍රමාණය තවත් රුපියල් බිලියන 919කින් ඉහළ යනවා කියන්නේ මාස තුනකදී 6.5%ක වැඩි වීමක්. ඒ කියන්නේ 26%ක පමණ වාර්ෂික පොලියක් එකතු වීමක් වැනි දෙයක්. ඔය කාලයේ පොලී අනුපාතික තිබුණේ 26%කට වඩා වැඩි හෝ ආසන්න මට්ටමක. පොලී අනුපාතික 26% මට්ටමේ තියෙද්දී තියෙන භාණ්ඩාගාර බිල්පත් ටිකම කල් පිරෙද්දී නැවත අලුත් කළ විට, අලුතෙන් සතයක්වත් ණය ගත්තේ නැතත්, මාස තුනක කාලයකදී ණය ප්‍රමාණයේ 6.5%ක වැඩි වීමක් වෙනවා. 

පසුගිය සතිය වන විට (ජූනි 8) භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 5,192 දක්වා ඉහළ ගිහින්. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 9,032 දක්වා අඩු වෙලා. ඒ  කියන්නේ තවත් රුපියල් බිලියන 457ක පමණ වැඩි වීමක්. ජූනි 8 වන විට ඩොලරයක මිල රුපියල් 290.97 දක්වා පහත වැටී තිබුණා. ඒ නිසා, පසුගිය සතියේ ගණන් බැලුවානම් ඔය ණය ප්‍රමාණය තවත් ඩොලර් බිලියන හතකටත් වඩා වැඩියෙන් වැඩි වී ඩොලර් බිලියන 99ක් පමණ වෙනවා. නමුත් දැන් නැවතත් ඩොලරයක මිල ටිකක් ඉහළ ගිහින් නිසා පොඩ්ඩක් අඩු වෙලා ඇති. 

ඩොලරයක මිල ඉහළ යන තරමට රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය පහත වැටෙනවා. ඩොලරයක මිල අඩු වෙද්දී ඔය අගය ඉහළ යනවා. මේක වෙන්නේ කවුරුවත් ණය අරගෙන ගිලින නිසා නෙමෙයි. 

ඉහත වගුව අනුව පෙර වසර අවසානයේදී මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 84,703ක්නේ. එදින පැවති විණිමය අනුපාතය සලකා (රුපියල් 363.11) රුපියල් කළොත් රුපියල් බිලියන 3,076ක්. මාර්තු අවසාන වෙද්දී මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 91,561ක්. එදින පැවති විණිමය අනුපාතය සලකා (රුපියල් 327.29) රුපියල් කළොත් රුපියල් බිලියන 2,997ක්. ඒ කියන්නේ මාස තුනක් ඇතුළත රුපියල් බිලියන 79කින් ණය අඩු වෙලා!

දැන් විණිමය අනුපාතය අනුව ගණනය කළොත් රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය රුපියල් වලින් තවත් අඩු වෙලා ඇති. හැබැයි ඔය විදිහට ණය අඩු වී ඇති බව පෙන්වන එකත්, ඩොලර් බිලියන නවයක් ණය අරගෙන කියනවා වගේම වැරදි අර්ථකථනය කිරීමක් පමණයි. කාලයක් ලංකාවේ ණය වැඩි වීම නොපෙන්වා හිටියේ ඔය ක්‍රමයට. 

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.