Monday, June 26, 2023

දවස් පහේදී විය හැකි දේ...


දවස් පහක් බැංකු වහලා කියා කිවුවත් ඇත්තටම වෙලා තියෙන්නේ කොහොමටත් තිබුණු නිවාඩු දින අතරට විශේෂ බැංකු නිවාඩු දිනයක් එකතු කරන එකයි. කොහොම වුනත්, අවසාන ප්‍රතිඵලය විදිහට එක දිගට බැංකු නිවාඩු දින පහක් ලැබෙනවා. මේ දින පහ ඇතුළත රජය විසින් දේශීය ණය ප්‍රතිසංවිධානය කර අවසන් කිරීමට උත්සාහ දරන බව පේනවා. 

මෙහිදී විය හැකි දේ පිළිබඳව විස්තරාත්මක ලිපියක් බදාදා පමණ පළ කරන්න හිතාගෙන හිටියත් ඇතැම් පාඨක ප්‍රතිචාර අනුව මේ ගැන ඊට පෙර යමක් කිව යුතු බව පෙනෙනවා. නිදහසින් පසු කාලයක් තිස්සේ විශාල රජයක් නඩත්තු කරමින් සිදු කළ රාජ්‍ය මැදිහත් වීම් වල ප්‍රතිඵලයක් විදිහට පසුගිය වසරේ මුල් කාලයේ රටේ ආර්ථිකයේ ලොකු කඩා වැටීමක් සිදුවුනා. එයින් පසුව ගත වූ වසරකට වැඩි කාලය තුළ රටේ ආර්ථිකය ස්ථායීත්වය කරා සෑහෙන දුරක් ගමන් කර තිබෙනවා. මෙතෙක් ජයගෙන තිබෙන අභියෝග හා සැසඳූ විට මේ සති අන්තය තුළ පනින්න තිබෙන කඩුල්ල ගොඩක් උස එකක් නෙමෙයි. 

මේ සතිය අවසන් වන විට උද්ධමනය 12% ආසන්න මට්ටමකට පහත වැටී ඇති බව දැන ගන්න ලැබෙයි. ඇතැම් විට ආහාර උද්ධමනය තනි අංකයක් වී තිබිය හැකියි. ඉදිරි මාසය අවසන් වන විට උද්ධමනය කොහොමටත් තනි අංකයක් දක්වා අඩු වෙනවා. මීට සමාන්තරව පොලී අනුපාතිකද පහත වැටීමට තිබෙන ප්‍රධානම බාධාවක් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳව ඇති අවිනිශ්චිතතාවයයි.

දේශපාලනික ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය ගැන කලින් වැඩි දෙයක් කියන්නට නොහැකි වුවත්, අදාළ දේශපාලනික හා නීතිමය කටයුතු අපේක්ෂිත පරිදි අවසන් වුවහොත්, ලොකු වැස්සක් වැස පෑව්වාක් මෙන්, මේ දින පහේ නිවාඩුව අවසන් වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳව කාලයක් තිස්සේ පැවති අවිනිශ්චිතතා ඉවත් වී පොලී අනුපාතික ක්ෂණයකින් පහත වැටෙන්නට ඉඩ තිබෙනවා. 

පසුගිය සතියේදී සාර්ථක ලෙස සැම්බියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කෙරුණා. එහිදී ණය (මුහුණත අගය) කපා හැරීමක් සිදු වූයේ නැහැ. ඊට පෙර චාඩ් රාජ්‍යයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කෙරුණා. එහිදීද ණය (මුහුණත අගය) කපා හැරීමක් සිදු වූයේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලංකාවට ඉදිරිපත්ව ඇති කොන්දේසි ඉහත රටවලට ඉදිරිපත් වූ තරම්ම දැඩි කොන්දේසි නෙමෙයි. ඒ නිසා, ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේදී බොහෝ විට සිදු විය හැක්කේ පරිණත කාලය දිගු කිරීමක් හා පොලී අනුපාතික සීමා කිරීම මගින් ණය වල වත්මන් අගය පහත හෙලා ගනු ලැබීමක් (NPV reduction) පමණයි. 

ලංකාවේ විදේශ ණය වුවද කපා හරිනු ලැබීමේ ඉඩක් ලොකුවට පෙනෙන්නට නොමැති පසුබිමක දේශීය ණය කපා හරිනු ලැබීමක් කිසිසේත්ම සිදු විය නොහැකියි. සිදු වීමට ඉඩ ඇත්තේ පරිණත කාලය දිගු වන පරිදි ස්වේච්ඡා ණය හුවමාරුවක් පමණයි. 

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කෙරෙන බව කලින්ම පැහැදිලිව කියා තිබෙන දෙයක්. මෙය සිදු වන්නේ අලුත් මහ බැංකු පනත සම්මත කර ගනු ලැබීමට සමාන්තරවයි. එම බිල්පත් දිගුකාලීන කල් පිරීමක් සහිත ණය ලෙස පර්වර්තනය කිරීමට හෝ වෙනත් ආකාරයක පරිවර්තනයකට ලක් කිරීමට ඉඩ තිබෙනවා. සති අන්තය අවසන් වෙද්දී මේ ගැන වැඩි විස්තර දැන ගන්න ලැබෙයි. 

දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් වලින් සැලකිය යුතු කොටසක් මිල දී ගෙන තිබෙන්නේ මහ බැංකුව විසිනුයි. ඒ නිසා, එම බිල්පත් ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව වෙළඳපොළේ ඉතිරි වන්නේ සැලකිය යුතු තරම් අඩු බිල්පත් ප්‍රමාණයක්. මූල්‍ය වෙළඳපොළ සුමට ක්‍රියාකාරිත්වය සඳහා මෙන්ම මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාද යම් බිල්පත් ප්‍රමාණයක් ගනුදෙනු විය යුතුයි. ඒ නිසා, දැනට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර අනෙකුත් බිල්පත් හා අදාළව මේ සතිය අවසානයේදී හෝ ඉන් පසුව කිසිදු වෙනසක් සිදු වනු ඇතැයි මා සිතන්නේ නැහැ. මෑතකදී ඝානාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ අවස්ථාවේදීද බිල්පත් සම්බන්ධව කිසිවක් කළේ නැහැ. 

කෙසේ වුවද, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් ප්‍රතිව්‍යුහගත කළද වාණිජ බැංකු කෙරෙහි යම් තාක්ෂනික බලපෑමක් සිදු විය හැකියි. එක පැත්තකින් වාණිජ බැංකු ඔවුන්ගේ බිල්පත් ඇපයට තබා මහ බැංකුවෙන් ණය ගන්නවා. අනෙක් පැත්තෙන් මහ බැංකුවේ මුදල් තැන්පත් කර ඒ වෙනුවෙන් තාවකාලිකව මහ බැංකුව සතු බිල්පත් වල අයිතිය පවරා ගන්නවා. ඒ නිසා, මහ බැංකුව සතු බිල්පත් වල සිදුවන ආකෘතිමය වෙනසක බලපෑම වාණිජ බැංකු වල ගිණුම් තුළද පිළිබිඹු විය යුතුයි. ඒ අනුව පරිගණක දත්ත යාවත්කාලීන විය යුතුයි. බැංකු නිවාඩු දින තුළ සිදු වුවහොත් මේ වෙනස්කම් අවුලක් නැතිව කර ගැනීම පහසුයි. 

භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ ඉහත තත්ත්වය සෑහෙන තරමකින් පැහැදිලියි. මීට අමතරව භාණ්ඩාගාර බැඳුම්කර යම් ප්‍රමාණයක පරිණත කාලය දිගු වෙන පරිදි ස්වේච්ඡා හුවමාරුවක් සිදු විය හැකියි. ඝානාවේ සිදු වූයේ එවැන්නක්. භාණ්ඩාගාර බැඳුම්කර වැඩි ප්‍රමාණයක අයිතිය තිබෙන්නේ වාණිජ බැංකු හා සේවක අර්ථසාධක අරමුදල සතුවයි. මෙවැන්නක් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ කෙසේ වුවත් වාණිජ බැංකු වල කැමැත්ත ලබා ගැනීම තරමක අභියෝගයක්. විශාල පාඩුවක් වන්නේනම් බැංකු වලින් මේ කැමැත්ත ලැබෙන්නේ නැහැ.

එක්කෝ මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය විසින් මේ පිළිබඳව දැනටමත් වාණිජ බැංකු හා කතා කර අනියම් එකඟතාවයක් ලබාගෙන තිබෙනවා විය හැකියි. එය එසේනම්, සති අන්තයේදී කළ යුතුව තිබෙන්නේ තාක්ෂණික කටයුත්තක් පමණයි. එහෙත්, එවැන්නක් සිදු වී නැත්නම් සති අන්තය තුළ දෙපාර්ශ්වය අතර අදාළ සාකච්ඡා ආරම්භ වීමට ඉඩ තිබෙනවා. වෙනත් රටවල අත්දැකීම් අනුව, මෙවැනි සාකච්ඡා දවසකින් දෙකකින් අවසන් වී නැහැ. ඔය දෙකෙන් කොයි එක සිදු වුනත් බැඳුම්කර හුවමාරුවක් සිදු වනු ඇත්තේ බැංකු වල කැමැත්ත ඇතිව පමණයි. වෙනස තිබෙන්නේ මෙම එකඟතාවය ලබා ගැනීම සඳහා ගත විය හැකි කාලයේ.

කොහොම වුනත්, රටේ බැංකු පද්ධතිය කඩා වැටී රට විසාලා මහනුවරක් වනු දකින්නට කැමති අය රටේ ඕනෑ තරම් සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නෙමෙයි. පාඨක ප්‍රතිචාර දෙස බැලුවත් එවැනි දේශපාලන අභිලාශ ඇති අය හඳුනාගත හැකියි. ඉහත පරිවර්තනය සිදු වන සංක්‍රාන්තික සමය බැංකු පද්ධතිය පිළිබඳ විශ්වාසය බිඳ දැමීම සඳහා කටයුතු කරන සංවිධානාත්මක කල්ලියකට හෝ අසංවිධානත්මක එකමුතුවකට පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි කාලයක්. ඊට අමතරව මෙවැනි සංක්‍රාන්තික අවස්ථාවක මුදල් යහමින් ඇති අයෙකුට තොරතුරු අනෙක් අයට පෙර ලබා ගැනීම මගින් විශාල අනිසි වාසියක් ලැබිය හැකියි. එය වැළැක්විය හැක්කේ අදාළ කටයුතු මුළුමනින්ම අවසන් වන තුරු බැංකු හා කොටස් වෙළඳපොළ වසා තැබීමෙන් පමණයි. 

මහ බැංකුව විසින් පොලී අනුපාතික වෙනස් කරන අවස්ථාවක වුවත් මෙවැනි තත්ත්වයක් තිබෙනවා. කිසිවෙකුට අදාළ තීරණය කලින් දැනගන්නට ඉඩ නොතබා කලින් දැනුම් දී ඇති නිශ්චිත මොහොතක සියල්ලන්ටම එකවර මෙවැනි ප්‍රතිපත්ති තීරණ පිළිබඳව දැනුම් දෙන්නේ ඒ නිසා. ලෝකයේ වෙනත් රටවල මහ බැංකු කටයුතු කරන්නේද එලෙසයි. එතෙක්, මෙම තීරණය ගැන දන්නා මහ බැංකුවේ නිලධාරීන් විසින් දැඩි වගකීමකින් යුතුව තීරණය පිළිබඳ රහස්‍යභාවය රකිනවා.

මහ බැංකුවේ නිලධාරීන් මෙන්ම වාණිජ බැංකු වල අදාළ නිලධාරීන්ද රහස්‍යභාවය අවශ්‍ය පරිදි රැකීම පිළිබඳව ආචාර ධාර්මික පළපුරුද්දක් ඇති අයයි. එහෙත් අවාසනාවකට මෙන් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් සියලු දෙනාම එවැන්නන් නෙමෙයි. එමෙන්ම සාමාන්‍ය මූලධර්මයක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු රහසිගතව නොව, පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතුයි. 

ඉහත කී ප්‍රශ්න දෙකම එනම් ඇතැම් අය අනිසි ලාබ සොයන්නට යාමේ ඉඩකඩ සහ තවත් අය අනිසි බිය පැතිරවීමේ ඉඩකඩ ඇති වන්නේ ස්වේච්ඡා ණය හුවමාරුවක් සිදු විය හැකි සංක්‍රාන්ති කාලය තුළ පමණයි. අදාළ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසුව සිදු වී ඇති දේ සියල්ලන්ටම දැන ගත හැකි නිසා කොටස් වෙළඳපොළ හා බැංකු නැවත විවෘත වීමෙන් පසුව කිසිවෙකුට විශේෂ වාසියක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. 

කෙසේ වුවත්, දින පහක කාලය තුළ අවශ්‍ය නීතිමය කටයුතු අවසන් කර ගැනීමේ දේශපාලනික අභියෝගය මෙන්ම වාණිජ බැංකු හා දැනටමත් එකඟතාවයන් ඇති කරගෙන නැත්නම් එවැනි එකඟතා ඇති කර ගැනීමේ අභියෝගයද ඉතිරිව තිබෙනවා.

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.