Sunday, June 25, 2023

සැම්බියාවට ලැබුණු ණය සහනය


මේ වන විට සොයා ගත හැකි තොරතුරු වලට අනුව, සැම්බියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම එම රටට ඉතාම වාසිදායක අයුරින් සිදු වී තිබෙනවා. මෙහිදී නාමිකව ණය කපා හැරීමක් (haircut) සිදු වී නැතත්, ණය ආපසු ගෙවන කාලය සාමාන්‍ය අගයක් ලෙස වසර 12කින් පමණ කල් දැමීම හා පොලී අනුපාතික දැඩි ලෙස සීමා කිරීම හරහා 40%ක පමණ ණය කප්පාදුවකට සමාන කළ හැකි වාසියක් සැම්බියාවට ලැබී තිබෙනවා. මෙම තොරතුරු නිල තොරතුරු නොවන බවද සටහන් කළ යුතුයි. නිල වශයෙන් මෙම තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. 

ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව, සැම්බියාවට සිය විදේශ ණය ආපසු ගෙවීම සඳහා වසර 20ක කාලයක් ලැබෙනවා. ඒ අනුව, ණය ගෙවා අවසන් කරන්නේ 2043 වසරේදී. මෙම වසර 20න් 14ක්ම, එනම් 2037 වසර දක්වා සැම්බියාව විසින් ගෙවීමට නියමිතව ඇත්තේ 1%ක පොලියක් පමණයි. ඉන් පසුව, ගෙවිය යුතු පොලිය 2.5% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සැම්බියාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයෙන් ලබා ගෙන ඇති ණය වෙනුවෙන් ගෙවිය යුතු වූ සාමාන්‍ය පොලිය 3.9%ක් පමණ බව සලකා බලද්දී මෙය විශාල පොලී කප්පාදුවක් ලෙස සැලකිය හැකියි. 

ඉදිරි වසර තුනක කාලය තුළ, එනම් 2026දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩ සටහන අවසන් වන තුරු, සැම්බියාව විසින් විදේශ ණය ආපසු ගෙවීමක් සිදු වන්නේ නැහැ. එම කාලය තුළ ආපසු ගෙවන්නේ 1%ක පොලී මුදලක් පමණයි. ඉන්පසු, 2035 දක්වා වසර දොළහක් වසරකට 0.5% බැගින් ණය ආපසු ගෙවීම සිදු වනවා. එහෙත් මෙහිදී ගෙවී අවසන් වන්නේ ප්‍රතිව්‍යුහකරණයට ලක්වන ණය ප්‍රමාණයෙන් 6%ක් පමණක් බැවින්, ඉතිරි ණය ප්‍රමාණය 2036-2043 වසර අට තුළ ගෙවන්නට සිදු වන බවකුයි පෙනී යන්නේ. 

සාමාන්‍ය පොලී අනුපාතිකය 5% සේ සලකා වට්ටම් කළ විට ශුද්ධ වත්මන් අගය (NPV) පදනම මත සැම්බියාවේ ණය බර 40%කින් පමණ පහළ යනවා. කෙසේ වුවද, යම් හෙයකින් සැම්බියාවේ ආර්ථිකය අපේක්ෂා කරන මට්ටමට වඩා හොඳින් වර්ධනය වී ණය ආපසු ගෙවීමේ හැකියාව ඉහළ ගියහොත් ඉහත ගනුදෙනුව ණයහිමියන්ට වඩා වඩා වාසිදායක ලෙස වෙනස් වෙනවා. එහිදී පොලී අනුපාතික 4%ක උපරිමයක් දක්වා ඉහළ යනවා.

ඉහත එකඟතාවයන් ඇති කර ගෙන තිබෙන්නේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟයි. සැම්බියාවේ විදේශ බැඳුම්කරහිමියන් ඇතුළු වාණිජ ණයහිමියන්ටද මෙම පදනම අනුව තමන්ගේ ප්‍රතිලාභ ලබා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා ඉදිරි කාලයේදී ඔවුන්ව එකඟ කරගත යුතුයි.

සැම්බියාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "පොදු රාමුව (common framework)" යටතේ. මේ යටතේ මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කළ, ලෝකයේ දිළිඳුම රටක් වන, චාඩ් රාජ්‍යයට ඒ සඳහා මාස දොළහක කාලයක් ගත වූ අතර සැම්බියාව මාස දහයක කාලයක් තුළ මේ කාර්යය අවසන් කළා. ඝානාවේ හා ඉතියෝපියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම්ද පොදු රාමුව යටතේ සලකා බැලෙන නමුත් වඩා ඉහළ ආදායම් තලයක සිටින ලංකාවට පොදු රාමුව අදාළ වෙන්නේ නැහැ.

පොදු රාමුව අදාළ නොවන නිසා ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඉහත රටවල් තරමටම දැඩි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් ඉහත රටවල් තරමටම විශාල ණය සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අඩු කාලයක් තුළ අවසන් කර ගැනීමේ හැකියාව තිබෙනවා. 

ඉහත හැම රටකම මෙන් ණය තිරසාරත්වය නැති වීමට ප්‍රධාන හේතුව සේ හඳුනාගෙන තිබෙන්නේ රාජ්‍ය ආදායම රටේ ආදායමට අනුපාතිකව ඉහළ මට්ටමක තිබුණත්, රටේ ආදායම පහළ මට්ටමක තිබීම හේතුවෙන් ණය වාරික හා පොලී ගෙවීමට තරම් රජයේ ආදායම ප්‍රමාණවත් නොවීමයි. එම රටවලින් වෙනස්ව ලංකාවේ මූලික ප්‍රශ්නය රටේ ආදායම ණය ගෙවිය හැකි මට්ටමක තිබියදී එම ආදායමෙන් රජය විසින් එකතු කර ගන්නා කොටස ප්‍රමාණවත් නොවීමයි. ඒ නිසා, ඉහත රටවල් සඳහා සකස් කර ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ වලට සාපේක්ෂව, ලංකාව සඳහා වන වැඩපිළිවෙළෙහි වැඩි අවධාරණයක් සිදු කර තිබෙන්නේ රජයේ ආදායම් ඉහළ නංවා ගෙන හැකි ඉක්මණින් ණය ආපසු ගෙවීම කෙරෙහියි. 

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.