Thursday, December 15, 2016

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහසයවන කොටස)

අප කතා කරමින් සිටි ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසියට සහභාගී වූ එක් එක් ආයතනය විසින් තබා තිබුණු මුළු ලන්සු ප්‍රමාණය අපි ලිපි මාලාවේ දහහතර වන කොටසින් විමර්ශනයට ලක් කළෙමු. මේ ආයතන අතරින් වැඩි ප්‍රමාණයක් 'නමට මෙන්' අවම ලන්සුව පමණක් තබා තිබුණු අතර තවත් ආයතන කිහිපයක් මේ අවමය ඉක්මවන, එහෙත් මුලින් මහ බැංකුව විසින් ප්‍රකාශ කළ රුපියල් බිලියනයේ සීමාව නොඉක්මවන ලන්සු ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණේය. මේ 'සාමාන්‍ය' හැසිරීමෙන් වෙනසක් වූ හැසිරීමක් පෙන්වමින් ආයතන තුනක් බිලියනය ඉක්මවූ ලන්සු ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණේය. ඒ අතරින් සෙලාන් බැංකුව හා සේවක අර්ථසාධක අරමුදල විසින් වැඩිපුර තබා තිබුණු ලන්සු ප්‍රමාණය පෙර කටයුතු සිදුවී තිබුණු ආකාරය අනුව අසාමාන්‍ය නොවිය හැකි වුවත්, එක් ආයතනයක් විසින් පහළොස් ගුණයකින් වැඩි ලන්සු ප්‍රමාණයක් තබා තිබීම කිසිසේත්ම සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය නොහැකිය යන බොහෝ දෙනෙකුගේ මතය සමඟ එහිදී ඉකොනොමැට්ටා එකඟ විය.

ඉන්පසුව, පහළොස්වන කොටසින් අප විමසා සිටියේ එක් එක් ආයතනයේ ලන්සු වල බරිත සාමාන්‍ය මිලෙන්ද එවැනි අසාමාන්‍ය බවක් පෙනෙන්නේද යන්නයි. එහිදී, අඩු ලන්සු තැබූ ආයතන සමූහයක් මෙන්ම වැඩි ලන්සු තැබූ ආයතන සමූහයක්ද අපට හඳුනාගත හැකි විය. ලිපි මාලාවේ එම කොටස අවසන් කෙරුණේ මෙයින් පෙනෙන්නේ 'වෙන්නට යන දෙය ගැන' ඉවක් ආයතන ගණනාවකටම ලැබුණේද යන්න ප්‍රශ්න කරමිනි. මේ කොටසින් පටන්ගෙන ඊළඟ කොටසින් මා පැහැදිලි කරන පරිදි මෙසේ විවිධ ආයතන වල බරිත සාමාන්‍ය ලන්සු මිල ස්ථාන දෙකක හෝ වැඩි ගණනක නාභිගත වීම එවැනි 'ඉවක් වැටීමක් ලෙස' සිතනවාට වඩා වෙනත් අයුරකින් තේරුම් ගැනීම පහසුය.

දහවන කොටස කියවා අප තේරුම් ගත් පරිදි, රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියට ලන්සු තබන ආයතනයක් හැම විටම උත්සාහ කළ යුත්තේ වෙන්දේසියේ ආන්තික මිල ඉක්මවා, එහෙත් හැකිතාක් එම මිලට ආසන්නව, ලන්සු තැබීමටය. ලන්සු මිල වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලට වඩා අඩුනම් ක්ෂණික වාසියක් ලැබිය හැකි අතර ඊට වඩා වැඩිනම් වෙන්නේ ක්ෂණික අවාසියකි. මහ බැංකුව විසින් වෙන්දේසියේ ප්‍රමාණය හිතුමතේට වෙනස් නොකරනවානම් මේ වාසිදායක මිල පරාසය අනුමාන කිරීම යනු අනෙක් තරඟකරුවන්ගේ ලන්සු වල මිල පරාස අනුමාන කිරීමකි. එහෙත්, මහ බැංකුව වෙන්දේසියේ නිකුතු ප්‍රමාණය වෙනස් කරමින් ආන්තික මිලට හා බරිත සාමාන්‍ය මිලට නිදහසේ තීරණය වන්නට නොදී වලක්වන නිසා මේ කටයුත්තේදී මහ බැංකුව විසින් කරන්නට ඉඩ ඇති දේ අනුමාන කිරීමද අවශ්‍ය වේ.

ඇත්තටම කියනවානම් මහ බැංකුව විසින් රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියක නිකුතුවේ ප්‍රමාණය වෙනස් කරන්නේ හිතුමතේටම නොවේ. පෙබරවාරි 27 වෙන්දේසිය පැත්තකින් තිබ්බොත්, මහ බැංකුව සාමාන්‍යයෙන් මෙය කරන්නේ මහ බැංකුවට අවශ්‍ය සීමාවේ පොලී අනුපාතික පවත්වා ගැනීමේ අරමුණද පෙරදැරි කරගෙනය. මහ බැංකුවේ මේ හැසිරීමට තාර්කික පදනමක් තිබේ.

මහ බැංකුවේ ප්‍රධාන කාර්ය භාරය රටේ මිල ස්ථායීතාවය පවත්වා ගැනීමයි. මහ බැංකුව එය කරන්නේ රටේ මුදල් සැපයුම වෙනස් කරමින්, පොලී අනුපාතික අවශ්‍ය මට්ටමේ රඳවා ගැනීම මඟිනි. ඒ නිසා, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් විටක පොලී අනුපාතික ඉහළ යාමට සැලැස්වීමටත්, තවත් විටෙක පහළ වැටීමට සැලැස්වීමටත් මහ බැංකුවට අවශ්‍ය වේ.

මේ අතර රජය වෙනුවෙන් රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කිරීමේ කටයුත්තද මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් විසින්ම කරන නිසා රජයේ පොලී වියදම හැකිතාක් අඩුවෙන් පවත්වා ගැනීමටද මහ බැංකුවට අවශ්‍ය වේ. මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක සිටින විට මුදල් ප්‍රතිපත්තිය හා රාජ්‍යමූල ප්‍රතිපත්තිය ගැටෙන නමුත්, මහ බැංකුව ලිහිල් මුදල් ප්‍රතිපත්තියක සිටින විට රජයට මෙන්ම මහ බැංකුවටද අවශ්‍ය වන්නේ පොලී අනුපාතික හැකිතාක් පහතින්  තබා ගැනීමටය.

කෙසේවුවද, මා දහවන කොටසින් පැහැදිලි කළ පරිදි ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි ක්‍රමය යටතේ ලන්සු තබන ආයතනයක් විසින් එයට මුහුණ දිය යුතු තාර්කිකම ක්‍රමය වන්නේ වෙන්දේසියේ ආන්තික මිල හා බරිත සාමාන්‍ය මිල අනුමාන කර ඒ අතර පරාසයේ ආන්තික මිලට හැකිතාක් ආසන්න ලන්සුවක් තැබීමයි. එහෙත්, සෑම ආයතනයක් විසින්ම එය කළ විට බරිත සාමාන්‍යයද පහළ යයි. එවිට, මෙසේ ලන්සු තබා ලාබයක් ලැබිය හැකි පරාසය තවත් පටු වී බරිත සාමාන්‍ය මිල ආන්තික මිලට ආසන්න වේ. මේ නිසා මේ වෙන්දේසි ක්‍රමයේදී තරඟකාරී තත්ත්වයක් යටතේ වුවද වැඩිම මිලට රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නට නොහැකි වීම න්‍යායාත්මකවම පැහැදිලි කළ හැකි කරුණකි.

මා සිතන පරිදි මේ වෙන්දේසි ක්‍රමය ආරම්භ කළ කාලයේ සිටම පැවතුණේ මෙවැනි තත්ත්වයකි. එයට අමතරව, දහතුන්වන කොටසින් විස්තර කළ පරිදි විවිධ ආයතන වල මේ වෙන්දේසියේ ලන්සු තැබීමේ තීරණ ගන්නා පුද්ගලයින් බොහෝ දෙනෙකු සංවෘත සමූහයක් ලෙස සැලකිය හැකිය. සරලව කියනවානම්, ඉතා දැඩි පෞද්ගලික සම්බන්ධතා සහිත 'යාළුවන් පිරිසකි'. ඒ නිසා, ඒ අයට කාටලයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් තිබේ. ඉහත පළමු න්‍යායාත්මක හේතුවට මේ දෙවන ආකෘතිමය හේතුව එක් වූ විට අවසාන ප්‍රතිඵලය වන්නේ වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල රජයට ලබා ගත හැකි හොඳම මිල ඉක්මවා පහළ යාමයි. එනම් ඵලදා (පොලී) අනුපාතික ඉහළ යාමයි.

රජයට ලොකු සල්ලි හදිස්සියක් නැති සාමාන්‍ය දවසක මේ මිල ඉහළ යාමද සාමාන්‍ය වුවත්, මහා භාණ්ඩාගාරය බෙල්ලටම හිරවී කොහොම හරි සල්ලි හොයාගන්නට දඟලන වෙලාවට ලන්සු මිලද සාමාන්‍ය මිලට වඩා බොහෝ සේ පහළ වැටේ.

රජයට හා මහ බැංකුවටද මේ තත්ත්වයට මුහුණ දීමට ආයුධ තිබේ. ඒ, රජයට කිසියම් බලපෑමක් කළ හැකි සේවක අර්ථසාධක අරමුදල හා රාජ්‍ය බැංකු යොදාගෙන අනෙක් තරඟකරුවන්ගේ ඒකාධිකාරයට මුහුණ දීමයි. දහතුන්වන කොටසේ විස්තර කර පරිදි මේ ආයතන වලට අඩු ආවස්ථික පිරිවැයකට අරමුදල් ලැබෙන නිසා රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර මහා ලොකු ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගන්නට උවමනාවක් නැත.

අනෙක් අතට, මා විසින් දහහතරවන කොටසින් විස්තර කළ ක්ෂණික අවාසිය 'පොතේ ඇති' අවාසියකි. රුපියල් ලක්ෂ විස්සකට මෝටර් රථයක් මිලදී ගැනීමෙන් පසු ආනයන බදු අඩු කිරීම වැනි කිසියම් හේතුවකින් එහි වෙළඳපොළ මිල ගත් මිලට වඩා අඩුවීම වැනි තත්ත්වයකි. මෙය අවසාන වශයෙන් සැබෑ අවාසියක් වන්නේ එය විකිණූ විටය. සල්ලි හදිස්සියක් නැත්නම් එසේ පාඩුවට නොවිකුණා කවදා හෝ මිල වැඩි වන තුරු තියා ගන්නට පුළුවන. අතේ වැඩිපුර මුදලක් නැති කාර් බ්‍රෝකර් කෙනෙක් වැනි ප්‍රාථමික ගණුදෙනුකරුවෙකුට එසේ සුරැකුම්පතක අරමුදල් හිරකරගෙන සිටීම අමාරු වුවත්, පාවිචිචියට මෝටර් රථයක් ගන්නා සල්ලි තියෙන අයෙක් වැනි වූ සේවක අර්ථසාධක අරමුදලට හා රාජ්‍ය බැංකු වලට 'ඇති වෙන්න' සල්ලි තියෙන නිසා එය කළ හැකිය.

රාජ්‍ය සුරැකුම්පත් සැපයුම ඇති වන ආකාරයත්, හිටිවනම ආණ්ඩුවට සල්ලි හදිස්සි ඇති වී ඒ සල්ලි හොයා ගන්නට රාජ්‍ය සුරැකුම්පත් නිකුත් කරන්නට සිදුවන ආකාරයත් මම දොළොස්වන කොටසින් පැහැදිලි කළෙමි. එම කොටසින් විස්තර කළ පරිදි මෙවැනි ක්ෂණික මුදල් අවශ්‍යතා රජයට වැඩිපුරම ඇති වුනේ උතුරේ මෙහෙයුම් ලොකුවටම සිදු වූ වසර වලදීය. මෙවැනි අවස්ථාවක ඉතා ක්ෂණිකව අරමුදල් සොයාගන්න්ට අවශ්‍ය වූ විට වෙන්දේසිය හරහා යාමෙන් 'පිළිගත හැකි මට්ටමේ' මිලක් ලබා ගැනීම අසීරු වූ අවස්ථා සුලභ විය. සෘජු ආයෝජන ක්‍රමය කරලියට එන්නේ එවැනි පසුබිමකය.

සෘජු ආයෝජන ක්‍රමය යටතේ මුලින්ම රාජ්‍ය සුරැකුම්පත් විකිණුවේ රජය යටතේම පැවති සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයකටය. මේ මඟින් සුරැකුම්පත් ඵලදා අනුපාතික දරාගත නොහැකි මට්ටමකට ඉහළ යාම පාලනය කෙරිණි. එයද කළ නොහැකි වන විට මහ බැංකුව විසින්ම රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීමද සිදුවිය. පසුකාලීනව මේ සෘජු විකිණුම් ක්‍රමය වඩා පුළුල් වී 'සාමාන්‍ය තත්ත්වය' බවට පත් වී ඇති අතර වෙන්දේසියේ කාර්ය භාරය කලින්කලට වෙළඳපොළ ඵලදා අනුපාතික අපේක්ෂාවන් පිළිබඳ ඉඟියක් ලබාගැනීමක් බවට පත්වී තිබේ.

සෘජු විකිණුම් ක්‍රමය සාමාන්‍ය තත්ත්වය බවට පත් වී වෙන්දේසියට සහභාගී වන ඕනෑම ආයතනයකට වෙන්දේසිය පැවැත්වෙන දින හැර අනෙක් ඕනෑම දිනෙක සෘජු ක්‍රමයට සුරැකුම්පත් මිල දී ගැනීමේ හැකියාව ලැබුණු විට මේ ආයතන වෙන්දේසියට ප්‍රතිචාර දැක්විය යුතු ප්‍රශස්ත ක්‍රමයද වෙනස් වෙයි. දැන් සෘජු ආයෝජන විකල්පයට සාපේක්ෂව වෙන්දේසිය අවදානම් කටයුත්තකි. එය ආකර්ශනීය වන්නේ අවදානම් ගැනීමට කැමති අයටය. එසේ අවදානම් ගැනීමට අකැමැති අයට වෙන්දේසිය ආකර්ශනීය නොවන අතර වෙන්දේසියෙන් පසුව සෘජු ක්‍රමයට සුරැකුම්පත් මිලදී ගැනීම වඩා හොඳ උපාය මාර්ගයකි. මා විසින් පසුව විස්තර කෙරෙනු ඇති පරිදි හා මහ බැංකුවේ 'ලීක් වූ' අධීක්ෂන වාර්තාවේ අවධානයට ලක් කෙරී ඇති පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම වෙන්දේසියට සහභාගී වන අනෙකුත් ආයතන වලට සාපේක්ෂව ව්‍යාපාරික උපාය මාර්ගයක් ලෙස ඉතා විශාල අවදානම් ගන්නා සමාගමක් බව පෙනේ.

සෘජු ක්‍රමය ප්‍රධාන ක්‍රමය වූ සෘජු/වෙන්දේසි මිශ්‍ර නිකුතු ක්‍රමයක් භාවිතා කෙරෙන අළුත් තත්ත්වය යටතේ වෙන්දේසිය පැවැත්වීම මඟින් මහ බැංකුව විසින් වෙළඳපොළ ඵලදා අනුපාතික අපේක්ෂාවන් පිළිබඳව දැනගැනීමට අමතරව එම ඵලදා අනුපාතික අවශ්‍ය පරිදි මාර්ගස්ථ (guide) කිරීමක්ද සිදු කරයි. මෙය කරන්නේ වෙන්දේසියේ නිකුතු ප්‍රමාණය මහ බැංකුවට අවශ්‍ය පරිදි වෙනස් කිරීම මඟිනි. වෙළදපොළ ඉල්ලා සිටින ඵලදා අනුපාතික 'නරක නැති බව' මහ බැංකුවට පෙනේනම් මහ බැංකුව කරන්නේ නිකුතුවේ ප්‍රමාණය ඉහළ දමා වැඩි සුරැකුම්පත් ප්‍රමාණයක් 'ඉහළ මිලකට' විකුණා ගැනීමයි. එය එසේ නොවී, වෙළඳපොළ ඉල්ලා සිටින ඵලදා අනුපාතික ඉතාම ඉහළ බව පෙනේනම් මහ බැංකුව විසින් කරන්නේ ලන්සු පරික්ෂා කිරීමෙන් පසුව සුරැකුම්පත් නිකුත් නොකර වෙන්දේසිය අවලංගු කර දැමීමයි. ඒ නිසා, පාරදෘශ්‍ය නොවූවත් සුරැකුම්පත් වෙන්දේසියක නිකුතු ප්‍රමාණය ලන්සු ලබාගැනීමෙන් පසුව වෙනස් කිරීම 'හිතුමතේට වාගේ' වුවත් 'හිතුමතේටම' සිදුවන දෙයක් නොවේ.

ඉහත පරිදි, මහ බැංකුව නිකුතුවේ ප්‍රමාණය 'හිතුමතේට වාගේ' වෙනස් කිරීමේ එක් හොඳක්ද තිබේ. දැන් වෙන්දේසියට සහභාගී වන ආයතන වලට අනෙක් සියළුම තරඟකරුවන් ලන්සු තැබිය හැකි මිල පරාස අනුමාන කරන්නට මහන්සි නොවී, මහ බැංකුව විසින් තීරණය කරන්නට ඉඩ ඇති ආන්තික මිල හා බරිත සාමාන්‍ය මිල අනුමාන කිරීමේ සාපේක්ෂව පහසු කටයුත්ත කරමින් තමන්ගේ ලන්සු මිල ගණන් සකස් කළ හැකිය. 2015 මුල දක්වා වසර ගණනාවක් පැවති සෘජු විකිණීම්/ වෙන්දේසි මිශ්‍ර ක්‍රමය තුළ වෙන්දේසියේ අවසාන ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මකව බලපෑවේ 'මහ බැංකුවට අවශ්‍ය සමතුලිත මිල' මිස ඉල්ලුම මත පදනම් වූ සමතුලිත මිල නොවේ. (ඇත්තටම කියනවානම් දිගුකාලීනව මේ දෙක අතර ලොකු වෙනසක් පවත්වා ගත නොහැකිය. මෙසේ මහ බැංකුව විසින් ලන්සු ලබාගැනීමෙන් පසුව නිකුතුවේ ප්‍රමාණය වෙනස් කිරීම නිසා ප්‍රායෝගිකව වෙන්නේ වෙළඳපොල ඵලදා අනුපාතික වල කෙටිකාලීන උච්ඡාවචනයන් අඩුවී සුමට වීමක් පමණි.)

අපේ ලිපි මාලාවට හේතු සැපයූ වෙන්දේසියේදී ලන්සු තැබූ එක් එක් ආයතනය විසින් මේ 'මහ බැංකුවට අවශ්‍ය සමතුලිත මිල' තීරණය කර ඇති ආකාරය ගැන කතා කිරීම අපි ඉදිරි කොටසට තබමු.

13 comments:

  1. ටිකක් තේරුම් ගන්න අපහසු ලියවිල්ලක්. තවපාරක් කියවල බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසේ මේ කරුණුම තව ටිකක් සරලව නැවත ලියන්නම්, ඇනෝ. දැනටමත් පටන් අරගෙන තියෙන්නේ. ලියා අවසන් වූ විට පළ කරන්නම්.

      Delete
    2. //අළුත් තත්ත්වය යටතේ වෙන්දේසිය පැවැත්වීම මඟින් මහ බැංකුව විසින් වෙළඳපොළ ඵලදා අනුපාතික අපේක්ෂාවන් පිළිබඳව දැනගැනීමට අමතරව එම ඵලදා අනුපාතික අවශ්‍ය පරිදි මාර්ගස්ථ (guide) කිරීමක්ද සිදු කරයි//
      මෙතන අලුත් තත්වය කියන්නේ මොකක්ද? 2015න් පසු තත්වයද? (100% වෙන්දේසියෙන් ගන්න ක්‍රමය).

      //ඇත්තටම කියනවානම් දිගුකාලීනව මේ දෙක අතර ලොකු වෙනසක් පවත්වා ගත නොහැකිය. මෙසේ මහ බැංකුව විසින් ලන්සු ලබාගැනීමෙන් පසුව නිකුතුවේ ප්‍රමාණය වෙනස් කිරීම නිසා ප්‍රායෝගිකව වෙන්නේ වෙළඳපොල ඵලදා අනුපාතික වල කෙටිකාලීන උච්ඡාවචනයන් අඩුවී සුමට වීමක් පමණි.//
      මේ වාක්‍යයෙන් කියන දේ තේරෙන්නේ නැහැ.

      ඉතිරිය බොහෝ දුරට තේරුම් ගත්තා.

      Delete
    3. මෙන්න මේ වාක්‍යය නිසා තමයි ඔක්කොම අවුල.
      //කෙසේවුවද, මා දහවන කොටසින් පැහැදිලි කළ පරිදි ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි ක්‍රමය යටතේ ලන්සු තබන ආයතනයක් විසින් එයට මුහුණ දිය යුතු තාර්කිකම ක්‍රමය වන්නේ වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිල අනුමාන කර ඊට වඩා තරමක් වැඩි ලන්සුවක් තැබීමයි. //
      මේක වැරදියි නේද? මොකක්ද ටැපලිල්ලක් තියෙනවා. ආන්තික මිල වෙන්න ඕනේ මම හිතන්නේ

      Delete
    4. AnonymousDecember 19, 2016 at 12:49 PM

      ඔබ හරි, ඇනෝ. ඒ කොටස ටපලවාගෙන තමයි. මම ලිපියේ එම කොටස පහත පරිදි සංශෝධනය කරනවා.

      "කෙසේවුවද, මා දහවන කොටසින් පැහැදිලි කළ පරිදි ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසි ක්‍රමය යටතේ ලන්සු තබන ආයතනයක් විසින් එයට මුහුණ දිය යුතු තාර්කිකම ක්‍රමය වන්නේ වෙන්දේසියේ ආන්තික මිල හා බරිත සාමාන්‍ය මිල අනුමාන කර ඒ අතර පරාසයේ ආන්තික මිලට හැකිතාක් ආසන්න ලන්සුවක් තැබීමයි. එහෙත්, සෑම ආයතනයක් විසින්ම එය කළ විට බරිත සාමාන්‍යයද පහළ යයි. එවිට, මෙසේ ලන්සු තබා ලාබයක් ලැබිය හැකි පරාසය තවත් පටු වී බරිත සාමාන්‍ය මිල ආන්තික මිලට ආසන්න වේ. මේ නිසා මේ වෙන්දේසි ක්‍රමයේදී තරඟකාරී තත්ත්වයක් යටතේ වුවද වැඩිම මිලට රාජ්‍ය සුරැකුම්පත් විකුණන්නට නොහැකි වීම න්‍යායාත්මකවම පැහැදිලි කළ හැකි කරුණකි."

      Delete
    5. AnonymousDecember 19, 2016 at 12:46 PM

      මෙයම පහළ ඇති තැන පිළිතුර දමන්නම්.

      Delete
  2. Dear Econ,

    Thank you very much for the post, but it seems quite technical & I'm struggling to understand.

    ReplyDelete
    Replies
    1. Thanks for the feedback, Ano. I'll try to explain again in a different way.

      Delete
  3. //අළුත් තත්ත්වය යටතේ වෙන්දේසිය පැවැත්වීම මඟින් මහ බැංකුව විසින් වෙළඳපොළ ඵලදා අනුපාතික අපේක්ෂාවන් පිළිබඳව දැනගැනීමට අමතරව එම ඵලදා අනුපාතික අවශ්‍ය පරිදි මාර්ගස්ථ (guide) කිරීමක්ද සිදු කරයි//
    මෙතන අලුත් තත්වය කියන්නේ මොකක්ද? 2015න් පසු තත්වයද? (100% වෙන්දේසියෙන් ගන්න ක්‍රමය).

    //ඇත්තටම කියනවානම් දිගුකාලීනව මේ දෙක අතර ලොකු වෙනසක් පවත්වා ගත නොහැකිය. මෙසේ මහ බැංකුව විසින් ලන්සු ලබාගැනීමෙන් පසුව නිකුතුවේ ප්‍රමාණය වෙනස් කිරීම නිසා ප්‍රායෝගිකව වෙන්නේ වෙළඳපොල ඵලදා අනුපාතික වල කෙටිකාලීන උච්ඡාවචනයන් අඩුවී සුමට වීමක් පමණි.//
    මේ වාක්‍යයෙන් කියන දේ තේරෙන්නේ නැහැ.

    ඉතිරිය බොහෝ දුරට තේරුම් ගත්තා.

    ReplyDelete
    Replies
    1. //මෙතන අලුත් තත්වය කියන්නේ මොකක්ද? 2015න් පසු තත්වයද? (100% වෙන්දේසියෙන් ගන්න ක්‍රමය).//

      මා අළුත් තත්ත්වය ලෙස අදහස් කළේ දැන් පවතින 100% වෙන්දේසි ක්‍රමය නෙමෙයි. ඊට පෙර පැවති මිශ්‍ර ක්‍රමයයි. අළුත් තත්ත්වය කියා යෙදුවේ ඊටත් පෙර පැවති වෙන්දේසියට ප්‍රමුඛත්වය ලැබුණු කාලයට සාපේක්ෂවයි. මෙය වඩා පැහැදිලි වන පරිදි "සෘජු ක්‍රමය ප්‍රධාන ක්‍රමය වූ සෘජු/වෙන්දේසි මිශ්‍ර නිකුතු ක්‍රමයක් භාවිතා කෙරෙන අළුත් තත්ත්වය යටතේ..." ලෙස ලිපිය සංශෝධනය කළා.

      Delete
    2. //මේ වාක්‍යයෙන් කියන දේ තේරෙන්නේ නැහැ.//

      මෙය පැහැදිලි කිරීමට මම ලිපියේ මෙන් ලන්සු මිල ඇසුරෙන් කතා නොකර පොලිය (ඵලදා අනුපාතිකය) ඇසුරෙන් විස්තර කරන්නම්. අපි හිතමු වෙන්දේසියට රුපියල් බිලියන 2ක් දැම්මා කියලා. වෙන්දේසියෙන් හරියටම මේ බිලියන 2ම විකුණුවොත් පොලිය 12%ක් වෙනවා. මේ පොලිය 'නොතිබිය යුතු' පොලී මට්ටමක් කියා හිතන මහ බැංකුව එයට කැමති නැහැ. ඒ නිසා පොලිය මහ බැංකුව හිතන පරිදි 'නියම' පොලිය වන 11% මට්ටමේ තිබෙන පරිදි රුපියල් බිලියන 1.5ක මුලින් දැනුම් දුන් ගණනට වඩා අඩු ප්‍රමාණයක් නිකුත් කරනවා. දැන් පොලිය අවශ්‍ය මට්ටමේ තිබුණත් අවශ්‍ය මුදල් ප්‍රමාණය ලැබී නැහැ. ඒ නිසා ඉතුරු මිලියන 500 සෘජු ක්‍රමයට හොයා ගන්න වෙනවා. නමුත්, 12% කියන්නේ 'හරි' පොලියනම් 11%ට කාටවත් මේ ප්‍රමාණය සෘජු ක්‍රමයට විකුණන්න බැහැ. ඒ නිසා මේ ප්‍රමාණය මහ බැංකුවට ගන්න වෙනවා. මේ වැඩේ දිගින් දිගටම කළොත් හැමදාම මහ බැංකුවට (හෝ සේවක අර්ථසාධක අරමුදල වැනි රජයේ පාලනය යටතේ ඇති ආයතනයකට) මේ අඩුව පුරවන්න වෙනවා. වරක් දෙවරක් කළත් මෙය හැමදාම කරන්න බැහැ. ඒ නිසා 'නියම' පොලිය තමන් හිතන 11% නෙමෙයි 12% බවත්, වෙන්දේසිය නිවැරදි බවත් මහබැංකුවට තේරුම් ගන්න වෙනවා. ඇත්තටම වෙන්දේසියේ මිල නිවැරදි නැත්නම් සෘජු ක්‍රමයට විකිණීමට ඉල්ලුමක් තියෙන නිසා මෙවැන්නක් වෙන්නේ නැහැ. රජයේ ණය අවශ්‍යතා විශාල ලෙස උච්ඡාවචනය වෙනවා. වෙළඳපොළේ ද්‍රවශීලතාවත් (අතිරික්ත අරමුදල් ප්‍රමාණයත්) එසේම උච්ඡාවචනය වෙනවා. මේ නිසා කිසියම් දිනක පවතින ඉල්ලුම් සැපයුම් තත්ත්වයන් අනුව පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම (හෝ පහළ යෑම) මහ බැංකුව විසින් ප්‍රමාණය වෙනස් කිරීම නිසා පාලනය වෙනවා. එහෙම වුනා කියලා මහ බැංකුවට එක දිගටම වෙළඳපොළ පොලී අනුපාතික පහළින් හෝ ඉහළින් පවත්වා ගැනීම අමාරු දෙයක්. තාවකාලික උච්ඡාවචනය වීම් අඩුකිරීම පමණයි කළ හැක්කේ.

      Delete
    3. තේරුණා. බොහොම ස්තුතියි.
      මෙතනින් තව ප්‍රශනයක් මතු වුනා. පෙබරවාරි 27 ගත්තු ප්‍රමාණය වැඩි කිරීමෙන් පොලී අනුපාතය ඉහල යාම වෙනත් දිනවල ගන්න ප්‍රමාණය වැඩි කිරීම නිසා පොලී අනුපාතය වැඩි වීමට වඩා වෙනස්ද? බැඳුම්කර පොලී අනුපාතය වැඩි වන තීරණයක් (වෙන්දේසියෙන් ගන්න ප්‍රමාණය වැඩි කිරීම හෝ වෙනත් මුල්‍යමය තීරණයක්) මහබැංකුව විසින් ගත්තම එය රටට පාඩුවක් ලෙසද සලකන්න ඕනේ?

      Delete
    4. දෙවන ප්‍රශ්නයට මුලින් පිළිතුරු දෙන්නම්. මහ බැංකුවක මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරය අනුව පොලී අනුපාතික වැඩි වන හා අඩුවන තීරණ කාලයෙන් කාලයට චක්‍රීය ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. සමහර වෙලාවට පොලී අනුපාතික වැඩි කිරීමෙන් සමස්තයක් ලෙස රටට වෙන්නේ යහපතක්. ඒ නිසා පොලිය ඉහළ යන තීරණයක් හැම විටම රටට අවාසිදායක නොවනවා පමණක් නොව ඇතැම් විට එසේ නොකිරීම රටට අවාසිදායක වෙන්නත් පුළුවන්. රජය කියන කොටස වෙන්ව ගත්තොත් පොලිය ඉහළ යාම හැම විටම අවාසියක්. නමුත් වැඩිපුර ණය ගන්නවනම් මේ අවාසිය දරා ගන්න වෙනවා. රජයට අවාසියක් වන තීරණයක් ලෙස සැලකිය හැක්කේ අඩු පොලියට ගන්න පුළුවන් කම තිබියදී එසේ නොකර වැඩි පොලියට ගත්තනම් පමණයි. මෙහිදී පොලිය 10% ද 12% කියන එක මත රජයට අවාසියක් වුනාද කියා තීරණය කළ නොහැකියි. 8%ට ගන්න හැකියාව තියෙද්දී 10%ට ගත්තනම් අවාසියක් වන තීරණයක්. 12%ට ගත්තත් එය එදින ණය ගත හැකිව තිබුණු අඩුම පොලියනම් ඒ තීරණයේ විශේෂ අවාසියක් නැහැ.

      දැන් පළමු ප්‍රශ්නයට ආවොත්, එදින අනෙක් දින වලින් වෙනස් වෙන්නේ (හෝ නොවෙන්නේ) කිසියම් හේතුවකින් එදින ණය ලබාගත් පොලියට වඩා අඩු මිලකට ලබා ගැනීමේ හැකියාවක් තිබුනද කියන කරුණ මතයි. තවමත් මම එතැනට ඇවිත් නැහැ. ඉදිරි කොටසකින් ඒ ගැන කතා කරනවා.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.