Tuesday, April 28, 2020

ලංකාවේ ඉහළ මැදි ආදායම් තත්ත්වය ගිලිහේ!


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති 2019 වාර්ෂික වාර්තාව අනුව පෙර වසරේදී ඇමරිකන් ඩොලර් 3,968ක් වූ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමරිකන් ඩොලර් 3,741 දක්වා පහත වැටී තිබෙනවා. රටේ ආර්ථිකය ජනගහණ වර්ධන වේගය ඉක්මවා වර්ධනය වී තිබියදී ඒක පුද්ගල දළ ජාතික ආදායම මෙසේ පහත වැටීමට ප්‍රධානම හේතුව රුපියලේ අවප්‍රමාණය වීමයි.

රුපියල් වලින් බැලූ විට වසර තුළ රුපියල් 644,970 සිට රුපියල් 668,894 දක්වා ඒක පුද්ගල දළ ජාතික ආදායමේ වර්ධනයක් පෙනෙන්නට ඇතත් මේ වෙනසට උද්ධමනය හේතුවෙන් රටේ මිල මට්ටම ඉහළ යාම නිසා සිදු වූ බලපෑමද ඇතුළත්. ලෝක බැංකුව විසින් ආදායම් මට්ටම අනුව රටවල් වර්ග කිරීමේදී නිර්ණායකය ලෙස යොදා ගන්නේ ඒක පුද්ගල දළ ජාතික ආදායමේ ඇමරිකන් ඩොලර් අගයයි.

නිදහස ලැබූ තැන් සිට අඩු ආදායම් රටක් වූ ලංකාව 1997 සිට පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් ලෙස හඳුනා ගැනුණා. ඉන් දශක දෙකකට වඩා වැඩි කාලයකට පසුව, 2018 වසරේ රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම මත පදනම්ව, 2019 වසර මැදදී ලෝක බැංකුව විසින් ලංකාව ඉහළ මැදි ආදායම් තත්ත්වයට උසස් කළා. මේ උසස් වීම බලපාන්නේ 2020 වසරටයි. 2019 වසරේ ඒක පුද්ගල දළ ජාතික ආදායම මත 2021 වසරේදී ලංකාව නැවතත් පහළ මැදි ආදායම් මට්ටමටම වැටෙන්නට නියමිතයි.

වසර 23කට පසු ලංකාව විසින් අමාරුවෙන් ලබාගත් තත්ත්වය එක් වසරක් ඇතුළත ගිලිහී යාම කණගාටුවට කරුණක්. ආපසු ඉහළ මැදි ආදායම් තත්ත්වයට යන්නනම් ජාතික ආදායමේ සැලකිය යුතු වැඩිවීමක් සිදු විය යුතුයි. මහ බැංකුවේ පුරෝකථන අනුව 2020 ආර්ථික වර්ධනය 1.5% දක්වා අඩු වීමට නියමිතයි.

3 comments:

  1. ඉදිරියට එන්නට නියමිත මහා ආර්ථික අර්බුදයත් සමග මෙලෙස පල්ලම් බැසීමක් වාසියක් විය නොහැකිද.... පාහසු කොන්දේසි යටතේ ණය හෝ පෙරදී ණය ලෙස ලබාදුන් ආධාර ණය නොවන ලෙස ලබාදීමට ගෝලීය ආධාර දෙන්නන් ඉදිරිපත් විය හැකි නිසා ?

    ReplyDelete
    Replies
    1. ඉහළ මැදි ආදායම් රට වලට අවස්ථාව නොලැබෙන MCC වගේ ආධාර සඳහා නැවත අයදුම් කරන්න පුළුවන් වෙනවා.

      Delete
  2. Are there any advantages and disadvantages due to this situation? I think it will be an advantage of getting zero or lower interest loans from international institutions. But it could not be as before due to all economies are now in somewhat danger as of covid19.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.