Wednesday, December 31, 2025

යහපත් ආර්ථිකයක් සමඟ සුබ නව වසරක්!

මේ වියුණුව පටන් අරගෙන හෙටට වසර දහයක් වෙනවා. මෙය වෙනම වියුණුවක් සේ පටන් ගත්තේ අප ලියන ආර්ථිකය සම්බන්ධ කරුණු පමණක් කියවන්න කැමති අය වෙනුවෙන් එවැනි ලිපි ලියන්නයි. නමුත් මේ වෙද්දී මුල් වියුණුවේ බොහෝ විට ලියන්නේත් ආර්ථිකය සම්බන්ධ කරුණු පමණක් නිසා මෙහි ලිපි පළ කිරීම සඳහා විශේෂ අවශ්‍යතාවයක් නැහැ.

කෙසේ වුවත්, මේ දක්වා සෑම වසරකදීම මෙහි අඩු වශයෙන් එක් ලිපියක් හෝ පළ කර තිබෙන නිසා, වසර අවසන් වීම‍ට පෙර එක් ලිපියක් හෝ පළ කරන්න හිතුණා.

වසරක් අවසන් වෙද්දී ඒ වසරේ රටේ ආර්ථිකය ගැන පසු විපරමක් කරන කෙනෙකුට මුහුණ දෙන්න සිදු වන එක් ප්‍රශ්නයක් වන්නේ ආර්ථිකය හා අදාළ සියලු දර්ශක වසර අවසාන වන වහාම ප්‍රසිද්ධ වී නොතිබීමයි. සාමාන්‍යයෙන් ඒ සඳහා මාස තුනක් පමණ දක්වා වන කාලයක් යනවා. ඒ නිසා, මේ වෙද්දී බොහොමයක් දර්ශක ගැන අප දන්නේ සැප්තැම්බර් අවසානය දක්වා තත්ත්වය පමණයි.

කෙසේ වෙතත්, දෙසැම්බර් 31 කියා කියන්නේ තවත් එක් දවසක් පමණයි. අපට අවශ්‍යනම් සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස දොළහක කාලය ඊට පෙර මාස දොළහක කාලය සමඟ සංසන්දනය කරන්න පුළුවන්. පහත වගුව පිළියෙල කර තිබෙන්නේ ඒ පදනම අනුවයි. මා මෙහි ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යාලේඛණ විග්‍රහ කරන්න යන්නේ නැහැ.

ඔබ සැමට සුබ නව වසරක්!


Sunday, July 28, 2024

සංචිත මුදල් සැපයුම සහ පාරිභෝගික මිල දර්ශකය

 


මේ හා පළ කරන රේඛා ප්‍රස්ථාරයෙහි පෙන්වා තිබෙන්නේ 2019 වසර මුල සිට 2024 මැද දක්වා කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම (රුපියල් මිලියන වලින්) සහ පාරිභෝගික මිල දර්ශකය (2021=100) වෙනස් වූ ආකාරය. නිල් පාට ඉර සංචිත මුදල් සැපයුම. තැඹිලි පාට ඉර පාරිභෝගික මිල දර්ශකය.

සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ  සංචිත මුදල් සැපයුම වැඩි වීමයි. උද්ධමනය ලෙස සලකන්නේ වසරක කාලයක් තුළ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් ඇති ප්‍රතිශතයයි. 

සල්ලි අච්චු ගහද්දී උද්ධමනය වැඩි වන බව දැන් ගොඩක් අය දන්නා සාමාන්‍ය කරුණක්. මේ විචල්‍යයින් දෙක අතර සම්බන්ධය ඒ තරම්ම සරල නැතත්, ඉහත ප්‍රස්ථාරය දෙස බැලූ විට එම සම්බන්ධය පහසුවෙන් නිරීක්ෂණය කිරීම අසීරු කරුණක් නෙමෙයි. 

මේ වන විට සංචිත මුදල් සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යනු ලබන අතර සාමාන්‍ය මිල මට්ටමද ස්ථාවරව පවතිනවා. ඒ නිසා, උද්ධමනයක් නැති තරම්.

උද්ධමනය අඩු වී ඇතත් බඩු මිල කලින් මට්ටමට පහත වැටී නැත්තේ ඇයි කියන එකත් මේ ප්‍රස්ථාරය ඇසුරෙන්ම තේරුම් ගන්න පුළුවන්. සංචිත මුදල් සැපයුම තව දුරටත් වේගයෙන් වැඩි වෙන්නේ නැතත් එය කලින් මට්ටමට පහත වැටී නැහැ. 

මෙහි පෙන්වා නැතත්, සංචිත මුදල් සැපයුම මිල මට්ටම කෙරෙහි බලපාන්නේ පුළුල් මුදල් සැපයුම හරහා. පුළුල් මුදල් සැපයුමට රටේ ජනතාවට අයිති ස්ථිර තැන්පතු ආදී බැංකු තැන්පතු සියල්ල ඇතුළත්. මෙම තැන්පතු සඳහා පසුගිය කාලයේදී සැලකිය යුතු පොලියක් ලැබී මුදල් ප්‍රමාණයේ විශාල ගුණනය වීමක් සිදු වී තිබෙනවා. මුදල් සැපයුම කලින් මට්ටමට පහත වැටෙන්නටනම් එසේ සිදු වූ ප්‍රසාරණය ආපසු හැරිය යුතුයි. ඒ කියන්නේ පසු ගිය අවුරුදු වල ගෙවූ පොලී සියල්ල නැවත අය කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් යනු සිදු වන හෝ සිදු කළ හැකි දෙයක් නෙමෙයි. 

ඉහත හේතුව නිසා මුදල් සැපයුම ඉහළ යාම පාලනය කළ හැකි වුවත් එය පෙර මට්ටමට පහත දමා ගැනීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ නිසාම, බඩු මිල පෙර මට්ටමට පහත වැටීමද සිදු නොවන දෙයක්. නමුත්, මේ වෙද්දී පොලී අනුපාතික උද්ධමන වේගයට වඩා වැඩි නිසා මිල ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් වත්කම් ඉහළ යමින් තිබෙනවා. ඒ හරහා මිල ඉහළ යාමේ අවාසිය ක්‍රමයෙන් නිශේධනය වෙමින් තිබෙනවා.

මහ බැංකුව විසින් විදේශ සංචිත තර කර ගැනීමට විදේශ විණිමය මිල දී ගැනීම සඳහා රුපියල් නිකුත් කරද්දී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. මෙය වලක්වා ගැනීම සඳහා මහ බැංකුව විසින් රජයට ලබා දී ඇති ණය රජයෙන් ආපසු ලබා ගන්නට සිදු වෙනවා. එවිට එසේ ආපසු ලැබෙන රුපියල් වලින් විදේශ විණිමය මිල දී ගනිමින් සංචිත මුදල් සැපයුම ස්ථාවරව තියා ගන්න පුළුවන්. මහ බැංකුව විසින් දැන් කරමින් සිටින්නේ එයයි.

මේ වැඩේ මේ විදිහට වෙන්නනම් රජය විසින් මහ බැංකුවට කලින් ගත් ණය ආපසු ගෙවිය යුතුයි. එසේ කරන්නනම් එක්කෝ රජයේ ආදායමෙන් යම් මුදලක් ඉතිරි කර ගන්නට සිදු වෙනවා. එසේ නැත්නම් වෙනත් පාර්ශ්වයකින් එම මුදල ණයට ගන්නට සිදු වෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා රජයේ ආදායමෙන් කොටසක් ඉතිරි කරගෙන ප්‍රාථමික අයවැය අතිරික්තයක් නඩත්තු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වන්නේ ඒ නිසා. 

ඒ වගේම, මහ බැංකුවට නැවත උද්ධමනය ඇති නොකර විදේශ සංචිත තර කර ගත හැකි වන්නේ රජය විසින් මහ බැංකුවෙන් ණයට ගත් මුදල් ආපසු ගෙවන්නේනම් පමණයි. රුපියල ශක්තිමත්ව  තබාගෙන, ඩොලරයක මිල ඉහළ යාම සීමා කර ගන්නටනම් ශක්තිමත් විදේශ සංචිතයක් අවශ්‍ය වෙනවා. ඒ අනුව, ඩොලරයක මිල පහළින් තියෙන්නෙත් ප්‍රාථමික අයවැය අතිරික්තයේ උදවුවෙන්ම බව පැහැදිලි වෙනවා ඇති. එක පැත්තකින් බදු වැඩි වී තිබුණත්, එහි ප්‍රතිඵලයක් විදිහට ඩොලරයක මිල පහළ ගොස් ඒ හරහා බඩු මිල පාලනය වීමෙන් බදු වැඩි වීමේ අවාසියත් යම් තරමකින් හෝ නිශේධනය වෙනවා.

Sunday, June 23, 2024

ක්‍රය ශක්ති සාම්‍යය


"ක්‍රය ශක්ති සාම්‍යය" කියන සංකල්පය පැහැදිලි කරමින් ලිපියක් ලියන මෙන් ඉල්ලීම් කිහිපයක් වරින් වර ඇවිත් තිබෙනවා. ක්‍රය ශක්ති සාම්‍යය ගැන පසු ගිය වසර ගණනාවත් තුළ ලිපි ගණනාවක කතා කර තිබෙනවා. නමුත් මේ ගැන මූලික දැනුමක් නැති, අලුතෙන් අපව කියවන්න පටන් ගත් අය වෙනුවෙන් මූලික සංකල්පය පැහැදිලි කරමින් අලුත් ලිපියක් පළ කිරීම අවශ්‍යතාවයක් පේන්න තිබෙනවා. මේ ලිපිය ලියන්නේ මේ ගැන දැනටමත් හොඳ අවබෝධයක් තිබෙන අය වෙනුවෙන් නෙමෙයි. 

අපි මෙවැනි තැනකින් පටන් ගනිමු. මේ වෙද්දී ඇමරිකන් ඩොලරයක මිල ආසන්න වශයෙන් රුපියල් 300ක් පමණ වෙනවා. එයින් අදහස් වන්නේ ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියලක වටිනාකම මෙන් 300 ගුණයක් බවයි. ඇමරිකන් ඩොලරයක වටිනාකම කියන්නේ කුමක්ද? රුපියලක වටිනාකම කියන්නේ කුමක්ද?

ඇමරිකන් ඩොලරයක නෝට්ටුවකින් හෝ රුපියලක කාසියකින් අපට සෘජු ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසාම, මේ වගේ කාසි හා නෝට්ටු වල නෛසර්ගික වටිනාකමක් නැති තරම්. මෙවැනි මුදලක වටිනාකමක් තිබෙන්නේ ඒවා සමඟ හුවමාරු කර භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාවක් තිබීම නිසායි. ක්‍රය ශක්තිය (purchasing power) කියන වචනයෙන් අදහස් වෙන්නේ කිසියම් මුදලක ඇති භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ ශක්තිය.

කිසියම් මුදල් ඒකකයක ක්‍රය ශක්තිය ඇසුරෙන් අපට එම මුදල් ඒකකයේ වටිනාකම තක්සේරු කරන්න පුළුවන්. උදාහරණයක්‌ විදිහට කීල්ස් සුපර් වෙළඳසැලක බිත්තර දහයක මිල රුපියල් 650ක් පමණ වෙනවා. ඒ කියන්නේ රුපියල් 650ක් සමඟ බිත්තර දහයක් හුවමාරු කර ගන්න පුළුවන්. බිත්තර කියන්නේ සෘජු ප්‍රයෝජනයක් තිබෙන දෙයක්. රුපියල් වගේ නෙමෙයි. 

රුපියල් වලට සෘජු වටිනාකමක් නැතත්, රුපියල් සමඟ හුවමාරු කර සෘජු වටිනාකමක් තිබෙන බිත්තර ලබා ගන්න පුළුවන්. ඒ නිසා, බිත්තර වලට සාපේක්ෂව රුපියල් වල වටිනාකම අර්ථදක්වන්න පුළුවන්.

බිත්තර 10 = රුපියල් 650

බිත්තර 1 = රුපියල් 65

බිත්තර 2 = රුපියල් 130

බිත්තර 12 = රුපියල් 780

රුපියල් වලට වගේම ඇමරිකන් ඩොලර් වලටත් තිබෙන්නේ නාමික වටිනාකමක්. රුපියල් සමඟ හුවමාරුවට කීල්ස් සුපර් වෙළඳසැලකින් බිත්තර ලබා ගත හැකිවාක් මෙන්ම ඇමරිකන් ඩොලර් සමඟ හුවමාරුවට ඇමරිකාවේ වෝල්මාට් වැනි සුපිරි වෙළඳසැලකින් බිත්තර ලබාගන්න පුළුවන්. 

ඇමරිකානු ඩොලර් 2.06ක මුදලකට වෝල්මාට් සුපිරි වෙළඳසැලකින් බිත්තර දුසිමක් මිල දී ගත හැකියි. මේ අනුසාරයෙන් අපට බිත්තර වලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක වටිනාකම අර්ථ දක්වන්න පුළුවන්.

බිත්තර 12 = ඇමරිකන් ඩොලර් 2.06

දැන් ඔය ඇමරිකාවේ වෝල්මාට් බිත්තර සහ ලංකාවේ කීල්ස් බිත්තර අතර ලොකු වෙනසක් නැහැනේ. කොයිවත් බිත්තර. එහෙමනම්, ඇමරිකාවෙන් ගත්තත් ලංකාවෙන් ගත්තත් බිත්තර දුසිමක වටිනාකම සමාන විය යුතුයි. ඕක තමයි ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මයේ පදනම.

ඇමරිකාවේ බිත්තර 12 = ලංකාවේ බිත්තර 12

නමුත් අපි ඇමරිකාවේ හා ලංකාවේ මේ බිත්තර හුවමාරු වෙන විදිහ ගැන දන්නවා.

ඇමරිකාවේ බිත්තර 12 =  ඇමරිකන් ඩොලර් 2.06

ලංකාවේ බිත්තර 12 = රුපියල් 780

එහෙමනම් අපිට පහත නිගමනයට එන්න පුළුවන්.

ඇමරිකන් ඩොලර් 2.06 = රුපියල් 780

ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 780/2.06 = රුපියල් 379

මෙයින් අදහස් වෙන්නේ කුමක්ද? ඇමරිකාවේ හා ලංකාවේ බිත්තර සමාන සේ සලකලා බිත්තර වල වටිනාකමට සාපේක්ෂව විණිමය අනුපාතය ගණනය කළොත් ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 379ක් විය යුතුයි.

නමුත් ඇමරිකන් ඩොලරයක වෙළඳපොළ මිල රුපියල් 379ක් නෙමෙයිනේ. එය රුපියල් 300ක්. එහෙමනම් රුපියල් වල හා ඇමරිකන් ඩොලර් වල වටිනාකම් සංසන්දනය කරන එකේ මොකක් හරි අවුලක් තිබෙනවා.

හැබැයි ඔය මිල ගණන් වල මොකක් හරි අවුලක් තියෙන්නත් පුළුවන්නේ. ඒ නිසා, වඩා නිවැරදි වෙළඳපොළ විණිමය අනුපාතයද නැත්නම් බිත්තර විණිමය අනුපාතයද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඒ නිසා අපි බිත්තර වෙනුවට වෙන දෙයක් අරගෙන බලමු.

ලංකාවේ පැට්‍රෝල් ලීටරයක මිල = රුපියල් 355

ඇමරිකාවේ පැට්‍රෝල් ගැලුමක සාමාන්‍ය මිල = ඇමරිකන් ඩොලර් 3.447

ඇමරිකාවේ පැට්‍රෝල් ලීටරයක සාමාන්‍ය මිල = ඇමරිකන් ඩොලර් 3.447/3.785 = 0.911

මේ අනුව, 

ඇමරිකන් ඩොලර් 0.911 = රුපියල් 355

ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 355/0.911 = රුපියල් 389.68

මේකත් බිත්තර විණිමය අනුපාතයට කිට්ටුවෙන් යනවා. ඒ කියන්නේ බිත්තර මිල අනුව බැලුවත්, පැට්‍රෝල් මිල අනුව බැලුවත්, ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වෙළඳපොළ වටිනාකම තිබෙන්නේ ඕනෑවට වඩා වැඩි මට්ටමක. රුපියලේ සැබෑ ක්‍රය ශක්තිය පෙනෙන මට්ටමට වඩා අඩුයි.

වෙනත් ආකාරයකින් පැහැදිලි කළොත්, ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 300 ලෙස සැලකුවොත්, රුපියල් 618ක මුදලකට ඇමරිකාවෙන් බිත්තර 12ක් මිල දී ගන්න පුළුවන්. නමුත් ලංකාවේ බිත්තර මිල ඊට වඩා වැඩියි. ඒ කියන්නේ බිත්තර මිල අනුව රුපියල පෙනෙන තරම්ම ශක්තිමත් නැහැ. 

අපි තවත් උදාහරණයක් ලෙස කොකා කෝලා ලීටර 2 බෝතලයක් සලකමු. මෙහි කීල්ස් මිල රුපියල් 450ක් වන අතර වෝල්මාට් මිල ඇමරිකන් ඩොලර් 1.98ක්. ඒ අනුව විණිමය අනුපාතය කුමක් විය යුතුද?

ඇමරිකන් ඩොලර් 1.98 = රුපියල් 450

ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 450/1.98 = රුපියල් 227

මේ උදාහරණයේදී ඉහත තත්ත්වය කණපිට හැරිලා. කොකා කෝලා ලීටර 2 බෝතලයක මිල අනුව බැලුවොත් රුපියලක සැබෑ ක්‍රය ශක්තිය පේනවට වඩා ගොඩක් වැඩියි.ඩොලරය රුපියල් 300 සේ සැලකුවොත් ඇමරිකාවෙන් කොකා කෝලා ලීටර 2 බෝතලයක් මිල දී ගන්න රුපියල් 594ක් යනවා. නමුත් ලංකාවෙන් රුපියල් 450කට මිල දී ගන්න පුළුවන්. 

පොදුවේ සේවා මිල ගණන් දෙස බැලූ විට දැකිය හැක්කේත් මීට සමාන තත්ත්වයක්. ඒ කියන්නේ රුපියලේ සැබෑ ක්‍රය ශක්තිය වෙළඳපොළ විණිමය අනුපාතය තුළින් පිළිබිඹු වෙනවාට වඩා වැඩි බව. ඇතැම් වෙබ් අඩවි වල (උදාහරණයක් විදිහට www.mylifeelsewhere.com), ඇමරිකාවේ භාණ්ඩ හා සේවා ගණනාවක් අරගෙන මෙවැනි සංසන්දනයන් කර තිබෙනවා. පහත තිබෙන්නේ එම වෙබ් අඩවියෙන් ලබා ගත් තොරතුරු කිහිපයක්. මම මේ මිල ගණන් වල නිරවද්‍යතාවය පරීක්ෂා කර නැහැ. 

වතුර බෝතලයක්:

ලංකාවේ රුපියල් 100.65යි 

ඇමරිකාවේ ඩොලර් 1.98යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 50.83


පාන් ගෙඩියක්:

ලංකාවේ රුපියල් 177.88යි 

ඇමරිකාවේ ඩොලර් 3.43යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 51.86යි.


කිරි ගැලුමක්:

ලංකාවේ රුපියල් 1823.21යි 

ඇමරිකාවේ ඩොලර් 3.93යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 463.92යි.


වොක්ස්වාගන් ගොල්ෆ් 1.4 මෝටර් රථයක්:

ලංකාවේ රුපියල් 10,066,459යි 

ඇමරිකාවේ ඩොලර් 31,580යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 318.76යි.


සැතපුම් පහක ටැක්සි ගාස්තුව:

ලංකාවේ රුපියල් 938යි 

ඇමරිකාවේ ඩොලර් 17.71යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 52.96යි.


50mbps අන්තර්ජාල සම්බන්ධතාවක්:

ලංකාවේ රුපියල් 4280යි 

ඇමරිකාවේ ඩොලර් 67.34යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 63.56යි.


පෞද්ගලික පෙර පාසැලක මාසික ගාස්තුව:

ලංකාවේ රුපියල් 7546යි 

ඇමරිකාවේ ඩොලර් 1344යි 

ඒ අනුව, පැවතිය යුතු විණිමය අනුපාතය ඇමරිකන් ඩොලර් 1 = රුපියල් 5.61යි.


සමස්තයක් ලෙස ගත්තහම බිත්තර, පැට්‍රෝල් වැනි පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් අනුව රුපියලේ ක්‍රය ශක්තිය වෙළඳපොළ විණිමය අනුපාතය තුලින් පිළිබිඹු වෙනවාට වඩා අඩු වුනත්, වෙනත් බොහොමයක් භාණ්ඩ හා සේවා මිල ගණන් අනුව රුපියලක ක්‍රය ශක්තිය පේනවාට වඩා ගොඩක් වැඩියි. 

වෙනත් විදිහකට කිවුවොත් ඇමරිකන් ඩොලරයක් ලංකාවේදී වටින තරමට ඇමරිකාවේදී වටින්නේ නැහැ. ඒ නිසා, රුපියල් 300 බැගින් ගෙවා ඇමරිකන් ඩොලර් මිල දී ගෙන ඇමරිකාවට එන කෙනෙකුට ඒ ඩොලර් ටිකෙන් ලංකාවේදී රුපියල් වලින් මිල දී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිල දී ගන්න බැහැ. අනෙක් අතට ලංකාවට ඇවිත් 300 අනුපාතයට ඩොලර් රුපියල් කරන කෙනෙකුට ඇමරිකාවේදී මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මිල දී ගන්න පුළුවන්. විශේෂයෙන්ම සේවා හා අදාළව. 

මෙයින් පෙනී යන්නේ වෙළඳපොළ විණිමය අනුපාතය යොදාගෙන රට රටවල ජීවන තත්ත්වය සංසන්දන්දය කරන එක වැරදි බවයි. උදාහරණයක් විදිහට නාමික (වෙළඳපොළ) විණිමය අනුපාතය අනුව ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 81,632ක්. ලංකාවේ එම අගය ඩොලර් 3,830ක් පමණයි. මෙම ගණන් අතර අනුපාතය 21.3ක්. ඒ කියන්නේ ඇමරිකානුවෙකුට ශ්‍රී ලාංකිකයෙකු මෙන් 21.3 ගුණයක භාණ්ඩ හා සේවා පරිභෝජනය කළ හැකිද? ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වය 21.3 ගුණයකින් අඩුද?

සරල පිළිතුර නැහැ. ඉතා පැහැදිලිවම ඇමරිකානුවෙකුගේ ජීවන තත්ත්වය ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වයට වඩා වැඩියි. ඇමරිකානුවෙකුගේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාවත් වඩා වැඩියි. හැබැයි අනුපාතය 21.3ක් තරම් ඉහළ එකක් නෙමෙයි.

උදාහරණයක් විදිහට ඇමරිකාවේ පෞද්ගලික පෙර පාසැලක මාසික ගාස්තුව ඩොලර් 1344 වෙද්දී ලංකාවේ එම ගාස්තුව රුපියල් 7546ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකාවේ ඩොලර් එකකින් කරන වැඩේට ලංකාවේදී වැය වන්නේ රුපියල් 5.61ක් පමණයි. රුපියල් 300ක් යන්නේ නැහැ. 

එහෙමනම් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාව අනුව ඇමරිකානුවෙකුගේ ජීවන තත්ත්වය ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වයට වඩා කොයි තරම් වැඩිද? 

මෙය නිවැරදිව සංසන්දනය කිරීම සඳහා "ක්‍රය ශක්ති සාමාන්‍ය විණිමය අනුපාතය" යොදා ගන්නවා. මෙය ඉහත භාණ්ඩ හා සේවා මිල ගණන් සසඳා හදාගත් විණිමය අනුපාත වල බරිත සාමාන්‍ය අගයක්. මේ විණිමය අනුපාතය ඇසුරෙන් රට රටවල ඒක පුද්ගල ආදායම් නැවත ඇස්තමේන්තු කළ හැකියි. මෙම අගය ක්‍රය ශක්ති සාම්‍ය ඒක පුද්ගල ආදායම ලෙස හැඳින්වෙනවා. 

ලෝක බැංකු දත්ත අනුව 2022 ලංකාවේ ක්‍රය ශක්ති සාම්‍ය ඒක පුද්ගල ආදායම ඩොලර් 14,099ක්. නමුත් නාමික විණිමය අනුපාතය අනුව එම අගය 3,354ක් පමණයි. ඒ කියන්නේ ලංකාවේ සැබෑ ජීවන තත්ත්වය වෙළඳපොළ විණිමය අනුපාතයෙන් පිළිබිඹු වෙනවාට වඩා 4.2 ගුණයකින් වැඩියි. වෙනත් විදිහකින් කිවුවොත් ඩොලරයක ක්‍රය ශක්ති සාමාන්‍ය විණිමය අනුපාතය 4.2 ගුණයකින් අඩුයි. ඒ කියන්නේ ඇමරිකානුවෙකුගේ ජීවන තත්ත්වය ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවන තත්ත්වයට සාපේක්ෂව 5.1 ගුණයකින් මිසක් 21.3 ගුණයකින් වැඩි නැහැ. 

Friday, July 28, 2023

ණය ප්‍රතිව්‍යුහගත කිරීම 97%ක් සාර්ථකයි!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වටයේ ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබූ ඩොලර් මිලියන 814.7ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 791.4ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම්පත් ලැබී ඇති අතර එම අයදුම්පත් සියල්ල  ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබෙනවා. මෙය 97.1%ක සාර්ථකත්වයක්.

නිකුත් කර තිබුණු ඩොලර් මිලියන 837.6ක සංවර්ධන බැඳුම්කර වලින් තනි පුද්ගල ආයෝජකයින් සතු කොටස ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ. එම ප්‍රමාණය ඩොලර් මිලියන 22.9ක් හෙවත් මුළු ප්‍රමාණයෙන් 2.7%ක්. එම ප්‍රමාණයද සැලකිල්ලට ගතහොත් ප්‍රතිව්‍යුහගත කෙරෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 94.5%ක්. 

සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කිරීමේදී ණයහිමියන්ට විකල්ප තුනක් ලැබුණා. මේ එක් එක් විකල්පය තෝරාගෙන ඇති ප්‍රතිශතය තවමත් ප්‍රසිද්ධ කර නැහැ. එමෙන්ම, කිසිදු විකල්පයක් තෝරා ගෙන නැති 3%කට ආසන්න ණයහිමියන් කවුද යන්නත් පැහැදිලි නැහැ. මොවුන් බොහෝ විට විදේශ ණයහිමියන් විය හැකියි. ඔවුන්ට මුල් ගිවිසුමේ කොන්දේසී අනුව ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙන බැවින් රජයට එරෙහිව නඩු මගට යාමේ අරමුණක් නැත්නම් මෙය තාර්කික නොවන තීරණයක්. එහෙත්, විවිධ හේතු මත මෙවැනි අවස්ථාවකදී 3%ක් වැනි පිරිසක් තාර්කික නොවන ලෙස කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අයදුම් කළ හැකි කාලය අගෝස්තු 11 දක්වා කල් දමා ඇති අතර අගෝස්තු 16 දින ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමට නියමිතයි.

Saturday, July 8, 2023

අඩු වූ අවදානම් අධිභාරය


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳ වූ අවිනිශ්චිතතා ඉවත් වීමෙන් පසුව ද්වීතියක වෙළඳපොළ බැඳුම්කර ඵලදා අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. එම පහත වැටීම ඵලදා වක්‍රය පුරාම දැකිය හැකියි.

වසර-2 බැඳුම්කර:

මේ සතිය - 16.36%

පෙර සතිය - 25.63%

අඩු වීම - 9.57%


වසර-3 බැඳුම්කර:

මේ සතිය - 15.84%

පෙර සතිය - 24.59%

අඩු වීම - 8.75%


වසර-4 බැඳුම්කර:

මේ සතිය - 15.57%

පෙර සතිය - 23.48%

අඩු වීම - 7.91%


වසර-5 බැඳුම්කර:

මේ සතිය - 15.22%

පෙර සතිය - 22.16%

අඩු වීම - 7.94%


වසර-6 බැඳුම්කර:

මේ සතිය - 15.03%

පෙර සතිය - 21.43%

අඩු වීම - 6.40%


වසර-8 බැඳුම්කර:

මේ සතිය - 14.73%

පෙර සතිය - 20.66%

අඩු වීම - 5.93%


වසර-10 බැඳුම්කර:

මේ සතිය - 14.56%

පෙර සතිය - 19.43%

අඩු වීම - 4.87%


වසර-15 බැඳුම්කර:

මේ සතිය - 14.10%

පෙර සතිය - 18.82%

අඩු වීම - 4.72%


වසර-20 බැඳුම්කර:

මේ සතිය - 14.68%

පෙර සතිය - 18.16%

අඩු වීම - 3.48%


වසර-30 බැඳුම්කර:

මේ සතිය - 14.81%

පෙර සතිය - 17.96%

අඩු වීම - 3.15%

මෙසේ ඵලදා අනුපාතික අඩු වීම යනු බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යාමයි. පහත තිබෙන්නේ බැඳුම්කර වර්ග කිහිපයක මිල සතියක් තුළ ඉහළ ගොස් ඇති ආකාරයයි.

බැඳුම්කර වර්ගය: 11.00%2025A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 91.15

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 75.96

වැඩි වීම - 20.0%


බැඳුම්කර වර්ගය: 06.75%2026A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 81.38

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 66.43

වැඩි වීම - 22.5%


බැඳුම්කර වර්ගය: 05.35%2026A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 77.71

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 62.79

වැඩි වීම - 23.8%


බැඳුම්කර වර්ගය: 18.00%2032A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 119.33

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 89.49

වැඩි වීම - 33.3%


බැඳුම්කර වර්ගය: 20.00%2029A

මේ සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 122.07

පෙර සතියේ සාමාන්‍ය ගැනුම් මිල - 91.95

වැඩි වීම - 32.8%

මේ අයුරින් බැඳුම්කර මිල එක් වරම විශාල ලෙස ඉහළ යාම යනු බැඳුම්කර හිමියන්ගේ වත්කම් වල අගය ක්ෂණිකව ඉහළ යාමක්. මෙහි වාසිය සේවක අර්ථසාධක අරමුදලට, බැංකු වලට මෙන්ම අනෙකුත් සියලුම බැඳුම්කර හිමියන්ට ලැබෙනවා. කොටස් වෙළඳපොළ තුළ නිරුපණය වන්නට ඇත්තේ මෙසේ වත්කම් ඉහළ යාමේ බලපෑමයි.

පසුගිය වසර අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදල සතු වූ බැඳුම්කර වල වටිනාකම පැවතුණේ ගැනුම් මිලට වඩා 38%ක් හා මුහුණත වටිනාකමට වඩා 40%ක් පහළින්. බැංකු වල අලාභයද (unrealized losses) මීට ආසන්නව පැවතුණා විය යුතුයි. මෙම පාඩුව මුළුමනින්ම ආවරණය වීමටනම් පොලී අනුපාතික තවත් 4%-7%කින් පමණ පහළ යා යුතුයි. 

Monday, June 26, 2023

දවස් පහේදී විය හැකි දේ...


දවස් පහක් බැංකු වහලා කියා කිවුවත් ඇත්තටම වෙලා තියෙන්නේ කොහොමටත් තිබුණු නිවාඩු දින අතරට විශේෂ බැංකු නිවාඩු දිනයක් එකතු කරන එකයි. කොහොම වුනත්, අවසාන ප්‍රතිඵලය විදිහට එක දිගට බැංකු නිවාඩු දින පහක් ලැබෙනවා. මේ දින පහ ඇතුළත රජය විසින් දේශීය ණය ප්‍රතිසංවිධානය කර අවසන් කිරීමට උත්සාහ දරන බව පේනවා. 

මෙහිදී විය හැකි දේ පිළිබඳව විස්තරාත්මක ලිපියක් බදාදා පමණ පළ කරන්න හිතාගෙන හිටියත් ඇතැම් පාඨක ප්‍රතිචාර අනුව මේ ගැන ඊට පෙර යමක් කිව යුතු බව පෙනෙනවා. නිදහසින් පසු කාලයක් තිස්සේ විශාල රජයක් නඩත්තු කරමින් සිදු කළ රාජ්‍ය මැදිහත් වීම් වල ප්‍රතිඵලයක් විදිහට පසුගිය වසරේ මුල් කාලයේ රටේ ආර්ථිකයේ ලොකු කඩා වැටීමක් සිදුවුනා. එයින් පසුව ගත වූ වසරකට වැඩි කාලය තුළ රටේ ආර්ථිකය ස්ථායීත්වය කරා සෑහෙන දුරක් ගමන් කර තිබෙනවා. මෙතෙක් ජයගෙන තිබෙන අභියෝග හා සැසඳූ විට මේ සති අන්තය තුළ පනින්න තිබෙන කඩුල්ල ගොඩක් උස එකක් නෙමෙයි. 

මේ සතිය අවසන් වන විට උද්ධමනය 12% ආසන්න මට්ටමකට පහත වැටී ඇති බව දැන ගන්න ලැබෙයි. ඇතැම් විට ආහාර උද්ධමනය තනි අංකයක් වී තිබිය හැකියි. ඉදිරි මාසය අවසන් වන විට උද්ධමනය කොහොමටත් තනි අංකයක් දක්වා අඩු වෙනවා. මීට සමාන්තරව පොලී අනුපාතිකද පහත වැටීමට තිබෙන ප්‍රධානම බාධාවක් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳව ඇති අවිනිශ්චිතතාවයයි.

දේශපාලනික ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය ගැන කලින් වැඩි දෙයක් කියන්නට නොහැකි වුවත්, අදාළ දේශපාලනික හා නීතිමය කටයුතු අපේක්ෂිත පරිදි අවසන් වුවහොත්, ලොකු වැස්සක් වැස පෑව්වාක් මෙන්, මේ දින පහේ නිවාඩුව අවසන් වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම පිළිබඳව කාලයක් තිස්සේ පැවති අවිනිශ්චිතතා ඉවත් වී පොලී අනුපාතික ක්ෂණයකින් පහත වැටෙන්නට ඉඩ තිබෙනවා. 

පසුගිය සතියේදී සාර්ථක ලෙස සැම්බියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කෙරුණා. එහිදී ණය (මුහුණත අගය) කපා හැරීමක් සිදු වූයේ නැහැ. ඊට පෙර චාඩ් රාජ්‍යයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කෙරුණා. එහිදීද ණය (මුහුණත අගය) කපා හැරීමක් සිදු වූයේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලංකාවට ඉදිරිපත්ව ඇති කොන්දේසි ඉහත රටවලට ඉදිරිපත් වූ තරම්ම දැඩි කොන්දේසි නෙමෙයි. ඒ නිසා, ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේදී බොහෝ විට සිදු විය හැක්කේ පරිණත කාලය දිගු කිරීමක් හා පොලී අනුපාතික සීමා කිරීම මගින් ණය වල වත්මන් අගය පහත හෙලා ගනු ලැබීමක් (NPV reduction) පමණයි. 

ලංකාවේ විදේශ ණය වුවද කපා හරිනු ලැබීමේ ඉඩක් ලොකුවට පෙනෙන්නට නොමැති පසුබිමක දේශීය ණය කපා හරිනු ලැබීමක් කිසිසේත්ම සිදු විය නොහැකියි. සිදු වීමට ඉඩ ඇත්තේ පරිණත කාලය දිගු වන පරිදි ස්වේච්ඡා ණය හුවමාරුවක් පමණයි. 

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කෙරෙන බව කලින්ම පැහැදිලිව කියා තිබෙන දෙයක්. මෙය සිදු වන්නේ අලුත් මහ බැංකු පනත සම්මත කර ගනු ලැබීමට සමාන්තරවයි. එම බිල්පත් දිගුකාලීන කල් පිරීමක් සහිත ණය ලෙස පර්වර්තනය කිරීමට හෝ වෙනත් ආකාරයක පරිවර්තනයකට ලක් කිරීමට ඉඩ තිබෙනවා. සති අන්තය අවසන් වෙද්දී මේ ගැන වැඩි විස්තර දැන ගන්න ලැබෙයි. 

දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් වලින් සැලකිය යුතු කොටසක් මිල දී ගෙන තිබෙන්නේ මහ බැංකුව විසිනුයි. ඒ නිසා, එම බිල්පත් ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව වෙළඳපොළේ ඉතිරි වන්නේ සැලකිය යුතු තරම් අඩු බිල්පත් ප්‍රමාණයක්. මූල්‍ය වෙළඳපොළ සුමට ක්‍රියාකාරිත්වය සඳහා මෙන්ම මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහාද යම් බිල්පත් ප්‍රමාණයක් ගනුදෙනු විය යුතුයි. ඒ නිසා, දැනට මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර අනෙකුත් බිල්පත් හා අදාළව මේ සතිය අවසානයේදී හෝ ඉන් පසුව කිසිදු වෙනසක් සිදු වනු ඇතැයි මා සිතන්නේ නැහැ. මෑතකදී ඝානාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ අවස්ථාවේදීද බිල්පත් සම්බන්ධව කිසිවක් කළේ නැහැ. 

කෙසේ වුවද, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් ප්‍රතිව්‍යුහගත කළද වාණිජ බැංකු කෙරෙහි යම් තාක්ෂනික බලපෑමක් සිදු විය හැකියි. එක පැත්තකින් වාණිජ බැංකු ඔවුන්ගේ බිල්පත් ඇපයට තබා මහ බැංකුවෙන් ණය ගන්නවා. අනෙක් පැත්තෙන් මහ බැංකුවේ මුදල් තැන්පත් කර ඒ වෙනුවෙන් තාවකාලිකව මහ බැංකුව සතු බිල්පත් වල අයිතිය පවරා ගන්නවා. ඒ නිසා, මහ බැංකුව සතු බිල්පත් වල සිදුවන ආකෘතිමය වෙනසක බලපෑම වාණිජ බැංකු වල ගිණුම් තුළද පිළිබිඹු විය යුතුයි. ඒ අනුව පරිගණක දත්ත යාවත්කාලීන විය යුතුයි. බැංකු නිවාඩු දින තුළ සිදු වුවහොත් මේ වෙනස්කම් අවුලක් නැතිව කර ගැනීම පහසුයි. 

භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ ඉහත තත්ත්වය සෑහෙන තරමකින් පැහැදිලියි. මීට අමතරව භාණ්ඩාගාර බැඳුම්කර යම් ප්‍රමාණයක පරිණත කාලය දිගු වෙන පරිදි ස්වේච්ඡා හුවමාරුවක් සිදු විය හැකියි. ඝානාවේ සිදු වූයේ එවැන්නක්. භාණ්ඩාගාර බැඳුම්කර වැඩි ප්‍රමාණයක අයිතිය තිබෙන්නේ වාණිජ බැංකු හා සේවක අර්ථසාධක අරමුදල සතුවයි. මෙවැන්නක් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ කෙසේ වුවත් වාණිජ බැංකු වල කැමැත්ත ලබා ගැනීම තරමක අභියෝගයක්. විශාල පාඩුවක් වන්නේනම් බැංකු වලින් මේ කැමැත්ත ලැබෙන්නේ නැහැ.

එක්කෝ මහ බැංකුව හා මුදල් අමාත්‍යංශය විසින් මේ පිළිබඳව දැනටමත් වාණිජ බැංකු හා කතා කර අනියම් එකඟතාවයක් ලබාගෙන තිබෙනවා විය හැකියි. එය එසේනම්, සති අන්තයේදී කළ යුතුව තිබෙන්නේ තාක්ෂණික කටයුත්තක් පමණයි. එහෙත්, එවැන්නක් සිදු වී නැත්නම් සති අන්තය තුළ දෙපාර්ශ්වය අතර අදාළ සාකච්ඡා ආරම්භ වීමට ඉඩ තිබෙනවා. වෙනත් රටවල අත්දැකීම් අනුව, මෙවැනි සාකච්ඡා දවසකින් දෙකකින් අවසන් වී නැහැ. ඔය දෙකෙන් කොයි එක සිදු වුනත් බැඳුම්කර හුවමාරුවක් සිදු වනු ඇත්තේ බැංකු වල කැමැත්ත ඇතිව පමණයි. වෙනස තිබෙන්නේ මෙම එකඟතාවය ලබා ගැනීම සඳහා ගත විය හැකි කාලයේ.

කොහොම වුනත්, රටේ බැංකු පද්ධතිය කඩා වැටී රට විසාලා මහනුවරක් වනු දකින්නට කැමති අය රටේ ඕනෑ තරම් සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නෙමෙයි. පාඨක ප්‍රතිචාර දෙස බැලුවත් එවැනි දේශපාලන අභිලාශ ඇති අය හඳුනාගත හැකියි. ඉහත පරිවර්තනය සිදු වන සංක්‍රාන්තික සමය බැංකු පද්ධතිය පිළිබඳ විශ්වාසය බිඳ දැමීම සඳහා කටයුතු කරන සංවිධානාත්මක කල්ලියකට හෝ අසංවිධානත්මක එකමුතුවකට පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි කාලයක්. ඊට අමතරව මෙවැනි සංක්‍රාන්තික අවස්ථාවක මුදල් යහමින් ඇති අයෙකුට තොරතුරු අනෙක් අයට පෙර ලබා ගැනීම මගින් විශාල අනිසි වාසියක් ලැබිය හැකියි. එය වැළැක්විය හැක්කේ අදාළ කටයුතු මුළුමනින්ම අවසන් වන තුරු බැංකු හා කොටස් වෙළඳපොළ වසා තැබීමෙන් පමණයි. 

මහ බැංකුව විසින් පොලී අනුපාතික වෙනස් කරන අවස්ථාවක වුවත් මෙවැනි තත්ත්වයක් තිබෙනවා. කිසිවෙකුට අදාළ තීරණය කලින් දැනගන්නට ඉඩ නොතබා කලින් දැනුම් දී ඇති නිශ්චිත මොහොතක සියල්ලන්ටම එකවර මෙවැනි ප්‍රතිපත්ති තීරණ පිළිබඳව දැනුම් දෙන්නේ ඒ නිසා. ලෝකයේ වෙනත් රටවල මහ බැංකු කටයුතු කරන්නේද එලෙසයි. එතෙක්, මෙම තීරණය ගැන දන්නා මහ බැංකුවේ නිලධාරීන් විසින් දැඩි වගකීමකින් යුතුව තීරණය පිළිබඳ රහස්‍යභාවය රකිනවා.

මහ බැංකුවේ නිලධාරීන් මෙන්ම වාණිජ බැංකු වල අදාළ නිලධාරීන්ද රහස්‍යභාවය අවශ්‍ය පරිදි රැකීම පිළිබඳව ආචාර ධාර්මික පළපුරුද්දක් ඇති අයයි. එහෙත් අවාසනාවකට මෙන් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් සියලු දෙනාම එවැන්නන් නෙමෙයි. එමෙන්ම සාමාන්‍ය මූලධර්මයක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු රහසිගතව නොව, පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතුයි. 

ඉහත කී ප්‍රශ්න දෙකම එනම් ඇතැම් අය අනිසි ලාබ සොයන්නට යාමේ ඉඩකඩ සහ තවත් අය අනිසි බිය පැතිරවීමේ ඉඩකඩ ඇති වන්නේ ස්වේච්ඡා ණය හුවමාරුවක් සිදු විය හැකි සංක්‍රාන්ති කාලය තුළ පමණයි. අදාළ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසුව සිදු වී ඇති දේ සියල්ලන්ටම දැන ගත හැකි නිසා කොටස් වෙළඳපොළ හා බැංකු නැවත විවෘත වීමෙන් පසුව කිසිවෙකුට විශේෂ වාසියක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. 

කෙසේ වුවත්, දින පහක කාලය තුළ අවශ්‍ය නීතිමය කටයුතු අවසන් කර ගැනීමේ දේශපාලනික අභියෝගය මෙන්ම වාණිජ බැංකු හා දැනටමත් එකඟතාවයන් ඇති කරගෙන නැත්නම් එවැනි එකඟතා ඇති කර ගැනීමේ අභියෝගයද ඉතිරිව තිබෙනවා.

Sunday, June 25, 2023

සැම්බියාවට ලැබුණු ණය සහනය


මේ වන විට සොයා ගත හැකි තොරතුරු වලට අනුව, සැම්බියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම එම රටට ඉතාම වාසිදායක අයුරින් සිදු වී තිබෙනවා. මෙහිදී නාමිකව ණය කපා හැරීමක් (haircut) සිදු වී නැතත්, ණය ආපසු ගෙවන කාලය සාමාන්‍ය අගයක් ලෙස වසර 12කින් පමණ කල් දැමීම හා පොලී අනුපාතික දැඩි ලෙස සීමා කිරීම හරහා 40%ක පමණ ණය කප්පාදුවකට සමාන කළ හැකි වාසියක් සැම්බියාවට ලැබී තිබෙනවා. මෙම තොරතුරු නිල තොරතුරු නොවන බවද සටහන් කළ යුතුයි. නිල වශයෙන් මෙම තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. 

ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව, සැම්බියාවට සිය විදේශ ණය ආපසු ගෙවීම සඳහා වසර 20ක කාලයක් ලැබෙනවා. ඒ අනුව, ණය ගෙවා අවසන් කරන්නේ 2043 වසරේදී. මෙම වසර 20න් 14ක්ම, එනම් 2037 වසර දක්වා සැම්බියාව විසින් ගෙවීමට නියමිතව ඇත්තේ 1%ක පොලියක් පමණයි. ඉන් පසුව, ගෙවිය යුතු පොලිය 2.5% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සැම්බියාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයෙන් ලබා ගෙන ඇති ණය වෙනුවෙන් ගෙවිය යුතු වූ සාමාන්‍ය පොලිය 3.9%ක් පමණ බව සලකා බලද්දී මෙය විශාල පොලී කප්පාදුවක් ලෙස සැලකිය හැකියි. 

ඉදිරි වසර තුනක කාලය තුළ, එනම් 2026දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩ සටහන අවසන් වන තුරු, සැම්බියාව විසින් විදේශ ණය ආපසු ගෙවීමක් සිදු වන්නේ නැහැ. එම කාලය තුළ ආපසු ගෙවන්නේ 1%ක පොලී මුදලක් පමණයි. ඉන්පසු, 2035 දක්වා වසර දොළහක් වසරකට 0.5% බැගින් ණය ආපසු ගෙවීම සිදු වනවා. එහෙත් මෙහිදී ගෙවී අවසන් වන්නේ ප්‍රතිව්‍යුහකරණයට ලක්වන ණය ප්‍රමාණයෙන් 6%ක් පමණක් බැවින්, ඉතිරි ණය ප්‍රමාණය 2036-2043 වසර අට තුළ ගෙවන්නට සිදු වන බවකුයි පෙනී යන්නේ. 

සාමාන්‍ය පොලී අනුපාතිකය 5% සේ සලකා වට්ටම් කළ විට ශුද්ධ වත්මන් අගය (NPV) පදනම මත සැම්බියාවේ ණය බර 40%කින් පමණ පහළ යනවා. කෙසේ වුවද, යම් හෙයකින් සැම්බියාවේ ආර්ථිකය අපේක්ෂා කරන මට්ටමට වඩා හොඳින් වර්ධනය වී ණය ආපසු ගෙවීමේ හැකියාව ඉහළ ගියහොත් ඉහත ගනුදෙනුව ණයහිමියන්ට වඩා වඩා වාසිදායක ලෙස වෙනස් වෙනවා. එහිදී පොලී අනුපාතික 4%ක උපරිමයක් දක්වා ඉහළ යනවා.

ඉහත එකඟතාවයන් ඇති කර ගෙන තිබෙන්නේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟයි. සැම්බියාවේ විදේශ බැඳුම්කරහිමියන් ඇතුළු වාණිජ ණයහිමියන්ටද මෙම පදනම අනුව තමන්ගේ ප්‍රතිලාභ ලබා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා ඉදිරි කාලයේදී ඔවුන්ව එකඟ කරගත යුතුයි.

සැම්බියාව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "පොදු රාමුව (common framework)" යටතේ. මේ යටතේ මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කළ, ලෝකයේ දිළිඳුම රටක් වන, චාඩ් රාජ්‍යයට ඒ සඳහා මාස දොළහක කාලයක් ගත වූ අතර සැම්බියාව මාස දහයක කාලයක් තුළ මේ කාර්යය අවසන් කළා. ඝානාවේ හා ඉතියෝපියාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම්ද පොදු රාමුව යටතේ සලකා බැලෙන නමුත් වඩා ඉහළ ආදායම් තලයක සිටින ලංකාවට පොදු රාමුව අදාළ වෙන්නේ නැහැ.

පොදු රාමුව අදාළ නොවන නිසා ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඉහත රටවල් තරමටම දැඩි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් ඉහත රටවල් තරමටම විශාල ණය සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අඩු කාලයක් තුළ අවසන් කර ගැනීමේ හැකියාව තිබෙනවා. 

ඉහත හැම රටකම මෙන් ණය තිරසාරත්වය නැති වීමට ප්‍රධාන හේතුව සේ හඳුනාගෙන තිබෙන්නේ රාජ්‍ය ආදායම රටේ ආදායමට අනුපාතිකව ඉහළ මට්ටමක තිබුණත්, රටේ ආදායම පහළ මට්ටමක තිබීම හේතුවෙන් ණය වාරික හා පොලී ගෙවීමට තරම් රජයේ ආදායම ප්‍රමාණවත් නොවීමයි. එම රටවලින් වෙනස්ව ලංකාවේ මූලික ප්‍රශ්නය රටේ ආදායම ණය ගෙවිය හැකි මට්ටමක තිබියදී එම ආදායමෙන් රජය විසින් එකතු කර ගන්නා කොටස ප්‍රමාණවත් නොවීමයි. ඒ නිසා, ඉහත රටවල් සඳහා සකස් කර ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ වලට සාපේක්ෂව, ලංකාව සඳහා වන වැඩපිළිවෙළෙහි වැඩි අවධාරණයක් සිදු කර තිබෙන්නේ රජයේ ආදායම් ඉහළ නංවා ගෙන හැකි ඉක්මණින් ණය ආපසු ගෙවීම කෙරෙහියි. 

Friday, June 23, 2023

සැම්බියාව සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කරයි!


සැම්බියාව විසින් ඔවුන්ගේ ඩොලර් බිලියන 6.3ක ද්විපාර්ශ්වික ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට සමත්ව සිටින බව නිවේදනය කර තිබෙනවා. ඩොලර් බිලියන 22ක ආර්ථිකයක් ඇති සැම්බියාව ඩොලර් බිලියන 32.8ක ණය කන්දක් ගොඩ ගසාගෙන සිටි අතර එයින් ඩොලර් බිලියන 18.6ක් පමණම විදේශ ණයයි. 2020 නොවැම්බර් 13 දින සැම්බියාව විසින් ණය ගෙවීම පැහැර හරිනු ලැබුවා. ඉන් පසුව එකතු වූ නොගෙවු පොලී ඩොලර් බිලියන 1.2ක්ද ඉහත ගණනට ඇතුළත්. 

ඉහත ණය වලින් මේ වන විට ප්‍රතිව්‍යුහගත කරනු ලැබ ඇත්තේ ද්විපාර්ශ්වික ණයයි. එම ණය වසර තුනක සහන කාලයකින් පසුව වසර විස්සක කාලයක් තුළ ආපසු ගෙවීම ඇති කරගෙන තිබෙන එකඟතාවයි. සහන කාලය තුළ පොලිය පමණක් ආපසු ගෙවීමට නියමිතව අතර පොලිය සීමා කිරීමක්ද සිදු වනවා. කෙසේ වුවද, සැම්බියාවේ ආර්ථිකය වඩා යහපත් වුවහොත් සැම්බියාව විසින් වඩා වැඩි පොලියක් ගෙවිය යුතු අතර ණය වාරිකද වඩා කලින් ආපසු ගෙවිය යුතුයි. මේ හා අදාළ විස්තරාත්මක තොරතුරු තවමත් ප්‍රසිද්ධ කර නැහැ. 

ඉහත ද්විපාර්ශ්වික ණය වලට අමතරව ඩොලර් බිලියන 6.7ක වාණිජ ණයද මෙම කොන්දේසි යටතේම ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමට නියමිතයි. එහෙත්, කිසිදු ආකාරයක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ. ඒ සඳහා විදේශ ණයහිමියන්ගේ එකඟත්වය ලැබී තිබෙනවා. 

සැම්බියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට ගියේ පසුගිය අගෝස්තු මාසයේදී. ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කිරීමට එතැන් සිට මාස දහයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. සැම්බියාවේ ලොකුම ද්විපාර්ශ්වික ණයහිමියා වූයේත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල් යන්නට ප්‍රධානම හේතුව වූයේත් චීනයයි. 

2048දී ලංකාව මොන වගේ වෙයිද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2048 වන විට ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ ඉලක්කයක් වගේ දෙයක් ගැන ටික දවසකට පෙර කියා තිබුණා. මේ ප්‍රකාශය ගැන දෙආකාරයක විවේචන දැකිය හැකි වුනා. සමහර විචේචන චව්චව් වර්ගයේ සෘණාත්මක විවේචන. ඒ අයට අනුව, මේ වැඩේ කීයටවත් වෙන්නේ නැති වැඩක්. ඒ නිසා ඔය සංවර්ධන සිහිනය විහිළු කතාවක්. අනෙක් පැත්තෙන් තවත් සමහර අයට අනුව, ඔය ඉලක්කයට යන්න 2048 වෙනකම් බලා ඉන්න වෙන එක විහිළුවක්. එතෙක් බලා නොඉඳ මේ ඉලක්කයට ඊට කලින් යා යුතුයි. 

සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ලෙස රටවල් බෙදන එක ටිකක් පරණ කතාවක්. ඊටත් කලින් ඌණ සංවර්ධිත රටවල් ලෙස රටවල් නම් කළ කාලයකුත් තිබුණා. සංවර්ධිත රටක් කියන එකට කිට්ටුවෙන්ම යන වර්තමාන අර්ථදැක්වීම විදිහට ලෝක බැංකුවේ ඉහළ ආදායම් රටවල් කියන වර්ග කිරීම සලකන්න පුළුවන්.

ලෝක බැංකුවේ වත්මන් වර්ගීකරණය අනුව ඉහළ ආදායම්ලාභී රටක් සේ සැලකෙන්නේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 13,205 ඉක්මවන රටවල්. මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, 2022දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3,474ක්. එහෙමනම්, ඔය ආදායම 2048 වන විට ඇමරිකන් ඩොලර් 13,205 දක්වා වැඩි කරගන්න බැරි වෙයිද? එතෙක් බලා නොසිට, ඊට කලින්ම ඔය ඉලක්කයට යන්න බැරිද?

ඒක පුද්ගල ආදායම 2048 වන විට ඩොලර් 13,205 දක්වා වැඩි කර ගන්නනම් 2023 සිට වසර 26ක් තිස්සේ 5.27%ක සාමාන්‍ය වේගයකින් ඒක පුද්ගල ආදායම වැඩි විය යුතුයි. ඒ කියන්නේ ඊට කලින් ඔය ඉලක්කයට යන්නම් වර්ධන වේගය මීටත් වඩා වැඩි විය යුතුයි. 

මේ වෙද්දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2033 පමණ වන තුරු ලංකාවේ ශක්‍ය ආර්ථික වර්ධන වේගය සේ සලකා තිබෙන්නේ 3.1% මට්ටම. ඔය කාලය තුළ රටේ ජනගහණයද වර්ධනය වන නිසා, ආර්ථිකය 3.1% වේගයෙන් වර්ධනය වුනත් ඒක පුද්ගල ආදායම එම වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඊට අමතරව, මුල් වසර කිහිපයේදී 3.1% ආර්ථික වර්ධන වේගය එන්නෙත් නැහැ. මේ වසරේදී වෙන්නේ ආර්ථිකය හැකිලෙන එක. ඒ නිසා, 2048ට ගොඩක් කලින් ඔය ඉලක්කයට යා හැක්කේ හාන්සි පුටු සැලසුමක පමණයි. 

එක දිගටම 3.1% වේගයෙන් ආර්ථිකය වර්ධනය වුනොත්, ජනගහණය වෙනස් නොවුනත්, ඩොලර් 13,205 ඉලක්කයට යන්න අවුරුදු 44ක් යනවා. ඒ කියන්නේ වැඩේ වෙන්නේ 2066 අවුරුද්දේ. 

ලෝක බැංකු දත්ත අනුව, 2001-2021 අතර ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.91%ක් පමණ වෙනවා. 2001-2021 අතර ජනගහණ වර්ධන වේගය 0.83%ක්. මේ අනුව, ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය වර්ධනය 4.08%ක්. මේ වේගයෙන් වර්ධනය වුනොත්, ලංකාවට ඉහළ ආදායම් රටක් වෙන්න අවුරුදු 34ක් යනවා. ඒ කියන්නේ ඒ වේගයෙන් ගියත් වැඩේ වෙන්නේ 2056 අවුරුද්දේ. 

මේ අවුරුද්දේ රටේ ආර්ථිකය කොහොමටත් හැකිලෙනවා. තව අවුරුදු හතරක් පහක් යනකම් රටේ ලොකු ආර්ථික වර්ධන වේගයක් ඇති වෙන එකක් නැහැ. නමුත්, ඉදිරි දශක දෙක තුන තුළ ඉන්දියාවේ වේගවත් ආර්ථික වර්ධනයක් ඇති වීමට නියමිතයි. මෙම වර්ධන වේගය 6% මට්ටම ඉක්මවන බව පැහැදිලියි. 8% වගේ මට්ටමක් දක්වා වුනත් යන්න පුළුවන්. එහි වාසිය ලංකාවටත් එනවා. 

අනෙක් පැත්තෙන් 2035 පමණ වන විට ලංකාවේ ජනගහන වර්ධනය නැවතී ඇතැම් විට ජනගහණය අඩු වෙන්න පටන් ගන්න වුනත් ඉඩ තිබෙනවා. එහෙම විය හැක්කේ ඇයි කියා මම මේ ලිපියේ විස්තර කරන්න යන්නේ නැහැ. ඒ නිසා, 2030-2035 පමණ වන තුරු ඒක පුද්ගල ආදායම අඩු වේගයකින් වර්ධනය වුවත්, ඉන්පසුව වඩා වැඩි වේගයකින් වර්ධනය කරගෙන  5.27%ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වා ගන්න ඉඩක් ලැබෙයි කියා හිතන එක ධනාත්මක අදහසක් වුවත් මනෝරාජික සිතුවිල්ලක් නෙමෙයි. 

Wednesday, June 21, 2023

අද පොලී අනුපාතික


අපේක්ෂිත පරිදිම, මේ වන විට භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වේගයෙන් පහත වැටෙමින් පවතිනවා. අද පැවති වෙන්දේසියේ මිල ගණන් පහත පරිදියි.

මාස 3 - 23.00%

මාස 6 - 19.49%

මාස 12- 16.99%

මෙහි දැකිය හැකි වැදගත්ම දෙය ඉතා තියුණු ලෙස ඵලදා වක්‍රය පහතට නැඹුරු වී තිබීමයි. එයින් පෙන්නුම් කරන්නේ වේගයෙන් පොලී අනුපාතික පහත වැටීම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවයි.

මාස 3 පොලී අනුපාතිකය 23.00% මට්ටමේ තිබියදී මාස 6 පොලී අනුපාතිකය 19.49% වීමෙන් අදහස් වන්නේ දෙවන මාස 3 තුළ ලබා ගත හැකි ප්‍රතිලාභ අනුපාතිකය 15.98%ක් පමණක් බවයි. එමෙන්ම, මාස 6 පොලී අනුපාතිකය 19.49% මට්ටමේ තිබියදී මාස 12 පොලී අනුපාතිකය 16.99% වීමෙන් අදහස් වන්නේ දෙවන මාස 6 තුළ ලබා ගත හැකි ප්‍රතිලාභ අනුපාතිකය 14.49%ක් පමණක් බවයි.

මේ අතර අද ප්‍රකාශයට පත් කර ඇති ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මැයි මාසයේ උද්ධමනය 22.1% ලෙස වාර්තා වන අතර ආහාර උද්ධමනය 15.8% දක්වා අඩු වී තිබෙනවා. මෙම ජූනි මාසයේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 12% මට්ටම දක්වාත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 11% මට්ටම දක්වාත් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කළ හැකි අතර ඉදිරි මාසය වන විට පිළිවෙලින් 8% හා 6% පමණ දක්වා අඩු විය හැකියි. ඒ අනුව, පොලී අනුපාතිකද තව දුරටත් සැලකිය යුතු ලෙස පහත වැටෙන්නට ඉඩ තිබෙනවා.

Monday, June 19, 2023

පසුගිය සතියේ ඩොලරයේ හැසිරීම


පසුගිය සතියේ තරමක් උඩට ගිය ඩොලරයක මිල ඉහළ යාම නවත්වා හෝ පහළ යමින් තිබෙනවා. මේ වගේ අඩුවැඩි වීම් ගැන මම අනාවැකි කියන්න යන්නේ නැහැ. ඉල්ලුම හා සැපයුම අනුව නිදහසේ තීරණය වන මිලක් ඔය විදිහට වරින් වර ඉහළ පහළ යන්න පුළුවන්. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. 

ඩොලරයක මිල රුපියල් විස්සකින් තිහකින් ඉහළ යාම රුපියල කඩා වැටීමක් නෙමෙයි. ඒ වගේම ඩොලරයක මිල රුපියල් විස්සකින් තිහකින් පහළ යාම ඩොලරය කඩා වැටීමකුත් නෙමෙයි. ඔය වගේ විචලනයන් පස්සේ ඕනෑවට වඩා පන්නන අයට ටික දවසක් යද්දී හති වැටෙයි. ඊට පස්සේ වෙළඳපොළක ස්වභාවය කියන්නේ මේක තමයි කියලා අවබෝධ වෙයි.

වසර අවසානය වෙද්දී ඩොලරයක මිල කීයක් වෙයිද වගේ ප්‍රශ්න ගොඩක් අයට තිබෙනවා. ලංකාවේ දැනට පවතින තත්ත්වයන් තුළ ඒ ගැන හරියටම කිව හැකි මූලධර්මයක් නැහැ. නිකම් අනුමානයක් පමණක් කරන්න පුළුවන්. එවැනි අනුමානයක් අහම්බෙන් වගේ හරියන්නත් පුළුවන්. මිල විචලනය විය හැකි පරාසය ගැන පමණක් යම් තරමකින් නිවැරදිව අනුමාන කරන්න පුළුවන්.

වසර දහයක් වැනි ඉතා දිගුකාලයක් ගත්තොත්, ලංකාවේ ඉලක්කය උද්ධමනය 5% මට්ටමේ තියා ගන්න එක. ඇමරිකාවේ ඉලක්කය උද්ධමනය 2% මට්ටමේ තියා ගන්න එක. ඒ නිසා, දිගුකාලීනව ඩොලරයක මිල වසරකට 3%කින් පමණ ඉහළ යා යුතුයි. ඒ අතර, කෙටිකාලීන විචලනයන් වෙන්න පුළුවන්. ඉල්ලුම හා සැපයුම තුලනය කරන්න එවැනි විචලනයන් අවශ්‍යයි.

ඔය දිගුකාලීන සමතුලිතතාව ඇති වෙන්නේ මුලින්ම කෙටිකාලීන අවිනිශ්චිතතා අවසන් වෙලා මිල යම් මට්ටමක ස්ථාවර වුනාට පස්සේ. මෙහිදී ස්ථාවර වෙනවා කියන්නේ විචලනයන් නවතිනවා කියන එක නෙමෙයි. විචලනයන් සැලකිය යුතු තරමින් සමමිතික වෙනවා කියන එක. 

දැනටත් විදේශ විණිමය ඉල්ලුම කෙරෙහි බලපාන සීමාවන් සියල්ල ඉවත් වී නැහැ. වාහන ආනයන තහනම හා ප්‍රාග්ධන සංචලන සීමා ඇතුළු සීමාවන් ගණනක් තවමත් ක්‍රියාත්මකයි. ඒ සීමා ඉවත් වෙද්දී ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, ඩොලරයක මිල ඉහළ යාමේ නැඹුරුව පහළ යාමේ නැඹුරුවට වඩා වැඩියි. හැබැයි මහා විශාල වැඩිවීමක් වීමේ ඉඩක්නම් පෙනෙන්න නැහැ.

පසුගිය සතියේ ඩොලරයක මිල ඉහළ යාමට ආනයන සීමා ඉවත් කිරීම බලපෑවා. ඒ බව කලින්ම පෙනෙන්න තිබුණු දෙයක්. මේ ඉල්ලුම සැපිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය බැංකු පද්ධතිය ඇතුළේ තිබුණා කියා මම හිතනවා. එහෙත්, ආනයන සීමා ඉවත් වෙද්දී ඩොලරයක මිල ඉහළ යයි කියා යම් පිරිසක් විශ්වාස කිරීම නිසාම වුවද ඉතා කෙටිකාලීනව යම් තරමකින් මිල ඉහළ යනවා. 

දැන් පැහැදිලිව පෙනෙන පරිදි පසුගිය සතියේ සිදු කළ ආනයන සීමා ඉවත් කිරීම් නිසා ආර්ථිකයට දරා ගත නොහැකි පරිදි ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගොස් නැහැ. මගේ පෞද්ගලික අදහසනම් වඩා සුදුසු වන්නේ ඩොලරයක මිල තවත් ටිකක් ඉහළින් පැවතීම කියන එකයි. 

පසුගිය සතියේ ආනයන සීමා ඉවත් කරන්න පෙර ප්‍රතිපත්ති සම්පාදකයින්ට වගේම වෙළඳපොළ පාර්ශ්වකරුවන්ටත් එහි අවසන් ප්‍රතිඵලය පිළිබඳ යම් සැක සංකා තියෙන්න ඇති. එය එසේ නොවෙන්න හේතුවක් නැහැ. නමුත් මේ වෙද්දී ආනයන සීමා ඉවත් කළත්, එයින් ලොකු බලපෑමක් නොවන බව ඒ බොහෝ දෙනෙක්ට තේරුම් ගිහින් ඇති. ඒ නිසා, මගේ අදහසනම්, වාහන ආනයන සීමා හැර තව තිබෙන මොනවා හෝ සීමාවන් ඇත්නම් ඒ සීමාවන්ද ඉවත් කර දමන්න දැන් කාලය හරි කියන එකයි. එයින් ඩොලරයක මිලේ විශාල වෙනසක් සිදු වෙන එකක් නැහැ. ඊට පස්සේ වාහන ආනයන ගැනත් හිතා බලන්න ඉඩක් ලැබෙනවා. 

ඔය තහනම් සියල්ල ඉවත් කළාට පස්සේ වුනත් ඩොලරයක මිලෙහි විශාල වැඩිවීමක් වනු ඇතැයි මම හිතන්නේ නැහැ. එහෙත්, මෙය අනුමානයක් පමණයි. වෙළඳපොළ හැසිරීම පරීක්ෂා කරමින් සීමා එකින් එක ඉවත් කරන එකයි සුදුසු. හැබැයි ඩොලරයක මිල පහත වැටෙන්න හේතුත් නැහැ. ඒ වගේම, එහෙම ලොකුවට ඩොලරයක මිල පහත වැටෙනවානම් බොහෝ විට එහි සැඟවුණු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.

රටට එන විදේශ විණිමය ටික ආනයන ඇතුළු විණිමය අවශ්‍යතා සඳහා යොදා ගන්න ඉඩ ඇරීමෙන් පසුව මහ බැංකුවේ ඉතිරි සංචිත ඉලක්ක සපුරා ගැනීම සඳහාත් ප්‍රමාණවත් වුනත් ඩොලරයක මිල පහළට තල්ලු කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. පසුගිය මාස දෙක තුන තුළ ඩොලරය පහළට තල්ලු කර තිබෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ලෙස පැමිණි ඩොලර්. 

පසුගිය සතියේ මේ රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන ප්‍රවාහ නැවතී තිබෙනවා. ඇතැම් විට එය තාවකලික තත්ත්වයක් වෙන්න පුළුවන්. මේ විදිහට එන ඩොලර් රටේ කිසිවෙකු විසින් ඉපැයූ ඩොලර් නොවන නිසා යම් අවස්ථාවක පොලියත් එක්කම ආපහු රටින් යනවා. එවිට විණිමය අනුපාතය මත දැනෙන තරමේ පීඩනයක් ඇති වෙන්න පුළුවන්. එයට මුහුණ දීම සඳහා ඒ විදිහට එන ඩොලර් වගේම ඒ ඩොලර් ආපසු ගෙනයාමේදී පොලී ලෙස එකතු කරගෙන යන කොටසත් සංචිත වලට එකතු කරගෙන තබා ගත යුතුයි. 

කොහොම වුනත්, පසුගිය සතියේ උදාහරණයෙන් පෙනෙන්නේ රුපියලේ බාහිර අගය මේ වන විට යම් තරමක කම්පනයකට මුහුණ දිය හැකි තරමට ඔරොත්තු දීමේ හැකියාවක් ගොඩ නගාගෙන (resilient) ඇති බවයි. ඒ මේ වන විට ගොඩ නගා ගෙන තිබෙන නිල විදේශ සංචිත වල ශක්තියයි. 

Sunday, June 18, 2023

දේශීය ණය පොලී වල අවදානම් අධිභාරය


මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර අනෙකුත් බිල්පත් ප්‍රතිව්‍යුහගත නොකරන බව මේ වන විට පැහැදිලිව කියා තිබෙනවා. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කර ගැන එවැනි කතාවක් කියා නැහැ. භාණ්ඩාගාර බැඳුම්කර වල යම් ආකාරයක ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වීමට නියමිතව තිබෙනවා. 

ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම නිසා පොලී අනුපාතික මත යම් අවදානම් අධිභාරයක් එකතු වී තිබුණා. එම අවදානම් අධිභාරය කොපමණ වීද?

පහත තිබෙන්නේ ගෙවුණු මාර්තු මාසය අවසානයේ විවිධ දින ගණන් වලින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතික වල සංසන්දනයක්. මෙම ඵලදා අනුපාතික පදනම් වෙන්නේ ද්වීතියික වෙළඳපොළ ගැනුම් මිල ගණන් ඉදිරිපත් කිරීම් (quotes) මතයි.  විකිණුම් මිල ගණන් ඉදිරිපත් කිරීම් දෙස බැලුවත් මීට කිට්ටු රටාවක් හඳුනා ගන්න පුළුවන්. 

දින 45කින් කල් පිරෙන බැඳුම්කරය - 24.80%

මාස-1 කින් කල් පිරෙන බිල්පත - 23.50%

මාස-2 කින් කල් පිරෙන බිල්පත - 24.51%


දින 106කින් කල් පිරෙන බැඳුම්කරය - 25.74%

මාස-3 කින් කල් පිරෙන බිල්පත - 26.11%

මාස-4 කින් කල් පිරෙන බිල්පත - 25.86%


දින 154කින් කල් පිරෙන බැඳුම්කරය 1 - 25.71%

දින 154කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 26.13%

මාස-5 කින් කල් පිරෙන බිල්පත - 25.84%


දින 184කින් කල් පිරෙන බැඳුම්කරය - 26.09%

මාස-6 කින් කල් පිරෙන බිල්පත - 25.96%


දින 276කින් කල් පිරෙන බැඳුම්කරය - 27.43%

මාස-9 කින් කල් පිරෙන බිල්පත - 25.18%


දින 350කින් කල් පිරෙන බැඳුම්කරය - 27.38%

මාස-11 කින් කල් පිරෙන බිල්පත - 24.74%

මාස-12 කින් කල් පිරෙන බිල්පත - 24.53%

ඉහත ඵලදා අනුපාතික දෙස බැලූ විට පෙනී යන්නේ මාස හයකට අඩු කාලයක් තුළ ආසන්නව සමාන කාලයකදී කල් පිරෙන බිල්පත් හා බැඳුම්කර වල අපේක්ෂිත ප්‍රතිලාභ අතර සැලකිය යුතු වෙනසක් නැති බවයි. මෙය සාමාන්‍ය තත්ත්වයක්. ඔය දෙකෙන් කොයි එකේ ආයෝජනය කළත් වෙන්නේ රජයට ණය දීමක් නිසා අපේක්ෂිත ප්‍රතිලාභ වල වෙනසක් තියෙන්න හේතුවක් නැහැ. 

කෙසේ වුවත්, කල් පිරෙන කාලය මාස 6 ඉක්මවද්දී (2023 සැප්තැම්බර් වලින් පසුව කල් පිරෙද්දී) පොලී අනුපාතික අතර 2%-3% ආසන්න වෙනසක් ඇති වෙනවා. මේ වෙනසට හේතුව ද්‍රවශීලතා වෙනස වෙන්න පුළුවන්. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් හදිසියකදී විකුණා ගන්න එක වඩා පහසු වීම හා ඒ නිසා සාපේක්ෂ ඉල්ලුම වැඩි වීම.

දැන් අපි පසුගිය සතියේ (ජූනි 16) පැවති තත්ත්වය දෙස බලමු. 

දින 29කින් කල් පිරෙන බැඳුම්කරය - 24.05%

මාස-1 කින් කල් පිරෙන බිල්පත - 19.71%


දින 77කින් කල් පිරෙන බැඳුම්කරය 1 - 24.23%

දින 77කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 24.52%

මාස-2 කින් කල් පිරෙන බිල්පත - 20.59%

මාස-3 කින් කල් පිරෙන බිල්පත - 22.21%


දින 107කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 24.45%

මාස-3 කින් කල් පිරෙන බිල්පත - 22.21%

මාස-4 කින් කල් පිරෙන බිල්පත - 20.89%


දින 152කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 24.45%

මාස-5 කින් කල් පිරෙන බිල්පත - 20.77%


දින 182කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 24.53%

මාස-6 කින් කල් පිරෙන බිල්පත - 20.19%


දින 273කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 25.08%

මාස-12කින් කල් පිරෙන බිල්පත - 19.61%


දින 320කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 26.61%

මාස-12කින් කල් පිරෙන බිල්පත - 18.21%


දින 365කින් කල් පිරෙන බැඳුම්කරය 2 - 25.25%

මාස-12කින් කල් පිරෙන බිල්පත - 18.01%

දැන් අපිට කෙටිකාලීන (මාස 6 දක්වා වන) බිල්පත් හා බැඳුම්කර අතර 4%ක පමණ ඵලදා අනුපාතික වෙනසක් පේනවා. කල් පිරෙන කාලයක් වසරක් වෙද්දී මෙම වෙනස 6%-7% දක්වා ඉහළ යනවා. කලින් පැවති 2%-3% ප්‍රමාණයේ ද්‍රවශීලතා අධිභාරය පැත්තකට කළොත් නැවතත් 4%ක පමණ වෙනසක්. මේ වෙනස ඇති වුනේ කොහොමද?

මෙහි තියෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම නිසා බැඳුම්කර පොලී අනුපාතික මත එකතු වී තිබෙන අධිභාරය. මේ වෙද්දී බිල්පත් පොලී අනුපාතික වල මේ අධිභාරය නැහැ. ඒ කියන්නේ, භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියා මේ වෙලාවේ කිවුවොත් පොලී අනුපාතික අඩු වෙන්නේ ඔය ප්‍රමාණයට. අනෙකුත් සාර්ව ආර්ථික සාධක මත කොහොමටත් පොලී අනුපාතික අඩු වීම වෙනම කරුණක්.

තවත් විදිහකට කිවුවොත් 4%ක පමණ පොලී කප්පාදුවකට දැනටම වෙළඳපොළ සකස් වෙලා ඉවරයි. ඒ නිසා, එවැනි පොලී කප්පාදුවකින් කිසිදු වෙළඳපොළ කම්පනයක් වෙන්නේ නැහැ. ඊට වඩා අඩු කප්පාදුවක් කියන්නේ අනපේක්ෂිත වාසියක්. පාඩුවක් වෙන්නේ 4%කට වඩා වඩා වැඩියෙන් කප්පාදු කරන කොටස පමණයි. බැඳුම්කර මිල දී ගත් අය මිල දී ගෙන තියෙන්නෙම ඔය 4% ගෙවන මිලෙන් අඩු කරගෙනයි. 

ඇතැම් විට ඉදිරි සති වල පොලී අනුපාතික පහළ යද්දී මේ පරතරය තවත් වැඩි වෙන්න පුළුවන්. එහෙම වුනොත් එහි තේරුම මීටත් වඩා වැඩි පොලී කප්පාදුවකට වෙළඳපොළ සූදානම් වෙලා ඉවරයි කියන එක. 

Friday, June 16, 2023

ඩොලර් බිලියන හතකින් ණය වැඩි වෙලාද?


මුදල් අමාත්‍යංශය විසින් දැන් පෙර යුග වලට සාපේක්ෂව වැඩි පාරදෘශ්‍යතාවයකින් යුතුව කටයුතු කරනවා. එක පැත්තකින් එහෙම කරන්න වෙලා තියෙනවා කියන්නත් පුළුවන්. ණයහිමියන් ඇතුළු විදේශ පාර්ශ්ව විසින් එවැනි පාරදෘශ්‍යතාවයක් ඉල්ලා සිටිනවා.

ඉහත ප්‍රතිපත්තිය අනුව යමින් මුදල් අමාත්‍යංශය විසින් රජයේ ණය ප්‍රමාණ පිළිබඳ "අලුත්ම" තත්ත්වය ටික දවසකට කලින් වාර්තා කළා. අලුත්ම නොකියා "අලුත්ම" කිවුවේ මේ තියෙන්නෙත් මාර්තු 31 පැවති තත්ත්වය නිසා. මීට කලින් "අලුත්ම" තත්ත්වය වුනේ පෙර වසර අවසානයේදී පැවති තත්ත්වය. 

පහත වගුවේ විස්තරාත්මකව පෙන්වා ඇති පරිදි, පෙර වසර අවසානයේදී ඩොලර් මිලියන 84,703ක් වූ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය මාර්තු අවසානය වෙද්දී ඩොලර් මිලියන 91,561 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් මිලියන 6,858ක වැඩි වීමක්. ඩොලර් බිලියන හතකට ආසන්නයි.

ඒ කියන්නේ රජය විසින් ඔය මාස තුනට අලුතෙන් ඩොලර් බිලියන හතක් පමණ ණය අරගෙනද?

පළමුව, මෙහි තිබෙන්නේ සමස්ත රාජ්‍ය අංශයේ ණය. මධ්‍යම රජයේ ණය වගේම මහ බැංකුවේ සහ රාජ්‍ය සංස්ථා වල ණයත් මෙම ගණනට ඇතුළත්. දෙවනුව, මේ ණය වලට විදේශ ණය මෙන්ම දේශීය ණයද ඇතුළත්. අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශ ණයහිමියන් වෙනුවෙන් නිසා රුපියල් ණයද ඇමරිකන් ඩොලර් වලින් පෙන්වා තිබෙනවා. 

මුළු ණය ප්‍රමාණයෙන් විදේශ ණය කොටස පමණක් වෙන් කර ගත්තොත් ඩොලර් මිලියන 44,243 සිට ඩොලර් මිලියන 44,203 දක්වා ඩොලර් මිලියන 200ක අඩු වීමක් පෙනෙනවා. ඒ කියන්නේ ඔය කාලය ඇතුළත ලබාගත් යම් විදේශ ණය ප්‍රමාණයක් ඇත්නම් එම මුළු ප්‍රමාණය සහ තවත් ඩොලර් මිලියන 200ක ප්‍රමාණයක් විදේශ ණය ආපසු ගෙවීම සඳහා යොදවා තිබෙනවා. 

මේ විදිහට ආපසු ගෙවා තියෙන්නේ, බොහෝ දුරට, ඔය කාලය තුළ කල් පිරුණු සංවර්ධන බැඳුම්කර. ආපසු ගෙවා තිබෙන සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 208ක්. ඩොලර් ණයට නොගෙන ඩොලර් ණය ගෙවනවා කියන්නේ රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන ඩොලර් වලින් ණය ගෙවනවා කියන එකයි. සුළුවෙන් හෝ ණය ආපසු ගෙවීමට අමතරව ඔය කාලය තුළ විදේශ ණය වෙනුවෙන් පොලී ලෙසද සැලකිය යුතු මුදලක් ගෙවන්න ඇති.

රුපියල් නොවන විදේශ ණය සියල්ල ඇමරිකන් ඩොලර් වලින් ගත් ණය නෙමෙයි. යුරෝ, යෙන්, යුවාන් ආදී වෙනත් මුදල් වලින් ගත් ණය ඔය ගොඩේ තිබෙනවා. විණිමය අනුපාතය වෙනස් වෙද්දී එම ණය වල ඩොලර් අගය වෙනස් වෙනවා. මාස තුන ඇතුළත පොඩි පොඩි අඩුවැඩිවීම් වලට හේතුව මෙයයි. උදාහරණයක් විදිහට මහ බැංකුවේ මුදල් හුවමාරු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 25කින් අඩු වී තිබෙන්නේ යුවානයේ අගය පිරිහීම නිසා මිසක් එම මුදල ආපසු ගෙවූ නිසා නෙමෙයි. ඔය වගේ වෙනස්වීම් දෙපැත්තටම වෙන්න පුළුවන්.

ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 6,858කින් වැඩි වී තියෙන්නේ විදේශ ණය මිලියන 200කින් අඩු වෙද්දී දේශීය ණය වල ඩොලර් අගය රුපියල් මිලියන 7,058කින් ඉහළ ගොස් ඇති නිසා. රුපියල් ණය වල ඩොලර් අගය මාස තුනකදී මිලියන 38,682 සිට මිලියන 45,713 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ වැඩිවීමට ප්‍රධානම හේතුව මාර්තු අවසානයේදී ඩොලරයක මිල විශාල ලෙස පහත වැටීමයි. පෙර වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 363.11ක්. මාර්තු 31 වන විට ඩොලරයක මිල රුපියල් 327.29 දක්වා පහත වැටිලා. ඒ අනුව, පෙර වසර අවසන් වෙද්දී අරගෙන තිබුණු රුපියල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 14,046ක් (=38,682*363.11). එම රුපියල් ණය ප්‍රමාණයේම ඩොලර් අගය මාර්තු අවසාන වෙද්දී ඩොලර් වලින් මිලියන 42,916 දක්වා ඉහළ ගොස් තිබෙනවා (=14,046/327.29). ඒ කියන්නේ ඩොලර් වලින් බැලූ විට මිලියන 4,234ක වැඩි වීමක්. 

ඉහත කොටස ඉවත් කළාට පසුව, ඉතිරි ඩොලර් මිලියන 2,824 රුපියල් ණය වල ඇත්තම වැඩි වීම. එම ප්‍රමාණය රුපියල් වලින් බිලියන 924ක් පමණ. වසරේ පළමු මාස තුන ඇතුළත භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 4,126 සිට රුපියල් බිලියන 4,636 දක්වා රුපියල් බිලියන 510කින් ඉහළ ගොස් තිබෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 8,722 සිට රුපියල් බිලියන 9,131 දක්වා රුපියල් බිලියන 409කින් ඉහළ ගොස් තිබෙනවා. දෙවර්ගයේම වැඩිවීම රුපියල් බිලියන 919ක්. ඉහත ඇස්තමේන්තුවට ආසන්නව සමානයි.

පෙර වසර අවසානයේදී වූ රුපියල් බිලියන 14,046ක ණය ප්‍රමාණය තවත් රුපියල් බිලියන 919කින් ඉහළ යනවා කියන්නේ මාස තුනකදී 6.5%ක වැඩි වීමක්. ඒ කියන්නේ 26%ක පමණ වාර්ෂික පොලියක් එකතු වීමක් වැනි දෙයක්. ඔය කාලයේ පොලී අනුපාතික තිබුණේ 26%කට වඩා වැඩි හෝ ආසන්න මට්ටමක. පොලී අනුපාතික 26% මට්ටමේ තියෙද්දී තියෙන භාණ්ඩාගාර බිල්පත් ටිකම කල් පිරෙද්දී නැවත අලුත් කළ විට, අලුතෙන් සතයක්වත් ණය ගත්තේ නැතත්, මාස තුනක කාලයකදී ණය ප්‍රමාණයේ 6.5%ක වැඩි වීමක් වෙනවා. 

පසුගිය සතිය වන විට (ජූනි 8) භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 5,192 දක්වා ඉහළ ගිහින්. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 9,032 දක්වා අඩු වෙලා. ඒ  කියන්නේ තවත් රුපියල් බිලියන 457ක පමණ වැඩි වීමක්. ජූනි 8 වන විට ඩොලරයක මිල රුපියල් 290.97 දක්වා පහත වැටී තිබුණා. ඒ නිසා, පසුගිය සතියේ ගණන් බැලුවානම් ඔය ණය ප්‍රමාණය තවත් ඩොලර් බිලියන හතකටත් වඩා වැඩියෙන් වැඩි වී ඩොලර් බිලියන 99ක් පමණ වෙනවා. නමුත් දැන් නැවතත් ඩොලරයක මිල ටිකක් ඉහළ ගිහින් නිසා පොඩ්ඩක් අඩු වෙලා ඇති. 

ඩොලරයක මිල ඉහළ යන තරමට රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය පහත වැටෙනවා. ඩොලරයක මිල අඩු වෙද්දී ඔය අගය ඉහළ යනවා. මේක වෙන්නේ කවුරුවත් ණය අරගෙන ගිලින නිසා නෙමෙයි. 

ඉහත වගුව අනුව පෙර වසර අවසානයේදී මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 84,703ක්නේ. එදින පැවති විණිමය අනුපාතය සලකා (රුපියල් 363.11) රුපියල් කළොත් රුපියල් බිලියන 3,076ක්. මාර්තු අවසාන වෙද්දී මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 91,561ක්. එදින පැවති විණිමය අනුපාතය සලකා (රුපියල් 327.29) රුපියල් කළොත් රුපියල් බිලියන 2,997ක්. ඒ කියන්නේ මාස තුනක් ඇතුළත රුපියල් බිලියන 79කින් ණය අඩු වෙලා!

දැන් විණිමය අනුපාතය අනුව ගණනය කළොත් රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය රුපියල් වලින් තවත් අඩු වෙලා ඇති. හැබැයි ඔය විදිහට ණය අඩු වී ඇති බව පෙන්වන එකත්, ඩොලර් බිලියන නවයක් ණය අරගෙන කියනවා වගේම වැරදි අර්ථකථනය කිරීමක් පමණයි. කාලයක් ලංකාවේ ණය වැඩි වීම නොපෙන්වා හිටියේ ඔය ක්‍රමයට. 

Thursday, June 15, 2023

පළමු කාර්තුවේදී ආර්ථිකය 11.5%කින් හැකිළේ!


පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2023 පළමු කාර්තුව තුළ ලංකාවේ ආර්ථිකය 11.5%කින් හැකිළී තිබෙනවා. කර්මාන්ත අංශය 23.4%කින් හැකිලී ඇති අතර, සේවා අංශයේද 5.0%ක හැකිලීමක් සිදු වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ පමණක් 0.8%ක සුළු වර්ධනයක් දැකිය හැකියි. 

ආර්ථිකයේ හැකිලීමෙන් 29%කට පමණම දායක වී ඇත්තේ ඉදිකිරීම් අංශයේ කඩා වැටීමයි. ඉදිකිරීම් අංශය 38.3%කින් හැකිලී තිබෙනවා. 

ඉදිකිරීම් වැටෙන්නේ කර්මාන්ත අංශයට වුවත්, එයටම සම්බන්ධ නිවාස හා දේපොළ වෙළඳාම් අයත් වන්නේ සේවා අංශයටයි. එම උප අංශය 18.3%කින් හැකිළී ඇති අතර ආර්ථිකයේ හැකිලීමෙන් තවත් 8%කට පමණ දායක වී තිබෙනවා. මේ අනුව, ඉදිකිරීම් හා නිවාස දේපොළ වෙළඳාම් පහත වැටීම ආර්ථිකයේ හැකිලීමෙන් 37%කට පමණ වග කියනවා.

ආර්ථිකයේ හැකිලීමෙන් තවත් 16%කට හේතු වී තිබෙන්න බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශ වල ලාබ අඩුවීමයි. පතල් හා කැණීම් උප අංශයද 45.7%කින් හැකිලී ඇති අතර එයට හේතු පැහැදිලි නැහැ. එම හැකිලීම සමස්ත හැකිලීමෙන් 9%කට දායක වී තිබෙනවා. වී නිෂ්පාදනයෙහි 42.1%ක කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකි වුවත්, එම අංශයෙන් සමස්ත ආර්ථිකයට ලැබෙන දායකත්වය 0.8%ක් පමණක් නිසා එයින් තත්ත්වයෙහි දැනෙන වෙනසක් සිදු වී නැහැ. 

ලංකාවේ ආර්ථිකය වේගයෙන් දියුණු වූ වසර වලදී ඉදිකිරීම් අංශයෙන් ඒ සඳහා සැලකිය යුතු දායකත්වයක් ලැබුණා. එහෙත්, මෙම අංශය ආනයන මත රඳා පවතින නිසා එම වර්ධනය රටේ විදේශ අංශය අස්ථාවර වීමටද හේතුවක් වුනා. විදේශ අංශය අර්බුදයට ගොස් ආනයන සීමා වෙද්දී ඉදිකිරීම් අංශය විශාල පසුබෑමකට ලක් වීම හිතා ගන්න අමාරු දෙයක් නෙමෙයි. 

රාජ්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වා ගනිමින් ඉදිකිරීම් අංශය එහි අතීත මහිමය කරා නැවත ඔසොවා තැබීමේ හැකියාවක් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් සතුව නැතත්, එම අංශය මේ වන විට වැටී තිබෙන තැනින් ගොඩ එන්නට ඉක්මන් උදවු අවශ්‍ය වී තිබෙනවා. ආර්ථිකය නැවත වර්ධනය කර ගැනීමේදී ඉදිකිරීම් අංශය මග හැර යා නොහැකියි.

උද්ධමනය පාලනය කිරීම ප්‍රමුඛ ඉලක්කයව තිබියදී ආර්ථික වර්ධනය දෙවන තැනට දමන්නට සිදු වීම අනිවාර්ය කරුණක් වුවත්, උද්ධමනය පාලනය වී ඇති පසුබිමක ආර්ථික වර්ධනය නැවතත් ප්‍රමුඛ ඉලක්කයක් බවට පත් විය යුතුව තිබෙනවා. ඒ සඳහා ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කරන්නට සිදු වන අතර එයට ගැලපෙන පරිදි විණිමය අනුපාතයටද නැවත සකස් වන්නට ඉඩ හරින්නට සිදු වෙනවා. 

වසරේ දෙවන කාර්තුව තුළද, මෙපමණකින්ම නොවුවත්, 5-6%කින් පමණ ආර්ථිකය හැකිලී තිබිය යුතුයි. මේ අනුව, වසරේ පළමු මාස 6 තුළ, අපගේ ඇස්තමේන්තු අනුව, ආර්ථිකයේ හැකිලීම 8-9% පමණ විය හැකියි. වසරේ සමස්ත හැකිලීම 3%ක් පමණක් වීමටනම්, වසරේ දෙවන අර්ධය තුළ 2-3%ක පමණ ආර්ථික වර්ධනයක් අත්පත් කරගත යුතුයි. එසේ නොවුවහොත් වසර තුළ සමස්ත හැකිලීම 3% මට්ටම ඉක්මවිය හැකියි. 

Saturday, June 10, 2023

වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්

පහත ප්‍රස්ථාරයේ තිබෙන්නේ වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම්. පෙබරවාරි වෙද්දී ධන පැත්තට හැරිලා. අප්‍රේල් අවසානයේදී රුපියල් බිලියන 152ක් වෙලා. ඒ වන විට පැවති විණිමය අනුපාතය වූ ඩොලරයකට රුපියල් 321.65 සැලකූ විට ඩොලර් මිලියන 472ක්.

මැයි මාසයේදී මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විසින් මිල දී ගෙන තිබෙන, අන්තිමට ගෙවූ ස්වෛරිත්ව බැඳුම්කරයේ වටිනාකමටද වඩා වැඩි, මිලියන 662.50ක විශාල ඩොලර් ප්‍රමාණය සහ එසේ මිල දී ගැනීමෙන් පසුවද ඩොලරයක මිල රුපියල් 295.52 දක්වා සැලකිය යුතු ලෙස පහත යාම සැලකූ විට මැයි මාසයේදී බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් තවත් ඉහළ ගොස් තිබීමට මිසක් අඩු වී තිබීමට කිසිදු හේතුවක් නැහැ. 


මෙපමණ අතිරික්තයක් බැංකු පද්ධතිය ඇතුළේ තිබෙනවා කියා කියන්නේ ආනයන සම්බන්ධ සීමාවන් ඉවත් කළා කියලා කිසිසේත්ම බැංකු පද්ධතිය ඇතුළේ ක්ෂණික ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම, ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ යන්න හේතුවකුත් නැහැ. ඔය තියෙන ඩොලර් ටිකෙන්ම වුනත් මාස දෙක තුනක් අල්ලාගෙන ඉන්න පුළුවන්. ඒ කාලයේත් තවත් ඩොලර් එනවා. 

වාහන ආනයන සීමා ඉවත් කළොත් පමණක් වෙනසක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ ගොඩක් අය වාහන ගන්නේ ආයෝජනයක් විදිහට. ඩොලරය දිගුකාලීනව කොහොමටත් ඉහළ යනවා. කාලෙකින් වාහන ආනයනය කරන්න ඉඩ ලැබිලත් නැහැ. ඒ නිසා ඩොලරයක මිල අඩු වෙලා තිබෙන මේ වෙලාවේ වාහනයක් ගන්න එක විශාල වාසියක්. ඔය හේතුව නිසා ක්ෂණිකව, සාමාන්‍ය ඉල්ලුම ඉක්මවන ලොකු ඉල්ලුමක් එන්න පුළුවන්. හැබැයි අනෙක් අතට ඉහළ පොලී අනුපාතික නිසා මේ ඉල්ලුම යම් තරමකින් සීමා වෙනවා.

ගෙවුම් ශේෂ අර්බුද, වසංගත එන්න කලින් 2019දී පෞද්ගලික වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 815.7ක් ගිහින් තිබුණා. ප්‍රවාහන උපකරණ වෙනුවෙන් තව ඩොලර් මිලියන 596.6ක් ගිහින් තිබුණා. දෙක එකතු කරලා දොළහෙන් බෙදුවොත් මාසයකට ඩොලර් මිලියන 118ක්.

අනෙක් අතට 2019 වෙළඳ හිඟය (ඩොලර් මිලියන 7,997) දොළහෙන් බෙදුවොත් ඩොලර් මිලියන 666ක්. ගෙවුණු අප්‍රේල් මාසයේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 583ක්. බොහෝ දුරට මෙය පුළුල් වෙන්න ඉඩ තියෙන්නේ වාහන ආනයනය සිදු වෙද්දී. කෑම වර්ග, සනීපාරක්ෂක ද්‍රව්‍ය, සුවඳ විලවුන් වගේ දේවල් ටිකක් ගෙනාවා කියලා ඔය හිඟය ලොකුවට වැඩි වෙන්නේ නැහැ. 

වාහන හැර අනෙක් දේවල් හා අදාළව වුවත් ඉල්ලුමේ යම් තාවකාලික වැඩි වීමක් වෙන්න පුළුවන්. ආනයන නැවැත්තුවට පස්සේ ටික කාලයක් රට ඇතුළේ තිබුණු තොග වලින් ආනයන ආශ්‍රිත ව්‍යාපාර දිවුවා. පහු වෙද්දී ඒ ව්‍යාපාර වැටුනා. දැන් ඒ වගේ ව්‍යාපාර නැවත ඔලුව උස්සද්දී එක පැත්තකින් රටේ කාලයක් තිස්සේ තියෙන ඉල්ලුමට හරියන්නත්, අනෙක් පැත්තෙන් ව්‍යාපාර දුවන්න තොග හදාගන්නත් ආනයන කරන්න සිදු වෙනවා. ජංගම දුරකථන හා උපාංග, ගෘහ විද්‍යුත් උපකරණ වගේ දේවල්. තව එතකොට ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය දේවල්. ඒ නිසා, සීමා ඉවත් වෙද්දී මුල් මාස කිහිපය තුළ ඉල්ලුමේ පීක් එකක් එන්න පුළුවන්. ඒක පස්සේ හරියයි. 

මහ බැංකුව විසින් එකතු කරගත්ත සංචිත නැවත විකුණන්නත් බැරි නිසා ඔය පීක්‌ එකට අවශ්‍ය තරම් විදේශ විණිමය සංචිත බැංකු පද්ධතිය ඇතුළේ තිබිය යුතුයි. මම හිතන්නේ එම අවශ්‍ය ප්‍රමාණය තිබෙනවා.

Friday, June 9, 2023

මැයි මාසයේ මහ බැංකුවේ මැදිහත්වීම්



මහ බැංකුවේ සංචිත ඉහළ යාම ගැන කියද්දී සංචිත වැඩි වුනේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගත් නිසාමද කියලා ප්‍රශ්නයක් මතු වෙලා තිබුණා. ඒ වන විට පසුගිය මාසයේ මහ බැංකුවේ මැදිහත් වීම් ගැන විස්තර ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ. අදාළ තොරතුරු දැන් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, ගෙවුණු මැයි මාසයේදී පමණක් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 662.50ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. 

2023 මැයි:

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 662.50

විකිණීම් - නැත 


2023 අප්‍රේල්:

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 147.75

විකිණීම් - නැත 


2023 මාර්තු:

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 453.06

විකිණීම් - ඩොලර් මිලියන 55.09


2023 පෙබරවාරි:

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 287.00

විකිණීම් - ඩොලර් මිලියන 33.44


2023 ජනවාරි:

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 348.79

විකිණීම් - ඩොලර් මිලියන 137.64

මේ අනුව මෙම වසරේ පළමු මාස පහ ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 1,899.10ක් මිල දී ගෙන එයින් ඩොලර් මිලියන 226.17ක් නැවත විකුණා තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,672.93ක් මිල දී ගෙන තිබෙනවා.

දෙසැම්බර් අවසානයේදී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,898යි. මැයි අවසන් වෙද්දී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 3,483 දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ ඩොලර් මිලියන 1,585ක වැඩි වීමක්. එම කාලයේදී ශුද්ධ වශයෙන් මිල දී ගත් ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 88කින් අඩුයි. මීට අමතරව IMF එකෙනුත් ඩොලර් මිලියන 333ක් ලැබුනානේ. ඒ කියන්නේ මිල දී ගත් ඩොලර් වලින් ඩොලර් මිලියන 420ක් පමණ මහ බැංකුව විසින් ණය ආපහු ගෙවීම සඳහා යොදවලා තිබෙනවා. 

පෙර ලිපියේ සඳහන් කළ පරිදි, වර්ෂාවසාන විදේශ සංචිත ඉලක්කයට යාම සඳහා මහ බැංකුවට තව අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 948ක් පමණයි. අරමුදලෙන් ලැබෙන්නට නියමිත ඩොලර් මිලියන 334ක දෙවන වාරිකයද සැලකූ විට ඉදිරි මාස හතක කාලය තුළ මහ බැංකුව විසින් මේ සඳහා ශුද්ධ ලෙස වෙළඳපොළෙන් මිල දී ගත යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 614ක පමණ ප්‍රමාණයක් පමණයි. ඊට වඩා වැඩියෙන් මිල දී ගන්නා ඩොලර් මහ බැංකුවට බංග්ලාදේශයෙන් ගත් ණය වැනි ණය ආපසු ගෙවීම සඳහා යොදවන්න පුළුවන්.

මහ බැංකුවේ තිබෙන සංචිත වලට අමතරව වාණිජ බැංකු සතුවද මේ වන විට අතිරික්ත ඩොලර් සංචිත තිබෙනවා. අප්‍රේල් අවසාන වන විට මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 500කට ආසන්නයි. මෙම විදේශ සංචිත මැයි මාසයේදී බොහෝ විට තවත් වැඩි වෙලා ඇති. මහ බැංකුවේ ණය තවමත් ගෙවා අවසන් නැතත්, මේ වෙද්දී වාණිජ බැංකු ලෝකයට ණය නැහැ. වාණිජ බැංකු සතු ඩොලර් අතිරික්තය කියන්නේත් අවශ්‍ය වෙලාවක මහ බැංකුවට මිල දී ගත හැකි මුදලක්. 

Wednesday, June 7, 2023

සංචිත වේගයෙන් ඉහළට! පොලී පහළට!!

මැයි මාසයේදී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,483 දක්වා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසය තුළ පමණක් ඩොලර් මිලියන 728ක වැඩි වීමක්. මෙම තත්ත්වය තුළ විණිමය අනුපාතය කෙරෙහි බලපාන දැනට පවතින සීමාවන් ඉවත් වෙද්දී වුවද ඩොලරයක මිල නැවත විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ.

අරමුදල සමඟ එකඟ වී ඇති වැඩ පිළිවෙළ අනුව, වසර අවසාන වන විට නිල සංචිත ඉලක්කය ඩොලර් මිලියන 4,431ක්. එම ඉලක්කයට තවත් අඩු ඩොලර් මිලියන 948ක් පමණයි. අරමුදලෙන් ලැබෙන්නට නියමිත ඩොලර් මිලියන 334ක දෙවන වාරිකයද සැලකූ විට ඉදිරි මාස හතක කාලය තුළ මහ බැංකුව විසින් ශුද්ධ ලෙස වෙළඳපොළෙන් මිල දී ගත යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 614ක පමණ ප්‍රමාණයක් පමණයි. 

මේ අතර මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින් අද වෙන්දේසියේදී මාස-3 බිල්පත් පොලිය 2.44%කින්ද, මාස-6 බිල්පත් පොලිය 3.39%කින්ද, වසර-1 බිල්පත් පොලිය 3.81%කින්ද පහත වැටී තිබෙනවා. වසර-1 පොලී අනුපාතික 20% සීමාවෙන් පහතට වැටී තිබෙන්නේ විශාල කාලයකට පසුවයි. දැන් එම පොලිය 19.10%ක්.

උද්ධමනය පහළ යාමට අනුරූපව ඉදිරි මාස වලදී මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් පහත හෙළනු ඇතැයි සිතිය හැකියි. විණිමය අනුපාතික මෙන්ම පොලී අනුපාතිකද සැලසුමේ ඉලක්කද ඉක්මවා අඩු වෙමින් තිබෙනවා. මෙයට හේතුව මේ දක්වා රාජ්‍යමූල්‍ය කළමනාකරණය ඉලක්ක වලට ඉදිරියෙන් පැවතීම සහ ඒ හේතුව මත මුදල් සැපයුම සීමා වී උද්ධමනය ඉලක්ක මට්ටමටද වඩා අඩු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ඇස්තමේන්තු කළ තරමටම නොහැකිළී වඩා ඉක්මණින් නැවත වර්ධනය වීමට ඉඩ තිබෙනවා.