Wednesday, May 31, 2023

උද්ධමනය 25% මට්ටමට!

සැලකිය යුතු කාලයකට පෙර සිටම අප කීයූ පරිදි කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය මැයි මාසයේදී  25.2% දක්වා පහත වැටී තිබෙනවා. ආහාර උද්ධමනය 21.5% දක්වා පහත වැටී ඇති අතර ආහාර නොවන උද්ධමනය 27.0% දක්වා අඩු වී තිබෙනවා. 

මෙය මහ බැංකුවට අලුත් අධිපතිවරයෙකු පත් කරන්නට සිදු වුනු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පැවති 29.8% අගයටද වඩා අඩු අගයක්. අපගේ ඇස්තමේන්තුව වනුයේ ඉදිරි මාසයේදී මෙම අගය 12% මට්ටම ආසන්නයට පහත වැටී ජූලි මාසයේදී තනි අංකයකට පැමිණෙනු ඇති බවයි. 

මේ වන විට පැහැදිලි ලෙසම පොලී අනුපාතික තිබෙන්නේ උද්ධමනයට වඩා ඉහළිනුයි. එමෙන්ම, ඉල්ලුම් පීඩන පහත යාම හා ඩොලර් ප්‍රවාහ රටට ගලා ඒම හමුවේ ප්‍රධාන වාණිජ බැංකු වල ඩොලරයක විකිණුම් මිලද රුපියල් 300 සීමාවෙන් පහතට වැටී ඇති අතර ගැනුම් මිල රුපියල් 285 වැනි මට්ටමකට පහත වැටී තිබෙනවා. මෙම තත්ත්වයට මහ බැංකුව කෙලෙස ප්‍රතිචාර දක්වනු ඇත්දැයි හෙට බලාගන්න පුළුවන්. 

Tuesday, May 30, 2023

ඇමරිකාවේ ණය ප්‍රශ්නය


ටික දවසකට පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසින් රජයට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි උපරිම සීමාව රුපියල් බිලියන 5000 සිට 6000 දක්වා ඉහළ දැම්මා. බොහෝ රටවල මෙවැනි උපරිම සීමාවන් නැහැ. එහෙත්, ලංකාවේ මෙන්ම ඇමරිකාවේද මෙවැනි උපරිම සීමාවක් තිබෙනවා. එම සීමාව ඉක්මවා රජයට ණය ගැනීමේ හැකියාවක් නැහැ.

දැනට ඇමරිකාවේ මෙම සීමාව ඩොලර් ට්‍රිලියන 31.4ක්. මේ වන විට ඇමරිකාවේ ණය ප්‍රමාණය ඔය සීමාව කිට්ටුවටම ඇවිත්. ඒ නිසා, තවත් ණය ගන්නනම් සීමාව ඉහළ දමා ගත යුතුයි. එසේ නැත්නම් තාවකාලිකව ණය සීමාව අත් හිටවිය යුතුයි. මේ දෙකෙන් කොයි එක කරන්නත් ඇමරිකානු කොන්ග්‍රසයේ කොටස් දෙක වන සෙනෙට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද අනුමැතිය හිමි විය යුතුයි.

ඇමරිකාවේ වත්මන් ආණ්ඩු පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය විසින් යාන්තමින් සෙනෙට් සභාවේ බහුතර බලය හදාගෙන සිටියත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැහැදිලි බහුතර බලය තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. සාමාන්‍යයෙන් කොන්ග්‍රසයේ බලය ආණ්ඩු පක්ෂයට (ජනාධිපතිවරයාගේ පක්ෂයට) තිබෙන අවස්ථාවක ණය සීමාව ඉහළ දමා ගැනීම සරල කටයුත්තක් වුවත් එම බලය විපක්ෂය සතුව ඇති විට මේ වැඩේ ලේසියෙන් කර ගන්න බැහැ.

ණය සීමාව ඉහළ දැමු පමණින් එම සීමාව දක්වා ණය ගන්න බැහැ. රජයට වියදම් කළ හැකි උපරිම මුදල වෙනත් නීති වලින් සීමා වෙනවා. ඇමරිකාවේ මෙන්ම ලංකාවේද මෙය සිදුවන්නේ මේ විදිහටයි. උපරිම ණය සීමාව තාක්ෂනික සීමාවක් පමණක් වුවත් සාමාන්‍යයෙන් කොංග්‍රසයේ බලය විරුද්ධ පක්ෂය සතු වූ විට ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපත්ති මත බලපෑමක් කිරීම සඳහා විරුද්ධ පක්ෂයට මේ සීමාව ප්‍රයෝජනයට ගත හැකියි. මෙවර සිදු වුනේද එයයි.

උපරිම ණය සීමාව නීතිමය බාධකයක් වී තාක්ෂනික හේතුවක් නිසා ඇමරිකන් රජයට ණය ගෙවන්නට නොහැකි වුවහොත් එයින් ඇමරිකාවට මෙන්ම ලෝකයටම විශාල බලපෑමක් වෙනවා. ඒ නිසා, වගකිවයුතු විපක්ෂයක් මේ වගේ දෙයකට පෙළඹෙන්නේ නැහැ. එහෙත්, ණය සීමාව ඉහළ දමා ගැනීමට සහයෝගය දීම වෙනුවෙන් වෙනත් කොන්දේසි දැමීම මගින් ඔවුන්ට ආණ්ඩුවේ ඇතැම් අපේක්ෂිත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආපසු හරවන්න පුළුවන්. මේ වගේ වෙලාවක විපක්ෂයට විශාල හෙට්ටු කිරීමේ බලයක් ලැබෙනවා. 

ලංකාව වගේ රටකනම් මේ වගේ වෙලාවක වෙන්නේ මන්ත්‍රීවරුන් මුදලට වෙන්දේසි වීම, අලුත් ඇමති ධුර හැදෙන එක වැනි දේ. නමුත්, ඇමරිකාවේ එහෙම වෙන්නේ නැහැ. රිපබ්ලිකන් පක්ෂයේ හෙට්ටු කිරීම් වල තිබෙන්නේ එවැනි පෞද්ගලික ඉලක්ක නෙමෙයි. ආණ්ඩු පක්ෂය විසින් මහජන මුදල් වැය කිරීම පාලනය කිරීමේ හා ඒ මගින් ණය ගැනීම සීමා කිරීමේ ඉලක්කය පෙරදැරිවයි මේ සාකච්ඡා සිදු වන්නේ. සාමාන්‍යයෙන් ඔය සාකච්ඡා ටික කලක් ඇදිලා අවසානයේදී දෙපාර්ශ්වය යම් එකඟතාවයකට එනවා. මේ ගැන අපෙන් අසා තිබුණු කිහිප දෙනෙකුට අප විසින් ඔය කතාව කලින්ම කියා තිබෙනවා.

වාර්තා වී තිබෙන විදිහට පසුගිය ඉරිදා (මැයි 28) දෙපාර්ශ්වය විසින් (ජනාධිපති බයිඩන් සහ කථානායක කෙවින් මැකාති) මෙම එකඟතාවය ඇති කරගෙන තිබෙනවා. මේ අනුව හෙට (මැයි 31) දින ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ 2025 ජනවාරි දක්වා උපරිම ණය සීමාව අත්හිටවීම පිණිස යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතයි. යෝජනාව සම්මත වුවහොත්, ණය සීමාව වෙනස් නොවන නමුත් තාවකාලිකව සීමාව නොසලකා හැරීමට ඉඩ සැලසෙනවා. කෙසේ වුවත්, දෙපාර්ශ්වය විසින් ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව බයිඩන් රජය විසින් කරන්නට සිටි වියදම් රැසක් කප්පාදු කරන්නට සිදු වෙනවා. 

Monday, May 29, 2023

ලංකාව ණය ගෙවල ඉවර කරන්නේ කවදාද?


ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ  තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු ගෙවන්න වෙනවා. 

කලින් කළේ අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. දැන් කරන්නෙත් අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. කලින් අලුත් ණය අරගෙන පරණ ණය හා පොලී ගෙවද්දී ණය එන්න එන්නම වැඩි වුනා. අන්තිමට ණය තිරසාරත්වය නැති වෙලා ණය පැහැර හරින්න සිදු වුනා. දැන් අලුත් ණය අරගෙන පරණ ණය හා පොලී ගෙවද්දීත් ණය එන්න එන්නම වැඩි වෙනවා. එහෙමනම් මොකක්ද වෙනස? කලින් නැතිවුණු ණය තිරසාරත්වය දැන් ඇති වෙන්නේ කොහොමද?

මේක පැහැදිලි කරන්න ලොකුවට ආර්ථික විද්‍යා සංකල්ප අවශ්‍ය වන්නේ නැහැ. සරල ගණිතයෙන් පැහැදිලි කරන්න පුළුවන්. කැමති අය ඉන්නවානම් එක්සෙල් ෂීට් එකක් ඇරගන්න. කියන දේ තමන්ටම පැහැදිලි කරගන්න පුළුවන් වෙයි.

රටක ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේදී කරන්නේ ගතික සමතුලිතතාවයක් වෙනස් කරන එක. ගතික සමතුලිතතාවයක් වෙනස් කරද්දී සිදු වෙන දෙය ස්ථිතික සමතුලිතතාවයක් වෙනස් කරද්දී කරන දේවල් වලට වඩා ටිකක් සංකීර්ණයි. සිදු වෙන වෙනස තේරුම් ගන්න තරම් පුහුණුවක් නැති කෙනෙකුට ප්‍රතිඵල එක පාරට පේන්නේ නැහැ.

ඕනෑවටත් වඩා සරල කරලා කිවුවොත් මේක වාහනයක් එළවනවා වගේ වැඩක්. ගොඩක් වෙලාවට අනතුරක් වලකන්න තිරිංග තද කරන්න වෙනවා. නමුත් සමහර වෙලාවට ඇක්සලරේටරේ පාගලා වේගය වැඩි කරලා ඉක්මණින් අදාළ තැන පහු කරන්න වෙනවා. ඔය දෙකෙන් කොයි එක කළත් අන්තිමට අනතුර වළක්වාගෙන ගමන යා යුතුයි. 

කලින් කළ දේ සහ දැන් කරන දේ අතර ප්‍රධානම වෙනස ප්‍රාථමික අයවැය හිඟයක් වෙනුවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම. මේක ඉතාම වැදගත් වෙනසක්.

රටක රජයක් කවදා හරි දවසක තමන් විසින් ගත් ණය ගෙවලා ඉවර කළ යුතුයිද කියන ප්‍රශ්නයම වුනත් විවාදාත්මක ප්‍රශ්නයක්. වත්මන් රජය හෝ මහ බැංකුව විසින් එහෙම හිතනවා කියලා මම හිතන්නේ නැහැ. IMF එක එහෙම හිතන බවක් පෙනෙන්නෙත් නැහැ. ඒ ප්‍රශ්නය අපි පැත්තකින් තියමුකෝ. මේක ආර්ථික ප්‍රශ්නයක් ලෙස නොසිතා ගණිත ප්‍රශ්නයක් කියලා හිතමු. 

රටක රජයක් විසින් දිගින් දිගටම ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්නවා කියන්නේ ඒ රටේ ණය එන්න එන්නම වැඩි වෙනවා මිසක් කිසිම දවසක අඩු වෙන්නේ නැහැ කියන එක. මේක ගණිතමය සත්‍යයයක්. අනන්ත කාලයක් ගියත් ණය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඊට කලින් කොයි වෙලාවක හරි ණය තිරසාරත්වය නැති වෙලා ණය අර්බුදයක් එන්න පුළුවන්. එතෙක් යම් කාලයක් වැඩේ ඇදගෙන යන්න පුළුවන්. ලංකාවට වුනේ ඕකනේ.

කවදා හෝ දවසක රජයේ ණය ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තොත් පමණයි. මෙය ප්‍රමාණවත් නැති එහෙත් අනිවාර්යයෙන්ම අවශ්‍ය කොන්දේසියක්. 

ඔය ප්‍රාථමික අයවැය කොන්දේසිය සපුරලා, සපුරා ගන්න ගොඩක් අමාරු නැති තවත් එක් කොන්දේසියක් පමණක් සම්පූර්ණ කළොත්, කවදා හරි දවසක අනිවාර්යයෙන්ම රජයේ ණය ගෙවිලා අවසන් වෙනවා. ඊට කලින් යම් සැලකිය යුතු කාලයක් එන්න එන්නම ණය තව තව වැඩි වුනත්, කිසිසේත්ම බය වෙන්න අවශ්‍ය නැහැ. අන්තිමට අවශ්‍ය වැඩේ වෙනවා.

මොකක්ද මේ දෙවන කොන්දේසිය?

දෙවන කොන්දේසිය ණය වලට ගෙවන මූර්ත පොලී අනුපාතිකය ඉක්මවන මූර්ත ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම. උද්ධමනය පහළ මට්ටමක ස්ථාවරව තියා ගත්තොත් 2%ක පමණ මූර්ත පොලී අනුපාතිකයකට පහසුවෙන්ම ණය ගන්න පුළුවන්. ඒ වගේම, දිගුකාලීනව ඔය මට්ටමේ මූර්ත ආර්ථික වර්ධනයක් නිකම්ම එනවා. ඒ සඳහා අමුතුවෙන් මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ, ඉහත පළමු කොන්දේසිය සපුරා ගන්න පුළුවන්නම් දෙවැන්න ප්‍රායෝගිකව ප්‍රශ්නයක් නෙමෙයි. අවසාන වශයෙන් කවදා හරි දවසක ණය ටික ගෙවලා ඉවර වෙනවා.

මේ කියන "කවදා හරි දවස" තීරණය වන ප්‍රධාන සාධක තුනක් තිබෙනවා. පළමුවැන්න දැනට තිබෙන ණය ප්‍රමාණය. දදේනි අනුපාතයක් විදිහට මේ ප්‍රමාණය වැඩි වන තරමට ණය ගෙවලා ඉවර කරන්න වැඩි කාලයක් යනවා. දෙවැන්න ප්‍රාථමික අයවැය අතිරික්තය. දදේනි අනුපාතයක් විදිහට මෙය වැඩි වන තරමට වඩා ඉක්මණින් ණය ගෙවලා ඉවර කරන්න පුළුවන්. තුන් වන එක මූර්ත ආර්ථික වර්ධන වේගය. වැඩි වූ තරමට වඩා ඉක්මණින් ණය ටික ගෙවෙනවා. 

ඔය කරුණු තුනෙන් පළමුවැන්න සම්බන්ධව කළ හැකි දෙයක් නැහැනේ. ප්‍රමාණය කොයි තරම් ලොකු වුනත් දැන් වැඩේ වෙලා ඉවරයි. තුන් වන එක වන මූර්ත ආර්ථික වර්ධනය කියන්නෙත් දිගුකාලීනව රජයට සෘජුව පාලනය කළ නොහැකි දෙයක්. ණය අරගෙන රජයට කෙටිකාලීනව ආර්ථිකය වැඩි වේගයකින් වර්ධනය කරවන්න පුළුවන්. හැබැයි ණය ගෙවන්න යද්දී නැවත ආර්ථිකය කඩා වැටෙනවා. අන්තිමට දිගුකාලීනව වෙනසක් නැහැ. රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් වෙලා පෞද්ගලික අංශයට වැඩි අවස්ථා ලබා දීම, රට ලෝකයට විවෘත වීමට තිබෙන බාධා ඉවත් කිරීම, තරඟය හා ලාබ ලැබීමට තිබෙන උනන්දුව දිරිමත් කිරීම වගේ දේවල් වලින් රජයට වක්‍ර ලෙස ආර්ථික වර්ධනයට දායක වෙන්න පුළුවන්. මොනවා කළත් අවසාන වශයෙන් රටක ආර්ථික වර්ධනය තීරණය කරන්නේ පෞද්ගලික අංශය.

ණය ටික ඉක්මණින් ගෙවලා ඉවර කරන්නනම් රජයට කළ හැකි ප්‍රධානම දෙය ප්‍රාථමික අයවැය අතිරික්තය ස්ථාවර හා හැකි තරම් ඉහළ මට්ටමක තියා ගන්න එක. වෙන කිසිම ක්‍රමයක් නැහැ. රජයට කාර්යක්ෂම විය හැකි ක්‍රම ගණනාවක් තිබුණත් අවසාන වශයෙන් කවර ආකාරයකින් හෝ රජය කාර්යක්ෂම වීම පිළිබඳ නිර්ණායකය වෙන්නේ ප්‍රාථමික අයවැය ශේෂය. 

වෙනත් හේතු නිසා රටේ ණය අඩු වැඩි වෙන්න පුළුවන් වුනත් ඒ වෙනස්වීම් තාවකාලිකයි. උදාහරණයක් විදිහට රටේ උද්ධමනය ඉහළ මට්ටමක තියෙද්දී ඩොලරයක මිල අඩු වුනොත් රටේ ණය අඩු වෙන්න පුළුවන්. නමුත් එවැන්නක් දෘශ්‍ය මායාවක් පමණයි. ඒ වගේම, උද්ධමනයට වඩා අඩුවෙන් පොලී අනුපාතික තියාගෙන ණය වර්ධනය පාලනය කරන්න පුළුවන්. නමුත් මේ වගේ දෙයක් දිගුකාලීනව කරන්න බැහැ. විණිමය අනුපාතය හෝ පොලී අනුපාතික එහාමෙහා වීම නිසා ණය ප්‍රමාණයේ සිදු වන වෙනස්කම් තාවකාලිකයි. දිගුකාලීනව වැදගත් වන ප්‍රධානම සාධක තුන වත්මන් ණය ප්‍රමාණය, ප්‍රාථමික අයවැය ශේෂය සහ මූර්ත ආර්ථික වර්ධන වේගයයි.

අපි හිතමු දැනට ක්‍රියාත්මක IMF වැඩසටහන සාර්ථකව අවසන් වුනා කියලා. සමහර විට එහෙම නොවෙන්න පුළුවන්. සමහර විට, දැනට තිබෙන ප්‍රවණතාව අනුව, හිතුවටත් වඩා සාර්ථක වෙන්නත් පුළුවන්. ඒක අදාළ නැහැ. අපි වැඩේ පටන් ගන්න IMF එකේ ඇස්තමේන්තු යොදා ගනිමු. IMF ඇස්තම්නේතු අනුව, වැඩ සටහන අවසන් වෙද්දී 2028 තත්ත්වය මේ වගේ. මේ ගණන් අදාළ ලියවිල්ලෙන්ම ගත්ත ගණන්.

2028 දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 46,154යි 

2028 රාජ්‍ය ණය රුපියල් බිලියන 44,601යි 

2028 රාජ්‍ය ණය දදේනි ප්‍රතිශතයක් ලෙස 96.6%යි

2028 සිට ඉදිරියට ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.3%යි 

2028 සිට ඉදිරියට උද්ධමනය 5%යි.

2028 සිට ඉදිරියට මූර්ත ආර්ථික වර්ධන වේගය 3.1%යි.

අපි හිතමු පොලී අනුපාතික 7% මට්ටමේ තියා ගත්තා කියලා. ඒ කියන්නේ, 2%ක මූර්ත පොලී අනුපාතයක්. 

දැන් මේ අනුව, රාජ්‍ය ණය දදේනියෙන් 100%කටම කිට්ටු නිසා පොලී වියදම් විදිහට දදේනියෙන් 6.8%කට ආසන්න මුදලක් අවශ්‍ය වෙනවා. නමුත්, ප්‍රාථමික අතිරික්තය 2.3%ක් නිසා පොලී වියදම් වලින් කොටසක් වෙනුවෙනුත් අළුතෙන් ණය ගන්න වෙනවා. ඒ කියන්නේ තවදුරටත් වසරින් වසර ණය ප්‍රමාණය ඉහළ යනවා. හැබැයි ඔය වැඩේ හැමදාම ඔය විදිහටම වෙන්නේ නැහැ.

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.3%ක් වුනත් දදේනි අගය වසරෙන් වසර ඉහළ යද්දී මේ විදිහට රජය විසින් ඉතිරි කරන මුදලත් වසරින් වසර ඉහළ යනවා. මූර්ත ආර්ථික වර්ධන වේගය 3.1 හා උද්ධමනය 5% නිසා දදේනි වසරකට 8.3%කින් පමණ වැඩි වෙනවා. ඒ කියන්නේ රජයේ ඉතිරි කිරීම්ද එම වේගයෙන් වර්ධනය වෙනවා. හරියටමනම් (1+5%)*(1+3.1%) වේගයෙන්. 

පොලී වියදම් වලින් යම් කොටසක් ප්‍රාථමික අතිරික්තයෙන් ගෙවන නිසා ණය වැඩි වෙන්නේ වසරකට 6.8%කට වඩා අඩු 4.6%ක පමණ  සිට ක්‍රමයෙන් පහළ යන වේගයකින්. ණය 4.6%කට නොවැඩි වේගයකින් වැඩි වෙද්දී දදේනි 8.3% වේගයකින් වැඩි වෙන නිසා, වසරින් වසර තව දුරටත් ණය ඉහළ ගියත් දදේනි අනුපාතයක් විදිහට වසරින් වසර ණය පහළ යනවා. ඔහොම අඩු ණය අනුපාතිකව අඩු වෙද්දී පොලී ගෙවීම පිණිස අලුතෙන් ගන්න අවශ්‍ය ණය ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. අඩු වෙලා යම් කිසි වසරකදී රජයේ ඉතිරි කිරීම් පොලී වියදමට වඩා වැඩි වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික මුල් මුදලත් අඩු වෙන්න පටන් ගන්නවා. 

දැනට පුරෝකථනය කර තිබෙන විදිහට 2.3% ප්‍රාථමික අතිරික්තය එක දිගටම ඒ විදිහට පවත්වා ගත්තොත්, ආර්ථික වර්ධනය 3.1% මට්ටමේ දිගටම තිබුනොත්, 2051 වන තුරුම රජයේ ණය තව දුරටත් ඉහළ යනවා. මොකද රජයේ ඉතිරි කිරීම් වලට වඩා පොලී වියදම් වැඩි නිසා. නමුත් 2052 සිට ඔය තත්ත්වය වෙනස් වෙලා 2065 වන විට රජයට ණයෙන් නිදහස් වෙන්න ලැබෙනවා. ඒ කියන්නේ තව අවුරුදු 42ක් යනවා. එක්සෙල් ෂීට් ඇරගත්ත අය ඉන්නවනම් මේ ගණන් තමන් විසින්ම හදල බලන එක ඒ තරම් සංකීර්ණ වැඩක් නෙමෙයි.

ඔය වැඩේ ඔයිට කලින් කරගන්න බැරිද? 

ආර්ථික වර්ධන වේගය 3.1%ට වඩා වැඩි වුනොත් වැඩේ ඉක්මන් වෙනවා. වර්ධන වේගය 5% මට්ටමට ගියොත්, 2045 වෙද්දී ණය උපරිමයකට ගිහින් 2057දී ගෙවිලා ඉවර වෙනවා. තව අවුරුදු 34ක්. වර්ධන වේගය 10% මට්ටමට ගියොත්, 2048 වන විට ණය ගෙවලා ඉවර කරන්න පුළුවන්. තව අවුරුදු 25ක්. 5% පමණ ආර්ථික වර්ධන වේගයක් ගැන හිතන එක යථාර්ථවාදී වුනත්, 10% වැනි විශාල ආර්ථික වර්ධන වේගයක් තිරසාර ලෙස පවත්වා ගන්නවා කියන එක ටිකක් මනෝරාජිකයි. ඒ නිසා, දැන් තිබෙන ණය ගෙවල ඉවර කරන්නනම් අඩු වශයෙන් අවුරුදු තිහ හතළිහක්වත් යනවා. ඒ කාලය තුළ ඔය 2.3% ප්‍රාථමික අයවැය අතිරික්තය ඔය මට්ටමේ තියාගත යුතුයි.

රජයට සැලසුම් කර ආර්ථික වර්ධන වේගය විශාල ලෙස වැඩි කරන්න බැහැ. එය සිදු විය හැකි දෙයක් වුවත් සිදු කළ හැකි දෙයක් නෙමෙයි. එහෙත්, රජයට පහසුවෙන්ම රජයේ අයවැය සැලසුම් කරගන්න පුළුවන්. ආර්ථික වර්ධන වේගය 3.1% මට්ටමේ තිබියදීම ප්‍රාථමික අයවැය අතිරික්තය 5% දක්වා වැඩි කළොත්, 2033 සිටම ණය අඩු වෙන්න පටන් අරන් 2047 වෙද්දී ණය සියල්ල ගෙවිලා අවසන් වෙනවා. 

රජයේ ණය ගෙවලා අවසන් කළ යුතුද, එසේනම් කොයි තරම් කාලයකින්ද කියන එක දේශපාලනික කරුණක්. හැබැයි ඔය වැඩේ කාට හරි කරන්න අවශ්‍යනම් කරන්න පුළුවන්. යතුර තියෙන්නේ ප්‍රාථමික අයවැය ශේෂයේ. නිදහසේ සිටම ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්න පුරුදු වී සිටින රජයක් ඒ හිඟය අතිරික්තයක් කිරීම මේ තරම්ම සුවිශේෂී කරුණක් වන්නේ ඒකයි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම එක ආණ්ඩුවකට කළ හැකි දෙයක් නෙමෙයි. එවැන්නක් දශක කිහිපයක් කල් ගත වන වැඩක්. මේ වගේ දෙයක් කරන්න දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති වලින් එහාට යන ජාතික ප්‍රතිපත්ති හා ජාතික එකඟතා අවශ්‍යයි. ණය ප්‍රශ්නය ගැන හෝ ණය ගෙවීම ගැන කතා කරන ඕනෑම කෙනෙක් වැඩේ පටන් ගත යුත්තේ මේ ගණිතය අමතක නොකරයි. ණය ගෙවන්න අවශ්‍යනම් මූලිකම ප්‍රතිපත්ති ප්‍රශ්නය තමන් ඉලක්ක කරන ප්‍රාථමික අයවැය ශේෂය කොපමණද කියන එක සහ ඒ ඉලක්කයට යන්නේ කොහොමද කියන එක. 

YearGDP (Rs. Bn)Savings (Rs. Bn)Debt (Rs. Bn)Debt/GDP
202846,1541,06244,60196.6%
202949,9641,14946,66293.4%
203054,0891,24448,77990.2%
203158,5541,34750,94987.0%
203263,3871,45853,16983.9%
203368,6201,57855,43380.8%
203474,2841,70957,73577.7%
203580,4161,85060,06874.7%
203687,0552,00262,42371.7%
203794,2412,16864,79068.7%
2038102,0212,34667,15865.8%
2039110,4432,54069,51362.9%
2040119,5602,75071,83860.1%
2041129,4292,97774,11757.3%
2042140,1143,22376,32854.5%
2043151,6803,48978,44951.7%
2044164,2013,77780,45149.0%
2045177,7564,08882,30646.3%
2046192,4304,42683,98043.6%
2047208,3154,79185,43241.0%
2048225,5115,18786,62138.4%
2049244,1275,61587,49835.8%
2050264,2806,07888,00833.3%
2051286,0966,58088,09030.8%
2052309,7147,12387,67628.3%
2053335,2817,71186,69025.9%
2054362,9588,34885,04723.4%
2055392,9209,03782,65221.0%
2056425,3569,78379,40018.7%
2057460,46910,59175,17516.3%
2058498,48111,46569,84714.0%
2059539,63012,41163,27111.7%
2060584,17713,43655,2889.5%
2061632,40014,54545,7237.2%
2062684,60515,74634,3785.0%
2063741,11917,04621,0392.8%
2064802,29918,4535,4650.7%
2065868,52819,976-12,605-1.5%

Saturday, May 27, 2023

ඝානාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ ආකාරය


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වුනොත් එහි බලපෑම කුමක්ද? මෙය කාලයක් තිස්සේ කිහිප දෙනෙකු විසින්ම අසමින් සිටින ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට වැඩි කල් නොගොස් මේ ප්‍රශ්නයට නියම පිළිතුර නියම තැන් වලින්ම ලැබෙයි. මේ වගේ ප්‍රශ්නයකට පැත්තක ඉඳලා දෙන්න පුළුවන් අනුමාන පිළිතුරු වල ඒ තරම්ම තේරුමක් නැහැ.

කෙසේ වුවත්, අදාළ දැන් තැන් වල සිටින පුද්ගලයින් විසින් දැනටම වටින් ගොඩින් කියා තිබෙන දේවල් අනුව විය හැකි දේ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. එහෙම කියා තිබෙන එක දෙයක් වන්නේ මෙවැන්නක් කරනවානම් කරන්නේ ස්වේච්ඡා පදනම මත කියන එක. 

ලංකාව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළොත් එය කරන විදිහ ඝානාව ඔය වැඩේ කරපු විදිහට කිට්ටු විදිහක් වෙන්න ඉඩ තිබෙනවා. ඉතා කෙටියෙන් කිවුවොත්, ඝානාව බැඳුම්කර වල අවසන් ගෙවීම කප්පාදු කළේ නැහැ. ඔවුන් කළේ කල් පිරෙන කාලය දිගු කිරීම සහ කූපන් පොලී අනුපාතික සීමා කරන එකයි. මේ වගේ ක්‍රමයකින් ලංකාවටත් අවශ්‍ය ඉලක්ක වලට පහසුවෙන්ම යන්න පුළුවන්.

දැන් මම ඝානාව කරපු දේ තරමක් විස්තරාත්මක ලෙස ඉදිරිපත් කරන්නම්. බැඳුම්කර වලින් විශාල කොටසක් හා අදාළව ඝානාව කළේ අලුතෙන් බැඳුම්කර 12ක් නිකුත් කරලා දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර එම අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කිරීමේ අවස්ථාව ලබා දීමයි. මේ අලුත් බැඳුම්කර 2027 සිට 2038 දක්වා කාලය තුළ කල් පිරෙනවා. කල් පිරීමේ කාලය වැඩි වෙද්දී කූපන් පොලී අනුපාතික 8.35% සිට 10% දක්වා ක්‍රමික ලෙස වැඩි වෙනවා. ඒ පහත ආකාරයටයි.

1. 2023-GC-1 බැඳුම්කරය: කල් පිරීම 2027, කූපන් පොලිය 8.35%, ප්‍රතිශතය 9%

2. 2023-GC-2 බැඳුම්කරය: කල් පිරීම 2028, කූපන් පොලිය 8.50%, ප්‍රතිශතය 9%

3. 2023-GC-3 බැඳුම්කරය: කල් පිරීම 2029, කූපන් පොලිය 8.65%, ප්‍රතිශතය 9%

4. 2023-GC-4 බැඳුම්කරය: කල් පිරීම 2030, කූපන් පොලිය 8.80%, ප්‍රතිශතය 9%

5. 2023-GC-5 බැඳුම්කරය: කල් පිරීම 2031, කූපන් පොලිය 8.95%, ප්‍රතිශතය 8%

6. 2023-GC-6 බැඳුම්කරය: කල් පිරීම 2032, කූපන් පොලිය 9.10%, ප්‍රතිශතය 8%

7. 2023-GC-7 බැඳුම්කරය: කල් පිරීම 2033, කූපන් පොලිය 9.25%, ප්‍රතිශතය 8%

8. 2023-GC-8 බැඳුම්කරය: කල් පිරීම 2034, කූපන් පොලිය 9.40%, ප්‍රතිශතය 8%

9. 2023-GC-9 බැඳුම්කරය: කල් පිරීම 2035, කූපන් පොලිය 8.55%, ප්‍රතිශතය 8%

10. 2023-GC-10 බැඳුම්කරය: කල් පිරීම 2036, කූපන් පොලිය 9.70%, ප්‍රතිශතය 8%

11. 2023-GC-11 බැඳුම්කරය: කල් පිරීම 2037, කූපන් පොලිය 9.85%, ප්‍රතිශතය 8%

12. 2023-GC-12 බැඳුම්කරය: කල් පිරීම 2038, කූපන් පොලිය 10.00%, ප්‍රතිශතය 8%

හුවමාරු කිරීමේ අවස්ථාව දෙනවා කිවුවත්, එයින් අදහස් වෙන්නේ ඉහත කී බැඳුම්කර වලින් කැමති එකක් එක්ක හුවමාරු කරගන්න පුළුවන් කියන එක නෙමෙයි. දැන් තියෙන බැඳුම්කරයක් වෙනුවට ඔය බැඳුම්කර දොළහෙන්ම යම් ප්‍රමාණයක් ලැබෙනවා. අන්තිමට තියෙන්නේ ඒ විදිහට ලැබෙන අනුපාතය. 2023 වර්ෂයෙන් පසුව කල් පිරෙන ඕනෑම බැඳුම්කරයක් හුවමාරු කර ගනිද්දී ඒ වෙනුවට ඔය අනුපාතයට බැඳුම්කර වෙන් කෙරෙනවා.

අපි හිතමු 2024දී කල් පිරෙන රුපියල් 100ක බැඳුම්කරයක් ඔය විදිහට හුවමාරු කළා කියලා. දැන් ඒ වෙනුවට 2027 කල් පිරෙන රුපියල් 9ක බැඳුම්කරයක් ලැබෙනවා. 2028 කල් පිරෙන තවත් රුපියල් 9ක බැඳුම්කරයක් ලැබෙනවා. ඔය විදිහට ගිහින් අන්තිම රුපියල් 8 වෙනුවෙන් 2038 කල් පිරෙන බැඳුම්කරයක් ලැබෙනවා. 

අවසාන වශයෙන් පොරොන්දු වූ මුල් මුදල ඒ විදිහටම ලැබෙනවා. නමුත් 2024දී නෙමෙයි. 2027-2038 කාලය තුළ කොටස් වශයෙන්. එම කාලය තුළ එක් එක් කොටස වෙනුවෙන් 8.35% සිට 10% දක්වා වන කූපන් පොලියකුත් ලැබෙනවා. 

සාමාන්‍ය තත්ත්වය ඔය වගේ වුනත් 2023 වසර තුළ කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් විශේෂයක් කරලා තිබෙනවා. එම බැඳුම්කර ඉහත අලුත් බැඳුම්කර දොළහ එක්ක හුවමාරු නොකර මුල් හත එක්ක පමණක් හුවමාරු කරගන්න පුළුවන්. ඒ මේ විදිහට.

1. 2023-GC-1 බැඳුම්කරය: කල් පිරීම 2027, කූපන් පොලිය 8.35%, ප්‍රතිශතය 15%

2. 2023-GC-2 බැඳුම්කරය: කල් පිරීම 2028, කූපන් පොලිය 8.50%, ප්‍රතිශතය 15%

3. 2023-GC-3 බැඳුම්කරය: කල් පිරීම 2029, කූපන් පොලිය 8.65%, ප්‍රතිශතය 14%

4. 2023-GC-4 බැඳුම්කරය: කල් පිරීම 2030, කූපන් පොලිය 8.80%, ප්‍රතිශතය 14%

5. 2023-GC-5 බැඳුම්කරය: කල් පිරීම 2031, කූපන් පොලිය 8.95%, ප්‍රතිශතය 14%

6. 2023-GC-6 බැඳුම්කරය: කල් පිරීම 2032, කූපන් පොලිය 9.10%, ප්‍රතිශතය 14%

7. 2023-GC-7 බැඳුම්කරය: කල් පිරීම 2033, කූපන් පොලිය 9.25%, ප්‍රතිශතය 14%

මෙයින් අදහස් වන්නේ 2023 කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් පමණක් මුල් මුදල ටිකක් කලින් ආපසු ලැබෙනවා කියන එකයි. මුල් මුදල ආපසු ගන්න 2038 දක්වා ඉන්න අවශ්‍ය නැහැ. 2033 දක්වා සිටියහම ඇති.

තවත් වැදගත් කරුණක්. ඔය අලුත් බැඳුම්කර දොළහෙන් කොයි එකකට වුනත් සඳහන්ව තිබෙන කූපන් පොලිය ඒ විදිහටම මුදලින් ලැබෙන්නේ 2027 වර්ෂයෙන් පසුවයි. ඊට කලින් අදාළ දිනයේදී මුදලෙන් ලැබෙන්නේ 5%ක් පමණයි. ඉතිරි කොටස ගෙවන්නේ බැඳුම්කර වලින්. උදාහරණයක් විදිහට 2023-GC-1 වෙනුවෙන් මුදලින් 5%ක් සහ බැඳුම්කර වලින් 3.35%ක්. 2023-GC-7 වෙනුවෙන් මුදලින් 5%ක් සහ බැඳුම්කර වලින් 4.25%ක්. මේ විදිහට පොලී වල කොටසක් වෙනුවෙන් ලැබෙන බැඳුම්කර වලටත් 2027 සිට ඔය පිළිවෙලටම මුදලින් කූපන් පොලී ලැබෙනවා. 

මේ ක්‍රම දෙකට අමතරව ආයතනික නොවන පුද්ගල ආයෝජකයින් සඳහා වෙනම ක්‍රමයක් තිබෙනවා. ඔවුන්ට මුල් මුදලින් 50%ක් 2027දීත් ඉතිරි 50% 2028දීත් ලැබෙන පරිදි වෙනත් බැඳුම්කර දෙකක් ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් 2023 සිටම 10%ක කූපන් පොලියක් මුදලින්ම ලැබෙනවා. විශ්‍රාමිකයන්ටනම් 15%ක කූපන් පොලියක් ලැබෙනවා. කොහොම වුනත්, බැඳුම්කර වලින් වැඩි කොටසක් හුවමාරු වෙන්නේ මුලින් කියපු ක්‍රමයට. 

මේ වැඩෙන් රජයට ලැබෙන වාසිය කුමක්ද? 

ලංකාවේ වගේම ඝානාවේ IMF වැඩපිළිවෙළ හදලා තියෙන්නෙත් වැඩපිළිවෙළ ඉදිරියට යද්දී ප්‍රාථමික අයවැය ශේෂය අතිරික්තයක් වෙන විදිහට. කිසියම් රටක් විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගටම පවත්වා ගත්තොත්, යම් නිශ්චිත අවම ආර්ථික වර්ධනයක් තිබෙනවානම්, කවදා හරි දවසක ඒ රටේ ණය ගෙවිලා අවසන් වෙනවා. දවස තීරණය වෙන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය කීයද, සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය කොපමණද, දදේනියට සාපේක්ෂව දැන් ණය බර කොපමණද යන කරුණු මත. මේ අතරවාරයේ යම් කාලයක් යන තුරු තවදුරටත් ණය ඉහළ යන නමුත් දදේනි ප්‍රතිශතයක් ලෙස ණය අඩු වෙනවා. මෙය සිදු වෙන විදිහ ගණිතය උපයෝගී කරගෙන පෙන්වන්න පුළුවන්. එය පසුවට තියමු. 

ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගටම තියෙනවා කියන්නේ රජයට ණය ගන්න අවශ්‍ය වෙන්නේ දැනට අරගෙන තිබෙන ණය පියවන්න සහ පොලී ගෙවන්න පමණයි කියන එක. දැනට අරගෙන තිබෙන ණය කොහොමටත් කවදා හරි ගෙවී අවසන් වෙනවානම්, ණය ප්‍රතිවුහගත කිරීමකදී වෙන්නේ රජය විසින් ණය ගෙවන විදිහ සැලසුම් කරගැනීමක් කියා කියන්නත් පුළුවන්. කල් පිරෙන කාලය දිගු කිරීම මගින් මේ වැඩේ ප්‍රසස්ථම විදිහට කරන්න පුළුවන්. මේ කතාව මේ විදිහටම ලංකාවටත් අදාළයි. 

දැන් මෙතැනදී කිසිම ණය කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ. පොලිය වුනත් නොගෙවා ඉන්නේ නැහැ. ණය ආපසු ගෙවන්න වැඩි කාලයක් ගත්තත් ඒ කාලය වෙනුවෙන් සාධාරණ පොලියක් ගෙවනවා. හැබැයි කිසිදු වසරකදී රජය ණය ගෙවාගන්න බැරුව හිරවෙන්නේ නැහැ. ඕනෑම වසරකදී ණය හා පොලී ආපසු ගෙවීම් රජයේ ආදායමෙන් යම් ප්‍රතිශතයක් නොඉක්මන විදිහට තමයි කල් පිරීම් ආකෘතිය වෙනස් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ රජය පැත්තෙන් ප්‍රශ්නය විසඳිලා.

රජය පැත්තෙන් ප්‍රශ්නය විසඳුනා කියලා හරියන්නේ නැහැනේ. ණයහිමියන්ගේ පැත්තෙනුත් මේ වැඩේ ආකර්ශනීය විය යුතුයි. ඒක වෙන්නේ මෙහෙමයි.

ඝානාව සැලසුම් කරන්නේ උද්ධමනය 8% මට්ටමේ තියාගන්න. ඒ අනුව, 8.3%-10% අතර පොලියක් කියන්නේ උද්ධමනය ඉක්මවන සාධාරණ පොලියක්. සාමාන්‍ය අගයක් ලෙස ගත්තොත් 1.15%ක මූර්ත පොලියක්. ඒක නරකම පොලියක් නෙමෙයි. නමුත්, වසරකින් ලැබෙන්න තිබෙන සල්ලි වසර 15කින් ලැබෙනවා කියන්නේ ඔය කාලය ඇතුළත හිරවීමක් වෙන්න පුළුවන් කියන එක. මේ අවදානම නිසා ණයහිමියෙක් තමන්ගේ බැඳුම්කර හුවමාරු කර ගැනීම ගැන දෙවරක් හිතනවා.

ඉහත කී ද්‍රවශීලතා ප්‍රශ්නයට විසඳුමක් විදිහට ඝානාව ද්‍රවශීලතා අරමුදලක් හදලා තිබෙනවා. ඒ වගේම එම අරමුදලෙන් පහසුකම් ලබා ගැනීම සඳහා යොදාගත හැක්කේ අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වර්ග පමණයි. පරණ බැඳුම්කර තියලා මේ පහසුකම ලබා ගන්න බැහැ. ගොඩක් බැංකු තමන්ගේ බැඳුම්කර හුවමාරු කරන්න පෙළඹී තියෙන්නේ මේ සීමා කිරීම නිසා. 

ලංකාවේ වැඩසටහනේ ඉලක්කය උද්ධමනය 5% මට්ටමේ තියාගෙන පොලී අනුපාතික 6.7% වගේ මට්ටමක තියා ගන්න එක. ඒ කියන්නේ ඝානාවේ ක්‍රමයට යනවානම් 6.7% කූපන් පොලියක් ගෙවමින් කල් පිරීමේ කාලය දිගු කිරීමක්. ඔය මට්ටමේ කූපන් පොලියක් වෙනුවෙන් තමන්ගේ බැඳුම්කර හුවමාරු කරගන්න ලංකාවේ බැංකු ඇතුළු ණයහිමියෝ කැමති නොවෙන්න පුළුවන්. කාලයකට පෙරම (2014දී) 2044දී කල් පිරෙන බැඳුම්කර නිකුත් කරලා තියෙන්නේ 13.5% තරම් ඉහළ කූපන් පොලියකට. ඒ අර්බුද එන්න ගොඩක් කලින්. ඒ නිසා, 2044 වැනි ඈත වර්ෂයක් දක්වා කල් පිරීමේ කාලය දිගු කළත්, ඔය මට්ටමේ ඉහළ කූපන් පොලියක් ගෙවන්නේ නැත්නම් කවුරුවත් තමන්ගේ බැඳුම්කර හුවමාරු කර ගනියි කියලා හිතන්න අමාරුයි. 

කලින් කියපු පරිදි, 2044 වගේ ඈත වසරකදී කල් පිරෙන බැඳුම්කර ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කරන එක වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. මොකද රජයේ සහ මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය 5% මගේ මට්ටමක තියාගන්න එකනම් 13.5% වගේ කූපන් පොලියක් ඔය ඉලක්කයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ 7% ආසන්න කූපන් පොලියක්. නමුත්, 13.5% පොලියක් ලැබෙන්න තියෙද්දී ණය හිමියෙක් කැමැත්තෙන්ම අඩු කූපන් පොලියක් භාර ගන්නෙත් නැහැ. 

කෙටිකාලීනව කල් පිරෙන බැඳුම්කර වලට මේ කතාව අදාළ නැහැ. අවුරුද්දකට පමණ පසුව පොලී අනුපාතික 7% වගේ මට්ටමකට අඩු වෙලා ඉදිරි වසර 20ක පමණ කාලය පුරාවට ඒ මට්ටමේ පවතිනවා කියලා පේනවානම් දිගුකාලීනව 8%ක කූපන් පොලියක් ලැබෙන බැඳුම්කරයකට මාරු වෙන එක ණයහිමියන්ට වාසිදායක තේරීමක්. ඒ නිසා යම් ස්වේච්ඡා හුවමාරුවක් වෙන්න පුළුවන්. හැබැයි එවැන්නක් විය හැක්කේ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ එකදිගටම ක්‍රියාත්මක වීම පිළිබදව තිබෙන විශ්වාසය මත පදනම්වයි. 

එවැනි විශ්වාසයක් බැංකු ඇතුළු දේශීය ණයහිමියන්ට තිබෙනවද? මම හිතන්නේ එවැනි විශ්වාසයක් නැහැ. ඉදිරි කාලයේ සිදු විය හැකි දේශපාලන ප්‍රවණතා නිසා අනාගතයේ බොහෝ දේවල් වෙන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ මේ විදිහටම අවුරුදු විස්සක් තිහක් එක දිගටම ක්‍රියාත්මක වෙයි කියලා සහතික වෙන්න පුළුවන් කාටද? 

ඉහත හේතුව නිසා කෙටිකාලීන හා මැදිකාලීන කල් පිරීම් සහිත බැඳුම්කර 8% වැනි මට්ටමක කූපන් පොලියක් ලබා දෙන දිගුකාලීන බැඳුම්කර එක්ක හුවමාරු කරන එක වුනත් අමාරු වැඩක්. මෙය කළ හැකි එක් ක්‍රමයක්නම් උද්ධමනය හා බැඳුණු කූපන් පොලී ගෙවන බැඳුම්කර නිකුත් කිරීමයි. උදාහරණයක් වෙනුවට 7%ක ස්ථිර කූපන් පොලියක් වෙනුවට උද්ධමනයට වඩා 2%කින් වැඩි කූපන් පොලියක්. උද්ධමනය 5%නම් වියදමේ වෙනසක් නැහැ. නමුත් යම් හෙයකින් උද්ධමනය සීමාව පැන්නොත් එහි පාඩුව රජයට විඳගන්න වෙනවා. මේ ආකාරයේ ප්‍රතිව්‍යුහගත කිරීමක් කළොත් ණයහිමියන්ගේ පැත්තෙන් සාර්ව ආර්ථික වැඩපිළිවෙළ ගැන තිබෙන සැක සංකා ඉවත් වෙනවා.