Monday, May 22, 2023

අප්‍රේල් ජාතික උද්ධමනය 33.6%යි!


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ ලංකාවේ උද්ධමනය 33.6% ලෙස වාර්තා වී තිබෙනවා. මෙය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි සටහන් වූ 35.3%ට වඩා අඩු අගයක් වන අතර මාසයක් තුළ 49.2% සිට 15.6%කින් පහත වැටීමක්.  

ආහාර උද්ධමනය 42.3% සිට 27.1% දක්වා අඩු වී ඇති අතර අනෙකුත් සෑම කාණ්ඩයකම උද්ධමනයෙහි විශාල අඩුවීම් දැකිය හැකියි. උද්ධමනය අඩු වීමට අමතරව දර්ශක අගයෙහිද, එනම් මිල මට්ටමෙහිද, 1%ක අඩු වීමක් පෙන්නුම් කරනවා.

දැනට පවතින ප්‍රවණතාව අනුව, ජූලි මාසයේදී උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීමට ඉඩ තිබෙනවා. මැයි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් වීමට නියමිත අතර අපගේ ඇස්තමේන්තුව වනුයේ එම අගය 25% ආසන්න මට්ටමක පවතිනු ඇති බවයි. ජූනි මාසය වෙද්දී මෙම අගය 12% පමණ දක්වා පහත වැටෙනු ඇති බව අපගේ ඇස්තමේන්තුවයි. ඒ අනුව, ඒ වන විට පොලී අනුපාතික වලද විශාල අඩුවීමක් සිදු විය යුතුයි.

පසුගිය සතියේදී ආනයන ඉල්ලුම කෙරෙහි බලපෑ ඇතැම් සීමාවන් ඉවත් කරනු ලැබුවද ඩොලරයක සාමාන්‍ය මිල අද දිනයේ නැවතත් 300 සීමාවෙන් පහළට ලිස්සා ගොස් තිබීමෙන් පෙනෙන්නේ බැංකු පද්ධතිය තුළට සැලකිය යුතු විදේශ විණිමය ප්‍රවාහ ගලා එමින් ඇති බවයි. මෙම තත්ත්වය තුළ උද්ධමනය කෙරෙහි විණිමය අනුපාතයෙන් පීඩනයක් ඇති වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබෙන්නේ වසර අවසානයේදී උද්ධමනය 12%-18% සීමාවේ තිබෙනු ඇති බවයි. එහෙත්, උද්ධමනය ඊට වඩා අඩු වන බව ඉතාම පැහැදිලියි. මෙහි එක් "අහිතකර" ප්‍රතිඵලයක් වන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතයද ඇස්තමේන්තුගත අගයට වඩා අඩුවීම නිසා ණය සේවාකරණ ඉලක්ක තව දුරටත් සීමා වීමයි. 

3 comments:

  1. මහත්මය.මේ පවතින තත්ත්වය මත ඩොලරයේ මිල ඊලග මාසයෙ ඉහල යමක් බලාපොරොත්තු වියහැකිද? හෝ ඩොලරයේ මිල පහත යාවිද?ඔබගේ පිලිතුරක් අපේක්ෂා කරමි.

    ReplyDelete
  2. would the interest rates come down as a result?

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.